[dropcap color=”blue”]ම[/dropcap]හින්ද රාජපක්ෂ බලයෙන් පහකළ පසුව මේ රටේ දූෂණයට සහ භීෂණයට සම්බන්ධ බොහෝ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි බොහෝ අය විශ්වාස කලෝය. මහින්ද රාජපක්ෂ බලයෙහි රැදී ඉන්නට තමන්ට කළ හැකි සියළු උපක්‍රම භාවිතා කරන විටදී පවා ඔහුට ගෙදර යන්නට සිදු විය. කාටත් හොර රහසේ බැසිල් ඇමරිකාවේ තමන්ගේ මාලිගාවට පැන ගිය අතර ගෙදර ගිය මහින්ද බලන්නට මේ වන විටත් හැට ලක්ෂකට ආසන්න ජනතාවක් මැදමූලනට ගොස් ඇති බව වාර්ථා වෙයි. ගෝඨාභය රාජපක්ෂ යැයි කියන නමට තවමත් මිනිසුන් දැඩ් බියක් දක්වන විටදී පවා ඔහු නිවසට වී ක්‍රිකට් වර්ල්ඩ් කප් නරඹනවා ඇති. නාමල් රාජපක්ෂ නීතීඥයෙකු ලෙස උසාවි ගොස් තිස්ස අත්තනායක වෙනුවෙන් පෙනී සිටින විට යෝෂිත රාජපක්ෂ අපාරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට යන්නේ සිය නීතීඥ අයියාද සමගය. සාමාන්‍යෙයන් නීතීඥයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ කට උත්තර ලබා දෙන ස්ථානයට යා නොහැකි වුවත් වරප්‍රසාදිත නාමල්ට ඒ අවස්ථාව හිමිවෙයි. විමල් වීරවංශ තමන් වීර කැප්පෙටිපොල යැයි තමා විසින්ම භෞතිස්ම කර ගන්නා විට ශෂී වීරවංශ වෙනුවෙන් ඉදිරිපත් වන සජිත් ගේ නීතීඥයන් පවසන්නේ විමල්ගේ දියණිය ගැන සිතා ශෂීට ඇප ලබා දෙන ලෙසයි. ඒ උදවියම අධිකරණයේ දී නීතීඥවරියකගේ මුදල් පසුම්බියක් සොරාගත් බවට චෝදනා ලබන අවවරප්‍රසාදිත මෙගා නිළියකගේ සිගිති පුත්‍රයා බලා ගැනීමට කිසිවෙක් නැතියි කියන විට ඇයව දඩුකදේ ගසන්නට කතා කරයි. දූෂණයට එරෙහිව පාරේ මරහඩ තලන අනුර කුමාරලා යහපාලන විජේදාසලා ගෙන් ලක්ෂ විසිපහක් ගත්තා යැයි ප්‍රසිද්ධියේ චෝදනා කරන විට නිහඩ වෙයි. ඇවන්ගාඩ් හොරුන්ට රට යන්නට විජේදාසලා උදව් කරන විට කුමාර්ලා දේශපාලන අයිතිය ඉල්ලා කෑමොර දෙයි.

බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන තමන්ට උතුමාන් කියන්න එපා යැයි කියමින් යහ පාලනය ගැන කතා කරන අතර සාමාන්‍ය මගී ගුවන් යානයකින් එංගලන්තය බලා පිටව යයි. මෛත්‍රී ගේ දුව පොලොන්නරුවෙන් මැතිවරණයට ඉදිරිපත් වනවාට විරුද්ධ වන අය නාමල්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා දෙන්න යැයි බල කරයි. මාලක සිල්වාට රාත්‍රි සමාජ ශාලා යෑම අධිකරණයෙන් තහනම් කිරීම අසාධාරණ යැයි කියන අයම දහම් සිරිසේන නයිට් ක්ලබ් යනවා යැයි මරලතෝනි දෙයි. හොද නාමල්ලා ලංකාවේ ඉන්න විට නරක දහම්ලාට රට හැර යන්නට සිදුවෙයි.

අවසානයේ යහ පාලනය අපට උගන්වන පාඩම කුමක් ද? අප ජීවත් වන්නේ නරක ජයගත් සමාජයක බවද? අප ජීවත් වන මේ යුගය අයිති අවතාර වලට නම් දෙවියන් සොයා මහන්සි වී වැඩක් වෙයිද? හොදට වඩා නරක හොද නම් එහි ඇති දයලෙක්තික කියවීම අප වටහා ගත යුත්තේ කොහොමද?

‘ඔබ සකසුරුවම් වන්න! මම වියදම් කරන්නම්’ කී මහින්ද රාජපක්ෂ පියා වෙනුවට ‘මම සකසුරුවම් වන්නම්! ඔබ වියදම් කරන්න’ කියන මෛත්‍රීපාල සිරිසේන පියා අපට සම්මුඛ වී ඇත. සවිඥාණිකව ප්‍රතික්ෂේප කරන දෙවියාට වඩා අවිඥාණකව විශ්වාස කරන දෙවියා අප තුළ වඩා ප්‍රභලව වරදකාරී හැගීමක් ජනනය කරයි. අප වඩා විනෝද වන්නේ මහින්දගෙන්ද? මෛත්‍රීගෙන්ද? අපට විනෝදවීමට අණ කරන්නේ  මහින්ද ද? මෛත්‍රී ද? අප සවිඥාණකව මෛත්‍රීට අසා යැයි කියන ගමන් අවිඥාණකව මහින්දට ආදරය කරමු ද?

ඔබේ අදහස කියන්න...