සන්ධාන ආණ්‌ඩුව බිඳදමා මේ රටේ ස්‌වෛරීභාවයට අභියෝග කරමින් දක්‍ෂිණාංශික ආණ්‌ඩුවක්‌ ඇති කිරීම සඳහා සූක්‍ෂම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වනවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදීන් සමග සම්බන්ධවෙලා ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට අනුව. නමුත් ලෝක අධිරාජ්‍යවාදීන්ට අද තනි බලයක්‌ නෑ. ඒ නිසා අප කළ යුත්තේ මිත්‍ර රටවල් සමග එක්‌වීම හා ඔවුන් සමග තිබෙන සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පසුගියදා වැල්ලවාය නගරයෙහි පැවැති රැස්‌වීමකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා,

අධිරාජ්‍යවාදීන් සන්ධාන ආණ්‌ඩුවට විරුද්ධව ගෙන යන මේ සූක්‍ෂම වැඩපිළිවෙල අපට පැහැදිලියි. විශාල මුදල් ප්‍රමාණයක්‌ තානාපති කාර්යාලවලින් මේ රටේ යම් යම් අධිරාජ්‍යවාදී සංවිධාන අතට පත්වීම මගින් මේ බව හෙළිදරව් වෙනවා. ඒ වගේම ඇමරිකන් තානාපති කාර්යාලයේ නියෝජිතවරුන්, අධිරාජ්‍ය කඳවුරේ, යුරෝපා හවුලේ නියෝජිතයන් එක්‌ව මෑතකදී ආණ්‌ඩු විරෝධීන්ගේ එකතුවක්‌ සංවිධානය කළා. අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා වොෂින්ටන් කරා රහසේ නිකුත් කරන ප්‍රකාශ හෙළිදරව්වීම හරහා ආණ්‌ඩුව බිඳ දැමීමට දරන ප්‍රයත්නය වැටහෙනවා. ඒ වගේම අපේ රටේ මානව හිමිකම් යුද අපරාධ ගැන හොයනවා. ඒවා සොයා බැලීමේ අයිතියක්‌, වගකීමක්‌ තිබෙන්නේ මේ රටේ ජනතාවට. අද ඒව ගැන හොයන්න කොමිසමක්‌ පත්කරල තිබුණත් ඊට අභියෝග කරමින් ජාත්‍යන්තර පරීක්‍ෂණ පවත්වනවා. මේවාට මුහුණ දෙන්න අප දේශීය ආහාර සුරක්‍ෂිතතාව ඇති කරගන්න අවශ්‍යයි. අද වන විට වී, බඩ ඉරිඟු, සෝයා, කිරි, මාංශ, බිත්තර, කුකුල් මස්‌ අති විශාල වර්ධනයක්‌ ලබා තිබෙනවා. තවත් විකල්ප පියවරක්‌ වන්නේ ජාත්‍යන්තර මිත්‍රයෝ ඇති කර ගැනීමයි. කියුබාව අධිරාජ්‍යවාදීන්ට මුහුණ දුන්නේ එහෙමයි.

අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාව වන්නේ ලිබියාවට, ඉරාකයට, ඊජිප්තුවේ මුරුසින්ට කළා වගේ මේ රාජ්‍ය කඩා බිඳ දැමීමයි. එයට මුහුණ දෙන එක අපේ වගකීමක්‌. ඒ සඳහා අප ක්‍රියාවට නැංවිය යුත්තේ ජනතා ක්‍රියාකාරිත්වයේ අරගලයේ මාවත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයත්, ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියකුත් ක්‍රියාවට නඟා ගැනීමේ ආණ්‌ඩු විරෝධී නොව ආණ්‌ඩුවට බල කරන අරගලයකට අප යා යුතුයි. මෙය වමේ අරගලයක්‌ පමණක්‌ නොවෙයි. මේ සඳහා අධිරාජ්‍යවාදයට විරුද්ධව සියලු බලවේග එකතුවිය යුතුයි. ආණ්‌ඩු විරෝධීව නොව ආණ්‌ඩුවට බල කෙරෙන ජනතා ක්‍රියාකාරිත්වය මගින් ජනතා අරගලය තමයි ක්‍රියාත්මක විය යුතු එකම මාවත” යෑයිද වැඩිදුරටත් පැවසීය.
දිවයින

ඔබේ අදහස කියන්න...