කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා, මෑතක සිට තමන් ද කාලයක් රැඳී සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන පහත ආකාරයේ නිරීක්ෂණ කිහිපයක් කර තිබුණි. 

 

1. ජවිපෙ තුළ තවම පවතින්නේ, විප්ලව යුගයක පවතින පක්ෂ ආකෘතියකි.

2. ජවිපෙ වහරන්නේ, ලිබරල්වාදයට එරෙහි කොමියුනිස්ට්වාදය යි.

3. බලය ලබා ගැනීමේ ආකෘතිය ලෙස ජවිපෙ අදහන්නේ, මැතිවරණ ක්‍රමය යි.

4. ජවිපෙ ආර්ථික මොඩලය සරල ය. ඔවුන්ට අනුව, බොහෝමයක් මිනිසුන් අඩවන ආර්ථිකය ‘ධනවාදය යි’. බොහෝමයක් මිනිස්සු සතුටින් සිනාසෙන ආර්ථිකය සමාජවාදී ය. අනුර කුමාර රැස්වීම් වල කියන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ ද මෙය යි.

 

                     ලංකාවේ අන් විශ්ව-විද්‍යාල පාසල් ගුරුවරුන් පරිදිම, අතුලසිරි සමරකෝන් ද ‘දේශපාලන විද්‍යාව’ අරබයා ප්‍රකාශ කරන්නේ, ඔපීනියන්- opinions – මිස විද්‍යාත්මක අදහස් නොවේ.

                    ලංකාවේ විශ්ව-විද්‍යාල ගුරුවරුන්ගෙන් බහුතරයක් යනු, අපොස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් සමත් වූවන් ය. සමාජ-ආර්ථික වශයෙන් ඔවුන් අයත් වන්නේ, ග්‍රාමීය පීඩිත පන්තියට යි. ඔවුහු බහුතර දෙනෙක්ගේ පුද්ගලික හැඳුනුම්පත් නැති වී ඇති නිසා, ඔවුන් අධ්‍යාපනය සහ රජයේ විධායක ශ්‍රේණිය හරහා සමාජයේ ඉහළට නැඟ ගත් අය වෙයි. එම නිසා, මේ අයගෙන් අති බහුතරය, අවිඥාණකව තමන්ට ඉහළින් සිටින ඉහළ මැද පන්තියේ සාරධර්ම සමග අනන්‍ය වූ අය වෙයි. ‘ජාතික ජන බලවේගයේ’ නායිකාවක් ලෙස කොළඹ බිෂොප් විද්‍යාලයට ගිය හරිණි පාර්ලිමේන්තු යන්නේ, අහම්බයක් නිසා නොව ඉහළ මැද පන්තියේ සාරධර්මවලට කොළඹ ආ ගැමියා සතු පාරභෞතික මානය නිසා ය. ඒ අර්ථයෙන්, වර්තමාන ජවිපෙ යනු, නොදැනුවත්ව ලිබරල්වාදයට අනුගත වූවන් ය.  ලිබරල්වාදයේ ගැඹුරු හරය වන්නේ, ඔබගේ ආත්මීය හිස් බව පවතින සමාජ සාරධර්ම වලට අනුකූල කිරීමයි. ලංකාවේ කොළඹ ආ ගැමියා අසීමිතව මාධ්‍යවලට ආශක්ත වන්නේ, මෙම සන්දර්භය නිසා ය. ඔවුහු, ‘සමාජ අසාධාරණය’ සමාජ සාරධර්මවලින් ඌණ පූරණය කරන සමාජ ස්ථරයකි.

                     ‘දේශපාලනය සහ දේශපාලන විද්‍යාව’ සම්බන්ධයෙන් මේ දක්වා සිංහලෙන් ලියැ වී ඇති හොඳම ශාස්ත්‍රීය පොත ලියා ඇත්තේ, මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි. ඔහුට අනුව, මිනිසුන් හැසිරවීමට කල්පනා කිරීම ම දේශපාලනය යි. ඒ අර්ථයෙන්, ‘දේශපාලන විද්‍යාව’ යනු, දේශපාලනය දාර්ශනික ලෙස හැදෑරීමේ ශික්ෂණය යි. නමුත්, ‘දේශපාලන විද්‍යාවේ’ නූතන අර්ථය තරමක් වෙනස්ය. ඊට අනුව, දේශපාලනය ගැන විධිමත්ව හැදෑරීම නැතහොත්, දේශපාලනය ”විද්‍යාත්මකව හැදෑරීම” දේශපාලන විද්‍යාවයි. මේ ගැන කතා කළ ලංකාවේ කැලණිය විශ්ව-විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තවත් මහාචාර්යවරයෙකුට අනුව, ‘රාජ්‍ය පාලනය’ නැතහොත් පාලිතයා විසින් රාජ්‍යය තමන්ට අවශ්‍ය ආකාරයට යළි යළිත් සකස් කිරීම පිළිබඳ තේමාව උයන්ගොඩගේ පොතේ නැත.

                      අතුල සමරකෝන් විසින් ජවිපෙ දේශපාලන න්‍යෂ්ටිය අරබයා ප්‍රකාශ කරන අදහස් එනම්, ජවිපෙ යනු, විප්ලවවාදී ආකෘතියක් සහිත ය යන්න හුදු දෘෂ්ටිවාදයක්[ideology] මිස විද්‍යාත්මක අදහසක් නොවේ. ලංකාවේ දේශපාලන පක්ෂවල නායකයන් ඇත්තටම හැසිරෙන ආකාරය ගැන වැටහීමක් ලංකාවේ දේශපාලන විද්‍යාඥයන්ට කොහෙත්ම නැත. දේශපාලන පක්ෂ ගැන ඔවුන්ගේ අවබෝධය සහ හුදු ජනයාගේ අවබෝධය අතර ඇත්තේ, වෙනසකට වඩා සමාන බවකි.

‘අවිඥාණය’ ගැන, ලැකාන්ගේ මනෝවිශ්ලේෂණය ගැන සරල වැටහීමක් ඇති අයෙක් දන්නා පරිදි, අවිඥාණය යනු, ‘අනාගතයේ දී මෙසේ විය යුතුය’ යන අදහස පිළිබඳ ෆැන්ටසිය යි. උදාහරණයක් වශයෙන්, අතුලට ජවිපෙ ගැන කියවෙන්නේ, ‘එය මෙසේ විය යුතු යැයි’ කියා හිතන ඔහුගේ අවිඥාණක ෆැන්ටසිය මිස ජවිපෙ පිළිබඳ විශ්ලේෂණයක් නොවේ.

                     ඉහත අදහස අපි දැන් අතිසරල කරමු. අතුලසිරි සමරකෝන් මෙසේ සිතයි: ‘අනුර කුමාර’ ලුවී අල්තුෂර්ගේ දෘෂ්ටිවාදී පොළා පැනීම ගැන දන්නවා ඇති. මෙය, උපකල්පනයක් පමණි. ගැඹුරින් කිවහොත්, එය අනුර පිළිබඳ අතුලගේ අවිඥාණක ෆැන්ටසියකි. නමුත්, ඇත්තටම අනුර න්‍යායික පොත් කියවන්නේ නැත. එම නිසා, යථාර්ථයට එන විට දී, අතුලගේ ෆැන්ටසිය භයානක නපුරු සිහිනයකි. ‘ඩලුස්’ නම් දාර්ශනිකයා මෙසේ කිය යි: 

‘ඔබ වෙනත් අය වෙනුවෙන් සිහින දැකීම තරම් භයානක දෙයක් මෙලොව නැත’.

                      ඒ අනුව, අතුල විසින් ජවිපෙ සහ පෙරටුගාමීන් වෙනුවෙන් දකින සිහින භයානක සිහිනයන් ය. මේ මෑතක දී පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේ දී, හදගමගේ නාට්‍යයට ‘හොඳම සම්මානය’ සහ සෞම්‍ය ලියනගේට අනිවාර්යෙන් හිමි විය යුතුව තිබූ ‘හොඳම නළුවා සම්මානය’ ලැබීම වළක්වන ලද්දේ, දහම් පාසලක වෙසක් නාට්‍ය ඉගැන්වීමට කුසලතා පූර්ණ කර ඇති ප්‍රසන්නජිත් අබේසූරිය විසිනි. මොහු ජවිපෙට සම්බන්ධ කලා අංශයේ ජාතික මතවාදී පාලකයෙකි. අතුලසිරි නොදන්නා කාරණය වන්නේ, 2011 බෙදීමට පසුව ජවිපෙ සංස්කෘතික අංශය එළියට ගොස් ඇති බවයි. මේ ඛණ්ඩනය නිසා, ‘ජවිපෙ’ කාඩර්වාදය පැත්තට ගිය අතර කුමාර්ගේ කණ්ඩායම දේශපාලනය සංස්කෘතිකකරණයට ඌනනය  කරන ලදී. ඔවුන්ට X කණ්ඩායමේ මතවාදී ප්‍රකාශකයන් කුලියට ගැනීමට සිදුවීම, ඒ අනුව අහම්බයක් නොවේ.

                     ඉතිහාසය පුරාම අරාජකවාදය සහ මාක්ස්වාදය අතර ගැටුමක් නිර්මාණය විය. 1868 දී, ප්‍රථම ජාත්‍යන්තරය කණ්ඩායම් දෙකකට භේද විය. එහි දී, එක් කණ්ඩායමක් රාජ්‍යයෙන් දුරස් වූ අතරම පාර්ලිමේන්තුවාදයට ද විරුද්ධ වූ අරාජිකවාදීන් විය. බකුනින් ද ඇතුළත් වූයේ, මෙම කණ්ඩායමට ය. අනෙක් පස නියෝජනය කරන ලද්දේ, මාක්ස්වාදීන් ය. ඔවුන් විසින් යෝජනා කරන ලද්දේ, රැඩිකල් රාජ්‍ය ප්‍රතිසංස්කරණ සහිත සංගත විකල්ප දේශපාලන වැඩසටහනක් ය. බකුනින් මාක්ස්වාදය විචාරය කරමින්, ‘රාජ්‍යවාදය සහ අරාජකවාදය’ නමින් විරෝධාකල්පයක් ද මතු කරන ලදී. ඔහුට අනුව, ‘සාර්’ පෙරළා දැමීමෙන් අපට හමු වන්නේ, සාර්ට වඩා නරක කෙනෙක් හමු වීමයි. ඒ අර්ථයෙන්, අරාජකවාදය හිසක් නැති සදාචාරවාදයකි.

                      වර්තමාන රාජපක්ෂ රෙජීමයට ඕනෑවටත් වඩා මහජන අනුමැතිය තිබුණි. එයට මෙතෙක් කල් නොතිබුණේ, සමාජ අනුමැතිය යි. එවැන්නක් සඳහා අවශ්‍ය සමාජ අනුමැතිය රාජ්‍යයට සකස්කර දෙන්නේ, අරාජකවාදීන් විසිනි.

                     ඊජිප්තුවේ ආරම්භ වූ ‘මහජන නැගිටීම්’ වල අවසාන ඵලය වූයේ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ නොව යළිත් යුද හමුදාව බලයට ඒමයි. මේ මහජන නැගිටීම් වල අරාජකභාවය දැන දැනත් එහි මැදට පැන, විධිමත් විවෘත දේශපාලන ව්‍යාපාරයක් වූ ‘මුස්ලිම් සහෝදරත්වය’ සහමුලින්ම තමාවම විනාශ කර ගන්නා ලදී.

Final Result.

                        එම නිසා, අතුල සමරකෝන් වැනි විශ්ව-විද්‍යාල ගුරුවරුන් පවා ජවිපෙ ගැන කියන කතා න්‍යායක් මත පදනම්ව කියවන ඒවා නොව, හුදු කාල්පනික අනුමානයන් පමණි. වර්තමානයේ අපට අවශ්‍ය වන්නේ, ජනාධිපති රාජපක්ෂ ගමන් කරන Range Rover මෝටර් රථයට අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස නැග්ග වීම නොවේ. අද පවතින අර්බුදය ගැන ජවිපෙ සහ සජබ යන බලවේග දෙකම කියන්නේ, ජනප්‍රියවාදී සුරංගනා කතා ය. දේශපාලන නායකත්වයකින් තොරව Facebook මගින් මිනිසුන් සංවිධානය කරන්නට උත්සාහ කරන්නේ, මාසික වැටුප් ලබන පහළ මැද පන්තිය යි. ඔවුන්ට නොරැවටෙන්න!

                  අතුල හෝ ලංකාවේ බොහෝ දේශපාලන නිරීක්ෂකයන් සිතන පරිදි, ජවිපෙ යනු, ලෙනින්වාදී සංවිධානයක් නොවේ. ඔවුන් කිසි විටෙක, න්‍යායික අවබෝධයකින් ක්‍රියා කරන්නන් නොවේ. ඔවුහු සාංසිද්ධික ය. විජේවීර සිතූ පරිදි, ජවිපෙ, කුමාර් සහ ඒ ආකල්ප සහිත වාමාංශිකයන් සිතන්නේ, බහුජන අරගලයක් හරහා එන අරාජිකභාවයෙන් බලය ලබාගත හැකි බවයි. නමුත්, අමතක නොකළ යුත්තේ, ප්‍රංශ විප්ලවයේ අවසන් බලඇණිය පාදඩයන් වූ බවයි. සමන්ත විද්‍යාරත්න, අනුර කුමාර සහ විජිත හේරත් ”සේපාල් අමරසිංහ ” සහ තවත් ඒ වර්ගයේ සමාජ ප්‍රකාශකයන් ගැන දේශපාලනිකව නොදන්නා බව අපි දන්නෙමු. ප්‍රේමදාස සමග කළ සෙල්ලමෙන් විජේවීර පැරදුණා මිස ප්‍රේමදාස පැරදුනේ නැත.

                   නිහාල් පීරිස් පූර්ව X දේශපාලන යුගයක දී, ගොර්බචොව් අනුයමින් මෙසේ කීවේය: ‘ඉතිහාසය විවෘත ය’. 

                   අපි, මේ අපේ සිත් කිතිකවන අරාජක Facebookවාදී අරාජකවාදීන්ට සපුරා විරුද්ධ ය. ඔවුන්ගේ හැඩතල ගැන අපගේ අවබෝධය ප්‍රමාණවත් ය. මේ අරාජකවාදය ඉදිරියේ අපි මෙසේ පවසන්නෙමු: ‘ගනින් පොල්ල’.

 

  • සමබිම පක්ෂය – 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මම ඔබගේ අදාසට විරුද්ධ වෙමි. අරාජිකව ඇතිවුන ව්ප්ලව තිබේ. ඔබේ කාර්ය භාරය වන්නේ සංවිධානත්මක පක්ෂයක් සාදා බලය ලබා ගැනීමය. මෙසේ දුප්පත්කම ඉවසීමට නොහැකි මිනිසුන්ට ගහන්නට පොල්ල ගන්නට කියන්නට නොවේ. මැද පන්තියද දුප්පත් වී යන මේ මොහෙතේ ඔවුන් මර්දනය කිරීම නොව හැසිරවීම ඔබගේ කාර්යභාරය විය යුතුය.

  2. මේ රෙදිපිළි කම්හල් වල රැකියා කළ කාන්තාවන් ගෙන් බොහොමයක් දෙනා පිට නගර හා ගම්වලින් පැමිණි අය වූහ. යුද්ධයට යන සාර් ගේ භටයන්ද මේ පළාත්වලින් ම පැමිණි අය වූහ. සාන්ත පිතර්බුර්ගයේදී ගහට ගහක් සුප්‍රසිද්ධ නෙව්ස්කි විදියේ දී මුණ ගැසුණි. මේ දෙගොල්ල එකතු වූයේ ප්‍රේමාලිංගන රංග දක්වන්නටම නොවේ. ඔවුන් දෙගොල්ලටම පොදු ප්‍රශ්න ගැන අදහස්ද හුවමාරු කර ගන්නටය. ගැහැණුන්ට අඩු පඩියත් පිරිමින්ට යුද්ධයට යාම හා අනිවාර්ය මිය යාමත් උරුම වී තිබුණි.

    එසේම අවිවාහක තරුණියන් පිරිසක් තවත් අපූරු උපක්‍රමයක් යොදා ගත්හ. සාර්ගේ හමුදා බැරැක්ක වලින් නගරයට එන සොල්දාදුවන් සමග ඕනෑ කමින්ම සම්බන්ධකම් ඇති කර ගැනීමයි. මේ නිසා එම සොල්දාදුවන් අතරද කාන්තාවන් ගේ අඩු වැටුප් සහ ඔවුන්ගේ ප්‍රශ්න ගැන සෑහෙන අවබෝධයක් ද විය. එසේම සොල්දාදු බිරියන් සමග සබඳතා ඇති සමූහයක් ගොඩ නැගීමට කාන්තා නායිකාවක් වූ අනස්ටසීයා දිව්යාත්කිනා සමත් වූවාය. මෙහි ප්‍රතිඵලය වූයේ 1905 දී වූ ජනතා නැගිටීමේදී මෙන් නොව මේ විරෝධතාවයන්ට එලි බසින කාන්තාවන්ට වෙඩි තැබීම රජුගේ බැරැක්ක සොල්දාදුවන් ප්‍රතික්ෂේප කිරීමයි. කෙටියෙන් කියනවා නම් කෙල්ලන් ගේ විප්ලවයට ආයුධ සන්නද්ධ හමුදා ආරක්ෂාවක් සහතික විය.

    පැරණි පුරුෂ පක්ෂයේ සමාජවාදීන් ද, විප්ලවකාරී සංවිධානද , විප්ලවකාරී පක්ෂද (බොල්ෂෙවිකයන් ඇතුළුව) මේ ගාමන්ට් ෆැක්ටරි කෙල්ලන්ගේ, විවාහක ගැහැනුන් ගේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ගේ විරෝධතා ව්‍යාපාරයට වැඩි තැනක් දුන්නේ නැත. ඔවුන් කතා කළේ මේ නැගිටීම ව්‍යවර්ථ කරන්නටය. නමුත් ඒ දිනවල රැකියාවල යෙදෙන ගැහැණු ප්‍රතිශතය 43% පමණ වූ අතර ඉන් සීයට 3ක් ලෝහ සම්බන්ධ සම්ප්‍රදායික පිරිමි රැකියා ක්ෂේත්‍රයේ නිරතව සිටියහ. මේ ගැහැණුන් ගේ වර්ජනයන්ට ගම්වල සිටින ගොවි කාන්තාවන් ද සහය දැක්වූහ. වැඩිපුරම යුද්ධයට ගියේ ඔවුන්ගේ පුතුන් සහ සැමියන් නිසා ඔවුන්ද විරෝධතා ව්‍යාපාරයන්ට එක්වුනි.

Comments are closed.