ධනවාදයට විකල්ප සමාජ ක්‍රමයක් බිහි කිරීම සදහා උනන්දු  වන බොහෝ දෙනා වර්තමානයේ පසුවන්නේ බලාපොරොත්තු රහිත වූ තත්වයකය. එකිනෙකා ක්‍රම ක්‍රමයෙන් අපගෙන් වෙන් වෙමින් සිටී. මෙය අපට පමණක් පොදු කරුණක් නොව ඉන් සනිටුවහන් වන්නේ ලෝක මට්ටමෙන් සමස්ත වාමාංශික ව්‍යාපාරයේ කඩා වැටීමයි. අතිශයිම රැඩිකල් ධනවාදය ඉදිරියේ අපට යෝජනා කල හැකි විකල්පයක් නො මැත. නමුත් ඔබට තවදුරටත් නව සමාජ ක්‍රමයක් පිළිබද සිහිනයක් ඇත්නම් අපට යෝජනා කළහැකි එකම විකල්පය වන්නේ පවතින ධනවාදී ක්‍රමයේ සංකීර්ණත්වය කුමක්දැයි තේරුම් ගන්නා ලෙසයි. ධනවාදය හුදු ජාතිවාදය වැනි සංකල්පයක් මෙන් බැහැර කල නොහැක.

එහි සමාජවාදයට  වඩා ප්‍රගතිශීලී මානයන්ද පවතී. කෙසේ වෙතත් ධනවාදයේ මුලික තර්කනය ප්‍රාග්ධනය වර්ධනය කිරීමයි. මනුෂ්‍ය ජීවිතයේ සියලු වටිනාකම් ලාභය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිව්‍යහුගත කිරීම ධනවාදය විසින් දිගින් දිගටම සිදුකරයි. නමුත් මෙම ප්‍රාග්ධන සම්මුච්චනය පහසුවෙන් පරාජය කළහැකි අනුවණ ක්‍රියාවලියක් නොවේ. කෙනෙකු ධනවාදය ඉදිරියේ මනුෂ්‍යත්වයේ බිදවැටීමට විරුද්ධ වන්නේ නම් ඔහුගේ විරෝධය පවා අවශෝෂණය කර ගනිමින් යලි සංවිධානය වීමට ධනවාදයට හැකිය. අවසාන වශයෙන් ධනවාදයට ජීවය දෙනු ලබන්නේ අපගේ අවිඥානයෙනි. එසේනම් ධනවාදය පෙරලා දැමීම යනු වාස්තවික ගැටළුවක් නොව මිනිසාගේ   විනෝදය පිළිබද ගැටලුවකි.

සම්ප්‍රදායික අරගලයකදී සටන්කරුවා යුධ පිටියට පිවිසෙන්නේ ආයුධ කිහිපයක් අතැතිවය. කෙසේ වෙතත් ප්‍රතිවාදියා ඉතා දියුණු වන විට අරගලකරුවාට ඉතා ඉක්මනින් මරණය මුණගැසේ. මෙම තත්වය ධනවාදයට එරෙහි සංකල්පීය අරගලයකටද පොදුය. ධනවාදයේ හැසිරීම හරිහැටි නොදන්නා තාක් කල් සටන්කරුවාට හිමි වන්නේ පරාජයයි. මේ නිසා අපගේ සාමාජිකයන්ට දිගු කාලීන ආයුධ පුහුණුවක් ලබා දීමට අප කටයුතු කරමින් සිටින්නෙමු. කුමාර් මහත්තයා සිහින දකිමින් සිටින්නේ T-56 ගිණි අවියක් තම සාමාජිකයන්ට ලබා දීමටය. ගිණි අවියක් ලැබේ නම් ඉන් භෞතිකව සටන් කරන කාඩර්වරයෙකුගේ භූමිකාවට පොළාපැනීම ඔබට මේ මොහොතේ අසීරු කාර්යක් නොවේ. නමුත් ධනවාදය තේරුම් ගැනීමට අධ්‍යනය වෙත  යොමු වීම  ඉතා අසීරු කාර්යකි. එම  ආශාව ඔබ වෙත නොපැමිණෙන්නේ ඇයි?

ඔබ දැනටමත් දන්නා පරිදි ද්‍රව්‍යමය නොවන ශ්‍රමය ( immaterial labor) යනු භෞතික වශයෙන් භාණ්ඩයක් නිෂ්පාදනය නොවන  මිනිසාගේ සිතුම් පැතුම් හා සම්බන්ධ ශ්‍රමයකි. ස්පයික් ජෝන්ස් ගේ Her චිත්‍රපටයේ තියඩෝර් නමැති කතානායකයා තම සේවාදායකයන් වෙනුවෙන් පෙම් හසුන් ලියා දෙයි. මෙම රැකියාවේ නිෂ්පාදනය යනු ලිපිය නොව ලිපිය කියවීම මගින් ඇතිවන හැගීම්ය. නමුත් මෙහි ඇති වැදගත් කොටස වන්නේ පෙම් හසුන සහ එය මිලදී ගන්නා පුද්ගලයන් නොවේ. මේ සියලු ක්‍රියාවලිය තුල ලාභය ඉපැයීම සිදුවෙයි. චිත්‍රපටය තුල නොපෙන්වන්නේ මෙම ලාභයයි. තියඩෝර්ගේ සමාගමට වැදගත් වන්නේ කොයිතරම් එකමුතූ පෙම්පවතුන් නිර්මාණය කරනවාද , කොයිතරම් සුන්දර ආදර සංකල්ප නිර්මාණය කරවාද යන්න නොවේ. ඒ සමගම සමාගමට ලැබෙන ලාභය වැඩිවිය යුතුය.

ද්‍රව්‍යමය නොවන ශ්‍රමය නිසා සමාජ සබදතා ප්‍රතිව්‍යුහගත වෙමින් පවතී.එනම්  මිනිස් ජීවිත ලාභ උපයන ව්‍යුහයක් මගින් ව්‍යුහගත වීමට ලක්වෙමින් ඇත. ෆුකෝ විසින් ජීව-දේශපාලනය (Bio-Politics) ලෙස නම් කරන්නේ මෙම ව්‍යුහගතවීමයි. ධනපති තර්කනය ඍජු ලෙස අපගේ ජීවිත වල ක්‍රියාත්මක වෙමින් ඇත. මේ හරහා එක්තරා ආකාරයක ශික්ෂණය වූ සමාජයක් (disciplinary society) බිහි වෙයි. රාජ්‍ය තන්ත්‍රය නොමැතිව මිනිසුන් පාලනය වන ක්‍රමයක් බිහි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රාග්ධනය ජීව-දේශපාලනය  බවට පරිවර්තනය වේ. මිනිස් ජීවිතයේ සංස්කෘතිය උණ්ඩුකපුජ්ජය මෙන් මානුෂික අර්ථයකින් තවදුරටත් වැදගත් නොවන මොහොතක එය ප්‍රග්ධනයේ තර්කනයට අවශ්‍ය ආකාරයට නිර්මාණය වේ. Pizza Hut අවන්හලකට තම පවුල සමග ගොස්  අවන්හලේ ව්‍යුහයට අනුව අහාර ගනිමින් , කතා කරමින් සතුටු වන මධ්‍යම පාන්තික පුද්ගලයෙකු  කල්පනා කරන්නේ එය  තම ජීවින සංස්කෘතියේ උසස් මොහොතක් බවයි. නමුත් මෙම සතුටු වීම හරහා අවන්හල ලාභය උපයා ගන්නා බවක් ඔහුට නොහැගේ. ප්‍රාග්ධන තර්කනයට  (ලාභය ඉපැයීම)  අනුගත වන පුද්ගලයෙකු ලෙස තමා ශික්ෂණය වී ඇති බව ඔහු නොදනී. මේ ආකාරයට මිනිස් සංස්කෘතිය ප්‍රග්ධනයයේ ගොදුරක් බවට පත්ව තිබීම තුල විශාල වැරදි ඇති බව ඕනෑ කෙනෙකුට පෙන්වා දිය හැක.  කෙනෙකු ඊට විරුද්ධව සටන් කල හැක. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නේ ධනවාදය කඩා වැටීම නොව එය මෙම විරෝධතාවයන්ට අනුව වෙනස් වෙමින්  ප්‍රති සංවිධානය වීමයි. [Para-consistence ]අපෙන් කල යුත්තේ කුමදැයි අසන බොහෝ දෙනෙකුට අප පිළිතුරු ලබා නොදෙන්නේ ධනවාදයේ ඇති මෙම ගතිලක්ෂණය හේතුවෙනි.

නවලෝක, ආසිරි වැනි රෝහලක ඇති පහසුකම් රජයේ රෝහලකට සාපේක්ෂව ඉතා උසස් මට්ටමක පවතී. රෝහලට යන පහල මැද  පාන්තිකයෙකු මවිත වන තරමට එවැනි රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීම තරුපහේ හෝටලයක නතර වීම හා සමානය. මෙවැනි රෝහලක සේවය කරන වෛද්‍යවරයා, හෙදිය, තාක්ෂණ ශිල්පියා ඇතුළු සේවකයන්ගේ වැටුප් ඉතා ඉහල මට්ටමක පවතී. පන්ති දේශපාලනයේ මුණගැසුණු ශ්‍රමිකයාගේ ශ්‍රමය සුරා කන සතුරා මෙවැනි ආයතන ව්‍යුහයන් තුල හමුනොවේ. ඒ වෙනුවට කා විසින් කවුරු සුරා කනවාද යන ගැටලුව මතු වේ. රෝහලේ නතර වන පහල මැද පාන්තිකයාගේ බිල ගෙවා දමනු ලබන්නේ ඔහු/ඇය සේවය කරනු ලබන ආයතනය විසින් ලබා දී ඇති රක්ෂණාවරනය මගිනි. ෆෝර්ඩ්වාදය හරහා ගොඩනැගුන සහසම්බන්ධ ප්‍රතිපක්ෂය මෙතැනදී බිද වැටෙන අතර සුරාකෑම වෙනුවට පරාරෝපණය (alienation) නම් සංකල්පය නුතන ධනවාදය අර්ථකථනය කිරීම සදහා යොදා ගත යුතු වේ.

පහල මැද පාන්තිකයා නවලෝක රෝහලට ඇතුළු වීමත් සමග ධනේශ්වර ලෝකය පිළිබද ඔහුට/ඇයට තිබු  පරාරෝපණයෙන් ගැලවීමට අවස්ථාව උදා වේ. ධනේශ්වර ලෝකය යනු ප්‍රතිවිරෝධතා නොමැති ලෝකයක් බව සිතන තැනට ඔවුන්  පත් වේ. මෙය ශුද්ධ වූ දෘෂ්ටිවාදය (Pure Ideology) ලෙස හැදින්විය හැක. ශුද්ධ වූ දෙවියන් , ශුද්ධ වූ බුදුන්වහන්සේ වෙනුවට අද අප විශ්වාස කරන ශුද්ධ වූ දෘෂ්ටිවාදය වන්නේ ධනවාදය පිළිබද ඇති පුර්ණ විශ්වාසයයි. අද අපට අනුන්ගේ අදහස් මත යැපිය යුතු නැත. තමන්ගේ boss තමා බව බොහෝ දෙනා විශ්වාස කරයි. පන්සලක බුදුන් වැදීම පවා සම්ප්‍රදායික ලෙස සිදුකල යුතු වන්නේ නැත. ඒ වෙනුවට තම තමන්ගේ මතයට අනුව විවිධාකාරයේ පුද පුජා පැවැත්විය හැක. එමගින් විශාල නිදහසක් අත්විදීමට පුද්ගලයා උත්සහ කරයි. මෙම ආකෘතියට සමානව ධනවාදය විසින්ද පුද්ගලයාට අවශ්‍ය අකාරයේ සංස්කෘතීන්හි ජීවත් වීමට අවස්ථාව උදා කරයි. පන්සලේ කුමන පුජාව පැවත් වුවද පන්සලට ලැබෙන ආධාර ප්‍රමාණය වැඩි වන්නේ නම් එහි ඇති වරදක් නැත. එමෙන්ම ලාභය ඉපැයීමට හැකිනම් පුද්ගලයා කුමන නිදහසක් විදින්නේද යන්න ධනවාදයට අදාළ නොවේ.

ධනපති ක්‍රමයේ හොදම දෘෂ්ටිවාදය වන්නේ නිදහස පිළිබද අදහසයි. පශ්චාත් ෆෝර්ඩ්වාදී සමාජයක නිදහස යනු මායාවකි. නවීන ආයතන වල සේවකයන්ට තමන් කැමති ආකාරයට නිවාඩු ලබාගත හැක.  පරිඝනක හැකරුන්ට තමන් කැමති වෙලාවට වැඩ කල හැක. මෙම නිදහස මගින් ඇති කරනු ලබන ප්‍රතිඵලය කුමක්ද? සේවකයා තුල කලින්ටත් වඩා නිවාඩු ගැනීම පිළිබද වරදකාරීත්වයක් ඇති වේ.  හැකරුන්ට දවසේ පැය විසිහතරේම වැඩ කිරීමට සිතෙයි. වැඩනොකර සිටින මොහොතක් පාසා ඔවුන් තුල වරදකරීත්වයක් ඇති වේ. මේ අනුව ගත් විට ධනපති නිදහස යනු පුද්ගලයා විමුක්තිය කරා රැගෙන  මාර්ගයක් නොව මායාවකි.

ලංකාවේ පුද්ගලික රෝහලක සේවය කරන වෛද්‍යවරයාට තමන් කැමති වෙලාවට පැමිණ සේවය කිරීමේ අවස්ථාව රෝහල හිමි සමාගම විසින් ලබා දී ඇත. මෙහි ප්‍රතිඵලය ලෙස තමන් වැඩ නොකර සිටින මොහොතක් පාසා වරදකරීත්වයෙන් පෙළීමට වෛද්‍යවරයාට සිදුවේ. මෙවැනි වෛද්‍යවරයෙක් යනු අඩි 6 x 6 වැනි කුඩා  කාමරයක දොරේ එල්ලා ඇති නාම පුවරුවක් පමණි. මීටත් වඩා කුඩා අවකාශයක රැකියාව කරන ලොතරැයි අලෙවි කරන්නෙක් වෛද්‍යවරයාට වඩා නිදහස්ය(බුරුෂුවා නොවන අර්ථයෙන්). වෛද්‍යවරයා යනු අංක එකේ මෝඩයාය.

ලංකාවේ ප්‍රධාන සමාගම් (MAS) මේ මොහොතේ උපයන්නේ සුපිරි ලාභයයි(Super Profit).කර්මාන්තශාලාව තුලදී බිහිවන මනුෂ්‍ය සබදතා ප්‍රතිව්‍යුහගත කිරීම එවැනි ලාභයක් ඉපැයීමේදී ඉතා වැදගත් වේ. පිරිමි ගැහැණු එකට වැඩ කිරීම සදහා යෙදවීම්, මාස කිහිපයකට වතාවක් විනෝද ගමනක් යාමට අවස්ථාව ලබා දීම ආදිය මගින් මනුෂ්‍ය සබදතාවයන් නව ව්‍යුහයකට අනුව ගොඩනගනු ලබයි. එවැනි ගොඩනැගීමක් අවසානයේ උපරිම ඵලදායිතාවයක් ආයතනයට ලබා දෙයි. ඉහල කළමණාකාරීත්වය වෙනුවෙන් බෙන්ස් මෝටර් රථ ලබා දෙයි. කළමණාකරුවා මෝටර් රථයේ වැඩි වෙලාවක් ගමන් නොකලද ඔහු/ඇය දවසේ වැඩි කාලයක් ආයතනයේ ලාභය වැඩි කිරීම සදහා වෙහෙසෙයි. අධ්‍යාත්මික වශයෙන් නිවට සේවකයන්  පිරිසක් ගොඩනගා ගැනීම හරහා ප්‍රාග්ධන වර්ධනයට ඉතා හොද පරිසරයක් ගොඩනගා ගැනීමට ධනපතියා සමත්වේ. ෆෝර්ඩ්වාදයේදී ධනපතියා උත්සහ කරන ලද්දේ ද්‍රව්‍යමය  ශ්‍රමය  උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමය. වර්තමානය වන විට ද්‍රව්‍යමය  ශ්‍රමය  එහි උපරිම ඵලදායිතාවයට ළගා වී ඇත. මේ නිසා තවදුරටත් ප්‍රාග්ධන වර්ධනය සදහා යොදාගත හැකි වන්නේ ද්‍රව්‍යමය නොවන ශ්‍රමයයි.

ඉතා සංවේදී මනුෂ්‍ය සබදතා ක්ෂේත්‍රය ප්‍රග්ධනයේ තර්කනයට ගොදුරු වීමේ නව මානයක් හදුනාගැනීම සදහා අප මෙම ලිපි හරහා උත්සහ කළෙමු. අවසානයේ අපගේ නිගමනය වන්නේ තව දුරටත් පැරණි අර්ථයෙන් අප හදුන්වාගත් සංවේදී මිනිස් සබදතා යනු ප්‍රාග්ධන තර්කනයේ ගොඩනැගීමක් මිස ඉන් ස්වායත්ත දෙයක් නොවන බවයි. වර්තමානයේ සැබෑ මිනිස් සබදතා පවතින්නේ සේවාදායකයෙකු සහ  රක්ෂණ නියෝජිතයෙකු හෝ  බැංකු සහකරුවෙකු අතරය. ඔවුන්  අතර සම්බන්ධතාවය genuine ය.  මෙවැනි සම්බන්ධතා කේන්ද්‍රගත වන්නේ ලාභ ඉපැයීමට වටාය. නමුත් එය එළිපිට පෙනෙන්නට නැත. ඒ වෙනුවට අප දකින්නේ මෙම සම්බන්ධතා තුල ඇති උතුම් මනුෂ්‍යත්වයයි.

දේශපාලඥයන් ලෙස අප එකී මනුෂ්‍යත්වයන් මත පදනම් වන්නේ නම් අපගේ දේශපාලනය ගමන් කරන්නේ ධනවාදයට විකල්ප දේශපාලනයක් කරා නොව ධනවාදය මත උපරිම ලෙස පරායත්ත දේශපාලනයක් වෙතය. ඔබ අපගේ පක්ෂය කෙරෙහි  ඇති භක්තිය සහ  ආදරය බොහෝ විට සැබෑ භක්තියකි. නමුත් මනුෂ්‍යත්වය යලි ගොඩනැගීමට උත්සහ කිරීම පවා ධනවාදයේ කොටසක් විය හැක. මේ නිසා පවතින ක්‍රමය අර්ථකථනය කිරීම , ඒ පිළිබද අධ්‍යයනය  කිරීම හැර මේ මොහොතේ අපට  වෙනත් විකල්පයක් නැත. නැවත නැවතත් වරද්දා ගනිමින් අප සොයමින් සිටින්නේ එම විකල්ප මාවතයි. ධනවාදය විසින් සියලු දේශපාලන පක්ෂ අවශෝෂණය කරගනු ලැබුවද අප පක්ෂය අවශෝෂණය කරගැනීමට නොහැක. මේ නිසා අප සියලු දෙනාට ඇති එකම බලාපොරොත්තුව පක්ෂයයි.  

Anushka Ariyarathne

 

ඔබේ අදහස කියන්න...