සමානාත්මතාවය: අසමාන ලෙස ඉපදුන මිනිසුන් සාධාරණ සහ යුක්ති සහගත ලෙසකින් එකිනෙකා හා සමාන කරන සැලසුමක් නිර්මාණයට දන්නා ජගතෙක් ලොව නැත.
එහෙම දන්නවා යැයි කියා ගත් උත්සාහයන් වල දී එයට ලක්වූ සියල්ලන්වම දුප්පත් අසරණයන් කළ හැටි නොමඳව ඉතිහාසයෙන් දැකිය හැකියි. දියත් කළ සමානාත්මතා වැඩපිළිවෙත් අනේක වතාවක් අසාර්ථක වුව ද ලොව බහුතරය තමන් මෙතෙක් ගියේ ධනවාදී විවෘත ආර්ථික මගක යැයි තවමත් මුලාවී සිටිති.
ඉතින් තවත් කාලාන්තරයක් තිස්සේ ඒ බංකොළොත් මාර්ගයම විකල්ප විසඳුම යැයි පෙන්වීමට ‘නව’ ලේබල් ගසමින් පරණ සැලසුම් ප්‍රතිසංස්කරණය කර අනුන්ගේ වෙහෙස හොරාකෑමට කැමති බලලෝභීන් උත්සුක වෙති.
දරීද්‍රතාවය යනු මිනිසා උපදින ස්වභාවික තත්වයයි. කොතරම් මහා ධනවස්තු වලට උරුමය කියමින් උපදින මිනිසා වුව ද කිසිත් නොකර නිකම් සිටින්නේ ද එවිට ඔහු දුප්පතෙක් වෙයි. දරීද්‍රතාවය ඇතිවෙන හැටි අපි දැනටමත් හොඳහැටි හඳුනාගෙන සිටිමු. අපට දැන් අවශ්‍ය ධනවස්තු බිහිවෙන්නේ කෙසේදැයි අවබෝධයයි.
ප්‍රජාතන්ත්‍රවාදය: අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා යැයි කියද්දී කුමක් ආරක්ෂා කරන්නේ ද? ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර චන්දයකින් සුළු පිරිසක් කොල්ලකෑමට ලැබෙන වරප්‍රසාදයක් නම් එය ඔටුනු පැළඳි ලෝකයේ පැවති ආචාර ධර්ම වලින් වෙනස් වෙන්නේ කොහොම ද?
[dropcap color=”green”]බ[/dropcap]හුතර ජනතාව යනු ඔවුන් පරිභෝජනය කළ යුතු භාණ්ඩ මොනවාදැයි තීරණයට නොහැකි අය ලෙස පෙන්වන බලලෝභීන් විසින් ආණ්ඩුවේ නිර්දේශයන් තුලින් මහජනතාවට නිවැරදි පරිභෝජනය කුමක්දැයි කියන්නට තමන් දන්නවා යැයි දක්වති. එහෙත් එවැනි ආණ්ඩුවක් බලයට පත් කරගන්නට චන්දය දෙන්නේ මේ ඔවුන් පරිභෝජනය කළ යුත්තේ ද කුමක්දැයි පවා නොදත් නූගත් ජනතාවම නොවේද?!!!!!!!!
සාධාරණත්වය: සමානාත්මතාවය තහවුරු කරන්නට දන්නවා යැයි කියන බලලෝභීන් ඊ ළඟට සාධාරණත්වය තහවුරු කරන්නට ද තමන් දන්නවා යැයි කියති. සාධාරණත්වයේ නාමයෙන් ඔවුන් අසාධාරණයේ නියැළෙති. තමන් විසින් මංකොල්ලකන්නට පසුබට වෙන පුරවැසියන් ලවා අනුන් මංකොල්ලයට බලය ඔවුන් ආණ්ඩුවට පවරති. සිය වෙහෙසෙන් ධනය උපයාගන්නට සමත් වූවාගෙන් කොටසක් මංකොල්ලකෑම සාධාරණ යැයි ආණ්ඩුව ලවා නීතියෙන් නියමයක් නිකුත් කරන ලද පමණින් එය සාධාරණ වූවා යැයි සලකති.
සියල්ලන්ටම එකම තලයක දී උපයන්නට ඉඩ ලැබෙන වාතාවරණයක් වෙනුවට මේ මේ අය වරප්‍රසාද ලැබිය යුත්තන්, සහනාධාර ලැබිය යුත්තන්, බදු සහන ලැබිය යුත්තන් යැයි හඳුනාගන්නට දන්නවා යැයි මුලාවෙන් බලලෝභීන් අනෙක් සියල්ලන්වම රවටති. හිඟාකන්නට හුරු කර ඇති ජනතාව ඒ ඒ වරප්‍රසාද, ඒ ඒ සහනාධාර, ඒ ඒ බදු සහන මේ මේ ප්‍රමාණයෙන් තමනට ලැබිය යුතු අයිතීන් යැයි සලකා ඒවා ඉල්ලා හඬ නඟති. හිඟන්නාට ලැබෙන සොච්චම මඳ නිසා හැමදාම උද්ඝෝෂණයෙන් ඒවා යදින්නට පාරට බසිති.
පුද්ගල නිදහස: පුද්ගලයාගේ නිදහස මේ මේ කාර්යයන්හි නියැළීම සඳහා පමණක් තහවුරු කරනවා යැයි කියමින් නීති දමන්න හැකි යැයි කියන ආණ්ඩුවක් වහල් ක්‍රමයක නියැළෙන්නකි. අධ්‍යාපනයට අයිතියක්, ආහාර සහ නිවාස වලට අයිතියක්, සෞඛ්‍යයට අයිතියක්, ඉන්ටර්නෙට් වලට අයිතියක්, යනාදිය තහවුරු කරනවා කීම යනු නිදහසට (freedom) ඉඩදීමක් නොවේ. ඒ බෙදන්නට හැකියාව ඇති මාස්ටර් සර් වෙතින් අයිතිවාසිකම් දිනාගත යුතු යැයි සිතන දාස චින්තනයට හුරුවීමයි.
උපන් නිසා සෑම මිනිසෙකුටම ලැබෙන්නේ ජීවිතයට අයිතියකි. ඔහුගේ ජීවිතය උදුරා ගන්නට වෙනකෙකුට අයිතියක් නැතැයි පිළිගැනීම සහ එලෙස කරන අයට දඬුවම් දීම ආණ්ඩුවක කාර්ය භාරයයි. එහෙත් ආණ්ඩුවක් කරන්නේ සාධාරණ හා යුක්ති සහගත ලෙසින් මිනිස් ජීවිත අහිමියට තමන් දන්නවා යැයි සිතීමයි.
උපන් නිසා මිනිසාට ලැබෙන්නේ කිසිවෙකුට බලහත්කාරකමක් නොකර සිය වෙහෙසෙන් දේපල උපයා ගන්නට නිදහසකි. අනුන්ගේ වෙහෙසේ ඵලදාව උදුරා ගන්නා මංකොල්ලකරුවන්ට දඬුවම් දීම ආණ්ඩුවක කාර්ය භාරය වෙද්දී ආණ්ඩුව කරන්නේ සියල්ලන්ගේම වෙහෙසේ ඵලදාව උදුරා ගන්නා මාර්ගයක ගමනයි! එසේම උපන් නිසා මිනිසාට ලැබෙන්නේ සිය වෙහෙසෙන් උපයා ගත් දේපල තමන් කැමති අයෙකුට පවරන්නට/තෑගි කරන්නට නිදහසයි. නමුත් ජනතාව රවටා ඇත්තේ එකෙකුගේ වස්තුවෙන් අරගෙන වෙනකෙකුට තෑගි බෙදන්නට ආණ්ඩුව දන්නවා කියායි!!!
ආරක්ෂාව: ලොව කිසිම ආණ්ඩුවකට පුරවැසියාගේ ආරක්ෂාව සලසා දීමට නොහැකියි. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුත්තකි. එහෙත් එය අවබෝධයට ඉඩක් නොදෙන, පුරවැසියාගේ ආරක්ෂාව සලසා දෙන්නට තමන් දන්නවා කියන ආණ්ඩු, තව තවත් අසාර්ථක සැලසුම් වලට ‘මහජන මුදල්’ වැයකරමින් ජනතාව රවටති.
බදු වලින් කරන මංකොල්ලය නොමැතිව හමුදාවක් පෝෂණයට නොහැකි බව ද, විසල් හමුදා හදන්නට බදු පැනවීමෙන් ඉතිහාසයේ මහා ප්‍රබල අධිරාජ්‍යයන් ඇති වී ඒවා රකින්නට ගිය බදු වැඩිවීම නිසා ආර්ථිකයන් බංකොළොත්වී නැති වී ගිය හැටි නිදසුන් මේ අය නොදකිති. එහෙත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට විරෝධය දක්වන වාමාංශිකයන් කිසිම විටෙක මහා විසල් හමුදා හදත හැකියාව ලැබෙන බදු වලින් බලහත්කාරයෙන් කරන මංකොල්ලයට අකැමැත්ත නොදක්වති. ඊට අකමැත්ත දැක්වුවහොත් ඉතින් සාධාරණව සහ යුක්ති සහගතව අනුන්ට බෙදන්න දන්නවා කියමින් ඒ බලය ඔවුන් තම අතට ගන්නේ කෙසේද?!!!!!
අපේ දැක්ම කියන ජනතාවාදී පාලනයේ කුළුණු පහ ගැන
අරුණි ශපීරෝ නම් මහත්මියකගේ ලිපි ත්‍රිමාන වෙබ් අඩවියේ දිගින් දිගට පල වීම මට තේරුම් ගත නොහැක. එම ලිපි වලට පිළිතුරු දීම සඳහා ප්‍රවේශයක් ලෙස, ලිපි කීපයක් පල කල බව පෙනුනත්, දැන් එම ‘පිළිතුරු ලිපි’ වෙනුවට දිගින් දිගටම මුල් ලිපි පල වීම පමණක් වෙමින් පවතියි. මේවා ඉතාම පැරණි තර්ක තියෙන, බොහොම දුර්වල රචනා වෙයි. මෙවැනි දුර්වල රචනා වලට ප්‍රතිචාර දැක්වීම කාලය නාස්ති කිරීමක් බව මගේ අදහසයි. ඒවා ලියන ලේඛිකාව කල යුත්තේ, ‘ජ. වි. පෙ’ ඇතුළු වාමාංශික දේශපාලන ව්‍යාපාර වල අදහස් පැරණි සහ අසාර්ථක ඒවානම් ඒවායේ වැරදි පෙන්වීම සිය ලේඛන වල එකම අරමුණ කර ගැනීම නොව ඒ වෙනුවට ලංකාවේ අපි දේශපාලනය කල යුතු ආකාරය කුමක්ද කියා ඇය දකින ආකාරය පැහැදිලි කිරීමයි. ඒ වෙනුවෙන් ඇය කරනා දෙය පැහැදිලි කිරීමයි. මම ඇයගේ බ්ලොග් අඩවිය කියවා නොමැත. සමහර විට ඇය එහිදී අප ‘කල යුත්තේ කුමක්ද?’ යන ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් දී තිබීමට හැකිය. මේ ලිපි වලින්නම් ඇය එවැන්නක් පැහැදිලි කර නැත. ත්‍රිමාන වෙබ් අඩවියේ පල වී ඇති ලිපි කියවා බැලූ විට ඇයගේ බ්ලොග් අඩවිය තුල එතරම් ගැඹුරු දේශපාලනික ලිපි තිබේ කියා සිතීමට අපහසුය. කෙසේ උවත් දැන් මෙය පල වී ඇති නිසා, මෙයට ප්‍රතිචාර දැක්වීම හෝ, නැතිනම් මෙවැනි දුර්වල රචනා පල කිරීම නැවත්වීමට හෝ ත්‍රිමාන සංස්කාරකවරයා කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
වංගීස
වංගීස වැනි දාර්ශණිකයෙකුට මෙවැනි දෑ කියවන්නට වේලාවක් නැති වන්නට පුළුවන. නමුත් අපට නම් ඕනෑ තරම් වේලාව තියෙන නිසා සහ ‘අප කිසිවක් නොදන්නා’ ‘මෝඩයන්’ වන නිසා අරුණි ගේ ලිපි කියවා ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදය තේරුම් ගන්නට උත්සහ කරමු. තේරුණා ද දන්නෑ?
Comments are closed.