දළ වශයෙන් වසර 60 ක් ආයු වළඳා ඇති ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් සිංහල ගැමි ජනයාට, විශ්ව-විද්‍යාල අධ්‍යයන සංස්කෘතියට සහ සමහර NGO සහ නාගරික පර්ෂද වලට බෝ කල දෘෂ්ටිවාදය නැතහොත් සරලව මතවාදය හංස ගීතය ගායනය කරමින් සිටියි. ඉදිරියට පවත්වන ජනාධිපතිවරණයට පසුව ‘විජේවීර වාදය” සතු ග්‍රාමීය බලය ක්‍රමිකව අවසන් වනු ඇත. විජේවීරවාදයට එරෙහිව බුද්ධිමය අරගලයක් කළ එකම දේශපාලන චින්තනය අප නොවේ. ඒ සඳහා සමසමාජ,කොමියුනිස්ට්,නව සමසමාජ, විකොස, දයාන් ජයතිලක, ඇතුළත්ව බොහෝ අය විවිධ උත්සාහයන් ගත්තේය. සම්භාව්‍ය මාක්ස්වාදය තුල කීර්ති බාලසූරිය සහෝදරයා මෙහි උපරිම දුර ගමන්(ජවිපෙ දේශපාලනය සහ එහි පන්ති ස්වභාවය නම් කෘතිය) කළත්, ඔහු ගේ ගැටලුව වූයේ විප්ලවය පිළිබඳ න්‍යායක් ඔහු සතු වුවත් සමාජය පිළිබඳ දියුණු න්‍යායක් ඔහුට නොමැති වීමයි. මෙහි ප්‍රතිඵලය ලෙස විජේවීරවාදය පිළිබඳ වාස්තවිකව දියුණු න්‍යායක් ඉදිරිපත් කළත්, විජේවීරවාදයේ අන්තර්ගතය පිළිබඳ ආත්ම මූලික න්‍යායක්(මනෝවිශ්ලේෂණය? ට්‍රොට්ස්කි මේ විද්‍යාව අර්ථ කථනය කරන ලද්දේ මධ්‍යම පන්ති න්‍යායක්  ලෙසිනි.) ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි විය.

අප විජේවීරවාදය සමග කරන විවාදයේ දී ලංකාවේ පන්ති සිතියම සහ දේශපාලන සිතියම වර්ගීකරණය කරන්නේ භූගෝලය [Geography] මත නොව සංකල්පීයත්වය [Conceptual-ism] කේන්ද්‍ර කොටගෙනය. උදාහරණයක් ලෙස ‘සුමිත් චාමින්ද’ අර්නෙස්ටෝ ලැක්ලෝ, ෂන්තාල් මුෆ්, අන්තෝනියෝ ග්‍රාම්ස්චි යනුවෙන් නම් විශාල ප්‍රමාණයක් යථාර්ථයට විසි කරන බව සැබෑය.[Names Dropping] නමුත් ඔහුගේ ආත්ම මූලිකත්වය [subjectivity] අයත් වන්නේ මින්නේරිය සංකේතීයත්වයටය.[Minneriyalism]

මින්නේරියේ ”චාමින්ද” යනුවෙන් අප අදහස් කරන්නේ භූගෝලීය පිහිටීම නොව සමාජ සමස්තය තුළ ඔහුගේ පිහිටීමයි. එනම්, ඔහුට අවබෝධයක් නැති ඔහුගේ පන්ති පිහිටුම(Class position) සතු සැබෑ මානයයි.( Real dimension).

පන්තිය සතු ෆැන්ටාස්මැතික මානය  මිනිසකුට අදාළ වන්නේ අවිඥාණක ව්‍යුහයෙන්ය. ‘ෂන්තාල් මූෆ්'[දේශපාලන දර්ශනවේදියෙක්] වහරන චින්තකයකු ස්ත්‍රී විරෝධී කුමාර් ගුණරත්නම්ට හිරිකිතයකින් තොරව හෙලුවෙන් කඩේ යන්නේ නැත. අනෙක නූතන ධනවාදී සැකසුම තුළ ධනවාදය හෝ දෘෂ්ටිවාදය ව්‍යුහගත වන්නේ කතිකා බලයෙන්ය.(Discursive power) ඊට හොඳම උදාහරණය චාමින්දමය. චාමින්දගේ පොත්, කොළඹ පොත් ප්‍රකාශකයෙකු පළ කරන්නේම දේශපාලනය මේ යුගයේදී යථාර්ථයට -reality- නොව සත්තාවට-being – අයත් නිසාය. සරලව කිවහොත්, චාමින්දගේ කතිකාවේ වාස්තවිකත්වය තීන්දුවන, ආත්මීය ව්‍යුහය මනෝවිශ්ලේෂණය නැතිව කියවීමට නොහැක. උදාහරණයක් ලෙස ජෝන් කීල්ස් සභාපති ක්‍රිශාන්ත බාලේන්ද්‍ර ගේ ‘බද්ධ-දෘෂ්ටියට’(Gaze) චාමින්දව පෙනෙන්නේ Backpacker [a person who travels with a backpack, usually not spending very much money and staying in places that are not expensive] කෙනෙක් ලෙස මිස, බටහිර චින්තනයේ ආභාෂකයෙක් ලෙස නොවේ. ඉතුරු හාල්පාරුවන් ගැනද කීමට ඇත්තේ එයමය. ‘පන්තිය’ පශ්චාත් – නූතන ධනවාදී යුගයක දී  වසගය, වේෂනිරූපණය, මාධ්‍ය ප්‍රතිරූප හරහා ප්‍රතිස්ථාපනය කළ හැක. නමුත් ‘සැබෑ පන්තිය’(Real class)  මිනිසාට වෙනස් කළ නොහැක. කතා කළ වහාම සහ ක්‍රියාව හරහා කෙනෙකුගේ පන්තිය සංකේත ලෝකය අභිබවා වටහා ගත හැක. ලැක්ලෝ දන්නවා යනු මේ සියල්ල ගැන ඇති ඥාන-විභාගය යි. උදාහරණයක් ලෙස කොළඹ දී ස්ත්‍රීත්ව  සිතියම්කරණය කරන විට, චාමින්දගේ කතිකා විශ්ලේෂණ න්‍යාය බිඳවැටී අවිඥානක ෆැන්ටසිය අධිනිශ්චය වෙයි.[subject] එවිට සැබෑ මධ්‍යම-පන්තික ස්ත්‍රියක් සමග ලිංගික සබඳතා පැවැත්වීම යනු චාමින්දගේ පැත්තෙන් මර උගුලකි.ඔහු  එතනදී රෑට වැටෙන වලෙහි දවල්ට ද වැටෙයි. අපි මෙන්න මේ අදහස පන්ති විශ්ලේෂණයට ගොනු කරල තමයි කියන්නේ බුවා මින්නේරියේ කියලා. එහෙම නැතිව පුද්ගලික අපහාසයකට නොවේ. සරලව කිවහොත්  බුවා සංකේතනය තුළ කුමක් වැහැරුවත් විනෝද වෙන්නේ, මින්නේරියේ යථ ට අනුව. අපි ඉහත සූත්‍රගත කළ ආත්මය පිළිබඳ විද්‍යාව පදනම් කරලා තමයි විජේවීරවාදය  පිළිබඳ සමාජ න්‍යාය අපි ගොඩ නගලා තියෙන්නේ. මේක කොළඹ ආපු හාල්පාරුවන්ට Mortein [High exposure may cause headache, dizziness, irritability, seizures, and a loss of consciousness.] ගහනවා වගේ වැඩක්. හතර වටේ සිහිය නැති ව දුවනවා මිසක් මේ න්‍යාය කුමක්ද කියලා හදාරන්න යොමු වෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් අපි සාමූහික විජේවීරවාදයේ යථ ස්පර්ශ කරලා තියෙන්නේ. අපි ඔබටත් ආරාධනය කරන්නේ විජේවීර වාදය සමතික්‍රමණය කරලා මීට වඩා හොඳ රටක් හදමු !

 

 අනෙක් පසින් ස්ත්‍රීන්ට එරෙහිව අප කිසිදා හිංසනයකට යන්නේ නැත, කියනකොට හිස්ටෙරිකයන් (Hysterics) ඊට ඇතුළත් නැත. හිස්ටෙරිකයන් ලිංගික වෙනස නොදන්නා අතර ඔවුන් ඉලක්ක ගත වන්නේ බලයට(Power) යි.  හිස්ටෙරිකයා සෑම විටම අර්ථයකින් තොරව මාස්ටර්වරයාව වසඟ කිරීමට උත්සාහ කරන අතර විනෝදය මග හැරීමේ පාපකාරී ගමනක නියැළෙයි. එබැවින් ස්ත්‍රිය සහ හිස්ටෙරිකයා පටලවා නොගන්න!

-Deepthi Kumara Gunarathne

  පහත පළ වන්නේ චන්දන ලියූ අලුත් ලිපියයි.

විපරිත වාමාංශිකයන්ගේ යල් පිනූ දේශපාලනය.

ගම -නගරය සහ නගරයකට සංක්‍රමණය වු ජනයාගේ දේශපාලන-ආර්ථිකය.

ලංකාවේ කලාව තුල මෙන්ම දේශපාලන සමාජ විද්‍යාව තුලද යථාර්ථවාදී සහ අනුභූතික චින්තන විධික්‍රමය තව දුරටත් නව සමාජ-දේශපාලන තත්ත්වයන් විග්‍රහ කර ගැනීම සදහා වලංගු නොවන බව නැවත නැවතත් තහවුරු වී අවසන් ය. එහි අවලංගු බාවය අවසාන වශයෙන් සංකේතාත්මකව ප්‍රදර්ශනය වූයේ 69 ලක්ශයක ජන්ද ගෙන ගෝඨාභය ජනාධිපති වීමත් ජාතික ලයිස්තු මන්ත්‍රීදූරයක් පමනක් හිමිවූ එක්සත් ජාතික පක්ශයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වීමත් හරහාය.


X කණ්ඩායම ලෙසත් ‘සමබිම පක්ශය’ ලෙසත් අප දිගින් දිගටම 90 දශකයේ සිටම මතු කරමින් සිටියේ මෙම නව සමාජ ව්‍යුහය පිලිබදවය.
අප දිගින් දිගටම අවධාරනය කරන ලද්දේ අප මේ ජීවත් වෙමින් සිටින්නේ නූතන සමාජ අවකාශයක නොව පශ්චාත් නූතන (පශ්චාත් ධනවාදී ) සමාජ අවකාශයක බවය. මෙහි තවදුරටත් ක්‍රියාත්මක වනුයේ නූතන සමාජ ක්‍රමය තුල ක්‍රියාත්මක වූ නියාම ධර්ම නොව පශ්චාත් නූතන සමාජ ක්‍රමයට අදාල ගාමක නියාමයන් බවය.


අප කියන්නේ කුමක්දැයි කිසිවකුටත් තේරුම් නොගියද, ඒ කිසිවෙකුටත් මේ මොහොතේ අපව කිසිසේත්ම මග හැර යා නොහැකිය.
පෙනෙන සමාජ යථාර්ථය (Appearance ) සරල හේතු ඵල සම්බන්ධයක් තුලින් විග්‍රහ කර ගැනීමෙන් තවදුරටත් සමාජ සත්‍යන් අවබෝධ කර ගැනීමත් සමාජය වෙනස් කිරිමත් කිසිසේත්ම කල නොහැකිය.
මා ඉහත සදහන් කරන ලද සමාජ දේශපාලන සංසිද්ධින් එකවර සහතික කරන්නේ පශ්චාත් නූතන සමාජය නැතහොත් පශ්චාත් ධනවාදී සමාජයේ ස්ථාපිත බාවයත් සරල යථාර්ථවාදී සමාජ න්‍යායයන්ගේ අවසානයත්ය.


අපගේ සමාජ ඉතිහාසය තුල සිදුවූ තීරනාත්මක දේශපාලන සිද්දීන් කිහිපයක් තුලින් නව සමාජ කණ්ඩනය සිදුවී ඇති ආකාරයත් පැරණි න්‍යායයන්ගේ අවලංගු වීමත් තේරුම ගැනීමට බලමු.

1. බාහිර යථාර්ථයක් ලෙස සියලු දෙනා බනිමින් විරුද්ධත්වය දැක්වූ 1977 හදුන්වාදුන් ” විවෘත ආර්ථික සමාජය” පරාජය කිරීමට නොහැකි වීම .


2. 1994 දී ජේ ආර් ගේ පක්ශය පරාජය වුවද ඔහු හදුන්වා දුන් විවෘත ආර්ථිකය ප්‍රායෝගික වැඩසටහනක් ලෙස සියලු දෙනා පිලිගැනීම. රැඩිකල් වාමාංශික දේශපාලනය පරාජය වීම. විවෘත ආර්ථිකයට මානුශික මුහුනු වරක් දීම සහ දූශිතයන්ට දඩුවම් කිරීමේ ව්‍යාපෘති පරාජය කිරීම.

3. 2005දී විවෘත ආර්ථිකය සහ සියලු තක්කඩිකම් ව්‍යංගයෙන් අනුමත කරමින් දෙමළ ජාතිය සංහාරයකට ලක් කිරීමේ ව්‍යාපෘතියට අඩි තාලම දැමීම.


4.2009 දී නැවතත් ප්‍රබුද්ධ යැයි හිතා සිටි ප්‍රබුද්ධ ව්‍යාපෘති පරාජය වී නැවතත් හොරුන් දූශිතයන් සහ ජාතිවාදින් යැයි හදුනාගත් කොටස් ම නැවතත් බලය ලබා ගැනීම.


5. 2015 කිසියම් සාපේක්ෂ නූතන වාදී ව්‍යාපෘතිය කට අඩිතාලම වැටුනද කෙටි කාලයකින් 2019දී එම සම්පූර්ණ ව්‍යාපෘතියම 360°න් ආපස්සට හරවන ලදි.
(දෙමළ ජන්ද නොමැතිව කිසිදා ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බව ලංකා ඉතිහාසය තුල න්‍යායගතවී තිබිය දීත් එය එසේ නොවන බව සනාථ විය)


6.ඉන් පසු ඇතිවූ කොවිඩ් වසංගතය කිසිදා ලංකාවට පාලනය කල නොහැකි යැයිද කෝවිඩ් එන්නත් කිසිදා ලබාගත නොහැකියැයි විශ්වාස කලද එය එසේ නොවන බව තහවුරු විය.


7.ආර්ථික අර්බුදයත් සමග අරගලයක් ඇතිවූ අතර එමගින් සිස්ටම් වෙනසක් බලා පොරොත්තු වූ අතර නමුත් ඔවුන් බලාපොරොත්තු වූ කිසිවක් නොවී රනිල් ජනාධිපති විය. කිසිදා නතර කල නොහැකි යැයි සිතූ අරගලය වාෂ්ප විය.


8. ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට, IMF ණය ලබා ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කර ගනීම සහ විදේශ ප්‍රේශන ගැටලු විසදාගත නොහැකි බව සමාජගත කලද එවැන්නක් සිදු නොවිණි.


9. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුල බැංකු පද්දතිය කඩා වැටෙන බව පැවසුවද එයද එසේ නොවීය.


මේ ආකාරයට ඉතිහාසය පෙලගස්වා බැලූවිට විවිධ වකවානුවල බාහිර සමාජ යථාර්ථය සකස් වී තිබුනේ නපුර,අයහපත අසාධාරණය සහ දුෂ්ඨත්වය නැමති යක්ශයාට එරෙහිවය. එහෙත් ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ සියලු දෙනා එරෙහි වූ යක්ශයා සහ අයහපත ජයග්‍රහණය කිරීමයි. සිදුවන්නේ යැයි පෙනුන දෙය සහ අපේක්ෂා කල දෙයෙහි පරස්පරය සියලු දෙනාටම අභිමුක වීමයි.

මෙය මෙසේ සිදුවූයේ ඇයිද සහ මෙසේ නැවත නැවතත් එකම දෙය සිදුවන්නේ ඇයිද යන්නට ඉදිරිපත් කල හැකි න්‍යායික පැහැදිලි කිරීම කුමක්ද?


1.බාහිර යථාර්ථය නිරූපනය කරන්නේ තවදුරටත් සත්‍ය නොව අපගේම ෆැන්ටසියක් බව අවබෝධ නොවීම .[media simulation]


අප සමාජ සත්‍යය ලෙස බාහිරින් අත්දකින,විශ්වාස කරන බාහිර යථාර්ථය යනු ‘ෆැන්ටසියක්’ මිස සැබෑවක් නොවේ. එය විවිධ දෘෂ්ටිවාදයන් සහ විවිධ කතිකා තුලින් අප විසින්ම පරිකල්පනය කරන ලද අපගේම ෆැන්ටසියයි. එම සමාජ යථාර්ථය සහ සමාජ සත්‍ය අතර කිසිදු සමානත්වයක් නැත. එබැවින් අපගේ ෆැන්ටසිය සැබෑ සමාජ යථාර්ථය නියෝජනය වන්නේ යැයි උපකල්පනය කලද එසේ වන්නේ නැත.
ට්‍රොට්ස්කිවාදීන් මෙන්ම මාවෝවාදීන් ද සලකන්නේ අප අත්දකින සමාජ යථාර්ථය අපිට සැබෑව පෙන්වනවා කියාය. ඔවුන් විශ්වාස කරන්නේ එය සැබෑ භෞතිකය කියාය . ඔවුන් කටපාඩමින් දැන සිටි මාක්ස්වාදී භෞතිකවාදය අනුව සමාජ යථාර්ථය අපිට පෙන්වන්නේ වාස්තවික භෞතිකත්වයක් කියාය. මොවුන් මෙම මායා විශ්වාසය තුල සිරකරනු ලැබුයේ ලංකාවේ 1977 දක්වාත් ලෝකය තුල දෙවන ලෝක යුද්ධය දක්වාත් පැවති සමාජ චලනයන් මෙම භෞතිකවාදී න්‍යායික කියවීමත් සමග සමපාත වීම නිසාය. විශේෂයෙන්ම මෙම අනවරත සමාජ චලනයන්ගේ සහ සමාජ මැදිහත්වීම වල අසාර්තකත්වයන් වලට හේතුවක් සොයා ගැනීමේ බුද්දිමය ආලෝකයක් ලංකාවේ තුල නොතිබූ බැවින් මෙම අසාර්ථක සමාජ භාවිතය විෂම චක්‍රයක් වී ඇත. ලංකාවේ දේශපාලන මැදිහත්වීම තුල මෙම ”ටොම් ඇන්ඩ් ජෙරී” කාටුනය සිහි විකල්වන තරමටම රග දක්වමින් සිටියි.
අරගලය උත්කර්ෂනයට නංවා ගෝඨාව පන්නන විට විප්ලවය අද නම් සිදුවන්නේ යැයි සිතයි. එහෙත් කොහේවත් නැති රනිල් වික්‍රමසිංහ පැමින ජනාධිපති වන්නේය. ඩොලර් නැතිවී රට තවදුරටත් යා නොහැකි බවට වහසි බස් දොඩා මාස කිහිපයකින් එයද අනිත් පැත්ත හැරෙන්නේය. හෙට බැංකු පද්දතිය කඩා වැටෙන්නේ යැයි කැට තියන විට ඊලග දවසේ බැංකු ශක්තිමත් වී ඇති බවක් ප්‍රකාශ වේ. ටොම් ට ජේරී අතටම අහුවී අල්ලේ සිරවී ඇති විට අප හිතන්නේ අද නම් ජෙරී ඉවරයි කියාය.ජෙරී අද නම් ඉවරයි කියා අප සතුටු වීමට සැරසෙන විටම ටොම්ට මොකක් හෝ අකරතැබ්බයක් වී ජේරී කෝචොක් කරමින් පලා යයි. ලංකාවේ ප්‍රගතිශීලීන් යැයි හිතා සිටිනා සියලු දෙනා අත් දකිමින් සිටින්නේ මේ කටුක සමාජ යථාර්ථය නොවේද ?


2. පශ්චාත් – නූතන සමාජය නැමැති නව සමාජ ප්‍රපංචයක් ඇති වීම සහ එහි චලනයන්ට පැරණි අර්ථයෙන් යථාර්ථවාදී නියාම නීති තවදුරටත් වලංගු නොවීම.


කවුරුන් විශ්වාස කලද නොකලද ‘පශ්චාත් – නූතන සමාජය’ යනු අද අප සියලු දෙනා ජීවත් වන සමාජ ක්‍රමයයි. මෙය සාම්ප්‍රදායික හෝ නූතන වාදී සමාජ ක්‍රමයන්ට වෙනස් නව සමාජ තත්වයකි. එහි ගතිකත්වය සහ නියාමන නීතීන් කිසිසේත්ම සම්ප්‍රදායික සහ නූතන සමාජ ගතිකත්වය සමග අනන්‍යවන්නේ නැත. ‘පශ්චාත්-නූතන සමාජය’ තවදුරටත් වටහා ගැනීමට පෙර සම්ප්‍රදායික සහ නූතන සමාජය යන්න කියවා ගැනීමට බලමු .

* සම්ප්‍රදායික සමාජය යනු කුමක්ද ?

මෙහි මූලික ලක්ෂණය නම් සංකේත පිලිවෙල කිසිවෙකු ප්‍රශ්න නොකිරීමයි. මහා අනෙකා පවතින බව සියලු දෙනා විශ්වාස කරමින් ඔහුගේ නියෝගයට අවනත වෙයි. තමන්ගේ ආත්මීයත්වය නොවැදගත් අතර තමා මෙහෙය වෙන්නේ බාහිර සමාජ පිලිවෙල තුලිනි. සමාජය එකම රවුමක ගමන් කරයි, එක තැන පල්වෙයි. මෙම සමාජය තුල මිනිසුන් නරුම නැත. ( ගෝත්‍රික නායකයා තමන් කනවාද,නොකනවාද, කන්නේ මොනවද සහ කොච්චරද යන්න තීරණය කරයි. ඔහුට අවනත වෙයි,ඔහුව ප්‍රශ්න නොකරයි).


* නූතන සමාජය යනු කුමක්ද?


නූතන සමාජය තුල ජීවත් වන මිනිසා බාහිර සකේත යථාර්ථය පිලිගන්නා නමුත් එය සෑම විටම ප්‍රශ්න කරයි. අධෝ ව්‍යුහය සහ උපරි ව්‍යුහය අතර මෙන්ම වාස්තවික යථාර්ථය සහ මිනිස් මැදිහත්වීම අතර තාර්කික සම්බන්ධයක් විද්‍යාමානවේ. ආත්ම මූලිකත්වය අධිනිශ්චය වේ. නිර්මාණ ශීලීත්වය ගොඩ නැගේ. ශිෂ්‍ඨාචාරය නිර්මාණශීලී ව ගොඩ නැගුනේ මේ නිසාය.

* පශ්චාත්-නූතන වාදී සමාජය යනු කුමක්ද?


පශ්චාත් නූතන සමාජය යනු සාම්ප්‍රදායික ධනවාදය (Classical capitalism ) අවසන් වූ සමාජ සැකැස්මකි. සංස්කෘතිය පාරිභෝගික අවකාශය තුල අධිනිශ්චය වන අතර නව නිශ්පාදනය ඉක්මවා යමින් ප්‍රති නිශ්පාදනය අධිනිශ්චය වේ. (පැරණි දෙයම නව මුහුනු වරකින් නිමවෙනවා. පැරණි සිංදු අලුත් ගායකයෝ කියනවා, පරණ ගමේ කෑම තරු හෝටල් වල මාර්කට් කරනවා,).


තාර්කික බුද්ධිය වෙනුවට ‘විනෝදය’ (jouissance ) සමාජයේ ගාමක බලය බවට පත්වේ. ධනවාදය සම්පූර්නයෙන්ම මෙහෙය වෙන්නේ බාහිර තර්කනයකින් නොව පුද්ගල ආත්මීයත්වයකින් වන අතර එම ආත්මීයත්වය ගොඩ නැගෙනුයේ ‘විනෝදය ‘ නැමති අවිංඥානක සාධකයෙනි. පුද්ගලයා මෙහෙය වනුයේ ‘අහම ‘ (ego) තුලින් ගොඩ නැගෙන පුද්ගල ආත්මය මගින් නොව ‘සුපිරි අහම’ (super ego ) මගිනි. සුපිරි අහමේ නියෝගය වනුයේ “ඔබ විනෝද වුනාද?” සහ “ඔබ තව තවත් විනෝද වන්න” යන නියෝගයයි.
ඔබට තට්ටු දෙකේ ගෙදරකින් විනෝද විය නොහැකි නම් නගරයේ සුපිරි තට්ටු නිවාසයක් ගන්න යන්නය. ජපන් ප්‍රිමියෝ කාරයකින් නොලැබිය හැකි විනෝදයක් සුපිරි බෙන්ස් රථයක් මිළදී ගෙන ලබා ගන්න යන්නයි. මෙය පශ්චාත් නූතන සමාජයේ සමාජ සැකැස්මේ ආකෘතියයි.


මෙම සමාජ ගතිකත්වය රැදී ඇත්තේ බාහිර යථාර්ථය මත නොව පුද්ගල ආත්මය ගොඩනගන සහ මෙහෙය වන විනෝදය (enjoyment – jouissance ) , ආශාව (desire) සහ හබායාම (drive ) තුලය.


ධනවාදය තවදුරටත් එලියේ පවතින්නක් නොව එය පවතින්නේ පුද්ගල ආත්මය තුලය, ධනවාදය අභ්‍යන්තරික වී ඇත යන්නේ අදහස මෙයයි. බාහිරින් ඇස් නිලංකාර කරවන ධනවාදී සමාජය ගොඩනගන්නේ ‘විනෝද වන’ පුද්ගල ආත්මය විසිනි. එය අවසානයේ අප තුල ඉතිරි කරන්නේ අතෘප්තිය සහ අතිරික්ත විනෝදයයි ( surplus enjoyment ). එබැවින් විජේවීර වාදීන්, පෙරටු ගාමීන්, කොටි සංවිධානය එලියේ ධනවාදය පෙරලන්නට කොතෙක් දැගලුවද එය පෙරලෙන්නේ නැත. ධනවාදය ඇත්තේ පුද්ගලය ආත්මීයත්වය තුලය . පෙරලන්නට හෝ විනාශ කරන්නට එලියේ ධනවාදයක් තවදුරටත් නැත.

– සුසමාදර්ශී විතැන්වීමක් සැබෑවටම සිදුවී ඇද්ද ?


සාම්ප්‍රදායික සහ නූතන සමාජය සමතික්‍රමනය කර පශ්චාත් නූතන සමාජයක් උදා වීම කිසිසේත්ම මග හැරයා නොහැකිය . මෙය අපි විසිකර දමා ඇති සමාජ වාස්තවිකත්වයයි. මෙය නවතාවයකි. මෙය සුසමාදර්දී විතැන්වීමකි. මෙහි නියාම ධර්මයන් සහ සමාජ නීතීන් තවදුරටත් නූතනත්වය තුල ක්‍රියාත්මක වූ නීතින් නොවේ. පෘතුවි කේන්ද්‍රවාදයෙන් සූර්‍ය කේන්ද්‍රවාදයට සිදුවූ කණ්ඩනය, නිව්ටන් සමතික්‍රමනය කරමින් අයින්ස්ටයින් ඇතිකරන ලද කණ්ඩනයන්ට සමානය. ක්වොන්ටම් භෞතිකයේ ඉලෙක්ට්‍රෝන වල චලිතය නිව්ටන්ගේ නියමයන් ගෙන් පැහැදිලි කරගත නොහැකිවාක් මෙන් ‘පශ්චාත් – නූතන’ සමාජයේ ගතිකයන් සාම්ප්‍රදායික මිනුම දඩු සහ විශ්ලේෂණ තුලින් කියවාගත නොහැකිය. මෙම සමාජ කණ්ඩනය වටහා ගැනීම ව්‍යාකූල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මිනිස් දැනුම සහ අවබෝධය සෑම විටම ඥාන විභාගාත්මක (epistemology)) පදනමක ආකෘතිගතව පැවතීමයි. එනම් එලියේ ඇති දැනුමක් අපගේ තර්ක බුද්දිය හරහා ඇතුලට අවශෝෂණය කර ගැනීමේ ක්‍රම වේදයයි. මේ නිසා කිසියම් වාස්තවිකත්වයක් සද්බාවවේදීව (ontological ) වටහා ගැනීම යනු අපිට ආගන්තුක සහ නුහුරු දැනුම ලබා ගැනීමේ ආකෘතියකි. මෙම පශ්චාත් නූතන සමාජයත් එයට සම්බන්ධ වන සහ එය ගොඩනැගීමට මැදිහත් වන පුද්ගල ආත්මයත් (subject ) යන දෙකම ඥාන විභාගාත්මකව වටහාගත නොහැකි අතර එම අවබෝධය ලබාගත යුත්තේ සද්බාව වේදීවය. ඒ සදහා වෙහෙසෙන්නේ නැත්නම් එය ඉතා දුෂ්කර කාර්යයකි. හිතනවා(thinking) යන්න නොදන්නා සහ එය මර්ධනය කරන ලද විජේවීර වාදී චින්තනය බලෙන් පොවන ලද සමාජය කට එය තවත් අසීරුය .

*පශ්චාත් – මාක්ස්වාදයක් අවශ්‍ය වන්නේ ඇයි?


මෙම පශ්චාත් නූතන සමාජය බිහිවීමත් සමග දේශපාලනය කරනු ලබන සමාජය නැමති මාධ්‍ය‍යද (media) සුසමාදර්ශී කණ්ඩනයකට (paradigm shift) ලක් වී ඇත. එනිසාම ඒ මත ගොඩ නගන ලද වාස්තවික සමාජ නිශ්ඨාවන්ගේ ( භාෂාව හරහා කලින් සංකල්ප ගත කරන ලද සමාජවාදය, කොමියුනිස්ට් වාදය ) අර්ථය වෙනස් වීම (Displacement) ස්වාභාවිකය. එමෙන්ම සමාජය කියවා ගැනීමට සහ වෙනස් කිරීමට ඉතිහාසය තුල යොදාගත් සියලු යථාර්ථවාදී න්‍යායන්ද යල් පැන යන්නේය.


පශ්චාත් මාක්ස්වාදය අනිවාර්‍යතාවයක් වන්නේ එබැවිනි.


මා මෙතෙක් ඉතා සංක්ශිප්තව ඉදිරිපත් කරන ලද්දේ සමාජ ක්‍රමය තුල සිදුවූ ගතික වෙනස් වීම තුල සම්ප්‍රදායික, නූතන සහ පශ්චාත් නූතන සමාජය බිහිවීමත්, පශ්චාත් නූතන සමාජය යනු සුසමාදර්ශී කණ්ඩනයක් බවත් එහි සමාජ ගතිකත්වය තේරුම් ගැනීම සදහා පැරණි සමාජ දේශපාලන න්‍යායයන් තවදුරටත් වලංගු නොවන බව සහ නව සමාජය කියවා ගැනීමේදී පශ්චාත් මාක්ස්වාදයේ ඇති වලංගු බාවය අවධාරනය කිරීම පමණි.

  • චන්දන රණසිංහ.

 

 

 

 

ඔබේ අදහස කියන්න...