කලා කෘති වාරණය සම්බන්ධයෙන් පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඔබ ඊට එරෙහිව තම අදහස මෙසේ ප්‍රකාශ කරන ලදී. (එහි සාරය පහත උපුටා දක්වමි)
“කලාවට තහනම් නියෝග පැනවීම ම අසංස්කෘතිකයි. අපි ඊට එරෙහි වෙනවා. ඒ වගේම පොතක්, නාට්‍යයක්, චිත්‍රපටියක් වාරණය කරන්නැයි කෙරුණු මෑතකාලීන ඉල්ලීම් පිටිපස්සේ බොහෝ දුරට හිටියේ රජය නොව ආගමික සංස්ථා බවත් සිහිපත් කිරීම වැදගත්’’
– මව්බිම, යං අතිරේකය, පිටු 8-9 –
අප මේ ජීවත් වන යුගයේ කලාවේ උත්තරීතර නිදහස උදෙසා පවා පෙනී සිටින්නන් තම විසම්මුතිය ඉවසන්නේ නැත. මේ හේතුව නිසා තම විරුද්ධවාදියාගේ මතය ගැන තමන්ගේ රසිකයන්ද දැනගන්නේ නැත. එනිසා අප අපගේ ඊනියා විසම්මුතික අදහස පහත උපුටා දක්වමු. මේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ අදහසයි.
“ඕනෑම දෙයකට යම් පරිපාලනයක්, සංවරකමක්, නියාමනයක් අවශ්‍යයි. ඒ නියාමනය නීති රීති, සම්ප්‍රදායන් විදිහට අපි හඳුන්වනවා. මිනිසා දියුණු වෙද්දී ආගම, සම්ප්‍රදාය, සංස්කෘතිය හැදුණා. මේවායින් බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ සමාජ ක්‍රමවල යහපැවැත්ම. මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වන සන්නිවේදනය සහ කලාවටත් අනෙක් හැම එකටම වගේ සංවරකමක්, නියාමනයක්, සීමාවක් අවශ්‍යයි. සීමාව ඉක්මවා යන සෑම තැනකදීම සිදුවන්නේ විනාශය. ආගමේ පවා සීමාව ඉක්මවා ගියාම තමයි අන්තවාදීන් බිහි වෙන්නෙ. නමුත් කලාව ක්‍රමානුකූලව මහජනතාවගේ හිත සුව පිණිස සකස් වෙන්න ඕන කියන මතයේ ඉන්නවා. කලාව පවතින්නේ කූට ව්‍යාපාරිකයන් සඳහා නෙවෙයි. ජනතාවගේ යහපත පිණිසයි.’’
– පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ඉහත එම –
ඊළඟට අපි නදී වාසලමුදලිආරච්චි කියන දෙයක් අහමු. ඇය දේශපාලනිකව ගමන් කරන්නේ වමත් නොවන දකුණත් නොවන තෙවන මාර්ගයක. (තෙවන මාවත – මේ මාර්ගය අපට හඳුන්වා දුන්නේ 90 දශකයේ ජනප්‍රිය ඉංග්‍රීසි දේශපාලකයකු වූ ටෝනි බ්ලෙයාර්)
“මේ මොහොතේ කළ යුත්තේ ආගමික කණ්ඩායම්වලට බලය දීම නොවෙයි. ඒකෙන් සිද්ධ වෙන්නේ අන්තවාදය කරා යෑම. නිර්මාණ දිහා මතුපිටින් බැලුවම එන විරෝධය තමයි මේ එල්ල වෙමින් තියෙන්නේ. නිර්මාණකරුවා නිර්මාණශීලීව ඇතුළත් කරලා තියෙන දේශපාලනික, සමාජීය අදහස කියවා ගන්න කවුරුත් උත්සාහ කරන්නේ නෑ. නිර්මාණ බලන්නේ නැතිව යොදල තියෙන නම්වලින් ඊට එරෙහි වෙනවා නම් ඒක අන්තවාදී අදහසක්.’’
– නදී වාසලමුදලිආරච්චි, ඉහත එම –
පශ්චාත්-නූතන ධනවාදය විසින් සමාජය තුළ මතු කරන ප්‍රතිවිරෝධතාවයන් සිහි කටයුතු ලොවක පවතින සාම්ප්‍රදායික සහසම්බන්ධ ප්‍රතිපක්ෂයන් සතු සන්දර්භයන් විනාශ කරයි. පැරණි වාමවාදයට අනුව කලා කෘති අරබයා සමජයේ පවතින ගතානුගතික සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් වන්නේ ‘කලාව කලාව සඳහා’ යන ප්‍රවාදය සහ ‘කලාව ජනතාව හෝ වෙළෙඳපොළ සඳහා’ යන ප්‍රවාදයයි. (කිසිවකු තමන් ‘අන්තවාදය’ ලෙසින් හඳුනා ගන්නේ කුමක්ද කියා පහදන්නේ නැත.)
නූතන ගෝලීය ධනවාදය කලාව අරබයා තුන්වැනි ප්‍රවාදයක් ද ගොඩනගා ඇත. (සීමාව ඉක්මවීම ‘විනෝදය’යන ප්‍රවාදය අප අමතක කරන්නේ නම්)
(3) ‘කලාව මං සඳහා’ ප්‍රවාදය. (මෙය ප්‍රතිහෙජමොනිකය)
පසුගියදා කලාව අරබයා ඇති වූ උද්ඝෝෂණ ක්‍රියාවලිය (දැන් දැන් සමාජයේ උද්ඝෝෂණ ක්‍රියාවලිය ජනතා විමුක්ති පෙරමුණෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මාරු වෙමින් පවතියි. පසුගියදා එක්තරා උද්ඝෝෂකයකු පුබුදු ජාගොඩගේ ශරීරය දෙසට ඇඟිල්ල ඔසවා මෙසේ ප්‍රකාශ කළේය. “මේ ඉන්නෙ මේ රටට ගොඩක් ආදරය කරන කෙනෙක්) යටින් දිවෙන සටන් පාඨවලින් ප්‍රකාශමාන වන්නේ අලුත් අදහසකි. අප මේ ජීවත් වන සමකාලීන යුගයේ ‘කලාව කලාව සඳහා කරන අයත්’ (ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම….), ‘කලාව වාණිජ අරමුණු සඳහා කරන අයත්, පසුපසට තල්ලු කරමින්, “අඩෝ අපි කලාව කරන්නෙ ආත්ම විමුක්තිය සඳහා, නැතහොත් කලාව මම කරන්නේ සමාජයේ අනෙකාගේ දැක්ම උදෙසා’’ යනුවෙන් කුඩා පිරිසක් උද්ඝෝෂණය කරයි. මේ අයව හඳුනා ගැනීමේ විද්‍යාවක් හඳගමට, ප්‍රසන්නට, මණුවර්ණට නැත. කේක් පන්ති, ක්‍රෝටන් වගාව වැනි කෘෂිකාර්මික ව්‍යාපාරවල සිට ගෘහ නිර්මාණය, ශාරීරික යෝග්‍යතා පන්ති සහ යෝග පන්ති දක්වා පරාසයක විහිදෙන සංස්කෘතික ක්‍රියාකාරීත්වයක් සහිත පුද්ගලයන් දේශපාලනයට මෙතෙක් හිමි වී තිබූ වම/ දකුණ භේදය අවසන් කරමින් සිටිති. සිහි බුද්ධිය තිබෙන මිනිසුන් මේ දක්වා දැන සිටියේ ප්‍රගතිශිලී දේශපාලනය සහ ප්‍රතිගාමී දේශපාලනය පමණි. දැන් ඊට තුන්වැනි මානයක් නොහොත් ලොබ්සාගේ තුන්වැනි ඇසක් සවි වී ඇත. මේසයේ අශෝක හඳගමගේ දෙපැත්තේ වාඩිගෙන සිටින පුද්ගලයන් දෙදෙනා 2005 වර්ෂයේ ‘අක්ෂරය’ චිත්‍රපටයට එරෙහිව රහසින් කුමන්ත්‍රණය කළ අය බව තතු දන්නා අයට රහසක් නොවේ.
The Adaptable Peasant නමින් ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියා ඇති පුද්ගලයකු ‘සිංහල ගැමියා’ ගැන කළ නිර්වචනයක් මෙතැනදී ලිහා බැලීම කලාවට එරෙහි දේශපාලනයට එරෙහි මෙම නව උද්ඝෝෂණ රැල්ල වටහා ගැනීමේදී අදාළ වෙයි. ‘සිරිසේන සහ තෙපානිස්’ කෙටි කතා රචකයා වන ඩබ්ලිව්. ජයසිරි සිංහල මිනිසාගේ ඉරණම මෙසේ රචනා කරයි. “ඔහු රඹුටන් කාලයට රඹුටන් විකුණනවා. අඹ කාලයට අඹ විකුණනවා, අවාරයට පස්ස පැත්ත විකුණනව.’’ Adaptable peasant’ නොහොත් ‘තැනට ගැළපෙන විදිහට අනුවර්තනය වන ගැමියා’ නම් කෘතියේ කතුවරයා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිය. අධ්‍යාපනය සහ වමේ දේශපාලනය නිසා සමාජයේ තැනකට පැමිණ ඇති ඔහුද නව ප්‍රවාදයක් (නලීන් ද සිල්වාගේ ජාතික චින්තනය මෙන්) ගොඩනංවමින් සිටිනු පෙනේ. ඔහුගේ ප්‍රවාදය මෙසේය. “කාට හරි මොනවහරි, කාලය යනවනං’’ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ එනතුරු’ නාට්‍යය ආරම්භ වන්නේ මෙවන් දෙබසකිනි. “මේ ලෝකේ දෙයක්නෑ කරන්න!’’නිර්මාල්ගේ ප්‍රවාදය බෙකට්ගේ ප්‍රවාදයට වඩා රැඩිකල්ය. බෙකට් මෙන් ඔහු කාලය නිශේධනය කරන්නේ නැත. ඔහුට කරන්නට කුමක් හෝ දෙයක් ඇත. කෙනෙක් ප්‍රතිහෙජමොනික වීමෙන් ධනේශ්වර විරෝධී වීම අනිවාර්ය නැත.
යුරෝපයේ නාසිවාදය ආරම්භ වීමට පෙර ජර්මනියේ බිහි වූ විශිෂ්ට දාර්ශනිකයකු වූයේ මාටින් හෛඩගර්ය. ඔහු තමාගේ දාර්ශනික ස්ථාවරයට තුඩු දුන් ජර්මානු සමාජ යථාර්ථය මෙසේ පහදා දුන්නේය. “එක පැත්තකින් අපට මාක්ස්වාදය නම් වූ ශුන්‍යතාවය තිබෙනවා. අනෙක් පැත්තෙන් අපට ක්‍රිස්තියානිය නම් වූ ශුන්‍යතාවය තිබෙනවා. මේ අන්ත දෙකම සමතික්‍රමණය කළ හැකි තෙවැනි මාවතක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇත්තේ ජර්මානු ගැමියාගේ හදවත තුළය.’’ (බෙන්ජමින්ට අනුව ෆැසිස්ට්වාදයේ මූලික අමුද්‍රව්‍යය මහජනයාය)
පසුගිය දශක කිහිපයක සිට ඇමරිකානු සංස්කෘතිය තුළ තුවක්කුකාරයන්ගේ ආගමනය විශාල වී ඇත. එකවරම පාසලකට හෝ ප්‍රසිද්ධ ස්ථානයකට කඩා වදින පුද්ගලයකු දිගින් දිගට ඉලක්කයකින් තොරව මහජනයාට වෙඩි තබන අතර ඉන් විශාල පිරිසක් මිය යයි. ලෝකයේ ධනවත්ම රාජ්‍යයේ මෙවන් දෙයක් සිදු වන්නේ ඇයි? බොහෝ විට මෙසේ වෙඩි තබන අය දුගීන් නොව පහළ – මැදපාන්තිකයන්ය. මේ පිළිබඳව දිය හැකි දේශපාලන උත්තරය තරමක සරදම්කාරී එකකි. ඇමරිකානු ධනවාදී සමාජය ඉතා පුද්ගලික සහ හුදෙකලා එකකි. ඒ තුළදී පවතින මාධ්‍ය හරහා (උදා – Fox TV) කෙනෙකුට ජනප්‍රිය විය නොහැක. (මම කියල කෙනෙක් මේ ලෝකයේ ජීවත් වෙනවා යනු සත්තාවේ ගැටලුවයි) මාධ්‍ය මගින් ජනප්‍රිය වීමට නම් ජීසස්ගේ ඡායාරූපයට ප්‍රසිද්ධියේ පිස් කර මිනිසුන්ගෙන් ගුටි කෑ යුතුය. එපමණක් නොව එය වීඩියෝ කරගත යුතුය. එවිට එය CNN, Fox හෝ BBC Culture කොටසින් උපුටා ගනියි. පසුව ඔබ විනාඩි 15කට ලෝකයේම ජනප්‍රිය වෙයි. ජනප්‍රිය විය හැක්කේ නිෂ්පාදනයෙන් නොව ප්‍රතිනිෂ්පාදනයෙනි.
ඕමල්පේ සෝභිත හිමියන් හෝ නලීන් ද සිල්වා අසන්නේ විදග්ධ ප්‍රශ්නයකි. “ඇයි තොපි අපේ සංස්කෘතියේ පරමාදර්ශී හැඟවුම්කාරකයට අපහාස කරන්නේ?’’ සායක්කාරගේ ‘මං කෙලින් මිනිහෙක් නාට්‍යයේ’ (මෙහි ජුගුස්සාව නිර්මාල්ට පවා දරාගත නොහැක) ලිංගික සංසර්ගය සඳහා මෙට්ටය ලෙස තෝරාගන්නේ ලෙනින්ගේ රුව සහිත පෝස්ටරයකි. සංසර්ගය අවසන් වන්නේ ලෙනින්ගේ තට්ටය මත ‘කන්‍යා – රුධිරය’ පතිත වීමෙනි. ඔහුගේ වාසනාවට තවම ලෝකයේ වාමාංශික මූලධර්මවාදීන් බිහි වී නැත. දැන් ගැටලුව කාටත් පැහැදිලි වනු ඇත. මේ වනාහි කලා නිෂ්පාදනය නොව ධනවාදය තුළ දිනෙන් දින සංකීර්ණ වන ප්‍රාග්ධනයේ වියුක්ත ක්‍රියාවලිය සූත්‍රගත කිරීමට නොහැකි අයගේ සංයුක්ත මරලතෝනියයි. ජාතිවාදියා එතනදී වාසනාවන්තය. ඔහුට දෙමළා, මුසල්මානුවා නමින් මුව හමක් හෝ පවතියි. නමුත් සිංහල හෛඩගර්ලාට එවැනි හතුරකුවත් නැත. මාක්ස් කීවේ ආගම විචාරය කිරීමෙන් වැඩ පටන් ගන්න කියාය. නමුත් ජිජැක් කියන්නේ ගෝලීය ධනවාදය විචාරය කිරීමට අපිට ඉතුරු වී ඇත්තේ ආගමික විචාරය පමණක් බවය.
Deepthi
lankanewsweb
දීප්ති…. ඔබ මෙතෙක් ලියූ හඳගමයානු තිසීසය පොතක් වශයෙන් පළ කිරීමට දැන් හොඳ කාලය!!
Comments are closed.