මෙවර ග්‍රේෂන් සම්මානලාභී මාලින්ද සෙනෙවිරත්න

“එදා මගේ පොත අවසන් වටයටවත් තේරුණෙ නැහැ. සම්මාන උත්සව ශාලාවෙන් එළියට එනකොට මගේ යහළුවා මගෙන් අහනව මොන එහෙකටද මම ඒ ‍පොත ග්‍රේෂන් එකට යැවුවෙ කියල. පසුගිය වසර හයක් පුරාම මගේ කෘතින් හයක් මම ග්‍රේෂන් එකට යැවුවේ හේතුවක් ඇතුව. මට හීනයක් තිබුණා.

මට ඕනකම තිබුණා කවදහරි මේ සම්මානය දිනන්න. මට ඕනකම තිබුණේ සම්මානලාභියෙක් ලෙස ඒ සභාවට යමක් කියන්න.

මට ඕන වුණා කියන්න, ඉංගිරිසි සාහිත්‍ය යට සාපේක්ෂව සිංහල සාහිත්‍යය සිටින්නේ බොහෝම ඉදිරියෙන් කියල. කෙටිකතාව, කවිය, නාට්‍යය ඒ හැම මාධ්‍යයකම ඉංගිරිසි කලාකරුවා සිටින්නේ බොහෝම පසුපසින්. ජයතිලක කම්මැල්ලවීරට සමීප විය හැකි අපේ ඉංගිරිසි ලේඛකයෙක් නැහැ. රජීව් වෙල්ගමට සමීප විය හැකි අපේ ඉංගිරිසි කවියෙක් නැහැ. ඉංගිරිසි නාට්‍ය වල තියෙන්නෙ බොළඳ හාස්‍ය රසයක්. ඉංගිරිසි කතා කරන්න බැරි අයට හිනා වෙන ප්‍රභූවාදයක් එතන රජයනවා. හැබැයි ඔවුන්ට රාජිත දිසානායක වැනි සිංහල නාට්‍යකරුවන්ට ළං වෙන්න වත් බැහැ.”

නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මලින්ද සෙනෙවිරත්නගේ කාව්‍ය කෘතින් පස්වතාවක්ම ග්‍රේෂන් අවසන් වටයට නිර්දේශ විය. මෙවර ඔහුගේ ‘එජස්’ නම් කාව්‍ය සංග්‍රහයට රුපියල් දෙලක්ෂයක ග්‍රේෂන් සම්මානය හිමි විය.

මේ පිළිසඳර සෙනෙවිරත්නගේ ඒ නිර්මාණවේශය නිමිති කොට ගෙන ය. සිළුමිණ වෙනුවෙන් මාලින්ද සමඟ සාකච්ඡාව සිදුකළේ ඩේලි නිව්ස් පුවත් පතේ මාධ්‍යවේදී සචිත්‍ර මහේන්ද්‍ර ය.

පුවත්පත්කරුවන්, නිර්මාණශීලි ලේඛකයාත් බොහෝ විට සැරිසරන්නේ ක්ෂේත්‍ර දෙකක. එකම පුද්ගලයකු තුළ පුවත්පත්කරුවා සහ නිර්මාණශීලි ලේඛකයා දක්නට ලැබෙන අවස්ථා බොහොම විරලයි. උදාහරණයක් හැටියට මාර්ටින් වික්‍රමසිංහ මහතා මාධ්‍යකරණයේ යෙදුණත් ඔහු වඩාත් ප්‍රකට වුණේ නිර්මාණ ශිල්පියෙකු හැටියට. ඩී.බී. ධනපාල මහතා ‍ලේඛනයේ යෙදුණත් ඔහු වඩාත් ප්‍රකට මාධ්‍යවේදියකු ලෙස. මේ ක්ෂේත්‍ර දෙකෙහිම නියැළෙන කෙනෙකු ලෙස ඔබට කීමට ඇත්තේ කුමක් ද?

ඔය දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. මාධ්‍යවේදියෙකුට හෑලි ලියන්න බැහැ. ප්‍රවෘත්තියක් ලියනව නම් වචන 250 ක් තමයි උපරිමයට ලියන්න පුළුවන්. අද වෙන කොට ලියන්න පුළුවන් වචන 850 ක සීමාව ඇතුළෙ. ඊට වඩා ලියුවොත් මිනිස්සු කියවන්නෙ නැහැ. විශේෂාංගයක් ලියනව නම් ටිකක් වචන වැඩිපුර ලියන්න පුළුවන්. ඒත් 1200 ක් වගේ ප්‍රමාණයක් ඇතුළෙ.

මට මතකයි විශ්වවිද්‍යාලෙ ඉන්න කොට නිබන්ධනයක් ලියන ‍කොට එකවර පිටු 25 ක් පමණ ලියන්න ඕන. ඇතැම් රචනාවක් වචන 3000 කට එහා විය යුතුයි. නමුත් පුවත්පත් කලාවට අවතීර්ණ වුනත් සමඟම මට තේරුණා වචන අඩුවෙන් ලිවී‍ෙම් කලාව. අවම වචන ප්‍රමාණයකින් කියන්න බැරි දෙයක් නැහැ. ට්විටර් අඩවියේ අපිට කියන්න ඕන පණිවිඩය කියන්න වෙන්නෙ අකුරු 140 කින්.

මේ කාරණයත් එක්ක මට හිතෙනවා අනාගතයේදි මාධ්‍යවේදින් නවකතාකරණයෙන් ඈත් වෙයි ද කියල.

ඇතැම් විට කෙටි නවකතා බිහි වෙන්න පුළුවන්?

ඔව්. ඇතැම් විට එහෙම වෙන්නත් පුළුවන්. මම කීපවරක්ම උත්සාහ කළා. නවකතාවක් ලියන්න. පිටු කිහිපයක් ලියැවෙනවා. එච්චරයි. අනික් කාරණය තමයි මේ ක්ෂේත්‍රයේ උඩට යන්න යන්න, ඇතැම් කටයුතු අප අතින් ගිලිහෙනවා.

අපේ මොහාන් රාජ් මඩවල මහත්තයා නවකතා ලේඛනයට පිවිසුනේ මාධ්‍යයෙන් ඉවත් වෙලා. අපි කාර්යාලයට ඇවිල්ලත් කරන්නෙ ලියන එක. ගෙදර ගිහිල්ලත් කරන්න වෙන්නෙ ලියන එක වුණහම, ජීවත් වෙන්නෙ ‍කොයි වෙලාවෙද කියන ප්‍රශ්නය එනවා.

නමුත් අපි බටහිර ලෝකය පැත්තට හැරුණොත්, පසුකාලීනව නවකතාකරුවන් වුණු බොහෝ මාධ්‍යවේදින් අපිට දැකගන්න පුළුවන්. මෑතකදි මිය ගිය ගාර්ෂියා මාකේස් මාධ්‍යවේදියෙක්. ඔහු නවකතාකරණයට පිවිසුනේ පසු කාලයකදි. නමුත් ඔහු වඩාත් ප්‍රකට වුණේ නවකතාකරුවෙක් ලෙස.

ලේඛන ශිල්පය ඉගෙන ගන්න පුළුවන් හොඳ පාසලක් තමයි පුවත්පත් කලාව.

අනිත් කාරණය තමයි වික්‍රමසිංහ මහත්තයව උදාහරණයක් හැටියට ගන්න අමාරුයි. එතුමාට තිබුණා සුවිශේෂි ලේඛන වේගයක්. ඊට සම කළ හැකි ලේඛකයකු බිහි වුණේ නැහැ කියන එකයි මගේ කල්පනවා. එතුමාගේ ලේඛන ඵලදායිතාව සන්සන්දනය කරන්න බැහැ.

ඔබ පැවසුවා පුවත්පත් කලාව ලේඛන ශිල්පය ඉගෙන ගන්න හොඳ පාසලක් කියා. එයින් හැ‍ඟෙන්නේ පුවත්පත්කරුවන් නොවූ බොහෝ ලේඛකයන්ට ලේඛන කලාව ඉගෙන ගන්නට තිබූ අවස්ථාවක් මඟ හැරුණා යන්න ද?

නෑ. ඕනම ලේඛකයෙකුට විවිධ ක්‍රම තියෙනවා ලේඛන හැකියාව ඔපමට්ටම් කරගන්න. උදාහරණෙකට ගත්තොත් පත්තර වලට ලියන්න කලින් මම කළේ දැන්වීම් ආයතනයකට ලිවීම් කරපු එක. මගේ ලේඛන කලාවෙ ලොකු වෙනසක් වුණා නම් අන්න එතනදි තමයි ඒක සිද්ධ වුණේ. දැන්වීම් ආයතනයකට ලියනව කියන එක පත්තරේකට ලියනව වගේ ‍නෙවෙයි. අභියෝග තියෙනවා. අපේ සැපයුම්කරුවාට අවශ්‍ය දේ අකුරට ලියැවෙන්න ඕන. ඒ වගේම තමයි තරගකාරිත්වය බහුලවම තියෙනවා.

එතකොට අපි භාවිතා කරන වචනය හරි ප්‍රබලයි. අඩු වචන ටිකකින් ප්‍රබල සන්නිවේදන කටයුත්තක් සිදු වෙන්න ඕන.

ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වතාවක් කියපු කාරණයක් තමයි කියන්න තියෙන දේ විනාඩි 10 ක් ඇතුළත කියන්න බැරි නම් ඒක අසාර්ථකයි කියලා. උදාහරණයක් හැටියට එතුමා සඳහන් කළේ ජේසුස් වහන්සේගේ කන්ද උඩ දේශනාව සහ බුදුරදුන්ගේ දම්සක් පැවතුම් සුතුර.

ඇත්තටම යම් දෙයක් සන්නිවේදනය කරද්දි වැදගත් වෙන්නෙ වචන කීයක්ද කියන එක නෙවෙයි. වචනයක් කොහොමද භාවිතා කරන්නෙ කියන එක.

ඒ නිසා ද ඔබ කවිය නිර්මාණ මාධ්‍යයක් හැටියට තෝරා ගත්තේ?

එහෙමම නෙවෙයි. ප්‍රධාන හේතුව තමයි මම කවියට කැමතියි.

දැන් බලන්න මාක්ස්වාදි උගතුන් දිහා. ඔවුන් ලියන්නේ බොහෝම වටහා ගැනීමට අපහසු වාක්‍ය. නමුත් ලස්සනට ලියනව. ඒකට හේතුව තමයි ඔවුන් වැඩිපුර කියවල තියෙන්නෙ මාක්ස්වාදි ලේඛන.

ඒ වගේම තමයි මමත්. මම වැඩිපුර කියවන්නේ කවි නිසා වැඩිපුර ලියන්නෙත් කවි. ඇත්තම කිව්වොත් ලොකු පොත් දැක්කහම මම බය වෙනවා. ලොකු පොතක් කියන්නේ ඒක කියවන්න සෑහෙන වෙලාවක් යනවා. එක පොතක් එක තැනක ඉඳගෙන සෑහෙන වෙලාවක් කියවන්න තරම් විනයක් තියෙන මිනිහෙක් නෙවෙයි මම.

ඔබ ජයග්‍රහණය කළ ග්‍රේෂන් සම්මාන විනිශ්චය ගැන හැම වසරකම පාහේ විවේචන එල්ල වෙනවා.

ඔබ ඔය කියන තත්ත්වය ග්‍රේෂන් නෙවෙයි ඕනම සම්මානයකට අදාළ ‍සම්මතයක්. ඔය හැම සම්මානයකටම අදාළ දේශපාලනයක් තියෙනවා. ග්‍රේෂන් විනිශ්චය ගැන අපිටත් යම් විවේචන නොතිබුණා නොවේ.

නමුත් ග්‍රේෂන් වැනි සම්මානයක් පවතින එක යහපත්, නොපවතිනවට වඩා. ඉස්සර අපි ඉංගිරිසියෙන් ලියුවා. ඒත් ඒ ලියන අපිට හමුවෙන්න පොදු වේදිකාවක් තිබුණෙ නැහැ. පනස් දෙනෙක් පමණ මේ සම්මානයට තමන්ගෙ ලේඛන ඉදිරිපත් කරනව කියමු. ඒ පනස් දෙනාගෙන් එක්කෙනාට වෙන්න පුළුවන් සම්මානය හමු වෙන්නේ. පස් දෙනෙකු වෙන්න පුළුවන් අවසන් වටයට තේරෙන්නෙ. නමුත් පනස් දෙනාම සම්මාන ප්‍රදානෝත්සවයට එනවා. අපිට එකිනෙකා හමු වෙන්න අවස්ථාවක් ඒ නිසා ඇති වෙනවා.

අනික් අතට පොතක් පිළිබඳව විනිශ්චයක් දෙනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි. මමත් යම් සම්මාන විනිශ්චය මණ්ඩලයක ඉඳල තියෙන නිසා දන්නවා. කියවන්න ලැබෙන අතිබහුතරයක් අති දුර්වල කෘතින්. ඉතින් ඔය ඔක්කොම කියවනවා කියන එක මං වගේ කෙනෙක්ට දැනෙන්නේ හරිම කරුමයක් විදිහට.

ඊට පස්සෙ අනිත් ඔක්කොම පැත්තකට දාලා එක්කෙනෙක්ට අපි සම්මානය දෙනවා. අනිත් අයගෙන් බැනුම් අහන්නත් ඕන.

ඩේලිනිවුන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ රාජ්පාල් අබේනායක වරක් පවසා සිටියා දින කිහිපයක් ඇතුළත ඔහුට වුණත් ග්‍රේෂන් සම්මානයක් ලබන්නට සුදුසු කෘතියක් කළ හැකි බව. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

මගේ යහළුවාගේ කතාවේ ඇත්තක් නැත්තෙ නැහැ. ඇතැම් කෘතීන් සම්මානයට පාත්‍ර වුණහම මට වුණත් එසේ සිතුණු වාර තිබෙනවා. ඇතැම් වෙලාවට හිතාගන්න බැහැ මේ කෘතින් කොහොම අවසන් වටයට තේරුණාද කියලා.

ඕකට හොඳම උදාහරණය තමයි මෙවර සම්මානයට පාත්‍ර වුණු මගේ කෘතිය. මං හය සැරයක් මගේ කෘතින් යොමු කරල තියෙනවා ග්‍රේෂන් සම්මානයට. පස් වතාවක් මගේ කෘතින් අවසන් වටයට නිර්දේශ වෙලා තියෙනවා. එක වතාවක් මගේ කෘතියක් අවසන් වටයටවත් තේරුණෙ නැහැ. පෞද්ගලිකව මට දැනෙන දේ නම් අවසන් වටයටවත් තේරුණෙ නැති ඒ කෘතිය තමයි මගේ කෘතින් හයෙන්ම හොඳම එක. නමුත් එක අවසන් වටයට වත් තේරුනේ නැහැ. හිතාගන්න බැරි පොත් අවසන් වටයට තේරුණා. හිතපු නැති පොතකට අවසානයේදි සම්මානයත් ලැබුණා.

ඔබ ජාතික පුවත්පතක කතුවරයෙක්. ඔබේ ඒ තත්ත්වය භාවිත කොට සම්මාන විනිශ්චය මණ්ඩලයට බලපෑම් එල්ල කළා කියා මං ‍චෝදනා කළහොත්?

මේ පුවත්පතේ කර්තෘ පුටුවේ ඉන්න අවුරුදු තුනේම මම ග්‍රේෂන් සම්මානයට පොත් යැවුවා. ඒ කොයි වතාවකවත් මට සම්මානය ලැබුණේ නැහැ. අවසන් වටයට තේරුණා පමණයි. අවසන් වටයට තේරුණු හැම ලේඛකයෙකුටම අපේ පුවත්පතේ ඉඩ වෙන් වුණා. හැබැයි මං ගැන මොනවත් ලියැවුණේ නැහැ. මොකද අපේ පුවත්පතේ මං ගැන ලියැවෙන එක ඒ තරම් හරි මදි නිසා. මෙවර සම්මානයත් සමඟ තමයි යම් දෙයක් මං ගැන මගේ පුවත්පතේ ලියැවුණේ.

අපේ පුවත්පතේ කිසිදිනෙක ග්‍රේෂන් සම්මානය විවේචනයට පාත්‍ර වුණේ නැහැ. ඇත්තම කිව්වොත් අපි කළේ ග්‍රේෂන් සම්මානය උස්සල තියපු එක.

ඇයි ඔබ ඉංගිරිසියෙන්ම නිර්මාණකරණයේ යෙදෙන්නේ?

ඒක ඇත්තටම අහම්බයක්. මං දැනටත් වැඩිපුර කතා කරන්නේ සිංහල වුණාට වැඩිපුර ලියන්නේ ඉංගිරිසි. මම උසස් පෙළ කළේ ගණිතය. විශ්ව විද්‍යාලයටත් තේරුණා. ඒත් මට ආසාවක් තිබුණා කලා විෂයයන් කරන්න. ඒ නිසා මම ආයෙත් උසස් පෙළ කලා අංශයෙන් කරල පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයට ඇතුළු වුණා. එහිදි මට වැඩිපුර කියවන්නට ලැබුණේ ඉංගිරිසි පොත පත. ඉන්පසු පශ්චාත් උපාධි සඳහා ඇමෙරිකාවේ කෝනල් සරසවියේ සිටිද්දිත් වැඩිපුර භාවිත වුණේ ඉංගිරිසිය.

හැබැයි සිංහලෙනුත් නොලියනවා නෙවෙයි. මට මතකයි මගේ මුල්ම සිංහල ලිපිය ලියන්න පැය හයක් පමණ ගත වුණා. මොකද ලේඛනය කියන්නේ එකක්. කතා කරනවා කියන්නෙ තව එකක්. පස්සෙ පස්සෙ සිංහලෙන් ලියන්න එතරම් වෙලාවක් ගත වුණේ නැහැ.

නමුත් අදටත් ඉංගිරිසියෙන් ලියන එක මට ලේසියි. මොකද මගේ ඉංගිරිසි වාග් මාලාව විශාල නිසා.

සයිමන් නවගත්තේගම සහ මහගම සේකර කෘතින් ඉංගිරිසියට පරිවර්තනය කිරීමේ කටයුත්තටත් ඔබ අත ගසා තිබෙනවා. මේ ලේඛකයන් දෙදෙනා සිංහලය සමඟ නොයෙකුත් අත්හදා බැලීම් කරපු උදවිය. ඔවුන්ගේ කෘතින් ඉංගිරිසියට හැරවීම අභියෝගයක් නොවේ ද?

සයිමන් නවගත්තේගම මට හමුවෙන්නෙ අහම්බෙන් වගේ. කෝනල් සරසවියේ ඇවිද යන කොට මට හමු වුණා දකුණු ආසියාවට වෙන් වුණු පුස්තකාලයක්. එහි සිංහල පොතුත් තියෙනවා. ඔය අතර මට හමු වුණු පොතක් තමයි නවගත්තේගමගේ ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’.‍‍

ඒ දවස්වල අපිට පැවරුණු කාර්යයක් තමයි අපි ඉගෙන ගන්නා විෂයයට අදාළ දේ එකතු කරල ශාස්ත්‍රීය අතිරේකයක් සම්පාදනය කරන එක.

නවගත්තේගමගේ නවකතාව කියවන ‍කොට මට හමු වුණා මගේ අධ්‍යයන විෂයට අදාළ කොටසක්. මං ඒක පරිවර්තනය කරල යැවුවා ලියනගේ අමරකීර්තිට. ඔහුත් ඒ දින වල සිටියේ ඒ සරසවියෙ. ඔහු මට කියා සිටියා මුළු පොතම පරිවර්තනය කරන්න කියල. මා කළා. නවගත්තේගම මහත්තයත් කැමති වුණා. නමුත් අවාසනාවට එතුමා අතින් ඒ පොත නැති වුණා.

ඉතින් මම ආයෙත් මුල ඉඳලම පරිවර්තනය කළා. ඒකට ඉයන් ගුණතිලක සම්මානයත් ලැබුණා.

මහගමසේකරගේ ප්‍රබුද්ධ පොත මං එකපාරටම පරිවර්තනය කරගෙන කරගෙන යන්නෙ නැහැ. මීට අවුරුදු හතරකට කලින් මං ඒකට අත තිබ්බෙ. අද පිටු 10 ක් කරනවා. ඊට පස්සෙ මාස ගාණක් යනකල් අල්ලන්නෙ නැහැ. කාලයත් එක්ක තමා මට ඒ කවි සමඟ සමීප වෙන්න පුළුවන්.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතියකුත් ඔබ ඉංගිරිසියට පරිවර්තනය කළා.

වෛද්‍ය රංග වික්‍රමසිංහ මට කිව්වා යුගාන්තය පරිවර්තනය කරන්න කියලා. මම කිව්වා මට කාලය අවශ්‍යයි කියලා. කියවන්න විතරක් නෙවෙයි, යුගාන්තය ලියපු වික්‍රමසිංහ මහත්තයව ඇසුරු කරන්නත් ඕන. ඒ සඳහා ඔහු ඇසුරු කළ දේ ගැන අවබෝධයක් ලබන්නත් ඕන. ඒ කාරණා වලින් සන්නද්ධ වෙන්න ඕන යුගාන්තය පරිවර්තනය කරන්න.

මට ඒකට විවේකයක් තිබුණෙ නැහැ. මං යෝජනා කළා එතුමාගේ ‘උපන් දා සිට’ ඔබ්සර්වර් පත්තරේට කොටස් වශයෙන් ඉංගිරිසියෙන් පරිවර්තනය කරන්න. මොකද, ඒක එතුමාගේ ජීවිත කතාවනෙ. කොටස් වශයෙන් පරිවර්තනය කරන ‍කොට දන්නෙම නැහැ පොතම පරිවර්තනය වෙලා. අඩුපාඩු සහිත පළමු පිටපතක් හැටියට දැන් ඒ පරිවර්තනය තියෙනවා.

නවකතාවක් පරිවර්තය කරන්න ගියා නම් එහෙම බැහැ. නවකතාවක් ලියන එක පරිවර්තනයකට වඩා පහසු වෙන්න පුළුවන්.

ග්‍රේෂන් සම්මාන ප්‍රදානෝත්සවය අවස්ථාවේදී ඔබේ කවි පොත් සියල්ලම මුද්‍රණය වුණා. මීට කලින් ඒවා මුද්‍රණය කිරීමට ඔබ උනන්දු නොවූයේ ඇයි?

කවි ප්‍රකාශනයට පත් කරනව කියන එක කොහොමත් අමාරු වැඩක්. ඒවා විකුණගන්න බැහැ කියල මතයක් තියෙනවනේ. ඒ නිසා මගේ පසුබෑමක් තිබුණා. ග්‍රේෂන් සම්මානය ලැබීමත් සමඟ මට හිතුණා එය අවස්ථාවක් කරගන්න මගේ කවි පොත් හයම ප්‍රකාශයට පත් කරන්න. දින කිහිපයක් ඇතුළත ඒ සියලු කටයුතු ඉටු කරගන්න මට සෑහෙන දෙනෙක් උදවු කළා.

සාකච්ඡා කළේ

සචිත්‍ර මහේන්ද්‍ර
Silumina

ඔබේ අදහස කියන්න...