ඉහත කී පාඨය මට කියන්නට සිදුවුවකි. උචිත්සා යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම සොවියට්දේශයේ ඉගෙනුම ලබද්දී පළමු අවුරුද්ද අවසන්වූ කාලයේ තිබු රුසියානු භාෂා උත්සවයටය. මගේ පියකරු කරුණාවන්ත රුසියන් ගුරුතුමිය මෙම වදන් පෙළ අඩංගු පරිච්චේදය එම උත්සවයට වේදිකාවේ සිට කියැවීම සඳහා පැවරුවේ මටය. ඒ 1984 දීය. පරිච්චේදය ඇය රැගෙන තිබුනේ ලෙනින්ගේ ලිපියකිනි. 2014 දී එම පරිච්චේදයම වෙන හේතුවක් සඳහා ලියන්නට වේයැයි හීනෙන් වත් නොසිතුවෙමි. එයට පෙර කියයුතු තව කතාවක් මතකයට නැංවේ.
1985 උපාධිය පාඨමාලාවේ පළමු අවුරුද්දේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය උගන්වයි. මෙය ඉන්ජිනේරු, වෛද්‍ය ආදී ඕනෑම පාඨමාලාවක් කරන අය ඉගෙන ගත යුතුය. මෙහිදී වසර අවසාන විභාගයේ ප්‍රතිපලය උපාධියේ අවසන් ලකුණු ලේඛනයට යන නිසා වැදගත්ය. මෙහි එක ප්‍රශ්නයකට තිබුනේ ලෙනින්ගේ “පියවරක් ඉදිරියට පියවර දෙකක් පසුපසට” පොත් පුන්ච ගැනයි. සියලුම ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සැපයු මම පිළිතුරු පත්‍රය සමග මදක් තද ගතියකින් කටයුතු කරන ඉතිහාසය ගුරුතුමිය ලී.***** ලඟට ගියෙමි. ඇය සියලුම ප්‍රශ්න සලකුණු කල නිවැරදි බව කියා ඉන්පසු ඉහත පොත් පිංච මොන අවුරුද්දේ ලීවද කියා ඇසුවාය. මම හරි පිළිතුර දුන් පසු ඇය ලෙනින්ගේ “ඉගෙන ගන්න යනුවෙන් තෙවරක් තිබෙන” පොත් පුන්ච ඉදිරිපත් කල වර්ෂය ඇසුවාය. එය නොදන්නා බව කියූ මම එහි ඇති දේ හා ලියුවේ ඇයි කියා පැහැදිලි කල හැකි බව කීවෙමි. නමුත් ඇය පන්න පන්නා වර්ෂයම ඇසුවාය. එතැන සිටි විදේශ ශිෂ්‍යයන් භාර අංශයේ පීඨාධිපතිනිය (අපේ විභාග නිරික්ෂනයට ඇය පැමිණ සිටියාය) මෙහිදී මා හොඳට පිළිතුරු දුන් බවත් මට මුළු ලකුණු දීම යෝග්‍ය බවත් කියා සිටියාය. එය ප්‍රතික්ෂේප කල ඉතිහාස ගුරුතුමිය කීවේ මා විභාගයට ආවේ නොගරුවෙන් බවයි. අනික මා පන්තියේදී පවා ප්‍රශ්න අසමින් වාද කරන බවයි. එහිදී මට තේරුනේ අනික් පිරිමි සිසුන් සියලු දෙනාම පාහේ ටයි කෝට් දමා පැමිණි අතර ටි ෂර්ට් එකක් ඇඳන් සිටියේ මා පමණක් බවයි. එය හොඳ සුදු ටි ෂර්ට් එකක් මිස අනං මනං ලියා තිබූ එකක්වත් නොවේ. කෙසේ වතුදු ඉතිහාස ගුරුතුමිය ලී.***** තරහෙන් මෙන් මට අඩු ලකුණු දුන්නාය. මා පෙරදා රැයේ ප්‍රශ්න උත්තර කියා දුන් සගයන්ට මුළු ලකුණු ලැබුණි. පීඨාධිපතිනිය කලේ කණගාටුවෙන් බලා සිටීම පමණි.
මින් අවුරුදු තුනකට පමණ පසු මා ශිෂ්‍ය සංගමයේ ලේකම් කාලයේ ප්‍රදර්ශනයක් සංවිධානය කලෙමි. එයට පැමිණි ඇය (ලී.*****) මා හොඳින් ඉගෙන ගන්නා බව දැනගන්නට ලැබුණු බවත් මගේ ප්‍රදර්ශන වැඩ ආදිය ඉතා හොඳ බවත් පැවසුවාය. මෙහිදී මා ඇයට කිවේ ඇඳුමින් මිස දැනුමෙන් මිනිසුන් මැනිය නොහැකි ඇය ගැන මට වැඩිපුර ප්‍රසාදයක් නැති බවයි. මා කියනදේ මුහුණට කෙලින්ම කියන බව පැවසූ ඇය මගේ දේශපාලන ආර්ථික විද්‍යාව ගුරුතුමියට කථා කල බවත් මා පන්තියේදී වාද කරන බව එය නුසුදුසු බවත් පැවසුවාය. මා එහිදී කිවේ මේ යන විධිහට ගියොත් සෝවියට් දේශය වැඩිකල් නොපවතින බවත් ආර්ථිකය දුර්වල බවත් ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවත්ය. මෙහිදී කෝපාවිෂ්ට බවක් පෙන්වූ ඇය කිවේ මා නිවාඩුවට ධනවාදී රටවලට යන නිසා ඔලුව කුරුවල්වී ඇති බවයි. මා සෝවියට් දේශයට ආදරය කරන බව පවසා ඇයගෙන් ඉවතට ගියෙමි.
පසුව මා ඇය දුටුවේ දෙතුන් වතාවක් පමණි. ඉන්පසු එළඹියේ 1991 වසරයි. සෝවියට් දේශයේ පෙරේස්ත්රෝයිකාව (perestroika) වැරදී ගොර්බචෝව් සෝවියට් කඳවුර විසිරෙවූ කාලයයි. පෝලන්තය කඳවුරෙන් ඉවත ගොස් තිබුණි. අගෝස්තු 19 දා යෙල්ට්සින් ටැංකියක් උඩ නැග කතා කරන විට මම ඒ අසල (තරමක් දුරින්) සිටියෙමි. ඒ දිනවල මා යහළුවී සිටි රුසියානු පෙම්වතියගේ නිවස තිබුනේ ක්‍රෙම්ලිනයට හැතැප්ම භාගයක් පමණ එහා අර්භාත්සකයා නමැති පෙදෙසේ හෙයිනි. ජර්මන් ජනතාව නොවැම්බර් 9 ජර්මනිය බෙදන තාප්පය බිඳ හෙලන ලදී. ඒ ආසන්න දිනෙක මා අර්භාත්සකයා වලින් උමන් දුම්රිය ගැනීමට පාර හරහා ඇති පොලව යට උමගින් ගමන් කරමින් සිටියෙමි. මේ දිනවල රූබලය වැටී තිබුන අතර උද්ධමනය අහස උසට නැග තිබුණි. ලැබෙන පඩියෙන් සුමානයක් වත් ජිවත් වීමට නොහැක. ඒ නිසා බොහෝවිට මහලු අය පමණක් නොව කන්තෝරු රැකියා කල අය පවා කිසියම් දෙයක් විකුණා මුදලක් සපයා ගන්නට පාරවල් වල , උමන් දුම්රියට යන මාර්ග දිගේ පේලියට සිටියහ. එදා මා යනවිට තමන් වියූ සීත සෘතුවට අදින ජර්සියක් විකුන්නනට බලා සිටියේ ඉතිහාස ගුරුතුමියයි. මට ඉමහත් දුකක් දැනුනි. මා ඇය අසලට ගොස් කතා කර කෝපි එකක් බොන්නට ආරාධනා කලෙමි. ඉන්පසු රුසියානු කෑමක් වන පිරශ්කි (මස් හා බත් ඇතුලට දැමු රෝල්ස් වර්ගයක්) සමග කෝපි එකක් රැගෙන දුනිමි. කතාව අතරතුර ඇය මුලින්ම අවුරදු 6කට පමණ කලින් මට අකාරුණිකව සැලකු බව සිහිපත් කලාය. ඇයට එය මතක තිබ්බේ ඇයිදැයි මම නොදනිමි. එසේම මා මේ තත්වය එන බව කී නමුත් ඔවුන්ට උගන්වා තිබුනේ පක්ෂය විශ්වාස කිරීමට බව මට කීවාය. ඇය අමාරුවෙන් ජිවත් වන බවත් හැකිනම් රැකියාව නැතිවී සිටින ඇගේ පුත්‍රයාට වෙළඳාමක් කිරීමට උදව් කරන ලෙසත් ඉල්ලා සිටියාය. නැවත සමාජවාදයක් එනතුරු සිටින්නයි ඇයට කීමට මට සිත් දුන්නේ නැත. ධනවාදී යයි කියන චැරිටි (සුභ සාධන) මාර්ගයේ යාමෙන් පමණක් ඇයට උදව් කල හැකිව තිබුණි. ඇය මගෙන් මුදල් ප්‍රතික්ෂේප කළ නිසා ජර්සිය මිලදී ගත් මා පසුව ඇගේ පුත්‍රයාට ඒ දිනවල පරිගණක ආදිය විකිණීම කරන අයෙකු හඳුන්වා දුන්නෙමි.
ලෙනින් “ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න” කියා ලියු පොතේ නම “රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිගාමී නැඹුරුව ” යන්නයි. එය ඉංග්‍රීසියෙන් A Retrograde Trend in Russian Social-Democracy යනුවෙන් හැඳින්වේ. රුසියානු ප්‍රකාශනය පහත ඇති මුලශ්‍ර යොමුවේ ඇත.
මෙය වැදගත් ලිපියකි. අර ඉගෙන ගන්න කියන කොටසේ පරිවර්තනය මෙසේයි.
“ඉගෙනීම ලබා තිබෙන සමාජ කොටස් අවංක එහෙත් නීති විරෝධී ප්‍රකාශන (කොමියුනිස්ට් ප්‍රකාශන මේ දිනවල නීති විරෝධීව තිබුණි) කෙරෙහි ඇති උනන්දුව හීනවී ඇති මේ අවස්ථාවේ දැනුම ලබා ගැනීම පිළිබඳවත් සමාජවාදය පිලිබඳවත් උද්යෝගිමත් ඉමහත් අභිරුචියක් ශ්‍රමිකයන් (වැඩ කරන ජනතාව) අතර ඇතිවී තිබේ. ඉතා අසීරු ජීවන තත්වයන් මැද, කම්හල්වල වහල් කම වැනි රැකියා කරමින් බලවත් අසීරුකම් මධ්‍යයේ නියම වීරයන් මොවුන් අතර බිහි වෙමින්, ඔවුන් ඉගෙනීම, ඉගෙනීම හා නැවතත් ඉගෙනීම කරමින් තමන් නියම සවිඥානක සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බවට පත් වෙති. ඔවුන් සැබෑ වැඩ කරන ජනතා බුද්ධිමත්හුය.
ඕනෑම භාග සමාජවාදී රටක වුවද දැනුමට සහ ඉගෙනීමට මේ අනුව ලබා දී තිබුනේ ඉතා ඉහළ තැනකි.
ඉහත ලිපිය ලෙනින් ලියුවේ 1899 වසරේදීය.
මෙහි තවත් වැදගත් කොටසක් තිබේ. ඒ ඔටෝක්‍රසි යනු කුමක්ද යන්නය. මේ ලිපිය ලියා ඇත්තේ “රබෝචය මිස්ල්” හෙවත් “ශ්‍රමයේ තේරුම” නමැති රුසියානු සඟරාවේ ඒකධිපතිවාදය ගැන ලිපි පෙළකට පිළිතුරු වශයෙනි.
ඔහු (ලෙනින්) මෙසේ කියයි.
“පරණ රුසියානු විප්ලවවාදීන් වන නරෝද්නයා වොල්යා (ජනතාවගේ අභිප්‍රාය) වරුන් බලය විප්ලවාදී පක්ෂයක් මගින් ලබා ගැනීමට යත්න දැරුහ. බලය ලබා ගැනීම මගින් තමන්ට ඔටෝක්‍රසියේ “පුද්ගලික බලය ” අභිබවා යාමටත් තමන්ගේ නියෝජිතයන් ඒ ඒ තැන් වලට පත් කිරීමටත් ආර්ථික බලය අල්ලා ගැනීමටත් හැකි යැයි සිතූහ. එයින් සමාජ විප්ලවය සඳහා අවශ්‍ය මුල්‍ය බලය ලැබෙනු ඇති සිතුහ. ප්ලෙඛානොව් ඇතුළු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මෙම විප්ලවවාදී තියරියට විරුද්ධ වුහ.
ඔටෝක්‍රසි යනු කුමක්ද? ඔටෝක්‍රසි හෙවත් නිරපේක්ෂ බලය, අසීමාන්තික (බලැති) රාජාණ්ඩුව යනු සම්පුර්ණ සුපිරි බලයම එක රජෙක් සාර් කෙනෙක් අතර රඳවා ගත් පාලන ක්‍රමයකි. ඔහු නීති නියම කරයි, නිලධාරීන් පත් කරයි, රටේ ලැබෙන අදායම පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෝ පාලන තන්ත්‍රයකින් තොරව තම හිතු මතයේ වියදම් කරයි. මේ නිසා ඔටෝක්‍රසි යනු රාජ්‍ය නිලධාරීන්ගේ නිරපේක්ෂ සුපිරි බලයක් හා අයිතිවාසිකම් රහිත ජනතාවක්ය. මෙම අයිතිවාසිකම් නැතිවීම මගින් මුළු මහත් ජනතාවක් පීඬා විඳින මුත් ප්‍රාග්ධන හිමියන් (මහා ඉඩම් අයිතිකරුවන් සහ ධනපතියන්) රෙජීමයේ නිලධාරීන් කෙරෙහි බලවත් බලපෑමක් ඇත්තන් වෙති.
ඔටෝක්‍රසිය පරාජය කිරීම යනු කුමක්ද? එහි තේරුම සාර් ගේ නිරපේක්ෂ බලය අත් හැරීමයි. මිනිසුන්ට තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට ඇති අයිතියත් , රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා අධීක්ෂණය කිරීමේ බලයත්, රාජ්‍ය ආදායම එකතු කිරීමේ හා නිසි පරිදි බෙදාහැරීමේ බලයත් ලබා ගැනීමය. මෙවැනි රජයක් ව්‍යවස්ථාදායක රජයක් වේ. මේ නිසා ඔටෝක්‍රසිය පරාජය කිරීමෙන් ඒකාධිකාරී රජයක් ව්‍යවස්ථාමය රජයක් මගින් ප්‍රතිස්ථාපනය කෙරේ.
ඔටෝක්‍රසිය පරාජය කිරීම රුසියානු වැඩ කරන පන්තියේ මුල්‍ය කාර්යභාරය විය යුත්තේ ඇයි ?
එයට හේතුව ඔටෝක්‍රසිය යටතේ වැඩ කරන පන්තියට තමන්ගේ අරගලය පුළුල් ලෙස වර්ධනය කිරීමට අවස්ථාවක් නොලැබේ . වැඩ කරන පන්තියට ආර්ථික හෝ දේශපාලන ක්ෂේත්‍රයේ ස්ථිර තත්වයක් ලබා ගැනීමට නොහැකි වේ. ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩ නඟා සමාජ විප්ලවයේ ධජය වැඩ කරන මිනිසුන් ඉදිරියේ දිග හැර ඔවුන්ට අරගලය කිරීමට ඉගැන්වීමට නොහැකි වේ. ධනවාදී පන්තියට එරෙහි මුළු මහත් වැඩ කරන ජනතාවගේ අරගලය කල හැකි වන්නේ දේශපාලන නිදහස තිබ්බොත් පමණි. ධනය විරහිත පන්තියේ අවසාන අරමුණ දේශපාන බලය ගැනීම හා සමාජවාදී සමාජයක් ගොඩ නැගීමයි. සංවිධානාත්මක ධනය විරහිත පන්තියේ අරගලයන් ගැන දීර්ඝ කාලින ඉගෙනීම තුලින් දේශපාලන බලය ජය ගැනීම යනු ධනවාදී රජයක නියම “පුද්ගල බලය පෙරලා ආර්ථික බලය” අල්වා ගැනීමයි. රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් මේ බලය අල්ලා ගැනීමක් රුසියන් ශ්‍රමික පන්තියේ ක්ෂණික කාර්යයක් හැටියට එලියට දමන්නේ නැත. රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සැමවිටම දරන මතය වන්නේ දේශපාලන නිදහස යන කොන්දේසිය මත, පුළුල් මහජන අරගලයක් ඇති විට , රුසියන් වැඩ කරන පන්තිය සමාජවාදයේ අවසන් ජයග්‍රහණය සඳහා සංවිධානයන් වර්ධනය කරන බවයි.”
මේ අවධියේ ලෙනින් සමග ට්‍රොට්ස්කි , පානි, සිරිතුංග, නාගමුව හා ශාන්ත සිටියේ නැත. 1917 පෙබරවාරි මස ධනපති දේශපාලන විප්ලවයෙන් සාර් බලයෙන් පහ කල පසු ට්‍රොට්ස්කි ලෙනින් සමග එකතු වි ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුනි. අනිත් අයට මොනවා වුණාදැයි දන්නේ නැත.
ලෙනින්ගේ පොත් තම තමන්ගේ පොත් රාක්කවල තබාගෙන තමන් මාක්ස්ලෙනින්වාදීන් යයි බුකියේ තර්ක කළාට කම් නැත. ඒවා ඉඳහිට කියවීමද කල යුතුය.
–අජිත් ධර්මකීර්ති
මහින්ද රාජපක්ෂට මැදමුලනට විසිවෙන්නට පහර දීමට හැකි වූයේ අන්ත සිංහල ජාතිවාදය විසින් ලක්ෂ තුනකට වඩා සහෝදර දෙමළ ජනතාවක් ඝාතනය කර ආසන්න වශයෙන් වසර පහකට පමණ පසුය. සිංහල ස්වෝත්තමවාදය උපායක් ලෙස ගෙන දකුණේ පාදඩයන් දිගින් දිගටම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී නීතියට පටහැණිව කටයුතු කළ බව අපි දනිමු. දැන් දෘෂ්ටිවාද බිදහෙළීම සදහා ව්‍යුහාත්මකව පහරදෙන මෙන් මාක්ස්-ලෙනින්වාදීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. හොරුන්ව සහ දූෂිතයන්ව ධනේශ්වර නීතිය යටතේ බන්ධානාගාර ගතකිරීමට ජවිපෙට හැකිවනු ඇත. පළමුව වසර විස්සකට හිරේ යන ජයග්‍රාහකයන් වන්නේ විමල් වීරවංශ සහ ගලබොඩඅත්තේ ඥානසාර බවට අනාගත වාක්‍යයක් කීමට කැමැත්තෙමි.
ඉස්සෙල්ලම එහෙනම් එතනින් පටන් ගමු.
Comments are closed.