කලකට පෙර මම සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාව ප‍්‍රස්තූත කොට ගනිමින් ‘මළගිය ඇත්තෝ යළි උපදිති’ යනුවෙන් ග‍්‍රන්ථයක් රචනා කළෙමි. මෙම පොත කියවීමෙන් අමන්දානන්දයට පත් වන එරික් ඉලයප්ආරච්චි ලේඛකයා ඔහු ලියූ ‘සමකාලීන සාහිත්‍ය විචාර – සුචරිත දීප්ති සමන්’ නමැති ග‍්‍රන්ථයේ මෙසේ සටහන් කරයි.

 

”ඇලිස්ගේ විස්මලන්තයට පිවිසෙන අයුරින් සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාව පරිච්ෙඡ්දයෙන් පරිච්ෙඡ්දය කියවන සමන් වික‍්‍රමාරච්චි එතෙක් කලක් කිසිදු විචාරකයකු නුදුටු තරමේ අගයක් ඒ තුළ දකියි. මනෝ විශ්ලේෂණාත්මක ලෙස ඒ තුළ පවත්නා සංගත භාවය පැහැදිලි කිරීම හැරුණු විට ඒ නවකතාවේ සැබෑ අන්තර්ගතයට පිටුපා අනංමනං දොඩවන්නන්ට ද එයින් පිළිතුරු ලැබේ. මළගිය ඇත්තෝ ද ‘සතුටේ ඉරණම’ පිළිබඳ වෘත්තාන්තයක් බව එම දීර්ඝ විචාරයෙන් පැහැදිලි වේ. දෙදෙනකු පෙමින් බැඳීමෙන් ළඟා කර ගන්නා සතුට, ලිංගික සතුට, කලාව හැදෑරීමේ සතුට හා ‘කලාත්මක ලෙස’ ලෝකය දැකීමේ සතුට කවර ආකාරයේ ඉරණමක් කරා ළඟා වී තිබේද යන බව එහි විවරණය වී ඇත.”
එරික් ඉලයප්ආරච්චි – සමකාලීන සාහිත්‍ය විචාර 151 පිටුව

 

මොනවා වුණත් එරික්ගේ ලිවිල්ල ජනක ඉණිමංකඩගේ ෆේස්බුක් පිටුවට විකාර කොමෙන්ටුවක් ලියා තිබූ මිදේරිපිටියේ උන්නාන්සේට කදිම පිළිතුරකි. එරික්ම පවසන පරිදි මළගිය ඇත්තෝ ගැන ලිවීමට මට පදනම වන්නේ මනෝ විශ්ලේෂණය බව ඇත්තය. එහෙත් එරික්ට සේම මට ද මඟ හැරුණ කරුණක් එහි වේ. එම විචාරයේ ලා මා මනෝ විශ්ලේෂණය භාවිත කරන්නේ යාන්ත‍්‍රික ලෙසය. සරලව කිවහොත් එය ඥාන විභාගාත්මක ප‍්‍රවේශයකි. මේ නිසා දෙවෙන්දොරා සංගේ ආසියාතික ගැමි ආත්මය පිළිබඳ කියවීම මඟහැරෙයි.
එයට පටහැනි ලෙස මෙම ලිවීම තුළ මා උත්සාහ කරන්නේ සත්භාවාත්මක (Ontological) ප‍්‍රවේශයක් තුළ දෙවෙන්දොරාසංගේ ආසියාතික ගැමි ආත්මය ඔබට සම්මුඛ කරවීමටය. මෙම ලිවීම එක් අතෙකින් පසුගිය සතියක මේ තීරුවට මා ලියූ ‘සාමාට දෙවෙන්දොරා සං හමුවෙයි’ නම් ලිපියෙහි දිගුවකි. මළගිය ඇත්තෝ නව කතාවේ මුල් පරිච්ෙඡ්ද හතර මඟින් විස්තර වන්නේ දෙවෙන්දොරා සං ජපානය සමඟ ප‍්‍රාථමික ලෙස අනන්‍ය වන අයුරුය. එහෙත් ඔහු අනන්‍ය වන්නේ කවර වූ ජපානයක් සමඟද? දෙවෙන්දොරා සංගේ ආත්මයට (Subject) ගැළපෙන ජපානයක් ඔහුට හමුවන්නේද?
නවකතාව ආරම්භයේ සිටම දෙවෙන්දොරා සං රට රටවල සංචාරය කරමින් තම අනන්‍යතාව පිළිබඳ ගැටලූව සමඟ පොරබදන සැටි දැක්වේ. පළමුව එය ඉදිරිපත් වන්නේ මෙසේය.
”අනතුරුව මම නේපාලය හා භූතානයට ද තිබ්බතයට ද ගොස් ඒ රටවල තිබෙන තාන්ත‍්‍රික චිත‍්‍ර කලාව මැනවින් පුහුණු කළෙමි. මා ආපසු ලක්දිව අවුත් මෙහි දී ප‍්‍රදර්ශනයක් පැවැත්වූ කල විවේචකයන් කීවේ මටම හිමි වූ ශෛලියක් මා තාම සොයාගෙන නැත කියාය.”
මළගිය ඇත්තෝ පිටුව 2
එහි කියවෙන්නේ විචාරකයන්ගේ මතයම නොව ඔහුගේම ෆැන්ටසියයි. ඔහු සිටින්නේ අනන්‍යතා අර්බුදයක බව ඉන් ගම්‍ය වන ප‍්‍රධාන කරුණ ලෙස සැලකිය යුතුය. ඉන්පසු එංගලන්තයට ගොස් චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වන දෙවෙන්දොරා සං ගිහියකුව සිටිය ද සිවුරු ලා ගෙන ඒවාහි පෙනී සිටි බව කීමෙන් ඔහු පැටලී සිටි අනන්‍යතා අර්බුදය කැපී පෙනේ. ඔහු ජපානයට පැමිණීමට පෙර එංගලන්තයේ ගත කරන ජීවිතය පිළිබඳ පවසන කරුණු ඔහුගේ බෙලහීන ලාංකේය ගොවි ආත්මයේ ප‍්‍රකාශනයකි. එතන දී එක අතෙකින් ඔහු තමා අරවින්ද බඳු බෙලහීන චරිතයක් බව එළිදරව් කරන අතර එහි කැපී පෙනෙන කරුණ නම් දෙවෙන්දොරා සංගේ චරිතයෙහි ආසියාතික ගුප්ත භාවය ඉන් ප‍්‍රකට වීමය.

”සිවුරු හැරියායින් පසු, හුදු චිත‍්‍රකරුවකු වශයෙන් මගේ රටේ මට ජීවිකාවක් සපයාගත නොහැකි බව මම දැන සිටියෙමි. එහෙත් එංගලන්තයෙහි ද මට සැමදාම ජීවත් විය නොහැකිය. තනි කාමරයක් තුළට වී ලන්ඩනයේ ගත කළ ජීවිතය ද මට එපා විය. එහෙයින් දෑ අවුරුද්දක් පමණ එංගලන්තයෙහි වාසය කොට මම ආපසු සියරට බලා පිටත් වීමි.”
මළගිය ඇත්තෝ පිටුව 3
දෙවෙන්දොරා සංගේ මෙම විගලිත චරිත ස්වභාවය අපට සිහිපත් කරවන්නේ විරාගයේ අරවින්දය. තත් කාලීන නවකතා තුළ නිරූපණය වූ සියලූ චරිතවල ලක්ෂණය වූයේ මෙම අරවින්දයානු බෙලහීන බවයි. එනම් ඉන් ප‍්‍රකට කළේ ආසියාතික ගැමි ගුප්ත භාවයයි. දෙවෙන්දොරා සං ජපානයට අනන්‍ය වීමේ දී සිතන්නේ තමාගේ ආත්මයට ගැළපෙන රට හමුවූ බවය.
මෙම පෙරදිග රටකට අනන්‍යවීමේ ගුප්තභාවය කවරාකාර වේද යන්න ජිජැක් The Parallax View (අසම්පාතක දෘෂ්ටිය) නමැති ග‍්‍රන්ථයේ පැහැදිලි කරයි. එය එක්තරා ආකාරයකින් යමක් පවතින බව විශ්වාස කිරීමකි. ජිජැක්ට අනුව ඇලන් බදියු (Alain Badiou) ඔහුගේ නොපළ කෘතියක පවසන්නේ ”මම විශ්වාස කරමි” යන අසථ්‍යාර්ථයෙහි නිශේධනය නම් ”මම හැබෑවටම විශ්වාස නොකරමි. විශ්වාස කරන බව හුදු හැඟවීමකි.” යන්න බවය. හෙගලියානු නිශේධනයේ නිශේධනය එයයි. එහි අර්ථය නම් ”මම විශ්වාස කරන බව අඟවන බව අඟවමි” යන්නය. එනම් මා සැබැවින්ම විශ්වාස කරන්නේ ඒ ගැන වැටහීමක් නොමැතිව යන්නය.
ජපානය ආසියාතික මායාවී ලෝකයක් ලෙස දෙවෙන්දොරා සංගේ මනසේ නිර්මාණය වන ප‍්‍රබන්ධය මෙම ජිජැකියානු කියවීම් සමර්ථනය කරයි. යථාර්ථය යනුවෙන් අප හඳුනා ගන්නේ ප‍්‍රබන්ධ සහ මායාව සංරචකයක් ලෙස ගත් කිසිවකි. ප‍්‍රබන්ධය සහ මායාව (Fiction and Illusion) ප‍්‍රතික්ෂේප කළ සැණින් යථාර්ථය අපට අහිමි වී යයි. කොටින්ම ප‍්‍රබන්ධය යථාර්ථයෙන් ලඝු කළ විට යථාර්ථය එහි අනවස්ථිත – තාර්කික අචපල බව අහිමි කර ගනී. (ජිජැක්ගේ The Tarrying with the Negative කියවන්න)

ජිජැක්ට අනුව ලැකානියානු අරුතින්, යථාර්ථය යනු සියල්ල නොවේ. (The reality in itself to put it in’ Lacanian Jargon, is not all = ග්ලින් ඩාලි සමඟ සාකච්ඡුාව] යථාර්ථය තුළම යම් පරතරයක්[Gap] පවතී. මේ පරතරය පියවන්නේ ෆැන්ටසිය විසිනි. දෙවෙන්දොරා සං විස්තර කරන ජපානය ඔහුගේම ෆැන්ටසිමය ආස්ථානයයි. (ඔහුට අවශ්‍ය අනන්‍ය වීමට වස්තුවක් නොව දුරස්ථ බව නඩත්තු කළ හැකි තත්ත්වයකි.] එහෙත් මළගිය ඇත්තෝ යළි කියවන මහාචාර්ය සුචරිත ගම්ලත්ට එය මඟහැරී යන සැටි විමසීම අපගේ මෙම කියවීම වෙනත් මානයක් වෙත කැඳවයි.

නවකතාවක අරමුණ යථාර්ථය ඥානනය කිරීමය යන ප‍්‍රවාදය උදෙසා පෙනී සිටිමින් මහාචාර්ය සුචරිත ගම්ලත් මළගිය ඇත්තෝ අරබයා කරන මෙම කියවීම උපුටා ගන්නේ 2010 දී ලියූ ‘මළගිය ඇත්තෝ සමඟ නවකතා කලාව’ ග‍්‍රන්ථයෙනි.
”නවකතාව නිරූපණය කරන්නේ ජීවන ප‍්‍රවාහයෙන් ඛණ්ඩයකි. ”ජීවිතයෙන් පෙත්තකැයි” කියා ද කිව හැකිය.
”නවකතාවක් එය විසින් නිරූපණය කෙරෙන මනුෂ්‍ය ජීවිතයක් සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් ප‍්‍රකාශයකි.
”ජීවිතය නිරන්තර චලනයෙහි නියුතුයි. නවකතාවට ගෝචර වන්නේ ඒ චලන ප‍්‍රවාහයෙන් ඛණ්ඩයක් යනු මෙහි අර්ථයයි.”
”දිගු කලක් චිත‍්‍ර කලාව සම්පර්කයෙන් කල් ගෙවූ හෙයින් දෙවෙන්දොරා සංගේ රසඥතාව, රස සංවේදනය සියුම් බවට පත් වී ඇත. බැලූ බැලූ හැම අතම ඔහු දකින්නේ අපූරු සෞන්දර්යයකි. එයින් ඔහු අමන්දානන්දයට පත් වෙයි”
සැබැවින්ම මෙම විවරණය තුළ අපට හමුවන්නෙ අතිශය විඥානවාදී ලෙස නවකතාව සහ නවකතා වෙහි එන චරිත සමඟ අනන්‍ය වන විචාරකයෙකි. ඔහු නවකතාකරුවාගේ විඥානවාදී අභිප‍්‍රායට යටත් වේ. අනතුරුව ගම්ලත් යථාර්ථවාදී නවකතාව ලෙස මෙහි ඉදිරිපත් කරන්නේ ෆෝස්ටරියානු [Foster] වර්ගයේ කතා කලාවකි.
ඔහු මළගිය ඇත්තෝ නවකතාවෙන් දීර්ඝව උපුටා දක්වමින් ජපාන සෞන්දර්යය පිළිබඳ පාරභෞතික කියවීමක යෙදෙයි. එම දීර්ඝ කියවීම අවසන එළඹෙන නිගමනය තථ්‍ය සමාන යථාර්ථය (Virtual reality) තුළ ගිලී යන අවර විචාරකයකුට වැඩි යමක් නොපෙන්වයි. ඔහු ලියන්නේ මෙවැන්නකි.
මෙවැනි සියුම් නිරීක්ෂණ කළ හැක්කේ තියුණු රස සංවේදනයෙන් යුතු සෞන්දර්යකාමියකුට පමණක් බව කියනුම කවරේද?”
මෙබඳු ඌනති කියවීමක් තුළ මඟ හැරී යන දේ නම් යථාර්ථය ප‍්‍රබන්ධයක් බව නොදැකීමය. එම නිරීක්ෂණ දෙවෙන්දොරා සංගේම පරිකල්පනය. සැබැවින්ම ජපාන සංස්කෘතිය පිළිබඳ මෙම විස්තරය දෙවෙන්දොරා සං ජපානය දකින ආකාරයක් නොව ජපානය පෙරළා ඔහු දෙස බලන ආකාරයක් (Gaze) බව අප වටහාගත යුතුය.
සරච්චන්ද්‍ර ජපාන ස්ත‍්‍රිය ලෙස නිර්මාණය කරන්නේ ආසියාතික (ලාංකේ) ගොවි ආත්මයට ගැළපෙන ස්ත‍්‍රියකි. දෙවෙන්දොරා සංට නොවැටහෙන දේ නම් [නැතහොත් සරච්චන්ද්‍රට නොවැටහෙන දේ ] ඔහු විසින්ම නිර්මාණය කළ සංකේතික ලෝකයේම කොටසක් බවට තමා පත්ව සිටින බවය. අරවින්දයානු බෙලහීන ආත්මය ඉල්ලා සිටින ආත්මයක් ඔහු ජපාන ස්ත‍්‍රිය තුළ සොයයි. ඇය වූ කලී එංගලන්තය හෝ වෙනත් බටහිර රටක දැකිය නොහැකි සාරාත්මයකි. එහෙත් සැබෑව නම් තමාම නිර්මාණය කළ ලෝකය ඔහුට මළපුඩුවක්  (Deadlock) වී තිබෙන බවය.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...