සාහිත්‍ය විචාරයට අප මනෝ විශ්ලේෂණය කැඳවනුයේ එය වියමනක් තියුණු ලෙස කියවිය හැකි ක්‍රමවේදයක් ලෙස සලකමිනි. අපේ කාලයේ දාර්ශනිකයකු වූ ඩෙරිඩා මනෝ විශ්ලේෂණය දුටුවේ සද්භාව වාදයේ (ontology) මූලික සංකල්පීය වචන තේරුම් ගැනීම පහසු කරවන කියවීම් ක්‍රමයක් ලෙසය. නිසැකවම මනෝ විශ්ලේෂණය යනු එයට ආවේණික ශෛලියකින් ඕනෑම වියමනක් කියවා ගත හැකි කියවීම් ක්‍රමවේදයකි.

යට කී පූර්විකාව ලියවුණේ එරික් ඉලයප්ආරච්චිගේ “පාද යාත්‍රා” නම් නවකතාව නැවත කියවීම (re-reading) සඳහා පෙර සූදානමක් ලෙසය. මෙහිදී එරික් ගේ නවකතාවේ එන පාත්‍ර වර්ගයාගේ හැසිරීම අනුශීලනය වන අසංකේතික සන්දර්භය ලැකානියානු ප්‍රවාද විසින් නම් කරනු ලබන්නේ යථ (real) ලෙසය. එරික්ගේ නවකතාවට ප්‍රස්තුත වන්නේ සංකේතකරණය කළ නොහැකි ක්ෂතිමය (Traumatic) අත් දැකීමක් වූ සුනාමියයි. එහිදී සමකාලීන දේශපාලනය පිළිබඳ තියුණු කියවීමක් ලෙස ඔහු ගම්පෙරළිය යළි කියවයි. එනයින්ම ඔහු එය නැවත ලියයි.

මීට අවුරුදු හැටකට පෙර මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය ලියමින් කොක්ගල ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශය සංකේතික (Symbolic) කියවීමකට හසුකර ගත්තේය. ගම්පෙරළිය යථාර්ථවාදී නවකතාවක් වන්නේ එම අර්ථයෙන්. එහෙත් යථාර්ථය යනු සංකේතික ප්‍රලාපයකි. අවුරුදු හැටකට පසු එරික් ඉලියප්ආරච්චි වික්‍රමසිංහට එරෙහිව ඊඩිපසියානු කැරැල්ලක් ගසමින් යථමය සන්දර්භයක පියල්, නන්දා සහ ජිනදාස අපට මුණ ගස්වයි.

මනෝ විශ්ලේෂණය පිළිබඳ හාංකවිසියක් නොදන්නා පාඨිකාවක වෙත්නම් යථාර්ථය නිර්මාණය කරන ලද්දකැයි යන ප්‍රවාදය වටහා ගැනීමේ පහසුව සඳහා මා පළමුව කිව යුතු කිසිවක් ඇත. යථාර්ථය වූ කලී සංකේතික (Symbolic) පරිකල්පනික (imaginary) සහ යථමය (Real) ලෙස හඳුන්වන එකිනෙක පැටලුන ආස්ථානයන් තුනකට ගැට ගැසී ගත් ප්‍රපංචයක් ලෙස ලැකාන් හඳුන්වයි. මෙය තේරුම් කළ හැකි හොඳම ආකාරය නම් චෙස් පුවරුවක් දෙස බැලීමය. චෙස් ක්‍රීඩාව සඳහා වූ නීති පවතින්නේ සංකේත මානයක් තුළය. එම සංකේතික අර්ථයෙන් “Knight” (චෙස් පුවරුවේ අශ්ව හිසක් ඇති ඉත්තා) අර්ථ දැක්වෙන්නේ එම ඉත්තාට යා හැකි ගමන්මග අනුව පමණකි. අවැසි නම් කෙනෙකුට එම නම් වෙනුවට වෙනත් නම් ආදේශ කර ක්‍රීඩාවේ නියමයන් නොසලකා ක්‍රීඩා කළ හැක. එය සිදුවන්නේ පරිකල්පනිය රාමුවක් තුළය. බාග විට බාහිර ක්‍රියාවක් නිසා ක්‍රීඩාව අතරමඟ නතර වීමට පිළිවන. එය එක්කෝ ක්‍රීඩකයින්ගේ බුද්ධිය හෝ අනපේක්ෂිත හේතුවක් නිසා ක්‍රීඩාව අහම්බෙන් නතර කිරිමට සිදුවීම විය හැක. අප යථ (real) යනුවෙන් නම් කරන්නේ එම කෘතිමය අවස්ථාවටය.

සංකේතික ලෙස පළමුව ඉංග්‍රිසි ගුරුවරයකුව සිට නගරයට සංක්‍රමණය වීමෙන් වෙළෙන්දකු වූ ගම්පෙරළියේ පියල් අපට පාදයාත්‍රා නවකතාවේදී නැවත මුණ ගැසෙන්නෙ ජරාජීර්ණ වාමාංශිකයකු ලෙස රූපාන්තරණය වෙමිනි. ඔහුගේ වර්තමාන නාමය ලයනල්ය. සුනාමිය විසින්ම නිර්මාණය කළ මුහුදටම දියවී යාමට නියමිත කුඩා දූපතකදී ජයසුමන නම් හමුදා සෙබළකුට නන්දා මුණ ගැසෙයි. (ජානකී නමැති ඇය නීතිඥවරියක වී සමාජ මතුමහල නැඟ ගැනීමේ ආශාවෙන් පෙළෙන්නියකි.) හමුදා සෙබළා මේ දූපත තුළදී භික්ෂුවක සේ සිවුරක් ඇඟලා ගෙන සිටීම ඓතිහාසික වශයෙන් අහම්බයක් නොවේ. අද දේවල් සිදුවන හැටියට හමුදා සෙබළකු සිවුරු ලා ගැනීමත් භික්ෂුවක හමුදා ඇඳුම් ඇඟලා ගැනීමත් පුදුමය දැන වීමට කරුණක් නොවේ. සෞම්‍යාලෝකය ලියද්දී සුනේත්‍රා රාජකරුණානායකට මග හැරුණ සමකාලීන සරල යථාර්ථය එරික් උත්ප්‍රාසනීය ලෙස එළි දරව් කරයි.

පිටෙහි හටගත් වනයක් ද සමඟ දූපතෙහි තනිව සිටින ජානකී ජයසුමන වෙත ගොස් ඔහු සමඟ රමණය කරයි. ජීවිතය නමැති චෙස් පුවරුවෙහි නම් ගම් පමණක් නොව ක්‍රීඩාවේ නියමයන් ද වෙනස් වී ඇත. සංකේතික සන්දර්භයක් තුළ නොසිදුවිය හැකි දේ නවකතාකරුවාගේ පරිකල්පනය විසින් ක්ෂිතිමය අත්දැකීමකදී සිදුවිය හැකි කිසිවක් බවට පත් කරනු ලබයි.

යථමය බව වූ කලී පරිකල්පනය කළ නොහැකි වන සේම සං‍කේතිකයට ඔබ්බෙන් පිහිටන්නෙකි. සංකේතිකය හැම විටම අභිමුඛ බව (Presence) සහ අනභිමුඛ බව (absence) යන විරුද්ධාර්ථයන් අතර මැද පිහිටයි. එහෙත් යථ යනු හැම විටම අභිමුඛ බව ආත්ම කොට ගත් ප්‍රපංචයකි. එබැවින් පියල් සහ නන්දා අතර විවාහයෙන් පිට රමණය නවකතාකරුවාගේ පරිකල්පනයට අනභිමුඛව තිබිණි. තමාගේ කලින් විවාහයේ සැමියා වූ ජිනදාස මියගිය බව හරියට ම දැනගන්නා තෙක් නන්දා පියල් සමඟ විවාහ වීමට මැලි වූවාය. අන් කෙනෙකු සමඟ රමණය කිරීම ඇය අවරෝධනය කර ගත් රහස් ආශාවයි. එහෙත් සිය පරිකල්පනයන් අහිමි කළ ක්ෂතිමය අවස්ථාවක ක්ෂණ භංගුර අත්දැකීමක් ලෙස ඇය ජයසුමන සමඟ සංකේතික විවාහයෙන් පිට රමණය කරයි. එම ක්ෂතිමය අවස්ථාව පහව ගිය කල ඇයට යළි සිහි එළවා ගැනීමට සිදු වේ. ඇය නැවත සංකේතික ජීවිතයට පිවිසෙමින් ජයසුමන‍ මග හැර පලා යන්නීය.

ජානකී ගේ සැමියා වූ ලයනල් රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ගසා කන වාමාංශිකයකු ලෙසත් ඔහු කතරගම දෙවියන් ගේ අඩවියට පලාගොස් හිඟන්නකු ලෙස ඉබාගාතේ යන්නකු බවට පත්ව තිබීමත් එරික් ගේ අහම්බ කියවීමක් නොවේ. සුනාමියෙන් ගොඩ එන ජානකී සහ ජිනදාස විවාහ වන්නේ ලයනල් සුනාමියට හසු වී මියගොස් ඇතැයි විශ්වාස කරමිනි. ලයනල් මියගොස් සිටියත් නැතත් ඔහු කර ඇති වංචාවන් නිසා මියගිය එකෙකුට සමාන අයෙකි. සමකාලීන ලංකාවේ වාමාංශිකයා ද සුනාමියට හසු වී අතුරුදන් වූවකු බඳුය. නවකතාකරුවා මේ වාමාංශිකයා විපරිතයකු (Pervert) ලෙස නිර්මාණය කිරීම ඊනියා වාමාංශික ව්‍යාපාරය පිළිබඳ නිර්දය කියවීමක් වේ.

නවකතා කරුවා තම නවකතාවට ලියන පූර්විකාව ඔහුගේ අතීත වේදනාවේ (nostalgia) ප්‍රකාශනයකි. වික්‍රමසිංහ නිර්මාණය කළ සංකේතික ලෝකය පමණක් නොව තමා මහත් බැතියෙන් අදහාගෙන සිටි යථාර්ථවාදී සමාජ කියවීම ද සුනාමිය විසින් ඩැහැ ගනු ලබන විට ඔහු කම්පාවට පත්වෙයි. ඔහු සුනාමිය දකින්නේ මහ ගත්කරු නිර්මාණය කළ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ මහගෙදර පවුලට අත්වුණ ඉරණමට වඩා බෙහෙවින් ශෝකජනක සංසිද්ධියක් ලෙසය. එහෙත් ඒ සංකේතික ලෝකය මුහුදට ගසාගෙන ගොස් සියල්ල ශුන්‍යයක් බවට පත් කළ භූමියට නවකතාකරුවා සාදරයෙන් පිළිගෙන ඇත.

එය හරියට Matrix (1999) සිනමා පටයේ ඊනියා යථාර්ථයට (පද්ධතියට) විරුද්ධව සටන් වදින මොෆියස් නමැති නායකයාගේ මුවින් පිටවන උත්ප්‍රාසනීය කියමන සිහි ගන්වන සුලුය. චිත්‍රපටයේ වීරයා වූ නියෝ (Keanu Reeves) සැබෑ යථාර්ථයට (real reality) අවදි වන විට දකින්නේ ගෝලීය යුද්ධයකින් දැවී දූවිලි බවට පත්ව තිබූ චිකාගෝ නුවර භූමි දර්ශනයයි. මොෆියස් ඔහු පිළිගන්නේ “යථෙහි කාන්තාරයට සාදරයෙන් පිළිගනිමු” (Welcome to the desert of real) යනුවෙන් කියමිනි. එරික් ඉලයප්ආරච්චි හදිසියේ නින්දෙන් අවදි වූවකු සේ මාර්ටින් වික්‍රමසිංහ නිර්මාණය කළ යථාර්ථවාදයේ සංකේතික ව්‍යාජය වටහා ගැනීමට පටන් ගනී. එය සාපරාධයක් නොවන ඝාතනයකි. එසේය. ඔහු තම පියා රූපිකව ඝාතනය කර ඇත!

සමන් වික්‍රමාරච්චි
Silumina

ඔබේ අදහස කියන්න...