ඇමරිකාවේ එක්සත් ජනපදය තුළ මෑතකදී සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ජාතිකයා ගේ මරණය නිසා, ඇමරිකන් නගර කීපයක් මේ වන විට ගිනි ගනිමින් පවතී. ඒ එම කලු ජාතිකයා ගේ මරණය සිදු වූයේ සුදු ජාතික පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡ හිංසනය සේයාවක් නිසාවෙනි. කළු ජනාධිපති කෙනෙක් රට වසර අටක් පාලනය කළ පසු, කළු නීතිපති කෙනෙක් සිටියත්, කළු අභ්‍යන්තර කටයුතු ලේකම් වරයෙකු සිටියත්, කළු සුදු ජාත-සුදු ජාතිවාදයට දේශපාලන විසඳුමක් තවමත් ලැබී නැත. ඇත්ත සමාජ ගැටලුවලට විසඳුම් නො නොලැබුණු විට ඇත්තට මිනිසුන් මිය යයි. ලංකාවේ අපට මෙය විශේෂයෙන් කියාදිය යුතු දෙයක් නොවේ. නමුත් අප ඇසිය යුතුයි මෙසේ සිදු වන්නේ කුමන හේතුවක් නිසාවෙන් ද කියා. ප්‍රථමයෙන් විකල්පමය පැහැදිලි කිරීමක්…
කෙනෙක් යමක් කියවන විට එයට පාදක වන ව්‍යුහමය අත්දැකීම අප මදක් විශ්ලේෂණය කර ගනිමු. පළමුව අප වටහා ගත් යුත්තේ ලේඛකයාගේ ලිඛිත භාෂාව සිංහල හෝ ඉංග්‍රීසි හෝ දෙමළ වුවත් ‘ආත්මයේ භාෂාව’ සිංහල නොවන බවයි – කෙසේද? එනම් “කියවන්නාවූ-ආත්මය” කියවන්නෙ , අනෙකා (ලේඛකයා) විසින් රචිත සිංහල භාෂාව පමණක් නොව ඇයගේ ආත්මයේ භාෂාව වන ආශාව ද ඇතුළත්ව. නමුත් අප යමක් කියවන විට මෙය අපට පාරදෘශ්‍ය නොවේ: සිංහල භාෂාවට ඉක්බිතිව ඇති ආත්මයේ භාෂාව (ආශාවේ කථනය) කියවන්නාගේ ද ලේඛකයා ගේ ද යන්න කියවන තත්කාලය තුළ බොඳවී පවතී. එය එසේ වීම ‘කියවන්නාවූ-ආත්මයේ’ දෘෂ්ටිකෝණයෙන් ඵලදායක කරුණකි – අර්ථය ජනනය වන්නේ තත්කාලයේ ප්‍රමාදයකට පසුවය.
රචනයක් කියවීමෙහි ඇති සුවිශේෂ දේශපාලනමය මානය වන්නේ කියවන්නා වූ ආත්මය විසින් තම ඓන්ද්‍රීය ජීවන ලෝකයෙන් වියුක්තනය වීමෙන් තොරව ඉහත සඳහන් කළ දෙවන භාෂාව ආශාවෙන් කථනය වෙත ළඟාව විය නොහැකි වීමයි. එනම් ‘කියවන්නාවූ-ආත්මය’ විසින් නිශේධනාත්මක තීරණයක් ගත් යුතුයි (අවිඥානිකව): ඒ රචනය සමග ගනුදෙනුව පිණිස අවට ඓන්ද්‍රීයත්වය – උදා. දවසේ ප්‍රශ්න, දුප්පත්කම, ජාතිවාදය, කොවිඩ් 19 – මොහොතකට පසු පසට තල්ලු කළ යුතුයි. එහි දොර වසා ගත යුතුයි. එවිට මෙම විනයානුකූල ආත්මීය තීරණය රචනය තුළ ඇති අන්තර්ගතය ට, එහි ඇති ආඛ්‍යානයට වඩා ප්‍රාථමික වේ. “කියවීම නම් හිස් ක්‍රියාව” කියවන්නා වූ අන්තර්ගතයට වඩා ප්‍රාථමික පෙර ක්‍රියාවකි. වඩා වැදගත් වන්නේ මෙම අවස්ථාවේ දී කියවන්නෙ කුමක්ද යන්නට වඩා එදිනෙදා ජීවිතයේ ඓන්ද්‍රීය විවිධත්වයෙන් ඉවත් වී වියුක්තණයෙන් පෙවීමයි.
මෙම වියුක්තනය සෘජුව සම්බන්ධ වන්නේ පෙර සඳහන් කළ ආත්මයේ භාෂාව හෙවත් ලේඛකයාගේ (අපගේ?) ආත්ම (ආශා) කථනය සමගයි. එනම් සම්පූර්ණ ලෙස වියුක්තනයවූ විට කියා කියවන්නාවූ-ආත්මය විසින් ලිඛිත භාෂාවෙන්ද (සිංහල) වියුක්තනය විය යුතුය. එවිට අප ගැටෙන්නේ ශුද්ධ/අමිශ්‍ර සංකල්ප සමඟය; ආත්මය සමග ය. එසේ නම් ඉහත ව්යුක්තනයෙන් තොරව අපට මෙම ආත්මයේ භාෂාව හෙවත් ‘තත්‍ය-සමාන’ යටිපෙළ හමුවන්නේ නැත. එවැනි කියවන්නාවූ- ආත්මයක් වෙත වියමනක් තුළ හමුවන්නේ තම එදිනෙදා ජීවිතයේ ඇති “අත්දැකීම්ය.” අත්දැකීම් වලට වඩා වියුක්තනය ප්‍රාථමිකය .
මේ අනුව, කියවන්නාවූ-ආත්මයම කියවීමේ ක්‍රියාව තුළ මතුපිටට කැඳවන (සිහි ගන්වන), පරිකල්පනය කරන “උදාහරණ” යනු අන් කිසිවක්වක් නොව ආත්මයේ මානයෙන් ආශා කුටියේ නිදන් කොට තැබූ යටිපෙළ ප්රකාශමාන වීමට ඉඩ සැලැස්වීමයි. මෙම අවස්ථාව වන විට ආත්මයේ භාෂාව නිරූපණය කළ පාරදෘශ්‍ය නොවන භාවය වියැකී යයි. ඒ කියවන්නාවූ-ආත්මය විසින් පරිකල්පනය උදෙසා කැඳවනු ලබන උදාහරණ ලේඛකයාගේ නොව තමන්ගේ බව වටහා ගැනීමෙන් ය. එවිට ඉහත සිංහල භාෂාවට එපිටින් ඇති ආත්මයේ (ආශාවෙන්) භාෂාව තමන්ගේ බවට පරිවර්තනය වේ. කියවීමේ දී අප මෙසේ නිදහස් කරනු ලබන (තහංචි තලයෙන්) උදාහරණ යනු අපට සිහියට නැගෙන පරිකල්පිත අවට යථාර්ථයේ හෝ ඓන්ද්‍රීය ජීවන අත්දැකීම් ලෝකයේ අවස්ථා නොවේ. ඒ අප “කියවීම නම් හිස් ක්‍රියාව” තුළ ඓන්ද්‍රීය විවිධත්වයෙන් සම්පූර්ණයෙන් වියුක්තනය වී ඇති නිසාය. දැන්, මෙම උදාහරණ යනු කියවන්නාවූ-ආත්මයේ ආශාව, කියවීම නම් ආකෘතිය සමග ගැටීම්යි. ක්‍රියාවලියට පාදක වන වියමනෙහි අන්තර්ගතය (රචනය) ඇත්තට, ඉහත ක්‍රියාවලියට සාපේක්ෂව ද්විතීක වේ. වෙනත් ආකාරයෙන් මෙම ක්‍රියාවලිය සූත්රගත කළහොත්: කියවීම නම් නිශේධනය (හිස් ක්‍රියාව – අන්තර්ගතයක් නොමැති) පොරබදන්නෙ මෙම ක්රියාවේ ආකෘතිය හා අවිඥානිකව පෙළ පෙළගැසෙන උදාහරණ සමඟයි. එවිට කියවීමේදී කියවන්නාවූ-ආත්මයට සම්මුඛ වන්නේ ලේඛකයාගේ ආත්මය නොව තමාගේම ආත්මය එහි ප්‍රතිවිරුද්ධ නිර්ණයෙන්ය; තමන් ගැන නොදැන සිටි ආස්ථානයන් ය.
අවසන් අදියරේ දී තවත් වැදගත් කර්තව්‍යයක් කියවන්නාවූ-ආත්මය අරබයා පැනනගී. බොහෝ විට, පැනනගින උදාහරණ හා කියවීම නම් ක්‍රියාව අතර ආතතියක් හට ගනී. මෙය දෙයාකාරව සිද්දධ වේ: එක් පසකින් උදාහරණය විසින් කියවීම නම් නිශේධනීය විවෘත ක්‍රියාව සම්පූර්ණයෙන් අවශෝෂණය කරගැනීමට වෙරදරයි (උදාහරණයක් ලෙස අප ස්ත්‍රීවාදය ගැන කියවන විට තමන්ගේ ඇත්ත ජීවිතයේ රහස් සබඳතා ලෝකය නැමැති උදාහරණයේ සංඝටක වල තීව්‍රතාවය ස්ත්රීවාදයේ විවෘත තර්කනයෙන් අප අන්ධ කිරීමට, එය ඉගෙන නොගෙන සිටීමට උත්සාහ කරයි). අනෙක් පස්සෙන්, වියමනෙහි අන්තර්ගතය විසින් තම උදාහරණය පාගා අතුගා දැමීමට වෙරදරයි (උදාහරණයක් ලෙස 19වන සියවසේ ධනවාදය ගැන ඇති රචනයක් මගින් සමකාලීන ධනවාදයේ බාහිරතා නැමැති උදාහරණය වියමනෙහි ප්‍රමුඛත්වය උදෙසා අතු ගා දමයි). කෙසේ වෙතත්, මෙහිදී අපට වැදගත් වන්නේ ඉහත අවස්ථා දෙකටම වඩා, කියවීමේ ක්‍රියාව හා උදාහරණ සමඟ හටගනු ලබන ආතතියයි. ‘කියවන්නාවූ-ආත්මය’ බාහිර උදාහරණ සමග ගැටෙන විට සත්‍ය වශයෙන්ම ගැටෙනු ලබන්නේ තම ආත්මයේ අභ්‍යන්තර සීමාව සමඟය – ආත්මයම සමඟය (උදාහරණ අයත් ස්ථරය සිහියට නගන්න). එවිට මෙම නිෂේධනයේ නිශේධනාත්මක අවස්ථාවේදී, කියවන්නාවූ-ආත්මය විසින් කියවීම නැමැති විනයගත ක්‍රියාව නිසා තමන් සමග ගැටුමක් සාදා ගනී. තම ආත්මය පරිවර්තනයකට යොමු කරවා ගනී. දේශපාලනයේ ඇති ශුද්ධ/අමිශ්‍ර ප්‍රකාශමානය මෙය නොවන්නේ ද?
දැන් අප තේරුම් ගත යුත්තේ කියවීමේ දී ලේඛකයා මියගොස් ඇත යන්නෙහි භෞතිකමය ක්‍රියාවලිය මෙය බවයි. ඉහත ආකාරයට කියවන්නාවූ-ආත්මය රචනය (කෘතිය) වියමන් ගත කරයි. මෙම දේශපාලනමය ක්‍රියාව අසා සිටීමෙන් (කියවීමට ප්රතිපක්ෂව) කළ හැකිද? අසා සිටිමෙහි මුඛ්‍ය ගැටලුව වන්නේ කියවීම්ට අදාලව සංකීර්ණව සිදුවන, ඓන්ද්‍රීය බාහිරයෙන් ව්‍යුක්ත වීම, අසා සිටීමට අදාළව සාක්ෂාත් කරගැනීම අපහසු වීමයි. බොහෝ විට අප අසා සිටින විට “අසාසිටින-ආත්මය” විසින් කතිකයාගේ (භාෂකයාගේ) ඓන්ද්‍රීය සංයුක්තභාවය තුළ අතරමං වීමයි; ඔහුගේ වදන් තුළ හිර වීමයි. දේශපාලන රැලිවල සිදුවන්නේ මෙයයි. ටියුෂන් ගුරු කුලවල ද සිදුව සිදු වන්නේ මෙයයි. එම නිසා අප උගත් වාමාංශික දේශපාලනය ඉහත කොවුල්වාදය අත්හිට විය යුතුමය. නැත්නම් ඇත්ත පරිවර්තනයක් සිදු නොවේ.
නැවතත් ඇමරිකාව වෙත- ෆ්රෙඩ්රික් ඩග්ලස් (Frederick Douglas) නැමැති කලක් ඖල්ඩ් නම් යුවලකගේ (Mr and Mrs Auld)වහල්කු ව සිටි ඇමරිකානුවාගේ ජීවිතය අපට ඉහත සාකච්ඡා කළ සංදර්භය තුළ වැදගත් වේ. අන් වහල් හිමියන්ට වෙනස්ව, ඖල්ඩ් මහත්මිය (Mrs Auld) ඩග්ලස් ව අයිති කර ගැනීමට පෙර වහලෙකු අයිති කර නොගැනීම නිසාද, ඩග්ලස් වෙත අන් වහල් හිමියන්ට වෙනස්ව ඉතා කරුණාබරව සලකන්නට විය. නමුත් සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ මහත්මිය විසින් ඩග්ලස් හට කියවීම්ට පුරුදු කිරීම්ට පටන් ගත් පසුවය. ඖල්ඩ් මහතා (Mr Auld) ඩගග්ලස්ට කියවීමට ඉගැන්වීම ගැන කෙතරම් ත්‍රාසයට පත් වීද යත් ඔහු ඖල්ඩ් මහත්මියට මෙය තේරුම් කිරීම් සඳහා විවිධ උපක්‍රම භාවිතා කළේය. කියවන්න ඉගැන්වීම් නීති විරෝධී යැයි කීය. එය භයානක යයි කීය.
නමුත් ඩග්ලස් සඳහන් කරන අන්දමට ඔහුගේ ජීවිතයේ පරිවර්තනයට පාදක වූ තම ස්වාමියාගේ වදන් වූයේ මෙයයි: ඔබ [ඖල්ඩ් මහත්මිය] අර “nigger” (කලු ජාතිකයාට) කියවීමට ඉගැන්වීමට සැළැස්වූහොත් අපට ඔහුව මඟ හැරේවි. වහලෙකු වීමට බාධාවක් වේවි. අනික ඔහු [ඩග්ලස්] සම්බන්ධව ඔහුට ද මෙමඟින් කිසිම උපකාරයක් නොවනු ඇත. එය ඔහුටම ද අසහනයක් සහ නොසතුටක් වනු ඇත. ඩග්ලස් කියන පරිදි කියවීමට නැතහොත් “කියවන-වහලා” යනු කවුද යන්න ඔහුට පසක් වූයේ ඖල්ඩ් මහත්මියගේ කරුණාබරව නිසා නොව ඖල්ඩ් මහතාගේ මෙම ප්‍රතික්‍රියාව නිසා ය. තමන් කරන දේ තුල ඇති සත්‍ය තේරුම් ගත්තේ තම වහල් ස්වාමියාගේ මෙම තාසජනක ප්‍රතික්‍රියාවෙන් ය. එසේ නොවන්නට ඔහු උගත් වහලෙකු පමණක් විය හැකිව තිබිණි.
ඩග්ලස් තේරුම් ගත්තේ කියවීම් මගින් ප්‍රථමයෙන් තමන් සිටින ඓන්ද්‍රිය ජීවිතය මැදට අසහනයක් හා නොසතුටක් රැගෙන එන බවය. එම අසහනයම ස්වාමියාගේ පැත්තෙන් බලන විට නිදහසේ ප්‍රථම මුද්‍රාවයි. ඇමරිකාවට අද අවශ්‍ය වන්නේ මැල්කම් එක්ස්ගෙන් (Malcolm X) ආ මෙම කියවීමේ විනයයි. දේශපාලන පන්ති ද වාචාලභාවයේ දොරටුව වසා අක්ෂරය (X) වෙත යා යුතුය.
Dilshan Fernando