නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් යනු පීඩිතයින් වෙනුවෙන් කවි ලියන්නෙකි.බෙනඩික්ගේ කවි වල ඇත්තේ දුකයි.පීඩාවයි.ඒ කවි කැතය.ඔහු සිමෙන්ති කොට්ට කරගහනා හාඩ්වෙයාර් කම්කරුවෙකි.බෙනඩික් ගේ කවි ගැන සමාජයේ බොහෝමයක් අතර වාද ඇති වුන අතර කොටසක් කීවේ බෙනඩික් සමාජයේ අදුර කවියෙන් ලියන්නේ ඔහු ද ඒ පීඩිත පංතියේ මිනිසෙකු නිසා බවය. කිසිවෙක් නොඅසන වැදගත්ම කතාව වන්නේ ඔහු සමාජයේ හිරිකිත කාරණාම කවි කිරීමේ යතාර්තය කුමක්ද යන්නයි. මේ බෙනඩික්ගේ කවි පිලිබද කියවීමක් නොවේ.නමුත් බෙනඩික් තුලින් ඉතා  සංවේදී මාතෘකාවක් වන ආත්මීය විනෝදය පිලිබදව අපට වටහා ගත හැකිය.

බෙනඩික් යනු කිසිසේත්ම පීඩිතයින්ගේ වීරයෙකු නොවේ.ඔහු මේ පෙනී සිටින්නේ නිර්දන පංතියේ දුක වෙනුවෙන් නොවේ. ඔහු පෙනී සිටින්නේ ඔහු වෙනුවෙනි.වෙනත් විදියකින් කිවහොත් දුක සහ කැත කවිය( ඔහුගේ කවි කැත යැයි මින් අදහස් නොකෙරේ) බෙනඩික්ගේ විනෝදයයි.ඔහු තුවාලයක් ටිකෙන් ටික පාරමින් සතුටු වෙයි.කවිය හැගවුම්කාරකයක් පමනි. විනෝදය වන්නේ ඉන් විදවනා වේදනාවයි. වඩාත් සැකෙවින් මෙය වටහා ගැනීමට අප බෙනඩික්ගේ ප්‍රකාශයක් නැවත කියවා බලමු.

” මම කරන්නේ හඩ අහිමි වුන පීඩිත පංතියට මගේ කවියෙන් හඩක් ලබා දෙන එක.මගේ බිරිද මාව දාල ගිහින්.ඒත් ආයෙත් එයා ආවොත් මම බාර ගන්නවා.මගේ කවි කියවලා ගොඩක් තරුණියන් මට ප්‍රේම යෝජනා එවනවා.මේ ලගදි පිට රට ජීවත් වෙන මට වඩා වයසින් ගොඩාක් ලාබාල තරුනියක් මට එයත් එක්ක ඒ රටේ ජීවත් වෙන්න එන්න කියලා ආරාධනා කරා.ඒත් මට මේ සමාජයේ අසරන් මිනිස්සුන් වෙනුවෙන් කවිය හරහා කරන්න සෙවයක් තියනවා”

සිමෙන්ති කොට්ට කරගහමින් එදා වේලට හම්බකරමින් ජීවිතයේ අනේක පීඩාවන් විදින මේ කවියා සැප පහසු ජීවිතයක් ගෙවීමට ලැබෙන අවස්තා ප්‍රතික්ශේප කරමින් මල මිනී,කුනු කානු,බඩගින්න,විරහව ගැන කවි ලියයි. මොහුට මේ පීඩාව අතැර යා නොහැක.ඔහුගේ විනෝදය වන්නේ පීඩාවට සම්මුඛ වීම මිස දුරස්ත වීම නොවේ.විනෝදය ඇත්තේ අහිමිවීම තුලය.අහම්බෙන් හෝ බෙනඩික් ඔහුට ප්‍රේම යෝජනාව ගෙනා ලාබාල කල්පිත තරුනිය සමග පිටරට පදින්චි වී මේ පීඩාවෙන් මිදුන හොත් ඉතා කෙටි කලකින් ඔහුගේ ඉරනම ලියවෙන්නේ එක්කෝ පිස්සු හැදී සිය දිවි නසා ගැනිමකිනි.එනිසා බෙනඩික් තම ජීවිතයේ ජීවත් විම සදහා ප්‍රාර්තනා කල යුත්තේ මේ පීඩාවේ දිගු කාලීන පැවැත්මකි.කවියෙන් හෙට දවසට අලුත් ඉරක් ඉල්ලා සිටියත් ඔහු අවිඥානිකව බලාපොරොත්තු වන්නේ පවත්නා සමාජ ක්‍රමය නොවෙනස්ව පැවතීමයි.මේ පංති අරගලය නොවෙනස්ව පැවතීමයි.

ආශාව තෘප්තිමත් කර ගැනීමට ඇති නොහැකියාව විනෝදයේ මූලාශ්‍රයයි.එහිදී සතුට ලැබෙන්නේ දුකක් ලෙසිනි.මේ ධනවාදී සමාජ ක්‍රමය පෝශනය කිරීමට නම් මෙසේ විනෝදය සම්පූර්නයෙන්ම නොලැබී යමක් ශේශ විය යුතුය.මේ ආත්මීය ගැටලුවත් ධනවාදයත් එකට ගැලපීමේ රහස ඔබට දැන් වැටහිය යුතුය.අපගේ විනෝදය අප මුන ගැහෙන්නේ ධනවාදය විසින් සපුරන්නේ නැති එසේත් නැත්නම් ධනවාදය විසින් ලබා නොදී සිටින ශේශයටය.එසේ නම් නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ට පීඩාවෙන් ගැලවීමට ඉඩ නොදෙන්නේ මේ ධනවාදී ක්‍රමය නොව.ඔහුගේම අවිඥානයයි.එසේ නම් ඔහු පීඩිත පංතිය උදෙසා තම කවියෙන් කරන්නේ කුමන විප්ලවයක් වුවද එය අර්ථවිරහිතය.බෙනඩික්ලාගේ අවිඥානික ආශාව ඇත්තේ ධනවාදී සමාජ ක්‍රමයටය.

තවත් උදාහරනයකට එමු.මේ සත්‍ය චරිතයකි.x නම් වන මොහු ගමෙන් කොලඹට පැමිනි තරුණ මාධ්‍යවේදියෙකි.ප්‍රධාන පෙළේ පුවත්පතක සේවය කරයි.විවාහකය.දරුවන් නැත. පුවත්පත තුල වඩාත් ප්‍රිය කරන්නේ බෙල්ල ගහල යන භයානක ගවේශනාත්මක ලිපි ලිවීමටය.වඩාත් ඉහල වැටුපකට වෙනත් රැකියාවක් කිරීමට හැකි වුවද ඔහු එසේ නොයයි.ජීවිතය ගෙවන්නේ ඉතා අඟ හිග කම් මැදය.බිරිඳගේ පවුලේ හා තමන්ගේ පවුලේ බරද කර ගසයි.වාසිය තකා වෙනත් ගනුදෙනු වලින් මුදල් සොයන්නේද නැත.එසේම මොහු වාමාංශික දේශපාලනයේ යෙදෙයි.මොහුගේ විනෝදය කුමක්ද? මතු පිටින් පෙනෙන සියල්ල අපට තෙරුම් ගැනීමට හැකි හැඟවුම්කාරකයයි.අපට එක්වර තෙරුම ගැනීමට නොහැකි අප සොයා ගත යුතු වන්නේ xගේ විනෝදයයි.

x ගේ විනෝදය වන්නේ ජීවිතයෙන් පීඩා විඳීමයි.භයානක ගවේශනාත්මක ලිපි ලිවීම හරහා නොකියා ඉල්ලන්නේ ආපිට පහර කෑමයි.වාමාශික දේශපාලනයෙහි නිරත වීමෙන් ඔහු සනසා ගන්නේ තමන්ගේ ආත්මීය විනෝදයයි.කිසියම් කෙනෙකු x ට ඉහල වැටුපක් වාහනයක් සහිත රැකියාවකට ආරාධනා කලහොත් ඔහු එය බාර ගන්නේ නැත.ඔහු තම පීඩාකාරී ජීවිතය එවැනි සුඛ විහරණ සහිත ජීවිතයකට මාරු කල පමනින්ම ඔහුගේ විනෝදය ඔහුට අහිමි වී යයි.ස්වපීඩාවට ආශක්ත මෙම x නැමැති හිස්ටරික පිරිමියා වාමාංශික දේශපාලනයේ නිරතවීම ඔබට පැහැදිලිද? ‍

යම් භාණ්ඩයකින් ඔබව පූර්ණ ලෙස තෘප්තිමත් නොවීම මත ධනවාදී වෙළෙද පොල තවත් භාණ්ඩයක් නිශ්පාදනය් කරයි.ඔබගේ අතෘප්ති කර ආශාව විසින් ධනේශ්වර වෙළෙදපොල පෝශනය වෙයි.ඔබගේ අවිඥානය විසින් ඔබගේ ආත්මය අපෙක්ශා කරන පූර්ණ විනොදය ලබා නොදෙයි.x නැමැති පුද්ගලයා වැනිම තුවාලය පාර පාරා විනෝදය ලබන පුද්ගලයින් අද දවසේ වාමාශික දේශපාලනයේ නිරතව සිටී.ඔවුන් අනියමාර්තයෙන් ධනවාදී ක්‍රමයට අත් වැල සපයයි.ඔවුන් කිසිසේත්ම සමාජයේ වෙනස් වීමක් බලාපොරොත්තු නොවන අතර පවත්නා සමාජ ක්‍රමයට අවිඥානිකව ආශා කරයි.

අප ජීවත් වන්නේ විනෝද සමාජයකය. එහි මූලික ලක්ශනයක් ලෙස සතුරෙකු සිටීම අනිවාර්‍ය වේ.සතුරා විසින් අපගේ ආශාව නොමැරී පවත්වාගෙන යාමට උපකාරී වන අතරම එයින් අපගේ විනෝදය අපට හිමි වෙයි. ජාතිවාදය ඇති වන්නේද මෙම විනෝද සංකල්පය මතය.තවමත් දෙමලා ගැන පොත් ලියා විනෝදය ලබන මහාචාර්‍ය වරුන්ද අප අතර සිටී.ඔවුන් විසින් සිදු කර ඇත්තේ දෙමලා ආත්මයක් විරහිත වස්තුවක් බවට පත් කිරීමයි.

පුද්ගල විනෝදය පිලිබඳව වැඩි දුර අධ්‍යනය කිරීමට පහත් ලින්ක් එකට යන්න.එහි සිටින පුද්ගලයාගේ විනෝදය කුමක්දැයි වටහා ගන්න.

https://www.youtube.com/watch?v=II6njG44xCs&sns=em

අප ඉල්ලා සිටින සමාජීය නිදහස අප ලබා ගත යුත්තේ අනෙකාගෙන් නොව අප තුලින්ම බව ඔබට පැහැදිලි ඇති. අනෙකාගේ රෝගය දෙසට ඇගිලි දිගු කරන විට ඔබට නොපෙනෙන්නේ ඔබගේ රෝග ලකශනයි.බෙනඩික්ලා හෝ x නැමැති වාමාංශික මාධ්‍ය වේදීන් මේ එරෙහි වන්නේ ධනවාදී සමාජ ක්‍රමයට නොව ඔවුන් මර්ධනය කරන්නේ ඔවුන්ගේම ආශාවයි. ඒ මර්ධනය යනු විනෝදය වන බැවිනි.

එකම එක දවසක් පාන්දර
එන්න කුණුකෙළ පෙරාගෙන ඔබ
මම හිදින්නම් පෙර දිනක රැය
මතක විසි කල වමනෙ ගොඩ උඩ.

( නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ කවි පෙලක කොටසකි)

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මම බෙනඩික් ගේ කවිපොත (“මයෙ අම්මේ යමුයන්ඩ”), මේකට ප්‍රධාන හේතු දෙකක් තිබුන, එකක්, මේ වචන කීපය මම මගේ අම්ම අන්තිමවරට ඉස්පිරිතාලෙට ගෙන්යද්ධි හිතින් හිතුවේ මේ වවචනටික – ඒ ඇය එතෙක් වින්ද දුක මෙතනින් කෙළෙවර වෙන්න කියලා මම ප්‍රර්ථනා කරපු විදිහ, දෙවනුව බෙනදික් ගැන රාවය,සත්හඬ පත්තර දෙකේ කියලා තිබුණු විස්තරයේ තිබු ඔහුම විඳි දුක් කන්දරාව. හැබැයි කවිපොත බලත්දී මට මේ ලිපියේ අහන මූලික ප්‍රශ්න ඉතා ත්‍රීවව මතුවුණා, එනම් “ඇයි බෙනඩික් දුකම ගැන ලියන්නේ?” “මේකෙන් පිඩිතයට ඇති සෙතේ මොකක්ද?”බෙනඩික් හරියට අර බුදු දහමේ තැනක කියන බ්‍රහ්මලෝකෙක ඉන්න ජිවින්ගේ අනිත් පැත්ත වගේ, ඒ ජිවින් ජිවත් වෙන්නේ සතුට ආහරකොට ගනිමින්ලු.
    එනිසා ඉහත ලිපිය මේ කවිපොත සහ කවිය ගැන ලියැවුනු – සමහර විට බෙනඩික්ට සහ ඔහුගේ පාඨකයින් ගේ හිත රිදවිය හැකි නමුත්- ඉතා නිවැරදි ලැකිනියානු විචාරයක් හැටියටයි මම දකින්නේ. බෙනඩික්ගේත්, ඉහත උදාහරණයේ මධ්‍යවෙදියාගේත්, තම චැනලින් වෙලාව කැපකර සතියට දෙවරක් නොමිලේ භාවනා පන්ති කරන දොස්තර නොනාගේත්, පෙම්වතියගෙන් විඳින සියලු පිඩා ඉවසා දරා ගැනීම ආදරය යැයි සිතන පෙම්වතාගේත් අවිඥානය මේ ලිපියෙන් මැනවින් පැහැදිලිකරලා තියනවා.
    බෙනඩික් ඉතා අවංක ඉතා අහිංසක පීඩිතයින් ගේ දුක ගැන ඉතා සංවේදී මිනිසෙක් වියහැකි නමුත් ඉහත ලිපියෙන් කියා ඇති පරිදි “බෙනඩික් යනු කිසිසේත්ම පීඩිතයින්ගේ වීරයෙකු නොවේ.ඔහු මේ පෙනී සිටින්නේ නිර්ධන පංතියේ දුක වෙනුවෙන් නොවේ. ඔහු පෙනී සිටින්නේ ඔහු වෙනුවෙනි.” තවදුරටත් ලිපියේ ඉතාමත් නිවැරදිව කියන පරිදි “ධර්මසිරි බෙනඩික්ට පීඩාවෙන් ගැලවීමට ඉඩ නොදෙන්නේ මේ ධනවාදී ක්‍රමය නොව ඔහුගේම අවිඥානයයි. එසේ නම් ඔහු පීඩිත පංතිය උදෙසා තම කවියෙන් කරන්නේ කුමන විප්ලවයක් වුවද එය අර්ථවිරහිතය.” සැබවින්ම බෙනඩික් කවියෙන් කරන ‘විප්ලවයේ’ එකම ප්‍රතිපලය වන්නේ ඔහුත්, ඔහු නියෝජනය කරන ජනතාවත් ඒ අඳුරේම ගිල්වා තැබීම මිස ඔවුන් එයින් මුදාගැනීම නොවේ. නමුත් එකක් කිවයුතුය, “මාර්කට්” කළ හැකි කවි ලියමින් අනුන්ගේ දුක් කඳුළු, පිඩා, අත්දැකීම්, අහුලාගෙන ඒවා තමන් ගේ මෙන් විකුණා “කවියන්” වී ඇති සම හරක්ට වඩා බෙනඩික් යම්තරමින්අ හෝ අවංක මිනිසෙකි.
    ඉතා වැදගත් ලිපියක්, බොහොමත්ම ස්තුතියි.

  2. එතකොට අපි පීඩාව තියාගෙන ඉන්න කැමතිද? විරහව තියනවා නම් හොඳ ප්‍රේම කතාවක් ලියන්න පුළුවන් වගේ? ධනවාදී ක්‍රමය තියෙන කොට දුක් විඳ විඳ සටන් කිරීම හොඳද? ඒක පෙරලුනොත් අප්සේට්ද?

Comments are closed.