මාකේස් පිළිබඳ සංවාදය – ගාමිණී වියන්ගොඩ සමඟ සාකච්ඡා කළේ සමන් වික්‍රමාරච්චි‍

සමන් : පසුගිය දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ අපේ සාහිත්‍ය සමාජය තුළ නිරන්තරව කතාබහට ලක්වුණ විදේශීය ලේඛකයා තමයි ගාර්ෂියා මාකේස්. ඔහුගේ කෘතීන් ගණනාවක් සිංහලට නැගුණා. මාකේස් ගේ විශිෂ්ටතම නවකතාව සේ සැලකෙන One Hundred Years of Solitude (සියවසක හුදෙකලාව) දෙවරක්ම සිංහලට පරිවර්තනය වුණා. ගාමිණී ඔබ තමයි මම දන්න තරමින් මුල් වරට මාකේස් සිංහල පාඨකයාට හඳුන්වා දෙන්නේ, ඔහුගේ කෙටිකතාවක් සිංහල කරමින්. ඒ වගේම Love in the Time of Cholera නමැති කෘතිය ඔබ කොලරා කාලේ ආලේ නමින් 1997 දී පරිවර්තනය කරනවා. මාකේස්ගේ Chronical of a Death Foretold නවකතාව කරුමක්කාර කතාවක් නමින් පරිවර්තනය වෙනවා ඔබ අතින්. කර්නල් සහ එරෙන්දිරා නම් කෙටි නවකතා දෙකක් ජනක ඉණිමංකඩ පරිවර්තනය කරනවා. පසුව ඔහුගේ කෙටිකතා නවකතා ඉතා විශාල වශයෙන් සිංහලයට නැගෙනවා. ඉන් පෙනෙන්නේ ගාර්ෂියා මාකේස් ලාංකීය සාහිත්‍ය සමාජය තුළ ඉතාම ජනප්‍රිය විදේශීය ලේඛකයකු වූ බවයි.

අපි මාකේස්ව සල්මන් රුෂ්ඩි සමඟ සැසඳුවහොත් රුෂ්ඩි ලංකාව තුළ කොතෙක් කතා බහට ලක් වුණත් ඔහුගේ නවකතා එකක් වත් සිංහලට පරිවර්තනය වී නැහැ. රුෂ්ඩිගේ කෘතීන් වලින් සිංහලට නැඟි තිබෙන්නේ ඔහුගේ Jaguar’s Smile (අඳුන් දිවි හිනාව) සහ හරූන් නමැති යොවුන් නවකතාවත් පමණයි. නමුත් ඉතාම ප්‍රකට දේ තමයි රුෂ්ඩිගේ ලිවීම්වලට ප්‍රස්තුත වන්නේ ඉන්දියාව සහ පාකිස්තානය. කෙටියෙන් කිවහොත් ආසියාව. මම හිතන විදියට මාකේස්ට ප්‍රස්තුත වන්නේ ලතින් ඇමෙරිකානු අතීත කාමය. මගේ ප්‍රශ්නය තමයි ලතින් ඇමෙරිකාව අපට මේ තරම් සමීප වන්නේ කොහොම ද කියන එකයි. සල්මන් රුෂ්ඩිට වඩා ගාර්ෂියා මාකේස් අපට සමීප වන්නේ ඇයි?

 

ගාමිණී : මම රාග රිද්ම නම් කෙටිකතා පොතට මාකේස් ගේ The Hour She Came නම් කෙටිකතාව ‘ඇය ආ හෝරාව’ යනුවෙන් පරිවර්තනය කළා. එම කෙටි කතාව ගැන කතා බහක් ඒ දවස්වල ඇතිවුණා. එයට මුල් වුණේ සයිමන් නවගත්තේගම. ඒ වගේම සුනිල් විජේසිරිවර්ධන, ජයතිලක කම්මැල්ලවීර සහ රංජිත් පෙරේරා වගේ අය එම කෙටි කතාව හරහා මාකේස් පිළිබඳ කතා බහකට මුල පිරුවා. ඉන් පස්සෙ තමයි මම කොලරා කාලේ ආලේ පළ කළේ. එය ලංකාවෙ සාහිත්‍ය සමාජය තුළ හුඟක් ජනප්‍රිය වුණා. ඉන් පසුව Chronicle of a Death Foretold කරුමක්කාර කතාවක් යනුවෙන් පරිවර්තනය කළා. මම හිතන්නේ මාකේස් මේ රටේ ජනප්‍රිය වීමට හේතුව ඔහුගේ ලිවීම් වලට ප්‍රස්තුත වූ දේවල් අපට හුඟක් සමීප වීමයි. මාකේස්ගේ නිර්මාණ තුළ අනුශීලනය වුණේ මිත්‍යා විශ්වාස ඇදහිලි වගේ දේවල්. කොටින්ම ඔහු ලිව්වෙ ගෝත්‍රික සමාජයක් ගැන. ඔබ ලතින් ඇමෙරිකානු අතීත කාමය යයි කියන කොට අදහස් වන්නේ එයයි. මේ ගෝත්‍රික ලක්ෂණ අදත් අප තුළින් කොයිතරම් මතු වෙනව ද? අද වැඩියෙන්ම රටේ අලෙවි වන්නේ මේ මිත්‍යාවන්. මේ සමීපතාවය තමයි මාකේස් මේ රටේ ජනප්‍රිය වීමට හේතු වන්නේ.

සමන් : මාකේස්ට වඩා රුෂ්ඩි දේශපාලනිකයි. මම ඉන් අදහස් කරන්නෙ මාකේස් අදේශපාලනිකයි කියන එක නොවෙයි. මාකේස්ට වඩා දේශපාලනික කාරණා තමයි රුෂ්ඩි ප්‍රස්තුත කර ගත්තෙ. නිදසුනක් විදියට කියනව නම් ඔහුගේ Midnight’s Children නවකතාව ඉන්දියාව දෙකඩ වීම පිළිබඳ කියවෙන්නක්. ඔහුගේ Shame පාකිස්තානය බිහිවීම වටා ගොඩ නැ‍ඟෙනවා. මාකේස් ගේ නවකතාවල විෂය ඊට වඩා වෙනස් නේද?

 

ගාමිණී වියන්ගොඩ

ගාමිණී : මිත්‍යා විශ්වාස, ඇදහිලි ආදියෙන් පෝෂණය වුණ ලතින් ඇමෙරිකානු ජන විඥානය නැත්නම් සාමූහික අවිඥානය තමයි මාකේස් ගේ නවකතාවලින් විදාරණය වුණේ. හැබැයි ඔහුගේ නවකතා පුද්ගලික චරිත ඇතුළට කිඳා බහිනවා. චරිතවල අධ්‍යාත්මික පැත්ත ඔහු ඉතාම තියුණු විදියට ගවේෂණය කරනවා. බොහෝ විට අපේ ජාතක කතාවලත් මේ ලක්ෂණය දකින්න පිළිවන්. මාකේස් අපට සමීප වන්නට ඒකත් හේතුවක් වුණා.

මෙතනදී ඔහුගේ කැපී පෙනෙන නව කතාව තමයි කොලරා කාලෙ ආලෙ. එහි එන ෆ්ලොරෙන්තිනෝ අරිසා නමැති චරිතය ගොඩනඟන ආකාරය පාඨකයා කම්පනයට පත් කරන සුලුයි. අවුරුදු පනස් ගණනක් තිස්සේ ඔහු එකම ස්ත්‍රියක් පතාගෙන එනවා. අන්තිමට ශරීරය ගඳ ගහන මහලු වයසෙදි තමයි ඔහුට ඇය හිමි වන්නෙ.

 

සමන් : මට නම් හිතෙන්නෙ අරිසා කියන්නෙ අර නවකොව් ගෙ ලොලිටා නවකතාවෙ එන හම්බර්ට් හම්බර්ට් කියන චරිතය නැවත කියවීමක් කියලයි. ඒ අවුරුදු පනස් ගානට ඔහු ගැහැනු කී දෙනෙක් සමඟ ඉන්නව ද? අර හම්බර්ට් – හම්බර්ට් වගේ පාසල් යන ලොලිතාවකුත් ඔහුගේ ස්ත්‍රීන් අතර ඉන්නවා.

 

ගාමිණී : මේ විදියේ ලක්ෂණ තියෙන චරිත අපට ජාතක කතාවලදිත් හමු වෙනවා. සමාජයීය කාරණාවලට වඩා මාකේස් බර දෙන්නේ චරිතවල මේ අභ්‍යන්තරික කාරණාවලට. ඔවුන්ගේ අධ්‍යාත්මික සංකීර්ණ බව තමයි ඔහු ගොදුරු කර ගන්නේ. රුෂ්ඩිගේ නවකතා අපට දුරස්ථ වන්නේ මාකේස් වගේ එම චරිතවල අභ්‍යන්තරයට නැමුන විග්‍රහයක් සේ විශ්ලේසණයක් නැති නිසයි. දැන් Satanic Versus (සාතන්ගේ කවි) වගෙ කෘතියක් සහ මාකේස් ගේ කොලරා කාලේ ආලේ වගේ කෘතියක් අතර විශාල පරතරයක් තිබෙනවා. අපට කොලරා කාලේ ආලේ සමීපයි රුෂ්ඩිට වඩා.

 

සමන් : කොලරා කාලේ ආලේ ගැන මගේ කියවීමක් තමයි, එය මනෝ විශ්ලේෂණයේ එන ආශාව (desire) කියන සංකල්පය ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරන නවකතාවක් බව. ආශාව පවතින්නේ එය අසම්පූර්ණව පවතිනතාක් පමණයි. මේ නවකතාවෙ එක් තැනකදි අරිසා සහ ෆර්මිනා දාසා නම් ඔහු පෙම් කරන තරුණිය දීර්ඝ වෙන්ව සිටීමකට පසු හමු වෙනවා. නමුත් ඔහු දුටු විගසම ඇයට ඔහුව එපා වෙනවා. ඔබ එම අවස්ථාව සිංහලට නඟා තිබුණේ මෙහෙමයි.

“එහෙත් අද, ආලයේ කැලතීමක් වෙනුවට ඈ තුළ ඇතිවුණේ, අපේක්ෂා භංග නිර්මෝහන අගාධයක් තුළ ගිලී ගිය හැඟීමකි. තමාට වැරදුන තැන පසක් වීමට ඇයට ගත වුණේ නිමේෂයකි. ඒ අවබෝධයෙන් බය බිරාන්තව ගිය ඈ, ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ එතරම් අමූලක වූ මායාවක්, එතරම් උන්මාදයකින් සිය හදවත තුළ පෝෂණය කර ගැනීමට කෙසේ හැකි වීදැයි තමාගෙන්ම ප්‍රශ්න කළාය.” මාකේස් මේ රටේ ජනප්‍රිය වීමට හේතු වුණේ මේ භාවාතිෂය ප්‍රකාශන විලාශය ද?

 

සමන් වික්‍රමාරච්චි‍

ගාමිණී : නැහැ. මේ ලිවීම් යට තියෙනවා දර්ශනයක්. ඔහු වරක් කොහේ හෝ කියා තිබුණා මා ආදරය කරන්නේ ඔබට නොව ඔබ ළඟ සිටින මම බවට පත්වෙන කෙනාටයි කියල. එම කියමන තුළ විදාරණය වන්නේ ජීවිතය පිළිබඳ ඔහුගේ සාංදෘෂ්ටික දැක්මයි. ඒ වගේම ඔහු වරක් කියා තිබුණා තමා අදේවවාදියකු වුවත් දෙවියන් වහන්සේට බය බව. මින් ඔහු කියන්නේ කිසිවකුට අතීතයෙන් ගැලවීමක් නැති බවයි. ඔහුගේ නවකතාවල ලතින් ඇමෙරිකානු අතීත කාමයක් අපට හමු වන්නේ ඒ විදියට.

 

සමන් : මාකේස් පිළිබඳ කතා කරන විට ඉන්ද්‍ර ජාලික යථාර්ථවාදය (Magical Realism) ඔහුගේ ප්‍රබන්ධවල මූලික කාරණයක් හැටියට විග්‍රහ කරනවා. කුමක් ද මේ ඉන්ද්‍ර ජාලික යථාර්ථවාදය? මාකේස් ගේ නවකතාවල එවැන්නක් තිබෙනවා ද?

 

ගාමිණී : ඇත්තටම නම් මාකේස් පැවසුවෙ තමා ඉන්ද්‍ර ජාලික යථාර්ථවාදියකු නොව යථාර්ථවාදියකු බවයි. ඕනෑම සමාජයක යම් විශ්වාසයන් තිබෙනවා. අපේ ගැමි සමාජය පවා කෙනෙකු හදිසියේ මැරුණාම යකා ගහල මැරුණයි කියනවා. සියක් වසක් හුදෙකලාව (One Hundred Years of Solitude) නවකතාවෙ කියවෙනවා කැලෑවට ගොඩ ගසන ස්පාඤ්ඤ රුවල් නැවක් පියාඹන පලසක්, කහ මල් වලාවක් ස්ත්‍රියකගේ ගර්භාෂයේ සිටින තලගොයෙක් ආදී ඉන්ද්‍රජාලික වූ දේවල් ගැන. මෙබඳු ඉන්ද්‍රජාල මඟින් ඔහු තම නවකතා තුළට ගෙන එන්නේ ලතින් ඇමෙරිකානු ජන විඥානය පිළිබඳ ප්‍රකාශනයක්. මාකේස් කළේ ලතින් ඇමෙරිකානු සංස්කෘතියේ මූලයන් සොයා යාමයි. ඒවා තමයි අපි මැජික් විදියට දකින්නෙ. ඇත්තටම නම් යථාර්ථවාදී රීතියට මේවා අල්ලා ගන්න බැහැ.

 

සමන් : ඒක ඇත්තක්. ලතින් ඇමෙරිකානු අතීතය අද්භූත සිදුවීම් වලින් ගහන යයි කියන්නේ යුරෝපීය දෘෂ්ටියකින්. හුඟක් වෙලාවට අපට තිබෙන්නේ යුරෝ කේන්ද්‍රීය වූ චින්තනයක්. එහෙත් මාකේස් කියන විදියට ලතින් අමෙරිකානු අතීතකාමී දැක්මට අනුව එය ඉන්ද්‍රජාල යථාර්ථයක්. ඔහු 1982 දී නොබෙල් ත්‍යාගය පිරි නැමුන අවස්ථාවේ කෑ දේශනයේ දී ඔහු ලතින් ඇමෙරිකානු හුදෙකලාවන් පිළිබඳ සඳහන් කළා. ඔහු මෙයින් අදහස් කළේ තමන්ගේම වූ ක්‍රමයකට මේ යථාර්ථය කියා ගත නොහැකිව සිටීම නේද?

 

ගාමිණී : ඔහු ඒ ක්‍රමය හොයා ගත්තා. එය සොයා ගැනීමට ඔහුට උදව් වෙන්නෙ 17 වන සියවසේ දී Don Quixote කියන නවකතාව ලියූ සර්වෙන්ටස් ගෙ උරුමය. මාකේස් පටන් ගන්නෙ අවුරුදු 19 දී කෆ්කා කියවීමෙන්. කෆ්කව හරියට අල්ලගන්න පිළිවන් ඉතිහාසයක් ඒ වෙනකොට ලතින් ඇමෙරිකාවට තිබුණා. මාකේස්ට කලින් ජෝර්ජ් ලුවි බෝගස් (Jorge Luis Borges) මේ රීතිය හොයාගෙන තිබුණා. ඒ නිසා මාකේස්ට ඒ උරුමය ලැබුණා. එම මහා ද්වීපය ලතින් ඇමෙරිකාව ලෙස හඳුන්වන්නේ නිකම්ම නොවෙයි. එය ලතින් භාෂාවට යටත් වූ මහාද්වීපයක්.

 

සමන් : මේ විදියට බලද්දි අපට මාකේස් අදේශපාලනිකයි කියා කියන්න බැහැ නේද? ඇත්තටම නම් ඔය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හරහා කරළියට පැමිණියේ සම්ප්‍රදායික ඉන්ද්‍රජාල විශ්වය සහ නූතනත්වය අතර ඇති ප්‍රති විරෝධයමයි. නූතන සොයා ගැනීම් ලෙස සැලකෙන යන්ත්‍ර වල පැමිණීම වගේම පැරණි සමාජ ව්‍යුහයන් විසිරී යාමත් මේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයෙන් ඉදිරිපත් වුණා. මට හිතෙන්නෙ මාකේස් කියන්නෙ පැරණි සමාජයටත් වඩා නූතන සමාජය ඉන්ද්‍රජාලික බවයි. ඒ අර්ථයෙන් ඔහුගේ ලිවීම් දේශපාලනිකයි නේද?

 

ගාමිණී : මාකේස් කලක් මාක්ස්වාදියෙක්. පසුව ඔහු ඉන් කැඩුනත් මුල පටන් වැඩි ආ ලිබරල් චින්තනයෙන් ඔහු කැඩුනේ නැහැ. ඔහුගේ ප්‍රේමකතාවල පවා ඒ ලිබරල් චින්තනය අනුශීලනය වෙනවා. ඔහු වරක් පැවසුවා ලෝකය මෙතරම් අපරිපූර්ණ වී තිබෙන්නේ දෙවියන් වහන්සේ ඉරිදා නිවාඩු ගත් නිසයි කියල. මාකේස්ගෙ නවකතාවල ඒ බුද්ධිමය කථිකාව පාඨකයාගේ අත්දැකීම් වලට සම්බන්ධයි. ඔහුගේ One Hundred Years of Solitude නවකතාවේ කියවෙන දෙයක් තමයි භාෂාව විසිල් ලෝකයට අනන්‍යතාවයක් සැපයීම. ඒ නවකතාවේ එන ගම්මානයේ මිනිසුන්ට දේවල් අමතක වී යාමේ රෝගයක් වැලඳෙනවා. ඔවුන් වහාම කරන්නේ අවට දේවල්වල නම් කොළවල ලියා ඒවාහි ඇලවීමයි. අමතක වීම දිගටම පැවතුණා නම් භාෂාවන් ඉවර වෙනවා. ඉන් සිදුවන්නේ පැවැත්ම කියන දේ නැතිව යාමයි. ඇත්ත. මේවා හරිම දේශපාලනිකයි ‍තමයි.

 

සමන් : මාකේස් මාධ්‍යවේදියෙක් වුණා පමණක් නොව තමා මාධ්‍යවේදියෙක් ලෙසට හඳුන්වා ගන්නටත් කැමති වුණා. මිය යන්නට ආසන්න කාලයක ඔහු AP පුවත් සේවයට පවසා තිබුණේ තමා හැම විටම මාධ්‍ය වේදියකු වූ බවයි. මාධ්‍යයට ඔහුගේ තිබුණ මේ සබඳතාවය සහ ලැදියාව ඔහුගේ නිර්මාණ තුළින් ප්‍රකට වෙනවා නොවේ ද?

 

ගාමිණී : ඔහුගේ මාධ්‍යවේදිකම පළවන හොඳම අවස්ථාවක් තමයි ඔහු ලියන Story of Shipwreck Sailer කියන ප්‍රබන්ධය. මෙම කතාවත් මුහුදුබත් වූ සේලරුවකුගේ කතාව යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. එහි එන්නෙ නැවක් මුහුදු බත් වීම පිළිබඳ කතාවක්. එහි එක් නැවියෙක් දිවි බේරා ගන්නවා. මාකේස් ඔහු හමු වී විස්තර දැන ගැනීමෙන් පසු එම ඇත්ත සිදුවීම තමයි තම ග්‍රන්ථයට ප්‍රස්තුත කර ගන්නෙ.

 

සමන් : ඔහුගේ News of a Kidnapping සත්‍ය සිදුවීමක්. එය සත්‍ය පැහැර ගැනීම් පිළිබඳ විස්තර පදනම් කර ගත් අර්ධ ප්‍රබන්ධයක්.

 

ගාමිණී : මාකේස් ගේ නවකතාවල විශේෂය තමයි ප්‍රබන්ධය සහ ප්‍රබන්ධයක් නොවීම (Fiction and Non Fiction) අතර සීමා ඉර බොඳ වී යාම. කොලරා කාලේ ආලෙ ගත්තොත් එහි එන අරීසා තැපැල් කන්තොරුවක විදුලි පුවත් ගෙන යන්නෙක්. සන්නිවේදනය කියන දේ එම නවකතාවේ දිගින් දිගටම තොරොම්බල් වෙනවා. එම පෙම්වතුන් දෙදෙනා අතර කොතෙක් නම් ලිපි හුවමාරු වෙනව ද?

 

සමන් : නවකතාව තුළ එම ලියුම් අර්චන වස්තූන් (Fetish) ලෙසයි ක්‍රියා කරන්නෙ. ඒ කියන්නෙ ඔවුන්ගේ ප්‍රේමය යනු එම ලිවීමයි.

 

ගාමිණී : මාකේස් මාධ්‍යවේදියෙක් තමයි. ඇත්තටම ඔහු අර අපි කියන ජනප්‍රිය ගවේෂණශීලී මාධ්‍යවේදියා (investigative Journalist) නොවෙයි. ඔහු නිර්මාණශීලි මාධ්‍ය වේදියෙක් (Creative Journalist).

 

සමන් : මාකේස් ගෙ පොත් පාඨකයාගෙ පරිකල්පනය අවදි කරනවා නේද?

 

ගාමිණී : ඔව්. ඔහුගේ කෘති පාඨකයාට අභියෝගයක්. නිකම් කේක් කනව වගේ මාකේස් කියවන්න බැහැ. මාකේස් කියවීම හරියට කකුළුවො කනව වගේ වැඩක්. පාඨකයාට අභ්‍යාසයක් තියෙනවා. ඔහු වරක් කියූ කතාවක් තමයි වේසකම් කිරීමට තිබෙන කාමර වලට වඩා කාමර මගේ හිතේ තියෙනවා කියල. ඉන් විවිධ අර්ථ නඟන බවයි මගේ කල්පනවා. ඒ විදියට මාකේස් පාඨකයාගේ පරිකල්පනය අවදි කළ නවකතාකරුවෙක් තමයි. ඔහුගේ නිර්මාණ කියවීම යනු ජීවිතය නැවත ලිවීමක්.

ලතින් ඇමරිකාව අපට සමීප කළ මාකේස්

ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් නම් වූ මහා නවකතා කරුවා උපන්නේ 1927 මාර්තු 6දා කොලොම්බියාවේ දී ය.වසර 87ක් ආයු වලඳා පසුගිය 17 වැනිදා මියගිය ඔහු ‍ෙකාලොම්බියානු ජාතිකයෙකි. ලෝ පතළ සම්භාව්‍ය ගණයේ නවකතා ගණනක්ම රචනා කළ නවකතාකරුවෙකි. කෙටිකතා රචකයෙකි.

20 වැනි සියවසේ ලතින් ඇමෙරිකාවේ විසූ මහා නවකතාකරුවා ලෙස සැලකෙන ඔහු 1972 දී සාහිත්‍ය සඳහා වූ නියුස්ටාස් අන්තර්ජාතික ත්‍යාගයත් 1982 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් හිමිකර ගත්තේය.

පුවත්පත් කලාවේදියකු ලෙස සිය වෘත්තීය හා කලා ජීවිතය ඇරඹූ මාකේස් 1967 දී රචනා කළ One hundred years of Solitude, 1975 දී රචනා කළ The Autumn of the patriarch හා 1985 දී ලියූ Love in the time of cholera නවකතාවලින් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ නවකතා ගෝලීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නම් ‍ෙකරුණේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී (magic Realism) කෘතීන් ලෙසය.

සිය දේශපාලන අදහස් කෙරෙහි කර්නල් වරයකු වූ සිය සීයාගේ අදහස් බොහෝ ලෙස බලපෑ බව පවසන මාකේස් කොලොම්බියා‍නු සාහිත්‍යයට සමාජවාදී ස්වරූපයක් දීමට උත්සාහ කළේය.

ඔහු සිය මාධ්‍යවේදී ජීවිතය ආරම්භ කළේ කොලොම්බියානු ජාතික සරසවියේ නීතිය හදාරන අවධියේ මය.

1954 – 1955 අවධියේ දී EL Espectadar පුවත්පතේ චිත්‍රපට විචාරකයකු ද වී සිටි මාකේස් 1957 දී කොලොම්බියානු EL Momento පුවත්පතේ කතුවරයා වශයෙන් කටයුතු කරමින් 1957 දෙසැම්බර් 23 දින වෙනිසියුලානු අගනුවරට පැමිණ සිය දේශාපාලන කටයුතු ඇරඹීය.

1958 වෙනිසියුලානු කුමන්ත්‍රණයට දායක වූ මාකේස් එවකට සිටි ජනාධිපති මාකේස් පෙරේස් ජිමෙනීස් බලයෙන් පහකිරීමට සහාය විය.

ගාර්ෂියාගේ කෘතීන්වල විශේෂයක් වන්නේ ලතින් ඇමෙරිකානු කැරීබියන් සංස්කෘතිය ලොවට හඳුන්වාදීමයි.

ඔහු 1958 දී විවාහ වූයේ ඔහුගේ පාසල් සමයේ පෙම්වතිය වූ මර්සිඩීස් බාර්චා සමඟයි. ඔහු‍ෙග් වැඩිමල් පුත් රොඩ්‍රිගේ ගාර්සියා – අද රූපවාහිනී හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ දෙවෙනි පුතු ගොන්සාලෝ අද මෙක්සිකෝ නගරයේ නිර්මාණ සැලසුම් ශිල්පියකු ‍වශයෙන් කටයුතු කරයි.

1955 දී පළවූ ඔහුගේ පළමු වෘත්තාන්තයට ප්‍රකාශකයකු සොයාගැනීමට ඔහුට වසර 7ක් ගතවිය.

පිදෙල් කස්ත්‍රෝ ගේ ජයග්‍රහණයෙන් පසු කියුබානු රජය ‘ලතින් ඇමෙරිකානු මාධ්‍ය ව්‍යාපාරයේ’ සභාපතිත්වය ඔහුට පිරිනැමූ අතර ඊළඟ වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කළේ ඔහුය.

1962 දී එසෝ සාහිත්‍ය තිළිණය ඔහුට හිමිවූයේ Lamala hora කෘතිය වෙනුවෙනි. මෙය ලේඛක ජීවිතයේ ඔහු ලත් ප්‍රථම ත්‍යාගය විය.

1967 දී ඔහුගේ සිය වසරක හුදකලාව (one hundred years in solidity) නවකතාව නිසා ඔහු ලෝක කීර්තියට පත්විය. එයට 1982 සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිවිය.

ඔහුගේ කෘතීන්ගෙන් විද්‍යාමාන වන පොදු ලක්ෂණය වන්නේ යථාර්ථය හා මායාව අතර සම්මිශ්‍රණයකි. ලතින් ඇමෙරිකාවේ ජීවන රටාව ඒවායේ විග්‍රහ වෙයි.

ලතින් ඇමෙරිකාව ලෝකයට විවර කළ ගේබ්‍රියලා ගාර්ෂියා මාකේස් පසුගිය 17 දින මරණයට පත්වූයේ දිගුකලක රෝගී තත්ත්වයන් නිසාවෙනි.‍

ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් ගේ සිංහලට පරිවර්තනය කළ කෘති

 

1. Love In the time of Cholara

කොළරා කාලේ ආලේ –  ගාමිණී වියන්ගොඩ

 

2. One hundred years of solidity

මෙහි පරිවර්තන දෙකකි.

සියක් වසක හුදකලාව – සාගර විජේරත්න‍
සිය වසක හුදකලාව – පසන් කොඩිකාර හා අභය දිසානායක‍‍

 

3. Of Love and other Demons (1994)

යක්කු සහ භූතයෝ – ටෙනිසන් පෙරේරා

 

4. Memories of the Melancholy whores

මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක – විදුර ප්‍රභාත් මුණසිංහ

 

5. News of kidnapping ‍

පැහැරගෙන යාමක් පිළිබඳ ආරංචිය – පද්මා ගුණසේකර

 

6. Chronicle of a Death Foretold

කරුමක්කාර කතාවක් – ගාමිණී වියන්ගොඩ

 

7. Story of a shipwrecked Sailor

මුහුදුබත් වූ සෙලරුවකුගේ කතාව – පියල් කුමාර ජයරත්න

 

8. Incredible and sad tale of Innocent Erendira and Her Heartless Grand mother හා No one written to the colonel

මේ කෙටි නවකථා දෙක එක්කොට කර්නල් හා එරෙන්දිරා කෘතිය පරිවර්තනය කළේ ජනක ඉණිමංකඩය.

 

ඔබේ අදහස කියන්න...