බෙයිජිං නුවර දී එක්තරා රාත‍්‍රියක යකඩ පටි වර්ෂාවකින් වට වූ ‘රතු නාට්‍යාගාරයේ දී’  චීන සටන් කලාව පිළිබඳ අර්ධ – වාර්තා සහ අර්ධ – වෘතාන්ත නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් අනාවරණය විය. බටහිර ත‍්‍රිමාණ ලේසර් කිරණ කලාවන්, DTS ශබ්ද ප‍්‍රවාහයක් මනාව සංකලනය කළ  කුංග්ෆු පිළිබඳ පුරාකතාවක් නාට්‍යය මඟින් ඉදිරිපත් කරන ලදී. ඇත්තෙන්ම එය කොන්ෆියුසියානු සභ්‍යත්වයට පදනම් කර ගත්තකි. දැඩි සමාජ අභියෝගවලට මුහුණ දෙන කුඩා දරුවෙකු චීන සටන් කලාවෙන් අධ්‍යාත්මිකව පෝෂණය වී වැඩිහිටියකු වන ආකාරය නාට්‍යයෙන් නිරූපිතය. එය හරියට අපගේ සංවිධානය වෙත කුරුණෑගලින් පැමිණි අරුණ මාස්ටර් වැනිය.

ගුණදාස අමරසේකරගේ නවතම ග‍්‍රන්ථය වන ‘සභ්‍යත්ව රාජ්‍ය කරා’ කෘතිය කළ ඔහුගේ තිරසාර උත්සාහය වන්නේ ශිෂ්ටාචාරය (සොබාදහම සහ සංස්කෘතිය ) අතර වෙනස පැහැදිලි කිරීමටය. ශිෂ්ටාචාරය යනු සොබාදහම සමතික‍්‍රමණය කිරීමේ විදග්ධ හෝ වංශාධිපතියන්ගේ ක‍්‍රමයේදයයි. මෙහි නෙළුම් මල සභ්‍යත්වයයි. බහුජනයාගෙන් වෙන් වී කුලීනයන්ගේ පවුල් කිහිපයක් රජතුමා හෝ අධිරාජ්‍යයා කේන්ද්‍ර කර ගනිමින් ශරීරය සහ විඥානය ශික්ෂණය කර ගැනීම සභ්‍යත්වයයි. මෙය ප‍්‍රංශයේ ආරම්භ විය.

‘සංස්කෘතිය’ යන්න මහජනයා වෙතට ආපසු ගමන් කර ඔවුන්ගේ අධ්‍යාත්මය (හුස්ම මත පදනම් වන විඥානය) ගවේෂණය කිරීමයි. මෙය විදග්ධ විරෝධීය. ජාතික චින්තනය ගමන් කරන්නේ ජාතික රාජ්‍යයේ ද්‍රව්‍යමය පදනම එනම් පරාරෝපණයෙන් ගැලවීමට ජන හද කරා ආපසු අලූත් වටයකින් ගමන් කිරීමයි. එය නාගරිකයා ධනවාදී ආර්ථිකය තුළ මලාගමනය වූ ස්වාත්මය බාහිරින් ණයට ඉල්ලා ගෙන යන නෛෂ්ක‍්‍රමණයකි. එය අවසන් වන්නේ මහජන ආත්මය සහ එය විරුද්ධ අනෙකා හමු වීමෙනි. කෙටියෙන් පැවසුවොත් ප‍්‍රාදේශීයවාද සංකලනය කළ, සම්ප‍්‍රදායේ විවිධ අගතීන් ක්ෂිතිජයන් දක්වා සංවර්ධනය කළ දේශපාලන ව්‍යාපෘතියකි. බටහිර චින්තනය මෙයට කියන්නේ ෆැසිස්ට්වාදය කියාය. සමාජය යනු මිනිස් ශරීරයට තුල්‍ය දෙයක් කියා නිගමනය කොට විවිධ කුල, ගෝත‍්‍ර මිනිස් ශරීරයේ හිස, අත, පය, බඩ බවට ඌනනය කරන කොන්ෆියුසියානුවාදය හුදු පුද්ගලවාදයක් නොව ව්‍යාජ – අර්ධ සාමුහිකවාදයක් ය.

කිසිදු විවාදයකින් තොරව චීන නූතන ධනවාදයේ සභ්‍යත්වය ලෙස (මිනිසුන් සාමූහිකව ශික්ෂණය කිරීමේ විදග්ධ ආකෘතිය) නව කොන්ෆියුසියානුවාදය මැනැවින් ගැළපෙන්නේය. නූතන චීන ධනවාදය අප‍්‍රකාශිතව නිශේධනය කරන්නේ මා ඕවාදයයි. අමරසේකරට අනුව මා ඕවාදය යනු ද සභ්‍යත්වයකි. නමුත් ඔහුට එතැන දී අමතක වී ඇත්තේ එය විදග්ධ කේන්ද්‍රීය නොවන පක්ෂ විනයක් මඟින් කි‍්‍රයාත්මක වූ සභ්‍යත්වයක් බවයි. එය කුලීනයන්ගේ හෝ බුද්ධිමතුන්ගේ සංස්කෘතිය චීන මහජනයා මත උත්තරා රෝපණය කරන්නට දරණ ලද වෑයමක් නොවේ. අනෙක් අතට කොන්ෆියුසියානු ඓන්ද්‍රීය සමාජ චින්තනය යන්න චීන අධිරාජ්‍යයාගෙන් වියුක්ත කර ගත නොහැකිය. අධිරාජ්‍යයෙක් හෝ රජෙක් නැති තැන කොන්ෆියුසියස් චින්තනයක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාලන තන්ත‍්‍රයක් ලෙස (එහි ග‍්‍රීක කේශනාලිකා අර්ථය වෙනත් එකකි. අමරසේකර එය ද මග හැර ඇත) ගන්නා අය ඉතා ඉක්මණින් බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාරය ලෙස ගනිති. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ  ජාතිකවාද සාරයයි.

1972 වර්ෂයේ හොංකොං පාදක කරගෙන බෲස් ලී නම් සටන් නළුවා විසින් අධ්‍යක්ෂණය කරන ලද The way of the Dragon චිත‍්‍රපටය චීන සටන් කලාවේ මූලයක් කරා යන දෘෂ්ටිවාදී ෆැන්ටසිය ඉරා දමයි. රතු නාට්‍යාගාරයේ සතියේ දිනවල සවස 7.30ට චීන සටන් කලාවේ මූලය සහ අධ්‍යාත්මික බව දේශීය ජනයාටත්, සංචාරකයන්ටත් පෙන්වයි. එහි දේශපාලන අනුග‍්‍රාහකයා වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයයි.

බෲස් ලී තම චිත‍්‍රපටය අවසන් කරන්නේ අපූර්ව සටන් දර්ශනයකිනි. එය රෝමයේ පැවති වහලූන් ක‍්‍රීඩා කරනවා නරඹන වංශාධිපති ගෘහ නිර්මාණකි. පළමුවෙන් අප ඇසිය යුත්තේ සටනට එතැන තෝරා ගන්නේ මන්ද යන්නය. අමරසේකර නූතන මළ පෙරේත ධනවාදී අත්දැකීමෙන් ගැලවී ගොස් අනන්‍ය වන්නේ අතීතකාමී පාලක පන්තියකටය. එනම් සිරිමා බණ්ඩාරණායක ප‍්‍රතිරූපයටය. ඔහු නුතන ධනවාදී පසමිතුරුභාවයක් නිසා චින්තනයෙන් කම්බස් වී ෆැන්ටසිකරණය කරන්නේ බණ්ඩාරනායක පෙළපතයි. එය නූතනත්වය ඉතිහාස වේදයක් බවට ඌනනය කරන ඔහුගේ විලාශයයි.

බෲස් ලී සහ චක් නොරිස් අතර සිදු වන ක‍්‍රියාව සටනක් (ප්‍රබන්ධයක්) නොවේ. එය නර්තන කලාවකි. චීන සමාජ මූලයන් ට අනුව චීන සටන් කලාව ‘සටනක්’ නොව කලාවකි. එය ලංකාවට එන්නේ කලාවක් ලෙස නොව වීදි සටනක් නැතිනම් සීව-ලී (Seewa Lee )ලෙස ය. චීන සටන් කලාවේ විඥාන ආකෘතිය තරමක් lolita නවකතාවට සමපාතය. එහි ප‍්‍රධාන චරිතය වන හම්බර්ට් – හම්බර්ට්ගේ සතුරා වන ක්විල්ටී යනු බාහිර මිනිසකු නොව තම අධ්‍යාත්ම අභ්‍යන්තරයේම සිටින ස්වයං – බාධාවකි. නවකතාවේ ගතිකය වර්ධනය වන්නේ හම්බර්ට් තම අනෙකා වන ක්විල්ටිව බාහිර අනෙකෙකු ලෙස වරදවා ගැනීමෙනි. අවසානයේ ඔහු ස්වයං – අවබෝධය ලබනවා යනු මේ බාහිර අනෙකා යනු තමන්ගේම ෆැන්ටාස්මැතික අශ්ලීල ගොඩ නැංවීමක් බව වටහා ගැනීමයි. ඒ අනුව තම ආශාවේ භ‍්‍රමණයට පථය සපයන ස්ත‍්‍රී රූපකය වන ලොලීටා, බාහිර බාධාවක් නිසා තමන් ට අත්පත් කර ගත නොහැකි ප‍්‍රපංචයක් යන්න මායාවක් බව හම්බර්ට් ට වැටහෙයි. මිනිසෙකු සවිඥානික වනවා යනු ලෝකය යනු අන්‍ය ගවේෂණයක් නොව ස්වයං – ගවේෂණයක් බව වටහා ගැනීම යි.

චීන සටන් කලාවේ ඉහත සවිඥානික මානය බටහිරට අනාවරණය කළ පළමු චින්තකයා බෲස් ලීය. ඔහුගේ සටන් කලාව යනු ශරීරය පුහුණු කිරීමක් නොව විඥානය ශික්ෂණය කිරීමකි. මේ නිසා ජිට් කුනේ ඩූ සටන් කලාව භෞතිකය. මෙම දාර්ශනික පසුබිම නිසා රෝම ක‍්‍රීඩාගාරයේ අඳුරු කොණක චක් නොරිස් සමඟ බෲස් ලී කරන ‘කලාව’ සටනක් නොව සත්‍යයට මග හෙළි කරන්නකි. එය අප සටනක දෘෂ්ටිකෝණයකින් නරඹන්නේ නම් එය හුදු ප‍්‍රබන්ධයකි. බෲස් ගේ සටන් ප‍්‍රබන්ධය ඔබව යොමු කරන්නේ බාහිර සතුරා විනාශ කරන ඥාන – විභාගයකට නොව ඔබ ම ආත්මය තුළ පැටලී සිටින ආත්මීය ස්වයං – බාධාවකටය. එනම් ආත්මීය අසම්පූර්ණත්වය පිළිබඳ ගැටලූවකටය. යථාර්ථය යනුවෙන් ප‍්‍රපංචයක් ඔබට හමු වන්නේ ‘මම’ යනු ප‍්‍රබන්ධයක් නොවේ යන ආකල්පය තුළ ය. එය ඥානයට, දැනුමට අදාළ ගැටලූවක් නොව අනුභූති උත්තරත්වයට අදාළ ආත්මීය ගැටලූවකි. සටන් කලාව යනු පසමිතුරුභාවයට යළි හඳුන්වා දීමක් මිස සතුරා ඝාතනය කර සමාජය සුසංවාදී කිරීමක් නොවන බව බෲස් ලී -චක් නොරිස් ප‍්‍රබන්ධ සටනින් අපට අවබෝධ කර ගත හැකිය. නන්දිකඩාල් සැබෑ සටන් අපට කිසිවක් උගන්වන්නේ නැත්තේ එය ප‍්‍රබන්ධයක් නොව යථාර්ථයක් නිසා ය. එදි දී අප පෝළිම් ගැසී කියවන්නේ යථාර්ථයේ ත‍්‍රස්තයයි.

එබැවින් බෙයිජිං නගරයේ රතුපාට නාට්‍යගාරයේ දී කුංග්ෆුවල අභිරහස සෙවීමට වඩා බෲස් ලී දෙසට හැරීම දේශපාලනිකය. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ නූනන කොන්ෆියුසියානු දෘෂ්ටිවාදය සටන් කලාව හරහා විච්ඡේදනය කරයි. අමරසේකර – හපුගොඩ එකට එකතුකොට කිවහොත් බටහිර ධනවාදයට ආසියාවෙන් යෝජනා කළ හැකි නව ස්වාමීත්වය (පසමිතුරුභාවය) නම් සත්‍යය බෲ ලී බටහිරට සම්මුඛ කරවයි. අප අකුටිල නැති සිතන්නන් බව ඔවුන්ට විදාරණය කිරීම බටහිරට අප ගැන ඇති ෆැන්ටාස්මැතිකය විනාශ කිරීමකි.

 

පසු සටන-

ගුණදාස අමරසේකර මෑතක දී නිකුත් කළ කෘතිය වූ ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’ යන්න මඟින් ඔහුගේ සිතීමේ ඛණ්ඩනයක් සිදු වී ඇති බව විද්‍යාමානිතය. ඔහු දශක 3 ක් පමණ කතා කළ ‘ජාතික චින්තනය’ වෙනුවට මෙම නව කෘතිය තුළ විදාරණය කිරීමට සහ ප‍්‍රවාදගත කිරීමට උත්සාහ කරන්නේ සභ්‍යත්වයයි. මෙය ජාතික චින්තනයේ නිෂ්ටාව වූ රාජපක්ෂ පාලන – තන්ත‍්‍රයේ අශ්ලීල අශීලාචාර අඩංගුව දැකීමෙන් ලද අත්දැකීමේ ප‍්‍රතිඵලයක් විය හැකිය. ඒ නිසා ඔහු දැන් සංවාද කරන්නේ ‘හෘදය’ සොයාගෙන ගැමියා වෙතට යාමක් නොව මිනිසුන් ශික්ෂණය කිරීමේ සාමූහික ආකෘතියයි. නැතහොත් ඉතිහාසයට මැදිහත් වීමේ සවිඥානික ක‍්‍රමවේදයයි. මේ වනාහි ලෙනින් මතු කළ පක්ෂය පිළිබඳ ගැටලූවයි.   

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...