1975 වසරේ දී මයිලෝස් ෆෝර්මාන් නම් නව රැල්ලේ චෙක් සිනමාවේදියකු විසින් අධ්‍යක්ෂණය කරන ලද One Flew Over the Cuckoo’s Nest නම් චිත‍්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ වඩාත්ම කතාබහට සහ විචාරයට බඳුන් වූවකි.

චිත‍්‍රපටයේ කතාව අතිසරලය. එහි කතා නායකයා මැක්මර්ෆිය. ඔහු තක්කඩියෙකි. වයස 15 ක පමණ ගැහැනු දරුවකු දූෂණය කර සිරගෙයට නියමව එහි දුෂ්කර ජීවිතයෙන් ගැලවීමට උමතුවක් මවා ගත්තෙකි. මේ නිසා ඔහුව සිරගෙදරින් මානසික රෝහලකට මාරු කරයි. ඔහුගේ පැත්තෙන් මෙම ජීවිතය සහනයකි. මානසික රෝහලට පැමිණෙන ඔහුට වහා වැටහී යන්නේ එහි සිටින ප‍්‍රධාන හෙදිය තම රෝගීන්ව තදබල පීඩනයක රඳවාගෙන තිබෙන බවයි. මේ තත්ත්වය හොඳින් වටහා ගන්නා මැක්මර්ෆි රෝගීන්ගේ අධ්‍යාත්මයට අමතා හෙදියට විරුද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරයි. එය අවසන් වන්නේ රෝගියකු සිය දිවි නසාගෙන, මැක්මර්ෆිට ද ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වී තවත් රෝගියකු රෝහලෙන් පැන යාමෙනි.

චිත‍්‍රපටය 80 දශකයේ දී ඇමෙරිකානු සිනමා විචාරය තුළ සලකා බැලූවේ රුසියානු සමාජවාදයේ ඩිස්තෝපියාවේ රූපකයක් ලෙසය. ඊට අනුව චිත‍්‍රපටයේ මානසික රෝහල සහ ප‍්‍රධාන හෙදිය පිළිවෙළින් සමාජවාදයට සහ එහි පාලකයන්ට තුල්‍ය කෙරිණ. ඒ අනුව චිත‍්‍රපටයේ අවසානය වන ආදිවාසී ඇමෙරිකානුවා සිරගෙයින් පැන යාම මඟින් සංකේතවත් වන්නේ නිදහසයි. සිරගෙයින් පිටත ජීවිතය යනු නිදහස් එකක් යන්න පාරභෞතිකයකි. රුසියානු සත්තු වත්තට පිටතින් ඇත්තේ ඇමෙරිකානු සිහිනය යන්නට 1989 ට පෙර පැවතියේ තාර්කික අඩංගුවකි. නමුත් මේ වන විට ඇමෙරිකානු සිහිනයේ අනෙක් පැත්ත වී ඇත්තේ මූලධර්මවාදයයි. එනම් රැඩිකල් ඉස්ලාම්ය.

චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ මයිලෝස් ෆෝර්මාන්ගේ සිනමා ශෛලීය සලකන්නේ සොබාවික හෝ වඩාත්ම තාත්වික එකක් ලෙසින්ය. ෆෝර්මාන්ට අනුව (රැඩිකල් ලෙස වෙනස් වුවත් කිසලොව්ස්කිගේ ඉතිහාස පාඩම ද මෙයමය) චෙක් රටේ සමාජ යථාර්ථය අමූලික බොරුවකි. එහි පැවති පාලක දෘෂ්ටිවාදය වූ ‘සමාජවාදය’ (Socialism) සහ ජනතාව අතර පැවතියේ දැඩි පරතරයකි. අඩුම වශයෙන් එහි පාලකයන්වත් ඔවුන්ගේ දෘෂ්ටිවාදය බැරෑරුම්ව බාර ගත්තේ නැත. මෙම තත්ත්වය පැරණි ග‍්‍රීසියේ ජීවත් වීමේ ප‍්‍රබුද්ධ විලාසයක් වූ නරුමවාදයට (Cynicism) තදින් සමපාත වන බව ජර්මන් දාර්ශනිකයකු වූ පීටර් ස්ලෝටර්ඩයික් පෙන්වා දුනි. ඔහුට අනුව සමකාලීන විවිධ දෘෂ්ටිවාදයන් සහ ඒවා අදහන්නන් අතර ආත්මීය පරතරයක් ඇත. මෙම ‘පරතරය’ හෝ මෝහය ගැන වැරැුදි වැටහීමකට යන මයිලෝස් ෆෝර්මාන් ජීවිතය ඉතාම නිවැරැුදිව පෙන්වීමේ යථාර්ථවාදයකට (සොබාවවාදයකට* ආකර්ෂණය වෙයි. චිත‍්‍රපටයේත් එහි පාත‍්‍ර වර්ගයාත් සමඟ අප තදාත්මික වන්නේ මේ දෘෂ්ටිය නිසාය.

මේ අන්ධ භක්තිය නිසාම මයිලෝස් ෆෝර්මාන් ඇමෙරිකාවේ දී නිපද වූ බොහෝ චිත‍්‍රපට ද නිර්මාණය කළේ ඔහු හරියට චෙක් රටේ දී ජීවත් වනවා යයි සිතාගෙනය. එනම් ඔහුගේ පසුකාලීන ඇමෙරිකානු චිත‍්‍රපටවල මහා අනෙකා වූයේ (චිත‍්‍රපටවල චරිත තමා දෙස බලන්නේ කුමන ඇසක් ද යන අනුමානය) චෙක් සමාජවාදයයි. ඇමෙරිකානු සිහිනයට ඇතුල් වූ පසු ද මයිලෝස් ෆෝර්මාන් දැඩි ලෙස අවිඥානිකව චෙක් මහා අනෙකාට භක්තිමත් වන්නේ ඇයි?

අප කෙතරම් මතුපිටින් අකැමැති වුවත් අපගේ අවිඥානක ආශාවන්ට අප බැඳී යන්නේ හෝ ඒවායේ ග‍්‍රහණයට ලක් වන්නේ ඒකාධිපති දේශපාලන පාලන තන්ත‍්‍රයන් තුළදීය. වෙනත් ලෙසින් කිවහොත් ජීවත් වන විට වතුර අවශ්‍ය පරිදි ‘වේදනාත්මක සතුට’ ද විඥානයට වතුර මෙන් අත්‍යවශ්‍යය. මැක්මර්ෆි අපට වීරයෙක් වන්නේ ඔහු ස්ත‍්‍රී දූෂක විභවතාවකින් යුතු විමුක්තිකාමියකු වන නිසාය. ඔහුගේ අරගලය තුළ ස්ත‍්‍රී දූෂණය, රැවටීම, තක්කඩිකම යන සාධක විමුක්තිය, නිදහස, පිටත ලෝකය යන සාධකවලින් වෙන් කර ගත නොහැකිය. මැක්මර්ෆි නම් තිරිසනාට ඍජු ලෙස විමුක්තිය නම් සංස්කෘතිය වැලඳගත නොහැකියි. ඒ සඳහා ඔහු උමතුව නම් පැසේජයක් පසු කළ යුතුය. සමාජ යථාර්ථය ඍජුව පෙන්වීමට යාම ඔක්කාරයෙන් සහ ව්‍යාජයෙන් කෙළවර වන බව කිසලොව්ස්කි කියන්නේ මේ නිසාය. එය පෙන්විය හැක්කේ වක‍්‍රවය. එම වක‍්‍ර වීම ප‍්‍රබන්ධයකි. මේ නිසා මයිලෝස් ෆෝර්මාන්ගේ චරිත දැන් අපට ඇමෙරිකාවෙන් ද හමුවෙයි. යමක පරස්පරය හවු වන්නේ ඒ තුළින්මය. යථාර්ථය දයලෙක්තිකය.

cuckoos-nest-1_758_426_81_s_c1

-දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. රුසියානු මහාචාර්යවරයෙකු රෂියන් ට්‍රැජඩි නමින් පොතක් ලිව්වා. එහි ඇමෙරිකානු සමාජය ගැන තිබු සෝවියට් වැසියන්ගේ සිහිනය බිඳී යාම ගැන කතා අක්රනවා. අන්තිමට තමන් දමා පලා ආ සෝවියට් සිර මැදිරිය වඩා හොඳය යන නිගමනයට එළඹෙනවා.

Comments are closed.