පැරණි සමාජ-ක්‍රමයෙන් ඉවත් වී නව සමාජ-ක්‍රමයක් ස්ථාපනය කිරීමෙහිලා හමුවන අවසන් බාහිර බාධාව පිළිබඳ යම් න්‍යායික අදහසක් අපි පසුගිය ලිපියෙන් ‘බැල්කනි’ නාට්‍ය හරහා සාකච්ඡා කළෙමු. එය, එක්තරා අන්දමකට ලංකාවේ දී පළමුවරට සිදුකරන ලද ‘විප්ලවය’ දාර්ශනිකකරණය කිරීමේ ප්‍රථම පියවරයි. එය, තව අන්දමකට අපගේ න්‍යායික ගමනේ යම් අවසාන පියවරකි. අලුත් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය නම් මිය යා යුත්තේ, ‘පැරැණි සමාජය’ පමණක් නොවේ. ඉන් තම විනෝදය සංවිධානය කරන ‘ආත්මයද’ මිය යා යුතු ය. හේගල්ගේ භාෂාවෙන් කියනවා නම්, පැරණි ලෝකයේ සාරය පමණක් නොව ආත්මය ද මිය යා යුතු ය.

              පසුගිය දශක දෙකක කාලය තුළ අප විසින් වර්ධනය කරන ලද ඥාණය වූයේ, ව්‍යුහවාදී ඥාණය යි. අත්දැකීම සහ සංශය මත පදනම් වූ ශ්‍රී ලාංකීය ඥාණ-විභාගය අප විසින් කණපිට හරවා ඇත. ‘අත්දැකීම්’ උත්කර්ෂණයට ලක් කර නිම වූ පැරණි සහ ජවිපෙ වාමාංශය මිය යමින් පවතියි.      

                   ‘ව්‍යුහවාදය’ විසින් පුනර්ජනනය කරන ලද අපගේ ඥාණය විසින් ලංකාවේ අධිපති රූපික තර්කනය සහ චතුෂ්කෝටික තර්කනය පරාජය කර හේගලියානු සහ මාක්සියානු ‘දයලෙක්තික තර්කනය’ (Dialectic) නැවත ස්ථාපිත කර ඇත. නලින් ද සිල්වාගේ ‘අපෝහකයේ රූපිකය’ නම් කෘතිය විසින් විග්‍රහ කරන ‘අපෝහකය’ (බටහිර ‘අපෝහකය’  අපෝහකයක් නොවන බව පෙන්වීම) යනු, යමක් ‘එක විටම’ තවත් දෙයකට සහ එය (දෙවැන්න) නොවන්නට සමාන විය හැකි බව පමණය. ‘අපෝහකය’ නම් තර්ක-ක්‍රමයට ‘බටහිර’ නම් විශේෂණ පදයක් එකතු කිරීමෙන් නලින් ද සිල්වා යම් වාර්ගික විඥාණයක රහසක් එළියට දමයි. ‘අපෝහකය’ බටහිර යැයි කියන විට, බටහිර මිනිසා ඔහු නොවන අන් මිනිසුන්ගෙන් වෙන් කිරීමක් සිදු වෙයි. එහි සරල අදහස වන්නේ, බටහිර මිනිසා සිතන විට ‘බටහිර නොවන මිනිසාට’ වඩා විනෝදයක් විඳිතැයි අපෝහනය කිරීමයි. (මා නොලබන බටහිර මිනිසා සිතීමෙන් ලබන අතිරික්ත විනෝදය.) නලින් හේගල් මෙලෙස නිර්වචනය කරයි.

        “සෑම දෙයක්ම වර්ධනය තුළ නිෂේධ වෙයි. යමක් ඇති වී පැවතී නැති වෙයි. සෑම තැනකම ඇත්තේ, ගතිකය මිස ස්ථිතිකය නොවේ. මුළු ලොවම ගතිකය. බටහිර අපෝහකය මෙම ගතිකය තේරුම් ගන්නා අතර රූපික න්‍යාය ස්ථිතිකයට සීමා වන්නේ යැයි කියැවෙයි. හේගල් අපෝහකයක් හා නොනවතින වර්ධනයක් ගැන කතා කළ ද ඔහු අවසන් වශයෙන් නිගමනය කළේ, නිරපේක්ෂක වූ අදහසක්, විඥාණයක් සහ දැනුමක් තිබෙන බව ය. ඒ දෙවියන් වහන්සේගේ අදහස ය. හේගල්ට අනුව ලෝකයේ ඇත්තේ, අදහස්වල ප්‍රතිබිම්බ ය. එය විඥාණවාදී ස්ථාවරය වෙයි.”

  • අපෝහකයේ රූපිකය- පිටු 5-6 –

 

                  නලින් ද සිල්වා විසින් ඉහත පළ කර ඇත්තේ, හේගල්ගේ යැයි ‘සම්මත’ අදහස් ය. ඔහු තම කෘතිය තුළ හේගල්ගේ ‘Science of Logic’ (තර්කයේ ව්‍යාකරණ විද්‍යාව) නම් කෘතිය ගැන ද සඳහන් කරයි. ඔහුට අනුව, හේගල්ගේ ‘දෙවියන්’ බටහිර ගැති ය. නමුත් අවාසනාවකට නලින් ඉහත දී කියන හේගල්ට අයිති යැයි කියන අදහස් ‘හේගල්ගේ’ අදහස් නොවේ. ඒවා හේගල්ගේ යැයි ඔහු උපකල්පනය කරන අදහස් ය. ඒ අනුව, හේගල්ගේ අදහස් [1] සහ නලින් ද සිල්වා ‘හේගල්ගේ අදහස්’ යැයි කියන ‘අදහස්'[2] අතර යම් පරතරයක් (Gap) ඇත. ඔහුට අනුව හේගල් ‘ලෝකයේ ‘(යථාර්ථය) ඇත්තේ, අදහස්වල ප්‍රතිබිම්බ යැයි කියයි. මෙය ප්ලේටෝගේ අදහසකි. හෙගල් කීවේ මීට පරස්පර අදහසකි. ඔහු යථාර්ථය සැලකුවේ, අදහස්වල සෘජු පරාවර්තනයක් ලෙස නොව ඒවායේ රැඩිකල් බහිෂ්කරණයක් ලෙස ය. හේගල් ‘පරමය’ කීවේ, ආත්මයේ අභ්‍යන්තර ගමන අවසන් වන තැනටයි.

Enjoyment as a Political Factor.

                 හේගල්ගේ චින්තනයට අනුව ගස්වල ‘පරාග’ ඉන් වෙන් වී ඔහේ පාවී බිමට පතිත වන්නාක් මෙන් අපගේ සිතීම ද පහත් වන්නේ, ‘හිස් බිමකට’  (Empty Space) ය. ඔහු වඩාත්ම රැඩිකල් අදහස ප්‍රකාශ කරන්නේ, එතනදීය. ඒ අනුව, ‘තර්කය’ තර්ක කරන්නේ හිස් පදනමක් නැතහොත් සිතීමට අනන්‍යතාවයක් නොදෙන භූමියක් මත ය. ඒ නිසාම මෙය භූමියකට වඩා ක්ෂිතිජයකි. ‘ආත්මය’ නම් හිස් භූමියට ලෝකයේ අදහස් පතිත වෙයි. යළි සුළඟ නිසා ඒ අදහස් එතනින් වෙන තැනකට පැතිර යයි. ඔහු ඒ අනුව කියන්නේ, ගතිකය ගැන නොව ‘ස්ථිතිකය'[Enjoymet] ගැන ය. ඔහුට අනුව සියලු අදහස් නිශේධනය කරන භූමියක් ඇත. එය ආත්මය යි. [Subject] මේ ‘ආත්මය’ වේදනාවෙන් සතුටු වනවා මිස අන් යමකට  පෙළඹෙන්නේ නැත. ඒ අනුව, තර්කයේ පදනම නිශේධනය මිස සාරාත්මකය නොවේ. ආත්මය ආකෘතියකි. එහි අන්තර්ගතය නිශේධනය යි.

                     ‘ව්‍යුහවාදය’ පැත්තේ සිට ගත් විට, දර්ශනය සහ දේශපාලනය කියවීම හුදු තුලනාත්මක තරාදියක් නොවේ. සෝෂියර්ගේ ව්‍යුහවාදය (අපගේ ව්‍යාපාරය පළමුවෙන් ව්‍යුහවාදය ඉගැන්වූයේ, ගල් ලෑල්ලක ලියමින් ය.) ගැන නිවැරදි දැනුමක් ඇති කෙනෙකුට වැටහිය යුතු මූලික කාරණාව වන්නේ, ‘ව්‍යුහය’ යනු, අත්දැකීම හෝ බුද්ධිය (අවබෝධය) නොවන බවයි. ‘ව්‍යුහය’ විසින් යථාර්ථය ගැන අපට ලබා දෙන ඥාණය අත්දැකීම හෝ බුද්ධිය ලබා දෙන ‘ඥාණයක්’ නොවේ. අපි උදාහරණයක් ගමු.

                ”  ‘Lolita’ නවකතාවේ ප්‍රධාන චරිතය ‘හබ්බර්ට් හම්බර්ට්’ ය. ඔහු ලොලීටා නම් ගැටවරියක් පිළිබඳව දැඩි කාමුක ෆැන්ටසියක ගිලී සිටියි. ඔහුට බාහිර ලෝකයේ දී එක්තරා මොහොතකට පසුව භෞතික වශයෙන්ම ‘ලොලීටා’ කෙනෙකු හමු වෙයි. එවිට, ඔහුගේ ලොලීටා ෆැන්ටසිය අතිශය ආතතියකට ලක් වෙයි. බොහෝවිට, තාර්කික මනස උපකල්පනය කරන්නේ, ෆැන්ටසි වස්තුවට කිට්ටු වීම හොඳ බවයි. මනෝවිශ්ලේෂණය අපට උගන්වන්නේ, මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තයි. අපි ෆැන්ටසි වස්තුවට වඩ වඩා ළං වන විට, ඉන් අපට ලබාගත හැකි යැයි අපේක්ෂිත විරෝධය ද අභියෝගයට ලක් වෙයි. මෙම අර්ථයෙන් ගත් විට, ආත්මයේ ප්‍රයෝගය වන්නේ, ‘ෆැන්ටසි වස්තුව’ සහ බාහිර යථාර්ථය අතර බාධාවක් ෆැන්ටසිය විසින්ම නිපදවීමයි. යථාර්ථ ලෝකය තුළ හම්බර්ට්ට ‘ලොලීටා’ හමු වූ වහාම ඒ ක්ෂණයෙන්ම ඔහුට ලොලීටාව තමන්ගෙන් පැහැර ගන්නා සතුරෙකු වූ ‘ක්විල්ටි’ නම් චරිතය ද බාහිරින් හමු වෙයි. මෙම බාහිර සතුරා හම්බර්ට්ට ආත්මීය සහනයකි. මන්දයත්, මේ බාහිර සතුරා හම්බර්ට්ගේ ලොලීටා ෆැන්ටසිය සංවිධානය කරන ‘විනෝදය’ (Real එක Ideal වීම.) ක්විල්ටි නම් බාහිර සතුරු ප්‍රතිරූපය නිසා සංරක්ෂණය වන නිසා ය. මේ තත්ත්වය කෙතරම් යථාර්ථවාදී ද කිවහොත්, ‘ලොලීටා’ නවකතාවේ සිංහල පරිවර්තකයන් මෙම බාහිර සතුරාගේ කල්පිත ස්වභාවය ‘සැබෑවක්’ ලෙස ගෙන ක්විල්ටිව විනාශ කරන අලුත් කොටසක් සර්පයා සහ අරවින්ද ඊට එකතු කරන ලදී. මේ ‘ක්විල්ටි’ වාස්තවික ලෝකයේ පවතින්නක් නොවේ. නමුත් යථාර්ථය තුළ එහි ‘සමරූපයට’ බලවත් මනෝ ආකර්ෂණයක් හිමි වෙයි. මේ අර්ථයෙන් ගත් විට, සර්පයා බාහිර ලෝකයේ සතුරෙකු ලෙස සලකන ක්විල්ටි යනු, ආත්මීය ලෝකයට අයිති; එය මඟින් එහි සංරක්ෂණය සඳහා නිපදවන පසමිතුරෙකි.[Antagonism] ක්විල්ටි යනු, හම්බර්ට්ගේම නිවුන් අර්ධයක් මිස බාහිර ලෝකයේ සැබවින් ජීවත්වන පුද්ගලයෙකු නොවේ. ඒ අනුව නවකතාව යෝජනා කරන්නේ, සෞන්දර්ය ගැටලුවක් නොව සදාචාර දර්ශනයකි. (නිදහස පිළිබඳ සීමාව) ”

                  මා ඉහත ‘ලොලීටා’ නවකතාව කියවූයේ, හේගල්ගේ දයලෙක්තික තර්කනය පාදක කොටගෙන ය. චින්තනය තුළ විරුද්ධ දේ යනු, ආත්මයේම ප්‍රක්ෂේපණයක් මිස බාහිර යථාර්ථයේ සාරාත්මක පැවැත්මක් නොවේ. දෘශ්‍යමාණය යට කිසිවක් නැත. නලින් ද සිල්වා යනු, ලංකාවේ අග්‍රගණ්‍ය ජාතික චින්තකයා ය. අප ඔහුව ”ව්‍යුහවාදීව” කියවන විට එය පෝෂණය වන්නේ, අත්දැකීම හෝ අවබෝධය මත පදනම්ව නොවේ. ‘ජාතික චින්තනය’ සහ ‘රාජපක්ෂ පවුල’ අතර පවතින නරුමවාදී පරතරය යනු, (රාජපක්ෂලා මේ කරන්නේ හම්බ කරන වැඩක් මිස ජාතිය සංරක්ෂණය කරන බව නොවේ යන්න) නලින් ද සිල්වා සහ ජාතික චින්තනය අතර පවතින නරුමවාදී පරතරය්ම දිගුවක් මිස යථාර්ථයේ ආගමනයක් නොවේ. නලින්ට අවශ්‍ය වන්නේ, ජාතික චින්තනයේ නියමුවා ලෙස බාහිර සමාජයෙන් සුරක්ෂිත දිදුලන අනන්‍යතාවයක් පමණි. මෙතැනදී, ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර සාම්‍යයක් දැකිය හැකිය. ලිබරල්වාදීන්ට අනුව ද සමාජයේ ආන්තික ජන කොටස් සහ පුද්ගලයන් සටන් කළ යුත්තේ, සමාජ පිළිගැනීමක් සඳහා [Social Recognition] මිස විමුක්තිය උදෙසා නොවේ. නලින්ගේ ‘පරමාර්ථයට’ ඕනෑම තක්කඩියෙකුට ආදේශ විය හැක්කේ මේ නිසා ය. මේ අනන්‍යතා අරගලය වැදගැම්මකට නැති රටක තානාපතිවරයෙක් වීමෙන් අවසන් විය. නලින් ද සිල්වා කතා කරන හේගල් යනු, නලින්ගේ ‘ෆැන්ටසි හේගල්’ කෙනෙකි. මේ ෆැන්ටසි හේගල් වටහා ගැනීමට ඔහුගේ ‘ඇත්ත’ කෘතිම කියවිය යුතු ය.

                  අපගේ ‘සංවිධානය’ තුළම පවා ව්‍යුහවාදීන් නිර්මාණය නොවූයේ ඇයි? මෙය හොඳ ගැටලුවකි. 2015 වර්ෂයට පසුව සංවිධානය තුළ ‘ව්‍යුහවාදය’ රැඩිකල් වෙනසකට භාජනය කරන ලදී. සංවිධාන යන්ත්‍රය යළිත් වැඩ කරන්නට පටන් ගත්තේ, මෙම නවීකරණයට පසුව ය. ‘අත්දැකීම්’ මත පදනම් වූ වමේ ව්‍යාපාරය පරාජය කර ඒ තැනට ‘ව්‍යුහවාදය’ අප ආදේශ කළේ ඉතා දැනුවත්ව ය. අපි ඊළඟට ඒ ගැන විමසා බලමු.

Deepthi

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. සහෝදරයා මෙ දවස් වල වැඩිපුර කතා බහා වෙන නැගෙනහිර ජැටිය, ඉන්දියාව,චිනය අතර බල අරගලය,ඇමරිකාවේ නව ජනපති යටතේ නැගී සිටිය හැකි නව ප්‍රවණතා,වගේ ලෝක දේශපාලනික විග්‍රහයක් සහ වත්මන් ලංකාවේ ණය උගුලේ ප්‍රශ්නය විග්‍රහා කරලා දාන්න බැරිද ලිපියක්.

Comments are closed.