ජිජැක් කියන්නේ පූසෙක් වුණත් කමක් නැහැ

 

උපුල් ශාන්ත සන්නස්ගල ප‍්‍රශ්නයකට දෙන පිළිතුරක් වශයෙන් අවංක අදහසක් පළ කරයි. ඔහු කියන්නේ මෙවැන්නකි.

”මම ෆ්‍රොයිඞ් ගැනවත් ලැකාන් ගැනවත් ජිජැක් ගැනවත් මෙලෝ දෙයක් හදාරල තියෙන කෙනෙක් නෙමෙයි. ජිජැක්ගෙ නම ජිජැක් ද ශිශෙක්ද යන්නවත් මං හරියට දන්නෙ නැහැ. මං ළඟ තියෙන්නෙ අනුන් ලියපුවා උඩින් පල්ලෙන් කියවලා ගත්ත අදහසක්”

බැලූ බැල්මට මෙය අවංක ප‍්‍රකාශයකි. එය අවංක වන්නේ තමන් නොදන්නා බව නොදැන හෝ මේ ලියන්නේ බොරු බව දැන දැනම ලියන්නන් මෙන් වංචනික දැනුමක් ඉන් ප‍්‍රකාශ නොවන බැවිනි. එවැන්නෙක් රාවයට නිතර ලියයි. ඔහු සන්නස්ගල මෙන් නොව තමා නොදන්නා සින්තෝමයක් පිළිබඳ වුව බොරු විළි ලැජ්ජාවකින් තොරව ලියන්නට නොපැකිලෙයි.

එහෙත් සන්නස්ගලගේ ප‍්‍රකාශයෙන් වෙනස් අදහස් ද ගම්‍ය වේ. නැතහොත් එම ප‍්‍රකාශය අපට තව විදිහකට පරිවර්තනය කර ගැනීමට පිළිවන. එවිට ඔහු කියන්නේ මෙවැන්නකි.

”එයා ජිජැක් වුණත් ශිෂෙක් වුණත් මට වැඩක් නැහැ. ලැකාන්වත් ජිජැක්වත් මට ඇති වැඩක් නැහැ.”

ඔහුගේ අර රැුඩිකල් අවංක ප‍්‍රකාශය අවංක වුවත් එහි ඇති මෙම අර්ථය අහිංසක නැත. හැබැයි එය ජිජැක් ශිෂෙක් බැරි නම් වෙන මොන පූසෙක් හරි වුණත් මට කමක් නැතැයි කීම තරම් ග‍්‍රාම්‍ය නොවේ. ජිජැක් පූසෙක් බවට රූපාන්තරණය කිරීම රාවයට සින්තෝමය ගැන බොරු ලිවීම තරම්ම දරුණුය. රාවය කර්තෘ දන්නා සින්තෝමයක් නැති නිසා මේ බොරුකාරයන්ට එහි බඩ පිණුම් ගැසීමට අවස්ථාව ලැබී ඇත. මින් සිදුවී ඇත්තේ කුමක්ද? සමාජ අධ්‍යයන ක්ෂේත‍්‍රය පූසන් මෙන් අඩි තබා යන්නන්ගේ -Cat Foot- පාරාදීසයක් වීමය.

මෙහි දී අපගේ අවධානයට ලක් වන කරුණක් නම් කෙනෙකු සවිඥානක තලයේ දී එපා කියන දෙයක් අවිඥානකව ආශා කරන බවයි. කෙනෙකු විද්‍යාත්මක සොයා ගැනීම් තොරොම්බල් කරමින් තමා විද්‍යාවේ මිනිසකු ලෙස පෙන්වා සිටීමට පිළිවන. ඔහු සමාජයට පෙන්වා සිටින්නේ තමා විද්‍යාවට ආවේශව සිටින බවකි. එහෙත් ඔහු රහසින් මිථ්‍යාව සමඟ බැඳෙයි. පත්තරවල පළවන ලග්න පලාපල රහසින් කියවයි. ජිජැක් හෝ ලැකාන් පිළිබඳව හෝ ඔවුන්ගේ කියවීම් පිළිබඳ තමාගේ උනන්දුවක් නැතැයි සන්නස්ගල පවසන විට ඒ පිළිබඳව ඔහු තුළ පවතින ආශාව ද අපට කියවිය හැකිය. මනෝ විශ්ලේෂණයට අදාළ යෙදුම් ඔහු තම ලිවීම් තුළ භාවිත කරන්නේ එබැවිනි.

මෙහි මුල් කොයිතරම් අභ්‍යන්තරයට විහි දී ගොස් තිබේ දැයි විමසීම වටනේය. ලෞකිකත්වයේ කෙළවර නිස්සාරත්වය බව අපි දනිමු. ලෞකිකත්වය ඉක්මවා යන කුමක් හෝ සොයන ආත්මීය වුවමනාවක් හැම විටම ඉතිරිවේ. එහෙත් මුල් අවස්ථාවේ දී කෙනකු තුළ මතුවන ප‍්‍රශ්නය නම් තමන්ගේ හිස් ආත්මය උත්තර ආත්මයක් බවට පත් කරන්නේ කෙසේද? යන්නය.

පාරභෞතික ලෝකයෙන් අප ගලවා ගන්නේ දේව ධර්මයයි- Theology- දේව ධර්මය යනු ලෞකිකත්වයක් තිබේද යනුවෙන් සොයන ක්ෂේත‍්‍රය මිස කි‍්‍රස්තියානිය නොවේ. පැරැුණි දර්ශනවාද පාරභෞතික – Mataphysics- ලෙස සලකන ලද්දේ යථාර්ථයේ නියම ස්වරූපය හැදෑරීමය.

සමකාලීන සමාජය රෝග ලක්ෂණවලින් ගහන සංස්ථාවක් බවට පත්වී තිබේ. මේ රෝග ලක්ෂණ විවිධ අයුරින් නම් කළ හැකිය. මූලධර්මවාදය, ජාතිවාදය, ආගම් උමතුව ලොතරැුයි දිනුමක් පිළිබඳ අපේක්ෂාව මින් කීපයකි. සමාජය තනි පුද්ගලයකු අමතා මෙසේ කියයි.

”ඔබේ දියුණුව ඇත්තේ ඔබගේ කි‍්‍රයාශීලී බව මතය. හැකිතාක් ලාභය මත පදනම්ව මුදල් රැුස් කරන්න. ජීවිතයේ සාර්ථකත්වය යනු මුදල්ය. අපේ ආර්ථිකය ඉදිරියට තල්ලූකරන ගාමක බලවේග දෙක වන්නේ කෲර තරගය සහ පුද්ගලවාදයයි. ඔබ දක්ෂ නම් ඔබට අසීමිත සම්පත් සහ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගත හැකිය.”

ගමෙන් නගරයට පැමිණෙන සන්නස්ගල සමාජයේ ඇමතුමට සවන් දුන්නේය. [අර අම්මා කෘතියේ කියන පරිදි] ටියුෂන් ඊතණ පඳුර ඔහුට සමුවිය. පැල්ලසය යනු කුමක් දැයි ඔහුගේ අම්මා කෘතිය විවරණය කරමින් මා ලියූ ”අම්මා මගේ ආදර වස්තුව” කෘතියේ පරිච්ෙඡ්දයක් පාසා විස්තර කර ඇත. [එහෙත් මේ පොත දැන් මුද්‍රණය නොවෙයි] මෙහි කියවෙන ටියුෂන් ඊතණ පඳුර යනු හැඟවුම්කාරකයක් බව මම එහිලා කියූවෙමි. පිටත නාගරික සමාජය මෙහෙය වන බල පරාක‍්‍රමයෙන් යුතු කිසිවක් වූ එයට පර්යාය වන්නේ පල්ලසයයි. එනම් මවට අහිමිව තිබූ තමා සංකේතීය ආදේශකයක් වෙමින් මව රවටා ගැනීමට කල්පනා කළ පැල්ලසයයි.

ඔහුගේ බිරිඳ දරුවන් සහ අර ඊතණ පඳුර පවා මෙම පැල්ලසය උදෙසා හමු වූ ආදේශක ය. ඔහු ගීත ලියූවේය. නවකතා ලියුවේය. චිත‍්‍රපට තැනුවේය. ඊතණ පඳුර සොයා ගත්තේය. ඒ සියල්ල තමා සෙවූ දෙයෙහි ආදේශක පමණක් විය. ආත්මය තවමත් හිස්ය.

සන්නස්ගල කළේ කුමක්ද? ඔහු මා අතහැර රනිල් වික‍්‍රමසිංහ නම් වලව්කාරයා වෙත දිව ගියේය. ඔහු ආත්මය සොයා ගත්තේ නැත. රනිල් ඔහු නොරැුවටුවේද? මයිකල් ජැක්සන් තමාගේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් කර ගැනීමෙන් තැත් කළේ සමාජයෙන් වහං වීමටය. සන්නස්ගල අම්මා ලියමින් කළේ අතීතය නම් වූ වෙස්වළාව ලා ගැනීමෙන් සමාජයෙන් ගැලවීමය. දැන් රනිල් වික‍්‍රමසිංහ ඔහුට කළ දේ බලන්න. ඔහු තමාගේ මුහුණට නොගැළපෙන රැුවුලක් වවාගෙන සමාජයට වහං වීමට තැත් කරයි. ඔහුට වැඩියෙන් ආදරය කරන්නේ රනිල් ද නැත්නම් අප ද කියා ඔහු කල්පනා කළ යුතුව ඇත. ඔය රැුවුල ඔබේ මුහුණට ගැළපෙන්නේ නැතැයි මම ඔහුගේ මුහුණටම කීවෙමි. රනිල් එහෙම කියන්නේ නැත.

ඔහු අර සම්මුඛ සාකච්ඡුාවේ දී භාෂාව ගැන ලොකු කතා කියා ඇත. ඩෙරිඩා භාෂාව විසංයෝජනය කරමින් differance යනුවෙන් අලූත් වදනක් -neologism- හඳුන්වා දුන්නේය. එම වදනේ a අකුර එය ශබ්දකරන විට කියවෙන්නේ නැත. එබැවින් එම වදන තුළ වෙනස යන්න සේම කල් දැමීම යන අර්ථයද නගයි. සන්නස්ගල පල්ලසය යනුවෙන් ලියූ වචනයක් පැල්ලසය යනුවෙන් මුද්‍රණය කර ඇති බව කියයි. මීට කාලයකට පෙර නම් පැල්ලසය යනුවෙන් ලියන වචනය එය වැරැුදීමකින් ලියන ලද්දකැයි ගෙන පල්ලසය යනුවෙන් මුද්‍රණය කරනු ඇත. භාෂාව කාලයා විසින් ද විසංයෝජනය කරනු ලැබේ.

ඔහුගේ භාෂාව භාවාතිෂය වේ යැයි මම දැනුදු කියමි. ඔහු උදාහරණ ලෙස උපුටා දක්වා තිබූ කොටසම ඊට ප‍්‍රමාණවත්ය. ඔහු භාෂාවේ දී සලකන්නේ සන්දර්භීය ලෙස අර්ථයාගේ හැසිරීම නොව හිස් වචනවලට තමා පාලනය කිරීමට ඉඩදීමයි. ඉස්සර ඔහුගේ භාෂාව භාවාතිෂය යයි කී විට ඔහු තිගැස්සුණේය. මා ඔහුගේ භාෂාව භාවාතිෂය යයි කීම ඔහුට ලිවීම සඳහා බාධාවක් බව කියා ඇත. දැන් අවිඥානිකවත් ඔහු අප සමඟ නැති බැවින් ඔහුට නිදහසේ භාවාතිෂය විය හැකිය.

එවිට ඔහු අර විශාල අධ්‍යයන ක්ෂේත‍්‍රයක් පූසන්ගේ රාජධානියක් බවට පත් කර සිටින්නන්ගේ ගොඩටම නොවැටෙන්නේ ද? ඇත්ත නම් තමාගේ නිර්මාණ සහ විචාරය යන දෙකේදීම ඔහු තවමත් සිටින්නේ පටන් ගත් තැනමය. භාවාතිෂය වීම යන්නෙහි අරුත නම් යමක් ඊට වඩා වූ දෙයක් ලෙස ගැනීමකි. භාෂාව භාවාතිෂය වන්නේ එය ඊට වඩා වූ දෙයක් ලෙස ගැනීමෙනි. පේ‍්‍රමය භාවාතිෂය වන්නේ පේ‍්‍රමය, පේ‍්‍රමයට වඩා වූ දෙයක් ලෙස ගැනීමෙනි. ඔහු මේ භාවාතිෂය වූ සිහිනයෙන් මිදී සැබෑ ආදරවන්තයන් වෙත පැමිණෙන්නේ කවදාද?

සමන් වික‍්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...