සිංහල යුනිකේත (unicode) භාවිතයෙන් තමන්ගේ Blogspot එකක් හදාගන්නා හැටි සහ තවත් වැදගත් දේවල් වගයක් කියල දෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ පර්යේෂකයින් පිරිසක් පසුගිය සතියේ සබරගමුව විශ්ව විද්‍යාලයට ඇවිල්ල workshop එකක් තිබ්බා. ඒකෙන් තමයි මම මේ විදියට digital අවකාශයේ ලියන්න ආරම්භ කලේ. මීට කලිනුත් මම යාළුවෝ කීපදෙනෙක් එක්ක කතා කරල තිබ්බ මේ විදියටම නොවුනත් අපේ අදහස් ප්‍රකාශ කරන්න website එකක් වගේ පටන් ගමු කියල, ටිකක් ඇකඩමික විදියට.

ඒ workshop එකේදී එක් දේශකයෙක් කිව්ව දෙයක් තමයි මේ blogspot වල (website වල වගේම) තියෙන වැදගත්ම feature එක තමාට කැමති දෙයක් කැමති විදිහට නිදහසේ (නිර්බාධව) ප්‍රකාශ කරන්න තියෙන හැකියාව කියල. ඇත්ත වශයෙන්ම ගෝලීය ප්‍රාග්ධන අවකාශය තුල විකසිත වන ප්‍රපංචයක් (phenomenon) ලෙස cyber space එක දේශිය භූගෝලිය සීමා ඉක්මවා යනව කියන එක අපි හැමෝම දැන් දන්න දෙයක්. පසු ජාතික ප්‍රාග්ධනය කියන්නෙම ගෝලීය ප්‍රාග්ධනය ජාතික දේශසීමා අතික්‍රමණය කරනව කියන එකනෙ. ඉතිං කොළඹ ඉඳල ආපු පර්යේෂකයෝ කිව්ව සීමා මායිම් නැති අනන්තයට තරම් දිවයන ප්‍රකාශණ නිදහස (freedom of expression) කොයි වගේ එකක් ද කියල අපි දැන් බලමු.

ඉස්සර යම් කෙනෙක් කිසියම් දෙයක් කොලයක ලිව්වම ඒ ලිපියට සංකේතීය වැදගත්කමක් (symbolic value එකක්) ලබා ගන්න අවශ්‍ය නම් ඒක පිලිගත් පත්තරයක, සඟරාවක හෝ ඇකඩමික ජ’ර්නලයක (journal) පල කරවා ගන්න වෙනව. එහෙම නැතිව නිකං කොළවල ලියල අලවන ඒවට කිව්වෙ “කැලෑ පත්තර” කියල. කිසි දා පළ නොකරන්න හිතල ලියපු සම්භාව්‍ය ලිපි ලේඛනත් තියෙනව Kafkaගේ වගේ. හැබැයි ඒ පල නොකිරීමට සංකේතීය වටිනාකමක් ගෙන දෙන්නෙම එම ලේඛකයා හදා ගත්ත symbolic එක ඇතුලෙයි පල නෙ‍ාකිරීම ම ඇතුලෙයි.

මේ publication හුඟක් වෙලාවට printing කියන එකත් එක්ක බැඳිලයි තිබුණෙ. ඒ මුද්‍රිත අකුරුවලට සමාජ බලයක් ආරෝපණය වී තිබුණ හින්දයි. මේ ගැන ගොඩක් කතා කරල තියෙනව මිචෙල් ෂුකෝ. ඒ බලය ආරෝපණය කලේ:

1. මුද්‍රණ ආයතනයේ සංකේතිය වටිනාකම (රජයේ ද වෙනත් පුද්ගලික සමාගමක් ද යන්න)
2. මුද්‍රණය කිරීමට සුදුසු ද යන්න තීරණය කරන editorsල
3. ලියන දේ ගැන විචාරය කරල ඒව කියවිය යුතුද නැද්ද තීරණය කරන විචාරකයෝ
4. ලියන දේවල අධ්‍යයනය සඳහා සුදුසු ද කියල හිතල ඇකඩමියාවට ඒව වැද්ද ගත්ත සිවිල් බුද්ධිමතුන් වගේ දේවල් විසින්

ඒ එක්කම තව කී නොකී බොහෝ දේවල පිහිටෙන් තමයි ලේඛනයක් ස්මරණය කල යුතු තරමේ monument එකක් වෙන්නෙ. එහෙම නැත්නම් ලේඛනය ‘හිස් හැඟවුම් කාරකයක්’ පමණක් වෙනව කියල සහ සුද්දෙටම කිව්වෙ ‍රෝලන්ඩ් බා(ර්)ත්ස් (Roland Barths).

දැන් සයිබර් එකේ සීමා රහිතව, අර කලින් කිව්ව බාධක නැතිව, ඒ කියන්නෙ editorල, printorල, විචාරකයෝ ඒ කියන්නෙ criticsල සහ අැකඩමික සිවිල් චින්තනයෙන් පරිබාහිරව ලිව්වම අර ලීවිමට writing මොකද වෙන්නෙ? හිස් හැඟවුම්කාරක ගොඩක් තියෙන තැනක තවත් එක් හිස් හැඟවුම්කාරකයක් විතරක් විම කියල කාටහරි උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් ඇත්තටම වෙන්නෙ modern ඒ කියන්නෙ නූතන අර්ථයෙන් තිබුණ ලිවීම කියන ප්‍රපංචය මේ අලුත් අවකාශය විසින් අහෝසි කරල දමන එකයි. ඔක්කොම ලේඛකයො වෙනව, කාටවත් කාගෙනවත් වැඩක් නැතිවෙනව.

නමුත් නූතනත්වය තුල ලේඛනයට තිබුණ භෞතික බාධා මේ නිසා අවසන් වෙනව කියල කියන්නෙ ඇත්තටම ඕනි කෙනෙකුට ලියන්න තිබුණ බාධාව මෙයින් අවසන් වෙනව කියන එකට. වාරණය වගේ නූතන උපකරණවලට කිසි වටිනාකමක් දැන් නැත්තෙ ඒකයි. බාධාව කියල කියන්නෙ රාජ්‍යය නම් (එකෙන්නේ වාරණ මණ්ඩල වගේ දේවල් දැම්මෙ) එම රාජ්‍යය පසු ධනවාදයේ ප්‍රාග්ධන මොහොතේ දී අවසන් වෙලා යනවා. ඉතින් මේ නිර්බාධවාදී censorship එකක් නැති ලේඛනයක් පවතින්න පුළුවන්ද?

මම හිතන්නෙ ලේඛනය (හෙවත් ප්‍රකාශණය) අර්ථ ගැන්වෙන්නෙම ‘බාධාව’ මතුවන මොහොතෙ දී කියල. ප්‍රකාශණය තහනම් වන මොහො‍ෙත තමයි ප්‍රකාශණ නිදහස යන්න අර්ථවත් වන්නෙ. ඒ අනුව ප්‍රකාශණ නිදහස යන්න ඵෙතිහාසිකව ඔහේ නිදහසේ ගලාගෙන ආපු දෙයක් නොවී, එය තහනම් කරන මොහොතට පසුව සිට පමණක් පැවැත්ම අනන්‍ය කර ගන්න පශ්චාත් තහනම් (post-prohibition) මොහොතක් බවට පත්වෙනව. දැන් ඉතින් බාධාවක් නැතුව මේ blogspot එකේ නූතන අර්ථයෙන් ලේඛනය යන්න පවතිනව ද කියල ඒ workshop එකේ හිටපු කවුරුවත් පෙරලා පර්යේෂකයන්ගෙන් ප්‍රශ්න කලේ නැහැ. මොකද දැන් ඉන්න ‘ඇකඩමික බුද්ධිමතුනට’ ලේඛනය හෝ තහනම හෝ වෙන මොන මඟුලක් ගැනවත් මෙලෝ සංසාර හැඟීමක් නැති නිසා වෙන්න ඇති. මමත් ඒකෙ හිටියනෙ.

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. බ්ලොග්ස්පොට් ඇතුලෙ ටයිප් කරන එකට වඩා බොහෝ සෙයින් අමාරුයි බ්ලොග්ස්පොට් එකක් මිනිස්සු අතරට ගෙනියන එක. ලංකාවෙ මිනිස්සු අන්තර්ජාලීය අවකාශ්‍ය පාවිච්චි කරන්නෙ කුනුහබ්බ බලන්න, ෆේස්බුක් යන්න වගේ පොඩි දේවල් වලට විතරයි. එතනින් එහාට ගියාම මිනිස්සු ගොසිප් වලටත් ආසයි.

    ලංකාවෙන් පශ්චාත් උපාධි අරගෙන ඔස්ටේලියාව වගේ රටවලට යන බුද්ධිමතුන් අපිට වඩා ඉංගිරිසි දන්නවා. විෂයන් දන්නවා. නමුත් ඔවුන් අවසානෙ නවතින්නෙත් ලංකාවෙ තොරන් සයිට් වලට ලංකාවෙ ටෙලිනාට්ටි බලන තැන..

    මම වසර තුනක් අඛන්ඩව බ්ලොග්ස්පොට් එකක් ලියන මනුස්සයෙක්. මගේ ලිපියක් බලන අය එක ලිපියට දාහක් පනින්නෙ ඉතාම කලාතුරකින්. ඉතිං මේ වගේ ක්ෂුද්‍ර වටපිටාවක ඉදන් කොහොමද දේශපාලනයක් කරන්නෙ..?

    මෙහෙදිනම් ඔ්‍ය කියන ජාත්‍යන්තර වශයෙන් තියෙන ෆ්රීඩම් එක තියෙනවා කියන්න බැහැ. සමහර දේවල් සම්බන්ධ බලපෑම් තියෙනවා. උදාහරන විදියට මම යම් කිසි දේවාලයකට විරුද්දව දෙයක් බ්ලොග් ගත කලාම ඒ දේවාලෙන් මට මේල් එකක් එවනවා ඕක අයින් කරගන්න නැත්නම් එයාලට මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න සිද්ද වෙනවා කියලා. ඒ වෙලාවට අර පත්තර කන්තෝරුවකදි නම් අඩුතරමෙ එහා මේසෙ ඉන්න එඩිටර් වත් අපිට පිහිටවෙනවා. නමුත් බ්ලොග්ස්පොට් වලදි ඒ වගේ තැනකදි තනියෙන්ම කෑමක් තමයි ලැබෙන්නෙ.

Comments are closed.