[dropcap color=”red”]අ[/dropcap]න්තර්ජාතික තලයේත් දේශීය තලයේත් දෙමළ ජාතික අරගලය වහරන සිංහල සිවිල් සිතන්නන් මූලික වශයෙන් සිංහල අන්තවාදීන් සහ දෙමළ අන්තවාදීන් යනුවෙන් කොටස් දෙකක් හදුනා ගනියි. මේ අයගෙන් බහුතර දෙනා තම ජීවිතයේ ඉදිරි කාලයේ දේශපාලනය කරන්නේ නැති බව සපථ කර ඇත. උදාහරණයක් වශයෙන් වික්ටර් අයිවන් සහ සුනන්ද දේශප්රිය මේ සම්මත්ජාතියේ නැවත දේශපාලනය කරන්නේ නැත. ඔවුන්ට විප්ලවාදී දේශපාලනය සමග මාරාන්තික තරහක් ඇත. පසුගිය දිනෙක වික්ටර් අයිවන් ප්රභාකරන්ව හදුන්වා තිබුනේ චන්ඩියෙකු ලෙසය. රාවය පුවත්පතෙහි නිල නොවන කතුතුමාට ජාතියක විමුක්තිය වෙනුවෙන් සටන් කළ අයෙකුව පෙනෙන්නේ චණ්ඩියෙකු ලෙසය. ඒ අතින් ගෝඨාභය සහ සරත් ෆොන්සේකා පවා කුහක නැත. ඔවුන් තම පසමිතුරාව සළකන්නේ සමානයෙකු ලෙසය.
ලංකාවේ දැන් තිබෙන්නේ දේශපාලන ප්රශ්ණයකි. එය අන්තවාදය හෝ අසනීපයක් හෝ තරුණ අසහනයක් නොවේ. සුනන්දලාගේ නිර්වචන මගින් කරන්නේ ( මෙයට දයාන් ජයතිලකද ඇතුලත්ය) දේශපාලන ප්රශ්න වල මූලය වන පසමිතුරුභාවය වෙනත් තැනකට තල්ලු කිරීමය. දයාන් යෝජනා කරන්නේ උතුරේ ජාතික ගැටළුව තානාපතිවරුන් ගේ හොද චර්යාවක් ලෙස වර්ග කරන්න කියාය. සුනන්දට අනුව ජාතික ගැටළුව රාජ්යෙය ප්රජාතන්ත්රවාදී කිරීම පිළිබද ගැටළුවකි. ඇමරිකාවට අනුව ජාතික ගැටළුව මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව පිළිබද ගැටළුවකි. අනෙක් අයට ඒ ගැන මොන මතයක් තිබේදැයි දන්නේ දෙවියන්ය. මේ සියළු දෙනා දේශපාලනයට ඇත්තේ මානුෂික ස්වභාවයක් බවත් එහි පදනම Ontological බවත් දන්නේ නැත. දේශපාලනය යනු අවසාන විග්රහයක දී සාමූහික ජීවිතයක් පිළිබද පරමාදර්ශයක් වෙනුවෙන් සතුරා-මිතුරා වශයෙන් භේද වී අරගල කිරීමයි. දේශපාලනයට ඇති මෙම අරගලකාරී විභවය නසන අය අමතක කරන්නේ බඩගින්නට,කීර්තියට,පවුල ගොඩදාන්නට යන අයට සැබෑ මිනිසුන් අනාගයේ දී හමුවන්නට නියමිත බවයි.