කැස්බෑවෙකුගේ මස් දිය වී ගොස් කට්ට පමණක් ඔබට දකින්නට ලැබුණොත් එය යථක් බවට පත් වෙනවා සේම කැස්බෑවෙකුගේ කට්ට ඉවත් කළ පසු මස් ටික පමණක් දකින්නට ලැබුණොත් එයද ක්ෂිතියකි; යථකි. සදාචාරය වාෂ්ප කර දමා නිරුවත් ධනවාදය අපට සම්මුඛ කළ ජේ. ආර්. අපට ක්ෂතියක් වනවා සේම විවෘත ආර්ථිකය තුළින් ජේ. ආර්. ඉවත් කළහොත් එයද අපට ක්ෂතිමය යථකි.

ඉහත උදාහරණ දෙකේම දෙවැනි කොන්දේසිය යනු අපිට වඩාත්ම දරාගත නොහැකි යථාවයි. එසේ නම් කැස්බෑ කටුව සහ මස් අතර පරිකල්පනීය සම්බන්ධය ගොඩනොනඟන තාක් කල් මේ ප‍්‍රපංච දෙක නැවත නැවත යථාවන් ලෙස අපගේ ඇෙඟ් හැපේ. එසේ නම් විවෘත ආර්ථිකය සහ ජේ. ආර්. අතර (යථාවන් දෙකක් අතර* පරිකල්පනීය සම්බන්ධය ගොඩනැංවීම ‘ජේ. ආර්. ගෙන් පසු ලංකාව’ නම් ප‍්‍රවාද සඟරාවට ලියූ ලිපිය ඔස්සේ දීප්ති විසින් පුරෝගාමීව සිදුකරනු ලැබ ඇත. යථාවක් වූ යමක් අපට සංකේතනය තුළ අර්ථකථනය කර දීමට ඔහු එහි දී උත්සාහ කර ඇත.

එසේ නොවන්නට ධනවාදය යනු අපට එදිනෙදා පිළිවෙත් සමූහයකි. උදෑසන අවදි වී, කුමක් හෝ දෙයක් දවල් – ? නොබලා කර, මුදල් සොයා, නැවත කුටුම්භයට විත් විඩා හරින පන්නයේ දෛනික පිළිවෙතකි. නාගරිකත්වයේ මෙම දුෂ්ට පිළිවෙත් පිළිබඳ රූපකාර්ථමය නිරූපණයක් ටී.එස්. එලියට් විසින් තම The Waste Land නම් අද්විතීය කාව්‍යය තුළ කළේ කෙසේද? එවන් විගලිතභාවය පිළිබඳ පාර-භෞතික විචාරයක් දීප්ති විසින් ඉහත ලිපිය ඔස්සේ ලාංකික සමාජයට මීට දශක එකහමාරකට පමණ පෙර සම්මුඛ කර ඇත.

ඉන්පසුව සිදු වූ දෙය නම් එම ලිපිය ලියූ දීප්ති යථාවක් බවට පත්වීමය. මෙය හරියටම ටී. එස්. එලියට් ගුප්ත වස්තුවක් බවට පත්වූවාට සමානය. පසුව බොහෝ අයට ප‍්‍රශ්නයක් වූවේ එලියට් බුද්ධාගම්කාරයෙක්ද නැත්නම් පෙරදිග දර්ශනය විසින් ඔහුව තෝන්තු කර දමා ඇත්ද යන වර්ගයේ ගැටලූය. අදටත් සමහරුනට දීප්ති UNP කාරයෙක් වැනි කුකුස හටගන්නේ ඉහත එලියටියානු මැදිහත්වීම ගුප්තකරණය වූ ආකාරයෙන්ම. නිසරු බිමේ හැටි එහෙමය. එලියට් හට නව උපමා රූපක මතු නොව නව භාෂාවක් ද අත්හදා බැලීමට සිදු විය. දීප්ති ද එදා සිට අද දක්වා පවත්නා භාෂා ව්‍යුහය සමඟ හැපෙමින් සිටී.

ස්ත‍්‍රී විශාදය සහ ප‍්‍රචණ්ඩ පුරුෂ අනුරාගය අතර පරිකල්පනීය සම්බන්ධය ගොඩනැඟීමට මනමේ නාට්‍යයේ දී සරච්චන්ද්‍රට නොහැකි විය. ඔහුට හැකි වූයේ ජාතික කතාකරු සිර වී සිටි ස්ත‍්‍රී චපලත්වය පිළිබඳ යති සංස්කෘතික ප‍්‍රවාදය පුනර්ජීවනය කිරීමට පමණි. එනයින් යථාවන් දෙකක් අද දක්වාම අපේ ඇෙඟ් හැපෙමින් පවතී. උපුල් ශාන්ත සන්නස්ගල ගුත්තිල සහ මූසිල අතර ගුළි සම්පරීක්ෂණයට භාවිතය කරමින් සිටිනා අතර කේ. කේ. සමන් කුමාර ස්ත‍්‍රී විශාදය සහ පුරුෂ අනුරාගය නම් යථාවන් දෙක අතර විසිල් නැතුව බල්ටි ගසමින් සිටී.

 

ඔබේ අදහස කියන්න...