නොනිමි අරගලයක මතක ගිනි පුපුරු – වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද?

 
නොනිමි අරගලයක

 

 


නොනිමි අරගලයක මතක ගිනි පුපුරු –    වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද 

**********************************************

නිර්පාක්ෂිකයන් කියා අරගලයට සහභාගී වූවන් පසුව කිසියම් පක්ෂ වල සාමාජිකයන් හෝ ආධාරකරුවන් බව පසුගිය කාලයේ කෙරුණු චෝදනාවකි. ලන්ඩන් කම්කරු පක්ෂයේ සාමාජිකයකුව සිට ඉන් ඉවත්වූ නිසා මා මෙහිදී නම් නිර්පාක්ෂිකය. ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් රචිත “නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” ග්‍රන්ථය ලන්ඩනයේ එළි දක්වන දා  සභාව මෙහෙයවන්නට ඔහුගෙන් ලැබුණු ආරාධනාව මට විමතිය දනවන්නක් විය. මා ඔහුගෙන් මේ පිළිබඳව දෙවරක්ම ඇසුවේ ඒ නිසාය. ඔහු පැවැසුවේ  මා නිර්පාක්ෂික එනම් කිසිදු  පාර්ශ්වයකට නොබැඳී අදහස් දැක්වීමට හැකි අයෙකු බව ඔහු දන්නා බවය. මා සිතන්නේ ඔහු අදහස් කලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙසපය ට සම්බන්ධ නොවීම පමණක් බවයි.  එසේම පෞද්ගලිකව එලි දක්වන මේ ග්‍රන්ථය කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් හරහා කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවද පැවසිය. ඔහු විසින් වීඩියෝ කතා කිහිපයක් සුදානම් කර තිබූ අතර ඒ නාමාවලිය බැලීමෙන් ඔහු විසින් කිසියම් අන්දමකට තම අතීතය සමග සාමදාන වී ඇති බවක් මට පෙනුනි. 

 

ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල, එනම් 1984 සිට 1990 දක්වා කාලය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ලියැවී තිබේ. ‘ජවිපෙ දෙවන කැරැල්ල නමින් ධර්මන් වික්‍රමරත්න මහතා ලියන ලද ග්‍රන්ථය ඉන් ප්‍රධාන තැනක් ගනී.  ඔහු එය ලියා ඇත්තේ ගවේෂණශීලි ජන මාධ්‍ය වේදියෙකුගේ භූමිකාවෙන්  බව පෙනී යයි. එහෙත් එසේම ධර්මන් වික්‍රමරත්න මහතා ගේ එජාප විරෝධී ස්ථාවරයක්ද  එම පොතින් ගම්‍ය වේ. ඔහු ලියා ඇත්තේ  අසා දැනගත් සහ සොයා දැනගත් තොරතුරුය. අතරින් පතර ඔහු ඇසූ දුටු දේද තිබේ. “එළියකන්ද වධ කඳවුර” නමැති පොත රෝහිත මුණසිංහ මහතා විසින් ලියා  ඇති අතර එම පොත එළියකන්ද කඳවුර හා එහි සිටි  සිරකරුවන් භාජනය කළ අමානුෂික දෙතිස් වධය ප්‍රධාන කොට ගෙන ලියා ඇත. රෝ. මුණසිංහ  පැරණි ජවිපෙ ස්ථාවරයට බරව අදහස් පල කරමින්  ඔවුන් විසින් ජනතාව ධනවාදයෙන්  බේරා  ගන්නට කළ කැරැල්ලෙන්  ලද අනිසි ප්‍රථිපලයක් වශයෙන් එළියකන්ද සිර දඬුවම  නිශ්චිත කරයි. එම පොත බොහෝ සෙයින් පාක්ෂිකවාදී ස්වරූපයක් දරයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා ගේ ‘කේ පොයින්ට්’ පොතද  එළියකන්ද කඳවුරේ ඔහු  ලද අත්දැකිම් විස්තර කරන්නකි. ඒ ගැන මා මෙහි ලියා ඇත. (කාම්බෝජ සංචාරය 3 – සිර කඳවුර අංක 21 –  කේ පොයින්ට් සහ එළියකන්ද. එම පොත වර්තමානයේ  අජිත් පැරකුම් ගේ ලිබරල් මතවාදී සහ ජවිපෙ විරෝධී මතයට සාපේක්ෂ ලෙස ලියා ඇත. මේ පොත් දෙක පිළිබඳව ඉහත  ලිපියේ සහ පසුව ලියූ විජේවීර සහෝදරයා ගේ ජිවිත කතාව ඇතුළත් චිත්‍රපටිය ගැන ලියූ ලිපියකද මවිසින් සඳහන් කර  ඇත. ( සදා සමරමු සොහොයුරෝ – ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද)

 

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා මම අවුරුදු තිහක පමණ කාලයක සිට දැන සිටි අයෙකි. එසේම  ඔහු ජවිපෙ හි  පැරණි  ක්‍රියාකාරිකයෙක් ලෙසද දැන සිටියෙමි. ඔහු සමග මම වාද දෙකකට පැටලුනේ අගෝරා කණ්ඩායමේ රැස්වීමක දෙකකදීය. ඉහත ලිපි වල ඒ ගැනද  ලියා ඇත. වරෙක ඔහු තමන් සහ ජවිපෙ ජාතිවාදී නොවන බව පුන පුනා කීවේය. ඔහු ජාතිවාදියෙකු නොවන බව මම දනිමි. තව වතාවකදී  නන්දන මාරසිංහ ඝාතනය ඔහු සාධාරණිකරණය කිරීමට මම එරෙහි වුනෙමි.  ඔහු මේ ග්‍රන්ථයේ  ඒ ගැන සවිස්තරව නැවතත් ලියා ඇත. එතැනට අපි පසුව යමු. 

 

මා නොදැන සිටි කරුණ වූයේ ඔහු, අකාලයේ ඝාතනය නොවුනා නම් දිනෙක  රාජ්‍ය නායකයා විය හැකිව තිබූ  කෙනෙකු  ගේ  කැලෑවේදී කෝකියා ව සිටි බවය. රෝහණ නන්දසිරි විජේවීර සහෝදරයාට  හාල්මැස්සන් කිරට උයා දී තිබෙන්නේද, ඉන් පසුව කිහිප විටක්ම ඔහුගේ බත් පත සකසා දී තිබෙන්නේද  ගාමිණීය. මේ අනුව කතුවරයා  ජවිපෙ පක්ෂ නායකත්වය සමග ඉතා  සංවේදී  හා  සමීප  සම්බන්ධයක් තිබූ තැනැත්තෙකි. මේ පොත ඉහත කී හැම පොතකටම වඩා වැදගත් වන පළමු කරුණ  මෙතැනය. දෙවැන්න නම් ගාමිණී මුතුකුමාරණ, නායක  රෝහණ විජේවීර සමග සැඟවී සිටීම පමණක්ම  නොව දෙවරක්ම හිරගෙදර අසුවී සිටියදී  පලා ගිය අයෙක් වීමය.  තෙවනුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා රාජා මුතුකුමාරණ සහ මෙත්සිරි මුතුකුමාරණ පොලිස් අත් අඩංගුවේ දී අසාධාරණ ලෙස ඝාතනය වීමය.  හතරවෙනුව ඔහු තෙවෙනි පෙළ නායකයෙකු වීමට ඉතා සමීපව සිටි බවට පෙනී යාමය. ඔහු නායකයෙකු නොවුනේ තවමත් ඔහු තුල පවතින ගැමිකම නිසා විය හැකිය. පොත කියවා  අවසන් වූ පසු පාඨකයා ගේ හදවත බර වීමද  හැඟීම් බර වීමද නොවැළක්විය හැකිය.   එසේ නොවන අය වෙනත් පක්ෂ වල සිටිය හැකි බවද පවසමි.

 

එනිසා මම මේ ග්‍රන්ථය මිට අවුරුදු තිහකට පමණ පෙර කියවූ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ “වානේ පන්නරය ලැබූ හැටි” නවකතාවේ සිංහල ඡායානුවාදයක් ලෙස දකිමි. නමුත් ගාමිණී කොර්චාගින් නොවේ. ඔහු විජේවීර හමුවන විට කොලු ගැටයෙකි. ඔහු වාහන වැඩ පලක රැකියාව කර ඇත. ගාමිණී ජර්මනුන් සමග සටන් කලේ නැත. නමුත් ඔහු ශ්‍රී ලංකාවේ 87-91 වසර වල සිවිල් යුද්ධයට සහභාගී වූවෙකි.   ඒ සිවිල් යුද්ධයේ  අනිත් පාර්ශ්වය ජයග්‍රහණය කළා නම් මෙවැනි පොතක් ලබන්නේ “වානේ පන්නරය …” පොත ලැබූ තැනකි. මා අදහස් කරන්නේ එයයි.  ඔහු වානේ මෙන් තද බවක් ලබා ඇත්තේද ජීවිතය දකින්නේද ඔස්ත්රෝව්ස්කි මෙන් සියල්ල අවසන් වූ තැනක සිටය. ඔස්ත්රෝව්ස්කි ගේ සටන ජයෙන් අවසන් වී ඔහු ආබාධිතයෙකු වීමෙන් අවසන් විය. ගාමිණී මුතුකුමාරණ ගේ සටන පරාජයෙන් අවසන් වුවද ඔහු ආබාධිත හදවතක් සහ මනසක් සමග  ජීවත් වෙයි. එයින් ගැලවී සුවපත් වීමට නම් ඔහු මේ පොත ලිවිය යුතුමය. 

 

පොතක් ගැන හොඳක් කීම එය විවේචනයට ලක් කිරීමෙන් බැහැරව යාමක් නොවේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කතා කල අප මිතුරු සුදත් සහෝදරයා අප එම රැස්වීමේදී පොතේ වටිනාකම ගැන කතා කළද එහි ඇති සාවද්‍ය හා විවේචනයට භාජනය විය හැකි දේ ගැන කතා  නොකරන බවට චෝදනාවක් කළ බවක් මට හැඟුනි. ඇත්ත වශයෙන් කියනවා නම්  මටද එකඟ විය නොහැකි තැන් කිහිපයක් මෙහි අන්තර්ගතය. එයේ එසේ වුවද ඉන් පොතේ වටිනාකම අඩු වන්නේ නැත. ඒ බව වඩා හොඳින් පොත  දොරට වැඩුමේ දී  පැහැදිලි කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිය. ඔහුගේ පටිගත කළ කතාව මෙහි ඇත. නිර්මාල් දේවසිරි මහතා යනු ස්වාධින ශිෂ්‍ය සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඔහු ගාමිණී සඳහන් කරන ඔප්ස් කොම්බයින් හෙවත් ඒකාබද්ධ හමුදා මුලස්ථානයට ඔත්තු සැපයූවෙක් ද නැත්ද යන්න මම නොදනිමි. 

 

“සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 – කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය” මැයෙන් මම 2017 දී ලියූ ලිපියක  දයා  පතිරණ ඝාතනය ගැන සඳහන්  කළෙමි. ඔහුගේ ඝාතනය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෝ ජවිපෙ කල බරපතල වරදක් බවත් ඉන් ඔවුන් අමතර සතුරන් ප්‍රමාණයක් සාදා ගැනීමට අමතරව පක්ෂය තවත් ජාතිවාදී පසෙකට නැඹුරු වීමේ අඩිතාලමක් දැමුණු බවත් මගේ ද අදහසය. ගාමිණී සහෝදරයා බොහෝ දුරට ඒ ගැන එකඟ වන බව  නිර්මාල් දේවසිරි ට ආරාධනා කල හේතුවෙන් පැහැදිලි වේ.

 

එදින දොරට වැඩුමේ දී ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු හා ප්‍රකට ග්‍රන්ථ පරිවර්තක  චූලානන්ද සමරනායක සහෝදරයා වීඩියෝ පණිවිඩයේ කතා කලේ  බොහෝ හැඟීම් බරවය.  චූලානන්ද පවසන්නේ හැත්තෑ එකේ අරගලය එක නිශ්චිත අවස්ථාවක ඇරඹි ප්‍රහාර මාලාවකින් පසුව ආණ්ඩු බලය හමුවේ පරාජය කරන ලද අතර ඉන්පසුව පැවති  දීර්ඝ කාලීන අධිකරණමය පටිපාටියක් හරහා පක්ෂයේ විශාල පිරිසකට දඬුවම් පැමිණවීමකින් සහ පුනරුත්ථාපන  ක්‍රියාවලියකින් අවසන් වූ බවය.  එහෙත් ඒ වාසිය අසූනවයේ මර්දනයට මුහුණ දුන් පරම්පරාවට හිමි වූයේ නැත.  හැත්තෑ හතේ නිදහස ලැබීමෙන් පසුව යලි ක්‍රියාකාරී දේශපාලනයට බට විජේවීර ඇතුළු සියලු සගයන්ගේ ධෛර්යයෙන් පණගන්වන ලද ජවිපෙ දෙවන වරට මර්දනයට ලක් කිරීම හැත්තෑ එකේදී පැවති  තත්වය ඉක්මවා ගිය අතිශය සාහසික  සහ තිරශ්චින  ස්වභාවයක් ගත්  අතර ඉන් පක්ෂයට සිදු වූ විනාශය  මිනිය නොහැකි තරම් බරපතලය. (චූලානන්ද සමරනායක -උපුටා ගැනීමකි.)  

 

ජවිපෙ විසින් දෙවන අරගලයක් ඇති කිරීමට හේතු සාධක බොහොමයක් කතුවරයා විසින් ඉදිරිපත් කරයි.  ජවිපෙ දෙවැනි අරගලයේ නරෝද්නික්වාදී ස්වභාවය පිළිබඳව අපට බරපතල විවේචනයක් තිබුනත් ඒ ක්‍රියාමාර්ග වලට ඔවුන් තල්ලු කරන ලද එවකට පැවති ජේ ආර් ජයවර්ධන රජයේ ඇතැම් ක්‍රියාදාමයන් ගැන එවැනිම බරපතල විවේචනයක් සහ  ඒ ක්‍රියාදාමයන් ගැන විමතියක් ද මට තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමයට 1977 සිටම අවතීර්ණ වුනු පක්ෂයක් 1982 ජනමත විචාරණයෙන් පසු රජයට එරෙහිව නඩුවක් දැමූ පලියට හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එම පක්ෂයේ හිමිකම් උල්ලංඝනය කරමින්  යටිබිම් ගත දේශපාලනයට යොමු කිරීමේ අනීතික වරද බරපතල එකකි. ප්‍රින්ස් ගුණසේකර ගේ පශ්චාත්තාපය කොටසේ කතුවරයා එය පැහැදිලි කරන්නේ මෙසේය. මා එයට එකඟය. 

 

“ජනමත විචාරණ  නඩුව නිසා රෝහණගේ ජවිතය නැති වුනා. ජවිපෙ විනාශ වුනා. මේ නඩුව මම පැවරුවා නිසා මේ විනාශය වුනා කියලා කල්පනා වුණාම ඒකෙන් මිදෙන්න අමාරුයි.” (පි. 116) 

“තවත් දින කිහිපයකින් ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක දේශපාලන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණි. ගරු අධිකරණය  ආණ්ඩුව විභාග කිරීමට අණ  දුන්නේය. මේ 1983 මැයි මාසයයි. කළු ජූලියක ගිනි පුලිඟුවක් වත් තිබුනේ නැත. ඊලම්  සන්නද්ධ අරගලයකට සේනා රැස්ව තිබුනේ නැත. ජවිපෙ සාමාජිකයෝ තුවක්කු තබා පිහි කොටයක් වත් අතට ගෙන නොතිබුනහ. ජයවර්ධන  මහතා දණ්ඩකින් පහර කෑ සර්පයෙක් මෙන් කිපුනේය.” 

(පි 119).

 

1983 ජූලි කලබල වලින් පසු ජයවර්ධන රජය වාමාංශික පක්ෂ තුනක් තහනම් කළේය. ඒවා තහනම් කලේ වරද කාට  හෝ පැටවීමට බව මුලින් පෙනෙන්නට තිබුනද කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂයේ  තහනම  සුළු කාලෙයකින් ඉවත් විය. ඒ ඔවුන්ගේ නායකයින් රජයට භාර වීමත් සමගය.ඒ දිනවල (1983) නසසප නායකයන් (වාසුදේව සහ වික්‍රමබාහු) කොම්පඤඤ විදියේ අමරදිසි හෝටලයේදී මා දුටු නිසා ඒ තහනම විහිළුවක් බව එදා සිටම දැන සිටියෙමි.  

 

ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවල් දහතුන් දෙනෙකු බිම් බෝම්බ වලින් ඝාතනය කල පසු දෙමළ ජනයා  මරා  දමමින් හා  දේපල වලට පහර දෙමින් ඇතිවුණු කලබල වලට ජාතිවාදී  එජාප කොටස් වල සහය තිබුණු අතර තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප  හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය. නමුත් ඒවා සංවිධානය  වුනේ ජයවර්ධන රජයේ මුල් දින දෙකේ පැවති  අක්‍රිය ස්වභාවය නිසා එම පක්ෂයේ ප්‍රාදේශීය බලවතුන්ගේ ද සහයෙනි.   එම විනාශයෙන් පසු ඇමෙරිකන් හිතවාදී ජේ ආර්පා ලනයට විරුද්ධව ඉන්දියාව එලිපිටම ද්‍රවිඩ සටන්කාමී සංවිධාන වලට  සහය දුනි. රටින් පලාගිය දෙමළ ජාතිකයන් ගෙන් විදේශීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය වන්නට විය. තහනම් වූ ජවිපෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හරහා මෙන්ම ග්‍රාමීය තරුණ කොටස් අතරද රහසිගත ලෙස සංවිධානය වන්නට විය. 

    

 මේ සිදුවීම් වලට පසු, පසුකාලීනව  ලෝකයේ ජනප්‍රිය බවට පත්  වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මුලින්ම දියත් කල ජේ ආර් ජයවර්ධන  රජයට වැරදුනි.  අනිකුත් දේශපාලන පක්ෂ වලටද වැරදුනි. ජවිපෙට වැරදුනි. මුළු මහත් ශ්‍රී   ලංකාවටම වැරදුනි. ඒ සෝචනීය කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් මේ පොතේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා අතින් ලියැවී ඇත.

 

 සෝවියට් ඔපෙරා හා බැලේ  ප්‍රසංග නිර්මාණ පිලිබඳ උණුසුම් මතකයක් විජේවීරට තිබුන බවක් කතුවරයා 160 වන පිටුවේ සඳහන්  කරයි.  “ඔහු බෝල්ශෝයි රඟහලේ රැඟුම් ගැන කියද්දී අපි මහත් රුචියෙන් අසා  සිටියෙමු. 1917 ඔක්තෝබ විප්ලවයෙන් පසු කම්කරුවන්ටද බොල්ෂෝයි රඟහලේ රැඟුම් නැරඹීමට හැකිවන පරිදි ප්‍රවේශ පත්‍ර  මිල අඩු කිරීම හා ඔහු නරඹා තිබු “හංස විලක්” බැලේ රැඟුම ගැන පවසන විට මමද ඒවා මනසින් නැරඹුවෙමි. “
 
ගාමිණී අවංකව ලියන බව හැඟෙන මේ ප්‍රකාශයන් තුල ජවිපෙ නායකයා හා අනිකුත් සැඟවුණු ක්‍රියාකාරීන් සමග ඔහු වනාන්තරයේ ගත කල දිවිය පිලිබඳ විස්තර ගැබ් වේ. සෝවියට් දේශයේ උගත්තකු වශයෙන් සෝවියට් ජනයාට මේ කියන සංස්කෘතික ජීවිතය තිබූ බව මම දනිමි. 
“මෙකල රෝහණ ආදරය, ප්‍රේමය, අනුරාගය ගැන අප කණ්ඩායම සමග නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු කොහොමත් අවිවාහක සගයන්ට පෙම්වතියන් ජෝඩු කළේය” පි 161. මේ අපට විමතියක් ඇති කරන කියුමකි. අපි දැන  සිටියේ එදා ජවිපෙ සාමාජිකයන් අතර පෙම් සබඳකම් තහනම් කළ බවකි. ගාමිණී ප්‍රකාශ කරන්නේ එයට වෙනස් අදහසකි. 
 
පොත දොරට වඩින  දිනයේ “සති පූජා දර සෑයේ” ගීතය වාදනය කිරීමට මම ගාමිණී ගෙන් ඉල්ලා සිටියෙමි. විමුක්ති ගීතයක් ලෙස මා දැන  සිටි ඒ ගීතයට මගේ කැමැත්තක් තිබුණු අතර  ඒ ගීතය ලියුවේ නන්දතිලක අමදෝරු යන අය බව මා දැන  ගත්තේ මේ පොතිනි. (පි. 179) අමදෝරු සිවිල් සර්වන්ට් විභාගය සමත් වුවද රැකියාව ලබා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට ගොස් නැත. කතුවරයාගේ දේශපාලන ගුරුවරයා වූ ඔහු අවසානයේ දිවි පිදුවේය.  
 
ඔහු සිර දඬුවම් විඳින විට පැන යම් සඳහා ද්‍රවිඩ සිරකරුවන්ගේ උපදෙස් පතයි. ඔවුන් සිංහල දේශපාන සිරකරුවන් සමග කතා නොකිරීම ගාමිණීට ප්‍රශ්නයකි.  දෙගොල්ලන්ම ඉන්දීය ආක්‍රමණය ටද  ජයවර්ධන රජයටද විරුද්ධය. “ඇයි උඹලා  අපට කතා නොකරන්නේ”. (පි. 237 කියවන්න) මේ ගාමිණී සහෝදරයාම පසු තැනෙක නන්දන වීරරත්න, සිරිමල් විජේසිංහ හා ලමාහේවා සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයට නන්දන විසින්  මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේ ගුණසිංහ, කිර්ති බාලසුරිය වැන්නවුන් ගෙන්වීම ගැනද  පසුව නන්දන  විකොසට එක්වීම ගැනද කණගාටුව පල කරයි. නිර්මාණ සංවාද කුලකයට සහභාගී වූවෙකු මෙන්ම පසුව සුචරිත ගම්ලත් ගේ දේශනා වලටද සහභාගී වූවෙකු ලෙස මටනම් මෙහි කණගාටුවක් නැත. අප විසින් ජාතිවාදී  දේශපාලනය ඒ කාලයේ සිටම ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් ද මෙහි ඇත.  මේ ගැන හොඳ  විශ්ලේෂණයක්  විදර්ශන කන්නගර සහෝදරයා විසින් ඔහුගේ වීඩියෝ පණිවිඩයේ දී  ඉදිරිපත් කරයි. 
 
පෙසපය මෙහිදී විවේචනයක් එක් කළද සෝමවංශ -විරවංශ ජාතිවාදී සභාගයට එවකට ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂයේ නායකයකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද සිටීම ගැන ඔවුන් විස්තර කරන්නේ කෙසේද? 
 
ප්‍රථම වතාවට ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂය හා එහි සංයුතිය ගැනද ලියවෙන්නේ මෙහිය. ඒ ගැන අපි ගාමිණී මුතුකුමාරණ  සහෝදරයාට ස්තුති වන්ත වෙමු.
 
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක්සත් රාජධානියේ ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි  මහතාද කතා කළේය.  ඔහු කතුවරයාට තම හෘදයංගම සුභාශිංසන පිරි නැමුවේ මේ පොත අනාගත පරම්පරාවට අතට පත් කල යුතු මහඟු ග්‍රන්ථයක් හැටියටය. .
 
ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු වූ සෑම් හෙට්ටිආරච්චි  මහතා ගීතයකින් සභාව පිනවීය.   
 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දැක්වූ විවේචන වලට නන්දන වීරරත්න සහෝදරයා මෙන්ම ගාමිණී මුතුකුමාරණ සහෝදරයාද අදහස් දක්වන ලදී.

 

සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  හිනිදුම සුනිල්  සෙනෙවි මහතා වීඩියෝ පණිවිඩයක් එවා තිබූ  අතර ඔහු විසින්  කතුවරයා නිබයව තම මතය හා අත්දැකීම් හෙළි කිරීම අගය කළේය. ඔහු ගාමිණී සහෝදරයාට මෙවැනි පොතක් පල කිරීමේ වටිනාකම පිළිබඳව මුල සිටම දිරිමත් කල බැවින් ඒ ගැන ඉතා සතුටු වන බවද පැවසිය.  

 

ගාමිණී සහෝදරයගේ මිතුරෙකු වන මහින්ද රූබසිංහ ග්‍රන්ථයේ ඇතැම් පිටු ඇසුරින් වැදගත් මතකයන් රැසක් එලි දැක්වුවේය. සුගත් සෙනෙවිරත්න මහතා ඉංග්‍රීසි  භාෂාවෙන් කල  කතාවේදී මේ පොත අප ඉදිරියේදී සාකච්ඡා කල යුතු බවට සනිටුහන් කළේය.  

 

ජවිපෙ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නරෝද්නික්වාදයක් ක්‍රියාත්මක කළා නොව එළඹුණු මර්දනයට පිළිතුරු දුන් බව කතුවරයා සඳහන්  කරයි. එම අප තව දුරටත් සාකච්චා කල යුතු මාතෘකාවකි. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය  මගින් ඝාතනය කල එජාප සහ වාමාංශික දේශපාලකයන් ගැන කතා කර නැත.   නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යපාරය සුදු පාලකයන් විසින්  දැඩි ලෙස මර්දනය කරන ලදී. නමුත් ඔවුන් විසින් මහා ජනයා පෙලනු වෙනුවට තෝරා ගත්තේ මිශ්‍ර  මගකි. ගාමිණී මුතුකුමාරණ ඉතා නිවැරදි ලෙස එම අදහසම ඉදිරිපත් කරයි. සාමාන්‍ය ජනයා  පෙලීම සහ රාජ්‍ය දේපල විනාශය නොකළ යුතුව තිබු දෙයක් ලෙස ඔහු සඳහන් කරයි.

 

අවසන් වශයෙන්  බෝල්ෂෙවික් පක්ෂයේ ලේකම්   සුමිත් අතුකෝරාල චේ වැනි කෙනෙකු ලෙස කතුවරයා පහදයි. ගාමිණී මුතුකුමාරණ පුර්ණකාලීන  සාමාජිකයා බෝල්ෂෙවික් පක්ෂයට එකතු වන්නේ සුමිත් සමග සම්මුඛ සාකච්ඡාවෙන් පසුවය.  අර්නෙස්ටෝ චේ ගෙවාරා ගරිල්ලා යුද්ධ පිලිබඳ පොතක් 1969 දී ලියා තිබේ. විජේවීරට හෝ සුමිත් ට එය ඇස ගැටෙන්නට නැත. මේ එහි ලිය තිබෙන දෙයකි.

 

Guerrilla warfare is used by the side which is supported by a majority but which possesses a much smaller number of arms for use in defense against oppression. The guerrilla fighter needs full help from the people of the area. This is an indispensable condition.  ගරිල්ලා යුද්දයක් භාවිතා කරන්නේ බහුතර ජනතාවක් ගේ  සහය ලබන  නමුත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මර්දනයට එරෙහිව ආරක්ෂාව සඳහා ආයුධ ගත් කණ්ඩායමකි. ගරිල්ලා භටයාට පළාතේ ජනතාවගේ සහය අත්‍යවශ්‍යම වේ. මෙය බිඳ හෙළිය නොහැකි අවශ්‍යතාවයකි.  
 
It is important to emphasize that guerrilla warfare is a war of the masses, a war of the people. The guerrilla band is an armed nucleus, the fighting vanguard of the people. It draws its great force from the mass of the people themselves. ඉතා වැදගත් වන්නේ ගරිල්ලා යුද්ධයක් යනු බහුතරයකගේ, ජනතාවක ගේ යුද්ධයකි.  ගරිල්ලා කණ්ඩායම සන්නද්ධ න්‍යෂ්ටියයි. ජනතාවගේ පෙරටුගාමී සටන්කාමී කොටසයි. එයට තමන්ගේ ඇති මහත් බලය උකහා ගන්නේ ජනතාවගෙනි.  
 
සුමිත් අතුකෝරාල සහෝදරයා හෝ ජවිපෙ නායකත්වය මේ ගැන සිතුවාද යන්න අපට ප්‍රශ්නයකි.
 
මම සභාවේ මුලදීම ගාමිණී මුතුකුමාරණ සහෝදරයා වෙනුවෙන් ගීයක් ඉදිරිපත් කලෙමි. ඒ ග්වන්තන මෙරා නමැති ස්පාඤ්ඤ ගීතයයි. සියෙරා මයෙස්ට්‍රා කඳුකරයේ නිතර වැයුන  ගීතයකි. එය මට කියා දුන්නේ සෝවියට් දේශයේ මා  සමග උගත් ලතින් ඇමෙරිකානු සිසුන්ය. එය අහන්න. 

 

මා එය තෝරා ගත්තේ ගීතයේ පළමු කොටසේ ඇති මේ වදන් නිසාය.

I plant a snowy rose in January and July,
මම හිම රෝස ගසක් ජනවාරියේ සහ ජූලියේ සිටවූයෙමි 
For the open-hearted friend who puts a helping hand in mine

විවෘත හදවතක් ඇති මිතුරෙකු මට දිගු කළ මිත්‍රත්වයේ දෑත නිසාය 

I am a truthful man; I come from where the palm tree grows,

මම සත්‍යවාදීයෙකු  වෙමි, මම පැමිණියේ තල්  ගස් (හෝ පොල් ගස්) වැවෙන පෙදෙසක සිටය    

I am a truehearted man, who comes from where the palm trees grow,

මම සත්‍ය හදවතක් ඇත්තෙකි පැමිණියේ තල වැවෙන පෙදෙසක  සිට 

Before I lay down my life, I long to coin the verses of my soul

 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 

 

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා ඔහුගේ ආත්ම කථනය, ඔහුගේ අතිමහත් ජිවිත අත්දැකීම ඔහුට දැනෙන ආකාරයට ලියා තිබේ. එය විටෙක බියකරුය. විටෙක සුන්දරය. විටෙක ත්‍රාසජනකය. විටෙක වීර කාව්‍යයක් මෙනි. විටෙක  ස්වයං පාපොච්චාරණ වලින් පිරිලාය. මා  එය කියවුයේ විවෘත මනසකිනි.

 

මම ඔබටද එය කියවීමට අරාධනා කරමි.

 

මේ ලිපිය මෙතනින් අවසන් නැත.

මාකස් ගේ විකාර කතා වලට පිළිතුරු

 

 

මම මෙහෙයවපු “ගාමිණී මුතුකුමාරණ ” ගේ “මතක ගිනි පුපුරු ” එලි දක්වන  දවසේ කීව දේවල් කියල, මාකස්කි ප්‍රියන්ත පෙරේරා සියම් විකෘති සහගත අදහස් වගයක් ප්‍රකාශ කරලා තියෙන නිසා ඒවාට කෙටි පිළිතුරු ටිකක් දෙන්න ඕනේ කියල හිතනවා. මොකස සමහර අය ලොක් ස්ටොක් බැරල් පිටින් ගිලල නිසා.

 

මගේ ලිපිය ඒ ගැන මෙතන. නොනිමි අරගලයක මතක ගිනි පුපුරු – වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද

 

මාකස් ප්‍රියන්ත පෙරේරා ගේ ලිපිය මෙතන මාකස් ගේ කතාව

 

 

අංක 1. මාකස් කියනව මැරුණු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තිබ්බේ නැහැ කියල.  – විනාඩියක නිශ්ශබ්දතාවයක් මියගිය හැමෝම  වෙනුවෙන් සභාව පටන් ගන්න කලින් තියන්න අදහසක් තිබ්බ. වුනේ මොකක්ද? 2.30 ට පටන් ගන්න ගිය එක කට්ටිය පරක්කු වී එන නිසා ප.ව . 3.00 ට කල් දැම්මා.  මාකස් සහෝදරයත් පරක්කු වෙලානේ ආවේ. මොකද්ද හේතුවක් කීව මතකයි. ඊට පස්සේ තුන් හතර පාරක් නිවේදනය කරන්න සිදු වුනා සභාවේ අසුන් ගන්න කියා. මතකද මට විහිළුවට කියන්න වුනා “ඔය මාකස් සහෝදරයත් ඇවිත් ඉඳ ගන්නවද සභාව පටන් ගන්න ඕනේ” කියල කීව. ඒ මොහෙතෙත් හැමෝම කතා කර කර හිටියේ. මගේ දුර්වලකමක් වෙන්නඇති  විශේෂයෙන් පිටි පස්සේ හිටි අය කතාව නතර කලේ නැත්තේ. එතනින් දිගටම පළමුවෙනි අංකයට යන්න වුනා වෙලාව 3.25 පමණ වීම නිසා. විනාඩියක නිශ්ශබ්දතාවය අයින් වුනේ එහෙම. (ඊළඟ සැරේවත් මිනිස්සු වෙලාවට එනවනම්)

අනික ගාමිණි මුතුකුමාරණ වුනත් කීව ඒක අවශ්‍යම නැහැ. ජවිපෙ සහ පෙසප දෙකම ඔය සැමරුම් තියනව. එයා දේශපලන සැමරුමක් කරෙන්නේ නැහැ කියල.

 

අංක දෙක – ක්‍රිස්තියානි කතාව 

මාකස් ඉතාම දරුණු චෝදනාවක්  කරනව  – මම කීවලු ක්‍රිස්තියානි අය තමා ’71 කැරැල්ලේදී මිනී මැරුවේ කියල. 

 

– සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් අරගෙන. මේක වෙලා තියෙන්නේ මට හිතෙන්නේ මාකස් සහෝදරය පහුගිය අවුරුදු කිහිපය තුල තනිකරම දේවවාදියෙක් වීම නිසා කියල මට හිතෙන්නේ. බ්ලොග් හා ෆේස්බුක් පෝස්ට් අරගෙන බැලුවොත් පල්ලි ගැන. මීගමුව එවැනි ඉතිහාසය ගැන ලියන්නේ. මම ඇහුවත් එක්කනේ ඒ ගැන. ඔයා දුන්  පිළිතුරත් මතක ඇති නේ. මා  දන්නා පරණ වාමාංශිකය  ගේ සිට දැන්  එයා වෙනස් වෙලා කියල කියන එක. එයාට  ඌයිය වෙන්න  ඇත්තේ ඒකයි. මම අර කැරලි කරුවන් මැරීමට   ක්‍රිස්තියානි පොලිස්  නිලධරයාට දුන් කතාව කිවේ උපහාසාත්මක ලෙස. ඊට කලින් කිව් කතා දෙක අමතක වුනාද? පන්සලේ හාමුදුරුවෝ ගෙනල්ල ගහල මළකඩ කාපු බ්ලේඩ් එකකකින් තට්ටේ ගාන එක. හාමුදුරුවන්ගේ ඔලුවෙන් ලේ ගලන එක. එතකොට කෝ අර සිංහල බෞද්ධ  නිලධාරීන්ගේ බෞද්ධ කම. ඊළඟට අර කැරලිකරුවෙකුට දිගට හරහට ගහන  එක. භාගෙට මැරෙන කම් හෝ ඊටත් වැඩිය මරණාසන්න වෙනකන් ගහන එක. එතකොට කෝ බෞද්ධ කම. මරන්න විතරක් වෙන කෙනෙකුට භාර දෙන එක. ඔන්න ඔය සිංහල බෞද්ධ  දෙබිඩි කම තමා මම පෙන්වල දුන්නේ. අනික මම පිස්සු හැදුන  කියන වචනය  කොහෙවත් භාවිතා කලේ නැහැ. මානසික අසමතුලිත භාවයක් ඇති වුනා කියල කිවේ. කතාව ඇත්ත එකක්. ඒ නිලධාරියාගේ නම ග්‍රෙගරි. දැන් ජිවතුන් අතර නැහැ. පවුලේ අය හොයල දෙන්න බලන්නම්.  

 

මාකස්  මීගමුවේ නිසා මේකත් දන්නවා ඇති. බෞද්ධයෝ මසුන් මරන්නේ නැහැ. හැබැයි මාළු කනවා. පන්සලේ හාමුදුරුවෝ ධිවරයට බනිනනවා පව් කාරය කියල. හැබැයි පන්සලට මාළු ටිකක් ගේන්න කියනව. මාටින් වික්‍රමසිංහ මහතා මේක ඉතා හොඳට විතර කරල තියනවා. දඩයක්කාරයාගේ  දඩමස් ගන්නේ කවුද කියල. ඇයි මුහුදු යන ධීවරයෝ ගොඩක් කතෝලික වුනේ ලංකාවේ. හැමෝම  දන්නවා ඇතිනේ හේතුව. පොහොසත්  අය වරප්‍රසාද ගන්න. ධීවරයෝ ඔය බෞද්ධයන් ගේ දෙබිඩි කම නිසා.  මම අදේවවාදියෙකු  හා නිරාගමිකයකු හැටියට මේවා  ලියන්නේ. මට මුලධර්මවාදී බෞද්ද, මුලධර්මවාදී ක්‍රිස්තියානි  ,  මුලධර්මවාදී  මුස්ලිම් ඔය ඔක්කොම එකයි. නමුත් මම ඒවා කියන්න යන්නේ නැහැ. හැමෝටම තමන් කැමති ආගම නිදහසේ පිලි පදින්න තියෙන  අයිතියට ගරු කරනවා විතරයි.  නැතිව සිංහල අය මැරුවේ නැහැ ක්‍රිස්තියානි අය මැරුවේ කියන අදහසක් කොහෙත්ම කිව්වේ නැහැ. ඒ එයාට  හිතිච්ච විධිහ වෙන්න ඇති. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියනවනේ. ආගමික කණ්නාඩි පැළඳ ගත්තම පෙනෙන විධිහ වෙන්නත් පුළුවන්. නැවතත් කියන්නේ සිංහල බෞද්ධ නිලධාරීන් ඇති පමණ කැරලිකරුවන් මැරූ බව. මනම්පේරි සිද්දිය. කාටවත් පේන්නේ නැත්නම් පව්  කරන එක සාමාන්‍ය දෙයක් නේ. 

 

එයාලා මම කතා අක්රපු  ඒ විනාඩි තුනක් දාල  මුළු කොටසම දාන්නේ නැතිව. ඔය සෙලෙන්ස්කිට මිනිස්සු කියන්නේ යුදෙව් නිසා කියල දේශපාලන කතාවක්.  කතා බහකදී උදාහරණයකට ඒවගේ දෙයක් ගත්ත කියල හැඟවෙන්නේ නැහැ ඒක පොදුවේ කිව්වා කියල. මාකස් කියන්නේ ඉතා තදින් කතෝලික ආගමික පෝස්ට් දමන නිසා ඒක උලුප්පන්න හදනව කියන එක තමා මගේ අදහස. මෙයාල හැමෝම  වුනත් දරුණුවට බෞද්ධ හාමුදුරුවරුන් ගේ වැරදි විවේචනය කරනවනේ. මට කවදාවත් ඒවාට රිදිලා නැහැ. සමහර ඒවා ඇත්ත. නමුත්අපට රිදුනේ නැති වුනාට ඒවාට රිදෙන අය ඉන්නව.හේතුව ඒ අය අපට වඩා ආගමික නිසා.
 
ඕකේ කතාව මේකයි . මේ වික්‍රමසිංහ මහතාගේ කතාවකින් උපුටල වෙනස් කරල දාන්නේ.
 
දඩයක්කාර කරතෙලිස් එනවා ආරච්චිල යන පාරේ මස් පොදියක් කරගහ ගෙන.
ආරච්චිල: කරතේලිස් කොහෙද ඔය හොර බඩු වගයක්ද කරේ තියාගෙන
කර්තේලිස්- අනේ ආරච්චිල ඊයේ මුවෙක් මන්දට අහු වුනා නොව. මේ ඔබ තුමා ගේ කොටහ වලව්වට ගෙනියන ගමන්
ආරච්චිල: ආ ඒවා හොඳ වැඩ , හොඳ ගාතයක් තියනවනේ. හාමිනේට කියහන් හොඳට දුරු මිරිස් දාල හදන්ට කියල. අර පොල් ගහේ රා වඩියක්  ඇති ඔය ගමන් ඒකත් බාල තියපන්.
 
කර්තේලිස් – හොඳමයි
 
ආරච්චිල හාමුදුරුවන් මුණ ගැසේ.
 
හාමුදුරුවෝ; ආ රාළහාමි බෑරැක් වගේ
ආරච්චිල:මම මේ වැයික්කිය බලන්න යන ගමන් පන්සලට ගොඩ වැදුනේ අපේ හාමුදුරුවනේ. අර කර්තෙලිසා පව්කාරයා මූණටම මුලිච්චි වුනා නොව.
 
හාමුදුරුවෝ: අනේ ඔය මනුස්සයට මම හැමදාම කියනව ඔය පව් කරන්නේ නැතිව වෙන වැඩක් කරන්න කියල. පන්සලට එන්නෙත් නැහැ නොවැ.
 
තම බිරිඳ උයා දුන් මස් ටිකක් පන්සලේ කුස්සියෙන් තබා කර්තේලිස් හිමින්ම  පිටව යයි. දානයට දුන් දෙයක් වළඳන්නට  ඇහැකි හෙයින් හාමුදුරුවන් මුවින් නොබැන ඇබිත්තයාට බෙදන්නට කියයි.
 
*************************************************

 

අංක තුන – සුදත් ලියනගේ ගේ විවේචනය – මෙතන සිදුවුනේ ඉතා රසවත් දෙයක්. පෙසපේ පුබුදු ජයගොඩ ඊට කලින් ගාමිණී ගේ පොත ගැන විවේචනයක් ඉදිරිපත් කරලා තිබ්බ. ගාමිණී මට විශේෂයෙන් කතා කරලා කීව අජිත් ඔයාගේ අදහස් මුකුත් කියන්න එපා කියල. මගේ අදහස් මේ පිළිබඳව බොහෝ විට මාකස් ගේ අදහස් හා සමපාතයි . හේතුව  නන්දන වීරරත්න, සුචරිත ගම්ලත් ල දේශනා වලට ගෙනාව කාලේ  අපි, ඒ කිව්වේ මගේ යහළුවෝ කිහිප දෙනෙක්)  හැරුනේ ඒ පැත්තට. ඒ කියන්නේ කිසියම් විධිහකින් ජාතිවාදී නොවන දිශාවකට.  දැන් ඔය පෙසප කියන සංයුතිය හා එහි නළුවන් පරිවර්තනය වුනාට  යුද්දෙට කලින් හිටියේ වෙන තැනකනේ.   ගාමිණී ගේ පොත නිසා සහ ගාමිණී ගේ ඉල්ලීම මත මම විශේෂයෙන්  දෙමල ප්‍රශ්නය හා කැරලි පිලිබඳ මගේ  මතයන් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. මට රාජකාරිය වශයෙන් භාර දුන්නේ  මෙහෙයවන එක. පෙසපේ ට තිබ්බ ඇරියස් එකක්. ඒක ඒ ගොල්ලෝ පියවා ගත්ත. කොටින්ම  දැන් දින දෙකකට කලින් ගාමිණී කතා කරලා  කීව  අජිත් ඒ ගැන ලියන්න එපා බ්ලොග් එකේ කියල. ඒකට ගරු කරල ගාමිණී  සහ සුදත් මගේ හොඳ හිතවත් යහළුවන්  නිසා මම ඒ ගැන ලියන එක පවා අත හැරලා දැම්ම. අනිත් අය  කරපු කතා ගැන මම කියන්න යන්නේ නැහැ. ඒක ඒ අයට බාර කරනවා.

 

 

හැබැයි ජවිපෙ සහ පෙසපේ ආධාරකරුවන් ගැන මෙහෙම  අදහසක් තියනවා. ඒ ගොල්ලෝ ෆේස්බුක් එකේ නම් ලයික් දාන්නේ, කොමෙන්ට් කරන්නේ තමන්ගේ අයට විතරයි. තමන්ගේ මහාචාර්ය වරුන්ට, තමන් ගේ කලා කරුවන්ට නලා කරුවන්ට , තමන්ගේ අය ලියන පොත් වලට.සමාජ මාධ්‍ය වලින් එළියේ  සම්මාන දෙන තැන්  වලදී, රැස්වීමකදී , පොත් එලි දැක්වීමකදී  වුනත් එහෙමයි. අවුලක් නැහැ කියමු. හැබැයි මේ වාමාංශික කට්ටිවාදයක් නෙමෙයිද?

 

 අනික් පක්ෂ  වුනත් සලකන්නේ තමන්ගේ අයටනේ. කොන්ත්‍රාත් දෙන්න, රස්සා දෙන්න, තානාපතිකම් සහ වරප්‍රසාද දෙන්න. නමුත් ඉතින් ඒකටනේ අපි විරුද්ධ.  එතකොට ජවිපෙ සහ පෙසපේ ආධාරකරුවන් සහ පෙසපේ නායකත්වය හැසිරෙන විධිහට ඒ පක්ෂ වල කට්ටිය වැඩි කර ගන්නේ කොහොමද? කවදාවත් ඒ ප්‍රමාණය වැඩි වෙන එකක් නැහැනේ. එතකොට ජවිපෙ සහ පෙසපේ තමන්ගේ ආධාරකරුවන්ට පමණක් සීමා වුනහම ඒ ගොල්ලෝ රාජ්‍ය බලය ගතහොත් මොකද වෙන්නේ? අර පක්ෂ වගේම හැසිරෙයිද ? නැතිනම් කාම්බෝජ පන්නයේ විසඳුමක් ගෙනයිද?  

 

අවසානයට: 

ග්වන්තනමෙරා ගීතය කිව්වේ එකෙ අග තියන වදන් පෙළක් නිසා සහ සියෙරා මයෙස්ට්‍රා වල ගයපු ගීතයක් නිසා. මාකස් සහ එතන හිටි පිරිස  ඒක නොදන්නවට මගේ බලවත් කණගාටුව.ගීතය දැම්මේ  ගාමිණී තමාගේ ආත්මය නිරාවරණය කරණ නිසා කියල පැහැදිලිව මම කිව්වා. ඒක පොතක් ලියන කෙනෙකුට කරන සංවේදී හැඳින්වීමක්. සොරි ඉතින් තේරුනේ නැත්නම්.

 

සින්දුවේ මෙහෙම තියනවා.

Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 

ඒකයි ඒක තෝරා  ගත්තේ 

 

ඔන්න ඕකයි ශනිදා සටහන 

– අජිත් 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් ධර්මකීර්ති – 28/09/2023
 
මුලාශ්‍ර – Guerrilla Warfare – Ernesto (Che) Guevera 
 
ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිගේ පටිගත කළ කතාව
 
 
 

ඔබේ අදහස කියන්න...