බෞමන් , ලන්ඩන් පිරමීඩ, පක්ෂ අභ්‍යන්තරයේ ලිංගික ප්‍රශ්න හා ඉරාජ් ගේ ගවුම

 

දීප්ති කුමාර ගුණරත්න ලියූ “ඕපපාතික බුද්ධිමතුන්” නමැති ලිපියේ  සුමිත් චාමින්ද මහතා පිලිබඳ සඳහනකට මම ත්‍රිමාණ වෙබ් අඩවියට ප්‍රතිචාරයක් එක් කෙළෙමි. දීප්ති සහෝදරයා චිසින් මගේ ප්‍රශ්නයට දැන් න්‍යායික පිළිතුරක් දී තිබේ. ඔහු කියන්නේ තමන් සදාචාරවාදියෙකු  හෝ ගතානුගතිකවාදියෙකු නොවන බව මා  දන්නේය යන්නයි.

 

දීප්ති ගුණරත්න සහෝදරයාගේ පිළිතුර  “ඔබේ ගවුම කුමක්ද “ යන ලිපියයි. 

 

දීප්ති අසන්නේ ‘සුමිත්ගේ ලිංගික ගැටලුව පිළිබඳ දීප්ති ඔයාගේ න්‍යායික අදහස කියන්න’ යනුවෙන් මා නොඇසූ බවයි. හේතුව මගේ ප්‍රතිචාරයේ තිබේ.  මා ලියුවේ  ” සුමිත්, වසන්ත සහ වසන්තගේ පෙම්වතිය යන තිදෙනාම වැඩිහිටි අය යි. ගැටලුව ඒ හින්දා සුමිත්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”. මෙහිදී දීප්ති සදාචාරවාදියෙකුද නැත්ද යන ප්‍රශ්නය අදාල නැත. නමුත් දීප්ති ගතානුගතිකවාදී ස්ටලින්වාදියෙකු නම් විය හැකිය. ඒ මෙසේය.

 

  සෝවියට් දේශයේ මොස්කව් හි මා  උගත් විශ්ව විද්‍යාලය පිහිටි අවියමතෝර්නයා ප්‍රදේශයට යාබදව පිහිටියේ බෞමන්ස්කයා නම් ප්‍රදේශයයි. බෞමන්ස්කයා හි මෙට්‍රෝ උමන් දුම්රිය පලෙහි  නමද   බෞමන්ස්කයාය. එහි සෝවියට් දේශයේ පිහිටි තවත් උසස් විශ්ව විද්‍යාලයක් ද වේ.  එම විශ්ව විද්‍යාලය ලොමොනොසොව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට පසුව පිහිටුවන ලද මොස්කව්හි දෙවන පැරණිතම විශ්ව විද්‍යාලයයි. එය 1763 දී පිහිටුවන ලද්දේ  දෙවන කැතරින් අධිරාජිනිය විසින් මොස්කව් හි  ජර්මන් කොටසේය.  1917 ඔක්තෝබර්  විප්ලවයෙන් පසු එය බෞමන් විශ්ව විද්‍යාලය යනුවෙන් නම් කරන ලද්දේ බොල්ෂෙවික්වි ප්ලවාදියෙකු වන නිකොලායි බෞමන් ට උපහාරයක් වශයෙනි.

 

මේ විශ්ව විද්‍යාලය ගැන මම “චෙර්නොබිල්” ගැන ලියද්දි ලීවෙමි. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූ  න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් උගත්තේ මෙහිය.  නමුත් මට ලිවීමට අවශ්‍ය නිකොලායි බෞමන් ගැනය. නිකොලයි එර්නේස්ටෝවිච් බෞමන්,  ලෙනින් සමග ස්විට්සර්ලන්තයේ පිටුවහළේ සිටි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පකෂයේ (පසුව බොල්ෂෙවික්  පක්ෂය) සාමාජිකයෙකි. ඔහු ලෙනින් සමග ඉස්ක්‍රා (ගිනි පුපුර) පුවත්පතට සම්බන්ධව වැඩ කටුතු කලේ රුසියනු මාක්ස්වාදයේ පියා  ලෙස සැලකෙන  ප්ලෙහනොව් සමග ජිනීවා නගරයට පිටුවහල් වීමෙනි.

 

නිකොලායි ඉතා දක්ෂ  පක්ෂ සංවිධායකයෙකු වූ අතර ඉස්ක්‍රා පුවත්පත බෙදා හැරීමෙහි ලා පුරෝගාමියෙකුද විය. පිටුවහලට හේතු  වුයේ සාර් පාලනයට එරෙහිව ශිෂ්‍යයන් හා කම්කරුවන් අතර උද්ඝෝෂණ සංවිධානය කල බැවිනි. ඔහු කිහිප වරක්ම සාර්  ගේ සිරගෙවල් වලද ලැග්ගේද  එම නිසාමය.

 

පිටුවහල්ව සිටියදී සහෝදර විප්ලවවාදියෙකු ගේ බිරිඳ සමග ඔහු අනිසි සබඳතාවයක් ඇතිකරගත් අතර ඔහු  නිසා ඇය ගැබ් ගත්තාය. ඔහු  එය නොපිළිගත් අතර ඇය හා ඇගේ සැමියා ගැන විකට චිත්‍ර (කන්‍යා මරියා තුමිය  දරුවෙකු වඩා සිටිනා අන්දම ඇඳ)  ඔහු ඇය ව අනුන් ඉදිරියේ නින්දාවට භාජනය කළේය. මේ කාන්තාවද ඉස්ක්‍රා පුවත්පත බෙදා  හැරීමෙහි නියුතුව සිටි විප්ලවවාදී ක්‍රියාකාරිනියකි. ඇය ඉස්ක්‍රා පුවත් පතේ  කතෘ මඩුල්ලට හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මේ ගැන ලියා බෞමන් පක්ෂයෙන් නෙරපා දමන ලෙස ඉල්ලා සිටියාය.   ඉස්ක්‍රා  කතු මඩුල්ලේ මර්ටෝව්, පට්‍රෙසොව් සහ ට්සාසුලිච් අපයෝජනය වූ  කාන්තාවට පක්ෂව කතා කළහ. ප්ලෙහනොව් සහ ට්‍රොට්ස්කිද කතු මඩුල්ලේ සිටියත් ගත්තේ නිහඬව සිටීමේ ස්ථාවරයකි.

 

ලෙනින්ට තිබුනේ වෙනත් අදහසකි. පක්ෂයට  හොඳ සංවිධායක වරයෙක් අහිමි කර ගැනීමට ලෙනින් සූදානම් වුයේ නැත. ඔහු කිවේ තමන් හා පක්ෂයේ අභිප්‍රාය සාර් පාලනය පෙරළා දැමීම බවයි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමටද   ඔහු පසුබට නොවන බවයි. මර්ටෝව් ට තම මිතුරාගේ තිරණය අදහා ගත නොහැකි එකක් විය. ජනතාවගේ නිදහස සඳහා සටන් කළ පක්ෂයක් අගතියට පත් කාන්තාව ගේ  පැත්ත නොගැනීම ඔහු නිර්දයව විවේචනය කළේය. 

 

ඉස්ක්‍රා කතු මඩුල්ල අවම වශයෙන් බෞමන් කැඳවා නිදහසට කරුණු විමසීමක් වත් නොකළහ. කාන්තාව සිය දිවි නසා ගත්තාය. 

 

පසු කලෙක මර්ටෝව් පක්ෂයන් ඉවත්වීමත්ටත්  මෙන්ශේවික් හා බෝල්ෂෙවික්  වශයෙන් පක්ෂය දෙකඩ වීමටත් බලපෑ  එක හේතුවක්  වූයේද මේ බෞමන් සිද්ධියයි.  

 

මේ සිද්ධිය අද වූවානම් meToo වැනි ව්‍යාපාර බලවත් මේ කාලයේ ලෙනින්ට ,නිකොලායි  බෞමන් සමග අකුලාගෙන ගෙදර යන්නට සිදුවනු නොඅනුමානය .

 

 ශ්‍රී ලංකාවේ බොහෝ වාමාංශික පක්ෂ මාක්ස්/ලෙනින්/ට්‍රොට්ස්කිවාදී හෝ මාක්ස්/ලෙනින්/ස්ටාලින්වාදී හෝ මාක්ස්/ලෙනින්/මාඕ වාදී ඒවාය. දීප්ති කුමාර ගුණරත්න ද ලෙනින්වාදියෙකු බව ඔහුගේ අදහස් වලින් පැහැදිලිය.  මේ අනුව සුමිත් චාමින්දට, දීප්ති සහෝදරයා කරන චෝදනාව නිවැරදිද?

 

ලෙනින් පවුල පිලිබඳ සංකල්පයට විරුද්ධ නොවූ ෆැමිලි මෑන් කෙනෙකු වූවද ඔහු හැසිරුනේ වඩා නිදහස් ලෙසයි. පවුල, සමාජවාදී සෝවියට් දේශයේ  සාමාජිය වර්ධනයේ මූලික ඒකකයක් (යුනිට්  එකක්) කලේ ස්ටාලින් ය. මම මේ පිළිබඳව මිට පෙර “සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 1” නම් ලිපි පෙලේ (1,2,3,4) ලියා තිබේ.  ලෙනින්ට ඉනේස්සා අර්මන්ඩ් ට අමතරව ප්‍රංශ ප්‍රභූ කාන්තවක සමගද සම්බන්ධයක් තිබු බවද (එලිසවෙතා කේ.) හෙළිදරව් වී ඇත. ලෙනින් එම සම්බන්ධයට තිත තිබ්බේ රුසියානු විප්ලවය සම්බන්ධව  ඇගේ සහයෝගයක් නොතිබූ බැවිනි. තම බිරිඳ කෘප්ස්කයා සහ පෙම්වතිය  අර්මන්ඩ් සමග ලෙනින් එකට නිවාඩුවකට ගිය බවද අද නොරහසකි. එහිදී පක්ෂ වැඩ කටයුතු වලද නිරත වෙන්නට ඇත. කොටින්ම රුසියානු විප්ලවය තම ජිවිතයේ එකම අභිප්‍රාය කරගත් ලෙනින්ට පෞද්ගලික ජීවිතයේ කරන දේ  එතරම් අදාල වූයේ නැත.   

 

ලන්ඩනයේ පිරමීඩ සම්බන්ධ වෙළඳාමකට හවුල් වූ එක්තරා වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු ගැන මට දැන ගන්නට ලැබුණි. පක්ෂ අභ්‍යන්තරයේ එම ප්‍රශ්නය කතාකරගෙන විසඳා ගත් බවටද මට දැන ගන්නට ලැබුණි. තමන්ට භක්තිමත්ව සේවය කරන  හොඳ සාමාජිකයෙකු නැති කරගන්නට පක්ෂයක් අකැමති බවට හොඳ  උදාහරණයකි එය. පක්ෂයට පරිබාහිරව සිටින හිතවතුන්, පුද්ගලයන් මොනවා කීවත් පක්ෂය තම ප්‍රධාන අරමුණට හානි කරගන්නේ නැත. ලෙනින් කලේද එයයි. සමහරවිට ලෙනින් එම පුද්ගලයාට  එමගින් emotional blackmail (සිංහල වචනයක් නොදනිමි – ආවේගී කප්පමක් , බල කිරීමක්) එකක් කරන්නට ඇත. වරදක් කළ නිසා බෞමන්ඒ  පිළිබඳව පසුව පශ්චත්තාප වී පක්ෂයට හොඳින් වැඩ කරන්නට ඇත. නිකොලායි  බෞමන් 1905 දී  රාජාණ්ඩුවාදීන් සමග ගැටුමකදී  මිය ගියේය. විප්ලවයට දිවි දුන්නෙකු ලෙස සලකා ඔහු ගේ නමට ප්‍රදේශයක් හා කීර්තිමත් විශ්ව විද්‍යාලයක් නම් කර  සදාතනික කර ඇත්තේ ඒ නිසාය. 

 

එසේනම් දීප්ති, චාමින්ද සිද්ධියේදී ක්‍රියාකර ඇත්තේ ස්ටලින්වාදියෙකු ලෙසද? මට හිතෙන්නේ දීප්ති වර්තමානය සමග ජිවත්වන නිසා අනුගත වන්නේ වර්තමාන දියුණු ධනවාදී සමාජයක සාරයට බවයි. දීප්තිට තම පක්ෂය (එක්ස් හෝ පරණ පෙරටුගාමී හෝ සමබිම පක්ෂය)  විප්ලවයක් දක්වා රැගෙන ගොස් රාජ්‍ය බලය ලබා ගැනීමට අදහසක් ඇත්නම් ඔහු ක්‍රියා කල යුතුව තිබුනේ ලෙනින් ක්‍රියා කළ ලෙසටය. නමුත් අද එය වැරදි ක්‍රියාවක් වන්නට හොඳටම ඉඩ තිබේ. මේ නිසා දීප්තිට බලය ලබා ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව  ඉන් අදහස් කළ හැකිය.

 

ගවුම ගැන කතා කලහොත් ඉරාජ් නැමති ගායකයා ගවුම ඇන්දේ අපහාසයක් ලෙසය. ඔහු ඉන් බොහෝවිට අපහාස කරන්නට අදහස කර  ඇත්තේ මංගලට හා රනිල්ට විය හැකිය. (සමාජයේ එම දේශපාලකයන්  දෙදෙනා  ගැන ඇති මතයට අනුව). එසේම එනයින් ඉරාජ් ගැහැණු වර්ගයා ටද  අපහාසයක් කරයි. ගැහැණු අඳින ඇඳුමක් අපහාසාත්මක සංකේතයක් යොදා ගැනීම නිසාය. 

 

 දීප්ති “ගවුම ” ලිපියෙන් පලකරන න්‍යායාත්මක අදහස් වලින් පැහැදිලි කරන්නේ  අප එම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ වර්තමාන දර්ශනවාදීන් අනුසාරයෙන් බවයි. ඒ අනුව දීප්ති කර ඇත්තේ සදාචාරයට පක්ෂ වීමක් හෝ  ගතානුගතිකත්වයට පත්  වීමක්  නොවුවත් ස්ටාලින්ලිවාදී පවුල් ආකෘතියක් වර්තමාන “ප්‍රගතිශීලි ධනවාදී ” සමාජයට ආදේශ කිරීමකි. 

 

මා දන්නා පරිදි සුමිත්  චාමින්ද ලිංගික අපහාසයක් කර නැත. ලෙනින්ට අනුව දීප්තිට පක්ෂය හෝ (එක්ස් කණ්ඩායම ) බේරාගෙන නිහඬව සිටින්නට හැකියාව තිබුණි.  චාමින්ද ලිංගික අපයෝජනයක් (abuse)  කර තිබුණා නම් වර්තමාන නීතිය  යටතේ හෝ ඔහුට ගැලවීමක් නැත. නමුත් එම චෝදනාව මුලිකව පැමිණිය යුත්තේ වින්දිතයාගේ පාර්ශ්වයෙනි. එවැන්නක්ද  දක්නට නැත. 

 

බ්‍රිතාන්‍ය වාමාංශික පක්ෂවල සමහර  නායකයන් පසුගිය කාලයේ ඇද වැටුනේ  මේ වැනි චෝදනා පැමිණීම හා ඒ අනුව ක්‍රියා නොකිරීම නිසාය. අද ඒ පක්ෂ වල සාමාජික සංඛ්‍යාව  අතිශයින් සීමිත වී ඇත.  එනිසා ඒ දිනවල දීප්ති කණ්ඩායම බේරා ගැනීම සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්තා නම් එය නිවැරදි විය හැක. මා දීප්තිට  ලෙනින් අනුගමනය කරන්නට කියන්නේ නැත. ලෙනින් ක්‍රියා කළ ආකාරය වර්තමාන තත්වයන්ට කොහෙත්ම ගැලපෙන්නේද  නැත.   නමුත් මගේ අදහස නම් දැන් දීප්ති කුමාර ගුණරත්න  මේ ගවුම බිම තබා පක්ෂය කරට ගතයුතු බවය. 

Ajith Dharmakeerthi

 

 

 
 
 
 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. What is the fiction and what is the illusion in here (as per Slavoi Zizek) and what is remaining “after reality minus fiction” –
    (Sorry for the typo and syntax from the previous message)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here