මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක්‌ Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක්‌ වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. 

පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ පළමුවැනි කොටසය.

 

Frontline සඟරාව – 1986 දී වඩමාරච්චි මෙහෙයුමට යද්දී එම මැයි 26 වැනිදා ඔබ වැල්වැටිතුරේදී හමුදාවට කොටු වූ බවත්, පසුව පැනගත් බවත් පුවත්පත්වල පළවුණා. මෙය ඇත්තක්‌ද?

ප්‍රභාකරන් – (සිනාසෙමින්) – මැයි 25 වැනිදා රාත්‍රියේදී මම යාපනයට ගියා. හමුදාව පසුදින උදැසන වැල්වැටිතුරේට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. ඔවුන් වැල්වැටිතුරේට ගැහුවේ මා එහි ඉන්නා බව හිතාගෙනයි.

Frontline – ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඔබ හිතන්නේ කුමක්‌ද?

ප්‍රභාකරන් – ගිවිසුමේ සඳහන් අන්දමට, උතුර – නැගෙනහිර දෙපළාත එක්‌ කිරීමට ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතුයි. ඒ එක්‌කම ගිවිසුමේ එනවා ජනමත විචාරණයේදී සුළු ප්‍රමාණයකින් පවා ජයගත හැකි නම් ඒ සුළුතර ජයග්‍රාහකයාට ජයග්‍රහණය හිමිවනවා කියලා. (එනම් තුනෙන් දෙකක බලයක්‌ හෝ හතරෙන් තුනක බලයක්‌ නොව සියයට එකක බලයකින් පවා ජයග්‍රාහකයා තීරණය කළ හැකි බවයි. පරිවර්තක) උතුර සහ නැගෙනහිර එකතු කිරීම ගැන ප්‍රශ්නයක්‌ නැහැ. එය අපගේ මාතෘ භූමියයි. මේ ගැන කිසිදු සාකච්ඡාවක්‌ කර වැඩක්‌ නැහැ.

තවත් ගැටලු තිබෙනවා. අපි දන්නා පරිදි ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක්‌. 1983 දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණේ ලක්‌ රජයට අයත් හමුදා කඳවුරු කිහිපයක්‌ පමණයි. අද (1987) හමුදා කඳවුරු 200 ක්‌ එහි තිබෙනවා. මේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැතිව ඒ ප්‍රදේශවල තිබෙන සිංහල ජනාවාස ඉවත් කරන්නට බැහැ. ඒ සිංහල ජනපදවලට නීත්‍යානුකූල පදනමක්‌ ලැබෙන්නේ හමුදා කඳවුරු වෙතින් ලැබෙන හයිය නිසයි. මේ කඳවුරු ඉවත් කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන ගිවිසුමේ නැහැ. සිංහල ජනාවාස (ඇතිවීම) වළක්‌වන්නටත් ම්ලේච්ඡ සිදුවීම් හට ගැනීම වැළැක්‌වීමටත් ඉන්දියානු හමුදාව එම ජනාවාස තිබෙන ප්‍රදේශවල සිටිය යුතුයි.

ඒත් පුදුමය වන්නේ යාපනේ අර්ධද්වීපය තුළ හෝ අලිමංකඩින් එහාට කිසිදු ඉන්දියන් හමුදා කඳවුරක්‌ නොවීමයි. කොහොම නමුත් කොඩිකාමම්, අච්චුqවේලි, පලෙයි, වන්නන්කර්නි, යකච්චි හන්දිය, තලයියාදි වෙරළ ප්‍රදේශය, පණ්‌ඩතරිප්පු, කන්කසන්තුරේ ප්‍රදීපාගාරය යන තැන්වල නම් ඉන්දියන් හමුදා කඳවුරු අද තිබෙනවා. මේ තැන්වල සිංහලයන් නැහැ. ඒ නිසා ඉන්දියන් හමුදා කඳවුරු අවශ්‍ය නැහැ. ඒත් මේ තැන්වලමයි ඉන්දියන් හමුදාව ඉන්නේ.

අප කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කඳවුරු 200 ඉවත් කළ යුතු බවයි. ඒ අතර ඉන්දියන් හමුදාව තවත් කඳවුරු හදනවා. (ගිවිසුමේ) ආරම්භක අවස්‌ථාව වන මේ වකවානුවේදී (දෙමළ) ජනතාව තුළ කලකිරීමක්‌ ගොඩනැගෙමින් පවතිනවා. මේ ප්‍රදේශවලට නැවත පැමිණීම සඳහා සුදුසු ආරක්‍ෂාවක්‌ අද සපයා ගන්නට නැහැ. ආරක්‍ෂිත කලාප සහ ආරක්‍ෂක කලාප ඉවත් කිරීමක්‌ සිදුවී නැහැ. ඉන්දියානු හමුදා කඳවුරු ඉදිකිරීමට විරෝධය පළකිරීම සඳහා පෙත්සම් භාර දීමට දෙමළ ජනයා කොටි කාර්යාලවලට පැමිණියා. අපි ඔවුන්ට කිව්වා ඒ පෙත්සම් ඉන්දියන් හමුදාවට දෙන්න කියලා.

Frontline – ඉන්දු ලංකා ගිවිසුමේ පිටපතක්‌ ඔබට නොලැබුණ බව ඔබ කියා තිබුණා.

ප්‍රභාකරන් – මගේ පිටපත ඔවුන් රැගෙන ගියා. ඡේ. ආර්. ජයවර්ධන මහතා අද කියා තිබෙනවා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට යන බව. එහෙත් එයට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ.

දිසාපතිවරුන් කියනවා 1983 දී තම වාසස්‌ථානවලින් පලාගිය ජනයාට ආපසු පැමිණීමට පුළුවන් කියලා. එහෙත් 1983 ට පෙරත් (දෙමළ) ජනයා තම වාසස්‌ථානවලින් පලා ගියා. ඉන්දු ලංකා ගිවිසුමේ වැදගත් කරුණු දෙකක්‌ තිබෙනවා. ඉන් එකක්‌ අපගේ මාතෘ භූමිය සමග සම්බන්ධයි. එය තමයි උතුර සහ නැගෙනහිර එකතු කිරීම, දෙවැනි කාරණය අපගේ ඉඩම්වලට සම්බන්ධයි. මේ දෙකට ඉතාම වියවුල් සහගත සංකීර්ණ ප්‍රශ්න. ගිවිසුම මගින් මේ මූලික කරුණුවලට උත්තර ලැබී නැහැ.

Frontline – අගමැති රජිව් ගාන්ධි සහ ඉන්දියානු රජය ගැන ඔබේ අදහස කුමක්‌ද?

ප්‍රභාකරන් – අදහස කියන්නේ?

Frontline – ඔබේ ස්‌ථාවරය.

ප්‍රභාකරන් – ඔවුන් තමන්ගේ දේවල් විතරක්‌ සැලකිල්ලට අරගෙන ඉතා ඉක්‌මනින් ගිවිසුමකට එළැඹී, මෙතෙක්‌ කලක්‌ දෙමළ ජනතාව මුහුණ දුන් දුක්‌ දොම්නස්‌ අමතක කර තිබෙනවා.

Frontline – කොයි විදිහටද?

ප්‍රභාකරන් – මුලතිව් ප්‍රදේශයේ සරණාගතයන් ඉන්නවා. ජනතාව එළියට බැහැලා විරෝධතාව ප්‍රකාශ කරනවා. විරෝධතා පළකරන්න කලින් අවි බිම තියන්න කියා අපට කියනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳී නැහැ. ප්‍රධාන ප්‍රශ්නය, මිනිසුන්ට ඔවුන්ගේ භූමියට යළි එන්නට ඉඩ ලැබිය යුතුයි. ඊට පහසු වීම සඳහා ආණ්‌ඩුවේ හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. එහෙත් ඒ කඳවුරු ඉවත් කරන්නට ඉන්දීය හමුදාව සූදානම් නැහැ. ඒ අනුව මෙයට විසඳුමකුත් නැහැ. ගිවිසුම ප්‍රකාශයට පත් වන්නට කලින් මේ තත්ත්වය ගැන සාකච්ඡා කළා නම් අපට පුළුවන්කම ලැබෙනවා යම් යම් කොන්දේසි පනවන්නට. අපට කිව හැකිව තිබුණා හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ඒත් එවැනි තත්ත්වයක්‌ තිබුණේ නැහැ.

ගිවිසුමට කලින් හමුදා කඳවුරු තිබූ තැන්වලටම ඒවා ආපසු ගෙන යා යුතු බව අප කියද්දී කොඩිකාමම් පළාත තුළ ඉන්දියන් හමුදා කඳවුරු වැඩි වැඩියෙන් ඇති කරන්නේ ඇයි?

Frontline – පසුගියදා සුදුමලේ අම්මන් කෝවිල් භූමියේ පැවැති රැස්‌වීමකදී ඔබ කියා සිටියේ රජිව් ගාන්ධි සමග හෘදයාංගම සාකච්ඡාවක්‌ පැවැත්වූ බවයි. ඒ සාකච්ඡාවේදී ඔහු යම් යම් දේවල් පොරොන්දු වූ බවත් එමගින් ඔබ තුළ සැනසිල්ලක්‌ ඇතිවූ බවත් ඔබ තවදුරටත් කිව්වා. මොනවද ඒ පොරොන්දු?

ප්‍රභාකරන් – උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී දෙමළ ජනයා ආරක්‍ෂා කරන බව රජිව් ගාන්ධි කිව්වා. එහෙත් එම ප්‍රදේශවලට ආපසු යන්නට සරණාගතයන්ට පුළුවන් වී නැහැ. ඉන්දියන් හමුදාව එහි ගියා. එහෙත් දෙමළ ජනයාට එහි යන්නට බැහැ. හේතුව සිංහලයන් සහ ග්‍රාමාරක්‍ෂකයන්ගේ විරෝධයයි. ඒ පළාත්වල ගෙවල් ඇතුළෙත් ආණ්‌ඩුවේ හමුදා කඳවුරු තිබෙනවා. පාසල්වලත් තිබෙනවා. සමුපකාර කඩ ඇතුළෙත් තිබෙනවා. ඒත් ඉන්දියන් හමුදාව ඒ වැනි තැන්වල කඳවුරු හදාගෙන නැති බව කිව යුතුයි.

Frontline – උතුරු නැගෙනහිර අනාගත දේශපාලන කටයුතුවලදී එල්.ටී.ටී.ඊ. ය කටයුතු කරන්නේ කොයි විදියටද?

ප්‍රභාකරන් – ජනයා සහ සංවිධාන සමග අපට සම්බන්ධකම් තිබෙනවා. අප එම සම්බන්ධකම් ශක්‌තිමත් කර ගන්නවා. දැනටමත් ත්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ ජනයා සමග අප වැඩ කරනවා.

Frontline – එල්.ටී.ටී.ඊ. ය නැගෙනහිර පළාත තුළ ශක්‌තිමත්ද?

ප්‍රභාකරන් – නැගෙනහිර පළාතේ සිංහල ප්‍රදේශවලත් අපේ සාමාජිකයන් ක්‍රියාත්මකයි. මුතූර් කියන නගරයේදී එල්.ටී.ටී.ඊ. කොඩිය එසවූ අපේ අයට වෙඩි තබා මරා දැමුවා. ඉන්දියන් හමුදාවට සහ දිසාපතිට වුවමනා වුණා කොඩිය බිමට බාන්නට. මේ තත්ත්වය තුළ මිනිසුන් සිහිබුද්ධියෙන් කටයුතු කරනවා.

Frontline – බහු පාක්‍ෂික තරගකාරී ඡන්ද ක්‍රමයක්‌ සහිත දේශපාලන ක්‍රමයකට ඔබ සූදානම්ද? ඔබ කලින් කියා තිබුණා, ඒක පාක්‍ෂික ක්‍රමයක්‌ ඊළම තුළ තිබිය යුතු බවයි.

ප්‍රභාකරන් – ඔබ අපේ ස්‌ථාවරය ගැන දැනගත යුතුයි. අපට දෙමළ ඊලාම් තත්ත්වය ලැබී නැහැ. දෙමළ ඊලමක්‌ තුළ දේශපාලනය කෙසේ විය යුතුද යන්න පිළිබඳ මගේ අදහස්‌ මෙයට පෙර මා ප්‍රකාශ කර තිබෙනවා. ඒත් අපට වෙනම රටක්‌ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පනවන ලද්දක්‌. මේ ගිවිසුම තුළ හැමෝම එක සමානයි. අප අපගේ දේශපාලන අරමුණ වෙනුවෙන් සටන් කරනවා. ඊලාම් රාජ්‍යය පිහිටුවීමේ අරමුණ අපගේ ජනතාව වෙත තිරසාර පදනමකින් ගෙන යන්නට අප වැඩ කරනවා. මා එදා කී දේවල් කළ යුත්තේ ඊලම පිහිටුවීමෙන් පසුවයි. දැන් සිදුවන්නේ මෙයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගිවිසුමකට එළැඹී සිටිනවා. අප වෙත පැමිණි ඉන්දියන් හමුදාව අපේ ආයුධ ඉල්ලනවා. අප එය නොකළොත් ඉන්දියන් හමුදාව සමග සටන් කරන්නට අපට සිදුවනවා. එවැනි අර්බුදයක්‌ මගහැරීම සඳහා අප ගිවිසුම පිළිගන්නවා. ඒත් අප අපගේ දේශපාලන අරමුණ අත්හැර දමා නැහැ.

 

සිංහල සැකසුම අනුර සොලමන්ස්‌

උපුටා ගැනීම – දිවයින 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.