An introduction to post-fundamentalist political thought.

Derrida.

මෙම ලිපිය අදාල වන්නේ 2009 ගෝඨාභය බලයට ගෙනඒමට චන්දය දී දැන් රැල්ලට මාලිමාව පසුපස යන ”ජහමනයාට” නොවන අතර කලක සිට වාමාංශික දේශපාලනය සිදුකරමින් සිටින අනෙකුත් වාමාංශික පක්ෂ වල සිටින සංවිදායකවරුන් සහ කාඩර් වරුන් වෙතයි.

හැඳින්වීම.

මෙම ලිපිය තුළින් ඉදිරිපත් කෙරෙනුයේ ලැකානියානු මනෝවිශ්ලේෂණය අනුදත් ව්‍යුහවාදය තුළින් අපගේ එදිනෙදා ජීවිතය යන්න කියවා ගැනීමට දරණ උත්සාහයකි. වාමාංශික දේශපාලනයේ නිරත වන්නෙකුට තමන්ගේ ජීවිතයෙන් යම්කිසි කාල පරාසයක් දේශපාලනය උදෙසා ගෙවා දැමීමට සිදුවෙයි. වැඩිහිටි පරම්පරාවට අයත් -50, 60, 70 දශකයේ ඉපදුණු අය- ලංකාවේ වාමාංශික දේශපාලනයේ නිරත වුණු අය යනු මෙලෙස තම තමන්ගේ ජීවිත වලින් සැලකිය යුතු කාල පරාසයක් ගෙවා දැමූ අයවෙති. මෙම පරම්පරාව පිළිබඳ යමක් පැවසුවහොත්, මොවුන් යනු විනෝදය යන්න සීමා කර සියලුම වර්ගයෙන් යුතු සාරයන් වල ගිලී පැවතෙමින් ජීවත් වුණු පුද්ගලයන් ය. නව තරුණ පරම්පරාවට අයත් (මමත් ඇතුළුව) අය යනු මෙම සියලුම වර්ගයේ සාරයන් පසෙකලා, විනෝදය යන්න සීමා නොකර අත්පත් කරගත යුතු දෙයක් ලෙස සලකමින්, විනෝදය පසුපස හඹාගොස්, පසුව තමන් විසින්ම කොහේ හෝ ඔළුව හප්පා ගෙන එම විනෝදය සීමා කරගන්නා පිරිසකි.

මෑතක සිට මෙලෙස තම තමන්ගේ ජීවිතවලින් ගෙවා දැමුණු කාල පරාසයන් පිළිබඳ විවිධ ගණයේ අදහස් මෙම වැඩිහිටියන් විසින් පළ කරනු දක්නට ලැබිණි. නිදසුනකට විදර්ශන කන්නන්ගර නැමැති සරලමතිකයා විසින් මෑතකදී තමන්ගේ පහළොස් වසරක් පමණ ගෙවා දැමුණු ජීවිතයෙන් ලද අත්දැකීම් තුළින් දේශපාලනය යන්නට සොයාගත් එකම විකල්පය වනුයේ සරදියෙල් ගුණරත්නම්ගේ මහජන කවුන්සිල ව්යාපාරය බව යන්න පවසන ලදී. තවද මීට දින කිහිපයකට පෙර සන්නස්ගල සහ නිරමාල් දේවසිරි විසින් සිදුකරන ලද යූටියුබ් සාකච්ඡාවේදී, තම තමන්ගේ ජීවිතේ ගෙවා දැමුණු කාල පරාසයන් පිළිබඳ කතා වනු දක්නට ලැබිණි. අප සියලු දෙනාටම මෙලෙස ජීවිතේ ගෙවා දැමෙන කාල පරාසයන් ඉතිරිවෙයි. අප සමකාලීන අවස්ථාවක සිට පරකාලීනය තුළදී මෙලෙස ගෙවා දැමූ කාලයන් පිළිබඳ මතක ආවර්ජනය කරමින් සිටී. ප්‍රශ්නය වනුයේ මෙලෙස ඉතිරිවන මතකයන් හට අර්ථයක් පවතීද, නැතහොත් මෙම හිස මත පැටවුනු බරක් මෙන් පවතින මතකයන් වලට ඇති වටිනාකම කුමක්ද යන්නයි. අර්ථයක් හෝ වටිනාකමක් නැති නම් මේ මතකයන් යනු අපගේ හිස මත පැටවුනු නිතර බරක් ගෙන දෙන කුණුකන්දල් නොවන්නේද? මීට මාස කිහිපයකට පෙර දීප්ති විසින් ව්‍යුහවාදයේ එන “ව්‍යුහය” යන්නට වැදගත් අදහසක් අප හට ඉදිරිපත් කරන ලදී. එනම් ව්‍යුහය යනු “ගොඩනැංවීමක්” යන අදහසයි. මනෝවිශ්ලේෂණයට අනුව මෙය තවදුරටත් විදහා දැක් වුවහොත් ව්‍යුහය යන්නට “ගොඩනැංවීම” අයත් වනවා සේම මෙම ගොඩනැංවීම තුළින්ම සිදුවන “බිඳවැටීම”ද අදාළ වෙයි. එනම් සාරාත්මක නොවන හිස්තැනක් මත භාෂාව විසින් සිදු කරන ගොඩනැංවීමක් ලෙස ව්‍යුහයක් පවතින අතර, මෙම ගොඩනැංවීමේ ප්‍රතිපලයක් ලෙස, භාෂාවට අතිරික්තයක් ලෙස වන ව්‍යුහය තුළම පවතින භාෂාව නොවන තැනක් විසින් ව්‍යුහයට චලනයක් ගෙන දෙන්නාක් මෙන්ම, ව්‍යුහය බිඳවැටීමකට ලක් කර නව ව්‍යුහයක් කරා පැමිණීමක් සිදුවෙයි. උදාහරණයකට බඹරු ඇවිත් චිත්රපටය සැලකුවහොත් මුල් අවස්ථාවේදී යම්කිසි සංකේත නීතියක් සහිතව ව්‍යුහයක් ලෙස පවතින ධීවර ගම්මානයක් දිස්වේ. දෙවන අවස්ථාවේදී මෙම ව්‍යුහය තුළම පවතින නමුත් මෙම ව්‍යුහයේ සංකේත නීති වලට අසු නොවන ආත්මය (හෙලන් ස්ත්‍රිය) මූලික කරගෙන සිදු සිදුවන ව්‍යුහයේ බිඳවැටීම දිස්වේ. මෙම බිඳවැටීමට පසුව නැවත සිදුවන ව්‍යුහයේ ගොඩනැංවීම දිස්වේ. මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට උත්සාහ කරනුයේ මෙලෙස ව්‍යුහයට අදාළව සිදුවන ගොඩනැංවීම සහ බිඳවැටීම ලෙස වන දයලෙක්තික චලනය සහ අපගේ ජීවිත මෙම දයලෙක්තික චලනයට හසුවීම සහ එයින් අපව පාලනය වීම පිළිබඳවයි.

Theory of sign-

පළමුව අප ව්‍යුහවාදයේ එන සංඥාවේ න්‍යාය (theory of sign) තුළින් ගොඩනැංවීම – constructing outside- යන්න විමසමු. ලංකාවේ ඇකඩමියාවට(?) අදාළ පිරිස තවමත් සොෂියර් ගේ සංඥාව හඳුනාගන්නේ දෙයකට – The Thing- නාමයක් ලබා දෙන නාමකරණයක් ලෙස හෝ නැතහොත් සංඥාව සාරයක් සහිත positive දෙයක් ලෙසයි. නමුත් අපට අනුව සොෂියර් ගේ සංඥාව යනු සාරයක් රහිත negative දෙයකි. [මීට අදාළව මඥ්ඤං අල්පොන්සු දරශන අශෝක කුමාර නැමැති සරලමතිකයා විසින් සොෂියර් ගේ සංඥාව positive දෙයක් ලෙස මීට මාස ගණනාවකට පෙර ප්‍රකාශ කරන ලදී. මීට පෙරලා මා විසින් ඔහුට සොෂියර් ගේ සංඥාව positive වන්නේ කෙසේද යන්න පැහැදිලිව ලිපියකින් පෙන්වන මෙන් අභියෝගයක් කළ අතර, ඔහු එම අභියෝගය බාර ගත්තා වුවද අද වන තුරු එවැනි ලිපියක් ඔහු විසින් ඉදිරිපත් කර නැත. එම නිසා මම එම අභියෝගය ඔහුගේ ගුරුවරයන් දෙපල වන ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සහ සමන් පුෂ්පකුමාර වෙත එල්ල කරමින් ලංකාවේ ඇකඩමියාවේ(?) වස්ත්‍රය ගැලවී යාමට නොදී ඇකඩමියාව බේරා ගන්නා ලෙස ඇරයුම් කරමි.]

සංඥාව යනු සිතන්නෙකු හට බාහිර ලෝකයේ හමුවන දෙය හෝ විමර්ශකය(referent) වෙනුවෙන් පෙනීසිටින සාරයක් රහිත දෙයකි. නිදසුනකට අප ගෝඨාභය රාජපක්ෂ නැමැති ලේ මස් සහිත ශරීරයකින් යුත් දෙය සමඟ සෘජුව සම්බන්ධ නොවූ අතර එම දෙය වෙනුවෙන් පෙනී සිටින සංඥාවක් – Sign – සමඟ ඍජු නොවන වක්‍ර සම්බන්ධයක් පමණක් දක්වන ලදි. නලීන් සුවාරිස් දේවධර්මයේ – Theology – එන ‘සංඥාව ‘සැලකුවේ අත්දැකීමක් ලෙස මිස සංඥාර්ථයක්- voice – ලෙස නොවේ.

එනම් අප ගෝඨාභය ලෙස හඳුනාගත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින ලද සංඥාවක් – only as a Sign – පමණි. ඊට අනුව අප වරෙක ගෝඨාභය යනු ඉතා දැඩි පාලකයෙක් ලෙසත් රනිල් වික්රමසිංහ යනු සමනලයෙක් ලෙසත් හඳුනා ගන්නා ලදී. නමුත් මේවා සංඥා පමණක් වන බව ගෝල්ෆේස් අරගලයේ අවසානය සිදුවූ ආකාරයක් සමඟ අපට පසක් කරන ලදි.

දැන් ලංකාවේ වාමාංශිකයන් යනුවෙන් කියා ගන්නා පිරිස ඔවුන්ව හඳුනා ගන්නේ නව ආකාරයකටය, එනම් ගෝඨාභය ඉතා දුර්වල පාලකයෙක් ලෙසත් රනිල් වික්රමසිංහ ඉතා දැඩි මිනීමරු පාලකයෙක් ලෙසත් ය. [Constructing New Fiction or de-centering old center- social as Anti sociological category – theorizing Hegemony.] නමුත් ව්‍යුහවාදයට අනුව මෙම දෙවන නව අවස්ථාවේදීද අප ඔවුන්ගේ සත්‍ය ස්වරූපය – True Nature – යනුවෙන් දෙයක් හඳුනා නොගන්නා අතර සිදුවන්නේ නව සංඥාකරනයක් – New signification- පමණි. එනම් කලින් පැවති සංඥා වෙනුවට වෙනත් සංඥා වලින් ඔවුන්ව හඳුනා ගැනීමයි. මක් නිසාද යත් සිතන්නෙකු හට කිසිදු විටෙක සංඥාව පවතින තලය මඟහැර, බාහිරින් ඇති දෙය සමඟ සෘජුව සම්බන්ධතාවයකට යා නොහැකි නිසාය. මෙසේ වන සංඥාව කිසිදු විටෙකත් තනිව නොපවතී. එය සැමවිටම තවත් එවැනිම වූ සංඥා වලින් සෑදුනු සංඥා පද්ධතියකට සම්බන්ධ වී පවතී. සංඥාවට අර්ථයක් හිමිවන්නේ මෙසේ සංඥාව අයත්වන පද්ධතියේ නැතහොත් ව්‍යුහයේ ඇති අනෙකුත් සංඥා සමඟ දක්වන වෙනස්වීම හේතුකොට ගෙනය. නිදසුනකට “අඹ” යන සංඥාව අප හඳුනා ගන්නේ ඒ තුළ ඇති සාරයක් නිසා නොවන අතර එය අනෙකුත් සංඥාවලින් (පේර, කෙසෙල්, මිදී…) දක්වන වෙනස්වීම නිසාය. මෙම නිසා සංඥාව යනු සාරයක් රහිත negative සංඥාවකි. ඩෙරීඩාට අනුව පැවසුවහොත්, සංඥාව තුළ ඇතැයි සිතන විද්‍යමානය(presence), එකවර දෙය – From  thing to sign- සිට සංඥාව වෙත කල්දැමීම(defer) නිසාත් සංඥා පද්ධතියේ අනෙකුත් සංඥාවලින් වෙනස්වීම්(differ) නිසාත් ඇතිවන්නකි(diffarance – අන්තරා.). එවිට දෙය සහ පද්ධතිය යනු දෙකම අවිද්‍යමානය(absence) වෙතට තල්ලු වෙයි. සොෂියර් ගේ භාෂාව පද්ධතියක් ලෙස (langue: language as a system) හඳුන්වන්නේ මෙයයි. එනම් දෙයමය ලෝකය වෙනුවෙන් පෙනී සිටින, එකිනෙකට වෙනස් සාරයක් රහිත negative සංඥා වලින් සැදුම් ලත් පද්ධතියයි. කෙනෙකු මෙම ව්‍යුහයක් ලෙස පවතින පද්ධතිය පෙන්වන්න පුළුවන්ද යනුවෙන් ඇසුවොත් දිය හැකි පිළිතුර වන්නේ, එය පෙන්විය හැකි පද්ධතියක් නොවන අතර උපකල්පනය කරන ලද පද්ධතියක්(supposed system, an abstract one) බවයි. මෙසේ උපකල්පනය නොකර භාෂාව හෝ අන් කිසිවක් සාධාරණ ලෙස හෝ ව්‍යුහාත්මක ලෙස විශ්ලේෂණය කර නොහැක.

මෙය අපි පසුව සාකච්ඡා කරමු.

මෙතැන් සිට මනෝවිශ්ලේෂණය දෙසට පැමිණියහොත් අපට සංඥාවේ න්‍යාය නව ආකාරයකට කියවා ගත හැක. දෙයමය ලෝකය වෙනුවෙන් භාෂාව or sign පෙනී සිටින විට වැදගත් කරුණක් වන්නේ දෙයමය ලෝකයෙහි සිදුවන ඉවත්වීමයි. යමක් ඉවත් වූ විට සැමවිටම ඉතිරිවන යමක් පවතී. එනම් එය ඉවත් වූ විට ඉතිරිවන හිස් තැනයි.[Void] දෙයමය ලෝකය වෙනුවෙන් පෙනීසිටින භාෂාව පතිත වන්නේ මෙම හිස්තැන මතටයි. නිදසුනකට හිස් කැන්වසය මත චිත්‍රයක් පතිත වන්නාක් මෙනි, නැතහොත් හිස් තිරයක් මතට චිත්‍රපටයක් පතිත වන්නාක් මෙනි. මෙම අවස්ථා දෙකෙහිම දෙයමය ලෝකයෙහි ඉවත්වී යාමක් සිදුවී ඇත. භාෂාව යනු “දෙය” වෙනුවට හිස්තැනක් මත සිදුවන ගොඩනැංවීමකි. නිදසුනකට කුඩා කාලයේදී මවත් සමඟ සිටින ළදරුවා යම්කිසි අවස්ථාවක දී මවගෙන් වෙන්වී යාම සිදු වෙයි. මෙසේ මව ඉවත්වූ පසු ඉතිරිවන හිස් තැනට ආදේශ වන්නේ භාෂාවයි. මෙතැන් සිට මෙම හිස්තැන මත භාෂාව ගොඩනැංවීමක් ලෙස වර්ධනය වේ. නමුත් මෙසේ ආදේශ වන භාෂාව මගින් මෙම හිස්තැන සම්පූර්ණයෙන්ම පිරවෙන්නේ නැත. සම්පුරණ මව වෙනුවට මවගෙන් කොටසක් ඉතිරි වන්නාක් සේ මෙම භාෂා ගොඩනැංවීම තුළ යම් කිසි ශේෂයක්(remainder) ලෙස හිස්තැනෙහි කොටසක් ඉතිරි වෙයි. මෙය භාෂාවෙහි ආදේශ වීම නිසා පසුආවර්තිතව(retroactive) සිදුවන්නකි.

නැවත පැවසුවහොත් අවස්ථා දෙකක් පවතී, එනම් 1; මව වෙනුවට භාෂාව ආදේශ වීම සහ 2; මෙම භාෂාව තුළ භාෂාව නොවන කොටසක් ලෙස යමක් ශේෂ වීම. එවිට මෙම භාෂාව නම් ගොඩනැංවීම, මෙලෙස භාෂාවට අතිරික්තයක් බඳුව ඉතිරිවන ශේෂය වටා ව්යුහගතව පවතී. මෙලෙස ඉතිරිවන හිස්තැන හුදෙක් හිස්තැනක් පමණක් නොවන අතර භාෂාවට යම්කිසි ආකාරයක චලනයක් ලබා දෙන, එය අභ්‍යන්තරිකව චලනයකට ලක්කරවන හිස්තැනකි. අප නැවත සංඥාවේ න්‍යායට පැමිණියහොත්, දෙයමය ලෝකයේ ඉවත්වීම නිසා ඇතිවන හිස්තැනට සංඥා පද්ධතිය ආදේශ වෙයි, නමුත් මෙම සංඥා පද්ධතිය විසින් සම්පූර්ණයෙන් හිස්තැන පිරනොවන නිසා සංඥා පද්ධතියේ ඉතිරි වන අතිරික්තයක් බදු ශේෂය වටා සංඥා පද්ධතිය ව්‍යුහගතවීම සිදුවෙයි. මෙම භාෂා පද්ධතිය තුළ සෑම සංඥාවක්ම එකිනෙකට දක්වන සබඳතා(relations) හරහා සම්බන්ධ වී තිබෙන අතර, සහ මෙම සංඥා යම්කිසි සංකේත නීතියකට යටත්ව පැවතියද, මෙම භාෂා පද්ධතිය තුළම පවතින ඉතිරි වූ හිස්තැනෙහි ශේෂය, මෙම කිසිදු සබඳතාවකට හෝ සංකේත නීතියකට යටත්ව නොපවතී. මෙම ඉතිරිවන ශේෂය, සංකේතනය තුළම පවතින නමුත් එම සංකේතනය අසමත් කරවන යථ(real) ලෙස මනෝවිශ්ලේෂණයට අනුව හැඳින්විය හැක.

අපගේ ජීවිතය දෙස බැලූ කල, අපගේ ජීවිතය ලෙස අප වටහා ගන්නේ ද මෙලෙස සංඥා පද්ධතියක මෙන් පවතින, එකිනෙකට දක්වන සබඳතා(relations) හරහා සම්බන්ධ වන අනන්තවත් සිදුවීම් ජාලාවකටයි. මෙහි එක් සිදුවීමකට අවධානය යොමු කළහොත් එය තව සිදුවීමකට සම්බන්ධ යැයි පෙනී යයි, එය නැවත තවත් සිදුවීම් රාශියකට සම්බන්ධ යැයිද පෙනී යයි. නමුත් ප්‍රශ්නය වන්නේ තමුන් කවුද? යන්නයි. එනම් අපගේ ජීවිතය යනු මෙසේ අනවරතව එකිනෙකට සම්බන්ධ වන අනන්තවත් සිදුවීම් ජාලාවද?, නැතිනම් සංඥා පද්ධතියට පරිපූර්ණව, ඉවත් වූ දෙයමය ලෝකය ආවරණය කරගත නොහැකි නිසා සංඥා පද්ධතිය තුළ ඉතිරිවන, සහ මුලු සංඥා පද්ධතියම එමගින් ව්‍යුහගත කරන ශේෂයක් ඉතිරිවන්නාක් සේ, අපගේ ජීවිතය ලෙස පවතින අනන්තවත් සිදුවීම් ජාලාව තුලද, මෙම සිදුවීම් ජාලාවම ව්‍යුහගත කරවන යම්කිසි ශේෂයක් ඉතිරිව නොපවතින්නේද?එසේ නම් අප ජීවිතය ලෙස වටහා ගැනීමට උත්සාහ කළ යුත්තේ එම ශේෂය(යථ) නොවේද? එය එසේ වනවා නම්, අනන්තවත් සිදුවීම් ජාලාව යනු අර්ථයක් රහිත හුදෙක් කුණුගොඩක් පමණක් නොවන්නේද?

අපි දැන් ව්‍යුහයට අදාළ වන දෙවැන්න, එනම් “බිඳවැටීම”[De- structure]] දෙසට හැරෙමු. සාරාංශයක් ලෙස පැවසුවහොත්, අප සෝෂියර් තුළින් තනි සංඥාවකට වඩා එම සංඥාව සම්බන්ධ වන සබඳතා ජාලය ප්‍රාථමික වන බව වටහා ගත්තෙමු. එතැන් සිට මනෝවිශ්ලේෂණයට පැමිණෙන විට, සබඳතා ජාලයට වඩා එය තුළ සිට, නමුත් එහි සංකේත නීතීන්ට හසුනොවී, එසේ වුවත් මුළු සබඳතා ජාලයම ව්‍යුහගත කරන යථ – real-ප්‍රාථමික වන බව වටහා ගත්තෙමු. මා විසින් “බිඳවැටීම” ලෙස හඳුන්වන ලද්දේ, මෙසේ ව්‍යුහයක් ලෙස සකස් වී ඇති ගොඩනැංවීම යම්කිසි අවස්ථාවක කඩා වැටී නැවත නව ගොඩනැංවීමක් ලෙස ව්‍යුහගත වීමයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස ව්‍යුහය තුළ ඇති සංඥාවකට හෝ සංකල්පයකට දයලෙක්තික චලනයක් හිමිවෙයි. පළමුව මෙසේ වන්නේ ඇයි යන්න විමසීමට පෙර මේ සඳහා වන දේශපාලනය තුල හමුවන නිදසුන් කිහිපයක් විමසා බලමු.

නිදසුනකට 89 කාල වකවානුව වනවිට “සොල්දාදුවා” යන විමර්ශකය වෙනුවෙන් පෙනී සිටින ලද සංඥාව වූයේ “මිනීමරුවා” යන්නයි. නමුත් 2009 වනවිට සොල්දාදුවා යන්නට වූ සංඥාව වූයේ “රණවිරුවා”යන්නයි. නැවත 2022 වනවිට එය “රනිල්ගේ කුක්කන්” ලෙස වෙනස් විය. මෙය සාමාන්යෙන් අප අත්විඳින්නේ ඔරලෝසු කාලයේ චලනයත් සමග සිදුවන වෙනස් වීමක් ලෙසිනි. නමුත් කාලය යන්න නැවත සංඥාවක් ලෙස සැලකුවහොත්, ව්‍යුහය යන්න දයලෙක්තික චලනයකට ලක්වන ලෙස සැලකිය හැකිය. එනම් 89 වන විටදී සොල්දාදුවා මිනීමරුවෙක් වීමට එය, ජේ ආර්, ජවිපෙ, විජේවීර, මර්ධනය, සන්නද්ධ අරගලය…, වැනි අනෙකුත් සංඥා සමඟ සබඳතා දැක්විය. 2009 වන විට දී එම සබඳතා ජාලය වෙනස්වී, සොල්දාදුවා රණවිරුවෙක් ලෙස එය මහින්ද, සිංහල ජාතිය, දෙමළ හතුරා, ප්‍රභාකරන්…, යන සංඥා සමඟ නව සබඳතා ඇතිවේ. 2022 වන විට එම සබඳතා රනිල්, ගෝඨාභය, ගෝල්ෆේස් අරගලයට පහරදීම…, ලෙස වෙනස් වෙයි. තවත් නිදසුනකට මහින්ද රාජපක්ෂ යන්න 2009 දී මහරජාණන් ලෙසත්, 2015 දී හොරෙක් ලෙසත්, 2019 දී නැවත වීරයෙක් ලෙසත්, 2022දී නාකි මයිනා ලෙසත්, සංඥාව දයලෙක්තිකව වෙනස් වීමට ලක්වෙයි. මෙම ව්‍යුහයේ සිදුවන වෙනස්වීමට සංවේදී වීම, දේශපාලනයේදී උපාය මාර්ග(strategy) ගොඩනැගීම සඳහා අතිශය වැදගත් වේ. නිදසුනකට 2009 දී සිංහල සමාජය සමස්තයක් ලෙස එල්ටීටීඊ පැරදවීම සඳහා මහින්ද රාජපක්ෂ වටා ඒකරාශී විය. නමුත් පසුගිය ගෝල්ෆේස් අරගලය මොහොතේදී සිංහල සමාජය සමස්තයක් ලෙස මහින්ද රාජපක්ෂට විරුද්ධව ඒකරාශී විණි. එනම් 2009 දී එල්ටීටීඊ යට විරුද්දව ගොඩනැගුණු සමාජය නම් සමස්ථයේ කේන්ද්‍රය ලෙස පැවති මහින්ද රාජපක්ෂ, ගෝල්ෆේස් අරගල සමයේදී, 2009 දී එල්ටීටීඊ සහ ප්‍රභාකරන්ට සමාජය තුළ හිමි ස්ථානයට ඇද වැටීමයි. එවිට පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ හට, නැතහොත් දේශපාලනයේදී කිසිදු චරිතයකට positive සාරාත්මක භාවයක් හිමි නොවන බවයි. එනම් කුමන ගුණාංග හෝ දක්ෂතාවලින් හෙබි චරිතයක් වුවත්, සමාජය නමැති ව්‍යුහය තුළදී ඇද වැටෙන ස්ථානය අනුව තමන්ගේ පැවැත්ම තීරණය වන බවයි. සමාජයේ ව්‍යුහය දයලෙක්තිකව වෙනස් වන විටදී (උදා ; 2009 සිට 2022 අරගලය වනවිට ව්‍යුහයේ සිදුවන වෙනස් වීම) යම්කිසි දේශපාලන චරිතයකට හිමි ස්ථානය ද වෙනස් විය හැකි අතර, එවිට එම වෙනස් වන ස්ථානය මත ඔහුගේ/ඇයගේ පැවැත්ම තීරණය වෙයි. මෙහිදී පසක් වන තවත් කාරණයක් නම් සමාජය යනු දෙයමය ලෝකයක් නොවන අතර, භාෂාව තුළින් ගොඩනැංවෙන, කලින් කලට එම ගොඩනැංවීම දයලෙක්තික ලෙස වෙනස් වන ව්‍යුහයක් බවයි.[Fictional nature of the social – what is social and society does not exist] එනම්, සමාජය යනු භාෂාවක් ලෙස ව්‍යුහගත වී ඇත යන්නයි(The society is structured like a language).

මෙසේ වයුහයේ වන දයලෙක්තික වෙනස් වෙනස්වීම තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා 1978දී ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද “බඹරු ඇවිත්” චිත්‍රපටය දෙසට පිවිසෙමු. බඹරු ඇවිත් චිත්රපටයේ කතාව පාදක වන්නේ මුහුදු ධීවර ගම්මානයක් වටාය. මුල් අවස්ථාවේදී ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වන මුහුදු ගම්මානයක් පෙන්වයි. මෙම මුහුදු ගම්මානය නම් ව්‍යුහය තුළ එයටම ආවේණික වූ සංකේත නීතියක් මගින් එහි සිටින චරිත පාලනය වන බව අධ්‍යක්ෂකවරයා විසින් පෙන්වයි. එනම් වැල්ලේ මිනිසුන් අතර යම්කිසි වැල්ලට අදාළ වන නීතියක් ඇති අතර, ඊට අනුකූලව ඔවුන් අතර සබඳතා (relations) ගොඩනැගී ඇත. නමුත් මෙහි සිටින එක් චරිතයක් මෙම සංකේත නීතියට හසු නොවේ. එය නම් මාලනී ෆොන්සේකා විසින් රඟදක්වන හෙලන් ගේ චරිතයයි. හෙලන්ගේ චරිතය චිත්‍රපටයේ මදක් වනවිටදී වැල්ලේ සංකේත නීතිය අභිබවමින් බේබි මහත්තයා (විජය කුමාරතුංග) සමඟ හාද වෙයි. මෙම ක්‍රියාව සංකේතවත් කරනුයේ, හෙලන්ගේ චරිතය, චිත්‍රපටයේ අනෙකුත් චරිත මෙන් වැල්ලේ ඇති සංකේත නීතිය මගින් පාලනය නොවන බවයි. මීට පසුව චිත්‍රපටයේ අනිකුත් චරිත විසින් හෙලන් හට වැල්ලේ පවතින සංකේත නීතිය මතක් කර දෙන දර්ශන අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රේක්ෂක අපට පෙන්වා දෙනු දක්නට ලැබේ. නිදසුනකට එම චරිත හෙලන් හට මෙසේ පවසයි. එනම් “වැල්ලේ කෙල්ලෙක් අයිතිවෙන්නේ වැල්ලට විතරයි”, නැතහොත් “වැල්ලේ එකියක් හාද විය යුත්තේ වැල්ලේ එකකු සමඟ පමණයි” යනුවෙනි. නමුත් හෙලන් මෙම සංකේත නීතියට හසු වන්නේ නැත. මෙතැනින් පසු දැක්වෙන්නේ මුහුදු ගම්මානය නම් ව්‍යුහයේ සිදුවන බිඳවැටීමයි. [Failure] එනම් මුහුදු ගම්මානය නම් ගොඩනැංවීම තුළින්ම හටගන්නා ආත්මය(subject) බඳු හෙලන්ගේ මැදිහත්වීම නිසා මෙම ගොඩනැංවීම බිඳවැටෙන අතර, ඉන් පසු එය නව ව්‍යුහයක් කරා ගමන් ඇරඹීමයි.[In X Group this is naming as Prabha.] චිත්‍රපටයේ අවසානය වන විට දී, සියලු සියලුම මිනීමැරීම් වලින් පසු මුහුදු ගම්මානය තුළට ස්ථාපනය වන නව ”පොලිසිය” විසින් සංකේතවත් වනුයේ, පැරණි ව්‍යුහය බිඳ වැටීමෙන් පසු ගොඩනැංවෙන නව ව්‍යුහයයි.[New Structure]

දැන් අප 2004දී සිදුවන එක්ස් කණ්ඩායමේ පිපිරීම වෙතට එමු. මුල් අවස්ථාවේදී චිත්‍රපටයේ මෙන් ක්‍රියාත්මක වන ව්‍යුහයක් දිස්වෙයි. දෙවන අවස්ථාවේදී හෙලන්ගේ චරිතය මෙන් මෙම ව්‍යුහය තුළින්ම ආත්මය නම් ස්ථානයට ආදේශ වන ස්ත්‍රියකගේ මැදිහත් වීම නිසා සිදුවන ව්‍යුහයේ බිඳවැටීම දිස්වෙයි. තෙවන අවස්ථාවේදී මෙය නව ව්‍යුහයක් කරා ගමන් අරඹනු දිස්වෙයි.

Laclau.

දෙයමය ලෝකය ඉවත් වූ පසු ඇති හිස්තැන මත ව්‍යුහයක් ලෙස ගොඩනැංවෙන ඕනෑම භාෂා ගොඩනැගීමක් තුළ, ඉතිරිවන හිස්තැනෙහි ශේෂය නම් යථ (ඉහත උදාහරණ දෙකටම අදාළව නම් ස්ත්‍රියගේ ආශාව- මනමේ කුමරිය) විසින් ව්‍යුහයට දයලෙක්තික චලනයක් ලබා දෙයි. මෑතකදී දීප්ති විසින් මා වෙත මෙසේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී. එනම් “ඇයි ලංකාවේ වාමාංශයේ මෙතෙක් හිටපු කිසිම කෙනෙකුට අපි වගේ පශ්චාත්-මාක්ස්වාදය න්‍යායිකව තේරුම් ගැනීමටත්, ප්‍රයෝගිකව භාවිතා කිරීමටත් නොහැකි වූයේ?” යන්නයි. එයට පිළිතුරක් මෙසේ අපට ගොනු කල හැක. එනම් දීප්ති යනු මෙතෙක් පැවතගෙන ආ වාමාංශයේ -පැරණි වම සහ ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු ගෝත්‍රික වම- නම් ව්‍යුහයේ ආත්මය – subject- සනිටුහන් කරන අවස්ථාවයි. මෙම ආත්මයේ බලපෑම විසින් පැරණි ව්‍යුහය බිඳ දමා නව ව්‍යුහයක් කරා ලංකාවේ වාමාංශය අනාගතයේදී පිය නගනු ඇත. මෙහිදී විදර්ශන කන්නංගර සහ සුමිත් චාමින්ද යන අය කෙතරම් ලැක්ලෝ ගේ නම වේසකමේ යෙදෙව්වත් ඔවුන් අයත් වන්නේ විජේවීරවාදී ගෝත්‍රික වමටය. විප්ලවය(revolution) යනු ව්‍යුහය දයලෙක්තිකව වෙනස්කරන ආත්මය(subject) හැර අන් කවරේද?

දැන් අප මෙය, වාමාංශික දේශපාලන පක්ෂ වල කාඩර් වරුන්ට අදාළ වන සේ විමසමු. එනම් පක්ෂයක සිටින කාඩර් වරයෙකුගේ ආත්මය යනු කුමක්ද යන්න විමසමු. නිදසුනකට, මා යනු සමබිම පක්ෂයේ තරුණ පරම්පරාවට අයත් සාමාන්‍ය කාඩර් වරයෙකි. මා පක්ෂයට පැමිණෙන විට එහි ව්‍යුහය ලෙස පවතින කතිකාව තුළට මාගේ ඇතුල්වීම සිදුවේ. එනම් මෙම ව්‍යුහයේ සබඳතා අතර පවතින යම් යම්කිසි ස්ථානයකට මාවද ආදේශ වීම සිදු වෙයි. මේ නිසා මාගේ ජීවිතය ද පක්ෂයේ ව්‍යුහයට අවශෝෂණය වී ඊට අනුකූලව හැඩගැසීමට පටන් ගනී. එසේනමුත් මෙලෙස පක්ෂයේ ව්‍යුහයට සහ එහි සංකේත නීතියට පරිපුර්ණව මාව අවශෝෂණය කරගත හැකි වන්නේද? එසේ වෙතොත් සම්පුරනයෙන්ම අවශෝෂණය කරගත නොහැකි නිසා යම්කිසි ශේෂයක් ඉතිරි නොවන්නේද? එසේ නම් සත්‍ය මම යනු ව්‍යුහයට අවශෝෂණය වන සහ ව්‍යුහය තුලදී අනෙකුත් සහෝදරවරුන් විසින් හඳුනාගන්නා මමද, නැතහොත් ව්‍යුහයට සම්පුරනයෙන් අවශෝෂණය කරගත නොහැකි නිසා ඉතිරිවන ශේෂයද? ඉහත සාකච්චා කරන ලද කරුණු වලට අනුව, ව්‍යුහය තුලට සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගත නොහැකි යම් කිසි කිසි ශේෂයක් ඉතිරි වීම සිදුවෙයි. එවිට සත්‍ය මම යනු නැතහොත් ආත්මය යනු ව්‍යුහයේ සබඳතා අතර පවතින මම නොවන අතර ව්‍යුහයේ සංකේත නීතියට හසු නොවී ඉතිරිවන ශේෂයයි(real). එනම්.ආත්මය යනු පක්ෂයේ සංකේත නීතියට අදාළව පක්ෂය තුළදී හෝ ඉන් පිටතදී හැසිරෙන හෝ පාලනය වන මාගේ ජීවිතය නොවන අතර , මාගේ ජීවිතය තුළම පවතින, එහෙත් පක්ෂයේ සංකේත නීතියට හසු නොවන, මතුපිටින් පැවතියත් විශ්ලේෂකයෙකු ගේ ඇසකට පමණක් හසුවන, එමනිසා සැඟව යන ජීවිතයයි.

දැන් අපට මෙම ලිපියෙහි හැඳින්වීම කොටසෙහි සඳහන් කරන ලද ප්‍රශ්නය සමග සම්මුඛ වීමට පුළුවන්. එනම් මෙලෙස දේශපාලනය කරන අපගේ ජීවිත වල දේශපාලනය සඳහා වැය වන ජීවිත කාලය සඳහා අර්ථයක් තිබේද යන්නයි. නිදසුනකට මා තුල පක්ෂයට සම්බන්ධ වීමෙන් පසු, එක් ව්‍යුහයක් බිඳවැටී නව ව්‍යුහයකට ඇතුළු වෙන්නාක් මෙන් වෙනසකට ලක් විණි. එනම් පක්ෂ කාඩර් වරයෙකු ලෙස මා දැන් ගත කරන ජීවිතය සහ ඊට පෙර ගත කළ ජීවිත අතර පැහැදිලි ඛණ්ඩනයක් ඇති බවයි. මෙම පෙර ගත කළ ජීවිතය හිස මත පැටවූ බරක් මෙන් එකිනෙකට සම්බන්ධ වූ සිදුවීම් ජාලාවක මතකයන් ලෙස පවතී.

මනෝවිශ්ලේෂණයට අනුව පුද්ගලයෙකුගේ අතීතයට ඇති එකම වටිනාකම වනුයේ එය තුලින් ආත්මය දෙසට පිවිසිය හැකි දොරටුවක් විවර කරගත හැකි නම් පමණි. නැතිනම් එම මතකයන් යනු අපගේ හිස මත බරක් ලෙස පවතින කුණු කන්දල් පමණි. සන්නස්ගල සහ නිරමාල් විසින් කරන ලද යූටියුබ් වීඩියෝව තුළ ඔවුන් දෙදෙනාගේම මතකයන් දිගහරිණු දක්නට ලැබේ. විශ්ලේෂකයෙකුගේ ඇසකින් එය නැරඹුවහොත් ඔබට පසක් වනුයේ ඔවුන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන කතා යනු, දෙදෙනා විසින්ම ඔවුන්ගේ ආත්මයන් මගහරිමින්, එක් සිදුවීමකින් තව සිදුවීමකට, එම සිදුවීමෙන් තවත් සිදුවීමකට ලෙස වන හුදු සබඳතා ජාලයක් පමණක් වනු බවයි. සන්නස්ගලට අමතක වන්නේ, ඔහු සිතන අන්දමට ඩිජිටල් අවකාශයේ සංරක්ෂණය කර තබා ගත යුතු යැයි සිතන ඔහුගේම මතකයන් යනු, හුදෙක් කුණු කන්දල් පමණක් වන බවයි. ඔහුගේ මෙම බරැති කුණුකන්දල් වලින් නිදහස් වීම සඳහා ඔහු දරන උත්සාහයන් මගින් සිදුවන්නේ තව තවත් ඔහුගේ හිස මතට කුණු එකතු වීම පමණි. ව්‍යුහවාදයට අනුව, නිරමාල් සහ සන්නස්ගලගේ මෙම ක්‍රියාව සමාන වන්නේ, තමන්ගේම කුණුගොඩක් තුළ ගුල් හාරමින් සක්මන් කරමින් සිටින මීයන් දෙදෙනෙකුගේ ක්‍රියාවකටය.

මෙම ලිපිය කියවන අනෙකුත් වාමාංශික පක්ෂ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන් විසින් දේශපාලනය උදෙසා ගෙවා දැමූ කාලය හට පෙරළා වටිනාකමක් ලබාදිය හැකි දර්ශනයක් හෝ විද්‍යාවක් ඔබගේ පක්ෂය තුළින් ඔබට දායාද වනවාද යන්නයි. නැතහොත් ඔබලාගේ ගෙවී ගිය ජීවිතයට ලැබෙන වටිනාකම කුමක්ද යන ප්‍රශ්නය ඔබලාගේ පක්ෂ නායකයන් වෙතට ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසයි. ඔවුන් ඔබට මෙසේ පිළිතුරක් ලබා දෙනු ඇත. එනම් ධනවාදය අවසන් වනතුරු හෝ අහවල් පාලක පන්තිය අවසන් වනතුරු, කිසිවෙකුගේ ජීවිතයකට අර්ථයක් හෝ අපෙන් අහිමි වී ඇති විනෝදය නොලැබෙන බවය. එවිට අපට ඇසීමට ඇති ප්‍රශ්නය වනුයේ, මෙම සුපුරුදු පිළිතුර මත මෙතුවක් කල් ගෙවා දැමූ ජීවිතය ඉදිරියටත් ගෙවා දැමීමට ඔබ සූදානම්ද යන්නයි.

සමබිම පක්ෂයේ පොඩි එකා

නොහොත් මිහිරාන් ජයසිංහ.

ඔබේ අදහස කියන්න...