පහතින් පළ කළ ඇති ලිපිය මා (සමබිම පක්ෂයේ පොඩි එකා) විසින් මීට අවුරුද්දකට ඉහත දී ‘ගැලීලියෝ’ ෆේස්බුක් පිටුව සඳහා ලියන ලද ලිපියකි. මෙම ලිපිය තුළින් සාකච්ඡා වන්නේ ව්‍යුහවාදයේ එන “සංඥාව , sign” යන සංකල්පය පිළිබඳවයි. අප විසින් නැවත නැවත සංඥාව සහ ව්‍යුහවාදය පිළිබඳ මූලික කරුණු සාකච්ඡා කිරීම උදෙසා වන කරුණු සාධාරණීකරණය කළහොත් ඉන් පළමුවැන්න ලෙස පෙන්විය හැක්කේ ව්‍යුහවාදය සහ ප්‍රපංචවේදය [Phenomenology] අතර ඇති මූලික වෙනසයි. සෝෂියර්ගේ සංඥාව යනු ප්‍රපංචවේදයේදී හමුවන “ප්‍රපංචය” [phenomena] යන්නට වෙනස් ව එහිම තුළ වූ සාරයක් නොමැති negative දෙයකි. සෝෂියර්ගේ සංඥාව එහිම තුළ වූ සාරයක් ඇති positive දෙයක් ලෙස ගතහොත් එය අපට හුසල්ගේ ප්‍රපංචවේදයේ එන ‘ප්‍රපංචයට’ සමාන කළ හැක. නමුත් සංඥාව යනු ප්‍රපංචය නොවේ.

අපට අනුව ලාංකිකයාගේ සිතීම යනු සැමවිටම මෙම හුසල්ගේ ප්‍රපංචවේදයට සමානකම් දක්වන්නකි. එනම් සංඥාව, සාරයක් ලෙස ගැනීම ලෙස දැක්විය හැක. එම නිසා නිසා ලාංකිකයන් විසින් බටහිර න්‍යායන් ඉගෙන ගැනීමේදී – ex; විජේවීර රුසියාවේදී මාක්ස්වාදය ඉගෙන ගැනීම, සුමිත් චාමින්දගේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය, සමන් පුශ්පකුමාර මනෝවිශ්ලේෂණය අතහැර ජිජැක් පිළිබඳ කතා කිරීම, සුනිල් විජේසිරිවර්ධනගේ ව්‍යුහවාදය ස්වභාවධර්මය යනුවෙන් සාරයකට සම්බන්ධ වීම – ඔවුන්ගේ මෙම ප්‍රපංචවේදී සිතීම මූලික වෙයි.

එපමණක් නොව ව්‍යුහවාදය පවා අද වන විට දී සමහරුන් විසින් සාරයක් මත පිහිටන ප්‍රපංචවේදී සිතීම මූලික කරගනිමින් වහරයි. ආචාර්ය නිම්මි මැණිකේ විසින් ඩෙරීඩාගේ විසංයෝජනයේ ඇතැයි සිතන සාරයක් ”philosophy ” තුළ දැකීම මීට එක් උදාහරණයකි. [Self and other as phenomena ] ව්‍යුහවාදී සිතීම ලංකාවට අලුත් දෙයකි. ලංකාවේදී දේශපාලනය සඳහා බටහිර න්‍යායන් භාවිතා කිරීමට යාමේදී මෙම ව්‍යුහවාදී සිතීම [Structuralist Thinking] ඉතා වැදගත් වෙයි. නැතහොත් සිදුවන්නේ රෝහණ විජේවීර කළාක් මෙන් හේගල්,කාන්ට් අතහැර ඒ වෙනුවට බුදදහම තුළින් මාක්ස්වාදය තේරුම් ගැනීමට යාම වැන්නකි.



දෙවැන්න යනු, අපගේ පක්ෂයේ භාවිතාවන දර්ශනය සඳහා ව්‍යුහවාදය මූලික වී ඇති වීමයි. එහිදී අපගේ මූලික විචාරය වනුයේ අත්දැකීමට වඩා භාෂාව ප්‍රාථමික වන බවයි. ලාංකිකයා අදටත් හිතන්නේ බාහිර යථාර්ථයේ ඇති වස්තුවක් අප වටහා ගන්නේ අත්දැකීම මූලික කරගෙන බවයි. නමුත් ව්‍යුහවාදයට අනුව සිතන්නා බාහිර යථාර්ථය ඇති වස්තුවක් සමග සම්බන්ධවීමේදී ඔහුට වස්තුවක් හමු නොවන අතර හමුවන්නේ භාෂාව විසින් නිර්මිත සංකල්පයක් පමණි(මෙහිදී භාෂාව යනු වෙනස්කම් වල එකතුවක් වන අතර කතා කරන සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවන් නොවේ). මෙම සංකල්පයට යම්කිසි ස්වාමි හැඟවුම්කාරකයක් (master signifier) විසින් අර්ථය තීන්දු වෙයි.

Deep / surface.


ධනුෂ්ක ගුණතිලක එම ඕස්ට්‍රේලියානු ගැහැණියත් සමග සිදු වූ හමුවීමෙන් පසු තම හොටෙල් කාමරය වෙත යද්දී, ඔහු තුළ එම බාහිර යථාර්ථයේ හමුවූ වස්තුව (එම ගැහැනිය) පිළිබඳ ඇති අත්දැකීම යනු “ලිංගික හමුවක් සඳහා වූ සුදු ගැහැනියක්” යන්නයි. ධනුෂ්ක ගුණතිලක ට මෙම අත්දැකීම ගොඩනංවන හැඟවුම්කාරක ගොනුවෙහි ස්වාමි හැඟවුම්කාරකය වන්නේ ”Pornhub” වෙබ් අඩවියයි. ඔහුට අනුව සුදු ගැහැණුන් යනුවෙන් කුලකයක් ඇති අතර එම කුලකයේ සිටින ගැහැනුන් ”deep throat” සැප අයදමින් සිටියි. නමුත් අද වන විටදී එම ගැහැනිය ඔහුගේ ජීවිතය වෙනස් කරන ගැහැනිය බවට පත්වී ඇත. මෙම අවස්ථා දෙකේදී ඇත්ත ගැහැණිය සිටින්නේ කුමන අවස්ථාවේ ද? මෙම අවස්ථා දෙකේදීම ගැහැණිය යනුවෙන් අපට හමුවන අත්දැකීමක් නොමැත. මෙසේ සිතන්නා වෙත හමුවන වස්තුව යනු හැඟවුම්කාරක මත ගොඩ නැගෙන්නක් වන අතර එම හැඟවුම්කාරක වලට අර්ථය යම්කිසි ස්වාමි හැඟවුම්කාරකයක් විසින් තීන්දු කරයි.

අප විසින් ලංකාවේ අර්බුදය යන්න කුමක්ද යන්නට සාදාගන්නා උත්තර යනුද එවැනි හැඟවුම්කාරක මූලික කරගනිමින් ගොඩනැගී ඇති සංකල්පයි. අපට අනුව ලංකාවේ අර්බුදයට සම්බන්ධ මූලික ප්‍රශ්නයක් වනුයේ යම් කිසි පුද්ගල කණ්ඩායමක් නොව සමස්ථ රාජ්‍ය පද්ධතියයි. අපට අනුව ලංකාවේ රාජ්‍ය පද්ධතිය බිඳ වැටී ඇත. රාජ්‍ය ගොඩනැගීම යනු රාජ්‍යයට අදාල ස්වාමි හැඟවුම්කාරකය නැවත පිහිටුවීමයි. මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ගුරුවරුන්ගේ සාරි ප්‍රශ්නය සහ පොලිස් නිලධාරිනියන්ගේ බෙල්ලෙන් ඇල්ලීමේ ප්‍රශ්නය තේරුම් ගැනීමේදී අප එය වටහා ගත යුතු වන්නේ රාජ්‍යට අදාල ස්වාමි හැඟවුම්කාරකයට අනුකූලව මිස තම තමන්ගේ පෞද්ගලික මතයන්ට අනුව නොවේ. චමීර දෙද්දුවගේ වැනි අය “ගැහැනියට සාරිය ඇඳීම අපහසු දෙයක්” යනුවෙන් පැවසීම ඔහුගේ පෞද්ගලික මතයක් මිස එය රාජ්‍යයට අදාල දෙයක් නොවේ. තවද “ගුරුවරියකගේ සාරය ඇත්තේ ඇඳුම තුළ නොව එම ගැහැණිය තුළයි” යන්න ඔවුන් ගේනා තවත් තර්කයකි. ගැහැනියකගේ සාරිය තුළ සාරයක් නොමැති බව හොඳටම දන්නෙ අපයි. නමුත් “‘සාරියට යටින් ඇති ගැහැණු ශරීරය තුළ සාරයක් ඇත” යන්න සිතීම හුදු ලාංකිකයන් තුල ඇති දෘෂ්ටිවාදයක් පමණි. “ගැහැණිය” යනුවෙන් සාරයක් හෝ අත්දැකීමක් නොමැති අතර එසේ සොයන අය නතර විය හැකි එක් ඉරණමක් වනුයේ ධනුෂ්ක ගුණතිලකට අත්වූ ඉරණමයි. කුඩා ළමයෙකුට ගුරුවරයා යනු අත්දැකීමක් හෝ සාරයක් නොවන අතර එය සංඥාවක් පමණකි. ගුරුවරුයකගේ කාර්යය විය යුත්තේ තමන්ගේ පහසුව තකා නොව එම සංඥාව වෙනුවෙනි.

පොලිස් නිලධාරිනිය සම්බන්ධ ප්‍රශ්නයේදීද ලංකාවේ වාමාංශිකයන් බොහෝමයක් සිතන්නේ “අර තඩි මිනිහා මෙහෙම බෙල්ලෙන් අල්ලද්දි මේ පොලිස් ඇඳුමට යටින් සිටින අහිංසක ගැහැනියට කොච්චර රිදෙන්න ඇද්ද?” වැනි ආකාරයන්ට ය. නමුත් ප්‍රශ්නය වනුයේ පොලිසිය වැනි රාජ්‍ය ආයතනයක මෙවැනි ලාමක,ඔතෑනි, අහිංසක ගැහැණු ලමුන් සේවය කරන්නේ කෙසේද යන්නයි. අද වන විට “ගැහැනුන් යනු ලාමක, අහිංසක, මල් වගේ විය යුතුය “යන ලාංකික පිරිමි ෆැන්ටසිය ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන පොලිසිය තුළට ද ආදේශ වී ඇත. අප අනෙකුත් ලංකාවේ වාමාංශිකයන් මෙන් මෙම හුදු ලාංකික පිරිමි ෆැන්ටසි වෙනුවෙන් පෙනී නොසිටින අතර අප පෙනී සිටින්නේ ලංකාවේ රාජ්‍යය තුළ ඊට අදාළ වන ස්වාමි හැඟවුම්කාරකය පිහිටුවීම වෙනුවෙනි.

පහත දැක්වෙන ලිපිය තුළින් ව්‍යුහවාදයේ එන සංඥාව පිළිබඳ මූලික අදහසක් ලබාගත හැක. (නමුත් එවකදී එම ලිපිය ලිවීමේ දී මා විසින් සිදු වූ එක් වැරැද්දක් මෙහිදී පෙන්වා දිය යුතුය. එනම් සංඥාව පිළිබඳ සංකල්පය ඕනාවටත් වඩා සරල කිරීමට දරා ඇති උත්සාහයයි. දර්ශනය යන්න දේශිය කටවහරකට හැරවීම නොකළ යුතු දෙයකි).

මෙහිදී තවත් දෙයක් ද මතක් කළ යුතුය. දර්ශන අශෝක කුමාර  මීට මාස තුනකට පමණ පෙර අප වෙත විවේචනයක් එල්ල කර ඇත. ඔහු විසින් පැවසුවේ මා විසින් සෝෂියර්ගේ සංඥාව negative යන්න පැවසීම සදොස් බවත් එය positive සාරයක් සහිත දෙයක් බවත්ය. එහිදී මා විසින් ඔහුට කළ අභියෝගය වන්නේ සෝෂියර්ගේගේ සංඥාව පොසිටිව් වන්නේ කෙසේද හා එය ඩෙරීඩා ට සම්බන්ධ වන ආකාරය ලිපියකින් පැහැදිලි කරන ලෙසයි. එම අභියෝගය ඔහු විසින් භාර ගන්නා ලදී. නමුත් අද වනතුරු වන තුරු එයට ඔහු විසින් පිළිතුරු ලිපියක් ලබාදී නොමැත. ඔහුගෙන් තවමත් පිළිතුරක් නොමැති නිසා ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනයේ ගුරුවරුන් වන සමන් පුෂ්පකුමාර සහ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි වෙත මෙම අභියෝගය භාරගන්නා ලෙස මම ආරාධනා කරමි. ඔබගේ ලිපිය අපගේ ත්‍රිමාණ අඩවියේ පළ කරනු ඇත.

සමබිම පක්ෂයේ පොඩි එකා ( 18,11,2022)

ලිපිය පහතින්…

විවාදයට විවෘතය.

ලාංකික තරුණ්‍යයේ සමකාලීන පරමාදර්ශයන් අලුත් විදිහකට කියවීම. (2021 ඔක්තෝම්බර් 22)
—————————————————————-

ටිකක් දිගු විරාමයකට පසු නැවතත් ලිවීම පටන් ගත්තා. දැනට පළමු ලිපි පෙළෙහිම දිගුවක් තමයි මේ ලිපියත්. පුළුවන්නම් කලින් ලිපි නැවත කියවා මෙය කියවන්න. “ව්‍යුහය යනු කුමක්ද?” යන්න සාකච්ඡා කිරීමෙන් පසු දැන් එන්නේ ව්‍යුහවාදයේ මූලික තැනුම් ඒකකය වන “සංඥාව, Sign” යන්න සාකච්ඡා කිරීමටයි.


“සංඥාව” යන සංකල්පය මුලින් ඉතා ගැඹුරු සංකල්පයක් ලෙස පෙනුනත් හරියට වැටහුනොත් ගොඩක් ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් දෙයක්. මොකද මේකෙන් විස්තර කෙරෙන්නේ අපේම Thinking process එක වැඩ කරන විදිහ. අපි දැන් විවිධ දේවල් ගැන හිතන එක මොහොතකට නවත්වලා “හිතනවා” යන්න ගැන හිතමු. ඇත්තටම “හිතනවා” කියන්නේ කුමක්ද?

අපි මූලික ආරම්භයක් විදිහට අද ලිපියෙන් ටිකක් සරලම දේවල් ටිකක් ගැන කතා කරමු. අපි දැනටමත් දන්නවා එළියේ තියෙන දේවල් අපේ මනසට සම්බන්ධ වෙන්නේ අපේ පංචේන්ද්‍රියන් (ඇස, කන, නාසය, දිව, ශරීරය) හරහා කියලා. අද ටිකක් එතනින් පොඩ්ඩක් එහාට ගිහින් බලමු. මූලික ප්‍රවේශය සඳහා මම මුලින්ම ඉගෙන ගද්දි මගේ ගුරුවරයා විසින් අතිශය මෝඩ මට මෙය සරලව තේරුම් ගැනීම සඳහා ඔහු විසින් යොදා ගන්නා ලද උදාහරණය මමත් මෙහිදී භාවිතා කරනවා. ඒ තමයි “අඹ ගස” යන්න. ඔබත්, මමත් අඹ ගස හොඳට දන්නවා. අඹ කාලත් තියෙනවා. නමුත් ඔබ අඹ ගස යන්නට අර්ථය (meaning) හැදෙන්නේ කොහොමද, එහෙම නැත්තන් අඹ ගස යන්න ඔයාගේ thinking process එකට සම්බන්ධ වන්නේ කොහොමද කියලා කවදාවත් කල්පනා කරලා තියෙනවද? (“නැහැ. පිස්සුද? ඊට වැඩිය වැදගත් වැඩ අපිට තියෙනවා”). ඔබට කවුරුහරි “මම ඔයාට ගොඩක් ආදරෙයි, මම ඔයත් එක්ක මැරෙනකම් දිගටම ඉන්නවා” කියලා කියද්දි කවදාවත් ඒකට අර්ථය නිපදවෙන්නේ නැත්නම් ඒක ඔයාගේ thinking process එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? (“හොඳටම පිස්සුද? කවදාවත් නැහැ. එහෙම කරානම් එයා කවදාහරි මාව දාලා යන වෙලාවට මට වේදනාවක් දැනෙන්නෙ නැතුව යනවනේ”).
හරි, අපි දැන් මොහොතකට මෙය පිළිබඳ සිතා බලමු. අපි එළියේ තියෙන අඹ ගසක් දැක්කහම ඒක ආලෝක කිරණයක් හරහා මොළයට සම්බන්ධ උනාට, අපේ මනසට එද්දි එය සම්බන්ධ වෙන්නේ අපි භාවිතා කරන භාෂාව හරහා. එහෙමත් නැත්නම් සංඥාවක් හැටියට. මේකට කොටස් 2 ක් තියෙනවා.

1. හැඟවුම්කාරකය (signifier) ; ඒ කියන්නේ අපි “අඹ ගස” කියලා උච්චාරණය කරන්න පුළුවන් වචනය
2. හැඟවුම (signified) ; ඒ තමයි “අඹ ගස” කිව්වාහම අපේ මනසේ ඇතිවන මානසික ප්‍රතිරූපය (mental image).

දැන් මේ දැනුම ඔබලාගේ වටේ තියෙන හැමදේකටම apply කරලා බලන්න. ඔබ වටේ තියෙන අත්විඳින හැමදෙයක් යටම වචනයක් (හැඟවුම්කාරකයක්) තිබේද යන්න බලන්න. ඔබ තේ කෝප්පයක් ඇල්ලුවහම සම හරහා ස්නායුවක් දිගේ මොළයට එම පණිවිඩය ගියාට මනසට එද්දි එන්නේ “රස්නෙයි” කියන වචනය නොවේද?
ඔබට බඩගින්නක් දැනෙන විටදී ඔබ සාමාන්‍යෙයන් කරන්නේ ආහාරයක් සපයා ගැනීමයි. නමුත් එවැනිම බඩගින්නක් දැනෙන උපවාසයක නිරතවෙන උද්ඝෝෂකයෙකු කරන්නේ කුමක්ද? එනම් තවදුරටත් නිරාහාරව සිටීමයි. අපි දැන් මෙම අවස්ථා දෙකේ දී සිදුවන මානසික ක්‍රියාවලීන් දෙක වෙත හැරෙමු. පළමුව, ඔබට බඩගින්නක් දැනේ. එනම් ඔබගේ මොළය විසින් බඩගින්න සංවේදනයක් ලෙස හඳුනා ගනී. ඔබ එයට ප්‍රතික්‍රියා කිරීමට නම් එය මනසට පැමිණිය යුතුය. මනසට පැමිණෙන්නේ වචනයයි. බටය දිගේ ටැංකියෙන් ටැප් එක වෙතට වතුර ආවට, ටැප් එක ඇරියහම එළියට වැටෙන්නේ වචනයි. “ආ….. බඩගිනි වගේ, දැන් මොනවාහරි කෑවනම් හරි. මොනවද කන්නේ? හරි අද කොත්තුවක් කමු.” දැන් අපි උපවාස කරන්නා වෙත හැරෙමු. ඔහුටද මෙවැනිම බඩගින්නක් දැනේ. මොළයට පණිවිඩයක්ද යයි. නමුත් ඔහුගේ මනසට එන වචන කුමක් විය හැකිද? ඔහුටත් එන්නේ එකම බඩගින්න උනාට ඔහුගේ මනසට එන වචනත් පෙර අවස්ථාව පරිදිම විය හැකිද? එසේ නම් වැඩි බලයක් තියෙන්නේ අර දැනෙන සංවේදනයට වඩා මනස තුල ඇති වචන වලට නොවේද? ලිංගික හැසිරීමක් තුලදී ලිංගික අවයව ස්පර්ශ වෙන වෙලාවේ දී එම සංවේදනය වන ස්පර්ශයන්ද ප්‍රාථමික නැත්නම් මනස තුල ඇති‍වෙන මානසික ප්‍රතිරූප (mental images) මවන වචනද ප්‍රාථමික?


අපි දැන් එළියේ තියෙන අඹ ගසේ ඉඳන් “අඹ ගස” කියන සංඥාවට ආවා. ඒ කිව්වේ එළියේ තියෙන අඹ ගස අපි සංඥාවකට හරවලා අපේ thinking process එකට සම්බන්ධ කරගන්නවා කියලා. දැන් අපි ආපස්සට යන්, ඒ කිව්වේ “අඹ ගස” කියන සංඥාවේ ඉඳලා එළියේ තියෙන අඹ ගසට (විමර්ශකයට). ඇත්තටම අපිට එහෙම එළියේ තියෙන අඹ ගහට යන්න පුළුවන්ද? “අඹ ගස” කියන සංඥාවට අර්ථයක් එන්නේ අර අපි එළියේ තියෙනවා කියලා හිතෙන අඹගස (presence, විද්‍යාමානය) කියන සංකල්පය තුලින් පමණද?
දැන් මම එන්නේ අද ලිපියේ මාතෘකාව අදාල වන උදාහරණය වෙතට. ඒ තමයි අපේ කාලයේ සමාජ ක්‍රියාකරුවන් කොහොමද මේ “සංඥාව” කියන concept එකට අනුව වටහාගන්නේ කියලා. අද කාලයේ ඕනෑම පුද්ගලයෙකුට Facebook වැනි සමාජ මාධ්‍ය නිසා කාමරයෙන් එළියටවත් යන්නේ නැතිව රටක් දන්නා සමාජ ක්‍රියාකාරකයෙකු බවට ඉතා සුළු කාලයක් තුලදී පත්විය හැකියි. සහන් කසීර වික්‍රමසිංහ යනු එසේ facebook තුලින් උඩට ආ සමාජ ක්‍රියාකරුවෙකි. දැන් අපි අඹ ගස යන විමර්ශකයේ සිට “අඹ ගස” යන සංඥාවට යමු. එනම් සහන් කසීර යන විමර්ශකයේ සිට “සමාජ ක්‍රියාකාරක සහන් කසීර” යන සංඥාවට යමු.
සහන් කසීර සමාජ ක්‍රියාකරුවෙකු වන්නේ facebook තුල සිදුකරන ඔහුගේ ලිවීම් හරහා පමණි. මොකද මොහුට කථනය සඳහා වන චතුර හැකියාවක් නොමැත. නමුත් මොහුගේ ලිවීම් ඉතා සිත්ගන්නා සුළු වන අතර පාඨකයන් එයට වශී වෙයි. මොහුගෙන් බොහෝ විට සිදුවූයේ සිවිල් සමාජයේ ප්‍රසිද්ධ චරිතයන් විසින් සිදුවන වැරදි යැයි සිතෙන දෑ විවේචනයට ලක්වීමයි. පවතින රජයන්ගේ අසමත්කම් වලට මොහුගේ Facebook ලිවීම් හරහා විනිශ්චයන් (judgment) ලැබීම නිතර සිදුවුණි. මොහුගේ සිත්ගන්නා සුළු Facebook ලිවීම නිසා ඉතා විශාල audience එකක් (සාමාන්‍ය ජනයාගේ සිට සිවිල් සමාජයේ බුද්ධිමතුන් යනුවෙන් හඳුනාගන්නා පිරිස දක්වා පරාසයක විහිදුණු) මොහු වටා සෑදුණි. මොහුට Facebook තුල සිටිනා followers සංඛ්‍යාව 23000 ඉක්මවයි. සමාජය තුල හිස්තැනක්ව තිබුණු දෙවියන්ගේ නැත්නම් හරි වැරැද්ද කියාදෙන්නාගේ ස්ථානයට මොහු ඉතා සුළු කාලයක දී ආදේශ විය. (සහන් කසීර නමැති පුද්ගලයා (විමර්ශනකය) “සමාජ ක්‍රියාකාරක සහන් කසීර” නමැති සංඥාව බවට පත්වීම.)

දැන් අපි සංඥාවේ සිට විමර්ශකය වෙතට යමු. නමුත් එසේ ආපස්සට යා හැකිද? එනම් අපගේ මනසට සම්බන්ධ වූ සංඥාව, එනම් ඉහත විස්තර කර පරිදි “සහන් කසීර නම් වූ සමාජ ක්‍රියාකරුවා” සිට විමර්ශකයට යද්දී එවිට යථාර්ථයේ අපට සහන් කසීර ලෙස හමුවන පුද්ගලයා එලෙස අප හඳුනාගත් පරිදි වන සමාජ ක්‍රියාකාරකයෙක්ද? “අඹ” යන සංඥාවට අර්ථය ලැබෙන්නේ අඹ යනුවෙන් අපට විද්‍යාමාන වන දෙයින් නැත්නම් අඹ කියන presence එකෙන් කියා අපට සිතේ. නමුත් ව්‍යුහවාදයට අනුව යමක අර්ථය නිපදවීමට එය නොවන දෙයද දායක වේ. “අඹ” යන්නට අර්ථය ලැබීමට අඹ නොවන දේ ද අවශ්‍ය වෙයි. (නිදසුනකට අඹ හා අනෙක් පළතුරු තනි තනිව ගත් කළ ඒ අතර ඇතිවන වෙනස්කම් වල එකතුව). මෙය අප තුල ඇති “අඹ” යන presence එක තුලම පවතින අපගේ තර්කනයෙන් සැමවිටම ගිලිහී යන absence (අවිද්‍යාමානය) එකයි. “අඹ” යන්නට අර්ථය ලැබීමට මේ දෙකම අවශ්‍ය වන අතර අර්ථය ලැබෙන්නේ මේ දෙකෙන් කුමකින්ද යන්න හරියටම තීරණය කළ නොහැක. (undecidable).

එනම් සංඥාවේ සිට විමර්ශකයට යන විටදී සෑම විටම ඒ දෙක අතර හිස්තැනක් (gap එකක්) පවතී. සහන් කසීරගේ සිත්ගන්නා සුළු ලිවීම් නිසා ඔහුට facebook තුල විශාල මිතුරන් පිරිසක් හමුවේ. මේ බොහෝ මිතුරන් සහන් කසීර සමඟ සම්බන්ධ වන්නේ ඉහත කී සංඥාව හරහාය. (සමාජ ක්‍රියාකාරක සහන් කසීර). ඔවුනට අමතක වන දෙය නම් මෙම සංඥාව සහ විමර්ශකය අතර gap එකක් තිබිය හැකි බවයි. සහන් කසීර විවිධ හේතුන් සඳහන් කරමින් Facebook මිතුරන්ගෙන් මෙම සංඥාව ඇපයට තබා මුදල් ණයට ලබා ගනී. සංඥාව සමඟ අනන්‍ය වී මුදල් ලබාදුන් මිතුරන්ට නැවත මුදල් නොලැබෙන විට සංඥාව සහ විමර්ශකය අතර gap එකක් තිබී ඇති බව පසුව වැටහී යයි. මුදල් නොදුන්, නමත් සංඥාව සමඟ අනන්‍ය වූ අනිත් අයද මේ නිසා දැඩි අර්බුදයකට යයි. අර්බුදය නම් සහන් කසීර පිළිබඳ ගොඩනගාගත් විශ්වාසය කඩවීම නිසා ඔවුන් තුළ ඇති වූ වේදනාවයි. නමුත් ඇයි අප එසේ සංඥාවන් සමඟ අනන්‍ය වන්නේ? යමෙකු ආදරෙයි යැයි පැවසු විට අප සියළු පරීක්ෂණ පවත්වා ඔහු පවසන්නේ සත්‍ය යැයි තහවුරු කරගෙන එය සමඟ අනන්‍ය වන්නේ ඇයි? එසේ වන්නේ පසුව එසේ අනන්‍ය වීම නිසාම අත්වීමට නියමිත වේදනාව නිසාද?
(මෙය තිස්ස ජනනායක, දිනේෂ් මුතුගල, පැතුම් කර්නර් සිට අනුර කුමාර දිසානායක වැනි සංඥාවලටද අදාලයි ).

අප පවතින ක්‍රමයට සම්බන්ධ වන්නේ ද මෙසේ නොවේද? අපට පවතින ක්‍රමය විසින් යෝජනා (suggest) කරන දේට අප සිතන්නේ බලන්නේ නැතිව අනන්‍ය නොවන්නේ ද? මට පහළ මැද පාන්තික (Lower middle class) යාළුවන් ඇත. ඔවුනට උපාධි ඇත. නමුත් මුදල් නොමැත. ඔවුන්ට අනුව සාර්ථක වීම යනු ලොකු තට්ටු දෙකේ ගෙයක්, සුපෝගබෝගී වාහන දෙක තුනක් කවදා හෝ අයිති කරගැනීමය. (උන්නතිකාමය). නමුත් ඔවුන් නොසිතන්නේ ඔවුන්ගේ සමාජ ස්තරයේ සිටින බහුතරයක් සිතන්නේද මේ ආකාරයටමය යන්නයි. ඔවුන්ගෙන් කවුරුත්වත් “ඇයි අපට මෙසේ සිතෙන්නේ?” යන ප්‍රශ්නය නොඅසයි. ඔවුන් පවතින ක්‍රමය විසින් ලබාදෙන සංඥා වල විද්‍යාමානයන් (presence) සමඟ අනන්‍ය වී ඇත. නමුත් පවතින ක්‍රමය ඇත්තේ ඒවායේ අවිද්‍යාමානය (Absence) තුලයි. පහළ මැද පාන්තික තරුණයන්ට ඇත්තේ බාහිර බාධාවන් නිසා ඇතිවන වේදනාවන්ය. (උදා :- මුදල් අගහිඟකම් නිසා වැඩි භාණ්ඩ පරිභෝජනයට ඇති අපහසුව). ඔවුන් පරිකල්පනය කරන්නේ මෙම බාහිර බාධාව නැති වූ විට ඉහත කී වේදනාවද නැතිව යනු ඇති බවයි. මෙය පවතින ක්‍රමය විසින් යෝජනා කර ඇති විසඳුමක් නොවන්නේ ද? (presence). ඇත්තටම සුවිසල් නිවසක් සහ වාහන ඇති අයෙකුට එසේ නැති අයෙකුට නැති වඩා විනෝදයක් අත්වනවාද? (Absence). මෙයින් සිදුවන්නේ තව තවත් පවතින ක්‍රමය වෙනස් නොවී නඩත්තු වීම නොවේද?
මම කරමින් සිටින්නේ ද සහන් කසීර වැනි Facebook ලිවීමකි. නමුත් මෙයින් මට අනන්‍යතාවයක් ගොඩ නැගෙන්නේ නැත. එම නිසා මෙය “හෑලි ලිවීමක්” නොවේ. මාව, මාගේ ලිපි කියවන පාඨක ඔබට ග්‍රහණය වන්නේ කුමන සංඥාවක් ලෙස ද යන්න මා දන්නේ නැත. එය කුමක් වුවත් එය සමඟ අනන්‍ය වීම නොකරන්න. එයට Absence එකක්ද ඇති බව සිතන්න. එවිට අප අතර ඇති සම්බන්ධය වේදනාකාරී එකක් නොවනු ඇත. මා මෙසේ ලිවීම හරහා මා ඔබට වඩා වැඩි දෙයක් ලබමින් සිටින්නේ නැත. මා තුලද අර්බුදයන් පවතී. මා සටන් කරන්නේ ඒවා සමඟයි. එනම් මා සමඟයි. එහි සාර්ථක/ අසාර්ථකභාවය කාලය විසින් තීරණය කරනු ඇත. අපි සමාජය වෙනස් කිරීමට ප්‍රථම අප වෙනස් වෙමු. එවිට සමාජයද වෙනස් වනු ඇත. අප ව්‍යුහවාදය ඉගෙනගත යුත්තේ එය සඳහායි.

ව්‍යුහවාදය (Structuralism)
ලිපියට අදාල වූ චින්තකයින් (Jacques Derrida)

සමබිම පක්ෂයේ පොඩි එකා.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මම ෆේස්බුක් පල කරන බොහෝ දේවල් පබ්ලික් දමන්නේ නැත. එසේ බොහෝ කියවන්නන් පිරිසක් සමග අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමෙන් වැලකි සිටිමු. සහන කසිර පමණක් නොව බොහෝ අය ලයික් දමා මුදල් ඉල්ලා සිටිති. වර්තමානයේ අප දමන පෝස්ට් එක හැඟවුම් කාරකය වී ලයික් දමන අය හැඟවුම වෙනවද? කොහොම වුනත් හොඳ සංවාදයක් අරඹන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here