ඬේවිඞ් ලින්ච්ගේ ‘බ්ලූ වෙල්වට්’ චිත‍්‍රපටය තිරගත වන්නේ වර්ෂ 1986 දීය. ඉන් වසර 29කට පසුව එනම්, වර්ෂ 2015 දී ලින්ච්යානු ආඛ්‍යානයක් රැගත් මහ මැතිවරණ ප‍්‍රතිඵලයක් ශ‍්‍රී ලංකාවෙන් නිකුත් වී තිබේ.

ලින්ච්යානු ආඛ්‍යානයක සුවිශේෂය වනුයේ චිත‍්‍රපටයක සාමාන්‍ය ආඛ්‍යානයක් තුළ තිබෙන ෆැන්ටසි කලාපය සහ ආශාවේ කලාපය පැහැදිලිව වෙන් කර පෙන්වනු වෙනුවට එම කලාප දෙක අතර මායිම (ඉර) බොඳ කිරීම හෝ එම කලාප දෙක අතිපිහිත කිරීමය. ඬේවිඞ් ලින්ච්ගේ චිත‍්‍රපට තේරුම් ගැනීමට අසීරු යැයි ප‍්‍රකාශ වන්නේ එනිසාය.මෙවර මහ මැතිවරණයට පෙර දෘෂ්ටිවාදී තලයේ ප‍්‍රකාශය වූයේ හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන ලෙසය. ඒ සඳහා මාර්තු 12 ව්‍යාපාරය වැනි සංවිධාන පවා බිහි විය. එබැවින් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වූයේ යහපාලනය තුළ හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ පවා නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 12-15ත් අතර ප‍්‍රමාණයක් දිනා ගනු ඇති බවත්ය. එහෙත් මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වීමත් සමඟ හොඳ මිනිසුන් වෙනුවට පැරණි භාවිතාව පරිදි ම නරක මිනිසුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බවට විවිධ අදහස් බොහෝ දෙනා වෙතින් පළ වන්නට වූහ. ජනතා විමුක්ති පෙරමුණට පවා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර දෙක සමඟ දිනා ගැනීමට හැකි වූ ආසන සංඛ්‍යාව හයකි. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට පරාජිතයන් නැවත මන්ත‍්‍රීවරුන් ලෙස නම් කිරීම ද බොහෝ දෙනකුගේ විවේචනයට ලක් විය.එසේ නම් දැන් අප විමසිය යුත්තේ හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කිරීම වෙනුවට නැවත වරක් නරක මිනිසුන් පාර්ලිමේන්තුවට පත් වන්නේ ඇයිද යන්නය. ලින්ච්යානු පිළිතුර ගොනු කරන්නට පෙර අපි එය අන්තර් අක‍්‍රියතාව ඇසුරින් පැහැදිලි කර ගනිමු. ඒ අනුව බොහෝ දෙනකු ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ තමන් වෙනුවට වෙනත් කවුරුන් හෝ හොඳ මිනිසුන් පාර්ලිමේන්තු යවනු ඇති බවට වන විශ්වාසය සමඟය. මා කා හට මනාපය සලකුණු කළත් ඔවුන් (නොදන්නා අනෙකකු) හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට පත්කර යවනු ඇතිය යන්න එම විශ්වාසයයි. මෙහි දී දක්නට ලැබෙන්නේ මා වෙනුවෙන් වෙනත් කෙනකු විශ්වාස කරන්නේය (Subject Supposed to Belief) යන ආත්මීය ස්ථාවරයයි. එවිට මා හොඳ මිනිසුන් පිළිබඳ විශ්වාස කරන්නේ යහපත් මන්ත‍්‍රීවරුන් පිළිබඳ විශ්වාස කරන මිනිසුන් සිටිනු ඇතිය යන විශ්වාසය නිසාය. එවිට මා විශ්වාස කරන්නේ අනෙකකු මඟිනි. එය රූපවාහිනී විකට වැඩසටහන්වල දී මා වෙනුවෙන් පටිගත කළ සිනහව(Canned Laughter) සිනහවීම හා සමානය.නමුත් එමඟින් බහිෂ්කරණය වන්නේ මගේම සත්තාවයි. එවිට නරක මිනිසුන් පාර්ලිමේන්තු යැවීමට එරෙහිව Facebook ඇතුළු සමාජ ජාලවල අදහස් පළ කරන අයගේ සත්‍යය හඳුනාගත හැකිය. ඔවුන්ට Facebook හි මෙතරම් ක‍්‍රියාකාරී වන්නට හැකි වන්නේ ඔවුන් දේශපාලන තලයේ අක‍්‍රිය වන තරමටම ය. එබැවින් දේශපාලන තලයේ තීන්දු තීරණ ගැනීම සඳහා වෙනත් අය ක‍්‍රියාකාරී වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඒ අනුව හොඳ මිනිසුන් පාර්ලිමේන්තු යැවීම එම පුද්ගලයන්ගේ වගකීමක් බවට පත් කරයි. එහෙත් ප‍්‍රකාශයට පත්වුණු මැතිවරණ ප‍්‍රතිඵලය මඟින් මෙම Facebook පරිශීලකයන් ඇතුළු තමන්ගේ පාඩුවේ සිටි බොහෝ දෙනා අවුලෙන් අවුලට පත් වූහ.

ලින්ච්යානු ආඛ්‍යානය අවශ්‍ය වන්නේ එම පශ්චාත් මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරන විටදීය. ඒ අනුව ‘බ්ලූ වෙල්වට්’ චිත‍්‍රපටයේ මෙන් පොදු සමාජ යථාර්ථය හා ෆැන්ටාස්මතික යටිපැත්ත ලෙස ලාංකේය මැතිවරණ යථාර්ථය විභේදනය කරගත හැක. හොඳ, යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම පොදු සමාජ යථාර්ථය හා විනාශකාරී, අශ්ලීල අතිරික්තය (නරක මිනිසුන් පාර්ලිමේන්තුවට පත්වීම) ෆැන්ටාස්මතික යටි පැත්ත ලෙස නම් කළ හැකිය. මෙය ෆැන්ටසියේ දයලෙක්තික ස්වරූපය ද වේ. ෆැන්ටසිය ස්ථායී මානයකින් යුක්ත වන්නා සේම එය තුළ අස්ථායී මානයක් ද පවතියි. නිදසුනකට ලස්සන කොළඹට ඉහළින් කැමරා හා ආරක්ෂක නිලධාරීන් ස්ථානගත කර තිබීම ඇසුරින් මෙය වඩාත් පැහැදිලි කරගත හැකිය.

ඔබ ලස්සන කොළඹ නගරයේ ඇවිදින මං තීරුවල ව්‍යායාම් කරන විට හෝ නිදහසේ කාලය ගත කරන විට කැමරා හා ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් ඔබව නිරීක්ෂණය කරනු දැක ඇතිවාට සැක නැත. එම මං තීරුවෙන් පිටත පය තබන විට හෝ තණ බිස්සේ ඇවිදීමට එරෙහිව හෝ ආරක්ෂක නිලධාරීන් නළා පිඹිමින් ඔබව චූදිතයකු බවට පත් කරනු ලැබීම ලස්සන කොළඹ නගරයේ සුලබ අත්දැකීමකි. එවිට ලස්සන කොළඹ පිළිබඳ අභිමානයෙන් කතා කරන කී දෙනකු එම ආරක්ෂක නිලධාරීන් සමඟ ගැටුම්වලට පැටලී ඇතිද? ඒ අනුව මෙහි දී අප වටහා ගත යුත්තේ ෆැන්ටසියේ ලස්සන ස්ථායී මානය සමඟම එහි විනාශකාරී මානය ද එය තුළම අන්තර්ගත වී ඇති බවය. එමෙන්ම මෙම උතුරා යන ලස්සන හා සැහැල්ලූව කඩා බිඳ දැමීමට උත්තේජනය පැමිණෙන්නේ පිටතින් නොව අප තුළින්ම බවය. එය අපගේ මලපුඩුවයි. මෙම අසාර්ථකත්වය මඟින් සතුරෙක් (ආරක්ෂක නිලධාරියා) නිර්මාණය කර ස්ථායී ෆැන්ටසිය නැවත මුදවා ගැනීමට ඉඩ සලසා දෙයි.

දැන් අපි ‘බ්ලූ වෙල්වට්’ චිත‍්‍රපටයේ දැකුම්කලූ ලම්බර්ටන් නගරයට එරෙහිව ගොඩනැගෙන පාතාල ලෝකය තුළ හමුවන ඩොරති වැලන්ස්ගේ ආශාව කියවීමට ෆ‍්‍රෑන්ක් බූත් වැනි මැරයකු අවශ්‍ය වන්නේ ඇයිද යන ගැටලූවට පිළිතුරු සොයමු. මෙවර මැතිවරණ ප‍්‍රතිඵලය තේරුම් ගැනීමට එය ඉතා වැදගත්ය. එනම්, එය ලාංකේය යථාර්ථයට අදාළ කළ විට වැදගත් මහත්වරුන් පාර්ලිමේන්තු යැවීමට වඩා ග‍්‍රාමීය මැරයන් පාර්ලිමේන්තු යැවීමට ලාංකේය ඡන්දදායකයා මෙතරම් පෙලඹී ඇත්තේ ඇයිද යන ගැටලූවට පිළිතුර ගොනු කර ගැනීම පහසු වේ. එය වෙනත් ආකාරයකින් නගරයේ වෙසෙන වැදගත් සිනමාකරුවන්ට ආශාව අර්ථ දැක්වීමට අශිෂ්ට ගමක් හා එහි සිටින අශිෂ්ට ගැහැනු හා පිරිමි නිතර අවශ්‍ය වන්නේ ඇයිද යන ගැටලූවට සමානය.

‘බ්ලූ වෙල්වට්’ චිත‍්‍රපටයේ ඩොරති වැලන්ස්ගේ ආශාව කියවීමට ජෙෆ්රි බියුමොන්ට් අපොහොසත් වීම නමැති ක්‍ෂතියට පිළිතුරක් ලබා දෙන්නේ ෆ‍්‍රෑන්ක් බූත් යනුවෙන් ඉහත ගැටලූවට පිළිතුරක් ගොනු කරගත හැකිය. ෆ‍්‍රෑන්ක් බූත් ඇයට හිංසා කරමින් රමණයේ යෙදෙන අයුරු ඇගේ කාමරය තුළ සැඟවී සිටින ජෙෆ්රි බියුමොන්ට් දකියි. එය ඔහුට සහනයක් වන්නේ ඇගේ ආශාව කුමක්ද යන ගැටලූවට එමඟින් පිළිතුරක් ලැබෙන නිසාය. නමුත් තම ඇඳුම් අල්මාරිය තුළ සැඟවී සිටින ජෙෆ්රි අල්ලා ගන්නා ඩොරති ‘තමුසෙට මොනවද ඕනේ?’ (What do you want?) නම් ආශාවේ මූලික ප‍්‍රශ්නය විමසයි. එහෙත් ඔහු පිළිතුරු දෙන්නේ ‘මොකුත් නෑ’ (Nothing) යනුවෙනි.

blue_velvet_idyllic

මේ අයුරින්ම මැරයන් පාර්ලිමේන්තු යැව්වා යැයි කෑ මොර දෙන Facebook පරිශීලකයන්ගෙන් පෙරළා විමසිය යුතු වන්නේ ‘ඔව්, මැරයන් පාර්ලිමේන්තු යැව්වා, දැන් තමුසෙලාට මොනවද ඕනේ?’ යනුවෙනි. එවිට ඔවුන්ගේ පිළිතුර වනු ඇත්තේ ද ‘දන්නෙ නැහැ, මුකුත් නැහැ’ යන්නය. එවිට ඔවුන්ගේ සැබෑ ප‍්‍රශ්නය මතු වෙයි. එනම්, මැරයන් පාර්ලිමේන්තුවට පත් කර යැවූ මෝඩ ඡන්දදායකයාගේ ආශාව කුමක්ද යන්නය. මෙහි දී අමතක නොකළ යුත්තේ මගේ ආශාව යනු අනෙකාගේ ආශාව බවය. මගේ ආශාවේ මලපුඩුවට පිළිතුර ලැබෙන්නේ එමඟිනි. පූර්ව මැතිවරණ සමයේ දී හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇති බවට විශ්වාස කළ මෙම පිරිස පශ්චාත් මැතිවරණ සමයේ දී ඔවුන් විසින්ම මෝඩයන් (නරක මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කළ අය) යැයි නම් කළ ඡන්ද දායකයන්ගේ ආශාව තේරුම් ගත නොහැකිව විපිලිසර වෙයි. මෙහි දී අවධාරණය කළ යුතු වන්නේ එම පිරිස ද තම ආශාව නොදන්නා බවය.

මෙහි දී සිදුවන්නේ මැරයන්ගේ මැර රංගය මඟින් මැරයන්ට ඡන්දය ලබා දුන් අයගේ ආශාව හීලෑ කරනු ලැබීමයි. එය තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ‘බ්ලූ වෙල්වට්’ චිත‍්‍රපටයේ ෆ‍්‍රෑන්ක් බූත් උත්සාහ කරන්නේ ඩොරතිගේ ආශාව තමන්ගේ ෆැන්ටසි ව්‍යුහය තුළට පරිවර්තනය කරන්නටය. එවිට මෝඩයන් යැයි Facebook පරිශීලකයන් හඳුන්වන ඡන්ද දායකයන්ගේ ආශාව මැරයන්ගේ ෆැන්ටසි ව්‍යුහය තුළින් ප‍්‍රකාශමාන වෙයි. එය Facebook පරිශීලකයන්ගේ අතිරික්තය හෙවත් අසූචි ලෙසින් ද හඳුන්වා දිය හැකිය. මෙම අසූචි නිසා සිදුවන කරදරය මානව සංස්කෘතියේ හා ශිෂ්ටාචාරයේ නොවිසඳෙන ගැටලූවකි.

එමෙන්ම හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට පත්කිරීම යන කරුණට වටිනාකමක් ලැබෙන්නේ ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවීම නිසා බව ද පැහැදිලි විය යුතුය. එනම් ළඟා කරගත නොහැකි වස්තුව පවතින්නේ එය ළඟා කර ගත නොහැකි ආකාරයකින් පවතින තාක් කල් පමණි. එනිසා ආශාව නොනසා පවත්වා ගැනීමට මෙය අසමත් වීම ඉවහල් වෙයි.

එසේ නම් මැරයන් පාර්ලිමේන්තුවට පත් කර යැවූ අයගේ ආශාව කුමක්ද යන ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට අප වෙනත් කලාපයක් තෝරා ගත යුතුය. නොඑසේ නම් ඔවුන් ආශාවේ කලාපයෙන් ෆැන්ටසියේ කලාපයට තල්ලූ කළ යුතුය. නොඑසේ නම්, ඔවුන්ගේ ආශාව වෙනස් ලෙස කියවන්නට බටහිර කුමන්ත‍්‍රණ හෝ උතුරේ දෙමළාගේ යථාර්ථයට ඔවුන් කැඳවිය යුතුය. එවිට ඔවුන් පවසනු ඇත්තේ තමන් ඡන්දය භාවිත කළේ මව්බිම වෙනුවෙන් බවය. එය ෆැන්ටාස්මතික ආදේශකයකි.

මැරයන් පාර්ලිමේන්තු යැවූ මෝඩ යැයි සඳහන් ඡන්ද දායකයන්ට අපහාස කිරීම තුළින් Facebook පරිශීලකයන් උත්සාහ කරන්නේ තේරුම් ගැනීමට දුෂ්කර ඔවුන්ගේ ආශාව තේරුම් ගැනීමට මාර්ගයක් සොයා ගැනීම බව පෙර ද සඳහන් කළෙමු. එවිට මැරයන් යනු ෆැන්ටාස්මතික ලෝකයක් මවමින් අනෙකාගේ ආශාවේ ප‍්‍රහේලිකාව විසඳා දීමට කටයුතු කරන්නවුන් බව තේරුම් ගැනීම අසීරු නැත. එමෙන්ම මෙම අපහාස කිරීම් තුළ අන්තර්ගත වන්නේ Facebook පරිශීලකයන්ගේ විනෝදයයි. හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කිරීම වෙනුවට මැරයන් පාර්ලිමේන්තුවට පත් කිරීම මඟින් ඔවුන් වේදනාත්මක සතුටක් ලබයි. එය යතුරු සිදුරෙන් බලා සිටින ජෙෆ්රි බියුමොන්ට්ගේ ක‍්‍රියාවට සමානය. හිංසා විඳිමින් ඩොරති රමණයේ යෙදෙනු බලා සිටීම ඔහුට වේදනාත්මක සතුටකි. තම ජංගම දුරකථනවලින් විවිධ ඛේදවාචක පටිගත කර Youtube වෙත උඩුගත (Upload) කරන්නන් ද මීට සමානය.

මෙම Facebook පරිශීලකයන්ගේ දැක්ම (gaze) අනුව සුනිල් හඳුන්නෙත්ති ගෙදර යවා චණ්ඞීන් පාර්ලිමේන්තුවට පත් කර යැවූ ඡන්ද දායකයන් මෝඩයන් වන්නේ භෞතිකව නොවේ. ඔවුන්ට වැදගත් වන්නේ මෙවැනි මෝඩ ඡන්ද දායකයන් සිටින්නේය යන විශ්වාසයයි. එවිට Facebook පරිශීලකයන් තමන් බරපතළ දේශපාලන සිතන්නන් යන නරුමවාදී ආස්ථානයේ පිහිටුවා ගනියි. එය සැබැවින්ම යථාර්ථය සමඟ දුරක් පවත්වා ගැනීමකි. මන්දයත්, තමන් කරමින් සිටින්නේ දේශපාලනය නොව පැය 24 පුරා Facebook හි දඟලමින් සිටීම යන කරුණ ඔවුහු ඉන් සඟවාලති. එමඟින් පෙනීම(Seeing) හා දැක්ම (gaze)අතර න්‍යාය විරෝධය සඟවාලයි. එය සැබැවින්ම සහනයකි.

මෙය රූපවාහිනියේ තිරගත වන ප‍්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම ඇසුරින් ද පැහැදිලි කළ හැකිය. විවිධ රූපවාහිනී නාලිකාවල ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග ආදී රංගන ශිල්පීන්ගේ ප‍්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම තුළ තිරගත වන 60, 70 දශකයේ චිත‍්‍රපටවල බරපතළ ගැටුම්කාරී ජවනිකා හෝ ඉතා ආකර්ෂණීය ජවනිකා දැකීමෙන් 21 වන සියවසේ නරඹන්නිය සිනාසෙන අයුරු ඔබ නිරීක්ෂණය කර තිබෙන්නේද? එවිට ඔවුන් චිත‍්‍රපටය තුළ ගොඩනඟන යථාර්ථය සහ තමන් අතර යම් දුරක් පවත්වා ගනියි. එමෙන්ම මෙම දර්ශන බරපතළ ලෙස භාරගන්නා කෙනකු (මෝඩයකු) ඇතැයි විශ්වාස කරමින් ඔවුන් පුදුමයට ද පත්වෙයි. එවිට එම මෝඩයා මා වෙනුවෙන් චිත‍්‍රපටය විශ්වාස කරනු ඇති බවට 21 වන සියවසේ නරඹන්නිය විශ්වාස කරයි. මැරයන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ ක‍්‍රියාව ද ඒ අනුව පැහැදිලි වනු ඇත. ඔවුන් පුදුමයට පත් වන්නේ එවැනි ඡන්ද දායකයන් පිරිසක් (මෝඩයන්) සිටින්නේය යන විශ්වාසය නිසාය. එය ද පෙනීම සහ දැක්ම අතර න්‍යාය විරෝධය සඟවන සිදුවීමකි.

එබැවින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු යහපත් මිනිසුන් ගැන ප‍්‍රකාශ කළ අයට මතක් කර දිය යුත්තේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පැවසුවාක් මෙන් පත් කරගත යුත්තේ අවංක මන්ත‍්‍රීවරුන් නොව නව ජනතාවක් බවය. ඒ සඳහා වංචා, දූෂණ හෙළි කිරීම ආදී දැනුම ලබා දීමේ ක‍්‍රියාවලිය වලංගු නොමැති බව නැවත වරක් මෙවර ද ඔප්පු වී ඇත.

– පුෂ්පජිත් නිරෝෂන් ජයසිංහ

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.