වික්ටෝරියාස් සීක්‍රට් නොඅඳින තේ ගැහැණිය තම ජීවිතය ගැට ගසා ගැනීම වෙනුවෙන් රුපියල් දාහක් ඉල්ලන විට ම කාඩේෂියන් බඩ පිස්සී බිලියන පතිනියක් වන්නේ කෙසේද? රහස ඇත්තේ මෙම නව ආශා දේශපාලනය තුලය (politics of desire). ජිජැක් සඳහන් කරන අයුරින් මෙම ”නව ස්ත්‍රිය” පාරිභෝගික පිරිමි ලෝකය සමග ෆැන්ටසි ගිවිසුමක් අත්සන් කර ඇත. ට්‍රම්ප් වෙත යන ගැහැණිය මෙන් ම බටහිර චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් වෙත යන ගැහැණිය ද මෙයට අයත් ය. මේ ගිවිසුම ජිජැක්ට අනුව ‘දේශපාලන නිවැරදි බව’ තුල සිදුව ඇත (political correctness). මේ ගිවිසුම තුළ ඇය පාරිභෝගික පිරිමියා වෙනුවෙන් ෆැන්ටසියක් රඟපාන අතර පිරිමියා ඒ වෙනුවෙන් මිළක් නියම කරයි. මෙහි කිසි වරදක් දේශපාලන නිවැරදි බව තුල පෙන්නේ නැත. ට්‍රම්ප් විසින් ස්ටෝමි ඩැනියෙල් සමග ගිවිසුම් ගතව පැවතියේ මෙවන් ආශා ෆැන්ටසි එකඟතාවයකි. ප්‍රශ්නය නම් මෙම ගැහැණු විසින් පසුව එම ගිවිසුම කඩා වන්දි ඉල්ලීමයි. 

කැමරා ඉදිරියට එන ඔවුන් ඉන්පසු විකුණන්නේ ඔවුන්ගේ තුවාල වු අහම ය. අසරණ බවය. නිෂ්ක්‍රිය ලෙස මෙම ගැහැණිය පිරිමි ෆැන්ටසිය රඟපෑවත් ඔවුන් නිෂ්ක්‍රිය අහිංසක අය නොවේ. ඔවුන් ඒ සඳහා මිලක් අය කරයි. ඔවුන් කරන දෙය ගැන ඔවුන් දනුවත් ය. මෙහිදී ගැහැණිය පියාගේ සංකේත විශ්වය බිඳ දමන අතර යම් ගුප්ත ෆැන්ටස්මික අන්තර් ගතයක් වෙතට ළඟාවේ. ට්‍රම්ප් හෝ හාවි වෛන්ස්ටීන් (Harvey Weinstein) මෙන්ම ඔවුන්ද පුර්ව සංකේත ලෝකයකට ඇතුල් වේ. නීතියේ කප්පාදුවට හසු නොවන මේ සියලු දෙනා විසින් රඟ දක්වන්නේ ඔවුන්ගේ ‘පුර්වජ යටපත් කිරීමයි’ (primordial repression). තවත් වැදගත් දේශපාලනික යමක් අපට මෙතනදී හමුවේ. එනම් මේ මජර ක්‍රමය තුලම සිටිමින් තම තමන්ගේ ගේම නොහොත් ක්‍රීඩාව සිදු කිරීමේ දෘෂ්ටිමය උගුල මේ ෆැල්ලස සූරා කෑම තුල ම සිදු වීමයි. කිසිවෙක් මේ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ නොකරන ෆැල්ලස යතුර (phallic key) අප එසේනම් සොයමු. මෙතැනදී පාවිච්චි වන්නේ ස්ත්‍රී ශරීරයයි. ඇය සහ මෙම ක්‍රමයේ ගනුදෙනු කරුවන් අතර ෆැන්ටසි ගිවිසුමක් ඇති බව අප මේ පරිච්චේදයේ ම පැවසුවෙමු. එසේ නම් අප ට එම ෆැන්ටසි උත්තේජනය දෙන්නේ ද මෙම ක්‍රමය තුල සිටියහොත් පමණි. ජිජැක් මේ සඳහා ගෙන එන්නේ Shawshank Redemption චිත්‍රපටයේ එන Rita Hayworth ගේ පෝස්ටර් උදාහරණ යයි. සිර මැදිරියේ සිරගත කර ඇති සිරකරුවන් චිත්‍රපටයට අනුව සිර කඳවුර සමග පවත්වන්නේ දෘෂ්ටිමය දුරස්ථ බවකි. ඒ දුරස්ථ බව සඳහා උපකාරී වන්නේ රීටා හේවත් ගේ පෝස්ටරයයි. ඇන්ඩි ට අනුව බාහිර ලෝකය ගැන බලාපොරොත්තුවක් රීටා ගේ ශරීර රූපය හරහා සිරකරුවන් ෆැන්ටසිකරණය කරයි. ‘මීට වඩා හොඳ ලෝකයක්’ බාහිර ඇති බව ඇන්ඩි විසින් අනෙක් සිරකරුවන් වෙත සැම විටම ප්‍රක්ෂේපනය කරයි. ඔහු ‘රැඩිකල් ලෙස’ මහා හඬින් මෝසාර්ට් ගේ සංගීත ඛණ්ඩයක් වාදනය කරන අයුරු සිහිපත් කරන්න. ඔහු කියන්නේ මේ සිරගෙය යනු සත්‍ය ලෝකය නොවේ යන්න ය. නිදහස් ලෝකයක් එළියේ ඇත යන්න අප නිරතුරුව සිතිය යුතුය යන්න ය. නමුත් ඔහු අමතක කරන දෘෂ්ටිමය දෙය වන්නේ බාහිර ලෝකයේ පවතින්නේ ද ඇතුලත මෙන්ම නපුරු ලෝකයක් යන නීරස සත්‍යය ය. නමුත් ඇන්ඩි තමා දැන් සිටින කාබනික යථාර්තය නම් සිර මැදිරිය සමග නරුම දුරක් නඩත්තු කරයි. නැතහොත් බාහිර ලෝකයෙන් තමා විසිකර දමන ලද නව භෞතික තත්වය වෙත ඔහු පුර්ණ වශයෙන් භක්තිමත් නොවේ. 

ඇන්ඩි විසින් මෙම දුරස්ථ බව නඩත්තු කිරීම සඳහා යොදාගන්නා වසඟකාරී තිරය (screen) වන්නේ රීටා ගේ පෝස්ටරය යි. එම තිරය විසින් ඇන්ඩි සහ ඇන්ඩි මේ මොහොතේ සිරගත ලෝකය (ඇත්ත ලෝකය) අතර පරතරයක් නිෂ්පාදනය කරනවා පමණක් නොව එම පරතරය විසින් ඇතිකරන ඇන්ඩි ගේ ‘ෆැන්ටසි බාහිර ලෝක නිෂ්පාදනය’ අනෙක් සිරකරුවන් වෙතට ද ප්‍රක්ෂේපනය කරයි. සිර කඳවුරේ සිරකරුවන් ද රීටා ගේ මෙම රුව චිත්‍රපටය ඔස්සේ නරඹන නමුත් ඔවුන් ඒ හරහා බාහිර ඇතැයි යනුවෙන් විශ්වාස කරන ෆැන්ටසි නිදහස් ලොවක් වෙත දෘෂ්ටිමය ලෙස ආකර්ෂණය නොවේ. වෙනත් විදියකින් කිවහොත් ඔවුන් රීටා යනු හුදු ෆැන්ටසි සිහිනයක් ලෙස පමණක් තේරුම් ගන්නා අතර ඉන් ඔබ්බට එම දෘෂ්ටි උගුලේ (ෆැල්ලස උගුලේ –  අතොරක් නැති සතුටක් මගෙන් බාහිර ලෝකයේ ඇත යන්න) හසුවන්නේ නැත. චිත්‍රපටයෙන් පසු ඔවුන් නැවත තමන් විසිකර දමන ලද (බාහිර ලෝකයෙන් සිර කඳවුර තුලට) නව ද්‍රව්‍යමය යථාර්තය සමග ජීවත් වේ. නමුත් මෙයට වෙනස් ලෙස ඇන්ඩි තම ෆැන්ටසි කරණය කරන ලද බාහිර ලොව වෙත යාම සඳහා උමගක් තනයි. වෙනත් විදියකින් කිවහොත් සංකේත ලොවට එරෙහිව (දෙන ලද පිළිවෙල උල්ලංඝනය කරමින්) හුදකලා අරගලයක නිරත වේ. එම උමග ඔස්සේ ඔහු ‘නිදහස්’ ලොව වෙත යනු ලබයි. වෙනත් විදියකින් කිවහොත් හොලිවුඩ් නිදහසක් වෙත ගමන් කරයි. ඒ ඔස්සේ ම නරක අය ට පාඩමක් ද උගන්වයි. නමුත් මෙම සිරගත ජිවිතයේ සත්‍ය අරගලකරු වන්නේ ඇන්ඩි ගේ කළු ජාතික මිතුරා වන රෙඩ් ය. ඔහු තම සිරගත ජීවිතය සමඟ දෘෂ්ටිමය දුරස් බවක් නඩත්තු නොකරයි. බාහිර ඇතැයි යනුවෙන් වන නිදහසක් ද පරිකල්පනය නොකරයි. ඔහු දෙන ලද තත්වය පිළිගෙන ඒ ඔස්සේ තම ජීවිතය එයටම කැප කිරීමට හිත හදා ගත්තෙකි. ජිවිතයේ හොඳම කාලය මේ සිරගත ජීවිතය විසින් හෝමයක් ලෙස අවශෝෂණය කර ගත් බව ඔහු දනී. නමුත් ඔහු එයින් පැන දිව්වේ නැත. බිය වුවේ ද නැත. දෙන ලද තත්වය ඔහු පිළිගෙන ඒ ඔස්සේ ම තම ජීවිතය වෙනස් කර ගැනීමට (පරිණත වීමට) කාලය සමග පොරබැදී අයෙකි. නිදහස සඳහා ඔහු කෙටි මාවතක් සෙව්වේ නැත. විමුක්තිය සඳහා කෙටි මාවත් නැති බව අවබෝධ කරගත් එකම තැනැත්තා ඔහුය. විමුක්තියේ අනිවාර්ය වන්දිය ජීවිතය සහ වේදනාවයි (කුරුසියේ යේසුස්, අත්ථකිලමතානු යෝගයේ බුදුන්, නිරාහාරයේ ගාන්ධි, සිරගෙය තුල මැන්ඩෙලා). රෙඩ් ගේ ජීවිතය යනු ඒ දෙකේම එකතුවයි. රෙඩ් යනු යථාවේ සත්‍ය නියෝජන යයි. බාහිරින් ඇති දේවත්වයක් ගැන පරිකල්පන නොකර දෙන ලද නො-නිදහස් වර්තමාන යථාර්තය වෙත සත්‍ය ලෙස භක්තිමත් වීමෙන් (පිළිගැනීමෙන්) පමණක් මිනිසාට දේවත්වය අත්දැකීමට හැකිය. යේසුස් මෙන්ම බුදුන් වහන්සේ විසින් ද අත් දුටුවේ මෙයයි.  වෙනත් විදියකින් කිවහොත් නව තත්වයට තමාව පුර්ණ ලෙස වෙනස් කිරීමට ඉඩකඩ දීමෙන් පමණක් ‘නව මිනිසෙක්’ බිහිකර ගත හැකිය. රෙඩ් විසින් කලේ නව තත්වය ප්‍රතික්ෂේප නොකිරීමයි. එනයින් ඔහු නව මිනිසෙක් ලෙස සිරෙන් එළියට යයි (ඔහුගේ අයදුම් පතට මුද්‍රාව තැබීමට මොහොතකට පෙර ඔහුගේ පාපොච්චාරණය සිහියට නගන්න). ඇන්ඩි විසින් පවා මෙම පාපොච්චාරණය රෙඩ් වෙත එක් මොහොතකදී කල ද ඔහු ඒ වන විටත් පවතින්නේ පිටත සහ ඇතුලත යන අතර මැදි තත්වයේය (in-between-position). කෙටි පරිපථයක් ඔහු සතුව පැවති හෙයින් ඔහු පුර්ණ ලෙස නව තත්වය කිසි විටක අත් නොදකිනු ලබයි. නව තත්වයේ කප්පාදුවට ඔහු හසු නොවේ. අන් විකල්ප කිසිවක් නැති ‘පුර්ණ සිරකරුව්ක්’ වීමේ භාග්‍යය ඔහුට් උදා නොවේ. එනයින් ධනවාදයට පුර්ණ ලෙස ඇද වැටීම වලක්වන අතීතය සමග අනන්‍ය වී ධනවාදය සමග දෘෂ්ටිමය දුරස්ථ බවක් නඩත්තු කිරීම මහත්ම මුග්ධ කමක් වේ.

ඉදින් මෙහිදී ඇන්ඩි විසින් කරනු ලබන්නේ පවත්නා යථාර්තයෙන් දුරස් වීමක් නම් එම දුරස් වීම සඳහා ඔහු විසින් යොදා ගන්නා දෘෂ්ටිමය තිරය ගැහැණු ෆැන්ටසි රූපයයි. ඇතුලත නැති එහෙත් එළියේ ඇති පරිකල්පනීය නිදහසක් පිළිබද ෆැන්ටසිය දරා සිටීම සඳහා ඔහුට උපකාරී වන්නේ ඉහත පෝස්ටර කඩදාසියයි. ඇයගේ ෆැල්ලස කුළුගැන්වීම යමෙක් අතිශය අමාරු තත්වයකදී වුව නොමැරී සිටීම සඳහා බලාපොරොත්තුවක් දල්වන බව සැබවි. උදාහරණ වශයෙන් තවත් ජනප්‍රිය ප්‍රවර්තන චිත්‍රපටයක් (survival movie) වූ Cast Away (2000) හි චක් නොලාඩ් (ටොම් හෑන්ක්ස්) දෙස බලන්න. සේවයට කැපවුන FedEx වෘත්තිකයෙක් ලෙස ඔහු හදිසියේ පැසිෆික් සාගරයේ මිනිස් පුළුටක් නැති දූපතක සිර වූ පසු එයින් මිදෙන තෙක් ඔහු ජිවත් කරවන්නේ තම පෙම්වතියගේ රූපයයි. ආපසු කවදාහෝ ඔහු යන තුරු ඇය බලා සිටින බවට වන පරිකල්පනය ඔස්සේ ඔහු දිගට ම ජීවත් වේ. ජීවත් වීම වෙනුවෙන් ඔහු භාවිතා කරන  ඔහුගේ ෆැන්ටසි තිරය වන්නේ ගැහැණිය යි. නමුත් වසර ගණනකට පසු චක් නැවත ගෙදර යනවිට ඇය වෙනකෙක් සමඟ විවාහ ගිවිස ගෙනය. තමාට පිටින් පැවතියා යයි ඔහු පරිකල්පනය කළ ෆැන්ටසිය යනු බොරුවක් බව ඔහුට පසක් වේ. ඉහත ෆැන්ටසි තිර (fantasy screen) දෙකේදීම සිදු වන්නේ ෆැල්ලසයේ දෘෂ්ටිමය දේශපාලනය ක්‍රියාවයි. එනම් ඇන්ඩි සහ චක් යන හොලිවුඩ් චරිත දෙකම ස්ත්‍රී ෆැල්ලසය තමා දෙස බලා සිටින වගට ඔවුන් කරන වැරදි අනුමාන යයි (‘තමා එනතෙක් ඇය මඟ බලාසිටී’ යන අනුමානය). ඒ අනුමානය ඔස්සේ තමා දැන් සිටින ඇත්ත යථාර්තයෙන් විගලිත වීමයි. විගලිත වීම තුල සත්‍ය ලෙස මේ මොහොතේ කලයුතු දෙය මඟ හැරීමයි. ෆැල්ලසයේ දැක්මට හසුවූ බොහෝ දේශපාලන පිරිමි තම දේශපාලන ගමන අවසන් කලේ අප කිසිදා නොසිතුව ගමනාන්ත වලය. සමහරු කුටුම්භ තුලය. සමහරු කාර්යාල තුලය. සමහරු මහපාරේ ය. සමහරු නිර්වාන සුවයේය. දේශපාලනය තුල ඔවුන්ට වැරදුනේ කොහේද? මුලින් එය අප පැහැදිලි කර ගමු.  අප විසින් ඇය ෆැල්ලසය තුල සිටිනු ඇතැයි සිතුව ද ඇය පුර්ණ ලෙස ෆැල්ලසයේ නොපවතින අතර අනෙක් අතට සංකේත පිළිවෙල තුල ද නොපවතී (ඇය බෙදී  පවතී යනුවෙන් ලකාන් කියන්නේ මෙම තත්වයට ය). යමෙක් නිවන් දැකීමට අපේක්ෂා කරන්නේ නම් මෙම ලිපිය කියවන ලෙස අප උදෙක්ම ඉල්ලා සිටිමු. බුදුන් වහන්සේ ඇතැම් විට මේ තත්වය වටහා ගෙන සිටින්නට ඇතුවා වුවත් එතුමන් කිසිදු දේශනාවක මේ බව සඳහන් කර නොමැති නිසා අපට සිදුවන්නේ මේ ගැඹුරු සත්‍යය දේශනා කළ පළමු වැන්නා ලෙස ලකාන් හඳුන්වා දීමට ය. ඇය වෙතට පිරිමියා විසින් කරන සියලු ප්‍රක්ෂේපනයන් හුදු ෆැන්ටසි ප්‍රක්ෂේපනයන් පමණක් වන අතර පුරුෂ බව යනු ෆැල්ලසයේ විශ්වීය ක්‍රියාවක් (universal phallic function) ලෙස තේරුම් ගැනීමත් ස්ත්‍රිය යනු එම විශ්වීය බවෙන් බාහිරකරණය කරන ලද අතිරික්තයක් (excess or surplus) ලෙස තේරුම් ගැනීමත් යන දෙකම වැරදි බව මේ අනුව ලකාන් පෙන්වා දේ. ඇය අතිරික්තයක් බවට පත් වේ නම් එසේ වන එකම තැන වන්නේ ඇය විසින් පෙරුම් පුරන ආදර වන්තිය ලෙස පුරුෂ ෆැන්ටසියට අනුව වෙස් වලා ගන්නා තැනදී පමණි (the guise of the Lady in courtly love). Cast Away හි චක් විසින් අමාරුවෙන් තේරුම් ගන්නේ මෙම වේදනාත්මක සත්‍යය යි.   

රීටා හේවත් විසින් පුබුදු කරන ලද අනුරාගය නම් ෆැල්ලස ආර්ථිකයේ සිට ඇන්ඩි විසින් උමඟක් හාරන අතර ඔහු සොයන්නේ නිදහසයි. එම නිදහස වෙනුවෙන් පවත්නා පිළිවෙල උල්ලංඝනය කල යුතු අතර ඇන්ඩි ගේ අහම මැජික් කරුවෙක් ගේ මෙන් අධි ක්‍රියාකාරී වීමකට මඟ පාදන්නේ මහා අනෙකා නොමැති තැන ප්‍රාදුර්භුත වූ ඇයගේ රූපය විසින් ය (lack in the Other). අවසානයේ ඇන්ඩි විසින් ඇත්ත වශයෙන් නීතිය බිඳිමින් සිර කඳවුරෙන් ‘නිදහස්’ වන අතර එවිට සිදුවන්නේ ඔහු ඇත්ත වශයෙන් සිරකරුවෙක් බවට පත් වීමයි. තමා ඇද වැටුණු නව තත්වයේ පුර්ණ සහභාගී කරුවෙක් (fully participate) වනු වෙනුවට ඒ සමග දුරස්ථ බවක් පවත්වා ගැනීමේ දෘෂ්ටිමය තිරයේ (ideological screen) එනම් මෙම ෆැල්ලසයේ ග්‍රහණයට හසුවන ඔහුට සිදු වන්නේ නිදහස ෆැන්ටසිකරණය කරන අතරතුරේ ම දිගින් දිගට ම පොදු නීතිය උල්ලංඝනය කිරීමටයි. ඔහු තම බැංකු කරුවෙක් ලෙස ප්‍රාගුන්‍ය කර තිබූ වෘත්තීය විශේෂඥ බව ඒ වෙනුවෙන් පාවා දෙනු ලබයි (අප දේශපාලනයට වෘත්තිකයින් ගන්නවාද යන්න මෙහිදී සිතිය යුතුය). සිර කඳවුරේ එක් ජේලර් වරයකු ගෙන් පටන් ගන්නා මෙම වංචා කිරීමේ ක්‍රීඩාව ඔහු අවට සිටින ජේලර් වරුන්ට පවා උගන්වනු ලැබේ. අවසානයේ එය නතර වන්නේ ෂෝශෑන්ක් ප්‍රධානියාගේ නිත්‍ය මුල්‍ය විශුද්ධි කරන්නා බවට පත් වීමෙනි. සියලු රජයේ සේවකයන් ගේ අශ්ලීල ජිවිතයේ අත්‍යවශ්‍ය මෙහෙකරුවෙක් බවට ඔහු පත්වේ (permanent subject). එසේනම් ස්ත්‍රිය විසින් පොළඹවන ලද මෙම ෆැන්ටසි-ෆැල්ලස ක්‍රීඩාව විසින් සිදු කරන්නේ සත්‍ය ලෙස විමුක්තිය උදා කරනු වෙනුවට තව තවත් සිරගත කිරීමේ ක්‍රියාවකි (මෙයින් අප ස්ත්‍රී විරෝධී දේශපාලනයක් යෝජනා කරන්නේ නැත. නමුත් අප කියන්නේ මෙම ෆැන්ටසි-අල්ලස් ක්‍රීඩාවේ අනපේක්ෂිත ප්‍රථිපලය භයානක බව පමණි). ෆැල්ලසය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන්නේ අදාල විෂය දුර්වල සහ නපුංසක වන අවස්තා වලදී බව ජිජැක් පෙන්වා දෙයි (කියවන්න Woman is One of the Names-of-the-Father, or How Not to Misread Lacan’s Formulas of Sexuation ලිපිය). ස්ත්‍රී ෆැන්ටසි ආර්ථිකය ඉදිරියේ දේශපාලනය අත්හල බොහෝ දෙනෙක් ගැන ඔබ සිතන්නේ නම් මේ පිලිබදව හොඳින් අවබෝධ වනු ඇත. මොනිකා ලෙවෙන්ස්කි වැනි ෆැන්ටසි තිර යනු සෑමතැනම නොපවතින දේවල් ද නොවේ. පුර්වජ පියාගේ අතොරක් නැති ස්ත්‍රී විනෝදය වෙනුවෙන් ඇය නූතන පියාගේ තහනම උල්ලංඝනය නොකරන්නේ ද? දශකයක කාලයක් තිස්සේ අප ඇසු දේශපාලනයේ මුලික ප්‍රශ්නය එයයි. අප පක්ෂයක් ලෙස ලාංකික දේශපාලනයට උරුම කලේ මෙම අති මුලික ගැටළුවට විසඳුමක් ය (නැත්නම් එම විසඳුමක් නැති ප්‍රශ්නය ය). ස්ත්‍රී වාදීන් අප සමග තරහා වුවත් අප සන්ඩු දබර කලේ අපගේ ඉතිහාසය තුල (සහ පොදුවේ පවතින) දේශපාලන ප්‍රශ්නයක් සමග මිස ස්ත්‍රී වාදයේ අග මුල සෙවීමට නොවේය.  ඇතැමුන් මෙම අති මුලික ප්‍රශ්නය කෝච්චි පෙට්ටි සමග පටලා ගත්ත ද එය කිසිසේත් මෙම පුළුල් ශිෂ්ටාචාර ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත*

(1). මන්ද ඇය පැලපදියම් වී ඉන්නේ අපගේම මොළ කුහරය තුල බව ඇය දනී (extimately intimated). ඒ ඇය පවතින එක් ආකෘතියක් වන බව ද ඇය දනී. ආදම් ගේ කාලයේ සිට එය එසේය. දෙවියන්, තහනම සහ ඇය යන ත්‍රිකෝණයේ දී ඇය ඉන්නේ දෙවියන්ට එරෙහිවය. එය හොදින්ම දන්නේ දෙවියන් සහ ආදම් ය. දෙවියන්ද නොදන්නා ඇය ගැන අප දන්නා මල ඉලව්වක් නැත!  

මිට පෙර ලිපියෙන් මා පෙන්වා දුන් පරිදි මේ භූමියෙන් විගලිත වූ පාර-ජාතික ඇතැම් සහෝදරවරු තමන් විසිකර දමන ලද නව භුමියේ ස්ථිර ලෙස පැලපදියම් නොවීමට හේතුව වන ෆැන්ටසි තිරය යනු කුමක් ද? එම නොහැකියාව (impossibility) පිළිබද ගැටළුව සාකච්චා කිරීම විමුක්ති විෂය යනු කුමක්ද යන ප්‍රස්තුතයට අදාල විශ්වීය මාතෘකාවක් වේ (විශ්වීය සටන් කරුවන් බිහිකර ගැනීම යන ස්ථානයේ දී මෙය වැදගත් සේ හඟිමි. මන්ද අද දවසේ වමේ පක්ෂ විසින් කරන්නේ සටන් කරුවන් බිහි කිරීම නොව පිටරට ට තම සාමාජිකයින් යවා ඔවුන් ලවා හම්බ කරවා ගැනීමයි). ඇන්ඩි විසින් රීටා ගේ රූපය ඔස්සේ නව භූමිය වෙත භක්තිමත් නොවුණා මෙන්ම මෙම සහෝදරවරු තමා දැන් සිටින පාර භූමින් වන ඉතාලිය, එංගලන්තය, ස්විටර්ලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල සිට මානසික උමගක් ලංකාව දක්වා කපයි*
(2). එම රටවල සිදුවන දේ ගැන අවම සවිඥානික බවක් ඇති ඔවුන් මෙහේ සිදුවන සියලු දේ සමග අනන්‍ය වේ (රීටා සමග ඇන්ඩි අනන්‍ය වුවා සේම). පැයෙන් පැය ලංකාවේ සිදුවන දේ ගැන ඔවුන් දැනුවත් ය. නව තත්වයට ඇද වැටීම බාධා කරන සහ පරණ තත්වය සමග අනන්‍ය වීමට ඔවුන් භාවිතා කරන තිරය වනාහී මුහුණු පොතයි. ඔවුන් බොහෝ විට මේ රටේ සිටින අරගලකරුවන්ටත් වඩා ‘රැඩිකල්’ (අධි-රැඩිකල්) අය වන අතර මෙහේ සිටින අයට ඔවුන් කියන්නේ පොන්න පිරිමි (නාකි පොන්න පිරිමි) යනුවෙන් ය. මා සිතන හැටියට ඔවුන් අසන්නේ ගැහැණිය වෙනුවෙන් පිරිමියා තම ජීවිතය හෝමයක් මෙන් පුජා නොකරන්නේ ඇයි යන්න ය. නමුත් ඔවුන් එම මුහුණු පොත් තිරය බිඳ දමා නැවත ලංකාවට පැමිණිය හොත් දකින්න හැකි වනු ඇත්තේ කුමක්ද? ලංකාව යනුවෙන් පවතින්නේ, ඇත්තටම පවතින්නේ, යථාර්තය සහ ෆැන්ටසිය අතර නපුරු සිහිනයක් බව ඔවුන්ට අවබෝධ වනු ඇත (nightmare between reality and fantasy). අරගලය කොතරම් අමාරුද යන්න ඔවුන්ට වැටහෙනු ඇත. බිමට ම කාබාසිනියා වූ රටක මතවාදය සැකසීම කොතරම් අමාරු දැයි ඔවුන්ට වැටහෙනු ඇත. රටේ මතවාදය සකසන්නේ නැතුව කුමක් කලත් වැඩක් නැත. ඉන්නේ ජනප්‍රිය පොහොට්ටු කාරයෝ ය. රනිල් කරන්නේ ද ජනප්‍රිය දේශපාලනයකි. ඔහු මේ වනවිට පශ්චාත් නුතනවාදී වේ. ජංගි උඩට එන්නේ ඒ නිසාය. නමුත් මේ රටේ සත්‍යය සමග ඔට්ටු සෙල්ලම් කරන්නෙකුට සිදුවන්නේ ඉහත ෆැන්ටසි තිරය මත විශ්වාසය තැබීමටය. ඇන්ඩි මෙන්ම එසේ විශ්වාස තැබූ එක් මිනිසෙක් වන්නේ රනිල් වික්‍රමසිංහ ය. චුවින්ගම් පොරොන්දු වූ ඔහුව රටේ බහුතරක් වූ ගමේ මිනිසුන් එක පයින් පරද්දුවේ ය. නැවත ප්‍රතිජීවනය වීමට ඔහුට හැකිවුවේ පොලොන්නරුව නම් ගමේ මිනිසෙකුගේ ශරීරය හරහාය (ටයිටැනික් හි ජැක් ගේ සිරුර මෙන්). මෛත්‍රීට ගල් ගසන්නන් එය අමතක නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලමි. මාතොට සහ ලන්ඩන් සඟරා හරහා ජංගි වෙනුවට lingerie දේශපාලනය තුළට ගෙනා දීප්ති විසින් කලේ ඉහත සංක්‍රමණීය ගමේ මිනිසාට බටහිර ෆැන්ටසිය තරණය කිරීමට ඉගැන්වීමයි. මට අනුව එය රැඩිකල් වැඩකි. ප්‍රචණ්ඩ වෙනසක් ලාංකික සමාජය වෙතට හඳුන්වා දීමකි.     

නිෂ්පාදනය යන්න පැරණි අර්ථයෙන් වෙනස් වී අද වනවිට සංඥා නිෂ්පාදනය දක්වා විතැන් වී ඇත. මේ සංඥා වනාහි වසඟකාරී බවේ සංඥා ය. තේ නිෂ්පාදනය කරන ගැහැණිය වෙනුවට ලිංගික වසඟය නිෂ්පාදනය කරන ගැහැණිය මේ යුගයේ අධිනිශ්චය වන්නේ ඒ නිසාය. මේ අනුව ගැහැණිය තව දුරටත් පැරණි යුගයේ සිටි ගැහැණිය නොවේ. ඇය බද්ධ වී සිටින්නේ ආශා වෙළඳ පොළටය. ආශාව නිෂ්පාදනය කිරීමට ය. ඇය විසින් පැරණි ලෝකයේ ආශාව විතැන් කරයි. ඇය ජංගියෙන් lingerie වලට ඇද වැටෙමින් ඇත. එය සමාජ පරිණාමය පැත්තෙන් හොඳ දෙයකි.  ජිජැක් කියන පරිදි මෙම ‘දෙවන මාක්සියානු තත්වය’ (වියුක්ත ආශා හුවමාරුව) තේරුම් ගැනීම සඳහා නව මානව විද්‍යාවක් අවශ්‍ය ව ඇත. මේ සන්දර්භයේ දී රනිල් වික්‍රමසිංහ නම් කොළඹ රෝයල් උසස් පාසැලේ ආදි ශිෂ්‍යයා විසින් ආශා උත්පාදනය වෙනුවෙන් කාන්තා ශරීරය සරසවන කොමු පිළි (lingerie) ‘ජංගි’ යනුවෙන් හඳුන්වයි. එය උච්චාරණය කරන විටම ඔහුගේ මුහුණේ ඇඳෙන කැත සිනහව තුලින් ඔහු කියන්නේ ‘මෙය විනෝද වන්න’ යන්නය (enjoy this!). මේ තත්වය යනු මියගිය පිතෘ මූලික බවේ ප්‍රකාශනයකි. ඔහු කියන්නේ මෙවැනි දෙයකි. ‘බලන්න මේ සියල්ල පවතින්නේ ඔබගේ විනෝදය පිණිස ය’. මෙයට පරස්පරව පොළොන්නරුවේ උපන් මෛත්‍රිපාල සිරිසේන මහතා මරු කතරේ දුක් විඳින ලාංකික ගැහැණිය වෙනුවෙන් ජංගි කතාවට වඩා සානුකම්පිත සහ යම් රැඩිකල් දේශපාලන අන්තර්ගතයක් සහිත කතාවක් පසුගිය දා අනුරාධපුරයේ කාන්තා දින සමුළුවේ දී ප්‍රකාශ කර ඇත. ඔහුට අනුව ලංකාවේ ධනපති පිරිමි දේශපාලනය යැපෙන්නේ අපේ දුප්පත් ගැහැණිය වැලි කතරේ විඳින වේදනාවේ ප්‍රථිපලයක් හැටියට ය (pain). එම වේදනාවට අවශ්‍ය සංවේදී ගෞරවය දීමට හෝ මේ කොළඹ මධ්‍යම පාන්තිකයාට නොහැකි විය. සිරිසේන මහතාගේ කතාවේ සාරාංශය පහත උපුටා දක්වමි.

‘අද’ පුවත්පත වාර්තා කර ඇති පරිදි සිරිසේන මහතා මෙසේ කියයි. ‘සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන්  රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට ශ‍්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද කියා සිටියේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි’ (‘අද’ ඔන් ලයින් පුවත් පත 2019. 03.08). .

ප්‍රංශ භාෂාවෙන් නිරුක්තිය ලබන Lingerie (ලන්ජරී – බ්‍රිතාන්‍ය උච්චාරණය / ලොන්ජරේ – ඇමෙරිකානු උච්චාරණය) යනු ආශා වෙළඳ පොළකි. එය හුදු ‘ජංගියක්’ නොවේය. අප ආශා කරන ස්ත්‍රී පාර්ශවිය වස්තු තව තවත් ආශාව උද්දීපනය වන ලෙස අලංකාර කිරීම මේ ඔස්සේ සිදුවෙයි. ඇයගේ ශරීරය යනු ආශා කිරීමට ඇති පෙළඹවීමේ උපකරණයකි. ස්ත්‍රී ශරීරය තව තවත් අර්චන කරණය කරමින් අප එම ආශාව වෙත පෙළඹ වීම ඉහත කොමු පිළි වලින් කරනු ලැබේ. වික්ටෝරියාස් සික්‍රට් යනු ලොව විශාලතම කොමු පිළි නිෂ්පාදකයා වෙයි. විශේෂයෙන් කාර්මික සමාජයන් හි විගලිත මිනිසා ආශාව වෙත පෙළඹවීම වෙනුවෙන් විශාල වෙහෙසක් මේ අර්චන වෙළඳපල කරනු ලබයි. දයලෙක්තික සමාජ ප්‍රගමණය තුල ආශාව ඔස්සේ මිනිසා තවත් ඉහල සමාජ ක්‍රමයක් ගැන සිහින මැවීම දේශපාලනිකව පිළිගැනීමට සිදුවේ (පටිච්ච සමුප්පාදය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කෙසේ වෙතත්*

(3). සමාජ ප්‍රගමනයේ එක් අවධියක් ලෙස ධනවාදය අද ක්‍රියාත්මක වන්නේ ඇගේ ආශා ශරීරය හරහා වන බැවින් පැහැදිළිව ඉහත කාන්තා ඇඳුම් යනු වෙළඳ පළකි. අපේ ඇඟළුම් ස්ත්‍රීන් තම විශේෂ ප්‍රාගුන්‍යය ඔස්සේ  වඩාත් හොඳ නිපැයුම් වික්ටෝරියාස් සීක්‍රට් වෙත පිරිමනයි (නමුත් වික්ටෝරියාස් සික්‍රට් ලබන ලාබය අපේ ගැහැණිය වෙත පැමිණෙනවාද යන්න දන්නේ නැත). එමෙන්ම කහටගස්දිගිලියේ ඉන්නා අප අප ආශා කරන්නේ පරණ කහට හැහුණු ජංගි ඇඳි ගැහැණියට නොව ලන්ජරී ඇඳි වික්ටෝරියා බෙකම් ට බව දැන්වත් ඉගෙන ගන්න රනිල්. අප එතැනින් ද නවතින්නේ නැත. අප ඉන් ඉදිරියට ද ආශා කරමු. අපි කහටගස්දිගිලියෙන් කොළඹ අවුත් කොළඹින් ලන්ඩන් ගියොත් අප කිසිදා බෙකම් දැක ආපසු සුනාපරන්තයට් දුවන්නේ නැත. අප බෙකම් වැළඳ ගමු. ෆැන්ටසිය ට ඇද වැටෙමු. ඒ වගේම බෙකම් ජිවත් වන සමාජයටත් වඩා හොඳ සමාජයක් හැදීමට වලිකමු (අනිවාර්යයෙන් බලන්න Green Book චිත්‍රපටයේ ඩොන් ෂර්ලි නම් කළු සංගීතඥයාගේ ‘ශිෂ්ටත්ව සිහිනය’). ඇන්ඩි ගේ ෆැන්ටසි තිරය ඔස්සේ අප ලංකාව දෙස බලන්නේ නැත (බලා සිටින්නේ නැත). අප ලංකාවෙන් චුත වුවොත් අප නැවත මේ මඟුල දෙස හැරී බලන්නේ ද නැත. ‘අම්මෝ මෙහෙ හරිම නරක තැනක්’ කියා අප ආපසු ගෙදර නොදුවමු. ෆ්‍රෙඩි මර්කරි මෙන් මරණය දක්වා නව ලෝකයේ යථාර්තය තුල ගමන් කරමු. නලින් ගේ මෙන්ම රනිල් ඔබගේ ද ආශාව මියගොස් ඇති බව ඔබවත් දන්නේ නැත. ටයිටැනික් හි රෝස් ව ජිවත් කරවීමට ජැක් කෙනෙක් පැමිණියත් රනිල් ඔබගේ ආශාව ජිවත් කරවීමට ජැක් කෙනෙක් එන්නේ නැත. ආශාව ඇත්තේ නිර්ධන පන්තියේ ය (තෙවන වර උපුටා දැක්වීම). ආමෙන්! 
මහේශ් හපුගොඩ.
*(1) එක් ජනප්‍රිය පුවත් පතක් විසින් ස්ත්‍රීන් වෙනුවෙන් වෙනම කෝච්චි පෙට්ටි හඳුන්වා දීම පිලිබදව යම් සමීක්ෂණයක් කර පහත තොරතුරු වාර්තා කර තිබුණි. කාර්යාල දුම්රියේ යන ගැහැණු අය පවසා තිබුණේ මෙහි හොඳ නරක දෙකම ඇති බවය. එහිදී එක් කාන්තාවක් කියා සිටියේ තමන් වෙනම පෙට්ටි තිබුණා වුවද මෙතෙක් තමාට පුරුදු පෙට්ටියට පරණ විදියටම නැගී බවයි. එහිදී පිරිමින් විසින් කියා තිබුණේ එම පෙට්ටියට ගොඩ නොවෙන ලෙසත් ඔබලාට අයිති පෙට්ටියට ගොඩ වන ලෙසත් ය. ගැටලුව නම් වෙනම ම පෙට්ටියක් ස්ත්‍රීන් සඳහා රැඩිකල් ස්ත්‍රී වාදීන් විසින් (මොන ස්ත්‍රී වාදයක් ගැනවත් මෙලෝ බෝලයක් නොදන්නා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බඳු ප්‍රසිද්ධ celebrity මන්ත්‍රී වරියන්) හඳුන්වා දී තිබියදීත් අර පරණ ‘නරක පිරිමි’ සහිත පෙට්ටියට ම ගැහැණුන් ගොඩ වන්නේ මන්ද යන ගැටළුවයි. නව සංකේත විශ්වයක් හඳුන්වා දී තිබියදීත් ඇය එය උල්ලංඝනය කරන්නේ ඇයි? එසේනම් එයින් කියවෙන්නේ ඇය සංකේත පිළිවෙල තුළ (අලුත් පෙට්ටිය) සත්‍ය ලෙස නොසිටින බව නොවේද? එසේම දෙවියන් ගේ තහනම ඇය රහසින් (ඇයටත් නොදැනීම) උල්ලංඝනය කරන බව නොවේ ද? 

*(2) අජිත් ධර්මකීර්ති මිතුරා විසින් මා අසන ලද ‘අප දෙස බලා සිටීම නිසා ඔබට ඔබගේ සත්‍ය (නව) යථාර්තය අහිමි වී යා හැකි නොවේද?’ යන පැණයට තරමක් කේන්ති ගොස් ඇති ආකාරයේ පිළිතුරක් කොමෙන්ටුවක් ලෙස ගොනු කර ඇති බව දුටුවෙමි. ඔහු එංගලන්තයේ ලේබර් පක්ෂයේ සාමාජිකයකු බව සහ නව භූමියේ යථාර්තය සමග අනන්‍ය වී ඇති බව එම පිළිතුරේ සඳහන් ව ඇත. එය ඉතාමත් සතුටු දායක දෙයකි. එය මා දැන සිටියේ නැත. ඇත්ත වශයෙන් ඔහු කියන පරිදි මා කිව යුතුව තිබුණේ ‘මා දන්නා පරිදි’ යනුවෙන් ය. අජිත් ඇත්ත වශයෙන් මා අනුභූතික තලයේ බොහෝ දේවල් දන්නේ නැත. ඔබ ගැන මා කිසිවක් දන්නේ ද නැත.  ලෙනින් ගැන බොහෝ ඇසූ පිරූ අයෙක් ද නොවේය (වෙනත් රටවල් ගැන කතා කලත් ලෙනින් තමන්ගේ භූමියේ  ‘වැඩේ’ කළ බව නම් මම දනිමි). අනෙක නම් අජිත් විසින් මා ‘ගොඩයෙක්’ ලෙස නම් කිරීමට ආසන්නයේ ඇති බව ඔහුගේ ව්‍යංග අර්ථයයි. මන්ද එවන් ප්‍රශ්න අසන්නේ ඔහුගේ කොමෙන්ටු වල ඉන්නා පල් ගොඩයන් ය යන්න ඔහුගේ මතය ය. මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ. දේශපාලනික ලෙසය. සහෝදරත්වයෙන් ය. අනෙක එවන් ප්‍රශ්න ඇසූ සහ එම කෘතිය ගැන සඳහන් කල හැමට ම මා එම ලිපිය තුල කෘතඥ විය. ඔබ අපේ අදහස් සමග එකඟ වීම ගැනද ඉතාම කෘතඥ වෙමි. සංවාදයක් ඇතිවීම කොතරම් හොඳද අජිත්. කෙසේ වුවත් මා ‘ගොඩයෙක්’ ලෙස නාමකරණය වීමට මා බිය නැත (මිනිසුන් එයට බය වන්නේ ඇයි?). මන්ද සත්‍යය එය වන නිසාය. රාවය ට ලියන කාලයේ සිට මා යෝජනා කරමින් සිටින දෙය පසුබිම් කරගෙන මා ‘ගොඩයෙක්’ ලෙස එංගලන්තයේ වාසය කරන අරගල කරුවෙක් විසින් නම් කිරීම කොතරම් අපූරු දෙයක් ද අජිත්? ඔබ ලංකාවට ආ දිනක මා ජීවත් වන කෑගල්ලේ ගමට දවසක් ඇවිත් යන්න. එවිට ඔබට සාපේක්ෂව මා කොතරම් ඈත අව-වරප්‍රසාධිත ගමක ජිවත් වන්නේ ද යන්න ඔබට තේරුම් යනු ඇත. නමුත් මම ඒ ගැන නහයෙන් අඬන්නේ නැත (අව වරප්‍රසාධිත තත්වය විකුණා ගෙන කෑමට මට වුවමනා නැත). වෙනත් රටක සිට අප කරන දෙයක් ගැන ප්‍රශ්න ඇසීම සඳහා ඇති ඉඩ මෙයින් වාරණය කිරීමට කිසිසේත් මා අදහස් කරන්නේ ද නැත. අපෙන් ප්‍රශ්නයක් ඇසීම පැහැදිළිව ම ගෞරවයකි. මන්ද ‘දීප්ති නම් එසේ නොඅසන’ බව ඔබ කියා ඇත. ඒ ඔහු මට වඩා සංස්කෘතික සහ නාගරික (සහ දේශපාලනික) නිසා විය හැක. අජිත්, දේශපාලනයේදී මම ඔබට සම්බන්ද වන්නේ දුරක් තබා ගෙන නොවේ. ඒ නිසා මගේ ඇත්ත ප්‍රශ්නය මා ඔබෙන් අසමි. මේ මොහොතේ ද එම ප්‍රශ්නය වෙනුවෙන් මා පෙනී සිටිමි. මන්ද එය බොහෝ දෙනෙකුට අදාළ ප්‍රශ්නයක් වන බැවිණි. වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය (authenticity – අව්‍යාජ බව නැතහොත් සත්‍යතාවය) හැර ඔබට සත්‍ය ලෙස සම්බන්ද විය හැකි අන් මඟක් මා නොදනිමි. 

*(3) බුදු දහම සහ බටහිර දයලෙක්තික චින්තනය අතර සමහන් කල නොහැකි පරතරක් ආශාව සම්බන්දයෙන් පවතී. පවතින තත්වයට වඩා ඉහල තත්වයක් පිළිබද මිනිස් ආශාව නොමැතිව දයලෙක්තික සමාජ වෙනසක් පැවතිය නොහැක. ‘මේ සිංහල අපගෙ රටයි’ ළිපි මාලාව තුල අප පැහැදිලි කිරීමට උත්සාහ කලේ බුදුදහම පදනම් කරගත් චින්තනයක් බටහිර සද්භාවය සමග සම්බන්ද වන්නේ කෙසේද යන්න ය. අප ඒ සඳහා භාවිතා කලේ කියෝතෝ ගුරු කුලයේ ඉගැන්වීම් සහ ආශ්‍රිත අධ්‍යයනයන් ය. ඒ සම්බන්දයෙන් වන කුඩා පොතක් මේ වනවිට සෝදුපත් මට්ටමේ පවතී.  
  
මුලාශ්‍ර: 

Zizek, S. (1995). Woman is One of the Names-of-the-Father, or How Not to Misread Lacan’s Formulas of Sexuation. Lacanian Ink. http://www.lacan.com/zizwoman.htm

Zizek, S. (2016). Rage, Rebellion, New Power. youtube video.  https://www.youtube.com/watch?v=vxfeXYIwnnI

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මහේෂ් සහෝදරයා, මට තවම පොත ලැබිල නැති නිසා ඒ ගැන කියන්න බැරිය . //මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ// මගේ “අහම ” ලෙහෙසියෙන් තුවාල වන එකක් නොවේ. නමුත් මගේ බ්ලොග් ලිපිය විවේචනයක් ලෙස සැලකීමෙන් ඔබේ “අහම” තුවාල වී තිබුණි. ඔඅබ් අර පිටරට සිට ඒ රටේ වාමාංශය සමග වැඩ නොකර ලංකාවේ රෙද්දස්සේ අත දමන්නේ ඇයිද යන බයි (අපි ටොයි පැත්තට කතා කලොත්), ජවිපෙ – (අපි පෙරටු පැත්තට කතා කලොත් ), පෙරටුගාමී (අපි ජවිපෙ පැත්තට කතා කලොත්), ටොයි (අපි යි පැත්තට කතා කලොත්) ප්‍රශ්නයම ඇසීමෙන් ඔබ පෙන්නුම් කලේ එයයි. // වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය (// මේක අමු බොරුවකි. //ඔඅබට මා සමග සම්බන්ධ වීමට මම වමේ දේශපාලනය පමණක් කළයුතු නම් ඔබ සිටින්නේද විජේවීරගේ ස්ටලින්වාදී ආකෘතිය තුල සිරවිය. අනික ලේබර් පක්ෂයේ ඉන්නේද ලනක්වට එහා බොරු කාරයෝය

  2. උදාහරණයක් වශයෙන් මම එන්ෆිල්ඩ් උතුර (ජෝන් රයන් මන්ත්‍රී ගේ) ලේබර් පක්ෂයේ CLP (constituency labour party) එකේ භාණ්ඩාගාරික ලෙස විශාල වැඩි චන්ද ගන්නෛකින් තේරී පත් වුනේ අවුරුද්දකට කලින්ය. නමුත් කෝබින් පැත්තෙන් පැමිණි ලේකම්වරිය ජෝන් රයන්ගේ කණ්ඩායම සමග දොර වසාගෙන ගහගත් ගිවිසුමකින් මගේ පෝස්ට් එක අහිමි විය. ඇගේ හේතුව වුයේ පස් දෙනෙකුගේ කාරක සභාවේ පිරිමින් හතර දෙනෙකු සිටින නිසා සම්ප්‍රදායික ලෙස භාණ්ඩාගාරික පදවිය ගැහැනියකට දිය යුතු බවය. (කලින් අවුරුදු තුනේ සිටි තැනැත්තිය වැඩි වැඩක් කල අයෙකු නොවේ) නමුත් ලේක්ම්වරියට දෙවන වර පත්වීමට අවශ්‍ය චන්ද ගණන සාදා ගනිමට් මගේ පෝස්ට් එක බිලිදී තිබුණි. ඒ පෝස්ට් කිහිපයක් රයන්ගේ පැත්තට දීමෙනි. දැන් රයන් ඉන්ඩිපෙන්ඩන්ට් ගිය නිසා ලේකම් නැවතත් පට දිගට හරහර ඊමේල් එවන්නීඋය. එම අය හා ලංකාවේ අය අතර වෙනස කුමක්ද?

  3. දෙඅනි උදාහරණය නම් මේ ලේබර් පක්ෂයේ බහුතර සාමාජිකයන් මෙහි එන්නේ බෙනිෆිට් හෙවත් සහනාධාර වැඩි කර ගැනීමට මිස සමාජවාදයක් හැදීමට නොවේ. සමාජවාදයේදී හැමෝම වැඩ කල යුතු බවත් රැකියා සපයුතු බවටත් උන්ට ගනනක් නැත. මේ බෙනිෆිට් ගන්නට බදු වැඩි කළ යුතුය. ඔවුනේගේ අදහස මහා පරිමාණ කර්මාන්ත හා බිස්නස් වලින්ඩ් ද රැකියා කරන අයගෙන්ද බදු ගසා තමන්ගේ බෙනිෆිට් හෙවත් සහනාධාර වැඩි කර ගැනීමටය. අප වැනි රැකියා කරන (මා ඉංජිනේරුවෙකි) අය කෙරෙහි කිසියම් ප්‍රතිවිරෝධයක්ද සමහරුන්ගේ තිබුණි.මෙවැනි “තද” වාමාංශික කිහිප දෙනෙක් මට චන්දය නුදුන් බවද දනිමි. මෙහෙම වාමාංශික කණ්ඩායමකින් කෝබින්ට කළ හැකි කිසිවක් නැත. එනිසා මේ වැඩ වලින් යමෙකුගේ දේශපාලන තත්‍යභාවය මැනීමත් විහිළුවකි.

Comments are closed.