”ඇත්තටම මම කැමතියි ඔයාට
වෙන අෆෙයාර් එකක් තියන එකට
ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක්
නොවන තැනකට එනවා. බිත්ති හතරකටයි
එක ගෑනියෙක්ටයි කොටු වෙන මිනිහෙක් නොවන
තැනකට එනවා.”
(ෆැකල්ටි ඔෆ් සෙක්ස්)
අලූත් පිරිමියෙක් වෙලා ඉන්න චින්තන ධර්මදාස ලියපු මේ පොත මිනිස්සු අතර වාෂ්ප වුණා. ඉතින් බැඳපු පිරිමි මේ පොත බලලා වෙනද වගේම වයිෆ් ඔතලා දෙන බත් එක අරන් වැඩට ගිහින් එළවළු මල්ලක් උස්සන් ගෙදර ආවා. බඩු මිල ගැන ? ඇඳේදි කතා කළා. මේක බලපු තරුණයෝ සුපුරුදු විදියට පන්ති ගියා. සයිටම් විරෝධි පෙළපාලිවලට ගියා. ?ට අරක්කු බිව්වා. එතකොට මේක බලපු ගෑනුන්ටත් චින්තන මුකුත්ම වුණේ නෑ. අඩුම තරමේ කස අරන් තට්ටම්වලට ගහන්න පිරිමි ආවේ නෑ. නදීකා නං යෝජනා කළා පිහි අරගෙන පිරිමින්ගේ අවයවය කපමු කියලා. නදීකා.. ලංකාවේ හිස්ටරික ගෑනුන්ට සායනික ප‍්‍රතිකාර නෑ. අපි ඒක වෙනම කතා කරමු. කෙසේ වෙතත් මම කියන්න උත්සාහ කරන්නේ චින්තනගේ ස්වයං වින්දනය ඉක්මනින් ඉවර වෙලා ගියා කියන එක. එතනින් එහාට මුකුත්ම නෑ. අනෙකාට තියනවා කියලා චින්තන හිතපු රෝගය සහ රෝගීන් මේ පොතෙන් හම්බුණේ නෑ. ඒත් මේ පොතෙන් එකම එක රෝගියෙක් හොයාගන්න පුළුවන් වුණා. ඒ චින්තන ධර්මදාස.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියන්නේ ඉරොටික් නවකතාවක් නෙමේ. එතකොට අපි කොහොමද මේක කියවගන්නේ. අපි Pervertion කියලා කියන්නේ විපරිතභාවයට. එතකොට Perverse කියන්නේ අගතිගාමී කියන එක. හරියට චින්තනගේ පොත වගේ. ඒකෙන් කරන්නේ අනෙකාව අගතියට යොමු කිරීමක් විතරයි. සරලවම කිව්වොත් නියමිත මනෝවිශ්ලේෂණාත්මක සායනික ප‍්‍රතිකාර අවම අපේ වගේ රටක මිනිස්සු මේ වගේ පොත් කියෙව්වහම ලෙඩ වෙනවා.
Ru – ”කේ විපරිතයෙක් වගේ මාව පාවිච්චි කළා. මං වහලියක්… වැදගත් වෙන්නේ මගේ මාංශය විතරයි. මගේ පයෝධර… මගේ වැජයිනා එක… මගේ පස්ස.. යු ආර් අ ස්ලට්..යු ආර් අ බ්ලඩි බිච්.. ඒක ට‍්‍රාන්ස් අත්දැකීමක්.. අතිශය තෘප්තිකර ෆැන්ටසියක්” (පිටු අංක 32,33*
Kay – ”ලෝකෙන් අංක එකට සෙක්ස් ගූගල් කරන රටක් කියන එක අවමානෙට කාරණයක් නෙමෙයි. ඒකේ සරලම අදහස සෙක්ස් හොයනවා කියන එක. ඒක හොඳ ජනේලයක්”
චින්තන පොත ලියන්නේ දෘෂ්ටිකෝණ මාරු කර කර. ඒක අනන්‍යතා අර්බුදයක්. රූ කතා කරනවා. ආයෙමත් කේ කතා කරනවා. පොල් ගහක් තිබුණොත් ඒකත් කතා කරන්න ඉඩ තියෙනවා. ඒ අතරේ නදීකා කියනවා මගේ පොතෙත් ඉන්නේ කේ. චින්තගේ පොතෙත් ඉන්නේ කේ කියලා. ඇයි ෆ‍්‍රාන්ස් කෆ්කගේ පොතේ ඉන්නෙත් කේ. ඒක අපූරූ අහම්බයක්. අපි ආයෙමත් මුල් කතා බහට එකතු වුණොත් Pervertion මුලින් ආවේ යුරෝපයෙන්. ඒ ගැන කතා කරන්න ගත්තේ ප‍්‍රංශෙ හිටපු දාර්ශනිකයෙක් වන මාර්කෙස් ඩි සාර්. ඔහු මෙන්න මෙහෙම අදහසක් ගේනවා.” අනෙකාට වඩාත්ම කිට්ටු වෙන්න නම් අප අනෙකාගේ ආශාව නොවේ විනෝදය සපුරාලිය යුතුයි කියලා. එනම් අනෙකාගේ ශරීරය සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න ඕන කියලා”. සාර් තමයි Sadism (පරපීඩාකාමුකත්වය) කියන වචනය හඳුන්වා දුන්නේ. පරපීඩාකාමුකත්වය කියන්නේ අනෙකාගේ වේදනාවේ උපකරණයක් වීම. මෙහි දී සරලවම අනෙකා ඉල්ලන දේ ලබා දෙනු ලබනවා. මේ පොතේ Ru ගෙ චරිතේ සහ හැසිරීම මඟින් අපිට මේක වඩාත් හොඳින් වටහා ගන්න පුළුවන්. මේකේ පැරඩොක්ස් එක තමයි Masochist (ස්වපීඩාකාමුකත්වය) කියන්නේ. ඒක අපිට මෙන්න මේ විදියට නිදසුනක් සමඟ තේරුම් ගන්න පුළුවන්. හිතන්න යමෙක් තමන්ගේ පරමාදර්ශී ස්ත‍්‍රිය වෙනුවෙන් ජීවිත කාලය පුරාම කැප වෙලා ඉන්නවා කියලා. එතකොට යථාර්ථමය නොවන පරමාදර්ශී ස්ත‍්‍රිය නැමති ෆැන්ටසිය වෙනුවෙන් කැපවීමේ මිහිරි වේදනාව විඳින එක අපිට ස්වපීඩාවක් විදියට වටහා ගන්න පුළුවන්. ස්ත‍්‍රියගේ සාරය වෙනුවෙන් තමන්ගේ ශරීරයට දුක් දෙන පිරිමි කොයිතරම් නම් අපි අවට ඉන්නවද?
රුවන් බස්නායක කියන්නේ අන්න ඒ වගේ තමන්ගේ මුළු ජීවිතයම ඒ වගේ ස්ත‍්‍රියක් හදන්න මනසින් තැටමුව කෙනෙක්. ඒක බැරි වුණාම ඔහු කරේ නිමිත්ත මාරු කරපු එක. ගෑනු ශරීරයෙන් ඔහු සතිපට්ඨානයට මාරු වුණා. භාවනා කරන්න ගත්තා. ඉන්දියාවේ ඍෂිවරුන් සොයා ගියා. ටාසන්ගේ වික‍්‍රමය වගේ පොතක් ඔහුට ලියන්න පුළුවන් වෙන තරමටම ඔහු තමන්ගේ ෆැන්ටසිය මාරු කරා එක එක දේවල්වලට.
පරපීඩකයන්, ඒ කියන්නේ චින්තනගේ ජාතියේ රෝගීන් කිසි දවසක ඉස්පිරිතාල (සායන) වලට යන්නෙ නෑ. ඔවුන් හිතන්නේ ප‍්‍රශ්නය තියෙන්නේ අනෙකා ළඟ කියලා. එය ඔහුගේ ප‍්‍රශ්නයක් කියන එක ඔහු වටහා ගන්නේ නෑ. යුරෝපයේ මේ වගේ පිරිමි බඳින්න ගෑනු නෑ. ලංකාව වගේ රටක ඉපදුන එක ගැන චින්තන ස්තූතිවන්ත විය යුතුයි. චින්තනලා වගේ පිරිමි බාරගන්න, නඩත්තු කරන්න අපේ රටේ ගෑනු තාමත් ඉන්නවා. ලහිපිට මංගල යෝජනා පිටුවේ මේවට උදාහරණ ඕන තරම් තියනවා. ආබාධිත සෙබළුන්, අන්ධ පිරිමින්, අහිංසක වයසක වැන්දඹු පිරිමින් ඉල්ලා සිටින ගෑනු ඕන තරම් ඒ පිටුවලින් හොයාගන්න පුළුවන්. මනෝවිශ්ලේෂණය ගැන ලියවිලා තියෙන පොත් පත්තර කියවීම වුවමනාවෙන්ම මඟහරින ලංකාවේ සමහර ගෑනු, පිරිමින්ට මේවා තේරුම් ගන්න බෑ. ඒ නිසයි ළමා වියේ පහර කෑමට ලක් වුණු පිරිමි දරුවන් ලොකු වුණාම මේ වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අසනීප සාහිත්‍යය කෘති බවට පරිවර්තනය කරනවා වගේ වැඩ. ඉතින් කොහෙන් කියෙව්වත් කොතනින් පටන් ගත්තත් මේක ඉරොටික් නවකතාවක් නෙමේ. මේක සම්පූර්ණයෙන්ම Perverse කතාවක් විතරයි. Perverse කතාවල වෙන්නේ අනෙකාව Subject එකක් විදියට නැතුව Object එකක් බවට පත් කිරීමක් පමණයි. හිච්කොක් එයාගේ චිත‍්‍රපටවලින් කරන්නෙත් එයාගේ පේ‍්‍රක්ෂකයන්ව සම්පූර්ණ අවුල්සහගතභාවයට පත් කරන එක.
ඞීමන් ආනන්දගේ කතා වගේම ඒ කාලේ මිනිස්සු කියවපු සීදේවි, රස රහස්, රතී, සොඳුර, නවරස වගේ අසභ්‍ය පත්තර Perverse තලයට වැටෙන්නෙ නෑ. අපි ඒවට කියන්නේ නියුරොටික් පත්තර කියලා. නිතරම ඒ කතන්දරවල තියෙන්නේ ආත්ම දෙකක් අතර ඇති වන සංවාද. නියුරෝසිකයෙක් කියන්නේ බාහිර බලපෑමක් නිසා තමන්ගේ ඉරොටික් ආශාව ෆෙල් වුණාම ඒ ෆේලියර් එකෙන් වින්දනයක් ලබන කෙනෙක්. චින්තන ධර්මදාස තමන්ගේ Perverse කතාව ඉරොටික් ටැග් එකෙන් ශිෂ්ට කරන්න උත්සාහ කරාට ඉරොටික් කියන්නේ මානසික දෙයක් කියන එක සහ ආඛ්‍යානයක් මිසක් ප‍්‍රතිරූපයක් නෙමෙයි කියන එක දන්නේ නැහැ.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියවලා ඇඳවල් උඩ නිරුවතින් දිගා වෙලා තමන්ගේ නිරුවත යන්තමින් පොතින් වහගෙන පින්තූර දාන ‘අලුත් පිරිමි’ අපිට පැහැදිලි කරනවා මේ පොත නිරෝගී මිනිස්සු කියෙව්වහම ඒ අය Sadist ලා වෙනවා කියන එක. එහෙම බැලූවහම මේ පොතේ අරමුණ ඉටු වෙලා. නදීකලා වගේ ස්ත‍්‍රීවාදිනියන් මේ පොතෙන් රෝගී වුණා. සමහරවිට කුමාරි කුමාරගමගේ පොත් ප‍්‍රදර්ශනය ඇතුළේ කටේ ඩක් ටේප් අලවන් ඇවිද්දේ මේ නිසා වෙන්නත් පුළුවන්. කුමාරිට Gag ball එකක් හොයාගන්න බැරි වෙන්න ඇති.
වැරදීමකින් රනිල්ගේ ඇෙඟ් හැපිලා ඇන්ටාක්ටිකාවේ හිම වලහෙක් වගේ පූර්ණ නිද්‍රාමය තත්ත්වයක හිටපු සන්නස්ගල ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ප‍්‍රින්ට් කරන්න ලැබීමෙන් එකපාරට ගැස්සිලා ඇහැරුණා. චින්තන ධර්මදාසගෙ පොතට සන්නස්ගලගේ සීත කාලේ අවසන් කරන්න පුළුවන් වුණා.
පැරණි මිත‍්‍රයෙක් චින්තනගේ පොත ගැන කියනවා මෙහෙම කතාවක්. ”චින්තනගේ හැම නිර්මාණයකම තැවරිලා තියන ජීවිතය ගැන යෝජනාවක් මේ පොතෙන් සැරටම එළියට එනවා. ඒ තමයි ඇක්සිඩන්ට් මඟ නොහැර ජීවත් වෙන්න කියන එක. ඇක්සිඩන්ට් නැත්තන් ජීවිතය බෝරිං”
මිත‍්‍රයා, කලර් ලයිට්ස් කණු කඩාගෙන කහ ඉරි කපාගෙන නතර කරලා තියන ලොරි බෑයක වින්ස්ක‍්‍රීරීන් එක අස්සෙ ගිහින් ඔළුවෙ පැත්තක් පොඩි කරන් මහ ඉස්පිරිතාලේ හතේ වාට්ටුවේ ඇඳකට වෙලා ඉන්න වෙන ඇක්සිඩන්ට් එකකින් ජීවිතේට ගන්න පුළුවන් ආතල් එක මොකක්ද?
රමේෂා සිරිවර්ධන