(මෙම ලිපිය සඳහා කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල සහභාගී වූ “පත්තරෙන් එහා“ වැඩසටහන හා කල්‍යානන්ද පෙරේරා හා සමිතා ඇතුල්දොරආරච්චි සහභාගී වූ YouTube වැඩසටහන පාදක වේ.)

දෘශ්‍යමානයට අනුව කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල බැරෑරුම් මිනිසුන් ලෙස බොහෝ දෙනා නො සලකයි. කුමාර තිරිමාදුර ම ප්‍රකාශ කරන පරිදි මිය ගිය ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිට අනුව කුමාර තිරිමාදුර රස්තියාදුකාරයෙකු වන අතර සරත් කොතලාවල යනු ගොවියෙකි. එහි දී ඔවුහු තම සම්මානනීය නළු අනන්‍යතාවයට අනුගත නො වෙමින් ජැක්සන්ගේ ප්‍රකාශය පිළි ගනිති. ඊට පටහැනිව දෘශ්‍යමානයට අනුව කල්‍යානන්ද පෙරේරා හා සමිතා ඇතුල්දොරආරච්චි ඔවුන්ට වඩා යමක් දන්නා අයවලුන් ලෙස සලකයි. ලැකාන්ට අනුව කතිකාවක දී දෘශ්‍යමානයේ තීරකය වන්නේ ඊට බලපෑමක් සිදු කරන සත්‍යය යි. දෘශ්‍යමානයට වහ වැටී සිටින බොහෝ දෙනෙකුට මෙය මග හැරෙයි. සරත් කොතලාවල ඉහත වැඩසටහනේ දී සඳහන් කරන්නේ මිනිසෙකු බාහිරයෙන් දුටු පමණින් ඔහු කවුරුන්දැයි නිශ්චිතව හඳුනා ගත නො හැකි බව ය. ඔහුගේ ම වචනවලින් සඳහන් කරන්නේ නම් සතා මොකාදැයි බාහිරෙන් නිශ්චිතව පැවසිය නො හැක.

ව්‍යුහවාදයට අනුව සඳහන් කරන්නේ නම් කිසිවකට එයට ම වූ සාරයක් නො මැත. ලාංකේය සාමාන්‍ය ඇකඩමික භාවිතාව ව්‍යුහවාදී නො වන නිසා කුමාර තිරිමාදුරට හා සරත් කොතලාවලට වඩා කල්‍යානන්ද පෙරේරාට හා සමිතා ඇතුල්දොරආරච්චිට සාරයක් ඇතැයි විශ්වාසයක් පවතියි. ඒ කල්‍යානන්ද පෙරේරා යනු දීප්ති ආරම්භ කළ X කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකුව සිටීම නිසාත් හා සමිතා ඇතුල්දොරආරච්චි මනෝවිද්‍යාව හදාරා තිබීම නිසාත් (දෙදෙනා ම මනස පිළිබඳ සාකච්ඡා කරන නිසාත්) ය. කුමාර තිරිමාදුර ඉහත සංවාදයේ දී සඳහන් කළේ ඔහුට වැඩියෙන් කතා නො කරන ලෙසට සරත් කොතලාවල පවා පැවසූ බව ය. නමුත් ඔවුහු එම රූපවාහිනී වැඩසටහනේ දී නිදහසේ කතා කළහ. ඔවුන්ට බොහෝ විට රූපවාහිනී නාලිකාවල නිතර පෙනී සිටින්නට සිදු වන “Chat & Music” වැනි වැඩසටහන්වල ඕපදූප, විහිළු හා ගීතවලට පටහැනිව එම වැඩසටහනේ දී ඔවුහු කලාව, සිනමාව හා සමකාලීන දේශපාලනය ආදී මාතෘකා පිළිබඳව කතා කළහ. මෙයට පටහැනිව කල්‍යානන්ද පෙරේරා ඕනෑම YouTube සාකච්ඡාවක දී ඕපදූප, විහිළු හා ගීතවලට පටහැනිව ඉතා බැරෑරුම් යැයි සලකන මාතෘකා කතා කරනු බැලූ බැල්මට පෙනේ. මේ දිනවල දී ද ඔහු තම YouTube නාලිකාවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ වර්තමාන දේශපාලනය හා ජා.ජ.බ. පිළිබඳ සාකච්ඡා කරන අයුරු අපට අසන්නට දකින්නට ලැබේ.

ඉහත YouTube සාකච්ඡාව‍ ආරම්භයේ දී ම කල්‍යානන්ද පෙරේරා මනෝවිශ්ලේෂණය පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රකාශ කරන විට සමිතා එය යම් ප්‍රමාණයකට නිවැරදි කරනු ලබයි. ඇය එහි දී ප්‍රකාශ කරන එක් කරුණක් වන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණයේ පියා වන නමුත් තමන්ගේ විෂය ක්ෂේත්‍රය මනෝවිශ්ලේෂණය නො ව මනෝවිද්‍යාව බව ය. කල්‍යානන්දට අනුව ශ්‍රී ලංකාවේ දී අවිඥානය සොයා ගෙන ඇති අයෙකු වන්නේ වික්ටර් රත්නායක ය. ඒ “මාලිනියේ“ නමැති ගීතයෙනි. ඔහුගේ මාර්ගයේ දිගටම ගමන් කරන විට දී අපට හමු වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ය. මන්ද යත් “මාලිනියේ“ නැමැති ගීතය ලියා ඇත්තේ ඔහු වන නිසා ය. කල්‍යානන්ද පෙරේරා සඳහන් කරන්නේ එම ගීතයේ “මාලිනියේ“ යනුවෙන් ගයන කොටස සවිඥානය බවත් “නො රැවටෙන්“ යනුවෙන් ගයන කොටස අවිඥානය බව ය. ඔහුගේ සොයා ගැනීම අනුව කෙනෙකුගේ අවිඥානය යනු සවිඥානය පරිදි ම තමන්ට ම හඳුනා ගත හැකි යමකි. ඔහුට අනුව අවිඥානය යනු සවිඥානයට විරුද්ධ යමකි. නමුත් අප වටහා ගත යුත්තේ සිතුවිලිවලට පටහැනි වෙනත් සිතුවිල්ලක් අවිඥානය නො වන බව ය. මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ සවිඥානය හා අවිඥානය යනු අන්‍යෝන්‍ය වශයෙන් අසංගත ඒවා බව ය. අප වටහා ගත යුත්තේ සවිඥානක තෝරා ගැනීමක් මඟින් ආත්මය – Subject – යමකට කැමති වුවත් ආශාව සෑම විට ම අවිඥානක වන බැවින් එය සවිඥානක මෙහෙයවීමක් බවට ඌනනය කළ නො හැකි බව ය. එවිට ආශාවේ පවතින අවිඥානක ස්වරූපය මඟින් ආශාව කුමක්දැයි තමන්ට ම දැන ගැනීම අසීරු කරවයි. තමන්ගේ ඇතුලාන්තයට කිඳා බැසීමෙන් කිසිවිට අවිඥානය සොයා ගත නො හැකි ය. ඒ අර්ථයෙන් මනෝවිශ්ලේෂණය සාම්ප්‍රදායික දාර්ශනික සම්ප්‍රදායට එරෙහි වේ. එය සද්භාවවේදයක් (ontology) නො ව නොසද්භාවවේදයක් (meontology) ලෙස නම් වන්නේ ද එනිසා ය. වෙනත් ආකාරයට සඳහන් කරන්නේ මනෝවිශ්ලේෂණයේ විෂය පථය වන්නේ සත්තාව (being) නො ව නො-සත්තාව (non-being) ය.

මනෝවිශ්ලේෂණයේ පදනම වන්නේ අවිඥානය සොයා ගැනීම බව අපි දනිමු. නමුත් අවිඥානය යනු පදයක් නම් එම පදය සොයා ගෙන ඇත්තේ සිග්මන්ඩ් ෆ්‍රොයිඞ් නො ව ෆ්‍රෙඩ්‍රික් ෂෙලිං ය. ඔහු එය මනස හා රෝමෑන්තික කවිය විස්තර කිරීම සඳහා යොදා ගෙන ඇත. රෝමෑන්තික අවිඥානය යනු තමන්ගේ හැඟීම් හා භාවයන් පැහැදිලි කරනු ලබන අභ්‍යන්තර තත්ත්වයකි. මෙම අවිඥානය මනෝවිශ්ලේෂණයට අදාළ අවිඥානය මෙන් භාෂාව (කථනය) මඟින් බාහිරට ප්‍රක්ෂේපනය වන යමක් නො වේ. ෆ්‍රොයිඩ් පෙන්වා දුන් අවිඥානය කෙනෙකුට ප්‍රකාශ කිරීමට නො හැකිව සඟවා ගෙන තිබෙන යමක් නො ව වචන හා ක්‍රියා මඟින් ප්‍රකාශමාන වන්නකි.

එවිට දීප්තිගේ ශිෂ්‍යයෙකු හෝ සමකාලීනයෙකු ලෙස ඇතැමුන් සලකන කල්‍යානන්ද සිටින්නේ ෂෙලිංගේ රෝමෑන්තික අදහස තුළ මිස දීප්ති හඳුන්වා දුන් ෆ්‍රොයිඩියානු ලැකානියානු මනෝවිශ්ලේෂණය මත පදනම්ව නො වේ. මනෝවිශ්ලේෂණයට අනුව කෙනෙකුගේ සවිඥානක මනස මාලිනිය පිළිබඳ කුමන ආකාරයේ කරුණු දැන ගත්ත ද මාලිනියට ආශා කිරීම නවත්වන්නේ නැත. ආශාවේ අවිඥානක ස්වරූපය යනු එය යි. එනම්, සවිඥානක කැමැත්ත අවිඥානක ආශාව ඉදිරියේ බිඳවැටෙන බව මනෝවිශ්ලේෂණය පෙන්වා දෙයි. නමුත් මෙම අවිඥානය සිහින, කටවැරදීම්, විහිළු හා සායනය මඟින් අභිමුඛ කරවිය හැකි ය. එම වැඩසටහනට අනුව අවිඥානය පිළිබඳ ගැටලුව අපට මෙසේ ගොනු කළ හැකි ය. ඔබට මනස පිළිබඳ කතා කරන්නට දීප්ති හැර වෙනත් යමෙකු අවශ්‍ය වන්නේ ඇයි?

දීප්තිගේ ඇතැම් සිසුන්/සමකාලීනයන් දීප්තිගේ නාමය මකා දමද්දී සරත් කොතලාවල “පත්තරෙන් එහා“ රූපවාහිනී සංවාදයේ දී ඔහුගේ ගුරුවරයා පිළිබඳ ගරුත්වයකින් යුතුව කථා කරයි. ඒ ෂෙල්ටන් පයාගල පිළිබඳව ය. ඔහු පිළිබඳ විවේචනාත්මක කියවීමක් කොතලාවලට තිබේ. ඔහු සියල්ල ම නොඉගැන්වීම කොතලාවලට ගැටළුවක් නො වේ. ඒ නිසා ෂෙල්ටන් පයාගලට විරුද්ධව කැරලි ගැසූ බවක් ඔහු සඳහන් කරන්නේ නැත. පයාගල කිය වූ පොත්වල මුල් පිටපත්වල වැඩිමනත් යමක් ඇති බව හෝ මුල් පිටපත් කියවන්නට උත්සාහ කළ බවක් වැනි පණ්ඩිතමානී කතා ද ඔහුගේ කතාව තුළ අපට අසන්නට ලැබුණේ නැත. කුමාර තිරිමාදුර ද හෙන්රික් ඉබ්සන්ගෙන් ඉගෙන ගත්තා වැනි බොරු කියනවාට වඩා දීප්ති කුමාර ගුණරත්නගෙන් යමක් ඉගෙන ගත් බව ප්‍රකාශ කිරීමට මැලි නො වේ. ඔවුහු තමන් අවිධිමත් බව පිළිගනිති. එමෙන් ම යම් කාර්යයක් සිදු කිරීමේ දී පදනමක් තිබීම වැදගත් බව ද ඔවුහු පෙන්වා දෙති.

විනෝදය සඳහා සිංහල ජනවහර තුළ “ආතල්“ නමැති පදය ද යෙදෙන ආකාරය දැන් දැන් දැකිය හැකි ය. නමුත් එය මනෝවිශ්ලේෂණයට සම්බන්ධ කළ හැකි වන්නේ ”වේදනාත්මක සතුට”- pleasure in pain – නමැති අදහස සමඟ ය. ජගත් මනුවර්ණගේ “රහස් කියන කඳු“ (2023) චිත්‍රපටයේ තමන් නිරූපනය කළ ‘සිල්වා’ නමැති හමුදා සාජන්වරයාගේ චරිතය හා බැඳුණු සිදුවීමක් කොතලාවල එම වැඩසටහනේ දී පැහැදිලි කළ ආකාරය සංක්ෂිප්තව පහත පරිදි සටහන් කළ හැක. “මිනීමරපු එකා ඉන්ජෙක්ෂන් එක ගහ ගන්නෙ මොනතරම් අමාරුවෙන් ද… ඉන්ජෙක්ෂන් එක වදින විදියේ තමයි, ආතල් එක තියෙන්නේ. ඉන්ජෙක්ෂන් එක වදින මොහොතේ තියෙන ආතල් එකත් එක්ක තමයි ගහ ගන්නේ. අනෙක් එකාගෙන් තමයි ඒක ස්පාක් වෙන්නෙ. මේ ආතල් එක සිස්ටම් එකේම තියෙන ආතල් එක“ වේදනාත්මක සතුට පිළිබඳ මෙම කියවීම නො වන්නට ඔහු ට ජගත් මනුවර්ණගේ “රහස් කියන කඳු“ චිත්‍රපටයේ දක්ෂ රංගනයක යෙදෙන්නට නො හැකි වනු ඇත.

මෙයට පටහැනිව දීප්ති කුමාර ගුණරත්නට එරෙහිව කැරලි ගැසූ පුද්ගලයා සමිතා සමඟ සාකච්ඡා කරන විට තමන් නො දන්නා දේ ප්‍රකාශ කිරීමට ගොස් දුෂ්කරතාවයට පත් වන්නට අවිඥානකව ආශා කරන්නේ ඇයි? මනස පිළිබඳ කතා කිරීමෙන් ලබන විනෝදය සමඟ එම සංවාදය ගලා යයි. එනම්, මනස පිළිබඳ වරදවා කතා කිරීමෙන් ලැබෙන වේදනාත්මක සතුට නම් දීප්තිට විරුද්ධ වීම පුනරාවර්තනය වන ආකාරය යි. මෙම වේදනාත්මක සතුට හෙවත් විනෝදය සෑම විට ම අනෙකාට සම්බන්ධ ය. මා නො විඳින යමක් අනෙකා විඳින්නේ ය යන අදහස ඒ තුළ පවතියි. එනම්, තමන්ට තහනම්ව හෝ ලබාගත නො හැකි යමක් අනෙකා විඳින්නේ යැයි පූර්ව කල්පනය කිරීම ය. නමුත් මෙහි දී ඔහුට අමතක වන්නේ හා ඔහුට අප්පිරියා සහගත වන්නේ තමන්ගේ ම අසීමාන්තික විනෝදය යි. අප දන්නා පරිදි එවැන්නෙකු මෙම අනෙකා විඳින්නේ යැයි පූර්වකල්පනය කරන විනෝදය තර්ජනයට හෝ පැහැර ගැනීමකට ලක් කිරීම සිදු කරයි. මෙම වැඩසටහනේ දී ඔහු සිදු කරන්නේ මනස පිළිබඳ කතා කිරීමෙන් දීප්ති ලබනවා යැයි ඔහු සිතන විනෝදය පැහැර ගැනීමට ලක් කිරීමට උත්සාහ කිරීම ය. නමුත් ඔහු පත් වන අපහසුතාවය මඟින් ඔහුට ම නැවත තේරුම් කරවන්නේ දීප්ති එවැනි විනෝදයක් නො විඳින බව ය. එ නම්, එය දීප්තිගේ ගැටලුවක් නො ව ඔහුගේ ම ගැටලුවක් බව ය.

අනෙකාගේ විනෝදය පැහැර ගැනීම හා තර්ජනයට ලක් කිරීම සම්බන්ධ මෙම අදහස ඩිජිටල් අවකාශයක නිතර සැරිසරන තාරුණ්‍යයට අදාළ කාලීන නිදසුනකින් අපි පැහැදිලි කර ගනිමු. කෙනෙකු තම බාහිර දෘඩ තැටිය (External Hard Disk) මේසයක් මත තබා වෙනත් වැඩක යෙදෙන්නේ යැයි සිතමු. එතැන සිටින ඔහු දන්නා වෙනකෙකු එම බාහිර දෘඩ තැටිය අයිතිකරුට නො පෙනෙන ලෙස ලබාගෙන එහි ඇති දත්ත එකම ෆෝල්ඩර් නාමයකින් තම පරිගණකයට පිටපත් කරන්නේ නම් ඔහු විසින් සිදු කරන්නේ අනෙකාගේ විනෝදය පැහැර ගැනීමකට ලක් කිරීම ය. තව ද ඔහුට අනෙකාගේ විනෝදය තර්ජනයට ලක් කිරීම හෝ සීමා කිරීම ද සිදු කළ හැකි ය. ඒ සඳහා ඔහුට එම දෘඩ තැටියේ දත්ත මකා දැමිය හැකි ය. නො එසේ‍ නම් මුරපදයක් යොදා අනෙකාට එය භාවිතා කිරීම වැළැක්විය හැකි ය. මෙහි දී අනෙකා විඳින්නේ යැයි තමන් සිතන විනෝදය තමන්ට තර්ජනයක් ලෙස පවතින අතර ම එය තමන්ව ම චලනය කරවයි. ඔහු සිතන්නේ තමන්ට වඩා වැඩිමනත් යමක් අනෙකා තුළ පවතින බව ය. අනෙකා පිළිබඳ අපුල ඇති වන්නේ එ නිසා ය. අනෙකා තමන්ගෙන් දුරස්ථ විදේශීය ලෙස ඔහුට හැඟෙයි. නමුත් අප වටහා ගත යුත්තේ අනෙකා විඳින්නේ යැයි තමන් සිතන විනෝදය තමන් තුළින් ම පසු ආවර්තිතව ගොඩනැගෙන යමක් බව ය. මෙය දීප්ති විසින් ලිපි, ග්‍රන්ථ, දේශන හා පන්ති ගණනාවකදී පෙන්වා දී ඇත; උගන්වා ඇත. නමුත් දීප්තිගෙන් උගත් අයෙක් විසින් ම තමන් අනෙකාගේ විනෝදය පැහැර ගැනීම සිදු කළ බව සිතන්නේ නම් ඔහු මනෝවිශ්ලේෂණය ඉගෙන ගත් හෝ ඉගෙන ගන්නා කෙනෙකු නො වන අතර තවදුරටත් එවැන්නෙකුට උගන්වා ද ඵලක් නැත. එවැන්නෙක් දේශපාලනික ආත්මයක් වනු වෙනුවට අනෙකාගේ විනෝදයේ උපකරණයක් වෙමින් විපරීත ක්‍රීඩාවක යෙදෙන්නෙකු පමණක් බවට පත් වනු ඇත.

මෙයට පටහැනිව කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල ව්‍යාජ පණ්ඩිතකම් කියන්නට හෝ තමන් දන්නා බව අඟවන්නට නො යෑම විශේෂත්වයකි. තමන් දන්නා බව පෙන්වන්නට දරණ උත්සාහයන් හා දෘශ්‍යමානය නඩත්තු කරන්නට යාමෙන් ඉතා දුෂ්කර තත්වයකට පත් වන්නට ඔවුන්ට සිදු වන්නේ නැත. තමන් විනෝද වන බව කියන්නට ඔවුන් බය වන්නේ නැත. කල්‍යානන්ද පෙරේරා හා සමිතා ඇතුල්දොරආරච්චි සහභාගී වූ YouTube වැඩසටහනේ දී සාකච්ඡා වන ආකාරයට භාෂාව ස්ත්‍රී හා පුරුෂ ලෙස බෙදීම මනෝවිශ්ලේෂණයට අදාල කරුණක් නො වේ. එමෙන් ම මනෝවිශ්ලේෂණයට අනුව ස්ත්‍රීත්වය හා පුරුෂත්වය යනු සමනය කළ නො හැකි පසමිතුරුතාවයකි.[antagonism] කොතලාවල තමන්ගේ නාට්‍යවල කාන්තා චරිත නො මැතිවීම හා කාන්තාවන් පිළිබඳ ඔහුගේ අදහස ඉස්මතු නො වීම පිළිබඳව සඳහන් කරන විට ඉහත අදහස සනාථ වේ. ඔහු සඳහන් කරන්නේ නාට්‍යයකට කාන්තාවන් සහභාගී වන විට ප්‍රශ්න රැසක් ඇති වන බව ය; එවිට පිරිමින් හැසිරෙන ආකාරය තමන් වටහා ගෙන ඇති බව ය. එය අත්දැකීමෙන් තමන් දන්නා බව ය. කිසි දා සමනය කළ නො හැකි මෙම ස්ත්‍රී-පුරුෂ පසමිතුරුතාවය ඔහු අත්දැකීම් ඇසුරෙන් පහදන්නේ එසේ ය. එසේ නො මැතිව ඔහු භාෂාව ඇසුරෙන් පිරිමියාට එරෙහිව ගැහැණිය හෝ ගැහැණියට එරෙහිව පිරිමියා ගොඩ නංවන්නට යන්නේ නැත.

වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල අතින් විශ්ලේෂණය වන්නේ ලාංකේය නරුමවාදී මනස ය. ඔවුන් කල්‍යානන්ද හා සමිතා ආකාරයට මනස සංස්ලේෂණය කරන්නට යන්නේ නැත. තිරිමාදුර සඳහන් කරන්නේ දේශපාලකයින්ට හොරු යැයි කියන බොහෝ දෙනා හොරු බව ය. එහි දී නරුමවාදී භාවිතාව විචාරයට ලක් කරයි. ඒ අතර ම තමන් පිළිබඳ ව විචාරාත්මක කියවීමක් ඔවුන්ට ඇත. නිදසුනකට සරත් කොතලාවල සඳහන් කරන්නේ තමන් ගමෙන් නගරයට පැමිණි අයෙකු බව ය. එහි දී ගමෙහි පැවති ආරක්ෂාව මෙන් ම කොඩිවින, කුහකභාවය ආදිය ද ඔහු සඳහන් කිරීමට පසුබට නො වේ. නගරයට පැමිණීමෙන් පසු සිදු වන පරාරෝපණය මඟින් ඔහු කලාවට යොමු කරවා ඇත. ඒ පිළිබඳ කියවීමක් ඔහුට ඇත. කුමාර තිරිමාදුර ද ප්‍රකාශ කරන්නේ තමන් නගරයේ සිදු වන විවිධ අපචාර දකිමින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගත් බව ය. එහි දී ඔවුන් යහපත් මහත්වරුන් මෙන් දෘශ්‍යමානය නඩත්තු කරන්නට යන්නේ නැත. තමන්ගේ ම අතීතය පිළිබඳ විවේචනාත්මක කියවීමක් ඇති බැවින් ඔවුහු අතීත වරදකාරීත්වයකින් ව්‍යාජ ලෙස අත්මිදීමට උත්සාහ දරන්නේ නැත. ඔවුන් මෙහි දී සිය අත්දැකීම් ඇසුරෙන් ප්‍රකාශ කරන බොහෝ දේ මනස පිළිබඳ දයලෙක්තික කියවීමකට සමීප ය. එ නම්, ආත්මයේ බෙදුණු ස්වරූපය ඔවුහු අත්දැකීම් ඇසුරින් අපට විශද කරවයි. “අපි නළුවො තමයි, හැබැයි අපිට තේරෙනව අපි තුළ නළුවො නො වන වෙනත් කෙනෙක් ඉන්නවා වගේ.“ ඔවුන් සඳහන් කරන්නට උත්සාහ කරන්නේ එය නො වේ ද?

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

 

ඔබේ අදහස කියන්න...