මෙවර පැවති ප්‍රධාන මැයි දින රැස්වීම් තුනම හරයෙන් ගත් විට කම්කරුවන්ට කුමන හෝ සම්බන්ධයක් නැත. ඒවා මූලික වශයෙන් පවත්වන ලද්දේ තම තමන්ගේ ‘බලය’ ජනතාවට පෙන්නුම් කිරීම සඳහාය. ජනතාවට ‘බලය’ පෙන්නුම් කරන ලද්දේ විවිධ රූපවාහිනී නාලිකා සහ සමාජජාල වෙබ් අඩවි හරහාය. අතීතයේදී නම් මෙවැනි මැයි දින රැළි සඳහා ‘ජනතාව’ පැමිණියේ ස්වේච්ඡාවෙන්ය. නමුත් මේ වනවිට ජනතාව යනු මුදල් ගෙවා බස් රථ වලින් ගෙන්වා ගන්නා පුද්ගලයන් සමූහයකි. ආණ්ඩු නිර්මාණයේදී සහ ආණ්ඩු බිඳ දැමීමේදී මේ වර්ගයේ කෘතිම ‘ජනයා’ ( කල්පිත ජනයා ) සැබෑ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

බාහිරට කෘතිමව පෙන්වන ප්‍රබන්ධයක් අප මේ ජීවත් වන ලෝකයේ සැබෑ විපර්යාස ඇති කරන බව අපට ඔප්පු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා නැරඹිය යුත්තේ ඇල්ෆඩ් හිච්කොක්ගේ ’39 Steps’ චිත්‍රපටයයි. චිත්‍රපටයේ කථා සාරාංශය පහත පරිදිය.
(A) රිචඩ් හැනේ යනු අහිංසක සරල මිනිසෙකි. ඔහු විඩාව නිවාගන්නට සන්ධ්‍යාවක නාට්‍යයක් නරඹන්නට යයි. එහි සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔහුට තරුණියක් මුණගැසෙන අතර පසුව ඇය ඝාතනයට ලක් වෙයි. අපරාධකරුවා සැඟවෙන නිසා ඝාතනයට වඟකීම භාරගෙන මිනීමරුවකු වීමට රිචඩ් හැනේට සිදුවෙයි. ඔහුට තමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන තුරු හැසිරීමට සිදුවන්නේ මිනීමරුවකු ලෙසයි.

(B) අපරාධ ස්ථානයක් පරික්ෂා කිරීමට යන අතරේදී එහි සිටින නොහදුනන තරුණ ස්ත්‍රියක් සමඟ රිචඩ්ව මාංචුවක තබා ගැට ගැසීමට පොලිසිය තීරණය කරයි. අතරමඟදී සිදුවන හදිසි අනතුරක් හරහා හැනේ අර තරුණිය සමඟ පැන යන අතර දෙදෙනාටම ‘මහජනයා’ ඉදිරිපිට ආදරවන්තයන් ලෙස හැසිරීමට යතාර්ථය බල කරයි. මෙම හැසිරීම තාත්වික කිරීමට ජෝඩුවම දරන උත්සහය තුළ බාහිර ජනයා ඔවුන්ව ඇත්තටම ප්‍රේම ජෝඩුවක් ලෙස අර්ථකතනය කර ගනියි.

(C) සත්‍ය වශයෙන්ම අන්‍යන්ට පෙනෙන්නට කරන රඟපෑමකට බාහිරව ඉහත කී ජෝඩුව අඩුම වශයෙන් එකිනෙකාව හඳුනන්නේවත් නැත. බාහිර ලෝකයේ බලකිරීම නිසා ඔවුන්ට ආදරය කරන ජෝඩුවක් ලෙස රඟපාන්නට සිදුවෙයි.
(D) ජෝඩුවේ තාත්වික රංගනය නිසා සමාජය ඔවුන්ව සැබෑ පෙම්වතුන් ලෙස හඳුනාගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඔවුහු රඟපෑම නවතා ඇත්තටම ආදරය කරන්නට පටන් ගනිති.
’39 Steps’ චිත්‍රපටයේ පෙරහුරු දර්ශනයක් කරද්දී හිච්කොක්ට සිදු වූ අපූරු අබැද්දියක් නිසා යතාර්ථයේ ප්‍රබන්ධමය මානය මැනවින් හෙළිදරව් වෙයි. චිත්‍රපටයේ නාඳුනන තරුණියගේ භූමිකාවට පණ දුන් නිළිය වූයේ මැඩ්ලින් කැරොල්ය. ඇයට මෙම චරිතය හොඳින් පුහුණු කිරීමට ඇගේ අතගෙන එයට මාංචුවක් දමා අනෙක් අතට හිච්කොක් තම මාංචුව දමා ගනියි. පුහුණු කටයුතු කිහිප වාරයක් සිදුකරන විට මාංචු කුට්ටමේ යතුර නැති වී හිච්කොක්ට සහ මැඩ්ලින්ට පැය කිහිපයක් එකට ගත කරන්නට සිදුවෙයි. එමඟින් ඔවුන් දෙදෙනා අතර අලුත් ශෲංගාරාත්මක සම්බන්ධයක් හට ගත්තේය. මේ හේතුව නිසා සත්‍යට ඇත්තේ ප්‍රබන්ධමය මානයකි. රිචඩ් හැනේ යනු අහම්බයකින් නාට්‍යයක් නරඹන්නට ආ ප්‍රේක්ෂකයකි. අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔහු මිනීමරුවකු වන අතර යම් කාලයක් ඔහුට එම චරිතය රඟපාන්නට සිදුවෙයි. නැවතත් අහඹු සිදුවීමක් වීම නිසා මිනීමරුවකු වූ ඔහුට ආදරවන්තයකු වීමට සිදුවිය. නන්නාඳුනන තරුණියකගේ අත තමාගේ අතට තබා මාංචු දැමීම නිසා සමාජය ඉදිරියේ ඔවුන්ට පෙම්වතුන් ලෙස රඟපාන්නට සිදුවිය.

ballroom
මැයි දින වලට එන නිර්නාමික ජනයා ඒවාට සහභාගි වන්නේ අර්ථයකින් තොරවය. නමුත් ඒවා සංවිධානය කරන දේශපාලකයා එසේ සහභාගි වන නිර්ණාමික ජනයාට විවිධ නම් ආදේශ කරයි. ප්‍රජාතාන්ත්‍රික ජනයා, දේශමාමක ජනයා, ව්‍යවස්ථාව දිනවන හෝ පරාජය කරන ජනයා… ඉන් පසු ප්‍රාතිහාර්යයක් සිදුවෙයි. අර්ථයකින් තොරව මැයි දිනයට සහභාගි වූ ජනයාට පසුව අර්ථයක් ආදේශ වෙයි. මේ නව ආදේශනය හරහා දැනට පවතින සැබෑ බල සබඳතා විපර්යාස වන්නට පටන් ගනියි. කිසිදු තේරීමක් නැතිව මැයි දින වලට සහභාගි වන හිස් ජනයා නොදැනුවත්ව ආණ්ඩු බලය වෙනස් කරන්නට උදව් කරයි. විවිධ මිත්‍යාවන්ට ගල් ඇද්දවිය හැකි වන්නේ යතාර්ථයට ඇති ප්‍රබන්ධ මානය නිසාය. නමුත් උකුණන්ට ගල් ඇද්දවිය නොහැක. ‘යහපාලන ආණ්ඩුවට’ මෙන්ම ‘දේශප්‍රේමය’ උතුරා ගිය අයටද “හිස් ජනතාවට” තම තමන්ගේ මතය පටවන්නට අවශ්‍යය. ප්‍රශ්නය වන්නේ මෙම ‘හිස් ජනතාව’ කථා නොකරන නිසා ඔවුන් වෙනුවෙන් ඕනෑම කෙනෙකුට පෙනී සිටිය හැකි වීමයි. මෙම ‘හිස් ජනතාව’ නිශ්පාදනය කිරීමටත් ඒ අයව විසුරුවා හරින්නටත් දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ මුදල් පමණි.

– දීප්ති කුමාර ගුණරත්න –

ඔබේ අදහස කියන්න...