කෙනෙකු අහිමිව ගිය හැඟවුම්කාරකයක් කෙරේ ආසක්ත වීම සයිකෝසියාව විමෝචනය වීමේ නිමේෂයක් නිර්මාණය කරයි. හැඟවුම (Signified) නැතහොත් අර්ථය තුළ ද එවිට ඇත්තේ සිදුරකි. මෙවැනි අවස්ථා තුළ සයිකෝසියාව විමෝචනය වන්නේ සංකේතික තුන්වන පාර්ශ්වයක් සම්මුඛ වීම නිසා නොව සංඥාකරණයෙහිලා පිහිටන ගැටලූ හේතුවෙනි. පේ‍්‍රමය නිසා ලිංගික ක්ෂේත‍්‍රයන් තුළ මෙය සුලබව දක්නට ලැබේ. මෙහි දී අනෙකාගේ ආශාවට සමීප වීම විමෝචනය (Triggering) වීමට හේතුවයි. එනම් ලිංගික අත්දැකීමක දී හෝ පේ‍්‍රමාන්විත හැඟීමක දී වෙන කෙනකු උනන්දු වන වස්තුව තමා යයි දැනීමය. මෙවැනි නිමේෂවල දී ඊට ප‍්‍රතිචාර දැක්වීමට හෝ මැදිහත් වීමට  සංකේතිකය අසමත් වතොත් කෙනෙකු කරන්නේ ගුඪ බලවේග සරණ යාමය. සහාය පළ කිරීම සඳහා සංඥාකරණයක් හෝ එබන්දක් සැපයීමට හැඟවුම්කාරකයක් හෝ එහි නැත.

යට කී න්‍යායික ප්‍රස්තුතවලට ගැළපෙන නිදසුනක් ෆ්‍රොයිඞ් සපයයි. එහි දී තරුණ වෛද්‍යවරයකුගේ සයිකෝසියාව මෝචනය වන්නේ ඔහු ප‍්‍රථම වරට ස්ත‍්‍රියක ලිංගිකව තෘප්තිමත් කළ අවස්ථාවේදීය. ඇය කෘතවේදීව සහ මහත් ඇල්මෙන් ඔහුව වැලඳ ගනිද්දි තියුණු කැපීමක් බඳු ගුප්ත වේදනාවක් ඔහුගේ හිස් මුදුනින් මතුවෙයි. මේ වේදනාව පසුව මායා භ‍්‍රාන්තික කල්පනාවක් දක්වා වැඩිණි. එනම් මේ ස්ත‍්‍රිය ඔහු වෙත එවා තිබුණේ කාය ව්‍යවච්ෙඡ්දකයකු වූ තමාගේ කිට්ටුම මිතුරා විසිනි. එය ඔහු සංවිධානය කරමින් තිබූ තමා වධයට පත් කිරීමේ වැඩපිළිවෙළක කොටසකි. මෙහි විමෝචනය වූ කලී ලිංගික හමුවක්ය. එහි දී අනෙකාගේ ආශාවේ මැදිහත්වීමක් නොමැතිව සයිකෝසියාව මතු විය.

සයිකෝටික ආත්මවලට අලූත් ලිංගික අත්දැකීම් අනතුරුදායකය. ස්ත‍්‍රියක සමඟ ලිංගික කාර්යයට එළඹි එක්තරා පුරුෂයකුට තමාගේ ලිඟුව ප‍්‍රථම වරට ඍජු වී තිබෙනු දැක ‘ප‍්‍රාණවත්’ යන වචනය ඇසිණි. ෆැලික සංඥාකරණයක් අහිමිව තිබෙන අවස්ථාවක භ‍්‍රාන්තික හැඟවුම්කාරකයක් මතු විය. ප‍්‍රථම වතාවට තමාගේ ලිඟුව ප‍්‍රාණවත්ව තිබෙනු දකින දරුවකු වික්ෂිප්ත වෙයි. පීතෘ රූපකය මඟින් ෆැලික අර්ථ තහවුරු නොකරන ලද්දේ නම් ඔහුට එය සංඥාකරණය කරගත නොහැක. එය සදාකාලිකව ඔහුට පීඩා දෙවන ප්‍රොබ්ලමැතිකයකි. සමහර අවස්ථාවල දී කෙනෙකු කරන්නේ සදාකාලිකවම නොයිඳුල්ව (Virgin) සිටීම හෝ මොනම විදියේ හෝ ලිංගික හමුවීම් මඟහැරීමය.

සයිකෝසියාව ගැටවර වියේ දී සහ තරුණ වියේ දී මතු වීමට හේතුව මෙය බවට නිසැකය. මේ කාලයේ දී මතුවන තත්ත්වය නම් භින්නෝන්මාදයයි. එසේම භින්නෝන්මාදයට (Schizophrenia) ප‍්‍රධාන අංගයක් නම් ශරීරයේ අර්ථය පිළිබඳ වද වීමය. ගැටවර වියේ දී ශරීරයේ වෙනස්කම් සිදුවන බැවින් පෙර වැස්මේ විවරය මතුකරන විදියේ අර්ථ දැක්වීමක් ඉල්ලා සිටී. පෙම් සබඳතා ඇතිකර ගැනීමට සහ ලිංගික ක‍්‍රියාවකට යාමට ඇතිවන පෙලඹවීම් තත්ත්වය තවත් නරක් කරයි. ප‍්‍රථම ස්වයං වින්දනය, ලිංගික හමුවීම හෝ කිසිවකු විසින් ආශා කරනු ලැබේ යයි දැනීම ව්‍යසනකාරී වීමට පිළිවන.

වරක් එක්තරා තරුණයෙක් මිතුරකුද සමඟ මහජන පුස්තකාලයක් වෙත ගියේ කියවීමට මෙන්ම සංගීතයට සවන් දීමටය. එහෙත් ස්ත‍්‍රියක දඩයම් කර ගැනීම සඳහාම එහි පැමිණි ඔහුගේ මිතුරා ඔහුගෙන් මෙසේ ඇසීය. ”තමුසෙ හොරගල් අහුලනවද?” එවිට ඔහුට හැඟුණේ තමා අමරණීය බවත් මිනිසුන් තමා දෙස බලා සිටින බවත් තාම ගැන රහස් කොඳුරන බවත්ය. ඊළඟ සායනික සැසියේ දී ඔහු තම මනෝ විශ්ලේෂකයා වෙත වාර්තා කර සිටි පරිදි මිතුරා ඔහුට මෙසේ කියා තිබිණි. ”තමුසෙට මිනිහෙක් වෙන්න කල් යයි” ලිංගිකව වර්ධනය වූ පුරුෂයෙකු ලෙස තමාට හිමි සංකේතික ස්ථානය පිළිබඳ හදිසි ගැටලූවක් මින් මතු කෙරිණි. පිළිතුරු දීගත නොහැකි වූ ඔහු තුළ පීඩනෝන්මාදී සිතිවිලි පහළ විය. අවට සිටින මිනිසුන් දැන් අසන්නේ මෙවැන්නකි. ”ඔහු පුරුෂයෙක්ද නැත්නම් ස්ත‍්‍රියක්ද?” එසේම ”තමුසෙ කොහේ කෙනෙක්ද?” යනුවෙන් ඔවුන් අසන්නා සේය.

අමරණීයත්වය පිළිබඳ කල්පනාව මායා මතිභ‍්‍රමික කල්පනාවලියක කොටසක් වනවා සේම තමා පිටසක්වල ජීවියෙකැයි ඔහු අදහන්නට වෙයි. මේ අවස්ථා දෙකේදීම පුරුෂයකු ලෙස තමාට හිමි සංකේතික ස්ථානය පිළිබඳ ගැටලූව ඔහු වෙනත් වර්ගයක අනන්‍යතාවක් බවට විස්ථාපනය කරයි. අමරණීයත්වය මඟින් ඔහු තමා පුරුෂයකුද ගැහැනියකද යන ස්ථානයෙන් සපුරාම බැහැර වෙයි. පිටසක්වල ජීවියා ලෙස ඔහු මේ ලෝකයට අයත් නැත. මේ ලෝකය වූ කලී ස්ත‍්‍රී/ පුරුෂ යනාදි වූ තර්කනය මත බෙදා නිර්මාණය වූවකි. මිතුරාගේ ප‍්‍රශ්නය හැඟවුම්කාරකයක් ඉල්ලා සිටින, එහෙත් ලබාගත නොහැකි එකකි. ඒ වෙනුවට ඔහුට ලැබෙන්නේ ”ඔහු ස්ත‍්‍රියක්ද නැතහොත් පුරුෂයෙක්ද?” යන භ‍්‍රාන්තීය වූ ප‍්‍රතිචාරයයි. කටහඬවල් සහ බැලීම් මේ ප‍්‍රශ්නය සමඟ ඔහුව ඉලක්ක කර ඇත.

අමරණීයත්වය සහ පිටසක්වල ජීවි බව පිළිබඳ කල්පනා වූ කලී කිසියම් විසඳුමක් පිළිබඳ ප‍්‍රයත්නයකි. තමා එන්නේ පිටස්තර ලෝකයකින් නම් ස්ත‍්‍රියද පුරුෂයකුද යන කාරණය අවැදගත්ය. අමරණීයත්වය ඔහු ස්ත‍්‍රීත්වයට ගැට ගසයි. අමරණීය වීමේ කල්පනාව ඔහුට ප‍්‍රසන්න නැත. ඔහු මෙය තවත් පැහැදිලි කර ගැනීමේලා උත්සුක වේ. එය වූ කලී ඔහුට පැලපදියම් වීමට සුදුසු ආරක්ෂිත ස්ථානයකි. එවිට ඔහු එක් කඳවුරකටවත් අයිති නැත.

අවසාන මනුෂ්‍ය ප‍්‍රාණියා තමාය යන කල්පනාව සයිකෝසියාව තුළ නිතර දක්නට ඇත. සමහර අවස්ථාවල මෙය ලෝකාවසානය පිළිබඳ දැකීම් සමඟ ද ගැට ගැසෙයි. ෆ්‍රොයිඞ් මෙය විස්තර කළේ පේ‍්‍රමය අත්හැර දැමීමේ කොන්දේසි තුළය. එනම් යම් ආවේගශීලී ව්‍යසනයකට පසු අපගේ ලුබ්ධිය (Libido) අහම (ego) තුළට ආපසු ගැනීමය. එසේ කිරීමෙන් බාහිර ලෝකයේ රික්තමය බව වටහා ගනී. ලැකාන්ට අනුව මෙය අපගේ භාෂාවේ විපාකයකි. අප සංකේතිකයේ සිදුර වෙත සමීප වන විට අපගේ යථාර්ථය ගොඩනගන නියෝජන ජාලය කඩා වැටෙන බව අපට දැනෙයි. කෙසේ වෙතත් ලෝකාවසානය පිළිබඳ කල්පනාවන් හැමවිටම ලෝකය මුළුමනින්ම හිස්ය යන අදහස නොගනී. ආත්මයා සේම යම් දුෂ්ට බලවේගයක් ද ඉතිරිව පවතී.

යුද්ධවලින් හෝ වසංගතයකින් ලෝකයේ සියලූ ජනයා විනාශ වී ගිය ද ඉතිරි වන බොහෝ විද්‍යා ප‍්‍රබන්ධ සිනමා පටවල දැක්වෙන ආත්මය (Subject) මෙයයි. වීරයා හෝ වීරවරිය ආහාර සහ රක්ෂාස්ථානයක් සොයමින් අවට සැරිසරයි. එහෙත් වහාම ඔවුනට වැටහෙන්නේ තමා සැබවින්ම තනිව නොසිටන බවය. ව්‍යසනයෙන් ඉතිරි වූ කිසිවකු මනුෂ්‍ය හෝ අමනුෂ්‍ය වේශයෙන් තමාව විනාශ කිරීම සඳහා සැදී පැහැදී සිටී. එය හරියට ලුබ්ධිය ඉතිරි නොවී මුළුමනින්ම අඩුකර දැමිය නොහැකිවාක් මෙනි. ඉතිරි වන දේ විනාශකාරිය. මෙයට එරෙහිව යමින් ගොඩනගන ෆැන්ටසිය වන්නේ යළි ඉපදීමකි. ෂ්රූබර්ට අනුව නව ජාතියක් ගොඩනැගෙයි. ලීඩර්ගේ රෝගිනියක තුළ වූ කල්පනාව වූයේ තමාගේ මියැදෙන ශරීරයෙන් නිකුත් කරන ඩිම්බ මඟින් නව සත්ව කොට්ඨාසයක් බිහිවනු ඇති බවය.

එක්තරා ආකාරයකින් මෙම ලිපි පෙළෙහි හමාර කීම සඳහා අවස්ථාව එළඹ ඇත. එහෙත් ඊට පෙර ලැකාන් ඇතුළු මනෝවිශ්ලේෂකයන් විසින් විශ්ලේෂණය කරන ලද රෝගීන් පිළිබඳ ආඛ්‍යාන කිහිපයක් ඉදිරිපත් කිරීම මැනවයි කල්පනා කරමි. මීළඟ සතියේ සිට එම කතාන්දරවලට සවන් දෙමු.

  සමන් වික‍්‍රමාරච්චි    

 

 

 

ඔබේ අදහස කියන්න...