නාට්‍යයක වේදිකා සැරසිලි යනු කුමක්ද? බැලූ බැල්මට වේදිකාවේ  සිටින නළුවන් කතා කරතත් වේදිකා සැරසිලි කතා නොකරයි. නැත. ඇත්තටම නම් සිදු වන්නේ වේදිකා සැරසිලි නළුවන් ද අබිබවා දොඩමලූ වීමකි. එක්තරා ආකාරයකින් කලා කෘතියක දයලෙක්තික වටිනාකම (Dialectical Value) මිනිය හැක්කේ එහි ප‍්‍රකාශිත අර්ථයා සමඟ ගැටීමෙන්වත් අප‍්‍රකාශිත තේරුම් ගවේෂණය කිරීමෙන්වත් නොවන බව ඉන් විද්‍යමාන වේ. කලා කෘතියක අගය තිබෙන්නේ එහි ප‍්‍රකාශිත (Manifest) හෝ අප‍්‍රකාශිත ගුප්ත  (Latent) අර්ථය මත නොව එය ප‍්‍රකාශමාන වන ආකාරය :(Form or Desire)  මඟින් බව ෆෙඞ්රික් ජෙම්සන් සොයා ගෙන ඇත. 
ඇත්ත. මෙය, කලාකෘතියක වටිනාකම තිබෙන්නේ එහි අන්තර්ගතයේ ද නැතහොත් ආකෘතිය මත ද යන පැරැුණි ප‍්‍රශ්නය යළි වර නැඟීමක් සේ පෙනී යා හැකිය. එහෙත් සමකාලීන විචාරයේ ඇත්ත අර්බුදය එය නොවේ. අද තොරතෝංචියක් නැතුව පළවන සිනමාව ඇතුළු අනෙකුත් කලාවන් පිළිබඳ පත්තර විචාර කියවා බලන්න. මෙම විචාරවලින් පළ වන්නේ අදාළ කලා වියමනෙහි නො- තිබුණ ගැඹුරු අර්ථයක් තමන් විසින් මතුකර පෙන්වා දෙනු ලබන බවය. 
මෙම ඊනියා විචාරවල  ඕලාරික බව මැන බැලීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ දීප්ති ලියන කලා විචාර සමඟ සසඳා බැලීමය. එම විචාර වේද දෙකෙහි ඇති පරතරය පතුලක් නොපෙනෙන තරම් අගාධයක් බඳු යයි කෙනෙකුට සිතුණොත් මම පුදුම නෙවෙමි. එහෙන් මෙහෙන් අහුලාගත් කිසිවකින් සහ ආරංචි මාත‍්‍රයෙන් (කාගෙන් හෝ අසා දැන ගත්] සුළුතර දැනුමකින් යුතුව ලියවෙන මණ්ඩුක විචාරවල තරම මැන ගැනීමට අත්වැලක් අවශ්‍ය නම් කියවන්නිය කළ යුත්තේ ජේම්සන් 1971 දී ඉදිරිපත් කළ ”පාර විවරණය” :(Meta- commentary)  නම් වූ රචනාව මඟින් ඉදිරිපත් කරන දයලෙක්තික විචාරය පිළිබඳ හැදෑරීමය. 
ඉහත සඳහන් කළ රචනාව මඟින් ජේම්සන් අර්ථ නිරූපණයේ අවසානය නැතහොත් වඩාත් සුවිශේෂව කියන්නේ නම් අන්තර්ගතයේ අවසානය පිළිබඳ ගැටලූව සමඟ ගැටෙයි. ජේම්සන්ගේ මෙම සංකල්පයට බලපාන්නේ සුසාන් සොන්ටැග් 1965 දී ලියූ ”අර්ථ නිරූපණයට එරෙහිව” (Against Interpretation) නමැති නිබන්ධයයි. ජෙම්සන් පෙන්වා දෙන පරිදි සුසාන්ගේ රචනාව මේ කාරණයට අදාළ වර්ධනයේ තීරණාත්මක කඩඉමකි. විසිවන සියවසේ පහළ වූ විශිෂ්ට සාහිත්‍ය සහ දාර්ශනික ගුරු කුල ලෙස කැපී පෙනෙන තර්කානුසාරි යථානුභූතවාදය (Logical Positivism)  සහ කෘත්‍ය සාධකතාවාදයේ (Pragmatism) සිට සාංදෘෂටිකවාදය, රුසියානු ආකෘතිවාදය සහ ව්‍යුහවාදය හරහා හුවමාරු වූයේ අන්තර්ගතයෙන් අබිනික්මන් කිරීමේ ව්‍යාපාරයකි. ඔවුන්ගේ අපේක්ෂා මල් ඵල ගන්නේ ආකෘතිවාදය (Formalism) තුළය. 
ජෙම්සන් මෙම කෝලහලයට ප‍්‍රතිචාර ලෙස තුන් ආකාර වූ විපර්යාස්ථයක් කරළියට ගෙන එයි. ඒ අනුව පළමු කරුණ ලෙස ඔහු පෙන්වා දෙන්නේ යම් වියමනක් අර්ථ නිරූපණය කිරීම නිරර්ථක බවය. මක් නිසාදයත්, එය අප වෙත එන්නේ දැනටමත් නිර්වචනය වී අවසන්ව බැවිනි. දෙවන කරුණ ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ, ප‍්‍රශ්නය විය යුත්තේ කෙනෙකු යම් වියමනක් අර්ථ නිරූපණය කරන්නේ කෙසේද යන්න නොව කෙනෙකුට එසේ  කිරීමට අවශ්‍ය මක් නිසා ද යන්නය. තෙවැන්න නම් ඉහත ප‍්‍රශ්න දෙකම සාකච්ඡුා කළ යුත්තේ ඓතිහාසික අවශ්‍යතාවය අනුව බවය. 
යම් වියමනක් අප අතට පත් වන විටත් අර්ථ නිරූපණය වී තිබීම නිසා එය අර්ථ නිරූපණය කිරීම අවශ්‍ය නොවන බවට ජෙම්සන් ඉහත දක්වන අදහස වැදගත්ය. වියමනක අමුද්‍රව්‍ය නැතහොත් අන්තර්ගතය මුල සිටම යම් ආකෘතියකින් තොර ආපතික වූ  (Contingent) කිසිවක් නොවේ. අඩුවැඩි වශයෙන් එය අපගේ මූර්ත සමාජ ජීවිතයේ තිබෙන අංග සහිතව අර්ථ පූර්ණය. එම අංග නම් වචන, සිතිවිලි, ආශා, වස්තු, මිනිස්සු සහ ස්ථාන කි‍්‍රයාකාරකම් ආදියයි. කලා කෘතිය කිසි විටෙක මේවා අර්ථ පූර්ණ නොකරයි. ඒවා මේ වන විටත් අර්ථ පූර්ණය. කලා කෘතිය කරන්නේ එම අර්ථ තීව‍්‍ර වන පරිදි යළි පෙළ ගැස්වීමක් විය හැකිය. මෙම පෙළ ගැස්වීම ජෙම්සන් සිතන පරිදි කිසියම් වාරණ ආකෘතියක් ගනී. අභ්‍යන්තරික ලෙස ප‍්‍රතිවිරුද්ධ සහ නොකිව යුතු යයි ඇතුළතින් සිතන සහ ඒ වෙනුවට වෙනත් දේ ආදේශ කරණ පිළිවෙළක් එය අත් කරගනී. 
Dr. Gananath Obeyesekere, Anthropologist
Gananatha
ඒ අනුව බලන කළ ෆෙඞ්රික් ජෙම්සන්ගේ පාර විවරණය (Meta-commentary) ෆ්‍රොයිඩියානු සිහින අර්ථ දැක්වීමට අසමාන නොවන විචාර මොඩලයකි. මෙතැන දී සන්නස්ගලගේ බඩ කකියවන ජිජැක්ගේ නම සඳහන් නොකර බැරිය. මක්නිසා යත්, ආකෘතිය පිළිබඳව මාක්ස් සහ ෆ්‍රොයිඞ් ඈදා ගනිමින් කරන කදිම විවරණයක් ජිජැක් – The Sublime Object Of Ideology- ඉදිරිපත් කර ඇති බැවිනි. 
ලැකාන්ට අනුව රෝග ලක්ෂණය  (Symptom)  පිළිබඳ සංකල්ප මුලින්ම සොයා ගන්නේ කාල්මාක්ස් බව සඳහන් කරමින් ආරම්භ කරන මෙම විවරණයේ දී මාක්ස්ගේ සහ ෆ්‍රොයිඞ්ගේ අර්ථ නිරූපණ විධික‍්‍රමය සමාන බව ජිජැක් පෙන්වා දෙයි. එය මාක්ස්ට අදාළ වන්නේ භාණ්ඩය (Commodity) සම්බන්ධයෙන් වන අතර ෆ්‍රොයිඞ්ට සිහින :ෘ(Dreams) පිළිබඳවය. මේ අවස්ථා දෙකේදීම ඇති වැදගත් දේ නම් ඔවුන් ආකෘතිය පිටුපස සැඟව ගත් අන්තර්ගතයක් කෙරේ අර්චනමය ලෙස ඇලීම මඟ හැර යාමය. විශ්ලේෂණයකින් සිදුවන්නේ ආකෘතිය විසින් සඟවා ගත් අන්තර්ගතයේ රහස අනාවරණය කිරීමක් නොවේ. (නිදර්ශන ලෙස භාණ්ඩයේ ආකෘතිය සහ සිහිනයේ ආකෘතිය] ඉන් සිදුවන්නේ රහස වූ කලී ආකෘතියම බව පෙන්වා දීමය. ඇසිය යුතු ප‍්‍රශ්නය නම් අප දකින සිහිනයක ආකෘතිය තුළ යම් අප‍්‍රකෘශිත් අන්තර්ගතයක් තිබේ යයි අපට සිතෙන්නේ කුමක් නිසාද යන්නය. එබන්දක් වී නම් එය සිහින ආකෘතියක් බවට පරිවර්තනය වන්නේ කුමක් නිසාද? මෙහි අවසානාත්මක නිගමනය වන්නේ ආකෘතියම සිහිනයක අන්තර්ගතය ද වන බවය. කලාකෘති විවරණය කිරීමට ජෙම්සන් යෝජනා කරන විචාර මොඩලය එවැන්නකි. 
යට කී ෆ්‍රොයිඩියානු ‘මක් නිසාද?’ යන ප‍්‍රශ්නයට ජෙම්සන් පිළිතුරු සොයන්නේ ෆ්‍රොයිඞ් 1908 දී ලියූ Creative Writers and Day – Dreaming  නමැති කෘතියෙහිය. ෆ්‍රොයිඞ්ගේ මූලික තර්කය නම් අනෙකාගේ ෆැන්ටසි, එනම් අර්චනකාමය සහ ග‍්‍රස්තිය (Obsessions) අමු ආකෘතියකින් (Raw From) ඉදිරිපත් කිරීම පාඨකයා වෙහෙසට පත් කරනවා පමණක් නොව තරමක් අරුචියක් ඇති කරවන සුළුය. එතැන දී නම් පාඨකයා මනෝවිශ්ලේෂකයකු විඳින දුෂ්කර තැනට වැටෙයි. මනෝ විශ්ලේෂකයාට වෙහෙස කර නීරස කතාන්තර නිරත්තරවම අසා සිටීමට සිදු වෙයි. තමාගේ පාඨකයා තේරුම් ගන්නා ලේඛකයා කරන්නේ ඔවුන්ගේ අර්චන :(Fetishes) සඟවා වෙනත් ආකෘතියක් ඔවුනට ලබා දීමය.  ෆ්‍රොයිඞ් පවසන පරිදි  සෞන්දර්යයේ මූලික කාරණය එයයි. කියවීමෙන් අප යම් සතුටක් ලබන්නේ තම වියමන් සිත් කළඹන පුද්ගලික කාරණාවලින් නිදහස්ව තැබීමට ලේඛකයා දක්වන සමත්කම අගය කිරීම තුළය. ඒ අතරම ඔහු ඔවුන්ගේ පරිකල්පනයන් තුළට ප‍්‍රවේශ වීමට අවශ්‍ය ශක්තිය සපයයි. දීප්ති පසුගිය සතියේ කරුමක්කාරයෝ නැවත කියවන්නේ මෙබඳු පරිකල්පන ශක්තියක මෙහෙය වීමෙනි. එය අර්ථ නිරූපණයක් නොව සත්භාවාත්මක (Ontological) ගවේෂණයකි.
ෆ්‍රොයිඞ්ට අනුව සිහිනයක් අර්ථ නිරූපණය කළ යුත්තේ ආකෘතිය කෙරේම නැතහොත් ස්වප්න නිමැවුම (Dream – Work  – උදරන  = සිහිනය නිර්මාණය වී ඇති ආකාරය – කේන්ද්‍රීයව ගනිමිනි. අප‍්‍රකාශිතය සිහින සිතිවිල්ල (Dream Thought) ඉදිරිපත් වන්නේ එමඟිනි. එය සිදුවන්නේ සිහිනය යනු අර්ථ විරහිත පටලැවිල්ලක් ලෙස ඒත්තු ගන්වන එහි දෘශ්‍යමානය බිඳ දැමීමෙනි. ෆ්‍රොයිඞ් තවදුරටත් පවසන්නේ සිහිනයක අප‍්‍රකාශිත අර්ථය පැහැදිලි කළත් එය ප‍්‍රහේලිකාමය ප‍්‍රපංචයක් ලෙස ඉතිරිව පවතින බවය. එවිට පැහැදිලි කර නොමැත්තේ ආකෘතිය බව අපට පෙනී යයි. එනම් අප‍්‍රකාශිත අර්ථය ආකෘතිය ලෙස වෙස්වලාගෙන සිටින බවය. මෙම ප‍්‍රවාදය සාහිත්‍ය නිර්මාණයකට ආදේශ කර බලන්න. ඔබගේ ලෝකය උඩු යටිකුරු වන බව නිරනුමානය. 

Saman Wikcramarachchi

ඔබේ අදහස කියන්න...