රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික පාලනය නිසා මේ වන විට සිගරැට්ටුවක මිල රුපියල් 55ක් පමණ වන විට අරක්කු බෝතලයක මිල ද අහස උසට නැග ඇත. අපි අරක්කු,සිගරැුට් පරිභෝජනය කළ ද නොකළ  ද ඒවා පරිභෝජනය කරන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙමු. පසුගිය දශක 3ක පමණ කාලයක සිට දේශපාලනයේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ අනෙක් මිනිසුන්ගේ විනෝදයයි. අනෙක් මිනිසුන් විඳින මම නොවිඳින ආතල් එක කැඞීම නූතන දේශපාලනයේ ප‍්‍රධාන ලක්ෂණයකි. අරක්කු, සිගරැුට් බීම සදාචාරයට, හොඳ/නරකට ඌනනය කර වැඩිහිටියන් කුඩා දරුවන් බවට පත් කිරීම නූතන රාජ්‍ය පාලනයේ ප‍්‍රකට ලක්ෂණයකි. තමන්ට වැටහෙන්නේ නැති දේවල් කරන අයට ‘පොඩි ළමයා’ යන ගෞරව නාමයෙන් ඇමතීම මේ යුගයේ අස්මීමානය රෝගයක් තරමට වර්ධනය කර ගත් පුද්ගලයන්ගේ දෛනික භාවිතාවකි.

රනිල් වික‍්‍රමසිංහ මෙවර රට බාර ගත් පසු අපට පෙනෙන්නට තිබෙන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ එහි ප‍්‍රතිපත්ති Policy එක පැත්තකටත් එහි ආර්ථිකය තව පැත්තකටත් ගමන් කිරීමයි. උතුරේ ජාතික ගැටලූවට මුහුණ දීමට යෑමේ දී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම දේශපාලන අර්බුදයකට ගමන් කර ඇත. මීට ඇති එක විසඳුමක් ලෙස රනිල් වික‍්‍රමසිංහ ලිබරල් වාමවාදී ප‍්‍රතිපත්ති සමූහයක් තමන් වෙනුවෙන් තෝරාගෙන ඇත. ඊට අනුව යූඑන්පීය ප‍්‍රථම වරට මානව හිමිකම් සිට සිවිල් අයිතිවාසිකම් දක්වා පුළුල් පරාසයක ප‍්‍රතිපත්ති රාමුවක් පිළිගෙන ඇත. මේ හේතුව නිසා ඔහුගේ මේසයේ එක පැත්තක නිමල්කා ප‍්‍රනාන්දු, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිට වැලිඅමුණ දක්වා පුළුල් පරාසයක සිවිල් සමාජ සාමාජික – සාමාජිකාවෝ වාඩිගෙන සිටිති. ඔවුහු  මාධ්‍ය නිදහසේ සිට සමලිංගික අයිතිවාසිකම් හරහා ස්ත‍්‍රීවාදය දක්වා පරාසයක උපරි – ව්‍යුහයේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිති. මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මෙම පරාසයේ ජීවමාන සංකේතයයි.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මේසයේ අනෙක් පස වාඩි වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික නවලිබරල් ආර්ථිකය පිළිගන්නා පිරිසකි. කාටත් වැටහෙන භාෂාවෙන් කිව්වොත් රනිල්ගේ ආර්ථික වැඩසටහන මෙහෙයවීමට ඉන්නේ වන්ෂොට්ලාය. පාස්කුරලිංගම්, චරිත රත්වත්තේ, රවී කරුණානායක මේ අතරින් ප‍්‍රමුඛය. මේ කිසිවකු ආර්ථික විද්‍යාඥයන් නොවේ. ඔවුන් කතා කරන්නේ ඉලක්කම් ගැනය. ආර්ථිකය ගැන ඔවුන්ට අදහසක් නැති අතර ගණකාධිකරණය ගැන සරල වැටහීමක් ඔවුන්ට ඇත. ඉලක්කම් සමඟ අයින්ස්ටයින්ටත් වඩා දක්ෂ ලෙස ඔවුහු සෙල්ලම් කරති.

සාරාංශගත කර කිවහොත් රනිල්ගේ දේශපාලන ප‍්‍රතිපත්ති මධ්‍යගත ලිබරල්වාදීය. නමුත් ඊට සහමුලින් ප‍්‍රතිවිරුද්ධ ලෙස ආර්ථික ප‍්‍රතිපත්ති තීන්දු වී ඇත. මේ පරස්පරය වික‍්‍රමසිංහ ආණ්ඩුවේ සැබෑ ස්වභාවයයි. සාරයයි. පරස්පරය නරක දෙයක් නොවේ. සත්‍යයේ නියම හැඩය පරස්පරයයි. එයට බිය විය යුතු නැත. නමුත් පරස්පරය පුපුරා යන තැනට තහංචි දමන්නේ ඇයි? පරස්පරය පොලීසියට පාලනය කරන්නට දෙන්නේ ඇයි? පුරුද්දටද?

2-lady-godiva-john-collier

උදාහරණයක් වශයෙන් ලංකාවේ ආණ්ඩුවට සල්ලි නැත. ඒ ගැන හංගන්නට දෙයක් නැත. ඒ නිසා වැඩිපුර මුදල් සෙවිය යුත්තේ බදු අය කිරීමෙන්ය. මේ බදු අය කර ගැනීමට ක‍්‍රම දෙකක් ඇත.

(1) ධනපතියන්ගෙන් බදු අය කිරීම

(2) දුප්පතුන්ගෙන් සහ පහළ මැද පන්තියෙන් (ලංකාවේ දේශපාලන මතවාදය හසුරුවන පිරිස) බදු එකතු කිරීම.

මෙවර අයවැය යෝජනා දෙස බලන විට පෙනෙන්නට තිබෙන ප‍්‍රධාන ලක්ෂණය වී ඇත්තේ පහළ ස්තරවලින්  අය කරන බදු (වක‍්‍ර බදු) විශාල වශයෙන් වැඩි කර පරිභෝජනයට ඔවුන්ගේ ඇති අනුරාගය තුනී කිරීමය. එමඟින් ආයාථ සඳහා වන වියදම අඩු කිරීම ගණකාධිකාරීවරුන්ගේ සිහිනයයි. උදාහරණයක් වශයෙන් මහාමාර්ගයේ කරන මූලික වැරැුදි කිහිපයකට දඩ මුදල රුපියල් 25,000ක් කළ විට මහ පාරේ පොලිස් බලය අත්තනෝමතික වීම රනිල් වික‍්‍රමසිංහට අහෝසි කළ නොහැකිය. මෙම දඩ නියම කිරීම කරන්නේ මහජනයාගේ ජීවිත බේරන්න යැයි කීම ළාමක කතාවකි. එය හරියට කුඩා ළමයින් තට්ටු නිවාසවලින් බිමට වැටෙන නිසා තට්ටු නිවාස ඉදි නොකළ යුතුය වැනි මෝඩ නිගමනයකි. 80 දශකයේ දී Honda මෝටර් බයිසිකල් ගෙන්වීම නිසා තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. නමුත්Honda ගෙන්වීම නැවැත්වූයේ නැත. නූතනත්වය සමඟ හදිසි අනතුරු ඒම අනිවාර්යය. 220ක වේගයෙන් යා හැකි BMW, Benz, Audi යනාදී රථවාහන ලංකාවට ගෙන්වන්නේ වේගයෙන් ගමන් කිරීමටය. රවී කරුණානායකට ඇමැති මුක්තිය යටතේ තමන්ගේ මොන්ටෙරෝ ජීප් රථය 100ට මහපාරේ යන්න පුළුවන් නම් අනෙක් පුරවැසියන්ට එය කිරීමට බැරි ඇයි? ඒ අය වාහන පැදවීමට බැරි බබාලාද? අපි රවීට මෙසේ කිව යුතුය. ”රවී මහත්තයෝ තමන්ගේ ඇමැති රාජකාරිය හරියට කරන්න. රටක ආර්ථිකය දියුණු කරන්න සදාචාරය ගේන්න එපා. අපේ ජීවිතවල වටිනාකම හොයන්න අපේ පවුල්වල කට්ටිය ඉන්නවා.”

ආර්ථිකය දියුණු කිරීමට සදාචාරය ඇද ගැනීම නිසා මහපාරේ දී පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරලා, කුඩා මෝටර් රථ මිලට ගත් අය, මෝටර් බයිසිකල් පදින තරුණයන්, කුඩා මට්ටමේ අවන්හල් හිමියන් යනාදී අතිබහුතරයක් ආණ්ඩුව සමඟ ජනවාරි 1 වනදාට පසුව තරහා වීම අනිවාර්ය ය. ලබන වසරේ දී ආණ්ඩුවට මුහුණ දීමට ඉතා සංවේදී දේශපාලන ගැටලූවක් ඇත. එය නම් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. ඒ සඳහා මතවාදීව සූදානම් වීමේ දී පන්ති සාමය ඉතා වැදගත්ය. ඒකාබද්ධ විපක්ෂයේ මහින්දවාදීන් රථවාහන වැරැුදිවලට අදාළව වැඩි කර ඇති සියදිවි නසා ගන්නා ආකාරයේ දඩ මුදල් ගැන ප‍්‍රීතියෙන් ඔද වැඞී ඇත. ඔවුන්ට අනුව මහ පාරේ දී මහජනයා පොලීසිය සමඟ සිවිල් ගැටුමකට යාම වැළැක්විය නොහැකිය. ඒ ඇති වන අසහනය හරහා ජනාධිපතිතුමාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති සුජාතභාවය දුර්වල කළ හැකිය. රථවාහන දඩවල අවසාන විපාකය පොදුවේ යහපාලන ආණ්ඩුවට පැමිණියත් ඉදිරියට පැමිණෙන කුඩා ඡුන්දවල දී එම තත්ත්වය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමට උත්පේ‍්‍රරක තත්ත්වයක් බිහි කරනු ඇත. ඉතාම අතාර්කික, ව්‍යාජ සදාචාරාත්මක (යූඑන්පී ආණ්ඩුව ලංකාවට නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වා දීමේ දී ඊට විරුද්ධ වූ තරුණ ජනයා 60,000ක් පමණ ඝාතනය කළේය. නූතනකරණය සඳහා ලංකාවේ වියදම එසේය. එනිසා හදිසි අනතුරුවලින් මිය යන මිනිසුන් ගැන කිඹුල් කඳුළු අවශ්‍ය නැත) මහ පාරේ ත‍්‍රස්තවාදී බදු එකතු කිරීම නිසා එහි හානිය වැඩියෙන් බලපානු ඇත්තේ ජනාධිපතිවරයාටය.

අනෙක් අතට රනිල්ගේ මෙම ප‍්‍රතිපත්ති සහ ආර්ථිකය අතර ඇති පරස්පරය නිසා යූඑන්පී පාක්ෂිකයා ද මේ වන විට හෙම්බත් වී සිටියි. ජේ.ආර්. ජයවර්ධන ගොඩනැගුවේ සහ ශක්තිමත් කළේ පාක්ෂිකයාවය. නමුත් රනිල් වික‍්‍රමසිංහ සතුටු කරන්නේ ඔහුගේ මිතුරන්වය. ඒ ගැන විවේචනය කරන්නට කෙනෙක් ඒ පක්ෂය තුළ නැත. ඒ ගැන විචාරයක් කරන්නට කෙනෙක් සිවිල් සමාජයේ ද  නැත. ඔවුන් ජනාධිපතිතුමා ගැන අතිසංවේදීය. නමුත් ඔවුන්ට අඩුම වශයෙන් මෙම අතාර්කික දඩ ක‍්‍රමය ගැනවත් විවේචනයක් නැත. ඒ පෙනෙන විදිහට ඔවුන්ට ලැබී ඇති සමාජ පිළිගැනීමෙන් ඔවුන් පරිණතභාවය ලබාගෙන ඇත.

මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව මෙම බදු අය කිරීමේ ක‍්‍රමය රජයට හඳුන්වා දී ඇතැයි යන මතය අමූලික බොරුවකි. එම මූල්‍ය ආයතනවල ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ ගණකාධිකාරිවරුන් නොව ආර්ථික විද්‍යාඥයන්ය. ඒ කතා රාජපක්ෂවාදීන්ගේ ජනප‍්‍රිය මෝඩ කතාය. රටක බදු වැඩිපුර අය කළ යුත්තේ කුමන සමාජ පන්තියෙන්ද කියා තීරණය කිරීම ආර්ථික හෝ සදාචාර ප‍්‍රශ්නයක් නොව දේශපාලන ප‍්‍රශ්නයකි.

15056317_626101167551863_5417902749817390499_n

අපට කරන්න වෙන වැඩක් ඇත.

මේ වන විට යූඑන්පීයත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් යන දෙකම ප‍්‍රතිපත්තිමය වශයෙන් වාමාංශික සහ ලිබරල් වී ඇත. මේ නිසා දැන් අන්ත දක්ෂිණාංශික ජනප‍්‍රියවාදියකුට (ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට මෙන්) දේශපාලනයේ ඉඩක් විවර වෙමින් පවතියි. පොලීසිය හරහා බදු එකතු කරන ආණ්ඩුවක් මහ ජනයා අතර අප‍්‍රසාදයට පත් වීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. විජේවර්ධන පවුලේ නව ලිබරල්වාදයට පහර ගසා වික‍්‍රමසිංහ පියාගේ සංකේත වටිනාකම ඉහළ දැමීමට රනිල් ඊඩිපසවාදී කැරැුල්ලක් පටන් ගෙන ඇත. කැරැුල්ලේ ජයග‍්‍රහණය හිමි වන්නේ විපරිත නව ලිබරල්වාදීන්ට නම් එහි දෙවැනි වටයෙන් කිනම් කෙනෙකු ජයග‍්‍රහණය කරාවි ද යන්න අවිනිශ්චිතය. ලංකාවේ දී ජයග‍්‍රහණය කරන්නේ දේශපාලනය මිස ආර්ථිකය නොවේ. රට දියුණු කිරීමට වඩා වැදගත් වන්නේ මතවාදී තලය විචක්ෂණව හැසිරවීමයි. පාක්ෂිකයන්ට නත්තල් party දැමීමෙන් පක්ෂ අභ්‍යන්තරයේ අසහනය තුරල් කළ නොහැකිය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. රවී කරන්නේ සදාචාරය ආරක්ෂා කිරීමක් නොවේ. ඔය අදහස සාවද්‍යය. ඔහු කරන්නේ අය වැය හිඟය පියවා ගැනීමය. එහත් ලනක්වේ වාහන ධාවනය කිරීම අපහසුය. පිස්සන් පිරිස වැඩිය.
    https://kolambagamaya.blogspot.co.uk/2016/12/blog-post.html

Comments are closed.