කළුවා මාරපන ගිය දේශපාලනය

එක්තරා රදල හාමු කෙනෙක් එක් දිනෙක තම ආවතේවකරුවකු වන කළුවාට නිකමට මෙන් මෙසේ කියයි. ” කළුවෝ හෙට උදේ පාන්දරම මාරපන යන්නත් තියෙනව….” පසුදා රැුය පහන් වීමෙන් පසුව රදලයා කළුවාගේ නම වලව්ව තුළ හඬ නඟා කියන්නේ ‘මාරපන’ යාමට පිටත් වීමටය. කෙතරම් හඬ ගෑවත් කළුවා නොපැමිණි නිසා රදලයා ඒ ගැන තතු සොයා බලයි. එවිට වලව්වේ අනිත් අය කියන්නේ කළුවා දැනටමත් ‘මාරපන’ ගොස් ඇති බවයි. ඉහ වහා යන කෝපයකින් ගුගුලන රදලයාට මෙසේ කියවෙයි. ”මොන හත්ඉලව්වකටද ඌ මාරපන ගියේ යන හේතුවවත් නොදැන?”

ලංකාවේ සමාජ – ආර්ථික ප‍්‍රශ්න නහුතයක් ඇති බවට කිසිදු විවාදයක් නැත. ඒවාට විසඳුම් අවශ්‍ය බවට ද කිසිදු විවාදයක් නැත. නමුත් කිසිම ප‍්‍රශ්නයක් විසඳෙන පාටක් ද නැත. මෙසේ වන්නේ ඇයි? කළුවා අහන්නෙත් නැතිව මාරපන ගිය කතාව වැදගත් වන්නේ මෙම සන්ධියේය.

2015 ජනවාරි 08 දා එතෙක් පැවති ආසියාතික අත්තනෝමතික වාපී ආණ්ඩුව පෙරළා ග‍්‍රීක ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින බලය විමධ්‍යගත කරන යහපාලනය ආරම්භ විය. දේශපාලන විද්‍යාවේ මූලධර්මවලට අනුව රටවල ආණ්ඩු පෙරළන්නේ දේශපාලන පක්ෂ හෝ සංවිධාන විසින්ය. නමුත් එවැනි පෙරළියක් අතරමැදි සමාජ කණ්ඩායම් විසින් සිදු කළ විට ඇති වන තත්ත්වය ගැන අපට මීට පෙර වැටහීමක් නැත.

ඉහත අතරමැදි සමාජ තට්ටුව පුළුල් වශයෙන් තමාව හඳුන්වා ගත්තේ ‘සිවිල් සමාජය’ යන අන්වර්ථ නාමයෙනි. සම්භාව්‍ය දේශපාලන විද්‍යාවට අනුව රටක් පාලනය කළ හැක්කේ යම් කිසි දේශපාලන තන්ත‍්‍රයකටය. එය දේශපාලන පක්ෂයකින් හෝ පක්ෂ කිහිපයකින් සංවිධානය විය හැකිය. නැතිනම් එය හමුදා තන්ත‍්‍රයක් විය හැකිය. නැතිනම් බොනපාට් තන්ත‍්‍රයක් විය හැකිය. නමුත් ‘සිවිල් සමාජය’ යනු පුද්ගල අභිලාෂ හිමි පුද්ගලයන්ගේ එකමුතුවකි. දැන් ලංකාවේ සිදු වී ඇත්තේ පුද්ගලික අභිලාෂ සහිත පුද්ගලයන් සමූහයක් විසින් රට පාලනය කිරීමට උත්සාහ කිරීමයි. එවැනි අය දේශපාලනය කරන්නට ගිය විට කළුවා මාරපන ගිය තත්ත්වයක් බිහි වෙයි.

සිවිල් සමාජයේ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගතික ගැන කිසිදු අවබෝධයක් නැතිව එයින් විවිධ ඉල්ලීම් කරයි. නමුත් එක්සත් ජාතික පක්ෂය තුළ ඇති බල රටාව වැඩවසම්වාදීය. එහි ඉහළ මුදුන තුළ උගත් රදලයකු සිටියි. ඊට පහළින් කළුවලා set එකක් සිටියි. එයින් බොහෝ දෙනකුට ඉංග‍්‍රීසි කතා කළ හැකිය. සමහරුන් ප‍්‍රසිද්ධ සමාගම්වල හිටපු CEO ලාය. තවත් සමහරුන් මහාචාර්යවරුන්ය. තවත් සමහරු ගම්වල ප‍්‍රභූන්ය. තවත් අය මෝඩ සල්ලිකාරයන්ය. මේ කුමන වෙනස්කම් තිබුණත් මේ අය අතර ඇති පොදු සාධකය වන්නේ ආත්මීය වශයෙන් මේ අය කළුවලා වීමයි. මේ බොහෝ දෙනකු ‘නායකයා’ හේතුව කියන්නට පෙර මාරපන යන උදවියයි.

හේතුව අහන්නේවත් නැතිව කළුවා මාරපන ගිය නිසා ඉන්පසු රදල හාමු කිසිදු දිනෙක කළුවාට ඉදිරියට කරන්නට යන දේවල් කුමක්ද යන්න නොකීවේය. රනිල් වික‍්‍රමසිංහ මහතා තමා අවට සිටින කෙනකුට ඔහු අනාගතයේ කරන්නට යන දෙය ගැන කියන්නේ නැත. එසේ කිවහොත් කළුවන් ‘මාරපන’ යන බව ඔහු දනියි.

සිවිල් සමාජයේ සමහර මෝඩයන් සිතන්නේ කළුවා නොදැන මාරපන ගියත් රනිල් මාරපන යන්නේ හේතුවක් සහිතව යනුවෙනි. හේගල්ගේ එක්තරා උපදේශයක් මාක්ස්ට වඩා භෞතිකය. ඊජිප්තුවාසීන්ට අදාළව බොහෝ රහස් ඇත. ඔවුන් මළමිනී කල් තබා ගෙන ඉන්නේ ඇයිද සිට පිරමීඩ තැනීම දක්වා හේතු බොහෝදෙනෙක් දන්නේ නැත. මේ හේතුව නිසාම යුරෝපයේ බොහෝ බුද්ධිමතුන් ඊජිප්තුවාසීන්ගේ අබිරහස් සෙවීම සඳහා ක‍්‍රමවේදයක් ගවේෂණය කළේය. එය බටහිර පුරාවිද්‍යාවයි. නමුත් හේගල් නම් දාර්ශනිකයා ඊජිප්තුවාසීන්ගේ රහස හෙළිදරව් කළේ අමුතුම ආකාරයකටය. ඔහුට අනුව ඊජීප්තුවාසීන්ගේ රහස අපට පමණක් නොව ඔවුන්ට ද අබිරහසකි. මෙම න්‍යායික අදහස රනිල් වික‍්‍රමසිංහට යොදන්නේ නම් ඔහු මාරපන යන්නේ ඇයිදැයි ඔහුවත් දන්නේ නැත. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශාවේ රහස සොයන්නට හිමිරිදියේ පාතරස විඳින්නට අරලියගහ මන්දිරයට ගොස් වැඩක් නැත. දහවල් Lunch එකට PM Office එකට ගොස් වැඩක් නැත. රාති‍්‍රයේ Dinner එකට Temple Trees එකට ගොස් වැඩක් නැත. මිනිසෙකු තවත් මිනිසෙකුගේ ආශාව පස්සෙන් හති වැටෙන තුරු දිවීමෙන් මේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය කළ නොහැකිය. ඒ සඳහා වහාම ෆ්‍රොයිඞ් හමුවන්න !

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “ලංකාවේ සමාජ – ආර්ථික ප‍්‍රශ්න නහුතයක් ඇති බවට කිසිදු විවාදයක් නැත.”

    බටහිර- යුරෝපා රටවල නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද ?

Comments are closed.