සමන් ගේ විචාරයට අනෝමාගේ ප්‍රතිචාරය

කලා විචාරකයන්ගෙන් සිදු වන්නේ කුමක් ද… කලා විචාරකයෝ වනාහි කලා සම්ප්‍රදායේ පරතෙරට පත් වුවෝ යි. විශ්ව සාහිත්‍යයේ පරතෙරට පත් වුවෝ යි. විචාරකයන් ගේ කර්තව්‍ය නම් කලා කෘතිය තුළ ගැබ් වන්නා වු කලාකරුවන් ගේ අරගලය යථාර්තය ග්‍රහණය කිරීමත් ඒ සමග ඔහු ගෙන ගිය අරගලය ග්‍රහණය කර ගැනීම සඳහා එනම් අකෘතියත් අන්තර්ගතයත් අතර සිද්ධ වුණා වු ප්‍රබල අරගලය තමා යළි පුනර්කරණය කර ගැනීම යි. කලා කෘතිය විශ්ලේෂණය කිරීම යනුවෙන් හඳුන්වන්නේ එයයි. පුනර්කරණය කර විශ්ලේෂණයට භාජනය කර යට කී විග්‍රහය එහි ගැබ් වන හැටි රසිකයන් හට ඔහු පෙන්වා දෙයි. කලාකරුවා මේ අරගලයෙහි යෙදුණේ මේ අන්දමට යැයි විචාරකයා පෙන්වා දෙයි. එවිට රසිකයාත් එය පෙරළා පුනර්කරණය කරයි. මේ විදිහට රසිකයා කලාකරුවාට කිට්ටු වේ. කලා කරුවා ද රසිකයාට සමීප වේ. ඔවුන් අතර හෘදය සංවාදයක් ඇති වේ…” –

මහා ප්‍රාඥ සුචරිත ගම්ලත්

සමන් වික්‍රමාරච්චි මහතා ගිය සතියේ මගේ චරිතාපදාන කෘති උඩින් පල්ලෙන් කියවා හමස් අන්ධ විචාරයක් පසුගිය සතියේ සිඵමිණට ලියා තිබෙනු කියැ වු මට ඉහත සඳහන් විචාරක ආප්තෝපදේශය සිහි වුණි. මහා ප්‍රාඥ සුචරිත ගම්ලත් ගේ උපදේශය නිවැරදි නම් වික්‍රමාරච්චි සිදු කර ඇත්තේ එහි උල්ලංඝණය යයි මම සිතමි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ සිට එරික් ඉලයප්පආරච්චි දක්වා ලේඛකයින් වික්‍රමාරච්චි ගේ පිළිස්තෛනු විචාරයට හසු කර ඔවුන් පෙරළන අතරම තමා සාහිත්‍ය කීර්තියට පත් වීම ඔහුගේ පුරුෂෝත්තම සිතුවිල්ල යැයි මම සිතමි. එහෙත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සිට එරික් ඉලයප්පආරච්චි දක්වා ලේඛකයන් ඔවුන් ගත් මග ම ගනිමින් සිටිති. සාහිත්‍ය ක්ෂේත්‍රය ඔහුගේ විචාරයෙන් බිඳකුදු නොසෙලවුනු සෙයකි. ඊට හේතුව හැටියට මා දකින්නේ වික්‍රමාරච්චිගේ විචාරක මිණුම් දඬු තමාගේ පාණ්ඩිත්‍ය විදහා දැක්වීමට උපයෝගී කර ගනු ලබන උපකරණ විජ්ජාවක් හෝ හරඹ පෑමක් මිස සුචරිත ගම්ලත් ප්‍රාඥයන් සඳහන් කරන පරිදි කලා කෘතිය පුනර්කරණය කර ගැනීමක් හෝ විශ්ලේෂණයක් සිදු නොකරන හෙයිනි.

මගේ කථාවේ පළමු කොටස වන “පුනරුක්ති” එළිදැක්වීමේ ප්‍රධාන දේශකයකු හැටියට සහභාගී වුණේ වික්‍රමාරච්චි මහතාය. දේශණයට සති දෙකකට පමණ පෙර මගේ කෘතියේ මුද්‍රණයට යවන ලද කොපියක් ගැඹුරින් පරිශීලනය කළ එතුමා දුරකථනයෙන් මා හා සංවාදයේ යෙදුණේ කථාව පිළිබඳ ගම්ලතුන්ගේ විචාරක උපදේශ මත පිහිට වු සැබෑ උගතෙකු, විචාරකයකු ලෙසිනි. එහිදී ඔහුට කිසිදු “පුද්ගලවාදයක්”ගෑවී හෝ නොතිබුණු අතර කතුවරිය හැටියට මගේ අරගලය ගැන ම පමණක් මතවාදී ව විග්‍රහ කරගෙන තිබුණි. එළි දැක්වීමේ දේශණයට ද සහභාගී වු ඔහුගේ දැක්ම, විචාරාත්මක, විශ්ලේශණාත්මක පුනර්කරණය රැස්ව සිටි සභාවට විදර්ශණය විය.

ඉන් වසර දෙකකින් අනතුරුව මගේ කථාවේ දෙවන හා තුන් වන කොටස් ජනගත වීමෙන් අනතුරුව පළමු කොටසත් සමගම මගේ අරගලයේ මතවාදය නුරුස්සන “පුද්ගලවාදයකට” වික්‍රමාරච්චි මහතා පෙරළාගෙන තිබේ.

සමන් වික්‍රමාරච්චි මහතාගේ “පුද්ගලවාදී පාර්ශවයකට සේවය කිරීමේ” නිර්ලජ්ජිත ලිපියේ කරුණු මට එරෙහි ද්වේශයකින් පෙළ ගස්වා තිබේ. එමෙන්ම ඔහුගේ ලියැවිල්ලේ ලිපියත් ඊට යොදණු ලැබ ඇති හෙඩිම හෙවත් මාතෘකාවත් යන්නේ කොහෙද මල්ලේ පොල් සිහි ගන්වයි. ද්වේශ සහගත ලෙස කරුණු විකෘති කිරීමට අදාල එක් දෙයක් මෙසේය.

මම උපුටමි

උපුල් ශාන්ත සන්නස්ගලට ඒ පිළිබඳව කීමට ඇත්තේ වෙනස් කථාවකි. ඔහුට අනුව ඇය විශ්ව විද්‍යාලයේ දී මුල් වරට රග පාන්නේ ඔහු නිර්මාණය කල නාට්‍යයක ඔහු සමගය. ඩග්ලස් කරළියට පැමිණෙන්නේ එම නාට්‍ය ද සහිත උළලේ තරග විනිශ්චය කරුවෙකු ලෙසය. එහෙත් ඇගේ ජීවිත කථාව තුළ සන්නස්ගල තමාගේ වසරේ සිසුවකු ලෙස සිටි බවත් සඳහන් නොවේ. … ”

මෙයින් ඔහු අවධාරණය කරන්නේ මගේ විශ්ව විද්‍යාල සගයන්ගේ සබඳතා හුවා දක්වා නැති බවයි. පුනරුක්ති පොතේ සිට මගේ කථාවේ තුන්වැනි වෙඵම දක්වා ඉවසීමෙන් හා විචාර බුද්ධියෙන් කියැවුවොත් ඔහු මතු කරන කරුණ කෙතරම් ද්වේශසහගත දැයි ඔහුටම වටහා ගත හැකිය. ඔහු කියන උපුල් ශාන්ත සන්නස්ගල නැමැත්තෙකු මා නොදන්නා නමුත් මේ පිටු පරිශීලනය කරන මෙන් ඉල්ලමි. (කියවන්න පුනරුක්ති පිටු අංක 148 – 149 පිටු 02 ත් පුනරාගමන පිටු අංක 36 ත් )

නව මසක් මවු කුස තුළට කුර ගා බඩ ගා ගෙන අවුත් තිරිහන්ව එළි පනින පිරිමි සතා සිතන්නේ ස්ත්‍රීය නොපවතී කියාය… මේ වික්‍රමාරච්චිගේ තවත් තර්කණයකි. පුද්ගල පරමාණුවාදී අදහස් ජන ගෝත්‍රය තුළ වගා කරන්නට දත කන පිරිමි සතා සිතන්නේ උන්නති කාමය ඉදිරියේ තම මව, අඹුව, දියණිය හෝ උගසට, ඇපයට තබා හෝ තම අරමුණු කරා පා තබන්නට ය. බුරු ගසන්නට තම අඹුව බූරු පොළට ඉදිරිපත් කල බූරු ගසා පරදින ඔහුට තම අඹුව නොපවතී. තමාගේ චිත්‍රපටයේ නිරුවත් ජවනිකාවන ට තම අඹුව කැමරාව ඉදිරියට දක්වා ඇගේ ස්ත්‍රී සාරය නිර්ලජ්ජිත ආකාරයට සූරාකන අධ්‍යක්‍ෂකවරයා හා නිෂ්පාදකයා සිතන්නේ පසුව ඇය නොපවතී කියායි.

“මෙම කතුවරිය නිර්ලජ්ජිත ලෙස තමා සහ හඳයා අර්ධ මෛථුන්‍යයේ යෙදුණ අවස්ථාවක් මෙහි ලා උත්කර්ෂයට නංවයි. ඔවුන් මෙම කාර්ය කරන්නට ඇත්තේ සෙනග පිරුණු බස් රථයක් තුල හෝ සරසවි ආපන ශාලාවේ මේසයක් මත ප්‍රසිද්ධියේ විය නොහැක…”

මේ ද්වේශ සහගත ලෙස මගේ මතවාදය මේ විචාරකයා තවත් පාර්ශවයකට සේවය කිරීමේ නින්දිත අරමුණින් උවමනාවෙන් කරුණු පටලවා පාඨකයා නොමග යැවීමකි.

පෙම්වතා මා පොළඹවා අනිසි ලෙස මගේ සාරවත් ස්ත්‍රී කය මත ඔහුගේ ආශයන් මෝචනය කළ එක් සිදු වීමක් පමණක් මා සංකේතාත්මකව මගේ කථාවට ඇතුලත් කරන ලද්දේ මගේ දේශපාලන දෘෂ්ඨීය ස්වාධීන ශිෂ්‍ය සංගමය තුළ නිදහසේ වැඩෙද්දී “එය ආදරය” නමැති මුලාවට ලඝු කර ග්‍රෝත්‍රික දේශපාලනය වෙත සංක්‍රමණය කර ගැනීමට පෙම්වතා විසින් යෙදූ උගුලක් බව කියා පාන්නටය. මේ රටේ කිසිඳු ගැහැණු ළමයෙක් ලිංගික පෙළඹවීමකට ලක් වු පසු තම පෙම්වතාගේ මානසික පරිධියට ලඝු වීම හැර, ඔහුගේ කුමන හෝ චේතනාවකට පිටස්තර චේතනාවක් නොකරයි. ඒ බව කියන්නටය මා කියන්නට තැත් දරණ දැක්ම ද්වේශ සහගත ව ඔබ අන් පාර්ශවයක ගේ සතුරු වුවමනාව වෙනුවෙන් සමන් වික්‍රමාරච්චි පෙනී සිටින රග…

අනෙක මේ විචාරක පිරිමියා අර්ධ මෛථුන්‍යයේ යෙදුණ පිරිමි චේතනාව ගැහැණිය මත පටවා එය හෙළි කිරීම නිර්ලජ්ජිත යැයි කියයි. එය සිදු වුනේ රහසිගතව යැයි කියයි. විශ්ව විද්‍යාලය යනු කවර ස්ථානයක් දැයි මා මේ උගත් විචාරකයාගෙන් අසනු කැමැත්තෙමි.

ස්වයං චරිතාපදාන පිළිබඳ ලොව පුරා පාඨක විද්වත් ප්‍රජාව තුල තිබෙන පොදු මතවාද වලට මම ගරු කරමින් උත්සාහ කරන ලද්දේ පළමුව මගේ කථාවේ අතීත සිදු වීම් සත්‍යයට වඩාත් සමීප විමර්ශණයකට ලක් කර පිටස්තරයකු හැටියටත් ඇතුලාන්තයේ සිටින පරිනත ගැහැණීයක හැටියටත් දැකීමටයි. එහිදි මගේ ජීවිත අත්දැකීම් වලට සම්බන්ධ චරිත වාසගම් සහිත ව හෙළි කරමින් ඒවා ලිවීමේ නිර්භීතභාවය මා සතු වුවත් එය මා නොකරන ලද්දේ මගේ කථාවේ මූලික වුවමනාව ප්‍රතිපාර්ශව පෞරුෂයන්ට පාඨක අවධානය නොදීම මෙන්ම නවකථා ප්‍රබන්ධයක් හෝ X,Y,Z” යෙදුම් හෝ චම්පා, මුදිතා, රුවන් වෙනුවට චමිලා, චරිතා, සඳුන් ද භාවිතා නොකිරීමට ය. එසේම අම්මා, තාත්තා, අයියා, නංගී, මාමා, පුංචි එලෙසම යෙදීමේ හානියක් ද නොදුටිමි. කෙටියෙන් කිව හොත් මගේ කථාවේ මා හා සබැඳි චරිත සංකල්පීය චරිත බවට පත් කිරීමේ වෑයම මා දුටුවේ එය පොදු අත් දැකීමක් බව අනිවාර්යයෙන් පාඨකයා අත් දකින නිසා වේ. ඔවුනට වැදගත් වන්නේ අපේ පෞද්ගලික සිදු වීම් ඔවුනගේ ජීවිත තුළ පුනර්කරණය කර ආදර්ශවාදීව විචාරශීලිව බැලීමය.

ප්‍රකාශන අයිතිය පිළිබඳ හොඳින් දන්නා කලා කෘති වාරණය හොඳින් දන්නා උදවිය මගේ ප්‍රකාශන අයිතිය, වෘත්තීය අයිතීන් උදුරා ගෙන මා සමාජය ඉදිරියේ අවමානයට ලක් කිරීමට ඉව අල්ලති. වික්‍රමාරච්චි මහතා හොඳින් දන්නා කරුණ වන්නේ ඔවුන් පෙනී සිටින පුද්ගල පාර්ශ්වයන්ගේ සංකේතීය ප්‍රාග්ධන තර කිරීමටත්, කලු සල්ලි සුදු කර ගැනීමටත් මගේ නිරුවත නිර්ලජ්ජී ලෙස ඔවුන් භාවිත කර ඇති බවය.

අවසානයට උගත් විචාරක වික්‍රමාරච්චි ගොඵ බෙලි කටු කථාවක් කියයි. “පුනරාගමන” කෘතියේ මගේ පෙම්වතා සැගවීමට ගොඵ බෙලි කටුවක් සොයන බව මට හැගුණේ ග්‍රෝත්‍රික විප්ලවක් දියත් කර එය ජීවිත සංහාරයකින් අනතුරුව පරාජිත වුනු විට ඉන් වැලැකීමට දරණ ප්‍රයත්නය කීමටය. එහෙත් ද්වේශ සහගත ලෙස එය ඔහු දමා ගසන්නේ මගේ වනචරකම ගැන සමාජයට කියන්නටය. ඔහුට මට කීමට ඇත්තේ ඔහු ඇතුලු පාර්ශ්වකරුවන් ගේ හදවතට එබී කනපිට හරවා බලන ලෙසට ය. වනචරකමේ සැබෑ ප්‍රතිමූර්තිය එවිට ඔවුනට හමුවනු ඇත.

මගේ චරිතාපදානය කියැවීමට පුද්ගලවාදයෙන් තොර ස්ත්‍රීවාදී මනසක් සමන් වික්‍රමාරච්චි මහතාට නැති බව ඔහු ඔප්පු කරන කරුණයි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ධර්මජිත් පුනර්ජීව ගේ ද්විත්වලිංගික මැජික් එක නිසා අනෝමාට වූ හදිය!

  2. දෙවියනේ පිරිමින්ට ලිංගුවක් දුන්නේ මන්ද? පොලු දෙකක් නොදී පොල්ලක් සහ හිලක් දුන්නේ මන්ද? හිලට වසග වූ පොලුකරුවනි. විවාහය වෙනුවට ගණිකා වෘත්තිය ස්ථාවර කොට කඩෙන් සැපගෙන නම්බුව රැකගනු මැනවි. හිල් කරුවන්ට හිල විකිණිමට වෙළදපල පුළුල් වේවා. ගණුදෙනු ගණුදෙනුවලින්ම අවසන් වේවා. අහෝ අනෝමා නුබ දෙවියන්ගේ කැමැත්ත නොදන්නෙහිද? නුබ ඉල්ලන දෙය නුබට කිසිදාක නොලැබෙන්නේය. නැති දෙයක් ඉල්ලූවිට දෙන්නේ කුමක්ද? නුබ නුබට නැති දෙය වෙනුවට ප්‍රේමය ඉල්ලනවාද? නැත්නම් ප්‍රේමය කියා නුබ යදින්නේ කුමක් වෙනුවෙන්ද? නුබ ශුද්ධ වූ පවුල නින්දාවට පත්කරන්නේය. නුබ නුබ ද නැසී අනුන්වද නසන්නේය. මෙය පිස්සුවකි. නුබ සුව නොවුණු හොත් යම් දිනෙක නුබට මහමග ඇවිදිමින් වැරහැලි දවටාගෙන හිස් ලූ ලූ අත දුවන්නට වනවා නේද?

Comments are closed.