උයන්ගොඩගේ ප්‍රවාදය යළි විමර්ශනය කිරීමක් –

 21 වන සියවසේ ධනවාදයේ සමකාලීන  සහ අනාගත ආකෘතිය වන ‘ගෝලීයකරණය’ තුළ දී බහුතරය සිටින්නේ ප්‍රතිසංස්කරණවාදය තුළය. ඒ තුළ විප්ලවවාදී මාර්ගයක් යෝජනා කිරීම පවා කෙනෙකු දකිනු ඇත්තේ සියදිවි නසා ගැනීමක් ලෙසිනි. ෆෙඞ්රික් ජෙම්සන් විසින් මෙම අදහස සාරාංශගත කරනු ලැබුවේ මෙලෙසිනි.

”මේ පවතින ක්‍රමයේ විනාශයට වඩා මිනිස් වර්ගයාගේ විනාශය පරිකල්පනය කිරීම පහසුය”

උයන්ගොඩගේ පැත්තෙන් ගත් කල 71 කැරැුල්ල යනු විප්ලවවාදී දේශපාලනයේ ඔහුගේ පැත්තෙන් අවසාන සහභාගීත්වයයි. ධනවාදී දෘෂ්ටිවාදයට අනුගත වීම සම්බන්ධයෙන් ගත් කල අප මේ ගත කරන මොහොතේ ඊට විකල්ප දෙකක් යෝජනා වී තිබේ.

(1) ධනවාදයට හැකිතාක් විරුද්ධ වීම:- මින් අදහස් කරන්නේ ධනවාදයට හැම මොහොතේම හැකිතාක් විරුද්ධ වීමයි. මෙම ධනවාදී විරෝධය ඇත්ත වශයෙන්ම ධනවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියකි.

(2) ධනවාදයේ නූතන කොන්දේසි නිසා දෘෂ්ටිවාදී අර්ථයෙන් ගත් කල මිනිසා නිර්වින්දනය වී ඇත. ඔවුන්ව නින්දෙන් ඇහැරවීම සඳහා ත‍්‍රස්තවාදය යොදා ගැනීම.

කටින් සමාජවාදයත්, ක‍්‍රියාවෙන් සිංහල ජාතිවාදයත් ව්‍යවහාර කරන සිංහල වමට වෙනස්ව උයන්ගොඩගේ ප‍්‍රවාදය පැහැදිලිය. ගැටලූව වන්නේ උයන්ගොඩ ලෙනින්ගේ සංවාද භාෂාව පැරණි තාලයට අයත් බව සලකන්නේ මන්ද යන කාරණයයි. අපගේ පළමු ලිපි දෙක හරහා පෙන්වා දුන්නේ ලෙනින්වාදයට අදාළ ඓතිහාසික කොන්දේසි අහෝසි වුවත් ලෙනින්ගේ මැදිහත් ආකෘතිය [form]සමකාලීන යථාර්ථයටත් අදාළ බවයි. 1917 පෙබරවාරි සිට 1917 අගෝස්තු දක්වා ලෙනින් කළ අරගලය වූයේ ධනවාදයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයට වඩා වැදගත් වන්නේ එහි ආකෘතිය වූ ධනවාදී රාජ්‍යය බව පෙන්වීමයි. 20 වන සියවසේ සමාජවාදයත් එහි දේශපාලන උපරි-ව්‍යුහයත් මේ වන විට මිය ගොස් ඇත. ස්කෝපියන් සංගීත කණ්ඩායමේ ජනප‍්‍රිය ගීතයක් වන ‘වෙනසේ සුළඟ’ අපගේ ශරීරවලට දැනීම ආරම්භ වී ඇත.

දැනට ලැබී ඇති සීමිත ඉඩකඩ හමුවේ ‘වෙනස් කිරීම’ සඳහා අදාළ වන පැරණි යථාර්ථවාදය මිය ගොස් ඇත. ඒ වෙනුවට අලූත් යථාර්ථවාදයක් බිහි වී ඇත. දේශපාලන පක්ෂවල විවිධ අපගමන (සිරීසා සිට ජවිපෙ දක්වා) ප‍්‍රකාශ කිරීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ අලූත් යථාර්ථවාදය මිනිසුන් වටහා ගන්නා ආකාරයයි.

වඩා වැදගත් වන්නේ අප මේ ජීවත් වන සමාජයේ පතුලට යටින් ගමන් කරන පාතාල යථාර්ථය නියෝජනය කරන්නේ කවුද යන්නය. මේ සඳහා ඉදිරිපත් කළ හැකි සංයුක්ත උදාහරණයක් අපට සොයාගත හැක්කේ කලාව ආශ‍්‍රයෙනි. මන්ද සැබෑ ජීවිතයට වඩා ප‍්‍රබන්ධය අපට බොහෝ දේවල් උගන්වන නිසාය. දළ වශයෙන් 2012 වර්ෂයේ දී ITN නාලිකාවෙන් විකාශය වූ බර්ට‍්‍රම් නිහාල්ගේ ‘අමරපුරය’ ටෙලි නාට්‍යය කල්පනාවෙන් නරඹන විට එය අලූත් යථාර්ථවාදයක් ප‍්‍රකාශ කරන බව වටහාගත හැකිය. ‘අමරපුරය’ ටෙලි නාටකයේ තේමාව ‘පන්ති අරගලය’ මේ මොහොතේ සිදු වන ආකාරය මැනවින් විද්‍යමාන කරයි. සැබැවින්ම එහි ඇත්තේ අපගේ සමාජයේ සැබෑව (Real) සහ එහි සංස්කෘතික ප‍්‍රතිවිපාකය.

2012 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව එකල මා ද සම්බන්ධ වූ රාජ්‍ය නොවන සංවිධානයක් වූ Don’t Ask, Don’t Tell විසින් රටේ දකුණු ප‍්‍රදේශය ආශ‍්‍රය කරගෙන විරෝධාකල්ප රැුස්වීම් මාලාවක් සංවිධානය කරන ලදී. ඉන් එක රැුස්වීමක් එකල පැවැත්වූයේ ගාල්ල නගර ශාලාවේය. එම රැුස්වීම සඳහා මා විසින් කරන කතාවේ මූලික අන්තර්ගතය වූයේ ඉහත දී සඳහන් කළ ‘අමරපුරය’ ටෙලි නාට්‍යයයි. මෙම ටෙලි නාට්‍යයේ විශේෂත්වය වූයේ කුමක්ද? ඒ මොහොතේ දී එම ටෙලි නාටකය විශ්ලේෂණය සඳහා තෝරා ගත්තේ මන්ද? මේ ප‍්‍රශ්න සඳහා විධිමත් උත්තර කිහිපයක් අපට පහත පරිදි ගොනු කළ හැකිය.

Amarapuraya 02

(A) ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේත්, දේශපාලන ක්ෂේත‍්‍රයේත් සිදු වීගෙන යන අභ්‍යන්තරික පරිවර්තනයන් ‘අමරපුරය’ ටෙලි නාට්‍යය මඟින් මැනවින් විද්‍යමාන වෙයි. එපමණක් නොව විවිධ සමාජ කණ්ඩායම්වල විවිධ විපරිණාම ද හොඳින් ප‍්‍රකාශිතය. ඉතාම සංක්ෂිප්ත ආකාරයට කිවහොත් මෙම ටෙලි නාට්‍යය මඟින් අලුත් යුතෝපියාවක් යෝජනා (සමාජවාදයට විකල්පව) කරයි. ඒ සඳහා ටෙලි නාට්‍යය විසින් අලුත් සමාජ-විරෝධී ප‍්‍රතිආයතනගත ව්‍යුහයක් ද යෝජනා කරනු ලබයි. මෙම අදහස විදාරණය කිරීමට උදාහරණ කිහිපයක් සලකා බලමු. උදාහරණයක් ලෙස දැනට සමාජ-විරෝධී සහ නීති-විරෝධී යැයි සම්මත ක‍්‍රියා කිරීමෙන් තම පක්ෂය හෝ වෘත්තීය සමිතිය සඳහා අරමුදල් රැස් කළ යුතු බවට වූ නිගමනය කරා බොහෝ සංවිධාන ධනවාදය තුළ පැමිණ ඇත. ඉන් අදහස් වන්නේ දැනට නීති විරෝධී සහ සදාචාර විරෝධී යැයි සැලකෙන ව්‍යාපාරවලින් මුදල් රැුස්කර එම මුදල් හරහා නිර්ධන පන්ති ව්‍යාපාරය හෝ දුප්පතුන්ව ප‍්‍රතිජීවනය කිරීම යහපත් ලෙස ගැනීමයි. මේ අර්ථයෙන් ගත් විට වෘත්තීය සමිති නායකයා හෝ වාමාංශික පක්ෂ නායකයා දිරාපත් වූ පැරණි ලෝකය තුළ කොතරම් බොරු කීවත් ඔවුන් නව-යුතෝපියාවක් ගොඩනංවමින් සිටියි. එය හරියට ධනවාදී ආර්ථිකය තුළ විරැුකියාවෙන් පෙළෙන්නන්ට ප‍්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරයකු විසින් යම් සීමාවක් දක්වා නීති විරෝධී වැඩ කිරීමට (මත්ද්‍රව්‍ය වෙළෙඳාම, සම්භාහන ආයතන, රාත‍්‍රී සමාජ ශාලා, කප්පම් ගැනීම්, ඉඩම් මිලට ගැනීමේ දී තැරැව්කරුවකු ලෙස ක‍්‍රියා කිරීම) නිල නොවන ලෙස අවසර දීමට සමපාතය. මේ තත්ත්වය ධනවාදයට විකල්ප ආයතන පද්ධතියක් (Counter Institutions) හඳුන්වා දීමකි. එය සමාජවාදයට වඩා යථාර්ථවාදී යුතෝපියාවකි. මේ යුතෝපියාව තුළ පක්ෂ නායකයන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා වූ පුළුල් පරාසයක් ‘අලූත් යථාර්ථයක්’ (New Reality) තුළ පවතියි.

‘අමරපුරය’ ටෙලි නාට්‍යයේ අපූර්ව කතා වින්‍යාසය වන්නේ සදාචාර විනිශ්චයන්ගෙන් තොරව මෙම නීති-විරෝධී ආයතන රටාව විකාශය කිරීමයි. මෙම ආයතන රටාව හරහා නීති-විරෝධී දූෂණය සඳහා නිදහස් අවකාශ නිර්මාණය කර ඇත. සරලව කිවහොත් මත්ද්‍රව්‍ය වෙළෙඳාම, ගණිකා වෘත්තිය, කළු සල්ලි, ජාවාරම් යන සමාජ දූෂණවලට තිබෙන ‘අපරාධ ලේබලය’ 21 වන සියවසේ නව යුතෝපියාව විසින් අපරාධහරණය කරමින් සිටිනු ලබයි. මහින්ද රාජපක්ෂ හරහා සැබැවින්ම පෝෂණය වූයේ ධනවාදය වෙනස් නොකර, ඒ තුළම සිටිමින් යටිබ්ම්ගත යුතෝපියාවක් පිළිබඳ අදහස යථාර්ථයක් කරගන්නා ආකාරයයි. ලිබරල්වාදය මෙම තත්ත්වය වටහාගෙන ඇත්තේ දූෂණය සහ භීෂණය ලෙසිනි. නමුත් මෙම තත්ත්වය දුගීන්ගේ පැත්තෙන් ගත් විට දියුණු වීම පිළිබඳ සමාජවාදී නොවන විකල්පයකි.

Amarapuraya 03

 (B) වාස්තවික කලාපයේ දී විකල්පය ‘සම්මතය’ බිඳදමන නීති විරෝධී ව්‍යාපාරික අවස්ථාවක් නම් එය පවුල නම් ආයතනය පැත්තට එන විට ඒ තුළ ඇති යථාර්ථවාදය උමතු මට්ටමට රැඩිකල් වී ඇත. ‘අමරපුරය’ ටෙලි නාටකයේ බලවර්ධන නම් ව්‍යාපාරිකයාගේ පවුල් ජීවිතය සහ ඔහුගේ පීතෘ භූමිකාව අපිට ලැකානියානු ආප්තයක් සිහිගන්වයි. ඔහු විවාහයට විකල්පව තවත් මනෝ-ලිංගික සම්බන්ධයක් (කතාවේ සුලෝචනා චරිතය – මෙය නිරූපණය කරන්නේ දිල්හානි ඒකනායකයි) පවත්වාගෙන යයි. එහි ඇති රැඩිකල්භාවය කුමක්ද? ‘අමරපුරය’ ටෙලි නාට්‍යය ‘හංස විලක්’ චිත‍්‍රපටයටත් වඩා එක පියවරක් ඉදිරියට තබා ඇත. ‘හංස විලක්’ තුළ ආඛ්‍යානය විවාහය සහ විකල්ප සම්බන්ධය (නෛතික වචනය – අනියම් සම්බන්ධය – එය මා සෞන්දර්යකරණය කරයි. විවාහය සහ විකල්පය අතර දෝලනය යනු බෙන්ජමින්ගේ දේශපාලන අදහසට අනුව ෆැසිස්ට්ය.  ඕනෑම ස්ත‍්‍රියක් ෆැසිස්ට්වාදියකු ෆැන්ටසිකරණය කරයි යන ආප්තය මෙතන දී තීරණාත්මකය) අතර සමතුලිතතාවයයි. නමුත් ‘අමරපුරය/ සිනහව අතරින්’ ආදී දෘශ්‍ය නිර්මාණවලට එන විට මෙම දයලෙක්තික දෝලනය බිඳවැටී විවාහය තුළම ඇති ‘ප්‍රතිආයතයක්’ ලෙස අනියම් සම්බන්ධය මතු වෙයි. මෙය සැබැවින්ම විවාහයේ සැබෑ අසහනය මඟහරින නව යුතෝපියාවකි. ආර්ථිකය සහ සමාජ යථාර්ථය පැත්තෙන් ගත් විට මේ තත්ත්වය මඟින් ‘පවුල’ පිළිබඳ නව යුතෝපියාවක් විද්‍යමාන වෙයි. ‘21’ වන සියවසේ පවුල පිළිබඳ අධ්‍යයනය යොමු විය යුත්තේ විපරිතභාවය සමඟ අත්වැල් අල්ලා ගත් මෙම නව-යථාර්ථවාදය තුළය. මේ සඳහා 20 වන සියවසට අදාළ කිසිදු සදාචාර සම්මතයක් වලංගු නැත. නව තත්ත්වය විසින් ධනේශ්වර පවුල, පෞද්ගලික දේපළ, රාජ්‍යය පිළිබඳ එංගල්ස්ගේ ප‍්‍රවාදය සමතික‍්‍රමණය කරයි.

 (C) ‘අමරපුරය’ ටෙලි නාටකය විසින් සමාජවාදයට සහ ලිබරල්වාදයට විකල්පව නව මනෝරාජිකයක් ඉදිරිපත් කරන බව පැහැදිලිය. නමුත් ‘අමරපුරය’ ටෙලි නාට්‍යයේ ආකෘතිමය සීමාව කුමක්ද? බර්ට‍්‍රම් නිහාල් තම ටෙලි නාටකයේ චරිත හරහා උත්සාහ කරන්නේ මනෝ විද්‍යාත්මක යථාර්ථවාදයකි. නිහාල්ට අනුව ධනවාදය හෝ අපට බාහිරින් පවතින සමාජ යථාර්ථයේ සීමාව ජය ගැනීමට අප කළ යුත්තේ මනෝ විද්‍යාවෙන් හිස පුරවා ගැනීම පමණි. උදාහරණයක් ලෙස විවාහයේ ඒකාකාරී ආතතියෙන් මිදෙන්නට පටන් ගත් විකල්ප සම්බන්ධයේ ‘ස්ත‍්‍රිය’ රැඩිකල්වාදිනියක් ලෙස වටහා ගැනීම මනෝ විද්‍යාවකි. මනෝ විද්‍යාව විසින් සිදු කරන දෘෂ්ටිවාදී මෙහෙයුම වන්නේ ‘සැබෑව’ සහ ඉන් පලා යාමට තනා ගන්නා ආත්මීය ප‍්‍රයත්නය හැකිතාක් වෙන් කිරීමට උත්සාහ දැරීමයි. එනම් වියුක්තකරණයයි. මේ පවතින ගෝලීයකරණ යථාර්ථය තුළ මනෝ විද්‍යාත්මක පුද්ගලයාට ගැලවුමක් ඇත යන්න ‘අමරපුරය’ ටෙලි නාට්‍යයේ ආකෘතිමය සීමාවයි. පවතින ජරා සමාජ-ක‍්‍රමයට එරෙහිව කැරැලි ගැසීමේ දී පුද්ගලයන් කෙරෙහි භක්තිමත් වීමත්, අපගේ පැවැත්ම දෛවය විසින් තීන්දු කරනු ලබනු ඇතැයි යනුවෙන් සිතීම ද යනු මෙම ටෙලි නාටකයේ ක්ෂිතිජයයි. හරියටම මෙම අදහස සමපාත වන්නේ පුද්ගලයාගේ පරිපූර්ණත්වය පිළිබඳ ඇමරිකානු ෆැන්ටසිය සමඟය. එහි විරුද්ධ පැත්ත වන්නේ ක‍්‍රමය වෙනස් කරන ‘පුද්ගලයන්’ වෙනස් කර වැඩක් නැත යන ප්‍රවාදයයි.

සමාජ ආයතන සහ ඒවාට විරුද්ධකම් පෙන්වන රැුඩිකල් කේවල පුද්ගලයන් අතර ආතතිය විසින් ‘අමරපුරය’ ටෙලි නාට්‍යයේ ගැඹුර වන එහි නව-යථාර්ථවාදය දේශපාලනිකව දුර්වල කරයි. පුද්ගලයන්ට ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීමට හැකිය. නමුත් අවසානයට දිනන්නේ පවතින ක‍්‍රමයයි. පුද්ගලයන්ගේ යහපත් ක‍්‍රියාව දේශපාලනිකව වටහා නොගන්නාතාක් අප පරාජිතයන්ය. විසිඑක් වන සියවස තුළ අප මේ මුහුණ දෙමින්, නිර්මාණය කරමින් සිටින ‘නව-යථාර්ථවාදය’ ඇතුළත ලෙනින් නම් වූ දේශපාලනඥයාගෙන් අප උගත යුත්තේ කුමක්ද?

 ප්‍රතිසංස්කරණවාදයෙන් වෙනස්ව (පන්ති අරගලය අතහැර දේශපාලනය කිරීම ප්‍රතිසංස්කරණවාදයයි. එයට වෙනත් විකාරසහගත නිර්වචන නැත. යමෙකු අතට ආයුධ ගැනීම ප‍්‍රතිසංස්කරණවාදයෙන් ඉවත් වී විප්ලවවාදියකු වීම නොවේ) රැඩිකල් සමාජ වෙනසක් බලාපොරොත්තු වන්නකු පළමුවෙන් කළ යුත්තේ කුමක්ද? හැකිතාක් අප මෙම ක‍්‍රමයට විරුද්ධව යන වැඩවලට සහභාගි නොවිය යුතුය. මන්ද මෙම ක‍්‍රමය පවත්වාගෙන යාමට විරෝධාකල්පීන් අත්‍යවශ්‍ය නිසාය. ඒ අර්ථයෙන් අප වෙනත් මිනිසුන්ගේ විවිධාකාර කරදරවීම්වලින් ගැලවී, ඒවා දෙස උදාසීනව බලා සිටීම කළ යුතුය. එසේ බලා සිටීම පවතින ක‍්‍රමයේ චක‍්‍රීය ස්වයං-විනාශයට උදව් දීමකි. අද දවසේ විරෝධාකල්ප සහ විවිධ විකල්ප ඉදිරිපත් කරන්නේ අනේකාකාර විපරිතයෝ, සයිකෝසිකයෝ සහ අධික වේදනාවක් මනසින් විඳින නියුරෝසිකයෝය. උදාහරණයක් ලෙස පළමු ලෝක යුද්ධය හමුවේ ලෙනින් කළේ කුමක්ද? මාතෘ භූමිය ආරක්ෂා කිරීමේ දේශපේ‍්‍රමී යුද්ධය ගැන නොසිතා ලෙනින් කළේ අධිරාජ්‍යවාදීන්ගේ ඉදිරි පියවර නිරීක්ෂණය කිරීම පමණි. ඔහුගේ රටවැසියන් බොහෝ දෙනකුට තිබූ සිත් තැවුල ඔහුට නොතිබුණේ එනිසාය. රාජ්‍යය හුදෙකලා ප‍්‍රපංචයක් නොවේ. ග‍්‍රාම්ස්චිට වෙනස්ව අප රාජ්‍යය වටහාගත යුත්තේ සිවිල් සමාජය හෝ බලය ලෙස හෝ පමණක් නොවේ. එය ‘රාජ්‍යය’ ඇතුළතින් දැකීමක් පමණි. නමුත් ‘රාජ්‍යය’ පිටතට විවෘත වූවකි. එය ප‍්‍රාග්ධන තලයේ වෙනත් රාජ්‍යයන් සමඟ තරග කරයි. ලංකාවේ සැබෑ සමාජ වෙනසක් සඳහා අවධානය යොමු කළ යුත්තේ පන්ති අරගලයට මිස රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයට නොවේ. මන්ද එම ව්‍යාපෘති මෙහෙයවන අයගේ ‘විනෝද සාධකය’ අප දන්නා නිසාය. ආත්මීය සදාචාරයේ අව්‍යාජත්වය නම් මෝහය බිඳදමා යළිත් දේශපාලනයට අනභිභවනීයත්වයක් ආරෝපණය කරන්නේ කෙසේද? 1917 ඔක්තෝබර් මස දී ලෙනින් කළේ එයයි.

 දීප්ති කුමාර ගුණරත්න

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. /ධනවාදයට හැකිතාක් විරුද්ධ වීම:- මින් අදහස් කරන්නේ ධනවාදයට හැම මොහොතේම හැකිතාක් විරුද්ධ වීමයි. මෙම ධනවාදී විරෝධය ඇත්ත වශයෙන්ම ධනවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියකි.// මේ බොරු විරෝධතා නිසාම තමා ධන්වදය් ඊළඟ පියවරට යන්නේ. ඒක හරි. ඔය සයිටම් එක වගේ. උන්ද දෙනවා ආණ්ඩුවට. කුමාර් ගුණරත්නම් කරන්නේ ඒක. ඊට ඔඅස්සේ උණ්ඩ කන්න පිරිසක් හදනවා. පන්ති අරගලය – ඒක ඔහේ තිබිච්චාවේ

Comments are closed.