නිදහස ලබා ගත් දින සිට අද දක්වා ලංකාවේ පැවති ආර්ථික-ක්‍රමය රාජ්‍ය ධනවාදය (State Capitalism) යි. මෙම අන්තර්ජාතික ප්‍රාග්ධනයේ ආධිපත්‍යය සහිතව ලංකාවේ 1956 සිට විවිධ නම් යටතේ පැවැතියේ රාජ්‍ය ධනවාදය යි. ලංකාවේ වාමාංශය පොදු වශයෙන් ගත් විට, සම සමාජයේ සිට විවිධ ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් හරහා ජනතා විමුක්ති පෙරමුණ දක්වා වූ අය ක්‍රියාත්මක කරන ලද සහ ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දෙන්නේ ද රාජ්‍ය ධනවාදය යි. මෙම රාජ්‍ය ධනවාදයට කිසිදා සමාජවාදයටත් ධනවාදයටත් ගමන් කිරීමට නොහැකි ය. නිදහස ලැබීමට පෙර සිට 1977 දක්වා වූ කාලයක් ‘සම සමාජ පක්ෂය’ ලංකාවේ සමාජවාදය ස්ථාපනය කිරීමට පොරොන්දු වුව ද එය ඉෂ්ට කිරීමට ඊට නොහැකි විය. 1977 ට පසුව ලංකාවේ ධනවාදය ස්ථාපිත කිරීමට ‘එක්සත් ජාතික පක්ෂය’ පොරොන්දු වූව ද දශක 4 ක් පමණක් ගෙවී ගොස් ඇතත් ඊට ධනවාදය -capitalism- ස්ථාපිත කිරීමට හැකි වූයේ නැත. මෙම යුතෝපියාවන් දෙකම අවසානයේ රටට ඉතුරු වී ඇත්තේ, උද්ධමනය, විරැකියාව, නිම නොවන දරිද්‍රතාවය, අතිවිශාල දේශීය සහ විදේශීය ණය කන්දරාවයි. මේවා, දෛනික ජීවිතයේ බහුතර දෙනාගේ පොදු අත්දැකීම් ය. මෙම දෛනික යථාර්ථයෙන් ඉවත් වීමට මේ දක්වා දරන ලද වෑයම් අවසන් වී ඇත්තේ, ඌණසංවර්ධනය සංවර්ධනය වීමෙන් පමණි. මේ වන විට, බොහෝ මිත්‍යාවන් සහ මුලාවන් විනාශ වී ඇත.

     ඉහත යථාර්ථය ලෝක යථාර්ථයකි. එය ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියාවේ බොහෝ රටවලට අදාළ තත්ත්වයකි. ලතින් ඇමෙරිකාවේ දී පවතින තත්ත්වය සන්නද්ධ අරගල වලින් පෙරළා දැමීමට දරණ ලද උත්සාහයන් බහුතරය අසාර්ථක විය. ඒවා, සාර්ථක වූ කියුබාව, නිකරගුවාව වැනි ස්ථානවල දී බාහිර සාධක හෝ අභ්‍යන්තර සාධක නිසා එකතැන පල් වීමට සිදු විය. ලංකාවේ ද උත්සාහ දරණ ලද සන්නද්ධ අරගල උත්සාහයන් ත්‍රිත්වයක්ම අසාර්ථක වීමෙන් අවසන් විය.

     මේ වන විට දී, ලෝක මට්ටමින් ප්‍රාග්ධනයේ හැසිරීම ව්‍යුහාත්මකව වෙනස් වී ඇත. සමහර න්‍යායවේදීන්ට අනුව, ධනේශ්වර ක්‍රමය අවසන් වී ඇත. ලතින් ඇමෙරිකාවේ 80 දශකයේ සටන් කළ- ආජන්ටිනාව, බ්‍රසීලය, චිලී, උරුගුවේ, පැරගුවේ, බොලීවියාව- බොහෝ ගරිල්ලා ව්‍යාපාර මේ වන විට දී ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලින් බලයට පැමිණ ඇතත් ඒ කිසි රටක සමාජ-ආර්ථික ගැටලු විසඳී නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ, අලුත් වටයකින් අර්බුදය උත්සන්න වීම පමණි. මේ සෑම රටකම රාජ්‍ය ව්‍යුහය ගැඹුරින් අර්බුදයට ගොස් ඇත.

         සමකාලීනව ශ්‍රී ලාංකිකයන් අත්විඳින සමාජ-ආර්ථික අර්බුදයට ඓතිහාසිකත්වයක් ඇත. අපගේ ගැටලුව ‘සමකාලීන’- Contemporary- එකක් නොවේ. එහි එක මූලයක් යටත්විජිතවාදය දක්වා දිවෙන අතර අනෙක, ධනේශ්වර රාජ්‍ය ව්‍යුහය දක්වා විහිදී ඇත. සමකාලීන දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා වර්තමානය තුළ ගිලී ගොස් ඇත. ගැටලුවේ ඓතිහාසික පර්යාවලෝකනයක් ඒ අය අතින් සිදු නොවේ. 

           මේ තතු යටතේ, අප විසින් ‘නිව්ටන් ගුණසිංහ’ විසින් 1987 දී මහනුවර කම්කරු සහ ගොවි ආයතනයේ කළ දේශනයක් පහත පළ කරන්නෙමු.

           නිව්ටන් ගුණසිංහ තම ලිපිය තුළ මූලික වශයෙන් තර්ක කරන්නේ, අප මාක්ස්වාදීන් නම් ලංකාවේ පවතින ධනවාදය රාජ්‍යකේන්ද්‍රීය එකක් බව පිළිගත යුතුය යන්න ය. එහිදී, රාජ්‍යයෙන් සහ ශ්‍රමයෙන් ස්වායත්ත ශුද්ධ ධනවාදයක් ලංකාවේ පවතින්නේ නැත. දෙවනුව ඔහු මතු කරන න්‍යායික ප්‍රවාදය වන්නේ, ඌණසංවර්ධනය සහ පසුගාමී ධනවාදය අතර සංකල්පීය වෙනස දේශපාලනයේ දී වෙන් කර ගත යුතු බවයි.

           නිව්ටන් ගුණසිංහට අනුව, 1956 සිට 1977 දක්වාත්, එතැන් සිට 1987 දක්වාත් ඇත්තේ අඛණ්ඩතාවක් පමණි. එම අඛණ්ඩතාවය අපට අද දක්වා දිගු කළ හැකි ය. ඔහුට අනුව, “පසුගාමී ධනවාදී ආර්ථිකයත්” (Backward Capitalist Economy) “ඌණසංවර්ධිත ආර්ථිකයත්” [underdeveloped] අතර පැහැදිලි වර්ධනාත්මක වෙනස්කම් ඇත. පසුගාමී ධනවාදී ආර්ථිකයක දී ‘ධනවාදය’ ප්‍රගතිය කරා ගමන් කරන අතර එය, පැරණි සම්ප්‍රදායන්ගෙන් සහ වැඩවසම් ක්‍රමයෙන් ඛණ්ඩනය වෙයි. ඒ අනුව, පසුගාමී ධනවාදය සහ ඌණසංවර්ධනය අතර ගුණාත්මක වෙනස්කමක් ඇත. ඌණසංවර්ධනය තුළ සම්මුඛ වන්නේ, අඩස්සිගත විකෘති ලක්ෂණ සහිත ප්‍රගතියකි. මෙම තත්ත්වය ඌණසංවර්ධනයට ආදේශ වන්නේ, යටත් විජිතවාදයේ රෝග ලක්ෂණයක් ලෙසිනි. පසුගාමීත්වයට පරස්පරව  ඌණසංවර්ධනයේ දී ඊට මුහුණ දෙන ආත්මය අඛණ්ඩව ආපස්සට සංස්කෘතික සහ සමාජීය වශයෙන් ගමන් කරයි. එනම්, පසුගමනය යි. [regression]සාමාන්‍යයෙන්, ධනවාදය වෙළදපොල සමඟ සම්බන්ධ වූවත් ඌණසංවර්ධනයේ දී රාජ්‍යය වෙළඳපොළට මැදිහත් වෙයි. එම නිසා, ඌණසංවර්ධනය ස්ථිතික තත්ත්වයක් නොව සන්තතියකි.[process]

      කෙසේ වෙතත්, ඩිජිටල් ධනවාදය වසර 2004 දී රටට ඇතුල් වූ පසු උපරි-ව්‍යුහය සහ අධෝ-ව්‍යුහය අතර ගැටුම වෙනුවට දෘෂ්ටිවාදය – ideology – නම් ප්‍රපංචය ඊට ආදේශ විය. එමගින්, අලුත් සබඳතා ලෝකයක් බිහි වූ අතර නව තත්වය පශ්චාත්-නූතන අනන්‍යතා දේශපාලනය ලෙසින් හැඳින්විය හැකි ය.    

  පහත පළ වන්නේ, නිව්ටන් ගුණසිංහගේ “ශ්‍රී ලංකාවේ ධනවාදී සංවර්ධනයේ; කාලානුරූපයක්” යන ලිපිය යි.

Link.

https://dl.nsf.gov.lk/handle/1/13815?show=full

 

 

 

ඔබේ අදහස කියන්න...