70-80 දශකවල ලංකාවට පැමිණි ස්ටීවන් ස්පිල්බර්ග් සහ ජෝර්ජ් ලුකාෂ්ගේ චිත්‍රපට මමත් ඇතුළුව ඒවා නැරඹූ එවකට ප්‍රේක්ෂකයන් වටහා ගත්තේ, විද්‍යා දැනුමේ අපරිමිතය තුළ ය. එකල, විද්‍යා ප්‍රබන්ධ ගැන සංවාද කරන ලද්දේ, එඩ්වින් ආරියදාස මාධ්‍යවේදියා ය. ආරියදාස මහතා සහ ලාංකීය ප්‍රේක්ෂකයන් මෙම විද්‍යා ප්‍රබන්ධ කතන්දර දුටුවේ, සංගත විශ්වයක විශ්මිත අපරිමිත ලෝකයක් ලෙසිනි. මිනිසාගේ ස්වාධීන විද්‍යාත්මක දැනුමට පෘථිවියේ ගුරුත්ව බලයෙන් නිදහස්ව අපරිමිත විශ්වයන් කරා කාලාවතරණය කළ හැකිය. මිනිසා නැති ලොවකට මිනිසාට පියාඹිය හැකිය. විද්‍යා ප්‍රබන්ධ අවශ්‍ය වන්නේ මන්ද? 

          අපගෙන් පරිබාහිර යථාර්ථය පරිපූර්ණ එකක් ලෙස අප විශ්වාස කරන්නේ නම් සහ අප සහ යථාර්ථය අතර ඇති සහසම්බන්ධය අනිවාර්යය නම්, ‘යථාර්ථය’ තුළ අපට ‘නිදහස’ යනුවෙන් ප්‍රපංචයක් නැත. උදාහරණයක් ලෙස, ‘ධනවාදය’ සහ ‘ජනතාව’ යන ළඟා විය නොහැකි ක්ෂිතජයන් දෙක සම්බන්ධයෙන් අපට එන සංජානනය කුමක්ද? ඒවා කැඩී ගිය බිත්තර නොවේ. ඒ නිසාම, ඒවා කඩා බිඳ දැමූ විට අපට ඔම්ලට් සෑදිය හැකි දැයි නිශ්චිතතාවයක් නොමැත. රොබස්පියර් බිත්තර කඩා ඔම්ලට් දැමීමට ගිය විට, ඔම්ලට්යේ තැටිය මතට ඔහුවත් විසි විය. 

      එඩ්වින් ආරියදාස හෝ 70 දශකයේ මැද සිට ලාංකීය ප්‍රේක්ෂකයන් ස්පිල්බර්ග්ගේ E.T, Jaws, ජුරාසික් පාක් වැනි පසුකාලීන චිත්‍රපට දුටුවේ, සමකාලීන යථාර්ථයේ ගුරුත්ව බලයෙන් මිදී යන චිත්‍රපට ලෙස ය. පළමුවෙන් කිව යුත්තේ, මෙම චිත්‍රපට කිසිවක් අපට ඒ කාලයේ වැටහුනේ නැති බවයි. ආරියදාසගේ අර්ථකතනයෙන් අපට සෑහීමකට පත්වීමට සිදු විය. එකල, අප යථාර්ථයට ෆැන්ටසි මානයක් ඇති බව දැක්කේ නැත. යථාර්ථය යනු, විසඳුමක් මිස ගැටලුවක් ලෙස අපට සුචරිත ගම්ලත් උගන්වා තිබුණේ නැත. යථාර්ථය යනු, අප ජීවත් වන සමාජ පසමිතුරුභාවයන්ගෙන් පලා යන තිරයක් යයි අප වටහා ගන්නා විට පෙරහැර විශාල දුරක් ගමන් කර ඇත. 

           සංවර්ධන ලොතරැයියක් සූරන විට අංක මතු වන සේ යථාර්ථය ද සූරන විට අපට මතු වන්නේ, අප විසින්ම ගොඩනගා ඇති ෆැන්ටසිය යි. විද්‍යා ප්‍රබන්ධ යනු ද යථාර්ථයෙන් පලා යාමට තනාගත් උමඟකි. මෙම උමඟ හාරන්නේ, විද්‍යා දැනුම පදනම් කරගෙනය. මෙම නවීකාරක තිසීසයට අනුව, යථාර්ථය යනු, දෙපැත්තක් ඇති තිසීසයකි. එක පැත්තක ඇත්තේ, සංකේත මගින් ගොඩනගන ලද කතන්දරයකි. අනෙක් පැත්තේ ඇත්තේ, යථාර්ථයට සහයෝගය දෙන අඳුරයි.

        උදාහරණයක් ලෙස, අපි Blade Runner නම් විද්‍යා ප්‍රබන්ධයට අවධානය යොමු කරමු. මෙම චිත්‍රපටය පිළිබඳ 21 වැනි සියවසේ ඇවිලී ගිය විවාදයේ හරය මෙලෙස කැටි කළ හැකිය. චිත්‍රපටයේ මුඛ්‍ය ගැටලුව වන්නේ, ඩෙකාඩ් නම් චරිතය මිනිසා කෘතීමව නිර්මාණය කළ යන්ත්‍රයක් ද නැතහොත්, මිනිසෙක් ද යන්න ය. සංශය බිහි වන්නේ, මෙම සන්දර්භය තුළ ය. මෙමගින්, මිනිසා සහ පශ්චාත්-මිනිසා – Post- Human – අතර වෙනස අධිනිර්ණය වෙයි. සමකාලීන ධනවාදී යථාර්ථය තුළ, එනම් ධනවාදයට වෙනත් විකල්පයක් නැත යන විශ්වාසයෙන් මිනිසුන් වැඩ කරන නිසා ධනවාදයට වඩා අවශ්‍ය වන්නේ, මිනිසුන් නොව පශ්චාත්-මිනිසුන්ය. සරලව කිවහොත් ඒ අය, පියුමි හංසමාලි, රන්ජන් රාමනායක වැනි මිනිසුන් පද්ධතිය විසින් වැඩසටහන්ගත කළ මිනිසුන්ය. ඒ අනුව, තවදුරටත් මානුෂික ධනවාදය- Human Capitalism- යනුවෙන් දෙයක් නොපවතියි. සමකාලීන ධනවාදය ඒ අර්ථයෙන්, ‘මානුෂික’ නොව පශ්චාත්-මානුෂික ධනවාදයකි.[Post-Human Capitalism] නූතන විද්‍යාව වෙහෙසක් හෝ අවදානමක් නැති රොබෝවරුන් නිපදවීමට උත්සාහ කරන්නේ මේ නිසා ය.

         මිනිසා වෙනුවට ධනවාදය වෙනුවෙන් වෙහෙසී වැඩ කරන්නේ පශ්චාත්-මිනිසුන් නම්, සූරාකෑම නම් සංකල්පයට සිදු වන්නේ කුමක්ද? සාම්ප්‍රදායික මාක්ස්වාදියෙකුගේ ගැටලුව එය යි.  ශ්‍රමය විසින් ‘වටිනාකම්’ මැවීම මෙතනටත් අදාළ ද?

           පරිපූර්ණ සේවකයෙක් නිපදවීම පිළිබඳ අදහස ධනවාදයට පමණක් සීමා වූවක් නොවේ. ඔරංඔටන් සහ මිනිසුන් අතර ජානමය බද්ධ කිරීමක් හරහා පරිසමාප්ත ශ්‍රමිකයෙකු ඇති වීම පිළිබඳ යුතෝපියාව ස්ටාලින්ගේ රෙජීමය තුළ ද අත්හදා බලන ලදී.  

          සමකාලීන Facebook වැනි දත්ත මත පදනම් වන  මෘදුකාංග මගින් ධනවාදය ව්‍යුහගත වන යුගයක Blade Runner චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ඩෙකාඩ්ගේ ගැටලුව වටහා ගන්නේ කෙසේද?

          2023 වර්ෂයේ දී මිනිසෙකු සහ මිනිසෙකු මෙන් සියයට සීයක් [- ?] සමානව සිතන යන්ත්‍රයක් අතර ‘වෙනස’ සාධනය කරන්නේ කෙසේද?

          මිනිසෙකු සහ මිනිස් ආකෘතියක් අතර වෙනස ‘සමාජ මාධ්‍ය’ යුගයක දී කියවීම දුෂ්කර ය. මන්ද, මිනිසෙකුට මෙන් මතකයන්, අතීතයන්, ෆැන්ටසීන්, සමීප චරිත යන්ත්‍රයකට ද කැවිය හැකි නිසා ය. ඩෙකාට්ගේ ගැටලුව වන්නේ, ඔහු මිනිසෙකු ද? නැතහොත්, යන්ත්‍රයක් ද? යන්න අවිනිශ්චිත නිසා ය. මන්ද, මිනිසා මෙන්ම යන්ත්‍රයට ද දුක, වේදනාව, මතකය, හැඟීම්, ස්පර්ශය, උත්තර දීම, සතුට, මායාව යන මේ සියල්ල ප්‍රතිනිර්මාණය කළ හැකි නිසා ය. සරලව කිවහොත්, ඔබ පිරිමි ලිංගිකත්වය මිලට ගැනීමට කැමති පාරිභෝගිකයෙක් නම්, ඔබ වෙනුවෙන් ඔබගේ ෆැන්ටසියට අනුකූල ලෙස සිලිකෝන් වලින් තනා ඇති ගඳ,සුවඳ නිකුත් කරන රොබෝ කාන්තාවන් මේ වන විට නිෂ්පාදනය කර ඇත. පරමාර්ථය ඇත්තේ, ‘වාස්තවික ලෝකය’ තුළ යැයි සමපේක්ෂණය කරන්නේ නම්, ඊට අදාළ වේශ-නිරූපණය දැන් වෙළඳපොළ නිපදවා ඇත. මෙය, පශ්චාත්-මිනිසාගේ පශ්චාත්-ලිංගික සබඳතා ලෙසින් ද අපට අර්ථකතනය කළ හැකිය. ‍මෙය, ක්‍රිස්තියානි ප්‍රතිනිෂ්පාදන තර්කයෙන් ද විමුක්තය. ලිංගික සබඳතාවල අරමුණ ඒ අනුව, දරුවන් නොවේ. Facebook අවකාශය යනු, සැබෑ ගැටුම ඉවත් කළ මිනිස් සම්බන්ධයකි. සංඥා මට්ටමේ දී සහ අක්ෂර තලයක සබඳතා යනුවෙන් දෙයක් පවතී. නමුත්, Facebook හී අරමුණ සහසම්බන්ධතාවාදියෙකුගෙන් වෙනස් වෙයි. එය, ඔබගේ සම්බන්ධය ගුණය නම් ප්‍රභේදයෙන් ප්‍රමාණය වෙතට විතැන් කර ඇත. ලිංගික සබඳතාවල දී ඔබගේ සහකරුවා හෝ සහකාරිය කරන්නේ ඔබගේ ෆැන්ටසියට බාහිරින් සිට භෞතික සහයෝගයක් දීම පමණක් නම් Facebook තුළ දී සිදුවන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම, ලිංගික-යථාර්ථවාදියෙකු හොඳින් දන්නා පරිදි, ඔහු සබඳතා පවත්වන්නේ, බාහිර කෙනෙකු සමඟ නොව තමා සමඟමය. එහි ක්ෂතිමය අඩංගුව නිසා ඒ තැනැත්තා එය බාහිරට අනෙකෙකුට ප්‍රක්ෂේපණය කරයි. මනෝ විශ්ලේෂණයට සහසම්බන්ධතාවාදය හමු නොවන්නේ, බාහිරින් පෙනෙන සබඳතාවය අභ්‍යන්තරයෙන් අවුල් කරන තථ්‍යසමාන වස්තුවක් නිසා ය. [object a ] මෙම තථ්‍යසමාන වස්තුව ඩිජිටල්කරණය කිරීමට නොහැකිව මණ්ඩියක් ලෙස ශේෂගත වෙයි.

  සකබර්ග් ඊළඟ අදියරක දී උත්සාහ කරන්නේ, Facebook පාවිච්චි කරන්නා සහ යථාර්ථය අතරමැද ඇති තිරය නැතහොත්, Screen එක ඉවත් කිරීමටය. එනම්, හොලෝග්‍රෑමික (Hologram) ෆැන්ටසිය තහවුරු කිරීමට ය. එවිට, Facebook තුළ හමු වන අනෙකාට අනන්‍යතා දෙකක් ඇත. ඔබේ ෆැන්ටසියට සහයෝගය දෙන අනෙකා එනම්, සහසම්බන්ධතාවාදය 100% හෙලා දකින කෙනෙකුට පවා එක හෝ සහසම්බන්ධයක් ඇත යන්න. අනෙක් පසින් හමු වන්නේ, දෙකඩ බෙදීමක් ඇති ඔබේ ආශාව ප්‍රශ්න කරන අනෙකාය.

        අපි දැන්, කොමියුනිස්ට් ප්‍රකාශයේ මූලික ආප්තයක් සිහියට ගනිමු. 

         “ ඝන වූ සියල්ල වාෂ්ප වෙයි “. 

   

         ඉහත ආප්තයෙන් තහවුරු වන්නේ, ධනවාදය සහ බූර්ෂුවා පන්තිය තහවුරු වූ සෑම තැනකදීම කිසිදු අන්තර්ගතයක් ඉතුරු නොවන පරිදි මිනිසාගේ ආත්ම මූලිකත්වය හිස් වෙයි යන ආප්තය යි. Facebook හි ඊළඟ අවධියේ දී සිදු වන්නේ, යන්ත්‍රය මගින් නිපදවන මිනිස් සබඳතා සහ ස්වාර්ථය සහ ස්වාත්මය සම්බන්ධ ෆැන්ටසියට සහයෝගය දෙන මිනිස් සබඳතා අතර වෙනස මැකී යාමයි. සරලව කිවහොත්, හිතවතා සහ බොරු හිතවතා වෙන් කර ගැනීමට නොහැකි වන මොහොතක් දැනටමත් උදා වී ඇත. ජීව රසායන විද්‍යාවේ සහ කොමපියුටර් භාෂා මොඩලවල දියුණුවත් සමඟ දැනටමත් මිනිසා සහ නිර්මිනිසා අතර වෙනස මැකී ගොස් ඇත. ධනවාදයට අවශ්‍ය වන්නේ, මේ ‘අමු හිස් මිනිසා’ මිස කිසියම් හෝ අන්තර්ගතයක් සහිත මිනිසා නොවේ. මේ ‘අමු හිස් මිනිසා’ කැරලි ගසන්නේ නැත. මන්ද, මේ මිනිසා සතුව ඉතිහාස විඥාණයක් නැති නිසා ය.

            පසුනූතන තත්ත්වය තුළ Blade Runner චිත්‍රපටයේ කෘතිම මිනිස් අනුකෘතිය- replicant තුළ පවා අව්‍යාජ මතකයන් ඉවත් කරගෙන ඇත. සත්තාවේ සියලුම සාරයන් ද ඔවුන්ගෙන් අවශෝෂණය කර ඇත. නියම නිර්ධන ආත්මය සතුව ඇත්තේ, සාරයෙන් නිදහස් ආත්ම මූලිකත්වයක් පරිදි මෙම අනුකෘතිවලට ද සාරයක් නැත. සාරය නැති තැන කුමන කැරැල්ලක් ද? එසේ නම්, මිනිසා සහ යන්ත්‍රය නැතහොත්, කෘතීම බුද්ධිය අතර වෙනසක් අපට  පාදාගත නො හැකි නම්, නිදහස සහ වගකීම පිළිබඳ සදාචාර ක්ෂේත්‍රය ද අපට අහිමි වනු ඇත.

          පළමුවෙන්ම, අප වටහාගත යුත්තේ මිනිසා සහ මිනිසා විසින්ම නිර්මාණය කළ යන්ත්‍රය නැතහොත් රොබෝවරයා අතර යම් පොදු ගුණාකාරයක් ඇති බවයි. ඩෙකාට් ශෝක වන්නේ, තමන් සතුව පවතින අතීත මතකයන්, ජවලනය වන මිනිස් හමුවීම්, අතීත වේදනාවක් ලෙස ස්නායු වලට දැනීම නිසා ය. මිනිසා සහ යන්ත්‍රය යන ප්‍රපංච දෙකම එතැන දී සමරූපී ය. ඕනෑම මිනිසෙකු තමන් තුළ ගිලී ගිය ගැඹුරු පණිවිඩයක් ඇතැයි ද අනාගතයෙන් එන අපූර්ව අමුත්තෙකු එම පණිවුඩය අවබෝධ කරගනු ඇතැයි ද සමපේක්ෂණය කරයි. එම නිසා, අප අකමැති වුවත් Facebook තුළ අපට හමුවන පශ්චාත්-මිනිසෙක් සහ ජීවමාන මිනිසෙක් අතර ඇත්තේ, එකම අගතියකි. එනම්, කුමන හෝ සාරයක් තමන් සතුව ඇත යන්න ය. පශ්චාත්-මිනිසාට Facebook තුළ හමු වන මිනිසුන් අව්‍යාජ මිනිසුන් ලෙස පෙනී යාමේ විභවතාවයක් ද ඇත. නමුත්, පශ්චාත්-මිනිසා ප්‍රතික්ෂේප කරන මුත් මිනිසා සතු සුවිශේෂයක් ඇත. එනම්, අවිඥාණය යි. අවිඥාණය යනු, ඔහුගේ ම සිහිය තුළ ඇති දැනුමයි. එම නිසා, මිනිසා රැඩිකල් ලෙස කෘතීම බුද්ධියෙන් හෝ ඩෙකාට්ගෙන් වෙනස් වන්නේ, තම ‘නිදහස’ උදෙසා මොහොතකට හෝ තමන් හිස් යැයි පිළිගන්නා නිසා ය. පශ්චාත්-මිනිසා සහ මිනිසාට සමරූප රොබෝවරුන් මේ නිදහස භුක්ති විඳින්නේ නැත. ඔවුන් තමන් ‘හිතන දෙය’ සහ ‘කරන දෙය’ අතර පරතරය අන්‍යයන්ට පවරයි. මාක්ස්ගේ උදාන වාක්‍යය මේ හිස් බව පිළිගැනීමයි. Facebook අනන්‍යතා දේශපාලනයෙන් ගැලවිය හැක්කේ, මිනිසුන්ට පමණි.[ideology of Facebook]

  • Deepthi kumara Gunarathne.

ඔබේ අදහස කියන්න...