අප ද ඇතුළුව ස්ටැන්ලි කුබ්රික්ගේ ‘Eyes Wide Shut’ නම් චිත්‍රපටය බහුතරය කියවන්නේ ධනවාදයට සහ පරිභෝජනවාදයට එරෙහි විචාරයක් ලෙසිනි. නමුත් අද අප එම චිත්‍රපටය කියවන්නේ සායනික (Clinical) අර්ථයකින් ය. මා නැරඹූ චිත්‍රපට අතරින් විවාහය තුළ ලිංගික සබඳතා සහ ආදරය ගැන ගැඹුරින්ම සාකච්ඡා වන්නේ, කුබ්රික්ගේ ‘Eyes Wide Shut’ සහ වොන් ට්‍රියර්ගේ ‘Antichrist’ තුළ ය. Antichrist හී තේමාව සරල වුවත් එහිදී සංවාදයට ලක් වන්නේ ස්ත්‍රියගේ විශාදය (Anxiety) පිළිබඳව ය.
Antichrist හී කතාව කෙටියෙන් මෙසේ ය. විවාහක ජෝඩුවක් තම නාන කාමරයේ උමතුවෙන් මෙන් රමණයේ යෙදෙන විට ඔවුන්ට ඔවුන්ගේ කුඩා දරුවාව අමතක වෙයි. දෙමාපියන් රමණයේ යෙදෙන විට කුඩා දරුවා ඔවුන් ජීවත් වූ තට්ටු නිවාසයේ කවුළුවකින් බිමට ඇද වැටී මිය යයි. මින් බිරිඳ තදබල විශාදයකට පත් වෙයි. බිරිඳගේ විශාදය සුව කිරීම සඳහා සැමියා ඇය සමඟ කැලෑවක් මැද ‘ගැමි ගෙදරකට’ යයි. සැමියා විශ්ලේෂකයා වන අතර බිරිඳ විශ්ලේෂීතයා බවට පත් වෙයි. ඉන්පසු ඇරඹෙන්නේ දෙදෙනා එකිනෙකාට හිරිහැර කර ගන්නා දර්ශන පෙළයි. සැමියා සහ බිරිඳ ස්වාමි-වහල් සබඳතාවයකට ගමන් කරන අතර එය එකිනෙකාගේ ශරීරවලට තදබල හිංසනයක් එන්නත් කරයි. පරමාදර්ශ නැති තැන පරමාදර්ශ වන්නේ, එකිනෙකාගේ අවිඥාණක ආශාවන් ය.
Antichrist Prologue from Barney Bear on Vimeo.
පවුලක ආර්ථික ශක්තිය හොඳ වන විට එනම්, මධ්‍යම පන්තික වන විට යුවළේ ලුබ්ධි ආර්ථිකයට අදාළ බාධාව අභ්‍යන්තරික වන අතර පවුල පහළ මැද පන්තික හෝ නිර්ධන වන විට බාධාව බාහිර එකක් වෙයි. බාධාව බාහිරින් ඝාතනය කළ විට එය අභ්‍යන්තරයෙන් මතු වෙයි. ලංකාවේ ආර්ථික වශයෙන් පහළ මට්ටමේ වර්ගීකරණයට වැටෙන පවුල් වර්ග දෙකක් ඇත. (දෙවියන් මියගිය ලොවක නව පරමාදර්ශ)
1. වැගන් R පවුල.
2. Mazda/ Toyota පවුල.
වැගන් R පවුල
බොහෝ විට, මේ පවුල තම ජීවිතය කොට ගන්නේ කුටුම්භ සංරක්ෂණය පමණි. එනම්, ආර්ථිකය පමණි. මෙවන් පවුල්වල දෙදෙනාම රැකියාව කළත් ආදායම ලක්ෂ 1 ½ ට අඩු ය. වැගන් R එකක් මිලට ගෙන ඇති අතර ඒ සඳහා තිස්දහසක පමණ ලීසිං වාරිකයක් ගෙවයි. ඉතුරු මුදල ඉතා සකසුරුවමින් වියදම් කරයි. මාසය පුරාම දැඩි ලෙස වෙහෙස වී වැඩ කරන නිසා බොහෝ විට ලිංගික සබඳතා අඩු ය. තිබුණත් තල් ගස් දෙකක් සුළඟට ඇඹරෙනවා වැනි ලිංගික සංස්කෘතියෙන් එහාට යාමට ඉඩක් නැත. ‘ආදරය’ කිරීමට විවේකයක් නැති නිසා එවැනි දෙයක් මෙලොව පවතී ද කියා නො දනියි. යුද්ධය නතර වීම ගැන වැඩි කැමැත්තක් ඇති මුත් ඉන් තම පවුලට වැඩි ආදායමක් නොඒම ගැන දැඩි කනස්සල්ලකින් ජීවත් වෙයි. කවදා හෝ තමන්ට වඩා තම දරුවන්ව ඉහළ තැනක තැබීමට ඔවුන් වෙනුවෙන් හම්බ කරයි. ඉතිරි කරයි. මෙවැනි පවුල් තුළ අනුකරණයට මිස අවිඥාණක ෆැන්ටසි වලට ඉඩක් නැත.
මැස්ඩා / ටොයෝටා පවුල.
විශ්වවිද්‍යාල මට්ටමට උගත් එක සාමාජිකයෙකුගෙන් හෝ මෙවන් පවුල් සමන්විත ය. බොහෝ විට, ලංකාවේ වෘත්තිකයන්ගේ පවුල් ආකෘතිය මෙය වෙයි. ලක්ෂ 5ක/ 6ක ආදායමක් පවුල සතු ය. ලීසිං වාරිකය ගෙවීම දුෂ්කර නැත. සති අන්තයේ කුමන හෝ දුර ප්‍රදේශයක හෝටලයකට ගමන් කර මධුවිතින් සප්පායම් වී සතියේ වූ දේවල් අමතක කරයි. බොහෝ විට, මෙවන් පවුල් තුළ නො විසඳෙන අවුලක් ඇත. පවුලේ එක් සාමාජිකයෙකුට කුමන හෝ විකල්ප සම්බන්ධයක් ඇති අතර අනෙකා මේ නිසා දුරකථන ක්‍රියා කරන්නියක් වී ඇත. සුවඳ විලවුන් ආලේපනය කරන, රූපලාවන්‍ය කටයුතු කරන නිසා මේ අයගේ ශාරීරික සංස්කෘතිය ඉහළ ය. නමුත් සාහිත්‍යය කියවා නැති නිසා ‘ආදර කතා’ ගෙතීමට නො හැකි ය. බොහෝ විට, තම විවේක කාලය තුළ සමාජ ජාලා වෙබ් අඩවිවල සැරිසරන අතර ඒ නිසාම දේශපාලනය ගැන තමන්ටම ආවේණික දෘෂ්ටියක් ද ඇත. බොරු කීම සහ බොරු ඇසීම දෛනික පුරුද්දකි. ළමයින් අන්තර්ජාතික යැයි ඔවුන් හිතන පාසැල් වලට යවයි. ඒ ළමයින් සමඟ සුරතලයට නිවසේ දී ඉංග්‍රීසියෙන් කතා කිරීමෙන් අමුතුම වින්දනයක් ලබයි. කොයි මොහොතක හෝ බටහිර රටකට යෑමට සිහින දකියි. නමුත් ආගම ධර්මය, ජාතිය පණ මෙන් රකියි. මේ පවුල් වලට ද බාධාව ඇත්තේ පිටතින් ය. එම බාහිර බාධාව ජයගතහොත් දිව්‍ය ලෝකයටම යා හැකි යැයි ඔවුහු සිතති. මෙවන් පවුල් තුළ ජෝඩුවේ දෙදෙනා ම වෙන වෙන ම හුදෙකලා වී ඇත.
මීට අමතරව, ඉතා කුඩා මට්ටමින් නමුත් දෘෂ්ටිවාදීව ප්‍රබල බලපෑමක් ඇති කරන පවුල් වර්ගයක් සිටිති.
‘ගයා කොඩිතුවක්කු’ ඉහත වර්ගයට අයිති කාන්තාවකි. ඇය යූටියුබ් කාරිනියකි. මුලින්, ඇය තම වීඩියෝ මඟින් ජීවන විලාසිතා සහ පෞර්ෂය වර්ධනය පිළිබඳව කතා කළා ය. එමඟින් ඇය උත්සාහ කරන ලද්දේ, උසස් ශාරීරික සංස්කෘතියක් ඇතිකර ගන්නා ආකාරය යි. ඇයට අනුව ‘ඇය’ විසින්ම ඇයව කිහිපවාරයක් සොයා ගෙන ඇත. ඇයට ඇය ගැන කියන්නට කතන්දර ගොඩක් ඇත. ඇය ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරා ඇත. එමඟින් රැකියාවක් කරන හැටි මිස ජීවත් වන ආකාරය ගැන පර්යාවලෝකනයක් ඇයට ලැබී නැත. ‘බටහිර අධ්‍යාපනය’ යනු, ඇයට අනුව වාණිජ සංස්කෘතියකට අනුවර්තනය වීමට ලබා දෙන පුහුණුවකි. ආත්මීයත්වය ලබාගත යුත්තේ පෙරදිගෙනි.
ඇගේ පෙම්වතා යනු, ඇය විසින් ඇති කරන පිරිමියෙකි. පිරිමින්ව ගෙදර ඇති කරන පූසන්ව මෙන් කවා පොවා/ කිරි පොවා හැදූ විට නිශ්චිත මොහොතකට පසු ඔවුන් ස්වාධීන වන බව ඇය දන්නේ නැත. ගයාගේ පවුලේ ආර්ථිකයට අනුව බෝම්බයක් පැමිණිය හැක්කේ පිටතින් නොව ඇතුළතින් ය. ඇගේ අලුත්ම වීඩියෝවෙන් ඇය කියන්නේ, ඇය යළිත් අලුත් වූ බවයි. ඇය සිත සහනයකට ගෙනියන ‘පටිසෝතගාමී චින්තනයට’ (රැල්ලට එරෙහිව පිහිනීම) හුරු වී ඇත. ඇයට ඇගේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් New Age Religion ගැන අවබෝධයක් ලැබී නැත. පැරණි ආගම් සහ ශිෂ්ටාචාරයන් නිපදවී ඇත්තේ, තමාව වෙනස් කරගෙන ලෝකය වෙනස් නො කරන ක්‍රමය කියා දීමට ය. එක්වරම, ගයා කොඩිතුවක්කු ‘western බුදුදහම’ වැළඳගෙන ඇත. ඇගේ පෙම්වතා ශරීර යෝග්‍යතාවය ගැන උගන්වයි. එක වහලක් යට දෙදෙනෙකු සේ ජීවත් වන ආකාරයක් ඔවුන් අපට ඉඟි කරයි. ‘ඇතුළත ගිනි’ පිටත ගිනි වලට වඩා ඔවුහු වින්දනය කරති.
ගයා කොඩිතුවක්කු කලින් වීඩියෝවල පෙනී සිටියේ ස්ත්‍රී ලාලිත්‍යයකින් ය. නමුත් අලුත් වීඩියෝවේ දී ඇය ඇගේ පැරණි අනන්‍යතාවය මකා දමා පිරිමියෙකු මෙන් කොණ්ඩය කොටට කපා ඇත. ස්ත්‍රියක් තම ස්ව-අනන්‍යතාවය (Self identity) වහා ඉවත් කරන්නේ මන්ද? ස්ත්‍රියක් තම ආශාව තදබල ලෙසින් ස්ථානගත කරන්නේ, අනෙකාට සාපේක්ෂව ය. මින් අදහස් වන්නේ, අපට සුපුරුදු හේතු-ඵල සම්බන්ධය මෙහි දී බිඳ වැටෙන බවයි. කොණ්ඩය කැපීම යනු, හේතුවක් නොව ඵලයකි. සුනාමිය මුලින් ඇති වන්නේ, ඉන්දුනීසියාවේ වන අතර එය ලංකාවට එන්නේ පසුවදා ය. ‘ස්ත්‍රිය පුරුෂයාගේ රෝග ලක්ෂණයකි’ යන ලැකාන්ගේ ආප්තය මම මෙසේ වෙනස් කරමි. පුරුෂයාගේ ක්‍රියාවක් නිසා ස්ත්‍රිය අසනීප වෙයි. ගැටලුවේ සැබෑ මූලය ඇත්තේ, ඇය පිරිමියාට වඩා ආශා කිරීම තුළ ය. ඇය ‘ඔහුට-වඩා-ඔහුට’ ආශා කරයි. එම ‘ඔහු’ සැබැවින් නො පවතින්නක් බව ඔප්පු වූ විට ස්ත්‍රියට තම අනන්‍යතාවය වෙනස් කිරීමට සිදු වෙයි. මෙවන් සිදුවීමකට පසු ඇය ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවන අතරමැදි කලාපයක ජීවත් වෙයි. ගැටලුව වන්නේ, බටහිර අධ්‍යාපනය ලද ගයා කොඩිතුවක්කු තම ගැළවීමේ මාර්ගය බුදු දහම තුළින් දකින්නේ මන්ද යන කාරණය යි. ඇයට දෘෂ්ටිවාදය ගැන වැටහීමක් නැත. මා ඉහත දී පෙන්වා දුන් පවුල් ආකෘති කිහිපයෙන් නිර්ධන, පහළ මැද පාන්තික, ඉහළ මැද පාන්තික යන අය ධනවාදී සමාජ-ක්‍රමය අත්විඳින්නේ, බාහිර යථාර්ථයක් ලෙසිනි. ඔවුන්ට අනුව ඔවුන්ගේ පවුලේ සතුටට බාධාව එන්නේ බාහිරෙනි. නමුත් ගයා කොඩිතුවක්කු කරා එන විට තම නො සතුටට හේතුව ‘ස්වයං-බාධාවකි’. එනම්, ඇතුලේ-inside- ප්‍රශ්නයකි.
යම්කිසි පවුලක සතුට තීරණය වන්නේ, බාහිර යථාර්ථයට-outside- සාපේක්ෂව එක්තරා දුරකට පමණි. ඉන් ඔබ්බට ගමන් කරන විට, බාහිර යථාර්ථය (සමාජ-ක්‍රමය අභිබවනය වන නිසා) සමතික්‍රමණය වෙයි. එවිට, බාහිර බාධාව අභ්‍යන්තරයට ගමන් කර ආත්මීය බාධාවක් බවට විස්ථාපනය වෙයි. ‘ඇනා කැරණීනාගේ’ ගැටලුව සමාජ-ක්‍රමය පිළිබඳ ගැටලුවක් නොවේ. ස්වයං විප්ලවයකි. සිග්මන් ෆ්‍රොයිඩ් මිනිසාගේ නො සතුට හෝ අසහනය ගැන සිය ‘ශිෂ්ටාචාරය සහ එහි අසහනයන්’ [Civilization and Its Discontents is a book by Sigmund Freud, the founder of psychoanalysis.] නම් ලිපියේ දී මෙලෙස සටහන් කරයි.
මිනිසාගේ සාන්දෘෂ්ටික පැවැත්මට ‘ජීවිතයේ අර්ථය කුමක්ද?’ සහ ඇයි සහ කොහොමද මිනිසා විඳවීමට පැමිණෙන්නේ යන මුඛ්‍ය කාරණා ෆ්‍රොයිඩ් සිය ලිපියේ දී අවධාරණය කරයි.
ෆ්‍රොයිඩ්ට අනුව සොබාදහමෙන් සහ බාහිරත්වයෙන් එන තර්ජනවලින් ‘ශිෂ්ටාචාරය’ මිනිසාව ආරක්ෂා කළත් අසහනයේ න්‍යෂ්ටිය බිඳක් හෝ ඉතිරි වෙයි. ශීලාචාර මිනිසාගේ මුඛ්‍ය ගැටලුව වන්නේ, මෙය යි. ෆ්‍රොයිඩ්ට අනුව ඔහු සුපිරි අහම (Super ego) සහ මරණ ආශය නැතහොත් හඹා යාම (Death Drive) යන සංකල්ප දෙක හරහා පැහැදිලි කරන්නේ, මිනිස් විඳවීමේ මූලය යි. මරණ හඹා යාම යනු, මරණය කරා ළඟා වීම නොවේ. මෙය නිර්වාණයට කිසිදු බැඳීමක් නැත. බොහෝ අය මරණ හඹා යාම මඟින් අදහස් කරන්නේ, මිනිසා මඟින් ඔහුට/ ඇයට පිටින් සිටින අයට එරෙහිව එල්ල වන හිංසනයක් ලෙසිනි. නමුත් ෆ්‍රොයිඩ් මරණ හඹා යාම මඟින් අදහස් කරන්නේ, මිනිසා අමරණීය වීමට දරන තැතකි. කෙනෙකුට ස්වකීය ජීවිතයේ අර්ථය වෙනුවට කෙළවරක් නැති පුනරාවර්තනීය වේදනාවක් හමු වූ විට එය ඇබ්බැහියකි. ආර්ථික වශයෙන් නියමිත ප්‍රමිතියට පැමිණෙන පවුල්වලට පමණක් මෙම අමරණීයත්වය විඳිය හැකි ය. ෆ්‍රොයිඩ්ට අනුව මරණ හඹා යාම යනු, ශිෂ්ටාචාරයේ පීඩනය හමුවේ ආත්මය විසින් තමන්ටම එරෙහිව කරන පහර දීමයි. මෙහි දී අහම නොහොත් ඒ ego ව කඩා වැටීමකට ලක් වෙයි.
මරණ හඹා යාම යනු කුමක්ද?
අපි උදාහරණයක් ගනිමු. ආර්ථික මට්ටම ඉහළම තලයට ගෙන යා හැකි සිංහල-බෞද්ධ පිරිමියෙක් තමන්ගේ ආදරවන්තිය සමඟ විවාහ වන්නේ සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට ය. ආර්ථික වශයෙන් ප්‍රමිතිය පසු කර ඇති නිසා ඔවුන්ගේ පවුලේ ‘සතුට’ රඳා පවතින්නේ, බාහිර බාධා නිසා නොව අභ්‍යන්තර බාධා නිසා ය. අපි මොහොතකට මෙසේ සිතමු. දිනක්, සැමියා රැකියාව අවසන් වී තම නිවසට මෝටර් රථයෙන් පැමිණ ගරාජයේ එය නවතා ගෙට ඇතුල් වීමට ලං වන විට ඔවුන්ගේ නිදන කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇසෙයි. බළල් අඩි තබමින් ඔහු කාමරයට සමීප වී එයට එබිකම් කළ විට ඔහු දකින දර්ශනය සිත් අදහාගත නො හැකි එකකි. ඔහු දකින්නේ, තම බිරිඳගේ හිස තවත් නන්නාඳුනන ස්ත්‍රියකගේ කලවා අතර තිබීමයි. මින් ගම්‍ය වන්නේ, සැමියා නො දැන තම බිරිඳට ලෙස්බියන් සහකාරියක සිට ඇති බවයි. සැමියා නො සිතූ මොහොතක පැමිණීම නිසා ඔහු මෙය දැක ඇත. සැමියා සිංහල-බෞද්ධයෙක් යැයි සිතන්න. ඔහුට අනුව ස්ත්‍රීන් අතර ලිංගික සබඳතා පැවැත්වීම අස්වාභාවික ය. ඉන්පසු, සැමියාට කිසිදා බිරිඳ සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට නො හැකි ය.
‘සිංහල-බෞද්ධ’ ශිෂ්ටාචාරය පැරණි එකකි. එය ධනවාදයට පෙර ආරම්භ වූ දෙයකි. නූතන සමාජයන්ට වෙනස්ව පැරණි සාම්ප්‍රදායික සමාජවල දී ගැටුම්, ප්‍රතිවිරෝධතා, පසමිතුරුභාවයන් අස්වාභාවික යැයි සිතා ඒවා සුසංවාදී කිරීමට උත්සාහ දරා ඇත. එවැනි සමාජවල බැඳීම් පදනම් වන්නේ, අනන්‍ය වීම මත මිස වෙනස හෝ විරුද්ධ වීම මත නොවේ. සාම්ප්‍රදායික සමාජයන් හී දෘෂ්ටිවාදයන් සකස් වී ඇත්තේ, යථෙන් අපව ආරක්ෂා කිරීමට ය. ජල ගැල්මක් ඇති වූ විට ගඟට බිලි පූජාවක් කළ විට ගඟ නැවත නිශ්චල වෙයි. සිෆිලස් වැනි සමාජ රෝගයක් ඇති වන්නේ, නරක ලිංගික සබඳතා පවත්වන අයට එරෙහිව දෙවියන්ගේ සාපයක් ලෙසිනි. ඒ පැරණි ලිංගික කතිකාවේ හැටි ය.
සිංහල-බෞද්ධ ශිෂ්ටාචාරය ලෙස්බියන් සබඳතාවලින් මිනිසාව ආරක්ෂා කරන දෘෂ්ටිවාදයක් නොවේ. ඊට අනුව, එවැනි සම්බන්ධයක් අස්වාභාවික ය. එබැවින්, එවන් දසුනක් දුටු විට සිංහල-බෞද්ධ පිරිමියෙකු යථට – Real- කෙලින්ම නිරාවරණය වෙයි. එය ඔහුට යළි යළිත් මතක් වන ක්ෂතිමය අත්දැකීමකි. මෙහි දී ශිෂ්ටාචාරය අපට අලුත් අත්දැකීමක් ලබා දෙයි. බොහෝ දෙනා සිතන්නේ, ශිෂ්ටාචාරය අපව සතුටු වන්නට පුහුණු කරන බවයි. බෞද්ධ ශිෂ්ටාචාරය ලෞකික ජීවිතයේ දී අපව පුහුණු කරන්නේ, දුකකින් තොරව යහපත් ලෙස ජීවත් වීමට ය. ශිෂ්ටාචාරයක් හෝ දර්ශනයක් හෝ සංස්කෘතියක් හෝ අපට උගන්වන්නේ දුක මඟහැර සතුටින් ජීවත් වීමට ය. නමුත් ශිෂ්ටාචාරයට තම අදහස අපගේ ජීවිතවලට කිඳා බැස්සවිය හැකි මුත් එය අපගේ ආත්මයට අදාළ නැත. හැඟවුම්කාරක අපව ආරක්ෂා නො කරන තැනදී ආත්මය ‘විනෝදය’ – enjoying- අත්විඳියි.
Gaze
‘කිම් කි-ඩුක්’ නම් දකුණු කොරියානු සිනමාකරුගේ ‘සෘතු විපර්යාසය’ නම් කෘතියේ තේමාව පදනම් වන්නේ, බෞද්ධ දර්ශනය කේන්ද්‍ර කොටගෙන ය. එහි කතාව සැකැවින් මෙසේ ය. බෞද්ධ වැඩිහිටි භික්ෂුවක් හුදෙකලා ආරණ්‍යයක කුඩා හිමිනමකට ක්ලේශයන්ගෙන් ගැලවෙන විධික්‍රමය භාවනාව මත පදනම් වෙමින් උගන්වයි. සාමණේර නම තම විමුක්තිය සෙවීමේ අරගලය කරන්නේ, වැඩිහිටි භික්ෂුවගේ බැල්ම කේන්ද්‍ර කොටගෙන ය. භික්ෂුවගේ භාවනා කතිකාවේ මුඛ්‍ය තෘෂ්ණාව ලෙස සැලකෙන්නේ, ස්ත්‍රී ආරම්මනය යි. ඒ නිසා, සාමණේර නම හැමවිටම තම සිතෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ ස්ත්‍රිය නම් වස්තුවයි.
දිනක්, අහම්බයකින් මෙම ආරණ්‍යයට සුන්දර තරුණ ස්ත්‍රියක් පැමිණෙන අතර ඇය සමඟ සාමණේර නම හාද වෙයි. පසුව, ආරණ්‍යය අතහැර සාමණේර නම ඇයත් සමඟ නගරයට ගමන් කරයි. කලකට පසුව, යළිත් සාමණේර නම කලබලයෙන් මෙන් නැවත ආරණ්‍යයට දිවගෙන එයි. එවිට, වියපත් භික්ෂුව සාමණේර නමගෙන් මෙසේ අසයි. “ඇයි කලබලයෙන් නැවත පැමිණියේ”. එවිට, සාමණේර නම මෙසේ පවසයි. “මම මගේ ආදරවන්තියව මැරුවා. මගේ පස්සෙන් පොලීසිය පන්නනවා”. වැඩිහිටි භික්ෂුව ඉස්සර සාමණේර නමක් වූ දැන් වයස තිස් ගණනක තරුණයාගෙන් මෙසේ අසයි. “ඇයි ඔබ මාව සොයාගෙන යළි ආවේ?” තරුණයා මෙසේ පවසයි. “මම ඔබේ පුරෝකතනය වටහා ගත්තා. යම්කිසි වස්තුවකට බැඳුණම එය අවසාන වන්නේ ඒ වස්තුව ඝාතනය කිරීමෙනි”.
දැන්, අපට සරල ප්‍රශ්නයක් ඇසීමට හැකි ය. කලින් බුදු දහමෙන් විමුක්තිය සොයා පසුව එය අතහැර තරුණ ස්ත්‍රියක් සරණ ගිය මේ විශේෂ තරුණයා ඇයි පිරිමියෙක් සමඟ සරණ ගිය විට ඇයව ඝාතනය කිරීමට තරම් සැහැසි වන්නේ ඇයි? තෘෂ්ණාව සම්බන්ධයෙන් ඔහු මේ තරම් සැහැසි වන්නේ ඇයි? සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන තරුණයෙකු තමන් ආදරය කරන තරුණිය වෙන පිරිමියෙකු හා සරණ ගිය විට මෙලෙස ඝාතනය කිරීම බොහෝවිට නො කරනු ඇත.
මෙවැනි කෲර ඝාතනයකට සාමණේර භික්ෂුවගේ මනස සකස් කරන ලද්දේ ම භාවනා කතිකාව විසිනි. ඕනෑම කතිකාවක මධ්‍ය ලක්ෂය හිස් ය. මේ භාවනා කතිකාව මඟින් ස්ත්‍රියව නිර්වචනය කරන ලද්දේ ම පාපකාරී, ලිංගික, චපල කෙනෙක් රූප කොටගෙන ය. බෞද්ධ දෘෂ්ටිකෝණයට අනුව ස්ත්‍රියව තෘෂ්ණාවක් ලෙස ඉවත් කිරීමට ඇති එකම මඟ ඇයව ඝාතනය කිරීම නොවේ ද? මින් අදහස් කරන්නේ, ස්ත්‍රිය පිළිබඳ තෘෂ්ණා කතිකාව භාවනා කතිකාවේම අභ්‍යන්තරය විසින්ම නිපදවන ලද්දක් බවයි. අප යම් වස්තුවක් හෙළා දකින්නේ ම ඒ වස්තුව ගැන අප අසා ඇති දේවල් හරහාම ය. භාවනා කතිකාවට ඇතුල් නො වූවෙකු හට බුදු දහමේ පූර්ව-නූතන ලිංගික වෙනස කියවිය හැකි ද? නූතන ලිංගික-වෙනස (ස්ත්‍රී පුරුෂ භේදය) විද්‍යාත්මකව කියවීමට බුදු දහමට නො හැකි නිසා එය උත්සාහ කරන්නේ මේ ලිංග දෙක කලින් සුසංවාදීව පැවතියේ යැයි කීම නොවේ ද? ලිංගික වෙනසේ පසමිතුරුභාවය වටහා ගන්නට නම් අපට මනෝ විශ්ලේෂණය වැනි විෂයක් එනතුරු බලා සිටින්නට වෙයි.
අපි දැන් තම බිරිඳගේ ලෙස්බියන් දසුන දුටු සිංහල-බෞද්ධ සැමියාගේ පැත්තට හැරෙමු. ඔහු උගත් සිංහල-බෞද්ධ සංස්කෘතියට අනුව අනාචාරය පවකි. විවාහයෙන් පෙර යුගවල කා සමඟ ලිංගික ක්‍රීඩා කළත් විවාහයට පසුව එසේ කිරීම පාපයකි. එවිට, තම බිරිඳගේ ලෙස්බියන් දසුන යනු, සාරාර්ථයක් නොව සිංහල-බෞද්ධ කතිකාවේ රෝග ලක්ෂණයකි. ඉතාම සරලව කිවහොත්, තම බිරිඳ පාපකාරී යැයි සැමියාට සිතෙන්නේ තම සංස්කෘතික ආකල්ප හරහා ය. නමුත් මෙම බෞද්ධ ශිෂ්ටාචාරය ඔහුට මේ අර්ථ සමුච්චයට අමතරව විනෝද වීමේ මාදිලියක් ද හඳුන්වා දෙයි. එය නම්, ‘ස්වපීඩා කාමය’ (Masochism) යි. මේ දසුන දුටු දා සිට ඔහු තම රැවුල නො කපන අතර තමන්ගේ පිරිමිකම උලුප්පා ගන්නට දිගට හරහට බොන්නට පටන් ගනියි. ෆ්‍රොයිඩ් ශිෂ්ටාචාරයේ සැබෑ අරමුණ ලෙස හඳුනා ගත්තේ මෙම වේදනාත්මක සතුටයි (Pleasure in Pain).
ශිෂ්ටාචාරය අපට පොරොන්දු වන්නේ, සතුට සහ ප්‍රිතිය යි. නමුත් ශීලාචාර මිනිසා ඉක්මනින් මෙම ශිෂ්ටාචාරය තුළ තෙහෙට්ටුවට පත් වෙයි. එවිට, එහි සැබෑ අරමුණ වූ වේදනාව සැපයීම හමු වෙයි. පහළ පන්තිකයන්ට ලිංගික සබඳතා ශාරීරික සතුටක් වනවිට ඉහළ ආර්ථික ශක්තියක් සහ විවේකයක් සහිත අයට ලිංගික සතුට යනු, මානසිකව අභ්‍යන්තරයෙන් විඳවීමකි. ශිෂ්ටාචාරයේ විරුද්ධාභාසය මෙය යි. කොමියුනිස්ට්වාදය යනු, බාහිරත්වයේ සිට වේදනාව ආත්මීයත්වයට විස්ථාපනය වන අයුරු දැකීමයි. ධනවාදයට සැබෑ තල්ලුව එන්නේ, බාහිර විඳවීම හරහා නොව ආත්මීය විඳවීම හරහා ය. මිනිසුන් විඳවන්නේ, වෙනත් කෙනෙකු අපට ඉගැන්වූ සංකල්ප මඟින් මිස ස්වභාවය මඟින් නොවේ. මගේ නිදි ඇඳේ වෙන කෙනෙකු නිදා ගැනීම නිසා මා අසනීප වන්නේ මගේ සහකරු/ සහකාරිය නිසා නොව ඒ ගැන සිතමින් මා මටම වේදනා දෙන නිසා ය.
Deepthi kumara Gunarathne
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
සමබිම පක්ෂය.
ඔබේ අදහස කියන්න...
හොඳ විශ්ලේෂණයක් හැබැයි ඔබ 4X 4 පවුල අමතක කරලා
1. වැගන් R පවුල.
2. MAZDA/ TOYOTA පවුල.
3. 4 X 4 (පැජෙරෝ ) පවුල
ඉගෙනගත් අයකු සිටින්නට හෝ නො සිටින්නට පුළුවන, අස්වාභාවික, නිත්‍යානුකුල නොවන හෝ කෙනෙකු පිටරට ගොස් දවස් 7 ම වැඩකර ගෙනා සල්ලි අනීතික පිළිවෙලට ආයෝජනය කර – උපයා ගත් මුදල් ඇති පවුල්
සමාජවාදියෙකුගේ ඊර්ශ්‍යාව.
අශෝක් ලේලන්ඩ්, ටාටා පවුල් ඔහුට නොපෙනේ!
දීප්ති බුදුදහම ලෙස මෙහි වරනගා ඇත්තේ බහුතරය විසින් අනුදැන වදාළ සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතිය මිස ඉන් එහා ගිය ලෝකෝත්තර බුද්ධ දර්ශනය නොවේ.
එය දීප්තිගේ වරදක් නොවේ.
යුග කිහිපයක් ත්‍රිපිටක බුද්ධ දේශනාව වැරදි ලෙස අර්ථ විවරණය කිරීමේ පිරිවැය එයයි.
බුදුන් වදාළ ‘අනිච්ච’ (කැමති ලෙස නැති බව) ‘අනිත්‍ය’ (ස්ථිර ලෙස නැති බව) ලෙස හුවා දැක්වූ දා පටන් දීප්ති ඇතුළු අපි සියලු දෙනා ගෙවමින් සිටින්නේ ඒ පිරිවැයට අදාළ ‘දාර්ශනික වන්දියයි’.
දුකම ඉපැදී, දුකම නිරෝධවෙන ලෝකයක එම දුක ඇතිවන්නේ ‘ (අනිත්‍ය) ස්ථිර නැති’ නිසා නොව ‘ (අනිච්ච ) කැමති ලෙස නැති’ නිසා බව තේරුම් කරදෙන්නට ‘ලැකාන්ට’ හෝ ‘ෆ්‍රොයිඩ්ට’ හැකියාවක් තියේවිද…?
පශ්චාත් නූතනවාදය අතික්‍රමණය කරන ලෝකෝත්තර බුද්ධ දර්ශනය ගැන ගැඹුරු හැදෑරීමක් කිරීමට මගේ ආදරණිය මිත්‍රයා, දීප්තිට දිරිය ! ශක්තිය !! ලැබේවා.
ඒ සදහා ‘ත්‍රිමාණ’ නිදහසේ වේදිකාව වේවා !
මම අතුල
Comments are closed.