Facebook යනු වේදිකාගත කරන අනන්යතාවයකි. සැබෑ සමාජ සම්බන්ධතා ඉදිරිපිටදී නිශ්ක්‍රීය වන පුද්ගලයන් සයිබර් අවකාශයේදී ඉතා සක්‍රීය වීම අහම්බයක් නෙවේ. ගුරුත්වාකර්ශන බලයකින් තොරව එහාට මෙහාට චලනය වන අනන්යතාවයක් මේ මුහුණු පොතින් නිර්මාණය කළ හැකිය.
එබැවින් Facebook හිදී කෙනෙකු පැළද ගන්නා වෙස් මුහුණ අදාළ පුද්ගලයාගේ සැබෑ අනන්යතාවයට වඩා රැඩිකල් බව වටහා ගත යුතුය. සැබෑ ජීවිතය තුළ දේශපාලනය කිරීමට ඇති නොහැකියාවෙන් අත් මිදීමට කෙනෙක් අතිධාවනකාරී රැඩිකල් පොරක් ලෙස අන්තර්ජාල අවකාශයට ඇතුල් වෙයි. එතැනදී එම පුද්ගලයාගේ සැබෑ අනන්යතාවය ලෙස අප ගත යුත්තේ අන්තර්ජාල අවකාශය තුළ ඒ තැනැත්තා රගන භූමිකාවයි. සමාජ බලවේග සමග ගැටීමෙන් වඩාත් කටුක වී ඇති සැබෑ ජීවිතයේ ඇති නිශ්ක්‍රීයභාවයට Facebook සහනයක් අත් කර දෙන බව ඒ අනුව ඔබට වැටහිය යුතුය. ඔබ පැළද සිටින වෙස් මුහුණ යට සැබෑ මුහුණ පවතින බව සිතුවද ඇත්තවශයෙන්ම සැබෑ මුහුණක් නැත. වෙස් මුහුණ යනු සැබෑ පෙනුමයි. අපගේ සැබෑ පැවැත්ම ඇත්තේ පරාරෝපිත ආකෘතියක් තුළය. මේ නිසා අපට ඇති සැබෑ අනන්යතාවයට ඇත්තේ ප්‍රබන්ධමය මානයකි.
කාර්මික ධනවාදය පැවති සමයේ ප්‍රාග්ධනය සූරාගෙන කෑවේ ශ්‍රමයයි. අද අන්තර්ජාලය හරහා ප්‍රග්ධනය සූරා කන්නේ සන්නිවේදනයයි. යමක් සන්නිවේදනය නොකර අද දවසේ අපට ජීවත් විය නොහැක. නමුත් යමක් සන්නිවේදනය කරන්න දරණ සෑම වෑයමක්ම අවසන් වන්නේ ප්‍රාග්ධනයට කඩේ යෑමෙනි. එතැනදී අපේ අභිප්‍රායට ලැබෙන්නේ අවශේශ තැනකි. අපගේ න්යයායික අවබෝධයට අනුව Facebook වලින් දේශපාලනය කළ නොහැකිය.
අප Facebook හරහා කරන්නේ සෙල්ලමකි. කොටින්ම කියතොත් අනන්යතා සංගීත පුටු තරගයක් සංවිධානය කරනවාට වඩා වැඩි දෙයක් අපට අවශ්ය නැත.
Facebook නිසා ලොකුම අමාරුවේ වැටුනේ ” මුස්ලිම් සහෝදරත්වය ” සංවිධානයයි. වසර 70 ක් පමණ රාජ්යට අනාවරණය නොවී යටිබිම්ගතව තිබූ එම සංවිධානයේ සාමාජිකයන් පස්සෙන් පන්නා ඔවුන්ව දඩයම් කිරීමට ඊජිප්තු යුධ හමුදාවට අවස්තාව උදා වූයේ Facebook හරහාය. දේශපාලනය කරන කාටත් අපි කියන්නේ නොදන්නා පුද්ගලයන් සමග රෑට චැට් නොකරන ලෙසය. ඊට වඩා උපදෙසක් මේ මොහොතේදී අපට ලබා දිය නොහැකිය. ඒ මන්ද චැට් ආරම්භ වන සහ නතර වන තැන අපි හොදින් දන්නා බැවිණි.