රැකියාවක් සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ස්ථානයක් පදිංචියට තෝරාගත් ඩිල්ෂාන් පතිරණ සහෝදරයා සමඟ අප සංවිධානය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ‍’සමබිම’ YouTube නාලිකාවේ ප්‍රචාරය විය. එය, නැරඹූ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචි උදිත සහෝදරයා උක්ත සම්මුඛ සාකච්ඡාව අරබයා මුඛ්‍ය ප්‍රශ්ණ දෙකක් අපගෙන් අසා ඇත.

 

(A) පක්ෂයේ විධිමත් විචාර න්‍යායන් ට අනාවරණය වූ පුද්ගලයකු සහ දීප්ති ගේ මග පෙන්වීම යටතේ මාර්ගෝපදේශ ලැබූ පුද්ගලයකු ආගම වැනි කළාපයකට, විශේෂයෙන් ‘මහමෙව්නා’ වැනි අසපු සංස්කෘතියකට ඇදී යාම අප වටහා ගන්නේ කෙසේද? ස්ත්‍රිය පිළිබදව වික්ටෝරියානු සදාචාර අදහස් දරණ ඔහු ලාංකීය අධ්‍යාපනයේ රෝග ලක්ෂණයක්ද? උගන්වන සහ ඉගෙන ගන්නා ලද සංකල්ප යථාර්ථයට අදාළ කොට විශ්ලේෂණය කරන ගවේශකයකුට වඩා යථාර්ථයට ඇබ්බැහි වන මිථ්‍යාදෘෂ්ටිකයකු බවට ඔහු පත් වන්නේ මන්ද? 

     ඩිල්ෂාන් පතිරණ යනු, මධ්‍යම පන්තිකයකු වුවත්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වුවත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලද ඉංජිනේරුවෙක් වුවත් ඔහු ද ලංකාවේ අන් මධ්‍යම පංතිකයන් සේම ‘ජනප්‍රිය මතකයේ’ [Popular Memory]) ප්‍රතිඵලයකි. අනෙක් අතට, ඔස්ට්‍රේලියාවද විගාමිකයාව තම යුරෝපා ප්‍රබුද්ධත්වයට [European Enlightenment]ඇතුළු කර ගැනීම වෙනුවට ඔහුගේ/ඇයගේ සංස්කෘතියට ඉඩ දී ඇත. ගෝලීය ධනවාදයේ දෘෂ්ටිවාදයම මිත්‍යා දෘෂ්ටිකත්වයට අත වනන බහුසංස්කෘතිකවාදයකි.[Multiculturalism- Ex ; YouTube Suda] බහු සංස්කෘතිකවාදය යනු අනෙකාගේ මිථ්‍යා දෘෂ්ටීන් විචාරය කිරීම වෙනුවට අනෙකාගේ අදහස් සහ තමන් අතර නරුමවාදී පරතරයක් තබා ගැනීමයි. මෙය, ඇමරිකාවෙන් යුරෝපීය ලිබරල්වාදයට බෝ වූ දේශපාලන නිරවද්‍යභාවය නම් දේශපාලන ස්ථාවරය යි.[political Correctness – න්‍යායික තලයේ මාක්ස්වාදයට විකල්පයක් ලෙස සිවිල් සමාජය යොදා ගැනීම.] එම නිසා, ඩිල්ෂාන්ට ‍ඕස්ට්‍රේලියාවට ගියත් ‘සිංහල සංස්කෘතිය’ අන්තර්ගතයක් – content – ලෙස ඉතුරු කරගෙන ජීවත් විය හැකිය. උපන්දිනය දවසට කිරිබත් උයන ලාංකිකයන් මේ රටවල පැවතීම ඒ අනුව, පුදුමයට කාරණයක් නොවේ. ගෝලීයකරණයේ පාලක පන්ති දෘෂ්ටිය බහු සංස්කෘතිකවාදය වීම ඒ අනුව අහම්බයක් නොවේ. එහි සටන් පාඨය මෙසේය. මගේ මිථ්‍යාදෘෂ්ටිය අදහන්න මට අවසර දෙන්න! ඔබ ඔබේ මිත්‍යාදෘෂ්ටිය අදහන්න! මෙය හුදු අතීතකාමයක් නොවේ. පශ්චාත් -නූතන ධනවාදය අපට යෝජනා කරන ප්‍රාග්-ජීවන විලාසයන් හි අභ්‍යන්තර නිදහසයි.  

     පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ මැද පංතියත් ඇතුළත්ව පහළ පන්තිය පවා ඉතිහාසයෙන් නිදහස් වී ඇත. “නිදහස්-වෙළඳපොල-සමාජයට”’ වඩා සමාජ සංවර්ධනයක් කිසිවෙකුට අනුමාන කළ නොහැකි තත්වයක් තුළ ඉතිහාසය වෙනුවට ජනප්‍රිය මතකයේ ගිලී යාමට සිදුවී ඇත. මේ බහුතරය කියවන්නේ හෝ ලියන්නේ නැත. එබැවින් ම මේ කිසිදු පන්තියකට තමන්ගේ කියා ඉතිහාසයක්ද නැත. ඇත්තේ වාණිජ මාධ්‍ය, සමාජ මාධ්‍ය, ජනප්‍රිය සංස්කෘතිය, ජාතිවාදය, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සටන් පාඨ යනාදියයි. මෙම සංස්කෘතික සටන්පාඨ අප වෙත එන්නේ ද මුඛ පරම්පරාවෙනි. පුළුල්ව කිවහොත්, ජනප්‍රිය මතකය යනු, ජාතිවාදය නම් කතිකාවයි. එහි වන්දිය ලෙස අප සියලු දෙනාටම හිමි වී ඇත්තේ, අයිස් මෙන් මිදී ගිය කාලයකි. පශ්චාත්- නූතනත්වයේ මූලික ලක්ෂණයක් වන්නේ අවකාශය තුළ හිරවී කාලය ගලා යාම නතර වීමයි. ලංකාවේ දැන් වසර 30ක පමණ කාලය තුළ ඔරලෝසු කාලය ගමන් කළත් ඓතිහාසික කාලය නතර වී ඇත. භාෂාවෙන් ව්‍යුහගත වන මිනිස් ජීවියාට කාල අක්ෂයන් දෙකක් ඇත. එකක් සමකාලීන ය. අනෙක, පරකාලීන ය. සාමාන්‍යයෙන් ලංකාවේ මතවාදී අරක්කැමියන් අනෙකාට සහ කාලයට අනුව විචල්‍ය වන අනන්‍යතාවයන්ට ප්‍රතිරෝධයක් දක්වයි. 

       ඩිල්ෂාන් පතිරණ වැනි ආත්මයක් (void) ලංකා ඉතිහාසය තුළ බිහි වන විට ඉහත ඓතිහාසික පසුබිම සිතේ තබා ගැනීම වැදගත් ය. උදිත සහෝදරයා වාමාංශික පක්ෂයක සාමාජිකාවක් විය යුත්තේ, ‘කවුද’ පිළිබඳ නිර්ණායකය අවිඥාණිකව සිත්හි දරා ගනිමින් එම නිර්ණායකයට යටත් නොවූ සාමාජිකයෙක් ලෙස ඩිල්ෂාන් පතිරණව හඳුනා ගනියි. සම්මතය බිඳ වැටී ඇත. 

       මෙම අගතිය අනිවාර්යෙන් මඟ හැරිය නොහැකි උප්පත්ති දෝෂයකි. X කණ්ඩායමේ සාමාජිකාවක් හඳුනා ගැනීම ඉතා අපහසු වන අතර ජනතා විමුක්ති පෙරමුණේ හෝ වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක, විශේෂයෙන් වාමාංශික පක්ෂයක සාමාජිකයෙක් කවුද යන්න හඳුනා ගැනීම පහසු ය. මා ඊළඟට පහදා දීම උත්සාහ කරන්නේ, මෙම ප්‍රොබ්ලමැතිකය යි. නැතහොත්, උත්තරයක් නැති ප්‍රශ්න ගොන්නයි. 

       ඉතිහාසය පීරා ගවේෂණය කළහොත්, පක්ෂ පිළිබඳ ව්‍යුහයේ සුසමාදර්ශී විතැන් වීමක් සිදු වී ඇත. මෙහි ඉතාම කෙටි සාරාංශයක් අපට පහත ඉදිරිපත් කළ හැකිය. 

 

1. X දේශපාලනය නැතහොත් පශ්චාත්-නූතන දේශපාලනය ලංකාවට හඳුන්වා දෙනතුරු අධිනිශ්චය වූයේ, යථාර්ථය (Reality) පිළිබඳ ගැටලුවයි. නමුත්, ප්‍රාග්ධනය මේ වන විට යථාර්ථය තමන්ගේ ව්‍යුහය තුළට උරාගෙන තිබෙන නිසා නූතන දේශපාලනය තුළ දේශපාලනික වන්නේ ආශාව (Desire) යි. 

 

2. පැරණි හෝ සාම්ප්‍රදායික දේශපාලනය තුළ තහවුරු කරන්නේ ‘සතුට’ [pleasure] මිනිසාගේ නිෂ්ටාව බවයි. ඒ වෙනුවට නූතන දේශපාලනය තුළ තහවුරු කරන්නේ, ‘ස්වයං විනාශය’ (self- destruction or Death Drive) යි.

 

3. පැරණි සහ ජවිපෙ ඇතුළු ගතානුගතික වාම දේශපාලනය අවධාරණය කරන්නේ, ශ්‍රමය සහ ශ්‍රමය මත පදනම් වූ වෘත්තීය සමිති ව්‍යාපාරය යි. නමුත්, අප අවධානය යොමු කරන්නේ, පරිභෝජන සංස්කෘතිය හා ඒ හා බැඳි මාධ්‍ය දේශපාලනය යි. පන්තිය යුද්ධය වෙනුවට අද ඇත්තේ මධ්‍යම පන්තිය විසින් පෙර බිමට ගෙනෙන ලද සංස්කෘතික යුද්ධය. උදා:- වෘත්තිකයන් සහ පාර්ලිමේන්තු දේශපාලකයන් අතර පවතින සංස්කෘතික යුද්ධය.

  4. ඊළඟට, උදිත සහෝදරයා මතු කරන ගැටලුවට සෘජුව සම්බන්ධ ආගම පිළිබඳ ගැටලුව ගත හැකිය.

         අපේ රටේ වම-දකුණ භේදයකින් තොරව රාජ්‍යය (State) සලකන්නේ, මර්දනයේ මූලය ලෙස ය. අනෙක් අතට, ලංකාවේ වාමාංශය පොදු අවකාශය තුළ කෙසේ වෙතත් පුද්ගලික අවකාශය තුළ ආගම සලකන්නේ අබිං නැතහොත් මුලාවක් ලෙසිනි. 

Freedom of worship—of belief and nonbelief

        ලෝක මට්ටමින් සැලකූ විට වාමාංශික දේශපාලනය පදනම් වූයේ, වාම හෙගල්වාදී දාර්ශනික දෘෂ්ටියකිනි. එනම්, දයලෙක්තිකය සහ ආත්ම මූලිකත්වය යි. ජෝර්ජ් ලූකාශ්, අන්තෝනියෝ ග්‍රාම්ස්චි, ජීන් පෝල් සාත්‍ර, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ චින්තකයන් යන බහුතරය වාමාංශය ලෙස අවධාරණය කරන ලද්දේ, ආත්මීයත්වය සහ දයලෙක්තික න්‍යාය යි. ලෙනින් පවා අවධාරණය කරන ලද්දේ, රාජ්‍යයේ වියැකී යාමක් ය. අනෙක් අතට, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්ගේ සමහර ගුරුකුල, ජාතිකවාදීන්, සංරක්ෂණවාදීන් වැනි දකුණට බර දේශපාලනය අවධාරණය කරන ලද්දේ, ක්‍රිස්තියානි ආගම සහ රාජ්‍යය යන්ත්‍රය යි. 

     සම්ප්‍රදායික සහ ගතානුගතික වාමවාදීන් බොහෝ විට රාජ්‍ය සලකන්නේ, මිනිස් ජීවිතයේ නිර්මාණශීලී විභවයන්ට එරෙහි බාහිර බාධාවක් ලෙසිනි. අනෙක් අතට, ආගම සලකන්නේ පුද්ගලික ජීවිතයේ විමුක්තිය මුලා කරන අබිං ලෙසිනි.

සාරාංශගත කොට කිවහොත්, රාජ්‍යය සහ ආගම බොහෝ ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහ චින්තකයන් සලකන්නේ නො නිදහස (Unfreedom) නම් කලාපය තුළ පවතින සමාජ සංස්ථාපිතයන් ලෙසිනි. 

    අපගේ සංවිධානය හට ගත් මූලික ඓතිහාසික අවධිය වන 90 දශකය අග වන විට ඊට එකතු වූ පිරිස් වර්ග දෙකක් විය. ඉන් එක කණ්ඩායමක් අලුතින්ම X නිසා දේශපාලනය කිරීමට පැමිණි අය යි. අනෙක් කණ්ඩායම වූයේ, 90 දශකය මැද ජවිපෙ දේශපාලනයේ සීමාකම් නිසා අප වෙතට ආ පැරණි ජවිපෙ සම්ප්‍රදායට අයත් පුද්ගලයන් ය. ඊට අමතරව, පැරණි වමට අයත් නව සමසමාජය සහ තවත් කණ්ඩායම් කිහිපයක පුද්ගලයන් ද අප හා එක් විය. මේ අයගේ ලෝකය  සමන්විත වූයේ , ආගම අබිං සහ රාජ්‍යය මර්දනකාරී ය යන පැරණි මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී සම්මතයන්ට යටත්ව ය. එම නිසා, සංවිධානයේ පොදු සංකේතය ලෙස පිටතට ආවේ පැරණි මාක්ස්වාදයේ ලෝක දෘෂ්ටිය මිස පශ්චාත්-නූතන පර්යාලෝකනයක් නොවේ. 

         උදිත සහෝදරයා විසින් ඩිල්ෂාන් සහෝදරයාව ප්‍රශ්න කරන සන්දර්භය බිහි වන්නේ, රාජ්‍යය සහ ආගම ගැන පිළිබඳ ලංකාවේ දේශපාලන පක්ෂවල පැරණි මූලෝපායික අරගලය පසුබිම් කර ගෙනය. සමහර විට, එය ඔහුට අවිඥාණක විය හැකිය.

      අපි තවත් සරල කර තත්ත්වය වටහා ගනිමු. 21 වැනි සියවසේ ප්‍රථම දශකයේ සිට ලුබ්යානා පාසල (ජිජැක්, දොලාර් සහ සුපැන්ජින් වැනි නූතන දාර්ශනිකයන්) සහ නූතන හේගලියානු දාර්ශනිකයන් වන ඒඩ්රියන් ජොන්ස්ටන්, ෆ්‍රෑන්ක් රූඩා, ටොඩ් මැගෝවන් ”ආගම සහ රාජ්‍යය” මර්දනයේ සහ මුලාවේ මානයෙන් ”විමුක්තියේ සහ නිදහසේ මානය” වෙතට රැගෙන යන ලදී. The sleeping giant has awoken  (මෙම කෘතිය තුළ ජිජැක් ලියන ලිපියේ නම වන්නේ, Better Dead Than Red- Again) සහ The monstrosity of Christ- Paradox or Dialectic? (ජිජැක්  සහ ජෝන් මිල්බෑන්ක් අතර සංවාදය) යන කෘති තුළ දී නව හේගලියානු දාර්ශනිකයන් අපට පෙන්වා දෙන්නේ, සමාජ සංස්ථාපිතයන් ඝන වූ දේවල් නොවන බවයි. නැතහොත්, සංකල්ප සිතීම තුළ පුපුරන බවය.

     අපගේ ආත්මය සහ ආශාවන් ”ආගම සහ රාජ්‍යය” වැනි සමාජ සංස්ථාවන් සමඟ දයලෙක්තිකව සම්බන්ධ වීමෙන් මෙම ආයතන අහෝසි වනවා නොව, ඒවා සහ අපගේ ආත්මය අතර ප්‍රති සන්ධානගත වීමක් (Reconciliation) හරහා එක විටම අපට මර්දනකාරී යැයි පෙනී යන මෙම සංස්ථාපිතයන්ගේ විමුක්ති මානය අපටම හෙළිදරව් වෙයි. සරලව කිවහොත්, ආගම මුලාවේ මානයෙන් විමුක්තිය දෙසටත් රාජ්‍යය මර්දනයේ අඩවියෙන් නිදහසේ මානයට අවතීර්ණ වීමත් සිදු වෙයි. එසේ වන්නේ, යථාර්ථය අසම්පූර්ණ නිසාත් අපගේ ආශාවන් අපගේ අනෙකාගේ ආශාවන් මගින් ව්‍යුහගත වන නිසාත් ය. 

      උදිත සහෝදරයාට මේ මොහොතේ දී දිල්ෂාන් සහෝදරයාගේ ආගමික අදහස් පෙනී යන්නේ, මිත්‍යදෘෂ්ටියට සමීප ආකාරයට ය. එවැනි අදහසක් අපට හැඟෙන්නේ, ආගම පිළිබඳ සංකල්පයේ ඓතිහාසික අදහසක් නිසා ය. බොහෝ විට, වාමාංශික පක්ෂ (සමහර ලතින් අමරිකානු විමුක්ති ව්‍යාපාර හැර) ආගම සලකන්නේ, අබිං සමඟ අනන්‍ය වෙමින් ය. මෙය, ‘තර්කය’ පදනම ලෙස සලකා ලෝකය වටහා ගැනීමට යාමේ ඵලයකි. කාන්ට් වැනි දාර්ශනිකයෙකුට අනුව, හේතුව නිසා අර්ථයක් පමණක් නොව අර්ථයට වැඩි අතිරික්තයක් ද බිහි වෙයි. ඉන් අදහස් වන්නේ, හේතුවේ සීමාව නිසා හේතුව සමතික්‍රමණය කරන භක්තිය ද (Faith) හමු වන බවයි. විශ්වාස කරන්නෙකුට පමණක් අවබෝධ වන සත්‍යයක් කෙනෙක් වටහා ගත් විට දී ඔබට  ‘හේතුවේ’ අභ්‍යන්තර සීමාව මුණ ගැසේ. එය, නිදහසට අදාළ කලාපයකි. ඒ නයින් ආගම සහ රාජ්‍යය අභ්‍යන්තර නිදහසේ බාහිර ප්‍රකාශන බවට පත් වෙයි. මෙම තත්වය ලංකාවේ වාමාංශික පක්ෂ දාර්ශනිකව වටහා ගෙන නොමැත. ආශාව හඹා යාමක් (Drive) වූ වහාම ආශාව සතුටෙන් අලුත් අඩවියක් වන වේදනාවෙන් සතුටු වීමට [pleasure in pain] මාරු වෙයි. එය මගින් මූර්තිමත් වන්නේ, පවතින ලෝකයෙන් නෛෂ්ක්‍රමණයකි.  

      ඩිල්ෂාන් සහෝදරයාගේ ලෝකය තුළ, ‘යථාර්ථය’ තුළ සාමාන්‍යයෙන් පැවතිය නොහැකි පරස්පරයක් දැකිය හැකිය. ඔහුගේ කතිකාව තුළ එක විට බුදුන්, මාක්ස්, දීප්ති, මව [mother]වැනි විෂම හැඟවුම්කාරක පවතියි. මේ, මිත්‍යාදෘෂ්ටිකයෙකුගේ අභ්‍යන්තර ලෝකයකි. නමුත්, ඔහු හුදු තාර්කිකයෙකු පමණක් නොව භක්තිවන්තයෙකි. 

     ඩිල්ෂාන් අත්දැකීම – experience – ඉක්මවා යන තැනක ද හේතුව දකියි. එම නිසා, ඔහුට වැරදී ඇත. වරදින කෙනෙකුට නිවැරදි වීමට ඉඩක් ඇත. ලංකාවේ වාමාංශිකයන් යනු, භක්තිමත් මිනිසුන් නොවේ. ඔවුන් නරුමයන් ය. ඔවුහු මාක්ස්වාදය විමුක්ති ධර්මයක් ලෙස සැබෑ ජීවිතයේ දී නොසලකයි. මාක්ස්වාදය සහ ඔවුන්ගේ සැබෑ ජීවිතය අතර නරුමවාදී පරතරයක් පවතියි. මාක්ස්වාදය සතු ගැටලුව ප්‍රායෝගික එකක් නොව දාර්ශනික එකක් බව ඔවුන් අවබෝධ නොකර ගන්නේ එම නිසා ය. 

       ‘සමබිම’ පක්ෂය හෝ  X දේශපාලනය සහ මහමෙව්නා අසපුව අතර පැහැදිලි බෙදුමක් පවතියි. නමුත්, අද දවසේ ධනේශ්වර බාහිර යථාර්ථය පවා ප්‍රබන්ධයක් නිසා අරගලකරුවාට අරගල කිරීමට සිදු වී ඇත්තේ, ආත්ම මූලිකත්වය තුළ ය. කොටියාගේ ගුහාව වටහා ගැනීමට ඒ තුළට රිංගීමට සිදු වෙයි. ඩිල්ෂාන් තම අභ්‍යන්තර නිදහස උදෙසා මිත්‍යාදෘෂ්ටියක් තුළට රිංගා ඇත. එසේ රිංගන්නේ නැතිව ගුහාව ගැන ඉගෙන ගැනීමට වෙනත් මාර්ගයක් නැත. ආගම ඔහුට මුණ ගැසී ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටික ආකෘතියකිනි. ඔහු ඒ තුළ කරන අභ්‍යන්තර අරගලය තුළ ඔහු එම ආයතනය සත්‍යය වෙනුවෙන් අනාගතයේ දී වෙනස් කරනු ඇත. ක්‍රිස්තියානි ලබ්ධිකයාට ක්‍රිස්තුස් සර්වබලධාරී ලෙස පළමුව පෙනෙයි. කුරුසිය මත ඇණ ගසද් දී උන් වහන්සේගේ අඩුව කෙනෙකුව ලබ්ධියෙන් ඉවත් කිරීමට තරම් බලවත් ය. එනම්, දෙවියන් පවා අඩුවක් සහිත කෙනෙකි. ඒ අඩුව ඔබ පිරවීමට යාම තුළ කිතු දහම ඔබ ආදරයෙන් පුරවන අතර ලබ්ධිකයා භක්තිවන්තයෙකු වෙයි. මන්දයත්, අහසේ පාරභෞතිකයක් ලෙස පැවති ලබ්ධිය කිස්තුස්ගේ ජීවිත පරිත්‍යාගය හරහා පොළවට පහත් වන නිසා ය. එම නිසා, ක්‍රිස්තුස් සර්වබලධාරී නොව සර්වදුබලවාදී ය. මේ නිසා, ජිජැක් කියන්නේ, අනාගත කොමියුනිස්ට් පක්ෂය ශුද්ධ වූ ස්පිරිතුව බවයි. ඒ තුළ ඇත්තේ, අභ්‍යන්තර සාමය නොව අනවරත ගැටුමයි. 

       එබැවින්, X යනු, ලංකාවේ අන් වාමාංශික පක්ෂ මෙන් දෙවියන් විශ්වාස නොකරන මිථ්‍යාදෘෂ්ටිකයන් නොවේ. අප භක්තිය හරහා සත්‍යයට යන, එම නිසාම අතරමගදී නොමඟ යන, වරදින, රැවටෙන මිනිස් එකමුතුවකි. අපව රවටා ඇත්තේ, ලංකාවේ යහපත්ම යැයි කියා ගන්නා මිනිසුන් ය. එබැවින්, මිථ්‍යාදෘෂ්ටිකයෙකු වන ඩිල්ෂාන් යම් දිනක මුලාවෙන් සම්‍යක් දෘෂ්ටියට ඇතුල් වනු ඇත. ඔහුට පක්ෂය අවශ්‍ය වන්නේ, මේ අතරමැදදී ය. සියල්ල දන්නා මිනිසා නොරැවටෙන නිසා මෝඩයෙකි. 

        වැඩිදුර විස්තර සදහා උදිත සහෝදරයාට බෙහෙත් තුන්ඩුවක් ලිවීමට කැමැත්තෙමි. මෙය, ඩිල්ෂාන් සහෝදරයාට ද වැඩිදුර ප්‍රතිකාර සඳහා වැදගත් විය හැකිය. Why Lacan is not a Buddhist: A Belated Reply to My Critics- Slavoj Zizek. 

The Night Porter

A concentration camp survivor rekindles her sadomasochistic relationship with her lover, a former SS officer – now working as a night porter at a Vienna hotel – but his former Nazi associates begin stalking them.
  • Night Porter.

          දැන් අප දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වන පුද්ගලයෙකු සතු විය යුතු සාරධර්ම පිළිබඳ ව්‍යාකූලත්වයක පැටලී සිටින්නෙමු.[About Morality] විශේෂයෙන් X දේශපාලනයට සහභාගී වූ සාමාජික-සාමාජිකාවන්ගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රහේලිකාවක මධ්‍යයේ අපි සිර වී සිටින්නෙමු. 

අපි දැන් ආගමෙන් ‘රාජ්‍යය’ වෙතට හැරෙමු. ලෙනින්ගේ මූලික තිසීසයට අනුව එක අතකින් රාජ්‍යය පන්ති සාමයේ කැඩපත වන අතර අනෙක් පසින් රාජ්‍යය මර්දනයේ සමාජ සංකේතය යි. ඔහුගේ ‘රජය සහ විප්ලවය’ නම් කෘතිය තුළ ඉහත පරාමිතීන් විග්‍රහ කර ඇත. නමුත්, 1920 ගණන් මුල දී යුරෝපයේ කම්කරු පන්තිය විප්ලවය වෙනුවට ජාතිවාදය තෝරා ගත්තේ මන්ද යන සාධකය ගැන ලෙනින්ට නිහඬ වීමට හැර වෙන කරන්නට දෙයක් ඉතුරු නොවීය.

     මිචෙල් ෆූකෝ නම් ප්‍රංශ දාර්ශනිකයාගේ එක්තරා අප්‍රකට සංවාද තලයක් මෙතැනට ගෙන එන්නට මට අවසර දෙන්න! 

Liliana Cavani’s tale of the sadomasochistic bond between an ex-SS officer and a former concentration camp prisoner is a transgressive take on history and fascism.

     ‘ලිලියානා කවානිගේ’ චිත්‍රපටයක් වන Night Porter චිත්‍රපටයේ අන්තර්ගතය බොහෝ දෙනෙකුට අදටත් ප්‍රහේලිකාවකි. චිත්‍රපටයට තේමා වන්නේ, නාසිවාදය පරාජය වූ පසු බිහි වන සන්දර්භයකි. චිත්‍රපටය නාසිවාදයට අදාළ වන ඓතිහාසික පසුබිම හෝ එයට විරුද්ධව ඇති වූ සමාජ අරගලය ගැන හෝ සාකච්ඡා කරන්නේ නැත. ඒ වෙනුවට, චිත්‍රපටය අපට ඉදිරිපත් කරන්නේ නාසි ලිංගිකත්වය මත පදනම් වූ ස්ත්‍රී-පුරුෂ සම්භෝගයකි. මෙම ලිංගික මානයේ ඇති රැඩිකල්භාවය වන්නේ, එය පරපීඩා කාමුකත්වයෙන් වෙලී තිබීමයි. 

Foucault.

      මිචෙල් ෆූකෝ යනු ‘බලය’ නම් සංකල්පයේ නිර්මාතෘවරයා ය. ඔහු, මෙම චිත්‍රපටය පිළිබඳ විග්‍රහය ආරම්භ කරමින් ව්‍යාක්ත ප්‍රශ්නයක් අසයි. 

“ ඇයි මාක්ස්වාදයට පන්ති සාරාත්මකතාවයේ ගිලී නොගොස් නාසිවාදය සහ රාජ්‍යය අතර සම්බන්ධයක් ගොඩනඟන්න බැරි වුනේ?”

 

         මධ්‍යතන යුගයේ දී බල පිරමීඩයේ ඉහළම අන්තයේ සිටියේ රජතුමා ය. සංකේතාත්මකව ප්‍රංශ විප්ලවය මගින් ගිලටීනයට යවා රජතුමාගේ හිස ගසා දමන ලදී. ඉන්පසු, රාජ්‍ය නායකයා පිළිබඳ දේවධාර්මික අදහස එනම්, පාලකයාට බලය එන්නේ දෙවියන්ගෙන් යන අදහස ඛණ්ඩනය විය. ෆූකෝ කියන්නේ, රජාට පසුව ‘බලය’ නම් සංකල්පයක් බිහි වූ අතර එය මිනිසා වෙත එන්නේ ඉහළින් නොව පහළින් බව ය. බලයට ආදරය කරන මිනිසුන් බිහි වූයේ, (Love of Power) ඉන්පසුවය. මිනිසුන් බලයට නිකම්ම කැමති වන්නේ නැත. බොහෝ දෙනා බලය සලකන්නේ, හිසක් නැති මර්දනකාරී පීඩාවක් ලෙසිනි. ඒ අනුව, ගැටලුව වන්නේ, බලයට ආශා කරන මිනිසුන් නිපදවීමයි. ස්ටාලින්වාදය සහ නාසිවාදය අන්ත දෙකකින් පිළිතුරු දුන්නේ, මේ ගැටලුවටයි. 

  මාක්ස්වාදයේ මූලික ගැටලුව වූයේ, නාසිවාදය ආර්ථික නියතිවාදයකට ගැට ගැසීම යි. නමුත්, එහිදී නාසිවාදී දෘෂ්ටියේ සුවිශේෂී ආකර්ෂණය රඳා පවතින තැන අමතක කළේය. උපරිම වශයෙන්, මාක්ස්වාදය නාසිවාදය හඳුනා ගත්තේ, මධ්‍යම පන්තික මූලයන්ගෙන් එන ත්‍රස්තවාදයක් ලෙසිනි. මෙය, ධනවාදී නිදහස් වෙළෙඳපොළ නිසා හට ගන්නා ආතතීන් සමනය කිරීමට යොදා ගත හැකි බෙහෙතකි. මේ මාක්ස්වාදයට ජාතිවාදය ගැන ඇති සාරාංශගත අදහසයි. නමුත්, මෙම අදහසට ෆැසිස්ට්වාදයේ අන්තර්ගතය ගැන කිසිවක් කතා කළ නොහැකි විය. 

  අප මෙතැන දී වෝල්ටර් බෙන්ජමින්ගේ අදහසක් මතකයට ගතහොත් තත්ත්වය වඩා පැහැදිලි වනු ඇත. නාසිවාදය යනු, සාම්ප්‍රදායික පාලක පන්තියක් විසින් නිහඬ කරවන බහු ජනකායකගේ දේපළ අයිතිය වෙනස් නොකර එම මහජනයාට පන්ති හීනමානයකින් තොරව නිදහසේ ප්‍රකාශ වන්නට ඉඩ හැරීමයි. යුග දෙකකට අයිති වුවත් නාසිවාදය සහ මහින්ද චින්තනය අතර පොදු සාධකය වන්නේ, බහු ජනකායකට නිදහසේ ප්‍රකාශ වන්නට අවකාශයක් නිර්මාණය කිරීමයි. නාසි දේශපාලනයේ මුඛ්‍ය හරය එය යි. අද දවසේ අයිතිකරුවෙකුගෙන් තොරව මුහුණු පොත නම් අවකාශය ඉටු කරමින් ඉන්නේ ජනප්‍රියවාදයේ නාමයෙන් ඉහත ෆැසිස්ට් දේශපාලනයේම දිගුවකි. 

       ෆූකො විසින් බෙන්ජමින්ගේ ඉහත ප්‍රවාදයට අතිරේකයක් එකතු කරයි. මහජනයාගෙන් වැඩි පිරිසකට රාජ්‍යයේ කර්තවයන්- මර්දනය, අත පෙවීම, නීතිය සහ පර්යාය පවත්වාගෙන යාම- භාර දීම ෆැසිස්ට් ලක්ෂණයකි. සමාජයේ ආන්තික කොටස්වලට බලය පැවරීමක් මෙහි දී අදහස් කෙරෙයි. සර්වාධීකාරය යන අදහස එකවර හරි සහ වැරදි වන්නේ, මෙම මංසන්ධියේ දී ය. මින් අදහස් වන්නේ කුමක්ද? ඔබ නාසි පක්ෂයේ සාමාජිකයෙකු වූ වහාම ඔබට අසල්වැසි යුදෙව්වාගේ කඩය අල්ලාගත හැකිය නැතහොත්, එම යුදෙව්වාගේ බිරිඳ දූෂණය කළ හැකිය. නාසිවාදයේ දී තනි පුද්ගලයෙකුට බලය දිශානත වන බව දෘශ්‍යමාන වුවත් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ, බලය හාත්පස පැතිරී යාමයි. මෙහි අදහස වන්නේ, පහළ පන්තිවල සාමාජිකයන්ට තමන්ට රිසිසේ බලය හැසිර වීමට ලැබෙන බලය යි. බලයට ආශා කරන්නට මිනිසුන් පෙළඹවීම යනු මෙම තත්ත්වය යි. එබැවින්, එම තත්ත්වය මගින් සනිටුවහන් වන්නේ, බලය ශෘංගාරකරණය වීමයි. ලෙනින්ගේ තිසීසයට එදිරිව මිනිසා ධනේශ්වර රාජ්‍යය හරහා විනෝදයක් ලබන ආකාරය මෙතැන දී විද්‍යාමාණය.[split] 2005-2010 යුගයේ දී රාජපක්ෂ පාලනයට සිංහල මිනිසුන් දැඩිව ආශක්ත වූයේ, මෙම සංදර්භය තුළ ය. සාම්ප්‍රදායික මාක්ස්වාදයට විශේෂයෙන්, ට්‍රොට්ස්කිවාදයට ආශාව පිළිබඳ මෙම කතිකාව අවබෝධ කර ගැනීමට නො හැකිය. බලය සහ ආශාව අප කලින් නොදුටු ආකාරයකට මහින්ද චින්තනය තුළ දී සංගත වෙයි. බලය පැවරූ විට සාමාන්‍ය මිනිසුන් වරදකාරිත්වයකින් තොරව මිනී මරන්නට පෙළඹෙයි. ‘බලය’ සිංහල සමාජය පුරාම පතුරුවා හැරීමෙන් ‘සිංහල සමාජය’ අපරාධ කරන රහස් සමාජයක් බවට එකවර පත් විය. එහිදී, නීතිය බවට පරිවර්තනය වන්නේ, බාහිර සංකේත නීතිය නොව ඔබගේම අවිඥාණක නීතිය යි. [unconscious law]නාසිවාදයට ශෘංගාරය හමු වන්නේ, එනම් Night Porter චිත්‍රපටයේ අපට පෙනෙන ස්වපීඩා-පරපීඩා කාමුකත්වය යනු, මිනිසාගේ අවිඥාණක මෙහෙයුමයි. (නාසි නිල් සිනමාව) 

          තාර්කික ලෝකයක දී ස්ත්‍රියක් තමන්ට ශාරීරික පීඩා කරන පිරිමියෙකුට විරුද්ධ වනමුත් නාසිවාදය තුළ දී පරපීඩා කාමුකත්වයට ස්ත්‍රිය ආකර්ෂණය වෙයි. චිත්‍රපටයේ ප්‍රහේලිකා පක්ෂය ඇත්තේ, දේශපාලන දෘෂ්ටියකට අනුරාගික පැවැත්මක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරන විට ය.

         නාසිවාදය හෝ මහින්ද චින්තනය වැනි ජාතිවාදයන් එක පැත්තකින් මහජනයාට අර්ථයක් දෙන අතර අනෙක් පැත්තෙන්, ලිංගික පැවැත්මක් ද සහතික කරයි.[sexual mental enjoyment] මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරන්නේ, ඉහත ශෘංගාර අතිරේකය යි. එහි පරාජය සනිටුහන් වන්නේ ද දේශපාලනයේ රාගික පැවැත්ම නරුමවාදීව හෙළා දකින විටදී ය. බණ්ඩාරනායකවාදය ඉදිරිපිට පැරණි වාමවාදය පරාජය වන්නේ, ඔවුන්ට දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන අනුරාගික මානය අවබෝධ නොවීම තුළ ය. ලෙනින්ට එරෙහිව රාජ්‍ය පිළිබඳ නව මානය මෙසේ පැහැදිලි කළ හැකිය. රාජ්‍යය යනු, පන්ති වෛරය සමනය කරන මර්දනීය අවයවයක් බව සැබෑ ය. නමුත්, ‘බලය’ මහජනයා කරා විතැන් වන විට එය මර්දනීය තැනකින් අවරෝධනීය – repression – තැනකට මාරු වෙයි. සරලව කිවහොත්, මිනිසා මාංචු වලට ආධාර ආදරය කිරීමට පටන් ගනියි. එනම්, රාජ්‍යය විමුක්තියට පාර පෙන්වන සංස්ථාපිතයක් බවට විචලනය වෙයි. 

          ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවල විශේෂයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ මතවාදී අරක්කැමියන්ට අනුව ආගම සහ රාජ්‍යය යනු මිනිසාගේ ආශාවල්, ෆැන්ටසි ප්‍රාර්ථනාවන්, ආර්ථික උවමනාවන් මර්දනය කර විනාශ කරන සංස්ථාපිතයන් ය. නමුත්, මේ අදහස් ප්‍රාග්ධනයේ 20 වැනි සියවසේ යථාර්ථයට ගැළපෙන මතවාදී සැකසුම් ය. ඒවා මේ වන විට යල්පැන ගොස් ඇත. එම නිසා, මා විසින් මෙම ලිපියේ දී සිදු කරන ලද්දේ ආගම සහ රාජ්‍යය යනු ද ආත්මය පරිදිම සත්තාවක් ලෙස දෙකඩ වී ඇති බවත් එම නිසාම එක පැත්තකින් එම සංස්ථාපිතයත් මුලාවට, මර්දනයට ලක් කරන අතරම පරස්පරව එම ආයතනම අපට නිදහස, විමුක්තිය සහ විනෝදය හඳුන්වා දෙන බවත් ය. 

ආගම සම්බන්ධයෙන් සමන්තභද්‍ර ඇතුළු ජනප්‍රිය භික්ෂූන් අපට පෙන්වා දෙන්නේ, නූතන ධනවාදය තුළ හමු වන දැඩි අසහනයෙන් ගැලවෙන අභ්‍යන්තර ආත්මීය සාමය යි. [inner freedom] බාහිර ද්‍රව්‍යමය සංස්කෘතියෙන් මිදී ගැල වී පුද්ගලික විමුක්තියට ඇති මාර්ගය මෙම ජනප්‍රිය බුදුදහමේ ප්‍රකාශකයින් මහජනයාට ඉදිරිපත් කරයි. දේශපාලනයේ දී මහින්ද රාජපක්ෂ මහජනයාට ඇති තරම් ප්‍රකාශ වන්නට ඉඩ දෙන පරිදි ම සමන්තභද්‍ර වැනි භික්ෂුවක් සිතෙහි අභ්‍යන්තර සාරය සහ අව්‍යාජ ස්වාත්මය [self love] ගවේෂණය කිරීමේ නිදහස ආගම් භක්තික මහජනයාට පවරා ඇත. මෙය, සාම්ප්‍රදායික බුදු දහම නොකරන දෙයකි. ජීවිතයේ තරුණ කාලයේ සාමාන්‍ය මිනිසුන්ව සිට පසුව බටහිර රටවල් වලට විගාමික වී පසුව තමන්ගේ ආත්ම ප්‍රකාශනය කරන්නට තැනක් සොයන මහජනයාට මෙම ජනප්‍රිය බුදුදහම විමුක්ති මාර්ගයකි. මේ ජනප්‍රිය බුදුදහම සහ ථේරවාදය අතර සම්බන්ධයක් නැති අතර ඇත්තේ, ප්‍රාග්ධන තර්කනයක් පමණි. මෙය, 80 දශකයේ ප්‍රචලිත වූ ධනවත් මිනිසුන්ගේ භක්තිවාදයක් වූ ඕෂෝ දර්ශනය සමඟ සම්මත වෙයි. එහිදී,  උත්සාහ කරන්නේ, ආත්මය සහ සමාජීය වගකීම අමතක කර භෞතිකවාදියාව සහ අධ්‍යාත්මවේදියාව සංස්ලේෂණය කර නව-මිනිසෙක් සෑදීමේ ව්‍යාපෘතිය යි. මෙම ව්‍යාපෘතිය ඕෂෝ හඳුන්වන ලද්දේ, නිකොස් කසන්සාකිස්ගේ සාහිත්‍ය සංකල්පනාවක් වූ ”සෝර්බා ද ග්‍රීක්” නම් රූපකය මගිනි. ධනේශ්වර ලෝකයක පවතින්නාට එන මූලික උභතෝකෝටිකයක් ඇත. එක පැත්තකින්, ඔහු හෝ ඇය ප්‍රාග්ධනයේ වියුක්ත තර්කනය හරහා සමපේක්ෂණ ලෝකයක් නිපදවයි. අනෙක් පසින්, මෙම සමපේක්ෂණ තර්ක නිසාම ලෝකයේ අනෙක්පසින්, දරිද්‍රතාවය, අසහනය, හිංසනය, ව්‍යාකූලත්වය, නොමිනිස්කම බිහි වෙයි. මෙම අන්ත දෙක අතර සමපේක්ෂණ අනන්‍යතාවයකින් තොරව නූතන ධවාදයට පැවැත්මක් නැත. කළ හැකි එකම දෙය වන්නේ, ලෝකයට කුමක් වුවත් පුද්ගලයෙකු ලෙස තමන්ට ගැළපෙන ”පුද්ගලික විමුක්ති මාර්ගයක” පැටලීමයි. සාම්ප්‍රදායික ආගම්වලට මේ අයට උදව් කළ නොහැකිය. ඒ සඳහා, උදව් කළ හැක්කේ, Self-help Gurus ලා බවට පත් වී ඇති ”සත්ගුරු” වර්ගයේ පශ්චාත්-නූතන භික්ෂු ප්‍රතිරූප වලට වශී වීම තුළ ය. මේ අය, ඔබව විශ්ලේෂණය නොකරන අතර (මනෝවිශ්ලේෂණයේ දී මෙන්) ඔබව මෝහනය (පැරණි ශාන්තිකර්මවලදී පරිදි) කරයි. සතිය පුරා වෙහෙසෙන ඩිල්ෂාන් වැනි ආත්ම වලට ඉරිදා දිනයේ හවස් වරුව නිදහස් දිනයකි. පරාරෝපණයෙන් අත්මිදීමට දාර්ශනික වශයෙන් අපට ඉතිරි වන්නේ, ඉරිදා හවස පමණි. මෙය, පැරණි කම්කරු ව්‍යාපාර තුළ කම්කරුවාගේ විඥාණයෙන් වෙනස් දෙයකි. ආගම දෙස එහි මාක්ස්වාදී අබිං අර්ථයට පටහැනි අන්තය වූ විමුක්ති  මාර්ගයක් ලෙසින් ආගමම අපටම සම්මුඛ වෙයි. කොමියුනිස්ට්වාදය තුළ දී පරාරෝපණයෙන් අත්මිදිය නොහැකිය. කළ හැක්කේ, පරාරෝපණය කළමනාකරණය පමණි. නමුත්, ”ජනප්‍රිය බුදුදහම” ඇදිහිලිකරුවාව බුදුන්ගෙන් [Master Signifier]වෙන් කර නිදහස් කර ඇත.

Nikos Kazantzakis was born in Crete in 1883. He studied literature and art in Germany and Italy, philosophy under Henri Bergson in Paris and received his law degree from the University of Athens. The Greek Minster of Education in 1945, Kazantzakis was also a dramatist, translator, poet, and travel writer. Among his most famous works are, The Odyssey: A Modern Sequel, The Last Temptation of Christ, and Saviors of God.  He died in October 1957.

        ෆැසිස්ට් දේශපාලනය විසින් පන්ති දේශපාලනය අත්හිටුවා ඒ වෙනුවට මහජනයා එතැනට ආදේශ කර ඇත. ‘මහජනයා’- people- යන සංකල්පයේ ‘දේශපාලන-ආර්ථික’ තේරුම වන්නේ, පහළ සමාජ පන්ති වලට දේපළ අයිතිය නොදී ඔවුන්ට නිදහසේ ප්‍රකාශ වීමට රිසි සේ ඉඩ දීමයි. මුහුණු පොතට ඇබ්බැහි වූ සමහර හිටපු වාමාංශිකයන් ‘දේශපාලන පක්ෂ’ යනු ම මර්දන ආයතන ලෙස වර්ගීකරණය කිරීම හිතලුවක් නොව අත්දැකීමක් ලෙස සත්‍ය වන බාහිර යථාර්ථයකි. 

     අනෙක් අතට, දළදා මාළිගාවෙන් සහ රජමහා විහාර වලින් අසපු දක්වා පසු බසින අන්තර්ගතය හිස්, ‘ආකෘතියෙන්’ ධනපති විඥාණ ආකෘතියක් සහිත මිනිසුන්ට තමන්ගේ ආත්මීයත්වය අභ්‍යන්තර සාමයක් මිස, ප්‍රචණ්ඩව ප්‍රතිවිරෝධතා චලනය වන මෝය කටක් නොවේය යන්න සමන්තභද්‍රලා, කිරිබත්ගොඩ ඥාණානන්දලා වහරමින් සිටිති. මෙම නව-අධ්‍යාත්මවේදය ෆැසිස්ට් දේශපාලනයේ අභ්‍යන්තර සීමාවයි. 

     එම නිසා, මහේක්ෂ දේශපාලනයත්, ක්ෂුද්‍ර දේශපාලනයත් අතරමැද පවතින පරතරය වන ආත්මය – subject as Gap – මේ යුගයේ දී මහජනතාවයි. මේ මහජනතාව යන සංකල්පය පරිමිත සංකල්පයක් ලෙස සියලු දෙනා අවිඥාණකව භාරගෙන ඇත. එම නිසා, මිනිසාට ශිෂ්ටාචාරය තුළ ප්‍රථම වතාවට ආගම සහ රාජ්‍යය දෙස දයලෙක්තිකව සිතන්නට කාලයක් උදා කර ඇත. ඩිල්ෂාන් පතිරණ X දේශපාලනයට විරුද්ධාභාසයක් නොවන්නේ, ඉහත ඓතිහාසික ක්‍රියාවලිය අප දාර්ශනිකව කියවා ඇති නිසා ය. ලිපියේ අවසානයට, අපි නූතන දේශපාලන පක්ෂ ක්‍රමයට අභියෝගයක් වී ඇති රෝග ලක්ෂණාත්මක පුද්ගලවාදය ගැන විවරණයක් කරමු. 

       උදිත විසින් ඩිල්ෂාන් පතිරණගේ පක්ෂ සාමාජික අදහස ප්‍රශ්න කරන විට දී ඔහුගේ අභ්‍යන්තරික නෛසර්ගික අගතිය ගැනත් යමක් ලිවිය යුතුය. උදිතට  අනුව, තාර්කික සහ විචාර බුද්ධියට මුල් තැන දෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය යුත්තේ ද තාර්කික බුද්ධියක් ඇති අව්‍යාජ මිනිසුන්ය. මෙය, පණ්ඩිතමානී ප්‍රශ්න කිරීමක් වුවත් මෙම ආස්ථානය තුළ ගිලී යන අඳුරු මානයක් ද ඇත. උදාහරණයක් වශයෙන්, 2005 වර්ෂයේ දී අපගේ සංවිධානයට එකතු වූ ඉංජිනේරු ශිෂ්‍යයන් 15 කගේ පිරිස පක්ෂය වෙනුවෙන් මෙහෙය වූයේ, මා නොව ‘සිංහල මාඕය’. පසුකලෙක, ඉහත ඉංජිනේරු ශිෂ්‍යයන් වෘත්තියෙන් ඉංජිනේරුවන් වී දරු පවුල්කාරයන් ද විය. සිංහල මාඕ විසින් ඔවුන්ට සංවිධානය වෙනුවෙන් පොරොන්දු වූයේ, කුමක්දැයි මම නොදනිමි. පසු කලෙක, ඔවුන් සංවිධානයට උදව් කළ බව ද දනිමි. ඔවුන් එසේ කරන ලද්දේ, මා විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි දර්ශනයකට නොවේ. ඔවුන් අධානග්‍රාහීව උදව් කරන ලද්දේ, පශ්චාත්-නූතනකරණය කරන ලද සිංහල විජේවීරවාදයකට ය. මින්, මා උගත් පාඩම මෙසේ සාරාංශගත කළ හැකිය. 

       නූතන සිංහල මිනිසා දේශපාලනයකට හෝ දේශපාලන සංවිධානයකට බැඳෙන්නේ, සමාජ අසාධාරණය, දුප්පත්කම, රැකියා විරහිතභාවය, වෘත්තීය ගැටලු, ශ්‍රමයට ගෙවන වැටුපේ අඩුකම වැනි බාහිර සමාජ-ආර්ථික සාධක නිසා නොවේ. ඔවුන් දේශපාලනයට එකතු වන්නේ, ආත්මීය නැතහොත් අභ්‍යන්තර ඉල්ලීම් තොගයක් නිසා ය. [Ontological level].

උදාහරණයක් ලෙස, එක්තරා නැටුම් ගුරුවරියක් අප සමඟ එකතු වීමට ඇති විවිධ බාධාවන් පෙන්වා දී එක්වරම සමාජය තුළින් අතුරුදහන් විය. නමුත්, ඇය මෑතක දී සමාජයේ ජනප්‍රිය පුද්ගලයෙකු සමඟ ‘නර්තනයට ස්ත්‍රී කකුලේ ඇති ජනප්‍රිය සම්බන්ධය’ යනුවෙන් වීඩියෝ නිබන්ධනයක් YouTube මගින් ඉදිරිපත් කළා ය. අපත්, ඇයත් දැන් දන්නා තරමින් ඇයට අවශ්‍යව තිබී ඇත්තේ, ටෙලිනාට්‍ය නිළියක් හෝ සුපර්ස්ටාර් කෙනෙකු වීමට ය. නමුත්, ඒ අතරම ඇය තුළින්ම විරුද්ධාභාසයක් ලෙස නර්තනය පිළිබඳ ”පීනා බවුෂ්” පන්නගේ සංකීර්ණ දාර්ශනික ස්ත්‍රියක් වීමට ද ප්‍රවණතාවයක් ඇත. ඇයට අනුව, ඇය මෙම අන්ත දෙක අතර පැද්දෙයි. ඇය, චන්න විජේවර්ධනගේ ජනප්‍රිය ප්‍රතිරූපයට විරුද්ධය. නමුත්, යටි හිතින් ජනප්‍රිය වීමට ද ආශා කරයි. ඒ නිසා, ඇයව දාර්ශනික ස්ත්‍රියක් කිරීම පසෙක තබා YouTube නාළිකාව ඇයව උමාලි තිලකරත්නගේ හිස්ටෙරික නර්තනයට ඇද දමා ඇත. උමාලිට අවශ්‍ය වූයේ, ෆ්‍රොයිඩ් ගැන ඉගෙන ගැනීමටය. නමුත්, ඇය නතර වූයේ, කාල් යුංගේ ළඟය. අහෝ මිනිසාගේ දෛවය යහපත වෙනුවට වේදනාව උරුම කරන හැටි. 

 Bausch, Pina – Choreographer, dancer, GermanyArtistic director of the Tanztheater (Dance Theater) Wuppertaldancing the ‘Songs of encounter’ of the Folkwang Ballet, Academy of Arts, Berlin (Photo by Binder/ullstein bild via Getty Images)

    එබැවින් මා යෝජනා කරන්නේ, සමකාලීන ගෝලීය ධනවාදී සමාජ-ක්‍රමයක් පවතින තතු යටතේ දේශපාලන පක්ෂයකට මිනිසුන් උදව් කරන්නේ, කිසිදු හේතුවකින් තොරව අහේතුකව ය.[unreason] නැටුම් ගුරුවරිය නැහෙමින් කියන්නේ, ඇය නර්තනයට ආශා කරන බවයි. නමුත්, ඇය වෛර කරන්නේම නැටුම් ශිල්පයට ය. මන්දයත්, ජනප්‍රිය වීම ඇගේ අවිඥාණක ආශාව නිසා ය. එම නිසා, ඇයට තමන්ගේ ආශාව පෙනෙන්නේ, හිස් දෙයක් ලෙසිනි. මන්ද, ඇය පිහිටන්නේ, නර්තනය සහ උමාලි තිලකරත්න අතරමැද නිසා ය. 

       දැන් ගැටලුව වන්නේ, නර්තන ගුරුවරියක් දේශපාලන පක්ෂයක් අසළටම එන්නේ මන්ද යන්නය. සියලු දෙයට ඉඩ ලැබෙන සමාජයක දී බහුතර දෙනාට එන ප්‍රශ්නයක් ඇයටත් අභිමුඛ වෙයි. එනම්, ඇයව බාහිරින් සීමා කිරීමට කිසිවෙකු මේ ලෝකයේ නොමැති වීමයි. ඒ අනුව, ඇය අත්විඳින බාහිර මර්දනය එනම්, Domination කියා දෙයක් ඇය නොදනියි. එවිට, ඇයට තමාවම සීමා කර ගැනීමට අභ්‍යන්තර බාධාවක් [internal block] අවශ්‍ය වෙයි. දේශපාලනය අවශ්‍ය වන්නේ, මෙතැනදී ය. ඇයගේ අභ්‍යන්තර චින්තනයට අනුව, ඇගේ අවරෝධනය (Repression) යනු, X දේශපාලනය යි. ඇය, තමාව සිහියෙන් පවත්වාගෙන යාමට ඇගේ ජීවිතයට බාධාවක් ලෙස X දේශපාලනය බාහිර යථාර්ථයක් කරයි. ඇය, X එක ආසන්නයට එන්නේ දේශපාලනය කිරීමට නොව, බාහිර සංකේත නීතිය නැති තැනක අභ්‍යන්තර නීතිය ලබා දෙතැයි අනුමාන කරන තැනකට ය. මේ සියල්ල ඇයට අවිඥාණක බවට විවාදයක් නැත. මෙය හරියට නිවට සැමියෙකු සමඟ විවාහ වන කාන්තාවක් අභ්‍යන්තර සීමාවක් ලකුණු කර ගැනීමට කස පහර කෑමේ ආශාවෙන් යුතුව විපරිත පිරිමියෙකු රහසින් හමු වෙනවා වැනි ෆැන්ටසි දර්ශනයකි. අවිවාදිත ලෙස මෙය පුරුෂ ජාතිවාදයේ බාහිර ප්‍රකාශනයකි. සමාජ අසාධාරණයට විරුද්ධව හෝ ප්‍රභාකරන්ට විරුද්ධ වීමට දේශපාලනයට සම්බන්ධ වූ යුගය අහවර ය. දැන්, දේශපාලනයට එන්නේ, කසයෙන් පහර කා පසුව පැමිණිලි කිරීමට ය. X දේශපාලනයට බද්ධ වන අයට වඩා ඒ ගැන දන්නේවත් නැති අය පවා X දේශපාලනය ගැන පැමිණිලි සාගරයක් මතු කිරීම අහම්බයක් නොවේ. 

     X යනු, සමකාලීන සිංහල සමාජයේ බාහිර මර්දනයක් නැති නිසා අභ්‍යන්තරික බාධාවක් සඳහා යොදා ගන්නා මෙවලමකි. X සමග බොහෝ දෙනා සෙල්ලම් කිරීමට රැචි වන්නේ, මේ සන්දර්භය නිසා ය. මේ සෙල්ලමට එකතු වන අය අතරින් තෝරා ගත් අය සමඟ සීරියස් දේශපාලනය කිරීම ඉතා දුෂ්කර ය.

  • Deepthi kumar Gunarathne.

ඔබේ අදහස කියන්න...