[කේ.කේ. සමන් කුමාරගේ නේරංජනේ ඉස්නානේ කෘතියෙහි නවතම මුද්‍රණය සඳහා පෙරවදනක් ලෙස ලියූ ලිපියකි]
නේරංජනේ ඉස්නානේ යනු කියවන්නිය මුල් වරට කිසියම් අවුලකට පත් කරනසුලූ ආඛ්‍යානයකි. එය කියවිය යුත්තේ අග සිට මුලට බව වටහා ගන්නා තුරු ඇය මෙම අවුල වින්දනය කරයි. එය පදානුගත අර්ථ සහිත කියවීමක් පිණිස අගමුල සොයා ගන්නේ වුව ද ඔබ එහි අන්තර්ගතය කෙරෙහි බර තබන්නේ නම් මේ කවර වූ ලිවීමක් දැයි හරි හැටි වටහා ගන්නේ නැත.
නේරංජනේ ඉස්නානේ යනු අන්තර්ගතයක් රහිත ආකෘතියක් පමණක් ඇති නවකතාවකැයි කීමෙන් එය අර්ථ විරහිත ලියවිල්ලකැයි කියන බවක් නොගන්න. ඇත්තටම නම් එහි අන්තර්ගතය වන්නේ ආකෘතියමය. කලා කෘතියක දයලෙක්තික වටිනාකම මිනිය හැක්කේ එහි ප්‍රකාශිත අර්ථයා සමඟ ගැටීමෙන්වත් අප්රකාශිත තේරුම් ගවේෂණය කිරීමෙන්වත් නොවේ. ෆෙඞ්රික් ජෙම්සන් සරණ යාමට ඔබ සූදානම් නම් කලා කෘතියක අගය තිබෙන්නේ එහි ප්‍රකාශිත (Manifest) හෝ අප්රකාශිත ගුප්ත (Latent) අර්ථය මත නොව එය ප්රකාශමාන වන ආකාරය නැතහොත් ආකෘතිය මත බව පිළිගැනීමට අපට සිදු වේ.
වැඩිදුර නොගොස් මම මෙසේ වදාරමි. සර්පයා මෙම ආඛ්‍යානයෙහි ආකෘතිය ලෙස ගන්නේ විසංයෝජනයකි. ඔහු විසංයෝජනය (Deconstruction) කරන්නේ කුමක්ද යන්න නොව ඔහුගේ ලිවීමේ ශෛලියම විසංයෝජනීය වීම මෙහි ඇති සුවිශේෂයයි. ඇත්ත. බැලූ බැල්මට මෙහි ප්රස්තුතය වන්නේ ස්ත්‍රී/පුරුෂ සහසම්බන්ධ ප්රතිපක්ෂය (Binary Opposition)
තමයි. එහි විසංයෝජනය නම් පුරුෂ ප්‍රමුඛතාව හෙළා ස්ත්‍රී බව නඟාලීමය. එහෙත් ඒ සඳහා ලේඛකයා භාවිත කරන්නේ පුරුෂවාදී වූ ආගමික කියවීම්ය.
විසංයෝජනය යනු කිමෙකැයි හරි හැටි අල්ලා නොගෙන මෙහි ඉදිරියට යා නොහැක. ඩෙරිඩාට අනුව කළු හැඟවුම්කරණය කිරීමට නම් සුදු අභ්‍යුපගමනය : (Presume) කළ යුතුය. එය හුදු කළු බව (Blackness) නිරූපණය නොකරයි. එහි එය නොවන වෙනත් දෙයක සලකුණ (Trace) අන්තර්ගතව ඇත. ඒ අනුව භාෂාවේ වචන සංඥාකරණයේ කෙළවරක් නොමැති ලිස්සා යාමට යටත්ය. මෙම ප්රපංචය විස්තර කිරීමට ඩෙරිඩා Differance යන නව යෙදුම (Neologism) භාවිත කරයි. මෙම යෙදුම ශ්ලේෂාර්ථ නඟන්නකි. එනම් ප්‍රංශ අර්ථයෙන් එහි වෙනස නැතහොත් පරතරය (Differ) සහ කල් දැමීම (Defer) යන අර්ථ දෙකම නඟයි. වැදගත් දේ නම් එහි ස්වයං – සර්වයම අර්ථයක් ගැනීම කල් දමමින් වෙනස් වූ කිසිවක සලකුණ අඩංගු වීමය.
සහසම්බන්ධ ප්රතිපක්ෂමය යෙදුම් (Binary Oppositions) මඟින් සිදු වන්නේ ඩෙරිඩා යට සඳහන් කරන Differance අර්ථ දැක්වීම වහංගු කිරීමය. එනම් යෙදුම් දෙකකින් එකකට ප්‍රමුඛතාව දීමය. එහෙත් පුරුෂයා/ස්ත්‍රිය යන යුගලයේ එක් එක් යෙදුමට අවකලනමය අර්ථයක් දෙන බැවින් එකක් අනෙකෙහි සලකුණ රඳවා ගනී. එහෙත් පීතෘමූලික දෘෂ්ටිවාදය අභ්‍යුපගමනය කරන්නේ ‘පුරුෂ’ යන්න ප්රමුඛ වන බවය. මේ නිසා ස්ත්‍රිය යන්නෙහි අවකලන අර්ථය අඩුවකි. (Lack) එනම් පුරුෂ බව මස්තකප්රාප්ත වීමට අවශ්‍ය [ෆැලික] සම්පූර්ණ බව ස්ත්‍රියට නැත. බයිබලයේ උත්පත්ති කතාවේ දී ඊවා ආදම්ගෙන් නිර්මාණය වන්නේත් ආදම් දෙවියන් වහන්සේගෙන් පැවතෙන්නේත් එබැවිනි.
එම අර්ථයෙන්ම බුද්ධත්වය යනු පුරුෂවාදී සංකල්පයකි. පුරුෂයකුට හැර ස්ත්‍රියකට බුදු විය නොහැකිය. සරලව කිවහොත් නේරංජනේ ඉස්නානේ තුළ ආඛ්‍යානිකව විසංයෝජනය කරන්නේ මෙම පීතෘමූලික අධිපති දෘෂ්ටිවාදයයි. අග සිට මුලට ආවර්තනය වන ආඛ්‍යානික ශිල්පය (Narrative Style) තුළ මෝදු වන්නේ ඔළුවෙන් සිටුවා තිබූ ස්ත්‍රීත්වය දෙපයින් නඟා සිටුවීමේ විසංයෝජනීය ආකෘතියයි.
”ඈ නැඟී සිටියාය. සියලූ කිලි කුණු ඒ අනෝරාවෙන් සේදී ගොස් තිබිණි. ඈ දෙපා අසල රන් කගක් විය. ඈ එය අතට ගත්තාය.
”සන්තානගත සකල ක්ලේශයෙහිම නිමිත්තක් බඳු වූ ඒ කේශ කලාපය සිඳ විසි කළාය. එකල්හි ඒ අහසෙහි මඳක් රැුඳී තිබිණි.
”ඈ තම සිරුරෙහි එල්ලී තිබූ වැරැුලි කිහිපය ගලවා දැමුවාය. අනතුරුව ඕ නේරංජනයට බැස්සාය. එහි සැනහෙමින් නෙළුම් පතක් කඩා ‘මාගේ අධිෂ්ඨානය පරිදි වේවයි.’ කීවාය. එකල්හි ඒ උඩුගං බලා ඇදිණි.
”ඈ නේරංජනයෙහි සැනහෙමින් එගොඩට පිහිනී. ඉවුරට ගොඩව මෙගොඩ බැලී. මෙතුවක් දවස් තමා පසුපස තමාගේ මේ විපරියාසයෝ දර්ශනය කළ සතා සතුන් සියල්ලෝ තවදු එක එල්ලේ බලා සිටියෝය.
”ඈ උනට පිටු පා ඒ වන ගහනය තුළ නොපෙනී ගොස් බොහෝ වේලා යන තෙක්ම උහු ඒ බැල්මෙන්ම එදෙස බලා හුන්නෝය.”
නේරංජනේ ඉස්නානේ 148 පිට.
මෙම විස්තරයට පසුව කියවෙන්නේ බුදුන් දුෂ්කර කි‍්‍රයා කළ ආකාරය සැරියුත් තෙරණුන්ට විස්තර කරන මජ්ඣිම නිකායේ මහා සිහනාද සූත්‍රයෙන් උපුටා ගත් කොටසකි. ස්ත්‍රිය බුදු වීම පිණිස පා නැඟුවේ වුවත් එහි පුරුෂ සලකුණ (Trace) ඇති බව මෙහි දිගින් දිගටම මේ ආකරයෙන් කියවෙන බව දත යුතුය. මෙහි ස්ත්‍රියකට ආරෝපණය කරන්නේ පුරුෂයකු බුදු බව පැතූ ආකාරයයි. බුද්ධත්වයට පත්වීමට එරෙහිව පැමිණි දස මාර සේනාව වූ කලී පෙර බුදු බව ලැබ සිටි බුදුවරුන්ය. බුදුන් වෙත පැමිණි මරඟනන් ඇය වෙත එන්නේ පිරිමි වේශයෙනි. ඒ තිදෙනාම පෙර බුදුවරු වූහ. අනතුරුව මෙසේ ලියවෙයි.
”අවසානයේ වසවත් මාර ස්ත්‍රිය ඇගේ වේශයට ගෙන ඈ ඉදිරියේ පහළවිණි. ඒ තමාම විය. අසීරුම සටන වූයේ එසේ ආ තමා සමඟින්මය. ඒ මාර ¥තිකාව උපන්නේ තමාගේම හේමලයාගෙනි ‘-143 පිට
මෙලෙස බුදු වීමට යන ස්ත්‍රිය තමා තුළටම අන්තරීකරණය වීමට වීම මෙය නව දිශානතියක් ඔස්සේ කියවීමට අපට ඇරයුම් කරයි. එය අන් කිසිවක් නොව ස්ත්‍රියගේ ලිංගිකත්වය (Woman’s Sexuality) නම් වූ ප්රපංචයම වේ.
බැලූ බැල්මට නේරංජනේ ඉස්නානේ යනු ස්ත්‍රීවාදී ලිවීමකි. එහෙත් එය කෙතෙක් ස්ත්‍රී විරෝධී ද යන වග අපට දත හැක්කේ මෙම ලිවීම තුළ මතු වන ස්ත්‍රීත්වය පිළිබඳ පුරුෂවාදී ලිවීම් නැවත කියවීමෙනි. මෙහි දී මම ඔටෝ වීනින්ගර් සහ ජිජැකියානු කියවීම් ඇසුරු කොට ගතිමි. ජිජැක්ට අනුව ඔටෝ වීනින්ගර් (Otto Weininger) යනු දර්ශනයේ කේන්ද්‍රීය තේමාව ලෙස ලිංගික වෙනස (Sexual Difference) සහ ලිංගික සබඳතා ඔසොවා තැබූ ලේඛකයෙකි. ඔහු මෙහි මිල ගෙවන්නේ Sex and Character නම් වූ මාහැඟි කෘතිය ලියා අතගත් සැණින් සිය දිවි නසා ගැනීමෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි.
වීනින්ගරියානු ලිවීම් ස්ත්‍රී විරෝධී බව (Anti – feminist) නොකිවමනාය. ඔහුගේ ස්ත්‍රී විරෝධය මතුවන්නේ ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වේ යයි (Woman is Only and thoroughly Sexual) හංවඩු ගැසීමෙනි. එනම් ඇය වූ කලී කාමුක ස්ත්‍රියයි. වීනින්ගර් Sex and Charaterහි ලිංගික ගැටලූ අරබයා දෙන පිළිතුර සමකාලීන ස්ත්‍රී විරෝධය සහ යුදෙව් විරෝධය කලවම් වූ නොගැඹුරු දාර්ශනික ප්‍රවේශයක් ලෙස වටහා ගැනීමට අපහසු නැතැයි ජිජැක් පවසයි. වීනින්ගර්ට අනුව ලිංගික වෙනස : (Sexual Difference පදනම් වන්නේ විෂය සහ වස්තුව එනම් සක්‍රිය බලශක්තිය සහ අක්‍රිය දෙය : (Active Spirit and Passive Matter) අතර පවත්නා සත්භාවමය ප්‍රතිවිරුද්ධ බව Notological Opposition මතය. එහි දී ස්ත්‍රිය වූ කලී අක්‍රිය වූ පහසුවෙන් පොලඹවා ගත හැකි වස්තුවකි. එහි අර්ථය නම් ඇය මුළුමනින්ම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත් බවය.
Saman Wircramarachchi