එරික් ඉලයප්ආරච්චි
සංවාදය – ලක්‌මාල් බෝගහවත්ත
නවකතාකරුවකු, කවියෙකු, සාහිත්‍ය විචාරකයෙකු වන එරික් ඉලයප්ආරච්චිගේ කෘති ද්වයක් පසුගියදා එළිදැක්‌විණි. ඒ ‘පාද යාත්‍රා’ නවකතාවත්, ‘සුචරිත සිරිත’ නම් කාව්‍ය සංග්‍රහයත් ය. මේ ඒ පිළිබඳ ඔහු සමග වටමඬල කළ සංවාදය යි.
නවකතාව යනු සමාජය පිළිබඳ කල්පිත ආඛ්‍යානයක් නොව සමාජයේ සෘජු පිළිබිඹුවක් නමැති මහාචාර්ය ඒ. වී. සුරවීර ගේ අදහසත් සමග ඔබගේ නවතම නවකතාව වන ‘පාද යාත්‍රා’ සමපාත වන්නේ යෑයි පැවැසුවොත්…
නවකතාව කල්පිත ආඛ්‍යානයක් නොවේ යෑයි පැවැසීම කුරුල්ලෙක් පියාඹන්නේ තටු නිසා නොවේ යෑයි පැවැසීමට සමානයි. එනමුත් කුරුල්ලා කියන්නේ හුදෙක්‌ම එයාගේ අත්තටු දෙක පමණක් නොවෙයි. නවකතාවක ප්‍රබන්ධාත්මකභාවය කුරුල්ලගේ අත්තටු දෙක වගෙයි. ලේඛන අතර නවකතාව විශේෂත්වය ලබා ගන්නේ ප්‍රබන්ධාත්මක එය වියමනක් වන නිසයි. නිරීක්‌ෂණ හැකියාව පරිකල්පන හැකියාව සමග එකතු වුණාමයි ප්‍රබන්ධය බිහිවන්නේ. යථාර්ථවාදය සම්බන්ධයෙන් සිංහල සාහිත්‍ය විචාරය තුළ පැවතුණු සීමාවන් නිසා නවකතාව ප්‍රබන්ධයක් නොව සැබෑ ලෝකයේ පිටපතක්‌ය යන්න තහවුරු කෙරුණා. මෙය සපුරා වැරැදි අදහසක්.
එදිරිවීර සරච්චන්ද්‍ර සිංහල නවකතා විචාරයේදී ඩබ්ලිව්. ඒ. සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ අතර වෙනස තහවුරු කරන ලද ආකාරයේදීම මේ වැරැදි වෙනස ස්‌ථාපිත කෙරුණා. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ කාල්පනික ප්‍රබන්ධ ගුණය මාර්ටින් වික්‍රමසිංහගේ යථාර්ථවාදී නිරූපණය එකිනෙකෙහි ප්‍රතිපක්‌ෂයක් බවට පත්කෙරුණා. මේ මූලික යුගල ප්‍රතිපක්‌ෂ (binary oppositions) තුළදී ප්‍රබන්ධාත්මකභාවය අවතක්‌සේරු කිරීමත්, යථාර්ථය ආලේඛනය කිරීම අධිතක්‌සේරු කිරීමත් සිදු වුණා.
මෙය අපගේ සාහිත්‍ය විචාරයේ ජන්ම දෝෂයක් බවට පත්වීම නිසා යථාර්ථවාදය තහවුරු කෙරුණේ දුර්මත රාශියක්‌ද සමගයි. මේ නිසා තමයි ‘සිංහල නවකතා ඉතිහාසය විචාරය’ ලියූ එදිරිවීර සරච්චන්ද්‍රට කල්පනා ලෝකය ලියන්න සිද්ධ වෙන්නේ. නවකතාකරුවා සිය කල්පනා ලෝකය මැවීමෙන් සාහිත්‍යයෙහි නිරත වන්නෙකි යන ප්‍රවාදය සරච්චන්ද්‍ර එහිදී මතු කරනවා. එවිට මතුවන්නේ එකිනෙකට පරස්‌පර කතා දෙකක්. විචාරයේදී එක් තැනකෘ සාහිත්‍යකරුවාගේ ක්‍රියාකලාපය පැහැදිලි කරද්දී තව තැනකෘ එනමුත් විය යුත්තේ නවකතාකරුවෙක් ප්‍රබන්ධාත්මක ලෙස යථාර්ථය නිරූපණය කරන්නේ කෙසේද යන්න විභාග කිරීමයි. ඒ නිසා අපගේ ගතානුගතික විචාර විඥනය තුළ ප්‍රබන්ධය එක තැනකෘ යථාර්ථ නිරූපණය තව තැනකෘ සාහිත්‍යයෙන් යථාර්ථවාදය ඉල්ලා උද්ඝෝෂණය කරන පුද්ගලයාම නිර්මාණාත්මක මානුෂික පැවැත්මේදී රොමෑන්ටික් වෙනවා. මේ නිසා සිංහල සාහිත්‍ය මනස හරිම දෙබිඩියි. මේ නව යුගයේ නවකතාකරුවෙක් ප්‍රබන්ධාත්මක ගුණය සහ යථාර්ථවාදී නිරූපණය යන දෙකම දෙස බැලීමට තරම් නිර්භීත විය යුතුයි. අවංක විය යුතුයි.
අද නවකතාකරණයේ යෙදෙන සල්මන් රුෂ්ඩි, අමිතාව් ගෝෂ්, උම්බෙර්තෝ එකෝ, ටියා ඔබ්රිහ්ට් වැන්නන්ගේ නවකතාවල ප්‍රබන්ධ ගුණය ඉතාමත් කැපී පෙනෙනවා. යථාර්ථය මෙසේ දැකිය යුතු බවට අණ කරනු ලබන සමාජයන් තුළ ප්‍රබන්ධය එම අණට එරෙහිව යමින් දේශපාලනික හා විමුක්‌තිවාදී කාර්යභාරයක් ඉටු කරනවා. එනමුත් ප්‍රබන්ධය කියන්නේ පල්හෑල්ලක් නොවෙයි. ප්‍රබන්ධය නවකතා ශානරය තුළදී තමාගේ ස්‌වරූපය සොයාගත යුතුයි. ‘පාද යාත්‍රා’ නවකතාව සමපාත වන්නේ එම අදහස සමඟයි.
‘පාද යාත්‍රා’ නවකතාවට පාදක වන්නේ සුනාමි ව්‍යසනය හා සබැඳි කතා පුවතක්. එම විපතට හසුවූ චරිත හතරක් ඔස්‌සේ ප්‍රබන්ධය ගොඩනැඟීමට ඔබ උත්සාහ ගෙන තිබෙනවා. නමුත් ඒ එක් චරිතයක් හෝ පරිපූර්ණ ලෙස ගොඩනැඟීමට සමත් වී නැති බවයි හැඟී යන්නේ…
අද වන විට සිංහල සාහිත්‍ය සමාජය තුළ සම්ප්‍රදායික හා ඒ නිසාම ශාස්‌ත්‍රාලයීය වී ඇති යථාර්ථවාදය පිළිබඳ පටු අදහස ලෙස පවතින්නේ යථාර්ථවාදය දෘෂ්ටිවාදයක් (ideology) ලෙස භාවිත කිරීමක්. ලිවිය යුත්තේ කුමක්‌ද? ලිවිය යුත්තේ කවර ශෛලියකින්ද? ව්‍යාකරණය කෙසේ විය යුතුද? භාෂාවේ ශිෂ්ටත්වය කවර ආකාරයට සුරැකිය යුතුද? යන කාරණා එම දෘෂ්ටිවාදය විසින්ම තීරණය කරනු ලබනවා. යථාර්ථවාදය දෘෂ්ටිවාදයක් කරගෙන ඇති පිරිස කලාත්මක හැඟීම් හා කලාත්මක ඥනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පටු මානසිකත්වයකින්. යථාර්ථවාදය මගින් ඇතිකරන ලද ප්‍රාමාණික ග්‍රන්ථ නාමාවලිය (canon) තුළ අපි අද සිරවෙලා. මේ කැනනීකරණය නිසා නිශ්චිත සම්ප්‍රදායකින් ලියෑවුණු සාහිත්‍ය ග්‍රන්ථ පමණක් අවිවාදිතව පිළිගන්නා මට්‌ටමට පත්වී තිබෙනවා.
මාර්ටින් වික්‍රමසිංහට මුල්තැන ලැබෙන නවකතා කැනනීකරණය, සරච්චන්ද්‍රට පමණක් මුල්තැන ලැබෙන නාට්‍ය කැනනීකරණය, අමරදේවට මුල්තැන ලැබෙන සංගීත නිර්මාණ කැනනීකරණය, ලෙස්‌ටර් ඡේම්ස් පීරීස්‌ගේ සිනමාවට මුල් තැන ලැබෙන සිනමා කැනනීකරණය තුළ විචාර කලාව පොසිලයක්, බුද්ධිමය පොසිලයක් බවට පත්වෙලා. මේ ග්‍රන්ථ නාමාවලීකරණය ඇතිවුණේ සිංහල සාහිත්‍යය සරසවිවල හා පාසල්වල විෂය මාලා ලෙස ඇතුළුවීමෙන් පසුවයි. අදටත් යථාර්ථවාදය පවතින්නේ එම විෂය මාලා අච්චුව තුළයි. යථාර්ථවාදය විවෘත ක්‍ෂේත්‍රයක් ලෙස විවාදයට මාතෘකාවන ක්‍ෂේත්‍රයක් ලෙස නොසැලකීම නිසා සාහිත්‍ය දොaෂයන් දෙකක් සිදුවෙනවා. එකක් නාමාවලීගත යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණ පිළිබඳ විචාරය නතර වෙනවා. අද ‘ගම්පෙරළිය’ ගැන, ‘දෙපා නොලද්දොa’ ගැන, ‘හෙවනැලි ඇද මිනිස්‌සු’ ගැන අලුත් විචාරයන් සිදු වෙන්නේ නැහැ. එනමුත් එමලි බ්‍රොන්ටේගේ ‘වදිරිං හයිට්‌ස්’ ගැන ස්‌ලවෝඡ් ජිජැක් පවා ගැඹුරින් කතා කරනවා. ගම්පෙරළියේ පියල් කොළඹ ගිහින් ධනවතෙක් වෙලා ගමට එනවා. පියල් හිටපු සමාජ තත්ත්වයේ හැටියට ඒක අසාමාන්‍ය, තරමක් දෛවෝපගත සිද්ධියක්. එයින් යථාර්ථවාදී වියමනේ සිදුරක් තැනෙනවා. මේකම ‘වදරිං හයිට්‌ස්’ නවකතාවේ හීත්ක්‌ලිෆ් සම්බන්ධයෙන්ද සිදුවෙනවා. ඔහු වදරිං හයිට්‌ස් නිවස අතහැර දමා ගොස් ධනවතෙක්, මහත්තයෙක් වී ආපසු එනවා. ඒ හිස් තැන තුළ නවකතාවේ වෘතාන්තය චලනය වෙනවා.
අද යථාර්ථවාදය දෘෂ්ටිවාදයක් බවට පත් කරගත්ත ශාස්‌ත්‍රාලයීය හා පාසල් සාහිත්‍ය විචාරය අවසන් වෙලා. ඒ මිනුම් දඬුවලින් කතා කරන්න දෙයක් අද ඉතුරු වෙලා නැහැ. ඔක්‌කොම කතා කර ඉවරයි. දැන් තිබෙන්නේ එක්‌කෝ ඒවා පුනරුච්චාරණය කිරීම, නැතිනම් කිසිවක් කතා නොකර සිටීම. එසේ නැතිනම් පැරැණි විචාර සංකල්ප පුනරුච්චාරණය කරන්න පුළුවන් වන ආකාරයට නවකතා, කෙටිකතා රචනා කරන ලෙස ලේඛකයන්ට බල කිරීම. සරච්චන්ද්‍රයෝ ‘නවකතා ඉතිහාසය හා විචාරය’ මොනතරම් පුනරුච්චාරණය කරල තිබෙනවාද? තවමත් කරන්නේ ඒක කොපි කර විචාරකයා ජීවත්වීම. එම කෘතිය ශේ්‍රෂ්ඨ සන්ධිස්‌ථාන කෘතියක්. ඒක ගැන විවාදයක් නැහැ. ඒත් ඒක ලියවෙන්නේ බොහෝදුරට විශ්ව සාහිත්‍යය තුළ වික්‌ටෝරියානු සාහිත්‍යයත්, ප්‍රාග්-විප්ලවීය රුසියානු සාහිත්‍යයත් පදනම් කරගත් කියවීමක් උඩ. අඩු තරමින් එම යුගයට අදාළ කර ගත යුතු ඡේම්ස් ජොයිස්, ෆ්‍රාන්ස් කෆ්කා පවා ඒ තුළ නැහැ. එය එම විචාරයේ බරපතළ සීමාවක් පමණක් නොවෙයි සිංහල සාහිත්‍යය තුළ යථාර්ථවාදය පිළිබඳ අර්ථකථනයට පැනවුණු සීමාවක්. මාර්ටින් වික්‍රමසිංහ නවකතාංග හා විරාගය නමැති සාහිත්‍ය විචාර කෘතිය මගින් එය තවත් ශක්‌තිමත් කරනවා.
පසුගිය සියවස අවසානයේ හා මේ සියවස මුල් භාගයේ මොන තරම් විශිෂ්ට නිර්මාණ බිහිවුණාද? ඒවා මගින් යථාර්ථවාදයේ සීමා මායිම් පවා වෙනස් කරනු ලැබුවා. විචාරයකදී එම වෙනස්‌වීම් සැලකිල්ලට ගත යුතුයි. අපි ජීවත්වන්නේ පැරැණි ලෝකය තුළ නොවෙයි. අද අලුත් විදේශ සාහිත්‍ය නිර්මාණ කියවමින් දේශීය සාහිත්‍ය විචාරයට ලක් කරන්නේ සමන් වික්‍රමාරච්චි පමණයි. පැරැණි යථාර්ථවාදයට යෝග්‍ය වුණු චරිත නිරූපණය, පරිපූර්ණ ගොඩනැඟීම් පමණක් සාහිත්‍යයෙන් බලාපොරොත්තු වීම වැරැදියි.
නවකතාව, පුද්ගලයාත් සමාජයත්, පුද්ගලයා සමාජයේ නිර්මාණයක් මෙන්ම සමාජය පුද්ගලයාගේ නිර්මාණයක් ලෙස පිළිබිඹු කිරීම මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු අවසන් වූ බව ගුණදාස අමරසේකර පවසනවා. මෙය නූතන සිංහල නවකතාව සමග කෙතරම් දුරට සත්‍යයක්‌ද?
සිංහල නවකතාකරුවකුගේ අද්‍යතන කාර්යභාරය මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය කාර්යභාරයට සීමා කරන්න බැහැ. මිලාන් කුන්දේරාගේ කාර්යභාරය ලියෝ ටොල්ස්‌ටෝයිගේ කාර්යභාරයට සීමා කරන්න පුළුවන්ද? සොලිසිනෙට්‌සින්ගේ කාර්යභාරය ගෝර්කිගේ කාර්යභාරයට වඩා කොයි තරම් වෙනස්‌ද? බෝර්ස් පැස්‌ටර්නැක් පුද්ගලයකු ලෙස වුණත් ඉතා අනතුරුදායක දේශපාලන පරිසරයක් තුළ සාහිත්‍යකරණයේ යෙදුණු පුද්ගලයෙක්. එවකට සමාජය සහ පුද්ගලයා අතර ගෙඩනැඟී තිබුණේ එකිනෙකට අනුග්‍රහය දක්‌වන සමාජ තත්ත්වයක් නොවේ. අනේ මාව නිරූපණය කරන්න කියන අහිංසක සමාජයක් නොවෙයි එතකොට රුසියාවේ තිබුණේ. රුසියානු විප්ලවය විසින් පුද්ගලයා ගිලගැනීමට නියමිතව තිබුණා. ස්‌ටැලින්වාදී පරිහානිය තුළ පුද්ගලයා හා සමාජය අතර හතුරු නපුරු පරිසරයක් නිර්මාණය කර තිබුණා. ජෝශප් ස්‌ටාලින් එක් අවස්‌ථාවකදී බොරිස් පැස්‌ටර්නැක්‌ට දුරකථනයෙන් කතාකරනවා. අත්අඩංගුවට ගෙන, පිටුවහල් කිරීමට හේතු වුණු කවියකුගේ කවි කොයි තරම් පාඨක පිරිසක් අතර පැතිර තිබේදැයි දැන ගැනීමට ස්‌ටාලින් උත්සාහ කරනවා. පැස්‌ටර්නැක් අනතුර වහා තේරුම් ගන්නවා. මෙය පුද්ගලයාත්, සමාජයත් දෙකම අර්බුදයට මුහුණ දුන් අවස්‌ථාවක්. ඒ මධ්‍යයේ ලියෑවෙන සාහිත්‍යය සරල ප්‍රවාදයකට ලඝූ කරනවාට වඩා වැදගත් වන්නේ සාහිත්‍යය පිළිබඳ සිංහල මධ්‍යම පාංතික විඥනය ඉක්‌මවූ දැක්‌මක් කරා ගමන් කිරීමයි.
කවර යුගයක වුවත් සාහිත්‍යය තේරුම් ගැනීමට ප්‍රබන්ධතාව තේරුම් ගැනීම වැදගත්. යථාර්ථවාදී ප්‍රබන්ධතාව පවා හඟවන කේත යනාදිය මගින් ගොඩනැගෙන ආකාරය පෙන්වාදුන් පුරෝගාමී විචාරකයා රෝලන්aඩ් බාර්ත්. යථාර්ථවාදී සාහිත්‍යය වුවත් ප්‍රයෝගාත්මක සංරචනයක්.
වර්තමානයේ ප්‍රමාණාත්මක වශයෙන් වාර්ෂිකව බොහෝ නවකතා බිහි වුවත් ඒවායේ ගුණාත්මක බව පිළිබඳ දැඩි විවේචන තිබෙනවා. ඇතැම් ලේඛක ලේකාවන් වාර්ෂිකව නවකතා ප්‍රකාශයට පත් කරනවා. ඒ සම්මාන උළෙල ඉලක්‌ක කර ගනිමින්. නූතන සිංහල නවකතාව මුහුණපා ඇති මේ ඉරණමට හේතු වූ කාරණා ලෙසින් ඔබ දකින්නේ මොනවාද?
සිංහල නවකතාවේ වර්තමාන මුහුණුවර ගැන මට කියන්න තිබෙන්නේ එය විචාරයට ලක් විය යුතුයි කියන එකයි. ඒ වෙනුවට විචාරකයා, ලේඛකයාට ව්‍යාකරණ උගන්වන්න, සුගම ශිෂ්ට භාෂා විලාස උගන්වන්න යැම කවර සාහිත්‍ය න්‍යායකට එකඟදැයි පැහැදිලි කළ යුත්තේ ඒ භාෂා සුචරිතවාදීන් විසින්මයි. විලියම් බරොස්‌ගේ නේකට් ලන්ච් (Naked Lunch) හෙන්රි මිලර්ගේ ට්‍රොපික් ඔෆ් කැන්සර් (Tropic of Cancer) යන නවකතා අසභ්‍ය භාෂාවෙන් ලියෑවුණු විශිෂ්ට නිර්මාණ. ෆ්‍රාන්ස් කෆ්කා විසින් ලියන ලද ඇමරිකා නවකතාවේ නිව්යෝර්ක් ලෙසින් ලියා තිබෙන්නෙත් වැරැදි ලෙසින්. ලියෝ ටෝල්ස්‌ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ නවකතාව තුළ තිබෙන අතිශය දිග වාක්‍ය හා ව්‍යාකරණ ව්‍යාකූලතා නිවැරැදි නොකර එලෙසම පරිවර්තනය කිරීමෙන් ටෝල්ස්‌ටෝයිගේ අදහස නිවැරැදිව පළ කළ හැකි බව ඇන්තනි බ්‍රිග්ස් පරිවර්තකයා පවසනවා.
අද සිංහල නවකතාව මෙන්ම කවිය ද මුහුණදී සිsටින ප්‍රධාන ගැටලුව තමයි විනෝද සමාජයට අනුගත වීමට කරන භාවාතිශය උත්සාහය. අද ටෙලි නාට්‍යයේ තර්කනය කවිය තුළ හොල්මන් කරනවා. කවියකට භාව මෝචනය පමණක් මදියි. කවිය තුළ පාලනයේ මූලධර්මයක්‌ද ක්‍රියාත්මක විය යුතුයි. එක අවස්‌ථාවකදී කලා ශිෂ්‍යයෙක් පාට පාට කෑම ජාති කා චිත්‍රයකට වමනය කෙරුවා. කැන්වසයේ වර්ණ හැඩතලවලට බොක්‌කෙන් ප්‍රතිචාරය දක්‌වා සජීව ශරීර කලාවක් නිර්මාණය කළා. භාවාතිශය කවියත් ඊට සමානයි.
නවකතාවටත් මෙය අදාළයි. මිලාන් කුන්දේරා ප්‍රකාශ කරනවා. හිමාලය බඳු යෝධ අසම්පූර්ණ සුවිශාලත්වය ඔහු අගය කරන්නේ නැති බව. ඇසට හසුකර ගත නොහැකි තරම් විශාල මාලිගාවක් ගැන මොහොතකට සිතන්න. පැය නවයක් දිග චතුරංග තත් සංගීතයක් (String Quartet) ගැන හිතන්නැයි කුන්දේරා කියනවා. මතකයේ සීමා වැනි මානව විද්‍යාත්මක සීමා හෙවත් මිනිස් සමානුපාතයන් උල්ලංඝනය නොකළ යුතු බව ඔහු පවසනවා. ඔබ නවකතාව කියවා අවසන් කළ විට ඔබට ආරම්භය මතක තිබිය යුතුයි. එසේ නොවුණහොත් නවකතාවට තම රූපය නැතිවෙලා යනවා. එහි ගෘහ නිර්මාණ ව්‍යහ හැඩය අවුල්වෙනවා.
සිංහල නවකතාව එලෙස පරිහානියට පත්වෙද්දී තවත් පිරිසක් නවකතාකරුවා විශ්වයටම ඇමැතිය හැකි අයෙක් විය යුතු යෑයි පවසනවා. සැබෑ ලෙසම සිංහල නවකතාවෙන් විශ්වයටම ඇමැතිය හැකිද?
සිංහල නවකතාව ලෝක සාහිත්‍ය ඉතිහාසයේ උරුමයක් සහ සමකාලීන ප්‍රබන්ධ මාධ්‍යයක් ලෙස තව තවත් ශක්‌තිමත් වනවා විනා පරිහානියට පත්වීමට හේතුවක් නැහැ. යථාර්ථවාදය හුදෙක් දෘෂ්ටිවාදයක් ලෙස කල්පනා කිරීමට මැලිවන්නන්ටයි නූතන යථාර්ථවාදය හරියට තේරුම් ගැනීමට නොහැකිවන්නේ. පියදාස සිරිසේන සිංහල නවකතාවට පැවරූ වගකීම, මාර්ටින් වික්‍රමසිංහ නවකතාවට පැවරූ වගකීම අවසන් විය හැකියි.
ඒ වුණත් නවකතාව කියන්නේ අද සුවිශාල වගකීමක් පැවරුණු මාධ්‍යයක්. එමගින් තමා අවට ලෝකය ප්‍රශ්න කරන්නකවකතාකරුවාට පුළුවන්. එය ඉතිහාසය පමණක් නොව කාව්‍යය, සංගීතය, දර්ශනවාදය, ෆ්‍රැන්ටසිය, ට්‍රොaටාව වැනි දේවල් මිශ්‍ර වන ආකාරයේ මාධ්‍යයක් වීමට පුළුවන්. රබීන්ද්‍රනාත් තාගෝර්ගේ නවකතා දෙස බැලුවොත් පෙනී යනවා ඔහු එය සුවිශාල වගකීම් පැවරුණු මාධ්‍යයක් ලෙස භාවිත කරන ආකාරය. ඔහු ගාන්ධිවාදියෙක් හෝ හින්දු සෘෂිවරයෙක් හෝ මැවීමට නොවෙයි නවකතාව භාවිත කරන්නේ. ‘ගෝරා’ නවකතාව මගින් ඔහු ඉදිරිපත් කරන්නේ ඉන්දියානු නිදහස් සටන සහ ඉන්දියාව තුළ මිනිසාගේ ඉරණම පිළිබඳ උභතෝකෝටිකයක්. ‘තාගෝර්( ආදරවන්තයාගේ කතිකාව’ කෘතියේදී මේ පිළිබඳ මා විභාග කරනවා. සල්මන් රෂ්ඩිගේ ‘මිඩ්නයිට්‌ස් චිල්ඩ්රන්’ කියන්නේ බහු ඓතිහාසික නවකතාවක්. (Polyhistorical
Novel) මයිකල් වුඩ් නූතන සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයන් බොහෝ දෙනකු ගැන, ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්, මිලාන් කුන්දේරා, සැමුවෙල් බෙකට්, ටෝනි මොරිසන් ආදීන් ගැන දීප්තිමත් විවරණ ඉදිරිපත් කළ විචාරකයෙක්. ඔහු පවසන්නේ නවකතා කලාව ද ඇතුළත් වන නූතනවාදය (Modernism) ඉතිහාසය සමග අරගලයක නිරතවී සිටින බවයි.
වර්තමානයත්, ඒ වගේම ඊට මඟ හෙළිකරන ලද ආසන්න අතීතයත් ගැන නූතනවාදී නවකතාකරුවකුට තිබෙන්නේ නොකැමැත්තක්. වර්තමානයට මඟ හෙළි වන්නේ ආසන්න අතීතයෙන්. ආසන්න අතීතය වර්තමානයට සම්බන්ධවන්නේ රේ‚ය ලෙස (Liner time) මගින්. එම නිසා ලතින් ඇමරිකානු ලේඛකයෝ, විශේෂයෙන් මාකේස් මායා යථාර්ථවාදය තුළින් රේ‚ය කාලය බිඳ දමනවා. ඔවුන් මායා යථාර්ථයන් වෙත යන්නේ වර්තමානය හා ආසන්න අතීතය ගැන ඇති නොකැමැත්ත නිසා. ඔවුන් දේශපාලන ඉතිහාසය තුළ විහිදෙන රේ‚ය කාලය මායා ඉතිහාසයේ කාල රාමුව මගින් නවතා දමනවා. මිනිසා බිලිගැනීමට රේ‚ය කාල ප්‍රවාහයට ඉඩ දෙන්නේ නැහැ. එලෙස නවකතාවට විවිධ අවකාශයන් කරා පමණක් නොව විකල්ප කාල රාමු කරාද ගමන් කළ හැකියි.
නවකතාව සඳහා අනුභූතියක් අනවශ්‍ය බවත්, එලෙස අනුභූතියක් අවශ්‍ය වනුයේ ගතානුගතික යථාර්ථවාදී රීතියේ එල්ලී නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන්ට බවත් පශ්චාත් නූතනවාදීන්ගේ අදහසයි. එය සත්‍යයක්‌ද?
අනුභූතියකින් තොරව ලියෑවෙන්නේ බාල නවකතා පමණයි. නූතන සමාජය තුළ මිනිස් පැවැත්ම හා එහි සංකීර්ණතා විභාග කිරීම සඳහා ලේඛකයාට ඒ පිළිබඳ අනුභූතීන් තිබීම අවශ්‍ය වෙනවා. අනුභූතියක් ඇතිවෙන්නේ සවිස්‌තරාත්මක දැක්‌මකට වඩා හැකිලීමක් ලෝපයක් (ellipsis) හැලීයැමක් තුළින්. මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරලිය’ රචනා කරන්නේ සවිස්‌තරාත්මක තත්කාලීන ඉතිහාසය කිසියම් පුවතක් දක්‌වා සරල කිරීමට, සාරාංශ කිරීමට සමත් වීමෙන්. කුන්දේරා පවසන්නේ එසේ නොවුණහොත් ලේඛකයා කෙළවරක් නැති දිග නමැති උගුලේ පැටලෙන බවයි. නවකතාකරුවකුට අනුභූතියක් කියන්නේ එලෙස ඉතිහාසය, ජීවිතය, පැවැත්ම හකුලා ගැනීම සඳහා පරිකල්පනය මගින් ලබාදෙන අවස්‌ථාවටයි.
ඔබගේ නවතව කාව්‍ය සංග්‍රහය වන ‘සුචරිත සිරිත’ ආඛ්‍යාන කාව්‍යය ක්. එයට ප්‍රස්‌තූත වන්නේ මෙරට සිsටි කීර්තිමත් සාහිත්‍යධරයෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්. ඒ පිළිබඳ යම් හැඳින්වීමක් කළොත්…
‘සුචරිත සිරිත’ දීර්ඝ පරිකල්පනාත්මක ආඛ්‍යාන කාව්‍යයක්. ඒ අතින් එය සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ දීර්ඝ කාව්‍යයන් වන වෙස්‌සන්තර කාව්‍යයට, යසෝදරා වතට හා සංදේශ කාව්‍යයන්ට වගේම පියසමර, ගුරුළුවත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ වැනි කාව්‍යයන්ටත් සමාන වෙනවා. විශ්ව සාහිත්‍යයෙහි අපට ටී.එස්. එලියට්‌ගේ වේස්‌ට්‌ලන්ඩ්, වික්‍රම් සෙත්ගේ ගෝල්ඩන් ගේට් හමුවෙනවා. වික්‍රම් සෙත්ගේ කෘතිය පද්‍යයෙන් ලියූ නවකතාවක් ලෙස සැලකෙනවා.
‘සුචරිත සිරිත’ වෙනුවෙන් භාවිත කර තිබෙන්නේ සිංහල සංදේශ කාව්‍යයන්ගේ කාව්‍ය ආඛ්‍යාන ව්‍යහයයි. සංදේශ කාව්‍යයේ දූත පක්‌ෂියා මෙන් කාව්‍ය නායකයාද විවිධ අත්දැකීම්, සමාජ තල, කාල වකවානු ඔස්‌සේ සොක්‍රටීසියානු මරණයක් දක්‌වා ගමන් කරනවා. මෙය මේ යුගයේ කැපවුණු සෞන්දර්යවේදියකුගේ දුෂ්කර සංචාරයයි. එය සම්භාව්‍ය භාෂා සාහිත්‍ය පඬිවරයකුගේ සිට නූතනවාදය දක්‌වා ගමන් කරන සූධීමතෙකුගේ බොහිමියානුවකුගේ විවාදාත්මක ගමන් මඟයි. එනමුත් එය ප්‍රශස්‌තියක් නොව නවකතාවක් වැනි කෘතියක්. එහි කාව්‍ය නායකයාගේ චරිතය නවකතාවක චරිතයක්. ත්‍රිමාණ චරිතයක්. ඕනෑම ආඛ්‍යාන කාව්‍යයක් විසින් ඉල්ලා සිටින්නේ එවැනි සංකීර්ණ චරිත නිරූපණයක් විනා ප්‍රශස්‌තියට භාජනය වන පරමාදර්ශී චරිතයක් නොවෙයි.
සුචරිත සිරිතේ කලාත්මක තෘක්‌ෂණය නවකතාමය බහුශාබ්දිකතාව (Novelistic Polyphony) ලෙස හඳුන්වන්න පුළුවන්. එහි විවිධ යුග, වකවානු, විවිධ භාෂා, ලෝක, විවිධ ජීවන ගැටලු, ප්‍රසංවාදය වෙමින් සංගීත සංවනියක් සේ ගොඩනැඟෙනවා. නොනවතින ගමන හා සංචාරය මෙහි ප්‍රධාන රූපකයි. සිංහල සංදේශ කාව්‍යය ප්‍රපංච විද්‍යාත්මක ලෙස ගවේෂණය කළ හැකි ශ්‍රේෂ්ඨ කාව්‍ය මාලාවක්. පක්‌ෂියකුගේ ගමන මගින් බහුපාරිසරික ප්‍රපංච එකට එකතු කරනවා. සිංහල සංදේශ ලියෑවෙන්නේ රාජධානි පැවැත්ම දේශපාලනිකව තර්ජනයට පත්වුණු වකවානුවක. එය නූතනවාදී අනුභූතියක්. ‘සුචරිත සිරිත’ සංදේශයක්. එහි දූතයා විචාරකයෙක්.
Divaina