වයස අවුරුදු 90 ක් ආයු වැළඳු සිරිසේන කුරේ මහතා මිය ගියේ ය. ඔහු පිළිබඳව ඇති තරම් දේශපාලන සාහිත්‍යය තුළ මිථ්‍යා වපුරා ඇත. නමුත්, කිසිවෙකු ඔහු ගැන විශ්ලේෂණයක් සිදු කර නැත. 87-89 දකුණේ සිවිල් යුද්ධය පැවති සමයේ, ඔහුගේ කාර්යභාරය තක්සේරු කරන්නේ කෙසේද? 87 වර්ෂයේ සිටම, ජේ. ආර් ජයවර්ධන රෙජීමයට රටේ සිවිල් යුද්ධය පාලනය කර ගැනීමට නො හැකි විය. ඊට හේතුව වූයේ, සිවිල් යුද්ධයේ දේශපාලන මානය වටහා නො ගැනීමයි. 89 වර්ෂයේ මුල ආර්. ප්‍රේමදාස ජනාධිපති වූ අතර එම වර්ෂයේම අග දී, විජේවීර සහ ගමනායක ඝාතනය විය. ඉන්, දකුණේ සිවිල් යුද්ධය අවසන් විය.
ලංකාවේ දේශපාලන පක්ෂවලට ඇති ලොකුම අභියෝගය වන්නේ, ඇත්තටම දේශපාලනය කරන්නේ කවුද යන්න හඳුනා නො ගැනීමයි. උදාහරණයක් ලෙස, සිවිල් යුද්ධයේ දරුණුතම අවධිය වූ 89 වර්ෂයේ දී, සිවිල් යුද්ධයේ මතවාදී මෙහෙයුම්කරුවා රන්ජන් විජේරත්න මහතා බවට ප්‍රචලිත විශ්වාසයක් එවකට මහජනයා අතර පැවතිණි. අරගලයේ අනෙක් පාර්ශවය වූ ජනතා විමුක්ති පෙරමුණ ද එය විශ්වාස කළේය.
සිංහල ජාතිය දෙකට බෙදී සිදු කළ දකුණේ සිවිල් යුද්ධයේ දී, මතවාදී යාන්ත්‍රණය හැසිරවීම පහසු වූයේ නැත. රට පුරා කඳවුරු විවෘත කර තැනින් තැන මුරපොළවල් විවෘත කිරීමෙන් ඵලක් නැති බව, 89 වන විට ප්‍රේමදාස රෙජීමයට අවබෝධ විය. තැනින් තැන සිදුවන හුදෙකලා සිදුවීම් මැඩ පැවැත්වීම ද නිශ්ඵල විය. වැඩ වර්ජන අක්‍රීය කිරීම ද ඵලක් නොවීය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, ‘Ops Combine’ නමින් අලුත් මධ්‍යස්ථානයක් පිහිට වීය. එය, ”ඒකාබද්ධ අණදෙන මධ්‍යස්ථානය” නමින් හැඳින්වීය. එහි හමුදා නායකත්වයට, මේජර් ජෙනරාල් නෝමන් වෛද්‍යරත්න පත්වූ අතර දේශපාලන අධිකාරිය බවට පත් වූයේ, රන්ජන් විජේරත්න ය. ඔවුන් දෙදෙනාගේ මූලික උපාය වූයේ, ‘කුඩා කණ්ඩායම්’ (Small Teams) යොදා කැරැල්ල මර්දනය කිරීමයි. එහිදී, පැජරෝවක කෝප්‍රල්වරයෙක් සමඟ සෙබලු 4 දෙනෙක් ඉබාගාතේ මං මාවත්වල ගමන් කරන ලද අතර සැක කටයුතු අය අත්අඩංගුවට ගන්නා ලදී. ‘චූලානන්ද සමරණායක සහෝදරයා’ වසරකට සැරයක් තම මතකය හැටියට ලියන්නේ, මෙවැනි සිදුවීමකි. මෙම අදහස, ඇමරිකානු යුධ හමුදා ඇකඩමියේ උගන්වන ප්‍රතිත්‍රස්තනායක උපායකි. එහි දී කරන්නේ, රාජ්‍ය විරෝධීන්ගේ පහළ සාමාජිකයන් බිය වැද්දීමයි. නමුත්, එමඟින් සමාජයක් බිය වන්නේ නැත.
සමාජයක් බිය වැද්දීම සඳහා දේව නීතිය හෝ මිනිස් නීතිය හෝ අදාළ නැත. ඒ සඳහා, යක්ෂ නීතියක් සොයා ගත යුතු ය. මේ නීතිය සොයා ගත්තේ, සිරිසේන කුරේ විසිනි. ඔහුගේ එම න්‍යාය ඔහු හැදින්වූයේ, ”දියමන්ති වලින් දියමන්ති කැපීම” යන නමිනි. ඔහු එය කළේ, භාෂාවෙනි- යමක් විනාශ කළ හැක්කේ එම දෙයම පාවිච්චි කිරීම තුළිනි. ජෙනරාල් වෛද්‍යරත්න ඇතුළත්ව මිලිටරි බුද්ධි අංශය සහ සිරිසේන කුරේ දවසම මධුවිත පානය කරමින් කරන ලද්දේ, අල්ලා ගන්නා ලද මධ්‍යම මට්ටමේ නායකයන් එක් ‘අයෙකු’ අනෙකා ගැන නොකී කතා ඔහුට කියා ඔහුගේ සිත චංචල කිරීමයි. එමඟින්, ඔවුන් කෙටි කලෙකින් දාමයේ ප්‍රධාන ඉත්තන් වෙතට ප්‍රවේශ විය.
සිරිසේන කුරේ හොඳින් වටහාගෙන තිබුණේ, මිනිසා යනු, මනෝවිද්‍යාත්මක සතෙකු නොවන බවයි. මිනිසාගේ අවිඥාණය අනෙකාට සම්බන්ධ නිසා, ඔහු හෝ ඇය ඒ කෙනාගේ අනෙකාට ආශාවෙන් සහ ආදර්ශයෙන් සම්බන්ධ බවයි. එවිට, මිනිසා යනු, ගෘහයක් නොව අන්තර්ජාලයකි. උදාහරණයක් ලෙස, කොළඹ සන්නද්ධ නායකයා වූ [89]කදුරුපොකුණ, තමන්ගේ සමීපතයා වූ D. M ආනන්දව පාවා නොදෙන බව වෛද්‍යරත්න සහ කුරේ දැන සිටියහ. ඒ නිසා, ඔවුන් කළේ, කදුරුපොකුණට D. M ගැන එහෙන් මෙහෙන් ලද තොරතුරු කිහිපයක් මුදා හැරීමයි. ඒ අතර, D.M. ගේ ස්ත්‍රී ගැටලුවක් ද යොදා ගනු ලැබීය. උපාය හරි ගිය අතර, D. M .දැලට හසු වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. අද මා මේ ගැන කියනතුරු, ජවිපෙට ඒ ගැන විශ්ලේෂණයක් නොතිබූ අතර විහිළුවකටවත් සන්නද්ධ වීමට සිතන්නේ නැත.
ඕනෑම වාමාංශිකයෙකුට සහ ප්‍රගතිශීලී බුද්ධිමතෙකුට අනුව සිරිසේන කුරේ යනු, සරලමතිකයෙකි. ජවිපෙ ඇතුළුව පොදුවේ යථාර්ථයට වශී වූ බුද්ධිමතුන්ට මගහැරී ගිය සත්‍යය කුමක්ද? ජවිපෙ නායකයාට පමණක් නොව, ‘බෲස් කැප්ෆෙරර්’ වැනි මානව විද්‍යාඥයෙකුට පවා සිංහල චින්තනයේ තැනුම් ඒකකය ගැන වැරදුනේ කුමක්ද?
ජවිපෙ නායකයාට අනුව, යුධ හමුදාව ඇතුළුව රජයේ මර්දන උපකරණ තුළ වැඩ කරන මිනිසුන් අවසන් විග්‍රහයක දී හදවතෙහි තෙතමනයක් සහිත බෞද්ධ හැදියාවකින් යුතු මිනිසුන් ය. කැප්ෆෙරර්ට අනුව, බෞද්ධයා තම කෲරත්වය උපුටන්නේ කුඩා කාලයේ දකින පන්සල්වල වධ දෙන චිත්‍ර සහ මූර්තීන් (කටු ඉඹුල) හරහා ය. එම නිසා, අවසානයේ සිදු වන්නේ බෞද්ධයාට බෞද්ධයා සම්මුඛ වීමයි.
ජවිපෙ නායකයාගේ සහ සබුද්ධික මානව විද්‍යාඥයාගේ ප්‍රවාද මනස්ගාත කරමින් සිරිසේන කුරේ (මෙයට තවත් සාධකයක් එකතු කළ යුතු ය. සිරිසේන කුරේ යනු, කලක් කොළඹ චිත්‍රපට ශාලාවල සිටි කළමණාකරුවෙකි. ජවිපෙ ග්‍රාමීය තරුණයාව විනාශ කිරීමට ඔහු යොදා ගත්තේ, බටහිර චිත්‍රපට නැරඹූ ග්‍රාමීය තරුණයෙක්ම ය.) සහ ජෙනරාල් වෛද්‍යරත්න අපට පෙන්වා දුන්නේ, ග්‍රාමීය සිංහල පිරිමියාගේ ඥාණ විභාගය සකස් වන්නේ, බටහිර යුධ චිත්‍රපට, රහස් පරීක්ෂක කතා, පළිගැනීම සහ වධ දීම පිළිබඳ ගොපලු චිත්‍රපට මගින් බවයි. ඒ අනුව, කිසිදු ජාතිවාදියෙකු නොවූ සිරිසේන කුරේ 80 දශකයේ ජාතිවාදය පරාජය කරන ලද්දේ, බටහිර චින්තනය හරහා ය. එම නිසා, ඔහුගේ ජාතිවාදයට එරෙහි කෲරත්වය රෝග ලක්ෂණාත්මක[pathological] එකක් නොව දියුණු දෘෂ්ටිවාදයකි.
නොවැම්බර් මාසයේ ජවිපෙ නායකත්වය විනාශ වූ වහාම, Ops Combine ආයතනය විසුරුවා හරින ලද්දේ, ප්‍රේමදාස රෙජීමයට ජනතා ආකර්ෂණය ලබාගත හැකි වැඩසටහනක් එවකට තිබූ නිසා ය. 2009 වර්ෂයට පසුව, රාජපක්ෂලාට නැති වූයේ මෙවැනි දේශපාලන වැඩසටහනකි. ඒ වෙනුවට, ඔවුහු ඒ තැනට තමන්ගේ ‘පවුල’ ආදේශ කරන ලදී. ඉන්, රට විනාශ විය.
56 යනු, පරාජයක් යැයි කිවූ සිරිසේන කුරේ මිය යන විට ඔහුගේ පක්ෂය ද ලිබරල්වාදය නිසා මිය ගොස් තිබුණි. 80 දශකයේ ‘සාංදෘෂ්ටිකවාදය’ (වාස්තවික සහ විශ්ව සාධාරණ සාරධර්ම නැතැයි ද, ක්‍රියාවෙන් සහ සෑම මොහොතක්ම පූර්ණ වශයෙන් සහ වගකීමෙන් ජීවත් වීමෙන් එක් එක් පුද්ගලයෙකු තමාට සාරධර්ම මවා ගත යුතු යැයි ද අදහන මතවාදය) නව සහශ්‍රකයේ දී මිය ගොස් ඇත. දැන් රජ කරන්නේ, විපරිතතාවය යි. අපට ඇති අනාගත අභියෝගය වන්නේ, සිරිසේන කුරේලා නැති ලොවක ජාතිවාදයෙන් තොර දුප්පතුන්ට සහන සලසන නව සාංදෘෂ්ටිකත්වයක් බිහි කර ගන්නේ කෙසේද යන්නයි.
Deepthi kumara Gunarathne
අප සමග එකතු වන්න!
=======================