Nirmal Question-

මගේ මිත්‍ර මහාචාර්ය සුමනසිරි ලියනගේ සණස පුද්ගලික විශ්වවිද්‍යාලයේ වැඩකරයි. ඔහු එහි හුදෙක් රැකියාවක් කරනවා පමණක් නොව එහි කටයුතු උත්කර්ශයට නංවනු ලබයි. මට එය ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය සමගයි. ඔහු වරක් මටද එහි බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස පැමිණෙන ලෙස ආරාධනා කලේය. මා එය අධ්‍යාපනය වාණිජකරණය කිරීමට එරෙහි ව්‍යාපාරය කෙරේ දේශපාලන වශයෙන් ගැටලුවක් විය හැකිබැවින් ප්‍රතික්ෂේප කලෙමි. දැන් සුමනසිරි ලියනගේ අවිවිශිබමය සමග කිට්ටුවෙන් වැඩ කරයි. මට ඔවුන්ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නය පුද්ගලික විශ්වවිද්‍යාලයක කටයුතු උත්කර්ශයට නංවමින් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන කෙනෙක් සමග අධ්‍යාපනය වාණිජකරණයට එරෙහි ව්‍යාපාරයේ නියැලීම විස්තර කරන්නේ කෙසේද යන්නයි. මේ සම්බන්ධය පසුපස ඇති තර්කය එහි තාර්කික අන්තයට ගෙනගියහොත් තත්වය කෙසේද? සණස විශ්වවිද්‍යාලයට සුමනසිරිගේ ඇති සම්බන්ධයට අදාළව අවිවිශිබමට ඔහු සමග විවේචනාත්මක සාකච්ඡාවක් තිබේද? ධනේශ්වර ක්‍රමය තුළ හැමකෙනෙකුටම කිසියම් රැකියාවක් කිරීමට සිදුවේ වැනි තුට්ටු දෙකේ පිළිතුරු වලින් මට වැඩක් නැත. මා කතා කරන්නේ ඒ ගැන නොවේ.

Answer –

 

ඉහත දී දේවසිරි විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිණත න්‍යායචාර්යවරා ලෙස සැළකෙන ආචාර්ය සුමනසිරි ලියනගේ මහතාට හක්ක පනින ප්‍රශ්නයක් යොමුකර ඇත. මේ ප්‍රශ්නයට කිසිදු ලිබරල් පිළිතුරක් අදාළ නැත. ඊට අදාළව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් ගොනු කරනු ලැබූ භෞතිකවාදී දයලෙක්තික පිළිතුර පහතින් දැක්වේ.
නිර්මාල් රන්ජිත් දේවසිරිගේ ඉහත අභියෝගය දුටුවිට සිහියට නැගෙන්නේ සීතාම්බර පට කථාවයි. තමා හෙලුවෙන් සිටින බව තවම දේවසිරි වටහාගෙන නැත.
කෙනෙකු දේවසිරිගෙන් ඇසිය යුත්තේ ඔහු වැඩකරන කොළඹ විශ්ව විද්‍යාලය ධනවාදී විශ්ව විද්‍යාලයක් ද නැද්ද යන්න පමණි.
දේවසිරිගේ අවිඥාණය අපට පවසන්නේ, සුමනසිරි ලියනගේ වැඩකරන සණස පෞද්ගලික විශ්ව විද්‍යාලය ධනවාදී විශ්ව විද්‍යාලයක් වන අතර, එවැනි පෞද්ගලික විශ්ව විද්‍යාලයක වැඩ නොකර කොළඹ විශ්ව විද්‍යාලය වැනි රාජ්‍ය විශ්ව විද්‍යාලයක වැඩකරන තමන් (දේවසිරි) පරමාදර්ශී චරිතයක් වන බව නොවේ ද ?
නිර්මාල් දේවසිරි නැමැති නෙලුම් මල මඩ ගොහොරක් නැතිව විකසිත වී ඇත. විප්ලවීය බඹරුන්ට එහි රොන් ගත හැකිය.

මඩ ගා ගන්නේ නැතිව අහසට යොමු වූ නිර්මාල් දේවසිරි නැමැති නෙලුම් මල ගැන න්‍යායිකව ද යමක් සටහන් කළ යුතුය.
තමන්ට ධනවාදය පිළිබදව පරම චිත්‍රයක් ඇතැයි සිතන පුද්ගලයන්ට ද මෙම සටහන හරහා අපි මතක හිටින පාඩමක් උගන්වන්නෙමු. ධනවාදය තුළ එක කොටසක් ස්වභාවික කරන ( එනම් ධනේෂ්වර පන්ති අධිපති පාක්ෂික රාජ්‍ය යන්ත්‍රයේ ධනවාදී ස්ථාපිතයක් වන රාජ්‍ය විශ්ව විද්‍යාලය ‘ධනවාදී – ස්වභාවික‘ කරවන දේවසිරි සණස පෞද්ගලික විශ්ව විද්‍යාලය ‘ධනවාදී – සංස්කෘතික‘ කර ඇත.)
ධනවාදය තුළ තව කොටසක් ස්වභාවික කරන දේවසිරි තමන්ගේ විඥාණ සමස්ථය තුළ වස්තුවක් කරවන සණස විශ්ව විද්‍යාලය සළකන්නේ බාහිර යමක් ලෙසයි. ඔහුට අනුව සාරාත්මක ධනවාදය සහ අපගේ විඥාණය වෙනුවෙන් පෙනී සිටින ධනවාදය යනුවෙන් ධනවාද වර්ග දෙකක් ඇත. මින් එකක් ඉහළට ඔසවන ඔහු අනෙක නිෂේධනය කරවයි. ඔහුගේම විඥාණය තුළ පවතින එක් චින්තන ප්‍රවර්ගයක් තවත් චින්තන ප්‍රවර්ගයකට එරෙහිව සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස ගොඩනගයි. මේ දෙකම ඔහුගේ විඥාණ සමස්ථයේ මනෝ මූලිකත්වයක් සහ වාස්තවිකත්වයක් බව ඔහු අවබෝධ කරගෙන නැත. 
ගොබ්බ ගෝලයන් ලවා බුද්ධිමය චන්ඩිපාට් දමන මේ යක්කල පහළ මැදපන්තිකයාට යථාර්තයේ එක කොටසක් ස්වභාවික වී අනෙක් කොටස සංස්කෘතික වීම ගැන දයලෙක්තික විග්‍රහයක් නැත.
ලංකාවේ පහළ මැදපන්තිකයන්ට ඉහළට නැගීමේ ඉණිමගක් ලෙස ලොතරැයි දිනුමක් දී ඇති මෙරට විභාග ක්‍රමය සහ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සමකාලීන ගෝලීය ප්‍රාග්ධනය හමුවේ අභියෝගයට ලක්වීම ඇරඹී ඇත. ග්‍රාමීය මධ්‍ය මහා විද්‍යාල වලින් විශ්ව විද්‍යාල සදහා තෝරාගැනෙන බයියන් තවදුරටත් මේ ධනවාදී සමාජ ක්‍රමයට අවශ්‍ය නැත.
 
ධනවාදයේ එක කොටසක් ස්වභාවික කිරීම හරහා ගොඩනැගීමට උත්සහ කරන දේවසිරිගේ මෙම විඥාණවාදී විසදුම දේශපාලනය සංස්කෘතියට ඌණනය කිරීමක් පමණි. 
Susantha

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. කොළඹ ඉගෙන ගත්තු මාත් ධනපතියෙක් ද බං ?

  2. ධනවාදී උනත් නොවුනත් වැඩේ හරියට වෙනවානම් කමක් නෑ නේද? පහුගිය දවසක මට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න උනා දේශනයකට. ප්‍රශ්ණ / සාකච්ඡා වෙලාවෙදි කවුරුවත් ප්‍රශ්ණයක් වත් අදහසක් වත් ඉදිරිපත් කලේ නෑ. අවසාන වෙලා එනකොට අදාල කථිකාර්ය වරයා මට කියනවා”ඔහොම තමයි අපේ විශ්ව විද්‍යාල ලමයි” කියලා. ඒක ලමයින්ගෙ වැරැද්දද නැත්නම් සමස්ථ ‘ධනවාදී’ නොවන විශ්ව විද්‍යාලවලට පොදු දෙයක්ද කියලා ද කියලා කවුද දන්නෙ.

  3. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය (අවිවිශිබම) ගැන මට ඇති ප්‍රශ්නය, එය, සිසුන් ගෙන් මුදල් අය කරන තැනක රැකියාවක් කරන අයෙකු සමග කිට්ටුවෙන් වැඩ කිරීම හා සම්බන්ධ ප්‍රශ්නයකට වඩා, එය, විශ්ව විද්‍යාලයක කළමණාකරණ පීඨයක් ස්ථාපිත කරවා ගැනීම සඳහා සටන් කිරීම හා සම්බන්ධ ප්‍රශ්නය කි.

    තමන් ක්‍රම විරෝධීන් යැයි කියා ගන්නා කණ්ඩායමක්, මහජන මුදලින් නඩත්තු කෙරෙන විශ්ව විද්‍යාලයක කළමණාකරණ පීඨයක් ඇරඹිය යුතු යැයි කියන්නේ නම්, ඉන් පෙනෙන්නේ, එක්කෝ, ඔවුන් ගේ ක්‍රම විරෝධය ව්‍යාජයක් පමණක් බවයි; නැති නම්, ලෝකය ගැන, ධනවාදය ගැන, ඔවුන් එරෙහි යැයි කියන ක්‍රමය ගැන, ඔවුන් ට ඇති දැනුමේ දුප්පත් කමයි.

    ක්‍රමය පවත්වාගෙන යාම සඳහා බෙහෙවින් උදව් වන මෙහි http://www.forbes.com/business-schools/list/ දැකිය හැකි, A grade B schools ලෙසින් ජනප්‍රිය, දියුණු රටවල ඇති බිස්නස් ස්කූල්ස් හී තුන්වන පන්තියේ කාබන් පිටපත් පමණක් වන කළමණාකරණ පීඨ (මේවා තවමත් අප රටේ මැනේජ්මන්ට් ෆැකල්ටීස් ලෙස හැඳින්වුනත් මේවා බිස්නස් ස්කූල්ස් ලෙස නම් වෙනස් වීමට තව මහ කාලයක් ගත වන්නේ නැත.), මෙරට විශ්ව විද්‍යාල වල ස්ථාපිත කිරීමෙන්, ක්‍රම විරෝධීන් බලපොරොත්තු වන්නේ, අප රටේත් බොස්ටන් කන්සල්ටින් ගෲප් වැනි ඒවා (ඒවායේ තුන්වන පන්තියේ කාබන් පිටපත්) බිහි වනවා දැකීම ද? එවිට ක්‍රමය බිඳ වැටෙයි ද? නැතිනම් ක්‍රමය තව තවත් තහවුරු වෙයි ද? මෙම කළමණාකරන පීඨ වලින් ක්‍රම විරෝධීන් පිට වෙනවායි අවිවිශිබම ය අවංකවම සිතනවා ද? මෙම කළමණාකරන පීඨ වල ඉගෙන ගන්නා හැම එකාගේම සිහිනය, ස්ටීව් ජොබ්ස් කෙනෙකු (ඔහුගේ තුන්වන පන්තියේ කාබන් පිටපතක්) වීම වන අතර මේ කළමණාකරන පීඨ වල ස්ටීව් ජොබ්ස්, රිචර්ඩ් බ්‍රැන්සන්, ජැක් වෙල්ච්, ආදීන් ව දේවත්වයෙන් වීරාභිවන්දනය කෙරෙයි. ඒක නම්, පුදුම ක්‍රම විරෝධයක් තමයි!

    මෙම කළමණාකරණ පීඨ වලින් පිටවෙන අය ක්‍රමය පවත්වාගෙන යාමට දායක වුවත්, ලෝකයේ අන් රටවල ඉගෙන්වෙන දෑ අප රටේ විශ්වවිද්‍යාලවලත් ඉගැන්විය යුතු යැයි අවිශිබිම ය සිතනවා ද? නො එසේනම්, කළමණාකරන පීඨ වලින් පිටවන අයත් අවසානයේ දී වැටුප් ශ්‍රමිකයන් / සුදු කරපටි නිර්ධනයන් බවට පත් වෙනවා, ඒ නිසා ගැටළුවක් වෙන්නෑ, යනුවෙන් සිතනවාද? සමාජවාදය ගොඩනැගීමේ දී කළමණාකරන දැනුමත් අවශ්‍යයි, එම නිසා දැන් කළමණාකරණය උගන්වා සමාජවාදයට යන විට දී අවශ්‍ය දැනුම අරගෙන අනවශ්‍ය දැනුම බැහැර කරනවා, යැයි සිතනවා ද? අවිවිශිබම ය සිතන්නේ මේ ආකාරයට නම්, ඔවුන්, ඔවුන් ම ඉල්ලන පේරාදෙනියේ කළමණාකරණ පීඨයෙන් පිටවන ලෝකල් ස්ටීව් ජොබ්ස් ලා ගේ හාස්‍යට ලක්වීම වැළැක්වීම අපහසු වෙනවා.

    කොළඹ විශ්විද්‍යාලයේ දැන් කලෙක සිටම කළමණාකරන් පීඨයක් ක්‍රියාත්මක වෙයි. මේක වහන්න කියලා නිර්මාලුත් කියන්නේ නෑ. 6% ක් ම ඉල්ලනවා මිසක්. කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වහන්න කියලා නිර්මාල් නො කියන්නේ, තියෙන එක දැන් ඔහෙ තිබිච්චාවේ කියන තේරුමින් නෙමෙයි. කිසියම් ආණ්ඩුවක් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨය වසා දැමීමට කටයුතු කළොත්, ඒකට, නිර්මාල්, අවිවිශිබිම, සුමනසිරි ලියනගේ, ආදී බොහෝ දෙනෙක් විරුද්ධ වෙනවා දැකගත හැකි වෙනවා ඇත.

    ලෝකයේ සෑම කළමණාකරන පීඨයකම, බිස්නස් ස්කූල් එකකම, ෆ්ලෑග්ශිප් කෝස් එක වන MBA පාඨමාලාව කොළඹ විශ්ව විද්‍යාලයේ, කළමණාකරන පීඨයේ ද තිබෙයි. MBA පාඨමාලා සහ MBA කාරයින් ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. MBA ශිෂ්‍යයන් ගේ ඇත්තේ ශාස්ත්‍රෝද්ග්‍රහනයේ අරමුණ නොවෙයි. එසේනම් ඔවුන් හැදෑරිය යුත්තේ MBA පාඨමාලාවක් නොව MSc in Management පාඨමාලවකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ MSc in Management පාඨමාලාවක් තිබෙනවා. MSc in Management පාඨමාලාවක්, MBA පාඨමාලාවකට වඩා ක්‍රමයට මුක්කු ගැසීම අඩුවෙනුත්, ශාස්ත්‍රෝද්ග්‍රහණය වැඩියෙනුත් කරනවා. MBA පාඨමාලාවක, MSc in Management පාඨමාලවක ට වඩා ශාස්ත්‍රීය පැත්ත අඩුයි. ඊයෙ පෙරේදා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨය Executive MBA පාඨමාලාවක් ද ඇරඹුවා. Executive Programmes වල ශාස්ත්‍රීය පැත්ත තවත් අඩුයි. හැබැයි සියේට හයේ මහත්තයා නිහඬයි.

    කළමණාකරන පීඨ වසා දැමීම පැත්තකින් තියමු. කළමණාකරන පීඨවල දැනට පවත්වාගෙන යන MBA පාඨමාලා නවත්වලා ඒ වෙනුවට MSc in Management පාඨමාලා පටන් ගැනීම වෙනුවෙන් අවිවිශිබම පෙනී සිටිනවා ද? නිර්මාල් පෙනී සිටිනවා ද? නැතිනම් මහජන මුදලින් 6% ක් වෙන් කරන්නේ ක්‍රමයට මුක්කු ගැසීමට ත් එක්ක ද?

    නිර්මාල් කියන්නේ තමන් අධ්‍යාපනය වාණිජකරණය කෙරෙනවාට එරෙහි බවයි. එහිදී ඔහු අධ්‍යාපනය වාණිජකරණය කිරීම යනුවෙන් අදහස් කරන්නේ ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කිරීම (වැනි දේ) පමණ ද නැතිනම් අධ්‍යාපන පාඨමාලා වාණිජ ඉල්ලුමක් (ඉන්ඩස්ට්‍රි ඩිමාන්ඩ්) ඇති ආකාරයට සකස් කිරීම (වැනි දේ) ට ත් නිර්මාල් එරෙහි ද යන්න මම නොදනිමි. අප රටේ ශාස්ත්‍ර පීඨ වල සිංහල භාෂා සිසුන් ගේ සිංහල විෂය පථය අඩු කිරීම ත් ඒ වෙනුවට රැකියා වෙළඳපොළේ ඉල්ලුමක් ඇති පරිගණක, අළෙවිකරණ, ආදී දේ ඉගැන්වීමත්, සිංහල ස්පෙෂල් කරන එකාට ඇඩ්වර්ටයිසින් කොම්පැනියක කොපි ලියන්නෙකු හෝ වීමට අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකකුත් ඉගැන්වීමත් දැන් බොහෝ විශ්වවිද්‍යාල වල කෙරෙනවා. ශාස්ත්‍රෝද්ග්‍රහණයට කෙළවෙන, ක්‍රමය තහවුරු වීමට හේතුවන, මේ වැඩවලට නිර්මාල් එරෙහි ද යන්නත් මම නොදනිමි.

    නිර්මාල ඒවාට එරෙහි නම්, කළමණාකරන පීඨවල දැනට ඇති MBA / EMBA පාඨමාලා, MSc in Management පාඨමාලා බවට පත් කල යුතුය යන ස්ථාවරය ගැනීමට නිර්මාල්ට බැරිකමක් ඇතැයි සිතිය නොහැක.

    නිර්මාල් අධ්‍යාපනය වාණිජකරණය කෙරෙනවාට කොතරම් දුරට විරුද්ධ ද, 6%ක් ඉල්ලන්නේ ඇත්තට ම ද ආදිය බැලිය හැකි වන්නේ ඒ අනුවය.

  4. මට අනුවනම් මේක නිර්මාල් ගේ වත් සුමනසිරිගේ වත් දේශපාලන විද්‍යාවේ හෝ දේශපාලන ආර්ථික විද්‍යා දැනුමේ අඩුවක ප්‍රශ්නයක් නෙවෙයි. ඔවුන් හැදී වැඩුන “ග්‍රාමීය, පහල මදපාන්තික, සිංහල බෞද්ධ” සංස්කෘතික හැදියාවේ ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් බලන්න බුදු හාමුදුරුවෝ නීතියක් පනවනවා සංගයා වහන්සේට මුදල් පරිහරණය කිරීම අකැපයි කියල.ඒ බුදුන් වහන්සේම අනේපිඩු සිටුවරයා ඉඩමේ ප්‍රමාණයට කහවනු අතුරලා ගත්ත එම ඉඩමේ තවත් ඒවාගේම මුදල් කන්දරාවක් වියදම් කරලා හදපු සුඛෝපබෝගී ජේතවනාරාමය පිළිගන්න එකේ කිසි අවුලක් දකින්නේ නැහැ. ඉතින් ‘තිලෝගුරු’ බුදුන්වහන්සේ අතිනුත් මෙවැනි විරුද්ධාභාසයන් වෙනවානම් ලංකාවේ විශ්වවිද්‍යාල ගුරුවරුන් අතින් වෙන එක අරුමයක්ද? මට ඇත්තටම කියන්න අවශ්‍යවෙන්නේ මේටිකයි: අපේ රටේ ‘නරුමවාදය’ ගැන හරි අවබෝධයක් ගන්නට නම් මේ ඊනියා ‘ධර්මයක්’ නැත්නම් ‘දර්ශනයක්’ හැටියට දිවා රැ තොරෝම්බල්කරන ‘බෞද්ධ දෘෂ්ටිවාදය’ අප රටේ සිංහල බෞද්ධ බහුතරය ‘නරුමවාදින්’ කරන්න කොතරම් බලපෑමක් කරනවාද කියනඑක අධ්‍යනය කිරීම අත්‍යවශ්‍යයි කියලයි මටනම් හිතෙන්නේ. අපි දන්නවනම් “අපි විද්‍යාත්මකව සිතන නමුත්, ක්‍රියා කරන්නේ දෘෂ්ටිවාදීව” කියල අපි අවධානය අනිවාර්යෙන්ම යොමුකරන්න ඕනේ කොහොමද සිංහල බෞද්ධයාට බුදුපිළිමයක් පෙන්වල ඔහුට නොදැනෙන්න ගුධයට දූරියන් ගෙඩියක් රින්ගවන්න පුළුවන් කියල. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අද බුර්ෂුවා පාන්තික ජීවිත ගතකරන විෂවවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ රජයේ ඉහල නිලධාරින් මොන න්‍යායන් දැනගෙන හිටියත් ක්‍රියාත්මක වීමේදී ඔවුන්ව හසුරුවන්නේ ඔවුන්ගේ සංස්කෘතික පසුබිමයි. සාමාන්‍ය ජනතාව ගැන කවර කථාද?

Comments are closed.