අපගේ අධ්‍යයන වස්තුව වූයේ, කලාව සාමාන්‍ය ජනයාගේ දෛනික ජීවිතයේ සප්‍රයෝජනවත් දෙයක් නොවේ නම් ‘කලාවට’ නූතන බුර්ෂුවා ලිබරල් ධනවාදී සමාජය තුළ හිමි වන්නේ කුමන කර්තව්‍යයක් ද යන්න ය. මේ ගැටලුවට නිසි පිළිතුරක් ලංකාවේ කලාකරුවන්ට සහ කලාව නඩත්තු කරන ආයතනවලට ද නැති නිසා සාමාන්‍ය ජනයා කලාව සලකන්නේ, නිෂ්ප්‍රයෝජන දෙයක් ලෙසින් ය. චිත්‍රපට සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව, විජය චිත්‍රාගාරය, විශ්ව විද්‍යාලවල විවිධ ලලිත කලා පීඨයන් සහ ශාස්ත්‍ර පීඨයන් ආදී බොහොමයක් ආයතන අතාර්කික වී බොහෝ කල් ගත වී ඇති අතර ඒවා මහා භාණ්ඩාගාරයෙන් පිනට දෙන මුදලින් යැපෙන ආයතන බවට පත්වී දශක ගණනක් ගත වී ඇත.  කලාවට දාර්ශනික අදහසක් එන්නත් කරන තුරු ඉහත කිසිදු ආයතනයක් යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි ය. යම් දිනෙක, අපට මෙම දාර්ශනික අදහස පුනර්ජීවනය කළ නොහැකි වුවහොත් ‘කලාව’ නැතිව ජීවත්වීමට සාමාන්‍ය ජනයා හුරු වනු ඇත. මෙය සමහර අංශවලින් දැනටමත් සිදු වී ඇත.

            ලංකාවේදී ‘ලිංගිකත්වය’ සලකා බැලෙන්නේ, සාර්වමය සමස්තයක් (Substantial Holism) ලෙසිනි. N.M. පෙරේරා සිට ටිල්වින් සිල්වා හරහා කුමාර් ගුණරත්නම් දක්වා පරාසයක රැඩිකල් වාමාංශිකයන්ට ද ‘ලිංගික ලෝකය’ යනු, සම්, මස්, ලේ, ඇට, නහර වැනි උත්කර්ෂවත් ශාරීරික ද්‍රව්‍යයන්ය. ඒ නිසා, මේ රංචුවම ලිංගික සබඳතා ක්ෂේත්‍රයේ දී ඕනෑම පරමාදර්ශයක් ස්ත්‍රී ශරීරයක් ඉදිරියේ පාවා දීමට නියමිතය.

            2003 වර්ෂයේ දී, අසෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න’ නම් සිනමා කෘතිය අරභයා අපගේ සංවිධානය “කෘතිය මේ තරම් නිසා නොවේ, අපේ හැදෑරීම් මේ තරම් නිසා….” යනුවෙන් විචාර කෘතියක් නිකුත් කළේ ය. හඳගමගේ මෙම කෘතිය එනතුරු ලංකාවේ බහුතර සිංහල ජනයා සිතා සිටියේ, ‘ලිංගික දිශානතිය’ අපට එන්නේ සොබාදහමෙන් කියා ය. එකල, සිංහල ජාතිකවාදීන් කෘතියට ගරහමින් කියා සිටියේ, ‘සංක්‍රාන්ති ලිංගිකත්වය’ (Trans) යනු, විකෘතියක් බවයි. ඊළඟට, පවුල් ලිංගිකත්වයෙන් පිටත පැවතිය හැකි ලිංගික ලෝකයක් නොදැන සිටි බහුතර සිංහල පිරිමින් බොහෝ දෙනෙක් අසා සිටියේ, “යකෝ, මූ තමන්ගේ ගෑනිවත් හෙලුවෙන් යැව්වා නේ ද” කියා ය. 21 වැනි සියවසේ දෙවැනි දශකයේ ජීවත් වන අප හට දැන් අවබෝධ වී ඇත්තේ, කාර්යාල කාමරවල අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගැන ඔවුන්ගේ පුරුෂයන්ට කරන්නට දෙයක් නැති බවයි. හඳගමට 2003 දී පොන්නයා කියා කියූ මධ්‍යම පන්තික පිරිමින්ගෙන් බහුතරය අද පොන්නයන් වී ඇත. ‘බලය’ ඇති පිරිමින්ට තම බිරිඳ පූජා කර ඉණිමඟේ ඉහළ යෑම මේ වන විට ජෝන් කීල්ස් සමාගමට පවා බෝ වී ඇත. කොටින්ම, සමාජීය තලයේ ලිංගික විප්ලවයක් සිදු වී ඇත.

                ලංකාව තුළ ගුප්තව සහ ප්‍රහේලිකාවක් වශයෙන් ව්‍යුහගතව තිබූ සුසංවාදී ලිංගිකත්වය දාර්ශනිකකරණය කරන ලද්දේ, අසෝක හඳගම බව පෙන්වීම මෙම කෙටි ලිපියේ පරමාර්ථය යි. එමඟින්, අනන්‍යතා ගැටලුවක හිර වී තිබූ ලිංගික සබඳතා ලෝකය දයලෙක්තික තර්කනයකට ඇතුල් විය. සොබාදහම/ සංස්කෘතිය නම් සහසම්බන්ධ ප්‍රතිපක්ෂයේ අභිරහසක් වූ ලිංගිකත්වය තාර්කික ව්‍යුහයකින් සමන්විත බව වැටහුනේ ද හඳගමගේ කෘති නිසා ය.

Asoka with friends

            හඳගම ලාංකීය සමාජයේ දී රඟ දක්වන ලද භූමිකාව වූයේ, ‘මිලාන් කුන්දේරා’ සමාජවාදය පිළිබඳව ගොඩනැඟූ විනෝදය සම්බන්ධ සූත්‍රයමයි. මා මීට කලින් ද කී පරිදි, මිලාන් කුන්දේරා යනු, ඒකාධිකාරී දේශපාලන බලයන් පිළිබඳව අප නොදන්නා පැත්තක් නිරාවරණය කළ නවකතාකරුවා ය. බොහෝ ලිබරල් සිතුම්, පැතුම් ඇති හදවත් වලට අනුව ෆැසිස්ට්වාදය, ස්ටාලින්වාදය, හමුදා රෙජීමයක් පවතින විට මිනිසුන්ගේ නිදහස සංයුක්ත වශයෙන් මර්දනයට ලක් වෙයි. සෝවියට් දේශයට වන්දනා ගමන් ගිය සුනිල් විජේසිරිවර්ධන වැනි යෝගීවරුන්ට අනුව ද සමාජවාදය බිඳ වැටුණේ ඒ තුළ කලාවට, දේශපාලනයට තිබූ දැඩි මර්ධනය නිසා ය. X  කණ්ඩායමේ සිටිය දී එහි එකේ පන්තියේ පාඩම වූ ‘ව්‍යූහවාදය’ ගැන පවා අබමල් රේණුවක වැටහීමක් නො ලද X මුග්ධයන් කිහිප දෙනෙක් විජේසිරිවර්ධන සරණ යන්නේ, ඉහත ‘මර්ධනීය උපන්‍යාසය’ නිසාය. මේ ‘මර්ධනීය උපන්‍යාසයට’ අනුව මර්ධනය ඇත්තේ, කොතැන ද එතැන ඊට විරුද්ධ නෛසර්ගික අරගලයද ඇත.

                       නමුත් මේ තක්කඩින්ගේ අවාසනාවට මිලාන් කුන්දේරා විසින් ඉහත ‘නිදහස’ පිළිබඳ ගුප්ත අදහසේ අභිරහස කදිමට විවරණය කරයි. කුන්දේරා තම ආඛ්‍යාන මගින් විජේසිරිවර්ධනලාගේ සිට කුසුම් කුමාරලා දක්වා ලිබරල් චින්තකයන්ගේ ‘නිදහස’ පිළිබඳ ප්‍රවාදයේ දයලෙක්තික විරුද්ධාභාසය අපට පෙන්වා දෙයි. එනම්, මෙම සර්වාධිකාරී මර්ධනීය රෙජීමයන් පවතින විට නැති වන්නේ ‘සමාජ ජීවිතයේ නිදහස’ මිස මැද පන්තිකයන්ගේ පුද්ගලික නිදහස නොවේ. මර්ධනකාරීත්වය තුළ දී බොහෝ මධ්‍යම පන්තිකයන් නරුමවාදී ලෙස ගුටි වන්නේ, තම තමන්ගේ කාල්පනික ලෝක තුළට ය. මෙම ලෝක තුළ දී වඩාත්ම නිර්මාණශීලී තන්ත්‍ර , අව්‍යාජ ලිංගික සබඳතා ඔවුහු නිර්මාණය කරති. දැඩි සිප වැළඳ ගැනීම් වලින් අවසන් වන පුද්ගලික මිත්‍ර සබඳතා ලියලා යයි. අඩවන් වූ දෑස් එකිනෙකාට හමුවන තුරු මධුවිත සප්පායම් කරගෙන, මධ්‍යම රාත්‍රිය දක්වා බුදුන්ගේ අනන්තා දහම සහ ඩෙරීඩාගේ විසංයෝජනවාදය අතර තුලනාත්මක සාකච්ඡාවක් කළ හැකි ය. නැතහොත්, වාත්ස්‍යනගේ කාම සූත්‍රයේ ලිංගික දෘෂ්ටිය ප්‍රංශ දාර්ශනික බතායල්ගේ ‘අතිරික්ත විනෝදය’ සංකල්පය අතර ද්විඝටනාත්මක විග්‍රහයකට යා හැකි ය. මෙවැනි සංවාද දිහා බලන ඇමරිකානු දෘෂ්ටිකෝණයකට ඉවසුම් නොදෙන සුරතාන්තයක් ලැබෙන බව ද සහතිකය. ඔවුහු මේ විවාද දිගටම පවත්වාගෙන යාමට අරමුදල් ද සපයයි. සර්වාධිකාරී රෙජීමය සහ මෙම නිර්මාණශීලී ලිබරල් සංවාදය අතර බෙදුම් රේඛාවක් ඇඳීම ඉතාම දුෂ්කර ය. මෙවැනි ප්‍රජාවකට ප්‍රජාතන්ත්‍රවාදී රෙජීමක් ලැබුණු වහාම ඒ ක්ෂණයෙන් ඉහත ලිබරල් සංවේදී ලෝකය ද අතුරුදහන් වෙයි. මේ සඳහා, ලංකාවේ වඩා සංයුක්තම උදාහරණය විකල්ප සංවිධානයක්ව පැවති ‘විභවිය’ (90-94) යි. මේ ‘විභවිය’ තුළ ප්‍රේමදාසගේ මර්ධනීය රෙජීමය පැවති යුගයේ ලංකාවේ පැවති වඩාත්ම අව්‍යාජ මිනිස් සබඳතා බිහි විය. මර්ධනය අප සිතන පරිදි, විඳවීම නොව අනවරත විනෝදය රහසින් සපය යි. ප්‍රේමදාසගේ රෙජීමය 1993 දී අහවර වූ විගස, ඉහත කී අව්‍යාජ මිනිස් සබඳතා ද ක්ලෝරෆෝම් මෙන් වාෂ්ප වී ගියේ ය. (මේ මතක් කරන්නේ, ඉතිහාස මතකය යි)

                   ලංකාවේ කලා ක්ෂේත්‍රයට පොදුවේත්, සිනමා මාධ්‍යයට සුවිශේෂවත් ඉහත කුන්දේරා මොහොත උදා කරන ලද්දේ, අසෝක හඳගම ය. ලංකාවේ කලා විචාරයේ මධ්‍ය ලක්ෂය වන්නේ, සෞන්දර්ය න්‍යාය යි. ගම්ලත් වැනි කලා විචාරකයෙකුගේ මූලික අභිප්‍රාය වූයේ, කලා කෘතියකින් මිනිසා ලබන ‘වින්දනය’ විදාරණය කිරීමයි. නමුත් හඳගමගේ කෘතීන් 21 වැනි සියවස මුල සිට විදාරණය කරමින් සිටින්නේ, නිර්වින්දනය යි. එනම්, වේදනාත්මක සතුටයි.

                     කලාව යනු, මේ වන විට සංස්කෘතියට ඌනනය කරන ලද්දකි. ආතර් රිම්බෝ මෙසේ කීවේය; ‘මම ප්‍රංශය පිළිකුල් කරනවා, මට ඕනේ කල්ලෙක් වෙන්න!’. ආන්ද්‍රේ බ්‍රෙතොන් මෙසේ කීවේය; ‘මට ප්‍රංශ කොඩිය දැක්කම වමනෙට එනවා’. මින් අදහස් වන්නේ, කලාකරුවෙකු වීමට අදහස් කරන්නෙකු තම සංස්කෘතිය නිශේධනය කළ යුතු බවයි. අසෝක හඳගම පරණ ජවිපෙ මඟ ගමන් කරන ලද්දෙකි. ඔහු අධ්‍යාපනය සඳහා කෑගල්ලෙන් කොළඹ පැමිණි අතර කොළඹ ඉපදුණු කෙනෙකුට වඩා හොඳින් කොළඹ නගරය තුළ සුද්දන් පැල කළ සාර්වත්‍රිකයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහු ලංකාවේ ලිංගිකත්වය තුළ පවතින සුසංවාදය බිඳ දමා ”ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නැත” යන ප්‍රවාදය තම ‘අක්ෂරය’, ‘ඇගේ ඇස අඟ’ යන සිනමා කෘති වලින් තහවුරු කළේ ය.

                   ‘අක්ෂරය’ චිත්‍රපටය නරඹා ඔහුගෙන් සරත් සිල්වා අසන ලද්දේ, අපූරු ප්‍රශ්නයකි. ‘මෙහෙම විනිශ්චයකාරියන් මේ රටේ ඉන්නවද?’ ප්‍රාන්ස් කෆ්කා තම ‘නඩු විභාගය’ නම් නවකතාව මඟින් විදහා දක්වන්නේ, නීතිය සහ උසාවිය කෙතරම් ශෘංගාරාත්මක ද යන්න යි. ෆ්‍රොයිඩ් සහ ලෙවී ස්ට්‍රවුස් යන චින්තකයන් දෙදෙනාම අපට පෙන්වා දෙන්නේ, ‘ලිංගික ආශාව’ උපදින්නේ පවුල නම් සංස්ථාපිතය තුළ බව යි. එහිදී, තහංචිය වන්නේ, ව්‍යාභිචාරය (Incest) යි. ලිංගිකත්වය 100% සංස්කෘතික ද නැත; 100% ස්වභාවික ද නැත යන ප්‍රවාදය ‘තනි තටුවෙන් පියාඹන්න’ තුළ විද්‍යාමාන වූයේ නම්, ‘අක්ෂරය’ තුළ දිග හැරෙන්නේ ‘ව්‍යාභිචාරය’ කෙතරම් ශෘංගාරාත්මක ද යන්නයි. ‘අක්ෂරය’ තුළ හේගල්ගේ පරමාත්වය ප්‍රකාශ වන ආකාරය දෙසට අපි දැන් අවධානය යොමු.

                    ‘පරමාත්වය’ අපට ලිංගිකත්වය තුළ කියවිය හැකි ය. අප යමක් අපෙන් පිටත දී අත්දකිනවා නම් එහි අර්ථය ඇත්තේ, පරත්වාරෝපණය තුළ ය. අප මේ ලෝකයේ පවතින ගස්, ගල්, පොළව සේ ම කාල-අවකාශය තුළ ද පවතින වස්තුවකි. එතැන දී, අපට සොබාදහමේ නීති-රීති අදාළ ය. එපරිදිම, අප වනාහි අනෙක් මිනිසුන්ට විෂය වන වස්තූන් ද වෙයි. ඔවුන් අප දෙස බලන්නේ, අපට ආත්මයක් ඇත කියා නොව අපව ඔවුන්ට අනුව වස්තුකරණය කළ හැකි ය කියා ය. එකවර අපව ආත්මයක් වන අයුරු ද, එපරිදි ම අපව අන්‍යයන්ට වස්තුවක් වන ආකාරය ද මෙනෙහි කරන්නේ නම් අප ඒ අත්විඳින්නේ පරමත්වය යි.

                 උසාවිය ශෘංගාරකරණය කළ සරත් සිල්වා හඳගමගෙන් අසන්නේ, ‘ව්‍යාභිචාරය’ ශෘංගාරකරණය කිරීම ගැන ය. ෆ්‍රොයිඩ් කියන්නේ, වෙනත් පිරිමින්ගේ ගැහැණුන් හොරකම් කිරීමට වඩා විනෝදයක් පියාගේ ස්ත්‍රීය සමඟ නිදා ගැනීමෙන් ලද හැකි බව ය. ලංකාවේ ශරීරවලින් ලිංගික තෘප්තිය ලද හැකි අවසාන ආකෘතිය පෙන්වීම තුළ ‘අක්ෂරය’ සිංහල ලිංගිකත්වයේ මව සමඟ රමණයේ යෙදීමෙන් ලද හැකි  නිෂ්ටාත්මක විනෝදයේ දෘෂ්ටිවාදය හෙළිදරව් කරන ලදී. මේ ‘චරිතය’ රඟපෑමට නොලැබීම නිසා හඳගමගේ බිරිඳ ඔහු සමඟ පසමිතුරුභාවයකට ගොස් විවාහ සංස්ථාව තුළ වූ ‘ටොම් සහ ජෙරී’ කාටුන් චිත්‍රපටය ද බෝනස් වැඩසටහනක් ලෙස ප්‍රචාරය විය. බුර්ෂුවා ධනවාදය සහ එහි සංස්ථාපිතයන් සියල්ලේම දෘෂ්ටිවාදී විනෝදය ‘අක්ෂරය’ මඟින් විද්‍යාමාණ කළ අතර බුර්ෂුවා ලිංගිකත්වයේ සියලුම අභිරහස් දාර්ශනික කළේය. ලිංගිකත්වයට අවසන් පාරභෞතික පදනමක් හෝ සුසංවාදී ආධ්‍යාත්මයක් පතන්නන්ව එහි අවසාන ජවනිකාවේ කෞතුක අවකාශය තුළ ඉබේ හට ගන්නා ගින්නෙන් විනාශ වන බව ද ‘අක්ෂරය’ තහවුරු කළේ ය. ‘පරමත්වය’ විඳිය හැක්කේ, යම් අඩුවක් සහිතව බව යන්න චිත්‍රපටයේ අවසන් සටන් පාඨය යි.

                ‘ඇගේ ඇස අඟ’ චිත්‍රපටය කියවීම සඳහා ලැකාන්ගේ ආප්තයක් අපි දැන් කණපිට හරවමු. බුර්ෂුවා ධනවාදී සමාජයක බල සබඳතා ව්‍යුහයක දී ස්ත්‍රියක් පුරුෂයකුගේ රෝග ලක්ෂණයක් (පුරුෂයාගේ සද්භාවාත්මක පැවැත්ම තහවුරු නොකරන්නේ නම්) නො වන්නේ නම් ඇය හිස් (Empty) ය. මේ හිස් බව ඇගේ පැත්තෙන් පරම නිදහසයි. පුද්ගලයෙකු කිසියම් සාරාත්මක අදහසකට ගැට ගැසී නැත්නම් එහි අර්ථය වන්නේ, ඒ පුද්ගලයා නිදහස් යන්න ය.

                 අසෝක හඳගමගේ කලාත්මක ජීවිතයේ සුවිශේෂත්වය වන්නේ, මිනිස් ලිංගිකත්වය සංවේදන තලයෙන් එනම්, ශාරීරික වින්දනයක සිට තාර්කික ඥාණයක් දක්වා වර්ධනය කිරීමයි. හරයාත්මක වශයෙන්, එය යළි මෙසේ පැවසිය හැකි ය. මිනිසුන් සිතන්නේ, ලිංගික ආශාව සපුරා ගැනීම යනු, යළි සොබාදහම වෙතට- ශරීරය වෙතට ගමන් කිරීමක් ලෙසින් ය. නමුත් අපෝහකය අපට උගන්වන්නේ, සොබාදහම හෝ සංස්කෘතිය බවට ‘ලිංගිකත්වය’ ඌනනය කළ නො හැකි බවයි. එයට තෙවැනි මානයක් ඇත. එය බලය (Power) යි. ගැමියාට මැද පාන්තික ස්ත්‍රී ශරීරය මැජික් එකක් වන්නේ මේ නිසා ය.

                     මිචෙල් ෆූකෝ විසින් ‘සාම්ප්‍රදායික බලය’ (රජතුමා හෝ ස්වභාවික පාලකයා) පිළිබඳ විග්‍රහය දැන් යල් පැන ගොස් ඇති බව පෙන්නුම් කරන අතර (ප්‍රංශ විප්ලවයේ දී රජාගේ හිස කඳෙන් වෙන් කළ නිසා) ඔහු නූතනත්වය තුළ ඒ වෙනුවට ‘බලය’ යනුවෙන් නව සංකල්පගත කිරීමක් කරයි. මේ ‘බලය’ නම් සංකල්පය ෆූකෝ සංකල්පගත කිරීමේ දී බලයට එරෙහිව ප්‍රතිරෝධය යන සංකල්පය ද ඉදිරිපත් කළේ ය. මෙමඟින්, ෆූකෝ මාක්ස්වාදයට විකල්පයක් ලෙස ධනාත්මක අදහසක් ලෙස ‘බලය’ සංකල්පය යොදා ගත්තේ ය. එමඟින්, මාක්ස්ගේ ආධිපත්‍යය, පන්ති ආධිපත්‍යය යන අදහස් සඳහා නූතනවාදී සංකල්ප ලෙස ‘බලය’, ‘ප්‍රතිරෝධය’, ‘කතිකාව’, ‘මාංශලය’, ‘බලය නිෂ්පාදනය කිරීම’ වැනි විකල්ප බල රටාවක් හඳුන්වා දුන්නේ ය.   

                     ෆූකෝගේ ‘බලය’ සංකල්පය සඳහා ඇත්තේ, සංකීර්ණ අදහසකි. 90 දශකය මුල සිට මෙම සංකල්පය ජීරණය කර ගැනීමට අපි උත්සාහ කර ඇත්තෙමු. නමුත් එහි ජීවමාන අර්ථය මා හට වැටහුනේ, මගේ පර්යේෂණ වැඩබිමක් වූ Rights Now Lab Inc ආයතනයේ දී ය. මම මෙතැනදී ඉදිරිපත් කරන සමහර නිරීක්ෂණ එම පර්යේෂණාගාරය තුළ දී මා ලද අත්දැකීම් ය.

In Volume 1, Foucault criticizes the “repressive hypothesis”, the idea that western society suppressed sexuality from the 17th to the mid-20th century due to the rise of capitalism and bourgeois society. Foucault argues that discourse on sexuality in fact proliferated during this period, during which experts began to examine sexuality in a scientific manner, encouraging people to confess their sexual feelings and actions. According to Foucault, in the 18th and 19th centuries society took an increasing interest in sexualities that did not fit within the marital bond: the “world of perversion” that includes the sexuality of children, the mentally ill, the criminal and the homosexual, while by the 19th century, sexuality was being readily explored both through confession and scientific enquiry. In Volume 2 and Volume 3, Foucault addresses the role of sex in Greek and Roman antiquity.

 

                    ‘උයන්ගොඩ’ මිචෙල් ෆුකෝගේ බුද්ධි ගවේෂණය මෙලෙස සාරාංශගත කරයි. මෙය, 80 දශකයේ අග ලියන ලද්දකි. (1988- මිචෙල් ෆුකෝගේ විධික්‍රමය; කෙටි හැඳින්වීමක්- ප්‍රවාද 1995 පෙබරවාරි)              

        “මාක්ස්වාදයට අනුව මනුෂ්‍යයන් ඉතිහාස ක්‍රියාවලිය තුළ අපට හමුවන්නේ, ඉතිහාසයේ නිම කරන්නන් සහ ඉතිහාස ක්‍රියාවලියට පාත්‍ර වන්නන් (Subjects) ද හැටියට ය. එසේ නමුත්, ඉතිහාස ක්‍රියාවලිය තුළ තවත් දෙයක් සිදු වෙයි. එනම්, සිතීමට හැකි, ක්‍රියා කිරීමට හැකි, ආත්මමූලිකත්වයක් සතු මිනිසුන්ව හුදෙක් දේවල්, චින්තන ප්‍රභේද (රෝගීන්, නිර්ධනයන්, අපරාධකරුවන්), ජනගහණයන් ලෙස සැලකීමේ ප්‍රවණතාවය යි. එහිදී, මිනිසුන්ව ‘ආත්ම’ ලෙස සැලකීම අත්හිටුවා ඔවුන්ව වස්තුකරණය කරයි. ෆූකෝ සමාජ-දේශපාලන ගැටලුව ලෙස හඳුනා ගන්නේ, මෙම වස්තුකරණය යි. ෆූකෝට අනුව මෙම වස්තුකරණය හරහා ‘බලය’ මගින් මිනිසුන්ව පාලනය කරයි.

                ෆූකෝගේ අර්ථයෙන් ‘භාෂාව’ යනු, හුදෙක් ශබ්දකෝෂයකට ලඝු කළ හැකි වචන මාලාවක් හෝ ව්‍යාකරණ පද්ධතියක් පමණක් නොවේ. වචන විසින් සෘජුව දෙන අර්ථයට වඩා වැඩි දෙයක් භාෂාවේ ඇත. එනම්, භාෂාව යනු, ‘බලය’ නම් ව්‍යුහය ප්‍රකාශයට පත්වන මාධ්‍යයකි. අප බාහිර ලෝකය ගැන සිතන්නේ, කතා කරන්නේ, විස්තර කරන්නේ සමාජයේ පවතින අධිපති බලයට සම්බන්ධ භාෂාවකට අපේ කථනය, ලිවීම බද්ධ කරමිනි. මෙයට, අප ‘කතිකාව’ නමින් නමක් දී ඇත”.

 

                        නමුත් උයන්ගොඩ කියනවාට වඩා දයලෙක්තික අදහසක් ‘බලය’ සංකල්පය තුළ අඩංගුය. උදාහරණයක් ලෙස, පුද්ගලයෙකු විසින් වර නඟන පහත වාක්‍ය දෙක ගන්න.

 

1. මම X කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක්.

2. දැන් මම ඉන් ඉවත් වී ඉන්නේ. මට එහි සීමාව දැන් හොඳටම වැටහෙයි.

 

                         ෆුකෝ වැනි චින්තකයෙකු කියන්නේ, ‘බලය’ යන අදහස යථාර්ථය වැනි බාහිර විමර්ශකයකට සම්බන්ධ නැති බව ය. අපි ඉහත වාක්‍යය ෆුකෝවාදී භාෂාවකට පරිවර්තනය කරමු. ‘බලයේ භාෂාව’ යනු, X කණ්ඩායමේ කිසිදා නො සිටි කෙනෙකුට ද ඉහත වාක්‍යයන් දෙක කීමේ විභවතාවය යි. ෆුකෝ ‘බලය’ කියා කියන්නේ, ‘භාෂාව’ බලයේ ව්‍යුහය ලෙස වටහා ගැනීමයි. X  කණ්ඩායමේ කිසිදා නො සිටි කෙනෙක් ‘බලය’ පිළිබඳව සවිඥාණක වනවා යනු, තමන් එසේ සිටියා යැයි කී විට තමන්ට සමාජය ආරෝපණය කරන බලය සමපේක්ෂණ කිරීමයි. එවිට, ‘කතිකාව’ තුළ කිසිදා X කණ්ඩායම තුළ නොසිටි, එහි චින්තකයන් ගැන දන්නේවත් නැති අයට පරිපූර්ණ X සාමාජිකයන් වීමට හැකි ය. ෆුකෝට අනුව ‘බලය’ නිෂ්පාදනීය යැයි කියන්නේ මෙයට ය. එය, සන්නිවේදනය ව්‍යාකූල කරයි.

                       උයන්ගොඩගේ දෝෂය වන්නේ, ‘බලය’ අත්දැකීමක් ලෙස ඥානනය කිරීමට යත්න දැරීමයි. නමුත් බලය යනු, භාෂාව සංකේත බල රටාවක් ලෙස වටහා ගෙන එහි ‘අතිරික්ත වටිනාකම’ එකතු කිරීමයි. ‘බලය’ මේ අර්ථයෙන්, රවටනු ලබන්නේ අනෙකාව නොව තමාව ම ය.

                ලිංගිකත්වය යනු ද, බලයේ උපකරණයක් යැයි අප වටහා ගන්නේ නම් ෆුකෝ ඒ ගැන මෙසේ කියයි. ලිංගිකත්වය පිළිබඳ සංකල්පයට යුරෝපා ඉතිහාසය තුළ සමජාතිය අදහසක් තිබුණේ නැත. ‘ලිංගිකත්වය’ පිළිබඳව වටහා ගැනීමේ දී ධනවාදී සංස්කෘතිය විසින් ඊට ආරෝපණය කරන ලද අදහස්, තහංචි, මර්ධනයන් ද අප අදාළ කරගත යුතුය. එවිට, ලිංගිකත්වය අභිරහස්කරණය කළ, ප්‍රහේලිකාවක් කළ, නිහඬ කළ, මර්ධනය කළ ඉතිහාස බල රටාව ගවේෂණය කළ හැකි ය.

                 සාමාන්‍යයෙන්, ලංකාවේ සමාජ විද්‍යාව තුළ ලිංගිකත්වය යොමු වී ඇත්තේ මාංශලය (Flesh) දෙසට ය. ඉන් අදහස් වන්නේ, සාර්ථක ලිංගික සම්බන්ධයක් සංසර්ගයෙන් අවසන් වන බවය. ලිංගික සබඳතා සතුටෙන් කෙළවර වන්නේ නම් එය සාර්ථක ය. ලිංගික සබඳතාවල පරම අරමුණ ප්‍රතිනිෂ්පාදනය (දරුවන් හැදීම) නොවේ යන්න අවම වශයෙන් මධ්‍යම පන්තික අදහසකි. ෆුකෝ කරන්නේ, මාංශලය නැතහොත් ‘මස් රස විඳීම’ යන ලිංගික අදහස විසංයෝජනය කිරීමයි. ෆුකෝට අනුව නූතන සමාජය තුළ ලිංගිකත්වය යනු, බල සබඳතාවයකි. එය, සොබාදහම අත්විඳීමක් හෝ සංස්කෘතිය රස විඳීමක් නොවේ. ලිංගිකත්වය බල ව්‍යුහයක් වූ විට, එය ආයතනගත ව්‍යුහයක් බවට පත් වෙයි. භාෂාව මූලික කොටගත් මෙම බල ක්‍රීඩාව ලිංගිකත්වය බවට පරිවර්තනය වීම ශරීර අතර සංසර්ගයකට සම්බන්ධයක් නැත.

 – ‍බල ක්‍රීඩාව ලිංගික ක්‍රීඩාවක් වීම අපි ඊළඟට සාකච්ඡා කරමු

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය.

ඔබේ අදහස කියන්න...