මගේ බ්ලොගයේ පළකළ ලිපි ඇතුලත් “පොල්කට්ටෙන් එලියට ” පොත එළි දැක්වූදා ප්‍රකාශකයෙකු විසින් පැමිණ පොත් කිහිපයක් අප අතර බෙදා දුනි. මම එය උඩින් පල්ලෙන් බලා පසුව කියවන්නට තබා ගතිමි. පොත ඇත්තටම කියවන්නට ලැබුනේ පසුගිය උඳුවප් මසය. ඒ හදිසියේ සොහොයුරෙකුගේ අසනීපයට ශ්‍රී ලංකාවට ගිය බැවිනි. පොතද රැගෙන ගිය මම එය කියවා  අවසන් කලෙමි.

කතාව පටන් ගන්නේ ශාන්ති නමැති රුවැති ගුරිවරියක ට ලැබෙන ඉංග්‍රීසි ගුරු පත්වීමකිනි. ඉංග්‍රීසි ඉගැන්වීම වෙනුවට ඇයට පුංචි උන්ගේ පන්තියක් බලාගන්නට පැවරෙන්නේ විදුහල්පති බිරිඳගේ සටකපට කමකටය. නමුත් ඇය ඒ පුංචි උන්ගේ ලෝකයේ ගිලෙන්නීය. නිදි කුමාරි හා නිශ්ශබ්ද විලියම් ලා  සොයා පිය නගන්නීය.

ශාන්තිගේ රුව ගුරු නිවසේ නවාතැන් ගත්  අනිත් ගුරිවරියවූ ශර්මිලාගේ නෙතින් දන්වන්නේ අපුර්ව ලෙසය.

“මද විදුලි එළියෙන් දැල්වුණු, චාම් සැහැල්ලු දුහුල් කපු පිළියෙන් නිමැවුණු රෑ ඇඳුමෙන් වැසුනු නොවැසුනු, නූස් නොමිටි නිරූපිකා සිරුර හා සුලලිත් අංග පසඟද, නිදිබර දෙනෙත් හා සුනිසිත මුව මතින් ඇඳුනු සරල සිහින් සිනහවෙන් ඔප වැටුණු අනාලේපිත වත කමලද; දහවලෙහි ද රැයෙහිද එක සේ දිස්වන, ලාවණ්‍යාගාර පහස නොමුසු, ඡවි කල්‍යාණයෙහි ස්වභාවික ආකර්ෂණ පැහැයද; ඇය සිත තුල සටහන් වූයේ නොවැටහෙන මිශ්‍ර හැඟීමක්ද උපද්දමිනි.  ”  මේ ස්වභාවයෙන්ම වූ රූමත් වූ ලිය ගැන පිරිමි ගැහැණු දෙපිරිසම ආකර්ශනය වන්නේ යයි මේ සොඳුරු වියමනෙන් හැඟවෙයි.

නවාතැනේ යෙහෙළිය මෙන්ම යෙහෙලියකද නොවූ නොගැලපෙන ශර්මිලාගේ ජීවිතය ගැන විවරණයක් මෙන්ම උපමා වලින් යුක්ත වූද කතාවක් ඉන්පසු ඉදිරිපත් වෙයි. තම පන්තියේ පුංචි දරුවන් දෙදෙනෙකුගේ ජිවිතයට එබී බැලීමට ශාන්ති තීරණය කරයි. ඉනික්බිතිව  එළඹෙන්නේ කතුවරයා විසින් ඒ පවුල් ගැන කරන විවරණයකි.

ඒ අතරේම ඔහුගේ හෙළ බස හැසිරවීමේ අප්‍රමාණ  හැකියාවද කියවන්නාට ආස්වාදයක් ගෙන දෙයි. පහත වදන් පෙලින් අපුර්ව චිත්‍රයක් සිතෙහි මැවෙන්නේ නැතිද? සුමටවූ සිනිඳු වූ සෞම්‍ය වූ භාෂාවකින් කියවෙන විස්තරය අමුතුම ආහ්ලාද්යක් සිත ජනිත නොකරන්නේද?

“දිය හිඟව සෙමෙන් ගලන කඩතොළු ඇළ නඟන සිහින් සරසරය, ඉඳහිට හමන මලානික කාෂ්ඨක සුළඟට  නතු ව වියළි තුරු හිමිගෙන් වියෝ ව තෙත  රහිත මිහි මත පතිත වන වියපත් කොළයක ශෝකී ස්වරය, හිරු හා උරණ ටකරම් තහඩු මවන උණුසුම් වාෂ්පී තාපය, පොඩීත්තියගේ නැවුම් සිරුරේ සජීවී සංවේදනය, සිය ඇලපතට වදින සිඟිති නැහැ පුඩු අගින් විහිදෙන කෙටි හුස්ම දනවන තෙත් රත් පහස, ශාන්තී සිතුවිලි නිදන, කාලය නිසල, හුදෙකලාවක් නොවන හුදෙකලාවක, ආස්වාදයක් නොවන ආස්වාදයක, හිස් බවක් නොවන හිස් බවක, දැහැන්ගත කළාය.” (පිටුව 21)

ටකරම් තහඩුවක් යට තැනුණු කුඩා නිවසක් ගැන නොවේද මේ කියන්නේ.

ශාන්තී ගේ කතාවට පොඩිත්තියක හා ඇගේ මව කුමාරි ගේ අනුවේදනීය කතාවක් ද  එක්වෙයි. නව කතාවක් යැයි සිතුවක්  කෙටි කතාවක් ලෙස හදිසියේම අවසන් වෙයි. ඇත්තටම එය එසේද?

කතාවක් තුල කතාවක් ( story within a story) යනු සාහිත්‍ය ඉතිහාසයේ “මිසා න බිම්” (Mise en abyme) යන ප්‍රංශ නමින්ද  හඳුන්වන සාහිත්‍ය ලියවිලි ක්‍රමයකි. අන්ද්රේ  ගිඩ් ගේ කලාවේ විවිධ අංගයන් තුල ස්ව-නිරූපණය ලෙස හැඳින්වෙතත් පංච තන්ත්‍රයේ මෙන් කතාවක් තුල කතාවක් (හෙවත් කතාවේ එවැනිම වූ වෙනත් හා වෙනස්   කොපියක්) ගැන කීමටද මෙය යෙදවේ.  එසේම කෙටි කතා කවය (short story cycle) නමින් හඳුන්වන සාහිත්‍ය ක්‍රමයේ එකකට එකක් ඈඳුනු කෙටි කතා සමුහයකින්  ද එක කතාවක් නිමවෙයි.   මට පෙනෙන ලෙසට කතුවරයා ඉතා සාර්ථක ලෙස මේ ක්‍රම දෙක සම්මිශ්‍රණය කරයි. 

ගුරු නිවසෙන් නික්ම මාරුව ලැබුණු ශාන්ති නව විදුහලට යයි. ඉන්පසු ඇරඹෙන්නේ ශර්මිලාගේ කතාවයි . ශාන්ති සමග ගුරු නිවස්නයේ පදිංචිව සිටියේ ඈය. කතාව  නව මානයකින් ශාන්ති දෙස බැලීමට අපව යොමු කරයි. පසුව  එළඹෙන්නේ සිංහල ගුරුවරයාගේ, විදුහල්පතිගේ සහ විදුහල්පති  බිරියගේ වාරයයි. නැවත නැවතත් එකම කතාව එහි පාත්‍ර වර්ගයාගේ ඇසින් අපට විශ්ලේෂණය කරවයි. විදුහල්පතිගේ ක්‍රියා කලාපය ගැන හෝ සිංහල ගුරුවරයාගේ ක්‍රියා කලාපය ගැන ඇතිවන  පාඨක අමනාපය නිවෙයි. කසිප්පු  විල්සන් මුදලාලි ගැනද ශූර ලෙස පාඨක අනුකම්පාව ඉපිදවිමට කතුවරයා සමත් වෙයි .

 මේ අපුරු කතාව තුලින්  මවිසින් උපුටා ගෙන සටහන් කල වදන් පෙළක් මගේ මතකයට නංවයි. එනම් “ඔබ කෙනෙකු (ගේ ඇවිදීම) විවේචනය කිරීමට කලින්  ඔහු හෝ ඇයගේ සපත්තු පැළඳ ගව්වක් ඇවිදින්න” යනුවෙනි. විවිධ චරිත වල ඇසින් කතාව නැවත නැවත කීමේදී අප නෙත ගැටෙන සත්‍යය ද එයයි.

කුමාරිගේ පියා  හා මව වන ලලිතා ගේ කතාන්දරය ප්‍රධාන කතාව වෙන්නේ අපහසුවකින් තොරවය. කුමාරිගේ පියා  තරුණයන්ගේ අරගලය ට සහභාගිවුණු සටන්කාමියෙකි. අත් අඩංගුවට පත් සටන්කාමීන් ගෙන් දිවි බේරුණු කීප දෙනෙකුගෙන් අයෙකි.
“වැදිච්ච පහරවල් වල, කරන්ට් ඇල්ලිලිවල, ලාච්චුවට දැමිලි වල, වේදනාව විතරයි, ඒ දවස් වල දැනුනේ. “(පිටුව 103)

අපහසුවකින් තොරව කුමාරිගේ පියා නිමල් ගේ ගොරතර බියකරු යාමය ගැන කියන කතුවරයා  පියකරුව ලියවෙන ප්‍රේම කතාවකට කුමාරිගේ මව හරහා හීන් සීරුවේ එළැඹෙයි.
“අපි දෙන්න සිතල මහා රෑක, කරුවල ගෙදරක, නිවෙන ලිප විතරක් සීතලයි කරුවලයි පන්න ගන්න  බැරිමරගාතේ පොර බදද්දී තනිවුනා. වෙන්ඩ ඕන සියල්ල සිද්ධ වුණා. මට මතක තියෙන්නේ පෙරමුණ ගත්තේ මං කියන  එක විතරයි.”
“ගමේ කෙනෙක් හරි පොලිසියෙන් හරි හමුදාවෙන් හරි කොයි වෙලේ එයිද කියල හිත හිතා ගිනි ගහන අව්වේ, ගස් හෙවනේ, වල ගොල්ලේදී කාම ගින්න නිවා ගත්ත.”

මේ ගැහැණියම නිමල් හමුදාවේ අත් අඩංගුවෙන් බේරා ගන්නය  තම පතිවත යුධ හමුදා ප්‍රධානියාට දන්දෙයි. කුමාරි නම් දියණිය ඇගේ කයට පිවිසෙන්නේ ඒ හේතුවෙනි.

තමන් සමග එකට අත් අඩංගුවේ සිටි පක්ෂයේ සහෝදරයෙකුගෙන් ඒ අමිහිරි රහස, එනම් කුමාරිගේ පියා තමන් නොවන වග නිමල් දැනගනී. ඉන්පසු ඔහුගේ හැසිරීම තවත් ශෝචනීය  සිද්ධි දාමයක මුල වෙයි.

කුමාරි තම දියණිය සල්ලාලයෙකුගෙන් බේරා  ගන්නට කරන සටනත් ඉන් පැරදී පලා යන අයුරුත් පාඨකයා දැන  ගන්නේ ක්‍රීඩා ගුරුවරයා ගෙනි. කුමාරිගේ ගනුදෙනු කරුවකු වන ඔහු ගැන අපට සානුකම්පිතව හිතෙන්නේ කතාවේ මේ කොටසිනි.

මේ කතාවේ කුමාරි හා කුමාරිගේ දියණිය ගැන මම කිසිවක් නොලියමි. එය කියවිය යුත්තේ ඔබය. මෙය සත්‍ය කතාවක් නම් අප ජිවත්වන සමාජය කෙරෙහි කිසියම් වෛරයක්, අසහනයක්, නොපහන් හැඟීමක්  සිත තුල ජනිතවනු ඇත. කෙටිකතා කිහිපය අවසානයේ මේ සිද්ධීන් මාලාවේ අවසන් ප්‍රතිපලය  පව්කාර කුමාරි යයි තමන් ව හඳුන්වා ගන්නා කතගේ අවසන් ලියුමෙන් කියැවෙයි.

“මට සන්තෝසෙන් යන්න පුළුවන්, දෝණිට අම්මට වැඩිය හොඳ රත්තරන් පුංචි අම්මෙක් හම්බ වුන හින්ද. නෑදෑයෙක් නොහිටපු දෝණිට හොඳ ආච්චියෙක් සීයෙක් හම්බ වුණ හින්ද.”

හිතුවක්කාරිගේ උණුසුම්  හදවත අපට ඉතිරි කරමින් කතුවරයා සමු ගනියි.

මේ ලියමන මෙතැනින් අවසන් කරන්නට සිතුවත් ලැබුණු ප්‍රතිචාරයක් නිසා මේ අදහස් සමුච්ඡය ද  එක් කරමි.

මේ පොත එතරම් ජනප්‍රිය නොවුණු බව ප්‍රතිචාරයක් මගින් කියැවුණි. මෙය යථාර්ථවාදී  රීතියට අනුව ලියන ලද්දක්ද? විජිත ගුණරත්නගේ වලාපටල චිත්‍රපටයේ එකිනෙකට සම්බන්ධ යයි කිව නොහැකි සිද්ධීන්  මාලාවක්  විකාශනය වේ. අවසානයේදී අපට ඒවා එකිනෙකට ඇමිණිය හැකිය. මේ ග්‍රන්ථයේ  හැම කථා නායකයෙකුගේම කතාව අවසානයේ ඒවා ඇමිණිය හැකිය.  අනික මේ  යථාර්තයට මුහුණ දීමට සමාජය අපොහොසත්ය.

ශාන්ති ගැන යමක් එකතු කල යුතු යයි නැවත  සිතුනි. ශාන්ති යනු සුන්දර සුකුමාල රුවැති ඔබේ සාමාන්‍යකරණය  කරනල ද සිංහල ගැමි යුවතියක් නොවේ.  ඇය ඉංග්‍රීසි ගුරුවරියක් සේම බොහෝ විට විරුද්ධ ලිංගික ඇසුර නොපතන, එනිසාම හෝ සමාජයෙන් කිසියම් විනිශ්චයකට ලක්වුණු රූමත් තරුණියක බවත් අසාධාරණයකට භාජනය වූ දියණියක් ලෙසත් මට හැඟේ.

දීප්ති කුමාර ගුණරත්න ගේ “ඇසිඩ් වැස්ස” පොතේ මිචෙල් ෆුකෝ ට අනුව ජීවිතය යනු ප්‍රතිනිර්මාණය කළ හැකි කලා කෘතියක් යයි කියවේ.  මේ පොතේ ඇත්තේද ජීවිතය පිළිබඳ එවන් ප්‍රති නිර්මාණයකි.

පොත කියවා  අවසන් වනවිට පොතෙහි ඇතැම් පාත්‍ර වර්ගයා ගැන ඇතිවන හැඟීම කුමක්ද? නැවතත් මා “ඇසිඩ් වැස්ස” තුලින් සටහනක් ණයට ගනිමි. (පිටුව 37)

“මොලීනා විසින්  වැලන්ටයින්ට කියන  චිත්‍රපට කතා සරිත් සාගරය තුළ එක්තරා දර්ශනයක් සුවිශේෂ කොට සැළකිය හැකිය. කතාවට අනුව ස්ථානය වන්නේ ජර්මානුවන් යටත් කරගත් ප්‍රංශයේ පැරිස් නුවරයි. දිනක් ගෙස්ටාපෝ හමුදාවේ නායකයෙක් විවේකයෙන් සිටින මොහොතක තමන් ගේ ප්‍රංශ ජාතික  සුරතලියට මෙසේ පවසයි. ‘අපිට මේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතාම භයානක අපරාධ සමුහයක්. සමහර විට ඔබ පවා මෙයින් තැති ගැන් වී සිටිනවා ඇති. නමුත් අපිව වටහා ගන්න! මේ භයානක ක්‍රියාවන්ට යටින් පිරිසිදු අධ්‍යාත්මයක් සහිත හොඳ අවංක අව්‍යාජ මිනිසෙක් ජිවත් වෙනවා. එයාව හඳුනා ගන්න.!”

සමහර විට මේ පොතේ සිදුවීම් තුල අපට හමුවන සමාජය ගැන කියන්නට ඇත්තේද එයයි.

පසු කතාවක්:

පොතක් කියවූ පසු එය සිත් ගත්තේ නම් පෙරවදන පසුවදන ආදිය කියවීම මගේ සිරිතකි.ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවියන් විසින් අපූරු පසු වදනක් එක කර තිබිණි. කතා කිහිපයක් චරිතයන් තුලින්  ලියැවුණු  අපුරු ආකාරය ගැන ඔහුද සඳහනක්  කර තිබිණි. පොත 2014 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ  විශිෂ්ටතම නවකතාව ලෙස සම්මාන ලබා තිබුණි.

මෙනිසාම දෝ පොත කියැවීමේදී කියැවෙන්නේ  ඌවේ පාසලක් විය හැකියි සිතුනි. ඌවේ ලුණුගල පාසලක් ගැන මෙහි ලියා ඇත. මා  විශ්මයට පත්වූයේ කතුවරයාගේ ලිපිනය දැකීමෙනි.  එම ලිපිනයත් මා මේ බ්ලොග් ලිපියේ සඳහන් කරන නිවසත් එකක්දැයි සිතුනු බැවිනි.  මම පොතේ තුබුණු දුරකථන අංකයට ඇමතුමක් දුනිමි.
එච් බී ගුණරත්න  මහතා ජිවත් වන්නේ එම නිවසේමය. ඉන්පසු මම ඒ නිවසේ සිටි අනිකුත් අක්කලා, අයියලා  හා මගේ සම වයසේ යහළුවාගේ නම් කීවෙමි. ඔහු ඒවා සනාථ කලේ වසර 32කට පසුත් මට ඒවා මතක තිබීම ගැන විශ්මය පළ කරමිනි.
හදිසියේම මේ ගුණරත්න යනු කවුද යන්න මට පසක් විය.

වරක් තවත් යහළුවෙකු සමග ලුණුගල කඩ විදියේ ඇවිදමින් ගියෙමි. මේ වසර 1974 විය යුතුය. මා  හතරේ පංතියේය. මේ රැවුල වවාගත් ගුණරත්න අයියා අප ඉදිරියෙන් ගියෙයේ. ඔහු පෙන්වමින් මගේ යහළුවාට මා ඔහු ගැන කිසියම් පෞද්ගලිකවූ දෙයක් කීවෙමි.  ඔහුට එය ඇසී මගේ දෙමාපියන්ට කියා තිබුණි. වැඩිහිටි කතා කියන්න එපා යයි මගේ පියා  තරවටුවක් ද කළේය.

ගුණරත්න අයියලාගේ නිවසේ නවයුගය පත්තරය මෙන්ම තවත් බොහෝ පුවත් පත් සඟරා තිබුණි. මා ඒවා කියැවූයේ මහත් අභිරුචියෙනි.

ඔහුගේ නවකතාවක්  කියවීමට ලැබීම භාග්‍යයකි.
Ajith dharmakeerthi
මූලාශ්‍ර :
https://en.wikipedia.org/wiki/Short_story_cycle
https://en.wikipedia.org/wiki/Story_within_a_story

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. අජිත් ධර්මකීර්ති මෙම ලිපියේදී කියනවා “…ඔහුගේ හෙළ බස හැසිරවීමේ අප්‍රමාණ හැකියාවද කියවන්නාට ආස්වාදයක් ගෙන දෙයි.” කියලා. මේ ලිපිය දැකපුවෙලේ මට මුලින්ම ඇතිවුණු කුතුහලයක් තමයි ඇයි මේ පොතේ කවරේ, පොතේ title එකයි කතුවරයාගේ නමයි ඉංග්‍රීසියෙන් ආපහු ලියල තියෙන්නේ කියලා.

  2. වසන්ත සහෝ – ඇත්තටම දන්නේ නැහැ. අවශ්‍ය නම් අහල බලල කියන්නම්. මා දන්නා පරිදි ඔහුගේ අන්තර්ජාල භාවිතයක් නැහැ. මම දුරකතනයෙන් සම්බන්ධවී බලන්නම්.

  3. ස්තුතියි අජිත්. ඔබ ඔහු අන්තර්ජාල භාවිතයක් නැහැ කිව්වහම මාගේ ප්‍රශ්නයට උත්තරයක් දැනගැනීමේ උවමනාව තවත් වැඩිවුණා.

Comments are closed.