ලෙනින් 1917 වර්ෂයේ සිදු කළ විප්ලවයට පෙර හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ (Science of Logic) පොත කියවා ඇතැයි යන අදහස අප විදාරණය කර ගන්නේ කෙසේ ද? මා කලින් ද කී පරිදි, අප විධිමත්ව හේගල්ව කියවීම පටන් ගත්තේ 2007 වර්ෂයේදී ය. එහිදී, සංකල්පීය තලයේ දයලෙක්තික අවබෝධයන් දෙකක් අප විභාග කරන ලදී. (බස්සා තටු සලන්නේ ගොම්මනේ යන ලෙනින්වාදී අවබෝධය)

 

1.දෙවියන් හෝ කුමන හෝ පරමාදර්ශයක පැවැත්ම අහෝසි වීම. සංවිධානය තුළ හොඳින් පුද්ගලිකව ආශ්‍රය කළ අය, එක්වරම සියල්ල පාවා දීම නිසා ‘අනෙකා’ සත්තාවක් ලෙස ‘අසත්’ විය. යමක් විද්‍යාමාන වේ යැයි සිතූ තැන, ඒ දෙය අවිද්‍යාමාන විය. හේගල්ගේ දාර්ශනික කියවීම පටන් ගන්නේ, සංකල්පයේ ආකෘතිය තුළ සත්තාව සහ අසත්‍තාව දයලෙක්තිකව ගැටෙන බව වටහා ගැනීමෙනි. (අවිද්‍යාමානයේ සත්‍යය)

 

2. උමතුව පිළිබඳ හේගලියානු කියවීම වටහා ගැනීම. පුද්ගලිකව සහ දෛනිකව අපව සමීපව ඇසුරු කළ අය එක්වරම ක්‍රිස්තියානි ආගමේ සඳහන් වන ‘අසල්වැසියා නම් දෙය’ බවට පත් වීම පවුල් කේන්ද්‍රීය ගැටලුවක් මගින් උමතු වීමට වඩා ගුණාත්මකව වෙනස්ය. ඒ සඳහා, හේගලියානු උමතු න්‍යායක් අවශ්‍යය. එක්තරා මිනිසෙකු තමන් ඉරිඟු කරලක් යන විශ්වාසයේ රැඳීම නිසා උමතු විය. පසුව, ඔහුට මානසිකව ප්‍රතිකාර කළ අතර ඉන් ඔහු සුව විය. ඔහුට වෛද්‍යවරයා මෙසේ කීවේය. “ඔබ දැන් දන්නවා ඔබ ඉරිඟු කරලක් නොවේ හොඳට හිතන මිනිසෙක් කියලා”.  “ඔව්, වෛද්‍යතුමනි. මම ඉරිඟු කරලක් නොවේ. මම මිනිසෙක්”. ඉන්පසු ඔහු රෝහලෙන් පිට වී නිවසට ගියේ ය. නමුත් නොබෝ වේලාවකින් ඔහු නැවත පැමිණි අතර යළිත් ඔහු වෛද්‍යවරයාට පැමිණිලි කළේය. “වෛද්‍යතුමනි, මම ඩෙකාර්ට්ස්ටත් වඩා සංශයකින් තොරව දන්නවා මම ඉරිගු කරලක් නොවේ මිනිසෙක් කියලා. නමුත් අර පාරේ ඉන්න ඉබාගාතේ හැසිරෙන කුකුළා දන්නවද මම මිනිහෙක් කියලා”. ඒ අනුව, මිනිසා උමතු වන්නේ, හුදු විඥාණ ක්‍රියාවලියක් නිසා නොව ඒ තුළම වූ යම් කොටසක් ඊට බාහිරට විස්ථාපනය කරන නිසා ය. මිනිස්සුන්ගේ වාස්තවික විශ්වාසයන් ගිලී ඇත්තේ, පුද්ගල විඥාණය තුළ නොව සමාජ යථාර්ථය තුළ ය.

                        2004 වර්ෂයේ සංවිධානයෙන් ඉවත් වූ බහුතරයකට ද වූයේ, ඉහත මිනිසාගේ ඉරණමට පත්වීමටය. X දේශපාලනය වෙතින් ඉවත් වූ බව ඔවුන් හොඳින්ම දනිති. නමුත් එය ‘මහා අනෙකා’ දන්නවා දැයි තවම අසමින් සිටිති. ඔවුන්ගේ ‘සත්තාව’ දයලෙක්තික පැල්ලමකට ලක්වී ඇති අතර එක පලුවක් අනෙකෙන් අසන්නේ ඔබ කවුද? කියාය. හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ කෘතිය ලංකාවේ දී කියවීමේ දී ‘බාහිර යථාර්ථය’ යනුවෙන් අප අත්විඳින සංවේදනය ද ආත්මීයත්වයට අභ්‍යන්තර බව වටහා ගැනීම දුෂ්කරය.

 

                     හේගල්ගේ කියවීමේ මැෂිම ක්‍රියාත්මක වන ආකාරය ඔබට පහදා දීමට, අප මීට ඉහත දී යොදාගත් උමතුව පිළිබඳ ‘ඉරිඟු කරලේ’ උපමා කතාව ම ගමු.

                      ‘උමතු මිනිසා’ මෙන්ම ඔහුට බාහිර වෛද්‍යවරයා ද සිතන්නේ, ඔහු උමතු වන්නේ ඔහුගේ විඥාණයෙන් බාහිර පැවැත්මක් නිසා කියා ය.  ‘අවිඥාණය’ පිළිබඳ අදහස වඩා නිවැරදි ස්ථානයකට මෙතැනදී රැගෙන යා හැකිය. ලැකාන් සහ හේගල්ගේ කියවීම් වලට අනුව පුද්ගලයෙකුගේ ‘අවිඥාණය’ පවතින්නේ, ඔහුගේ විඥාණයෙන් පිටත තැනක යැයි පැහැදීම ඉතාම සරල කටයුත්තකි. එහිදී සිදු වන්නේ, මනෝවිශ්ලේෂණය නොව මනෝ සංස්ලේෂණය යි. ලැකාන්ට අනුව අවිඥාණය යනු, කෙනෙකුගේ පසුපස සිට ඔහුගේ ක්‍රියාව පාලනය වන ආකාරය හැදෑරීම නොවේ. නැතහොත්, විශ්ලේෂකයා නම් තුන්වැනි පුද්ගලයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් කෙනෙකු රහසිගතව ක්‍රියා කරන ආකාරය වටහා ගැනීමට යත්න දැරීම ද මනෝවිශ්ලේෂණය නොවේ.

                   පැහැදිය යුත්තේ, ‘අවිඥාණය’ යනු කෙනෙකු ක්‍රියාකරන විට සහමුලින්ම අතහරින ‘සිතුවිල්ල’ (Thought) අවබෝධ කර ගැනීමයි. හේගල්ට අනුව, මෙම සිතුවිල්ල කෙනෙකුගේ සිහියට බාහිරින් පවතින්නක් නොවේ. එම සිතුවිල්ල පදිංචි වී ඇත්තේ ද අදාළ කෙනාගේ සිහියේ අඩවිය තුළම ය. එසේ නම්, විශ්ලේශකයා විශ්ලේෂණයට භාජනය වන තැනැත්තාට උදව් කරනවා යනු, ඔහුට/ ඇයට දැනටමත් ආගන්තුක වූ සිතුවිල්ල තමාගේ ම නිර්මාණයක්, තමන්ගේම ආත්මීය අවශ්‍යතාවයක් වන ආකාරය පහදා දීමයි. (The Lacanian or Hegelian unconscious is a part of me that thinks. In this way, the Lacanian and Hegelian unconscious is something that very much takes place in consciousness).

                   ‘ඉරිඟු කරලක්’ යැයි සිතන මිනිසාගේ රෝග ලක්ෂණය වන්නේ, ඔහු තම රෝග ලක්ෂණය බාහිරත්වයකට විස්ථාපනය කොට එම ස්ථානය තමන්ව පරාවර්තනය කරන කැඩපතක් – gaze – ලෙස දැකීමයි. 2004 සිදුවීමට අදාළ X කණ්ඩායමේ බහුතර විමතිකයන් කීවේ, X දේශපාලනය අසාර්ථක එකක් වීමට වඩා භයානක දෙයක් X දේශපාලනය තුළ ගැබ්ව පවතින බවයි. [ X- Paranoia- x- මතිභ්‍රමය]‘X සංවිධානයෙන්’ පිටත සිටින ‘මහජනයා’ X දේශපාලනය වඩා යථාර්ථවාදී ලෙස ගනු ඇති බවත්, එමගින් ෆැසිස්ට් බලය ලබා ගැනීමකට හේතු වනු ඇති බවත් ඔවුන්ගේ අනුමානය විය. තමන් ‘ඉරිඟු කරලක් ද’ යන්න කුකුළා දන්නවා ද යන ගැටලුව මෙන්ම X විමතිකයා ද තමන්ගේ ‘උමතුව’ මහජනතාව වෙතට ප්‍රක්ෂේපණය කළේය. ඔවුන්ගේ සටන් පාඨය මෙසේ ය. 

     ‘අපි නම් දන්නවා X දේශපාලනය කියන්නේ, දීප්තිගේ සරල විකාර වැඩක් කියලා. ඒත්, මේ බාහිර ඉන්න මෝඩ මිනිස්සු ටිකක් මේකට රැවටෙන්න පුළුවන්. පරිණත, අකලට කෙස් පැසුණු අපි මේ කියන්නේ ඕකට රැවටෙන්න එපා කියලා’. 

මෙම තර්කනයේ අසංගතභාවය කුමක්ද? එක පැත්තකින්, තමන්ම බොළඳයි කියන ප්‍රපංචයක් තව පැත්තකින්, තමන් විසින්ම අතිශය බැරෑරුම් නිෂ්ප්‍රපංචයක් කරයි. මේ අය නො සිතන්නේ, තම තමන්ගේ උමතුව පිටතින් පවතින යථාර්ථය තුළ  බොළඳ/ වියත් සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස නො පවතින බවයි. හේගල් සහ ලැකාන් අපට කියන්නේ අප උමතු වන්නේ, අපගේ උමතුව බාහිරට ප්‍රක්ශේපණය කරන විටදී ය යන්න ය. ජාතිවාදියෙක් තමන් ජාතිවාදියෙක් බව තමන්ට තහවුරු කරන්නේ, තම ආත්මීයතාවය තුළ දී නොව බාහිර අනෙකෙක් ද ජාතිවාදියෙක් යැයි අනුමාන කරන විටදී ය. එවිට, උමතුව ‘දැනුමට’ සම්බන්ධ ගැටලුවක් නොව ෆැන්ටසියට බද්ධ වූ ගැටලුවකි. මා උමතු වන්නේ, මම මා ගැන සිතන බව මට අවබෝධ වීම තුළින් නොව මා දෙස බාහිර යමෙකු නරඹමින් සිටිනවා යැයි සිතන විටදී ය. එවිට, මගේ උමතුව සමාජය දෙසට දිශානත වෙයි.[ Madness as a social Factor]

                       2007 වර්ෂයේ දී හේගල් කියවීම ආරම්භ කරන විට, හේගල් ‘බහිෂ්කරණය’ [Externalization is the process of transforming our thoughts into some sort of external form, typically by writing or speaking or thinking] යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පහදා ගැනීම වැදගත් විය. (දැනුම එන්නේ ක්‍රියාවට පසුව බව දැන ගැනීම – දැනුම ලැබෙන්නේ තීරනයට පසුව බව) එතැනදී, රුවන් කුමාර සහෝදරයගේ ආරම්භක ප්‍රවේශය වැදගත් විය. මිනිසාගේ අදහස් පවතින්නේ, දිව්‍යමය ලෝකයක නොවේ නම් අදහස්වල හිමිකරුවා මිනිසාම ය. හේගල් ප්‍රංශ විප්ලවය මගින් උත්පාද වූ ශක්තියක් අපට පෙන්වා දෙයි. පාලකයා දෙවියන්ගේ නියෝජිතයෙක් යන්න ගිලටීනය හරහා අවසන් විය. ජැකොබියන්වරුන්ගේ දේශපාලන න්‍යායේ ගැටලුව වූයේ, ‘පාලකයා’ යනු පාලිතයාගේ නිර්මාණයක් බව පෙන්වීම ය. සමාජයේ මුද්‍රණත සිටින පාලකයාගේ හිස කඳෙන් වෙන් කළ පසු එම කඳට ‘ජනරජ’ ආත්මයක් සවි කිරීම පහසු නැත. එය ලෞකික කාර්යයකි.

                  පැරණි පාලන තන්ත්‍රයේ හිස කඳෙන් ඉවත් කරමින් ප්‍රංශයේ නිමවන ලද පාලන-තන්ත්‍රය හැදින්වූයේ, ‘පැරිස් කොමියුනය’ නමිනි. එය දින හැත්තෑවකට සීමා විය. පහළ සමාජ පන්තීන් රාජ්‍ය බලය නිසි ආකෘතියකින් තොරව (පක්ෂය) ලබා ගත්තාට වැඩක් නැත. කාලය විසින් එවැනි බලය ඩැහැ ගැනීම් අයුක්තිසහගත කරන අතර එතැනට පසුව කපටියෙකු ආදේශ වෙයි. (ප්‍රංශයේ බොනපාට්, ලංකාවේ ‘ඊළාම් ජනරජය’ විනාශ කරගෙන ඊට ආදේශ වූයේ රාජපක්ෂය.) 1917 දී, ලෙනින් මඟින් යළිත් පහළ සමාජ ස්ථර බලය ලබා ගත් අතර එය බොල්ෂෙවික ජනරජය වූ අතර එය දශක හයක පමණ කාලයක් එකතැන පල් වෙමින් පැවතියේ ය. මේ වනාහී, මිනිස් ඉතිහාසයේ දුටු සාර්ථකම දේශපාලන පරීක්ෂණ දෙක ය. දෙකම අසාර්ථක විය. මේ අසාර්ථකත්වයේ මූලය ඇත්තේ, වාස්තවික සමාජ සබඳතා තුළ නොව ආත්මීය විනෝද වීම් තුළ ය. හේගල්ගේ අද්‍යතන කියවීම සන්දර්භගත කළ යුත්තේ, ඉහත දේශපාලන උභතෝකෝටිකය විසඳීමට ය.

                 රුවන් මතු කළ හේගලියානු ගැටලුව මෙසේ ය. “දෙවියන් මිය ගිය ලොවක අදහස් ලෞකිකකරණය වෙනවා. ඒ කියන්නේ, අපේ ඇතුළත තිබුණා යැයි සිතූ අදහස් සංස්කෘතිය ලෙසින් බාහිරට ගොස් අපවිත්‍ර වෙනවා. අපි කොහොමද මිනිසාගේ පිටට ගිය ‘අභ්‍යන්තරය’ (Inner Essence) යළි ඇතුළට අවශෝෂණය කරන්නේ? මිනිසාගේ ආධ්‍යාත්මය ‘සිතීම’ නිසා සංස්කෘතිය බවට පරිවර්තනය වී පාරිභෝගික භාණ්ඩකරණයකට ලක් වෙනවා. මේ පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රය කියන්නේ, ධනපති ආර්ථිකය යි. ඒ නිසා, බහිෂ්කරණය වූ අදහස් යළි ‘මනස’ (Spirit) තුළට අවශෝෂණය කර ගැනීම දෙවියන් නැතිව තමා හරහා තමා මැදිහත් වී ස්වයං-අවබෝධය ලැබීමකි. එනම්, ස්වයං-විඥාණයකි. තමන් ගැන තමන් ම  සවිඥාණක වීමකි.”

               ඉහත අදහස කීර්ති බාලසූරිය/ සුචරිත ගම්ලත් විසින් රචිත ‘කල්පනා ලෝකවාදය, සාහිත්‍ය කලා සහ මාක්ස්වාදය’ කෘතියේ (පිටු 53-66 දක්වා) අඩංගු ය. හේගල් තම දර්ශනය හරහා චින්තනය වර්ධනය කළ ආකාරය සිංහල භාශාවෙන් කියවිය හැකි හොඳම තැන මෙතැනයි.

                අපි දැන් එහි කෙටි සාරාංශයක් පහත ඉදිරිපත් කරන්නෙමු.

         “සමස්ත ඉතිහාසය හා සංස්කෘතිය ලෙස බාර ගන්නා සියල්ල චින්තන ක්‍රියාකාරීත්වය (ලිංගිකත්වයේ සියලු ගුප්ත ස්වරූපයන් ද ඇතුළත්ව- අවධාරණය මගේ) බාහිරකරණය වීමක්, නැතහොත් යථාර්ථය බවට පරිවර්තනය වීමක් යන්න හේගල්ගේ මූලික තිසීසය යි. එය සම්මුතියක් හෝ සංස්කරණයක් නොවේ. මෙහි දී කතිකාමය ගොඩ නැංවීම යන්න ද පාරභෞතිකය.

            බාහිරට තල්ලු වී ගිය මෙම සංස්කෘතිය, යථාර්ථය, ඩිජිටල් සමාජජාලා යන දේවල් යළිත් චින්තනයේ ශුද්ධ ප්‍රවර්ග බවට (වචන බවට) පරිවර්තනය කළ හැකි ය. එනම්, ඒවා චින්තනයේ ශුද්ධ රූපය වූ වචන හෝ Logos බවට පෙරළිය හැකි ය. මෙම එළියට ගිය දේ යළි ඇතුළතට ඇදීම නිසා මිනිසා සිතන්නෙකු බවට පරිවර්තනය වෙයි. මේ සිතීමේ අතුරු ඵලය වන්නේ, බාහිර ගැන නොව තමා ගැන තමා ම සවිඥාණක වීමයි. එහිදී, තමාට විජාතක වූ තමාගේ රූපයන් සතියෙන් යුතුව යළි කල්පනා කිරීමේ විවේකයක් මිනිසාට හිමි වෙයි. විෂම ලිංගිකයෙකුට සමලිංගිකයෙකු යථාර්ථයේ දී පරාරෝපිත රූපයකි. නමුත් සමලිංගිකත්වය යළි සංකල්ප මගින් වටහා ගැනීමට දරන උත්සාහය තුළ, එහි ගුප්ත බව නිසා එහි සංකල්පීය බව තහවුරු කළ හැකි ය.

             හේගල්ගේ ඉහත විධික්‍රමික ගමන ගැන අවබෝධයක් ඔබට ඇත්නම්, තුන් තැනක ලැග සිටින මිනිස් ක්‍රියාකාරීත්වය එක්සත් කළ හැකි ය. එනම්, භාවිතය එක තැනක ලැගීම, ඥාන-විභාගය හෝ දැනුම වෙන තැනක ලැගීම සහ සත්තාව පිළිබඳ ගැටලුව තව තැනක ලැගීම. මෙම තුන් තැනක ලැගීම හේගල් නො කියවූ අයෙකුට විද්‍යාමාන වන්නේ, නිදහස ලෙසිනි”.

 

                   හේගල්ගෙන් යථාර්ථය ගැන අපට උගත හැකි ඉතාම තීරණාත්මක දාර්ශනික පාඩම වන්නේ, යථාර්ථයේ සංකල්පීය නිර්මිතය අවබෝධ කර ගැනීමයි. (ලංකාවේ මාක්ස්වාදීන් යනු, මාක්ස්ගේ දර්ශනය පිළිබඳ මෝඩ අදහස ධර්මයක් ලෙස ගන්නා අයයි. ඊට අදාළ ප්‍රවාදය මෙසේ ය. දාර්ශනිකයෝ ලෝකය නන් අයුරින් විවරණය කළේය. අවශ්‍ය කරන්නේ, ලෝකය වෙනස් කිරීමයි. අපි ඉන්නේ ඒක කරන්න. දර්ශනය කියවන්න නොවේ. නමුත් මාක්ස් සහ ලෙනින් හේගල් කියවූ බවත්, ඔවුන් කරන විචාර සඳහා හේගල්ගේ දර්ශනය අදාළ කරගත් බවත් මේ දුහුනන් දන්නේ නැත.) යථාර්ථය යනු, හිස්තැනකි. අප එය සංකල්ප නම් අදහස් සිතියමක් මගින් පුරවන්නේ නැතිනම් සත්තාව (Being) සහ චින්තනය (Thinking) අතර පරතරයට කරන්නට දෙයක් නැත.

                  දැන් මම හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ කෘතිය කියවීමට අදාළ ප්‍රවාද කිහිපයක් පහත ඉදිරිපත් කරමි.

                   හේගල්/ කාන්ට් වැනි ජර්මානු විඥාණවාදයේ මූලික හරය මෙසේ කැටි කළ හැකිය. බෞද්ධයන් ද ඇතුළත්ව බහුතර මිනිසුන් සිතන්නේ තමන්ගේ සාරය, ප්‍රහේලිකාව තමන් තුළම මොළයේ හෝ හදවතේ ගිලී සැඟවී ඇති බවයි. නමුත් ජර්මන් විඥාණවාදී දර්ශනයට අනුව මිනිසාගේ සාරය හෝ ප්‍රහේලිකාව සටහන් වී ඇත්තේ, සංකේතනය හෝ සැබෑව තුළ ය. සරලව කිවහොත්, මිනිසාගේ ආත්මීයකරණය දිග හැරෙන්නේ, (සර්පිලය) ඇතුළතට නොව බාහිරත්වය දෙසට ය. මන්දයත්, අපගේ චින්තන සැකසුම වාග් විද්‍යාත්මක පදනමක් මත ක්‍රියා කරන නිසා ය. ජීව විද්‍යාත්මකව සංසර්ගය සිදු වන්නේ, අභ්‍යන්තරයක් තුළ වුවත් මානසික සංසර්ගයක් සිදු වන්නේ බහිර් අවකාශයක ය. එනම්, අනේකත්වය මත ය. දර්ශනය හේගල්ගේ අර්ථයෙන් වටහා ගත් විට, එය ගර්භාෂය තුළ අදහස් එකතු වීමක් නොව මොළය තුළ අදහස් වචන හරහා බාහිරට ගමන් කිරීමයි. මෙමඟින්, පරාරෝපණය පිළිබඳ අලුත් අදහසක් නිෂ්පාදනය කළ හැකි ය.

                   හේගල්ගේ දර්ශනයට අනුව ලංකාවේ සිතන මිනිසාගේ ගැටලුව කුමක් ද කියා වටහා ගනිමු. දර්ශනයේ දී දැනුම නැතහොත් දැනුම ලබා ගන්නා විධික්‍රමයට අපි කියන්නේ, ඥාණ-විභාගය කියා ය. ඊට අනුව, අප වස්තුව (Object) අධ්‍යයනය කරයි. අධ්‍යයනය කරන්නාට මෙම වස්තුව බාහිර එකකි. නමුත් හේගල් ආත්මය සහ වස්තුව අතර සහසම්බන්ධය ගොඩ නගන්නේ, ආත්මීයත්වයට අභ්‍යන්තරිකව ය. මෙම චින්තන ක්‍රියාකාරීත්වය වරදවා වටහා ගැනීමට ඇති ඉඩකඩ විශාල ය. උදාහරණයක් ලෙස, අපි එය අපගේ විවාදයේ සම්භාෂකයා වන සමන් ගැන මම හිතන විදිහ සහ ඔහු මා ගැන සිතන විදිහ අතර වෙනසින් විභාග කරමු.

Hegel And His Logic

                     ලංකාවේ මිනිසුන්ගේ චින්තනය පරීක්ෂා කළ විට, වහා වැටහෙන සත්‍යයක් ඇත. ඊට අනුව, ඔවුන් තමන්ට බාහිරින් ඇති භෞතික වස්තු (ගස්, වැල්, කඳු, වෛරස්) ලෙසින්ම තමන්ගේ සමීප අනෙකාව ද (ස්ත්‍රිය, දේශපාලන අනෙකා) බාහිරින් පවතින වස්තුවක් ලෙස සලකයි. හේගල්ට අනුව ඔහු කතා කරන්නේ, වාස්තවික අදහස් ගැන නොවේ. ඔහු එතැනදී කාන්ට් ගැන සිහිපත් කරයි. කාන්ට් මෙසේ කියයි. අපගේ ඉන්ද්‍රියගෝචර ඥාණයට අනාවරණය වන්නේ, බාහිර වස්තුවල ‘පෙනෙන ආකාරය’ මිස ඒවායේ ‘පවත්නා ආකාරය’ නොවේ. ඒ අනුව, කාන්ට්ගේ ඥාණ-විභාගයට අදාළව ගත්තත් මිනිසෙකුට තම අනෙකාව වාස්තවික ලෙස අවබෝධ කරගත නො හැකිය. එය මුලාවකි. ඒ වෙනුවට හේගල් යෝජනා කරන්නේ, කැන්ගරුවෙකු තම පැස තුළට තම පැටියා දමා ගන්නා සේ තම අධ්‍යයන වස්තුව තම ආත්මීයත්වය නම් පැස තුළට දමාගෙන විශ්ලේෂණය කරන ලෙසයි. අපි උදාහරණයක් ගමු. සයිමන් නවගත්තේගමගේ ‘සුද්දිලාගේ කතාව’ තුළ ඇති කාන්ටියානු ස්වායත්තය නැතහොත් නිෂ්ප්‍රපංචය (ඥාණයෙන් දත නොහැක්ක) විශ්ලේෂණය කරමු.  සයිමන් සහ ඔහුගේ විචාරක සිතන්නන් අපට කෘතිය ගැන මෙසේ යෝජනාවක් කරයි. කෘතිය මඟින් විද්‍යාමාන වන්නේ, උතුරුමැද පළාතේ අඳ ගොවියන් ප්‍රාග්ධනය නම් ප්‍රචණ්ඩ මාරුතය නිසා ජීවිත ලෙස අවිනිශ්චිත වන ආකෘතිය යි. නමුත් කෘතිය පටන් ගන්නේ කෙසේද? සුද්දි නම් ගැහැනියක් අධික කුසගින්නෙන් යුතුව සිල්ලර කඩයකට කඩා වදියි. කඩයේ මුදලාලි සුද්දි නිසා රාගයෙන් ගිනි ගන්නා අතර කුසගින්න විසඳීමකින් තොරවම ඔහු සුද්දීව දූෂණය කරයි. ලංකාවේ මාක්ස්වාදීන්ට අනුව මේ සිද්ධි දෙක අසම්පාතය. වැදගත් වන්නේ, දූෂණය නොව බාහිර කටුක සමාජ-ආර්ථික පසුතලය යි. නමුත් හේගලියානු කියවීම මීට සපුරා වෙනස්ය. අපට ‘වඩා කෲර ලෙස’ ස්ත්‍රියක් දූෂණය කිරීමේ ෆැන්ටසිය සාක්ෂාත් කරගත හැක්කේ, අතිදුෂ්කර සමාජ-ආර්ථික කොන්දේසි මත යැපෙන ස්ත්‍රී ශරීරයක් හරහා ය. ඒ අනුව, උතුරුමැද පළාතේ දරිද්‍ර සමාජ-ආර්ථිකය නම් සමාජ යථාර්ථය ඇත්තේ ස්ත්‍රියක් දූෂණය කිරීම නම් ෆැන්ටසි අවකාශය තුළ මිස ඉන් පිටත නොවේ. අපි මේ ‘සුද්දිලාගේ කතාව’ නම් නවකතාවට රුචි කරන්නේ, එමගින් සමාජ-යථාර්ථය (පළා යාම) නිරූපණය වන නිසා නොව නවකතාවේ ආඛ්‍යානය අපට තිරිසන් ලෙස විනෝද වන්නට ආකෘතියක් සපයන නිසා ය. මෙම දූෂණ ෆැන්ටසිය තරණය කළ විගස දරිද්‍ර සමාජ-ආර්ථිකය ද අහෝසි වෙයි.

                    ඉහත සන්දර්භය තුළ හේගල් කියවීම පහසු නැත. එමගින් තර්ජනයට ලක් වන්නේ, අපගේ බාහිරත්වය නොව අපගේම සාරය වූ ආත්මීයත්වය යි.

                      ඔබ හේගල්ගේ කෘති කියවන්නට පටන් ගත් විගස තැන් තුනක දැනට ලැග සිටින ප්‍රපංච එකිනෙකින් සම්බන්ධ වෙයි. එනම්, චින්තනය/ මානුෂික ක්‍රියාකාරීත්වය/ සොබාදහමයි. මනස බාහිර වස්තු වලින් සංවේදන ලබන බවට සැකයක් නැත. එසේ ලබන සංවේදන අසවල් ඒවා යැයි තීන්දු කරන්නේ, මනසේ ප්‍රවර්ග විසිනි. මෙයට මනසේ ප්‍රාග් ආනුභූතික හැකියාව ලෙසින් විග්‍රහ කළ හැකි ය. එබැවින්, චින්තනයේ ප්‍රවර්ග පිළිබඳ ප්‍රශ්නය චින්තනයේ ම ගැටලුවක් මිස යථාර්ථයේ ගැටලුවක් නොවේ. උදාහරණයක් ලෙස, බාහිර ස්වභාවධර්මයේ තිබෙන වෛරසයක් චින්තනය තුළට අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය නම් එය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් තුළ තැබිය යුතු ය. එවිට, වෛරසය ගැන වාස්තවික අධ්‍යයනයක් කළ හැකිය. නමුත් විශ්ලේෂකයා අමතක නොකළ යුත්තේ, වෛරසය පවතින්නේ ආත්මයට අභ්‍යන්තරිකව මිස බාහිරව නො වන බවයි.

                     හේගල්ගේ විධික්‍රමය දයලෙක්තික තර්කනය යි. එය, අනන්‍යතා චින්තනයක් නොවේ. හේගල්ට අනුව දයලෙක්තිකය යනු, යමක අභ්‍යන්තරික අනන්‍යතාවය තුළම වෙනසක් ඇති බව අවබෝධ කර ගැනීමයි. (Identity is the identity of identity & difference) ඔහුගේ විධික්‍රමයේ සත්‍යය වන්නේ, විධික්‍රමය පද්ධතියට අභ්‍යන්තරික වීමයි. මේ හේතුව නිසා, හේගල්ගේ විධික්‍රමය ‘සියල්ලට සහ අවයවයට’ එකවර යෙදිය හැකි ය. මේ අවබෝධය ලැබිය හැක්කේ, ‘කියවීම’ නම් පුහුණුව හරහා පමණි.

                       හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ කෘතිය මූලික කොටස් තුනකින් සමන්විත ය. ඒවා මෙසේය: සත්තාව (Being), සාරය (Essence) සහ සංකල්පය (Concept). ඔහුගේ තර්ක කරන ක්‍රමයට ලක්ෂණ තුනක් ඇත.

  1. වියුක්තය (Abstract).

  2. දයලෙක්තිකය හෝ සබුද්ධික සෑම දෙයක්ම හේතුව මගින්ම අවසානයේ දී හිස් බව හමුවනතුරු නිශේධනය කිරීම.

  3. සමපේක්ෂණය හරහා ධනාත්මකය සොයා ගැනීම.

 

                   මම ලංකාවට හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ හරහා අලුත් කියවීමේ ක්‍රමයක් යෝජනා කළෙමි. ඉන් අදහස් වන්නේ, යමක් ඔබ විශ්ලේෂණය කරන්නේ නම් එය බාහිර ලෝකය තුළ – Reality- විභාග නොකළ යුතු බවයි. එය පරාර්ථක වැඩකි. නමුත් විප්ලවීය අවබෝධයක් ලැබීමට හේගල් යොදා ගන්නවා යනු, ඔබ විශ්ලේෂණය කරන ප්‍රපංචය ඔබේ ආත්මීය පැස තුළ තබා විභාග කිරීමයි. එවිට, ඔබට දේවල් පෙනෙන හැටි සහ ඒවායේ සැබෑ ස්වභාවය අතර වෙනස ඔබගේ නිර්මාණයක් බව වැටහෙනු ඇත. සමන්ගේම වචනවලින් කියන්නේ නම්, යථාර්ථය යනුවෙන් දෙයක් නො පවතින අතර යථාර්ථයට පැවතිය හැක්කේ අසම්පූර්ණයව ය. මන්දයත්, යථාර්ථය ඇත්තේ ඔබේ ආත්මීය පැස (කැන්ගරුවාගේ පැස තුළ පැටියා පවතින පරිදි) තුළ නිසා ය.

Subjectivity and it’s Content.

                 සත්තාව සහ චින්තනය අතර දයලෙක්තික අසහනයක් ඇති කිරීම හේගලියානු කියවීමයි. එහිදී, ඔබට හමුවන අනෙකා ඔහුට/ඇයට සම්පාත වනු පමණක් නොව අසම්පාත ද වනු ඇති බව ඔබ වටහා ගත යුතු ය. ඕනෑම ගුප්ත ප්‍රහේලිකාවක් හේතුවට විසඳිය හැකි ය. එහෙයින්ම, හේගල් පරම හිස්ටෙරිකයෙකි. මා ඔබට යෝජනා කරන්නේ, චින්තනය සහ වස්තුව අතර සහසම්බන්ධයට පිටතින් සැබෑවක් ඇති බව පරිකල්පනය කරන්න කියා නොවේ. විකල්පය වන්නේ, අපගේ ආත්මයේ කේන්ද්‍රය මෙතරම් රැඩිකල් ලෙස බහිනිර්ණය වන්නේ (පිටත පිහිටන්නේ) මන්ද යන්න පරික්ෂා කිරීමයි.

                      හේගල් ගැන මගේ කියවීම ඔබ උපුටා ගන්නවා යනු, ඔබගේ අධ්‍යයන වස්තුව වාස්තවික සිතුවිලි අතරට රැගෙන යාම නොවේ. ලංකාවේ මිනිසුන්ට පුරුදු කර ඇත්තේ, තමන්ගේ සිතුවිලි වෙන කොහෙන් හෝ ආවා කියා වටහා ගන්නට ය. එය වෙනත් ආත්මයකින් හෝ බුදුන්ගෙන් ලැබුණු සිතුවිලි විය හැකිය. හේගල් හරහා මම ඔබට යෝජනා කරන්නේ, ඔබගේ ‘අධ්‍යයන වස්තුව’ ආත්මීය පැසක් තුළට දමා ගන්න යන්න ය. බාහිර පරාවර්තන ලක්ෂයක විනයකට යටත්ව කල්පිත අනෙකෙකු වෙනුවෙන් නො හදාරන්න! ඔබේ  හැදෑරීම ඔබට නිරපේක්ෂ කරන්න. වැරදි පාරවල්වල යන අයව නිවැරදි මාර්ග වලට තල්ලු කිරීමට කාලය නාස්ති කරන්න එපා. ඒ අයගේ වැරදි පාර ඔබ කාපට් කර ඒ පාරේම ඒ අයව යවන්න. ඔවුන් නිවැරදි වීමෙන් ලබනවාට වඩා දැනුමක් ඔවුන් වැරදි කරන විට ඔබට ලැබේ.

              අපි ඊළගට, හේගල්ගේ කියවීම් වලට ‘ඇලෙක්සැන්ඩර් කොජෙව්’ කළ එකතු කිරීම් හදාරමු. මිනිසාගේ ජීවිතය තමන්ට එන්නේ, ‘අසනීපයක’ ආකෘතියෙන් අනෙකාගෙන් බව වටහා ගැනීම. පෙරදිග මිනිසා ජීවිතය ‘අසනීපයක්’ යන්න නිශේධනය කරයි. ඉතිහාසය අවසන් වූ (වීරයා සහ වහලා අතර ගැටුම අවසන් වීම) පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී පාරිභෝගික භාණ්ඩ අර්චනය කරන සමාජයක අපි ජීවත් වන්නෙමු. ඔබට ජීවිතයක් අවශ්‍ය නම්, ‘අසනීපයක්’ අවශ්‍ය ය. ඒ සඳහා, අනෙකාගේ මුහුණ තැලෙන්න ගහන්න. එවිට, අනෙකා ද ඔබට නාස් පොල්ල කැඩෙන්නට ගසනු ඇත. ජීවිතය යනු, අනෙකා මේ ඔබට කරන තුවාලය යි. අනෙකාගෙන් දුරස් වන්නට වන්නට  ඔබ සමාජ-ක්‍රමයේ රූකඩයක් පමණි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

Para – logic Of Nalin

බටහිර රටවල ප්‍රපංචවේදය (phenomenology)නමින් දර්ශනයක් වෙයි. අද ඊනියා පශ්චාත්නූතනවාදීන් අතර මේ දර්ශනය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මේ සම්බන්ධයෙන් කිව යූතු වැදගත් ම කරුණක් වන්නේ ප්‍රපංචවේදීන් ප්‍රපංචය ප්‍රධාන කොට සලකන බව ය. ප්‍රපංචය, එලෙස ම, එනම් ප්‍රපංචය ලෙස ම ගැනීම විවිධාකාර ප්‍රපංචවේදීන් ගේ ප්‍රයත්නය වෙයි. ප්‍රපංචවේදීහූ අනූභූතිවාදය (empiricism) විවේචනය කරති. ඔවූන්ට අනූව ආනූභූතිකවාදීහූ ප්‍රපංචය, ප්‍රපංචය ලෙස නොගෙන එයට අර්ථකථන දෙති. අර්ථකථන දෙන්නේ මනසින් බව තේරුම් ගත් පසූ මෙයින් අදහස් වන්නේ මනසින් තොරව ඇති ප්‍රපංච ගැන කතා කිරීම බව පැහැදිලි වනූ ඇත. මනසින් තොරව ප්‍රපංච පවතින්නේ යැ යි ගැනීම කැමරාවකට ප්‍රපංච ඇතැ යි ගැනීම වැනි වූවකි. කැමරාව හා ප්‍රපංචවේදීන් අතර ඇති වෙනස නම් කැමරාව එලෙස ප්‍රපංච ඇතැ යි නොසිතීම ය. කැමරාවට සිතීමට නොහැකි වීම කෙතරම් භාග්‍යයක් ද?

    

ඔබේ අදහස කියන්න...