ලංකාවේ දර්ශනය පිළිබඳව කතා කරන උගන්වන සියලු දෙනාම පාහේ දර්ශනය යනු ප්‍රඥාව සම්බන්ධ විෂයක් ලෙස නිර්වචනය කරයි. එනම් විශ්ව විද්‍යාල තුළ වුවද දර්ශනය නිර්වචනය කරන්නේ ඉහත පරිදිය. (Philosophy is Love of Wisdom). එම නිර්වචනය අවම වශයෙන් වසර දෙදහස් පන්සීයක්වත් පැරණි වන අතර එම නිර්වචනයෙන් එහාට නව නිර්වචනයක් ගොඩනගා ගැනීමට මෙරට සිටින දර්ශනය උගන්වන කිසිදු ගුරුවරියකුට හැකියාව ලැබී නැත. මෙම නිර්වචනය පවා එන්නේ ග්‍රීක වචනයක් වන PHILO සහ SOPHIA යන වචනයන්ගේ එකතුවීමෙනි. ගදාමර්ට අනුව මෙම නිර්වචනය තුළ දර්ශනය යනු සංවාදයක් බව දක්වයි.
නමුත් ජිජැක් විසින් මෙම නිර්වචනය සම්පූර්ණ වශයෙන් බැහැර කරමින් දර්ශනය යනු සංවාදයක් නොවන බව සඳහන් කරයි. එනම් නොදන්නා තැනකින් පටන් ගෙන යමක් දැනගැනීම දර්ශනය නොවන බවයි ජිජැක් දක්වන්නේ. මෙයින් ගම්‍ය වන්නේ ජිජෙක්ට අනුව වැරදි වටහා ගැනීමෙන් තොරව සාර්ථක දර්ශනයක් ලෝකයේ බිහි නොවන බවයි. ඔහුගේම වචන වලින් කියන්නේ නම් ඇරිස්ටෝටල් විසින් ප්ලේටෝව නිවැරදිව වටහා නොගත් අතර හේගල් විසින් කාන්ට්ව නිවැරදි වටහා නොගත්තේය. එසේම හයිඩගර් මේ කිසිවෙකුවත් නිවැරදි වටහාගෙන නොමැත. එබැවින් දර්ශනය තුළ සංවාදයක් නොමැත. සංවාදය යනු නොදන්නා දෙයක් දැන ගැනීමයි. කෙනෙකු තවත් කෙනෙකු සමඟ සංවාදයකින් යමක් දැන ගැනීම සිදුකරන අතර එම දැන ගැනීම නිවැරදි නොවන විට එනම් වැරදි වටහා ගැනීමකට යන විට කිසිදු ආකාරයක සංවාදයක් බිහි නොවේ.
දර්ශන අධ්‍යනාංශය තුළ ඉගැන්වීම් සිදුකරන ආකාරයට දර්ශනය යනු තවමත් සංවාදයෙකි. එක් අයෙකු දර්ශනය තවත් කෙනෙකුට නිවැරදිව වටහා ගැනීමට කියාදෙයි. එයින් දැනුමේ බින්දුවේ සිට ඉහළ තැනකට ගමන් කරයි. එබැවින් දර්ශනය පිළිබඳ දේශකවරයා පූර්ව අභ්‍යූපගමනයක් සතු වනවා තමන් අසවල් දර්ශනය පිළිබඳව, අසවල් දාර්ශනිකයා පිළිබඳව දැනුමක් සතුව සිටිනවා කියා. එබැවින් කොළඹ මුල් කරගෙන ප්ලේටෝ පිළිබඳ කියවීම, ෆෝකෝ පිළිබඳව කියැවීම, හෙගල් කියවීම, ඩෙරීඩා කියවීම ආදී මෙකී නොකී සියලූ ආකාරයේ සංවාදයන් සංවිධානය වෙමින් ඇත. මේ සෑම දේකම අරමුණ වන්නේ තමන් පූර්ණ වශයෙන් ග්‍රහණය කර කරගත් දැනුම බෙදා දීමයි. මෙම සංවාද සඳහා සහභාගි වෙන්නන් හටද තමන් නොදන්නා දෙයක් දැන ගැනීම හේතුවෙන් පරිපූර්ණත්වයකට යා හැකි බවට ඔහු විශ්වාසයක් ඇත. නමුත් මෙම සංවාද ඔස්සේ තමන් දැනගන්නා දෙය කිසිවෙක් පරීක්‍ෂා නොකරයි. මේ නිසා දේශන පවත්වන්නන් හා දේශනාවලට සහභාගීවන්නන් අතර රහසිගත නිහඬ ගිවිසුමක් ඇත. මෙම ගිවිසුම නිසා දෙපාර්ශ්වයටම බුද්ධිමතුන් ලෙස පෙනී සිටිය හැක. එයින් “ෆුකෝ වටහා ගැනීමට මෙහි පැමිණෙන්න එසේ නොවුනහොත් ජීවිතය විනාශ වී යයි. අනෙකුත් කිසිදු විෂයක් හැදෑරීමටද නොහැක.” යනුවෙන් සංවාදයන් සංවිධානය කළ හැක.
ජිජැක් විසින් ප්‍රකාශ කරන්නේ දාර්ශනිකයට යම් දෙයක් පිළිබඳව (දර්ශනය යනු සිද්ධාන්තමය දෙයක් වේද? ගාසාවේ මිනිස් ඝාතන නවත්වන්නේ කෙසේද? ගෝලීය උණුසුම මිනිසාට තර්ජනයක් විය හැකිද? යනාදිය) පිළිබඳව සාකච්ඡා කිරීමට යමෙක් ආරාධනා කළ විට දාර්ශනිකයා කළ යුත්තේ එය මගහැරීමයි. මන්ද එවැනි දේ පිළිබඳව කතා කිරීමට දාර්ශනිකයාව අවශ්‍ය නොවේ. දාර්ශනිකයා යනු එවැනි සාමාන්‍ය දේ සඳහා මිනිසුන් දැනුවත් කරන්නෙකු නොවේ.
ප්ලේටෝගේ සංවාදයන් තුළ දැකිය හැක්කේ මීට පරස්පර විරෝධී වූ දෙයකි. එහිදී සෑම විටම ඇත්තේ සංවාදයන්ය. උදාහරණ ලෙස ප්ලේටෝ විසින් රචනා කළ REPUBLIC ග්‍රන්ථය ගත් කල එහි ඇත්තේ සොක්‍රටීස් හා ඔහුගේ අනුගාමිකයන් අතර සංවාදයකි. එහිදී රාජ්‍ය පාලනය, සමාජය, ආචාරධර්ම ආදිය පිළිබඳව සොක්‍රටීස් සිය අනුගාමිකයන් සමඟ සංවාද සිදු කරන ආකාරය දක්වයි. එහිදී සොක්‍රටීස් යම් දෙයක් ප්‍රකාශ කරන විට අසන්නන් ඊට කිසිදු බාධා කිරීමකින් තොරව අසා සිටියි. මෙහිදී සොක්‍රටීස් යම් අයෙකු විවේචනය කරන්නේ විවේචනය සඳහා නොව අපැහැදිලි දේ පැහැදිලි කර ගැනීමට හෝ යමක් දැනගැනීමට වේ. මේ හෙයින් එම සංවාදයන් විතන්ඩවාදී සංවාදයන්ගෙන් බැහැරට ගමන් කරයි.
එහෙත් විතන්ඩවාදීන් විසින් සිදු කරනු ලබන සංවාදයන් මේ ආකාරයට දැනුම ලබා ගැනීම සඳහා සිදු කරන්නක් නොවේ. ඔවුන්ගේ පරම නිෂ්ටාව වන්නේ තර්කය උදෙසා තර්ක කිරීමයි. එයින් දැනුමක් ලැබේ යැයි සිතීම ම ෆැන්ටසියකි. ඒ ඔස්සේ තමන් නොදන්නා දෙයක් දැන ගැනීම වෙත නොයයි. විතන්ඩවාදීන් විසින් පරම සත්‍යයක් පිළිබඳව විශ්වාස නොකරන බැවින් තමන් දන්නා දෙය තමන්ට අනුව හරි යැයි තර්ක කරයි. එසේ හෙයින් මෙම සංවාද තුළින් දැනුමක් හෝ නව අදහසක් බිහි නොවේ.
මේ අනුව ජිජැක් පෙන්වා දෙන්නේ දර්ශනය යනු ප්ලේටෝනික සංවාදයක් හෝ විතන්ඩවාදී සංවාදයක් හෝ නොවන බවයි. දර්ශනය යනු ඊට වඩා ඉදිරිගාමී දෙයක් ලෙස වර්තමානයේ දී ගනු ලබයි. දැනුම ලබා ගැනීම දර්ශනයට වැඩක් නැත. එබැවින් ඒ ඒ දාර්ශනිකයා පිළිබඳව විස්තර ඇතුළත් ග්‍රන්ථ රචනා කිරීම මේ යුගයේදී දර්ශනය ලෙස ගත නොහැක.
ජිජැක්ට අනුව දර්ශනය ‘දැනුම’ පිළිබඳව වූ විට එයින් සිදුවන්නේ ප්‍රධාන ගැටලුවලින් ඉවත්ව වෙනත් ව්‍යාජ ගැටලුවලට ගමන් කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමයි. උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම, මාර්ග තදබදය, යහපත් ආණ්ඩුකරණය, ගංවතුර ගැලීම ඇතුළු ස්වභාවික ව්‍යසන, සරණාගත ගැටලුව, මහින්ද රාජපක්ෂගේ හොරකම්….. ආදී එකී මෙකී සියලු ගැටලු වලට පිළිතුරු සැපයීමට දාර්ශනිකයා මැදිහත් වේ. ඒ ඔස්සේ සිදුවන්නේ වෛකල්පික සංස්ලේෂණයකට යාමයි. (disjunctive synthesis). උදාහරණයක් ලෙස ඔබට මහින්ද රාජපක්ෂ හොඳ නැත්නම් අනුර කුමාර තෝරාගන්න. එනම් සෑම විටම ප්‍රධාන ගැටලුව මඟ හැර වෙනත් ගැටලුවලට යොමුවෙමින් ඒවා දාර්ශනිකරණය කිරීමට යාමයි. මෙම ප්‍රධාන ගැටලුව වෙනුවට නිර්මාණය වන වෙනත් ගැටලු සහ ඒවාට ලැබෙන පිළිතුරු ”ඩොක්සාව” ලෙස දැක්විය හැක. එනම් මෙලෙස එදිනෙදා ජීවිතයේ ගැටලුවලට දාර්ශනිකයා මැදිහත් වූ විට ඔහු එම ගැටළු සඳහා ලබා දෙන පිළිතුර අයත් වන්නේ මහජන මතයට මිස දර්ශනය ගණයට නොවන බැවිනි. මේ නිසා සැබෑ දාර්ශනිකයාට එදිනෙදා ජීවිතේ ගැටලු සමඟ කිරීමට දෙයක් නැත. ඒ පිළිබඳව කතා කිරීමට පවා දාර්ශනිකයාව අවශ්‍ය නොවන අතර ඒ පිළිබඳව කතා කිරීමට ඔහුට ආරාධනා කළ විට වහාම එම ස්ථානයෙන් පලා යා යුතු බව ජිජැක් දක්වන්නේ මේ නිසාය. එබැවින් සාමාන්‍ය ගැටලුකාරී අවස්ථාවන් වලදී ඒ පිළිබඳව දාර්ශනිකයෙකුගෙන් ඇසූ විට ඔහුගේ පිළිතුර අයත් වන්නේ දාර්ශනික පිළිතුරු ගණයට නොවේ. ඒවා අයත් වන්නේ මහජන මතය (public opinion) ගණයටය. ව්‍යාජ දාර්ශනිකයා එදිනෙදා ගැටලු දාර්ශනීකරණය කරමින් මුහුණු පොතේ කාටද මිනිසුන් මෙවර ඡන්දය ලබාදිය යුත්තේ යන්න සම්බන්ධයෙන් බලෙන් උපදෙස් දීමට පැමිණෙයි.
මේ ආකාරයට විකල්පයන් ඉදිරිපත් කරනු ලැබීමට එරෙහිව දාර්ශනිකයා කළ යුත්තේ ඒවායේ ව්‍යාජ භාවය හෙළි කිරීමයි. ඒ සඳහා ජිජැක් ප්‍රකාශ කරන්නේ දාර්ශනිකයා සංකල්ප වෙනස් කළ යුතු බවයි. එනම් විප්ලවීය තෝරාගැනීමකට යා යුතු බවයි. එය ඩෙලූස් ගේ disjunction synthesis වලින් බැහැරට ගමන් කිරීමයි. එහිදී දාර්ශනිකයා නිවැරදි ගැටලුව වෙත යා යුතුය. මෙයට ජැක් සංවාදයේ සංකල්ප මාරු කිරීම ලෙස ව්‍යවහාර කරයි.
මේ යුගයේදී සුඛ පරමවාදය විසින් මිනිසුන්ට යෝජනා කරන්නේ හැකිතාක් පරිභෝජනය කරන ලෙසයි. නමුත් මෙම නිමක් නොමැති පරිභෝජනය තුළ ම එහෙම වූ තහනමද පැමිණෙයි. එය රැඩිකල් තහනමකි. ” ඔබ කැමැති දුරකථනයක් භාවිතා කරන්න, ඔබ කැමතියි ආහාරයක් අනුභව කරන්න, ඔබ කැමති රටකට යන්න” යනුවෙන් කරනු ලබන සුඛ පරමවාදී යෝජනාවන් තුලින්ම ” ඔබ සෑම දෙයක්ම භුක්ති විදින්න නමුත් ඊට පෙර jogging කරන්න, diet කරන්න,” යනුවෙන් වූ තහනමක් ද පැමිණෙයි. මෙය දයලේත්තිකය. එනම් තහනම එන්නේ පිටතින් නොව ඒ තුළින්ම වේ. ව්‍යාජ සංවාද තුළදී සුඛ පරමවාදය අසීමාන්තික ලෙස සතුටක් යෝජනා කරයි.
මේ යුගයේ තවත් අතකින් විශ්වාසය බිඳ වැටීම සිදු වන බවට වන දාර්ශනික සංවාදය පවා ව්‍යාජ සංවාදයක් බව ජිජැක් පෙන්වා දෙයි. ඊට හේතුව වෙනත් ඕනෑම කාලයකට වඩා මෙම අවධියේදී මිනිසුන් විශ්වාස කරන බැවිනි. එබැවින් නිමක් නොමැති පරිභෝජනය සමඟ එන තහනම සඳහා වෛද්‍යවරුන්, චින්තකයන් ආදීන් ආදේශ වී ඇත. ඔවුන් සීමාව හඳුන්වා හඳුන්වා දෙයි. මෙම සීමාව මිනිසුන් වඩාත් විශ්වාසයෙන් යුතුව වැළඳ ගනියි. එබැවින් සුඛ පරමවාදය හරහා යෝජනා කරන පාරිභෝජනය තුළ තහනම මිනිසාට අභිමුඛ වී ඇත.
එසේම ජිජැක් පෙන්වා දෙන පරිදි මෙම යුගය තුළ මිනිසාගේ චින්තනය අත්හිටුවා ඇත. ඒ සඳහා එක් අතකින් ව්‍යාජ දාර්ශනිකයන්ගේ දායකත්වය ලැබී ඇත. ව්‍යාජ දාර්ශනිකයන් විසින් ප්‍රඥාව, ප්‍රබුද්ධත්වය, නව යුගය වැනි මාතෘකා පිළිබඳව සාකච්ඡා කළද ඒවා කිසිදු ආකාරයකින් දර්ශනයට අනුරූප වන්නේ නැත. ඒවා හුදු ව්‍යාජයන් පමණි. ව්‍යාජ දාර්ශනිකයන් විසින් සිදු කරන්නේ දාර්ශනික ක්ෂණික ආහාර මිනිසාට ලබාදීමයි.(Philosophical short eats). ඒ හරහා මිනිසුන්ට සිය ගැටලුවලින් මිදීමට මෙම ක්ෂණික ආහාරය ලබාගත හැක. එයින් සිදුවන්නේ ජීවිතයේ ගැටලු විසඳීම හෝ ඒ පිළිබඳව සිතීමට වඩා චින්තනයෙන් (Thinking) මිදීමට දාර්ශනිකයා විසින් මිනිසාට ආදේශක සැපයීමයි. මේ හරහා මිනිසුන්ට සිතීම අත්හිටවා ඇති අතර එම සිතීම බාහිර අයෙකු විසින් සිදු කරනු ලබන බැවින් තමන්ට අක්‍රීයව සිටීමට මිනිසාට අවකාශය සලසා දී ඇත.(inter-pasivity). මෙම තත්ත්වය මෑත කාලය තුළදී වඩාත් ජනප්‍රිය වී ඇත.
මේ හරහා ඕනෑම පැහැදිලි කිරීමක් හෝ විප්ලවීය විකල්පයක් වෙත යාම යනු අනතුරුදායක තත්ත්වයක් බවට පත්ව ඇත. එවැනි වෙනසකට යාම පවා අනතුරුදායක බව දක්වයි. ව්‍යාජ දාර්ශනිකයන් මෙම තත්ත්වය වර්ධනය කරනු ලබයි, එය පශ්චාත් නූතන දාර්ශනික දෘෂ්ටිවාදයෙකි.
ජිජැක්ට අවශ්‍ය වන්නේ දර්ශනය එහි භව්‍යතාමය භූමිකාවන් මත ස්ථාපනය කිරීමයි. වර්තමානයේ දී දර්ශනය තුළ පවතින්නේ ව්‍යාජ අස්ථානයන්ය. එය බාහිර සදාචාරකරණයකට ලක්වී ඇත. ජිජැක් විසින් මෙම තත්ත්වය ඩෙරීඩාගේ ‘Spectress of Marx’ නැමැති කෘතිය ආශ්‍රයෙන් ඉදිරිපත් කරනු ලබයි. එහිදී ජිජැක් ප්‍රකාශ කරන්නේ දාර්ශනිකයා ලෝකයේ දෙස බලන මානුෂීය ස්වභාවය පිළිබඳවයි. එනම් “මම මනුස්සයෙක් එබැවින් ලෝකයේ සිදුවන සියලු ව්‍යසනයන්ට මම විරුද්ධ වෙමි.” යනුවෙන් වන සංවේදී භාවයයි. ඩෙරීඩා විසින් උක්ත කෘතිය තුළින් ලෝකයේ සිදුවන ව්‍යසනයන් දහයක් ඉදිරිපත් කරයි. විරැකියාව, මාධ්‍ය ඒකාධිකාරය, මත්ද්‍රව්‍ය ජාවාරම ආදී වූ විවිධ ගැටලු පිළිබඳව ඔහු සඳහන් කරයි. ඒ ඔස්සේ ඩෙරිඩා ඔහු හුදු දාර්ශනිකයෙක් පමණක් නොව උණුසුම් හදවතක් ඇත්තෙකු ලෙසද සඳහන් කරයි. මෙවැනි තත්ත්වයන් දර්ශනය සමග කිසිදු සම්බන්ධයක් නැත. බොහොමයක් කතුවරුන් ග්‍රන්ථ රචනා කරන විට තමන්ගේ මානුෂීය ස්වභාවය පෙන්වා දීමට එම ග්‍රන්ථයේ යොදා ගනී. උදාහරණයක් ලෙස ගන්නේ නම් යම්කිසි කතුවරියක් රචනා කරන ලද ග්‍රන්ථයෙහි ඇය පිළිබඳව දක්වන හැඳින්වීම තුළ ” ඇය දැනටම දකුණු දිග ප්‍රංශයේ ජීවත් වන අතර බල්ලන් සහ පූසන්ගෙන් වට වූ පරිසරයක ඇය චිත්‍ර අන්දමින් කාලය ගත කරයි.” යනුවෙන් සඳහන් කරමින් සිය මානුෂීය භාවය පෙන්වීමට උත්සාහ කරයි. එහෙත්ම සැබෑ ජීවිතයේදී මෙම ඉදිරිපත් කරන ලද කරුණට ප්‍රතිවිරුද්ධ ජීවිතයක් කතුවරිය ගතකරයි. ඇය බල්ලන්ට සහ පූසන්ට වෛර කරන්නියකි. එබැවින් ඇගේ මානුෂිකත්වය පිළිබඳව ඉදිරිපත් කරන කරුණු පවා ප්‍රබන්ධයකි. එබැවින් මෙම උණුසුම් හදවතක් පවතින දාර්ශනිකයා පිළිබඳ කරුණ දර්ශනයට නොව සාමාන්‍ය මනුෂ්‍යයාට පමණක් අයත්ය. දාර්ශනිකයා ප්‍රශ්න දෙස බලන්නේ මානුෂීය (human) හදවතක් ඇත්තෙකු ලෙස නොව මානුෂීය (inhuman) නොවන ස්වරූපයකිනි.
දාර්ශනික භූමිකාව මේ වනවිට ඇකඩමියාව විසින් අත්හැර ඇත. දර්ශනය අධ්‍යයනය කරනු ලබන විශ්ව විද්‍යාලවල දර්ශන අධ්‍යනාංශ වලින් පවා මෙම දාර්ශනික සාකච්ඡාවන් අතුරුදහන් වූ කාන්තාරකරණයකට ලක්වී ඇත. ඒවා එක්කෝ ආගමීකරණය වී ඇත. නැතිනම් ඒවා සංස්කෘතික, විද්‍යා ආදිය දෙසට ගමන් කර ඇත. මේ නිසා එම අධ්‍යනාංශ තුළින් සිදුවන්නේ දර්ශනයට අදාළ නොවන දේවල්ය. මේ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශය විසින් මීට වසර කිහිපයකට පෙර අයිස් ක්‍රීම් දන්සලක් සංවිධානය කරන්නේ අහම්බයකින් නොවේ. ඒ අනුව මෙම තත්ත්වය ජිජැක් විසින් ඉදිරිපත් කරනු ලබන ආප්තයක් වෙනස් කර ප්‍රකාශ කළ හැක. ” ඔබට හොඳ බෞද්ධයකු වීමට අවශ්‍ය නම් විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන දෙපාර්තමේන්තුවට යන්න.” නමුත් කොමියුනිස්ට්වාදය බිඳ වැටුණු විට එයින් ගොඩනැගුණු ප්‍රතිවිරෝධය ප්‍රධාන ලෙස සූත්‍රගත කළේ දර්ශනය විසිනි. එසේම විප්ලවයේ සඳහා ජර්මානු ආදේශකය වූයේ ද දර්ශනයයි. මේ අනුව ජිජැක් ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය දර්ශනයක් ඇත යනුවෙන් ගොඩනඟනු ලබන ප්‍රබන්ධය බිඳ දැමිය යුතු බවයි.
ඒ අනුව ජිජැක් යෝජනා කරන්නේ දර්ශනය යනු ගදර්මගේ ප්‍රඥාව කරා යන්නක් හෝ විතන්ඩවාදීන්ගේ සංවාදය උදෙසා සිදුකරනු ලබන සංවාදයක් නොවන බවයි. එනම් දර්ශනය යනු සිතීමේ ක්‍රියාවලියකි. එය සර්වාත්‍රිකයකට යාමකි. මානුෂීය භාවය ඉක්මවා යාමකි. මානුෂීය වීම තුළින් ජනතාව අතරට ගමන් කළ හැකි වුවද එය දර්ශනය සමග කිසිදු ආකාරයකට සම්බන්ධ නොවෙයි. මෙය තවත් ලෙසකට ප්‍රකාශ කරන්නේ නම් එය ව්‍යාජ දර්ශනයකි. දාර්ශනිකයා කළ යුත්තේ සාමාන්‍ය ලෙස ගැටලුවලට සංවේදී වී ඒ කෙරෙහි උණුසුම් මානසීය ලෙස ප්‍රතිචාර දැක්වීම නොව ගැටළු වෙතට යොමු වන ව්‍යාජ පිළිතුරු නිරාවරණය කර සිටීම වෙතට ගමන් කිරීමයි. එනම් දෘෂ්ටිවාදයන් ගොඩනැගීම වෙනුවට දෘෂ්ටිවාදයන් විවේචනය කිරීමයි. මෙලෙස දෘෂ්ටිවාදයන් විවේචනය කිරීම මානුෂීය නොවේ.
ඒ අනුව ජිජැක් අනුව සමකාලීන දර්ශනය යනු දෘෂ්ටිවාදයන් විවේචනය කිරීමයි.(Philosophy is critique of ideology) .
Buddhika Siran.
ඔබේ අදහස කියන්න...